මත්පැන් මිල ඉහළ දැමීම
මධු ලොලීත්වය පිටු දැකීමට පිළිතුරක් ද?
(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
එය හැන්දෑව, ගොම්මන් යාමයට එබිකම් කරන වේලාවයි. එබැවින් දෝ මිනිස්සු ගාලූ හිරිඹුර හන්දියේ, ‘වයින් ස්ටෝර්සය’ ඉදිරිපිට පොදිකමින් සිටියහ. සමහරු පෝලිමක් කෙසේ වෙතත්, පේලියකටවත් ඉන්නට තැත් කළ අතර, ඇතැමෙක් උඩින් අත් දමා ‘මහා හදිස්සියක්’ පෙන්වූහ. සැවොම එහි පැමිණ ඇත්තේ වෙහෙසකර දවසක නිමාව, මධුවිතකින් සන්තර්පනය කරනු පිණිස විය යුතු ය. පේලියේ ගිය අසීරු ගමනක අවසන ලියුම්කරුට ඉදිරියෙන් හුන් මිනිසාගේ වාරය එළඹිණි.
‘එකසිය අසූවෙන් දෙකයි, සීයෙන් දෙකයි’, ඔහු කුඩා කවුන්ටර් කවුළුවට එබෙමින් කීය. මුදල් දුන් වහාම ‘බඩු’ ලැබිණි.
එය මහ අපබ‍්‍රංශ ගනුදෙණුවකි. ‘එකසිය අසූව’ යයි කියන්නේ මෑතක වෙළෙඳපොළට පැමිණි එක්තරා ‘අරක්කු’ වර්ගයක, කාලේ කුප්පිවලට ය. එහි මිල රුපියල් 180කි. ‘සීය’ යයි කියන්නේ මධ්‍යසාර ප‍්‍රතිශතය වැඩි කුඩා ප‍්‍රමාණයේ ‘බියර්’ කෑන් වර්ගයකට ය. එහි මිල රුපියල් 100කි. ‘එකසිය අසූව’ ප්ලාස්ටික් කුප්පියකි! සමහර අය එය හඳුන්වන්නේ, ‘අරක්කු සැෂේ පැකට් එක’ යනුවෙනි. ‘එකසිය අසූවකින් සහ ‘සීයකින්’ සහ සන්තර්පනය වීම, හැන්දෑ ගොම්මන උණුසුම්කර ගැනීමේ අලූත් කලාවකි. එය ප‍්‍රචලිතව ඇත්තේ දවසේ කුලියට වැඩ කරන පිරිස් අතර ය. බෝතල් ගණන් මිල දී ගන්නට වත්කමක් නැති ඔවුහු, හැන්දෑවට සැෂේ පැකට්වලින් සැනහෙති. ඇතැමෙක් ඒවා පානය කරන්නේ එක්කෝ ‘වයින් ස්ටෝර්සය’ අසල දීම ය. නැතිනම් ‘ගෙදර යන ගමන්’ ය. ලංකාවේ මත්පැන් නිපදවන සමාගම්, අඩු ආදායම් ලාභීන්ගේ ‘හැන්දෑ ගොම්මන’ අතට ගෙන ඇත්තේ ‘සැෂේ පැකට්’ වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමෙනි.
හැන්දෑ ගොම්මන උණුසුම්කර ගැනීමේ අලූත් කලාව ගැන මෙසේ සටහන් කළේ, නොබෝදා මත්පැන් මිල වැඩි කිරීමේ සිද්ධිය ගැන යමක් කියන්නට ය. ආණ්ඩුව ඔක්තෝබර් 04 වැනි දා මධ්‍යම රාත‍්‍රියේ සිට මත්පැන් බදු ඉහළ දැමුවේ ය. පසුව දා පුවත්පත් වාර්තා කළේ, ඉන් දේශීය මත්පැන් බෝතලයක මිල රුපියල් 60කින් ද, විදේශීය මත්පැන් බෝතලයක මිල රුපියල් 125කින් ද, බීර කෑනයක මිල රුපියල් 50කින් ද ඉහළ යන බවයි. එබැවින් හුදී ජනයින්ගේ ‘සැෂේ පැකට්වල’ මිල ද ඉහළ යනු ඇත්තේ ය. ආණ්ඩුවේ පාර්ශවයෙන් කියැවුණේ, රටේ සුරා බදු ආදායම වැඩිකර ගැනීම පිණිස මෙසේ කළ බවයි. එසේම එය ‘මත්පැන් පානය’ අධෛර්්‍ය කිරිමේ වැඩ පිළිවෙලක් ද වන බවයි. එසේ වුව ද, එය යථාර්ථයක් ද? යන ප‍්‍රශ්නය මෙහි දී පැන නැගෙන්නේ ය.
මත්පැන්වල ප‍්‍රගතිය
කෙසේ නමුත් මත්පැන් මිල ඉහළ දැමුවාය කියා, ඒවා පාරිභෝජනයෙහි අඩුවක් වන්නේ නැත. ඒ වෙනුවට කෙරෙන්නේ, මත්පැන් භාවිතය දිනෙන් දින ඉහළ යාම ය. සුරා බදු දෙපාර්තමේන්තුවේ නිල තොරතුරු ඇතුළත් වෙබ් අඩවියට අනුව, 2005 වසරේ සිට 2014 වසර වන විට ලංකාවේ සැර මත්පැන් නිපැයුම ලීටර් මිලියන 5.4කින් ද, සැර අඩු මත්පැන් නිපැයුම ලීටර් මිලියන 73කින් ද ඉහළ ගොස් තිබේ. මත්පැන් මිල වැඩි වීම, එහි පාරිභෝජනයට බලපාන්නේ නැති බව ඉන් පෙනීයයි. ලංකාවේ ලියාපදිංචි මත්පැන් නිෂ්පාදන ආයතන ගණන 24කි. රා නිපැයුම් ආයතන ගණන, 32කි. හෙළිවී ඇති තොරතුරු අනුව, රට පුරා දැනට ඇති නිල මත්පැන් අලෙවි බලපත‍්‍ර (අලෙවි සැල්) සංඛ්‍යාව 3200ද ඉක්මවයි. 2005 වසරේ සිට 2014 වසර දක්වා කාලය තුළ පමණක්, අලූතින් නිකුත් කෙරුණු මත්පැන් අලෙවි බලපත‍්‍ර සංඛ්‍යාව 424කි. මෙයින් පෙනෙන්නේ, මෑත භාගයෙහි මත්පැන් ‘සුලභ කිරීමක්’ සිදුව ඇති බව ය. යමක් සුලභ වීම, එහි පාරිභෝජනය වැඩි වීමට ද හේතුවකි. එය මත්පැන්වලට ද වලංගු ය. පසුගිය කාලයේ මාධ්‍ය වාර්තා මගින් හෙළිවූ අන්දමට, මත්පැන් පානය අතින් දැන් ලංකාව දෙවැනි වන්නේ, චෙකෝස්ලෝවැකියාව, ප‍්‍රංශය සහ රුසියාව යන ඉහළ මට්ටමින් මත්පැන් පරිභෝජනය කරන රටවලට පමණි! දැනට අපේ රටේ ඒක පුද්ගල වර්ෂික මත්පැන් පරිභෝජනය, ලීටර් 7.4ක් බව කියනු ලැබේ. එදා-මෙදා තුර මත්පැන් මිල ඉහළ දැමූ නිසා ඒවායෙහි පරිභෝජනය අඩු වූවා නම්, රටට මේ තරම් ‘මත්පැන් ප‍්‍රගතියක්’ කොයින් ද?
සාමාන්‍යයෙන් ‘නිල මත්පැන්වල’ මිල ඉහළ යන්නට, යන්නට, ජන සමාජයෙහි සිදු වන්නේ, ‘නිල නොවන’ මත්පැන් (කසිප්පු වැනි) භාවිතය ඉහළ යාමයි. අඩු ආදායම් ලාභී පිරිස් ඊට යොමු වනු දැකිය හැකි ය. තතු දන්නා අය උපකල්පනය කරන ආකාරයට, දැනට රට පුරා ඇති ‘හොර මත්පැන් හල්’ සංඛ්‍යාව දෙලක්ෂය ද ඉක්මවයි! සුරා බදු දෙපාර්තමේන්තුව, 2014 වසරේ දී සිය වැටලීම්වලින් රුපියල් මිලියන 148ක් ‘දඩ’ වශයෙන් රජයට උපයා දී තිබේ. හොර මත්පැන් කර්මාන්තය කොතෙක් ඉහළ මට්ටමක පවතී ද යන්න එයින්ම පෙනේ.
කොයි හැටි වෙතත්, 2014 ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ සඳහන් වන අන්දමට, වර්තමානයෙහි ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයෙන් සැලකිය යුතු කොටසක් පිරිමැසෙන්නේ සුරා බදුවලිනි! එය 2013 වසරේ දී සියයට 2.9කි. 2014 වසරේ දී සියයට 2.6කි. මත්පැන් නිෂ්පාදනය සහ වියදම් මත පැනවූ බදු වලින් 2005 වසරේ රටට ලැබුණු ආදායම රුපියල් මිලියන 16,085කි. 2014 වසර වන විට එය රුපියල් මිලියන 53,015කින් ඉහළ ගොස්, රුපියල් මිලියන 69,100ක් විය. සිගරැට් නිෂ්පාදනය සහ වියදම මත පැනවූ බදු ආදායම ද, 2005 වසරේ සිට 2014 වසර වන විට රුපියල් මිලියන 30,548කින් ඉහළ ගොස් තිබේ. බලයට එන ආණ්ඩු මතින් නිදහස් වන්නේ යයි කයිවාරු ගැසුව ද, රාජ්‍ය ආදායමෙන් සියයට 03කට ආසන්න කොටසක්, දුම්කොළ සහ සුරා බදු ඔස්සේ උකහා ගන්නා බව මෙයින් පෙන්නුම් කෙරෙන යථාර්ථයයි! එය හරියට පන්සල් ගොසින් ගෙදර එන අතර, මත්පැන්හලකටත් (බාර් එකකටත්) ගොඩ වැදී ඒමක් බඳු ය.
එබැවින් බලයට එන ආණ්ඩුවල අය පවසන ‘මතින් රට මුදා ගැනීම’, යථාර්ථයක් ද? යන ප‍්‍රශ්නය මතු වේ. දැනට නම් එය ‘මත්පැන් විරෝධීන්’ සනසන සංකල්පයක් පමණක් බව, ලියුම්කරුගේ අදහසයි. එයට ලැබෙන ප‍්‍රචාරය ද, මත්පැන් කෙරෙහි අමුතු ‘කුතුහලයක් අවුළුවන’ බව ද පෙනෙයි. එය තවදුරටත් මත්පැන් ව්‍යාප්තියට හේතුවක් නොවේ යයි කිව හැකි ද?
සුරා බදු දෙපාර්තමේන්තුවේ ආයතන කාර්ය තේමාව වන්නේ, ‘නීති විරෝධී මත්පැන් සහ මත් ද්‍රව්‍යවලින් තොර වූ, සෞඛ්‍ය සම්පන්න ජන සමාජයක් බිහි කිරීමයි. ඒ සමගම, රජයේ ප‍්‍රතිපත්තිවලට අනුකූලව සුරා බදු ආදායම් සුරැුකීම සහ ඒවා එක් රැස් කිරීමයි. එසේම රටේ ආර්ථික සංවර්ධන කටයුතු සඳහා රාජ්‍ය ආදායමෙන් කොටසක් රැස්කර දීමත් ඔවුන්ගේ අරමුණකි. (සුරා බදු දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව-2014) මෙහි රට වැසියන් මතින් මුදා ගැනීමේ කතාවක් ඇත්තේම නැත. ඔවුන් කියන්නේ ‘නීති විරෝධී මත්පැන් සහ මත් ද්‍රව්‍ය’ තුරන් කරන බව ය. එසේ කරන්නේ ඉන් රජයේ සුරා බදු ආදායමට හානි වන නිසා ය! මෙහි තේරුම වන්නේ, බලයට එන ආණ්ඩු ‘සුරාව’ රාජ්‍ය ආදායම් පියවා ගැනීමේ උපකරණයක් ලෙස පාවිච්චි කරන බවයි. ඒ අප පෙහොසත් රටක් නො වන බැවිනි. සුරා බදු සල්ලිය යම් තරමක් ‘කිළිටි’ වුව ද, අපට ඉන් මිදෙන්නට තරම් ආර්ථික සමෘද්ධියක් නැත. ඉතින් ‘සුරා බදු’ මත යැපීමෙන් ගැලවිය නො හැක්කේ ය.
සමාජ විලාසිතාව
මත්පැන් සම්බන්ධයෙන් මෑතක සිට නැගෙන විශාල චෝදනාවක් තිබේ. එයින් මහජනයාට ඇති වන රෝගී තත්ත්වයන්ට පිළියම් කිරීම සඳහා අති විශාල සෞඛ්‍ය වියදමක් දරන්නට වෙනවාය යන්න, ඒ චෝදනාවයි. එය පුදුමයට කරුණක් නොවේ. පුදුමය වන්නේ, මේ තරම් මත්පැන් බොන රටක ඇත්තටම එවන් රෝගී තත්ත්වයක් නො තිබුණා නම් පමණි. එහෙත් අනතුර දැන දැනම මිනිස්සු මත්පැනෙහි ඇලී සිටිති. දැන් එය ‘සමාජ විලාසිතාවක්’ බවට පත්වී හමාර ය. ‘සෙට් වීමට’, ‘ටි‍්‍රප් එකට’, ‘පාටියට’ පමණක් නොව, අද ‘මළ ගෙයට’ ද, ‘බණ සහ දානේ ගෙවල්වලට’ ද මත්පැන් නැතිවම බැරි ය!
මුලින් සටහන් කළ තොරතුරු අනුව, රට පුරා හොර සුරා සැල් දෙලක්ෂයක්වත් ඇතැයි උපකල්පනය කෙරේ. සාමාන්‍යයෙන් බලපත‍්‍ර සහිත ආයතනවල මත්පැන් නිපදවෙන්නේ යම් ප‍්‍රමිතියකට යටත්ව ය. එහෙත් හොර සුරාකරුවෝ එවන් ප‍්‍රමිති නො සලකති. පරණ යකඩ, සිමෙන්ති, ඇමෝනියා පොහොර ආදී ඕනෑම දෙයක් දමා හොර මත්පැන් පෙරති. ඒවා අඩු මිලට විකුණති. ඉන් කුමන ආකාරයේ ලෙඩ රෝග හැදෙනවා දැයි කිසිවෙක් දන්නේ නැත. දේශපාලන අනුග‍්‍රහය ලැබීම සහ පොලීසිය ඇතුළු නීතිය ක‍්‍රියාත්මක කරන ආයතනවල දුර්වලතා නිසා හොර සුරා පාලනය කිරීම දුෂ්කර දෙයක්වී තිබේ. කසිප්පු ජාවාරම සම්බන්ධයෙන් මහජනයා අතර ප‍්‍රචලිතව ඇති විහිළු ‘කතාවක්’ මෙසේ ය.
ඇතැම් තැනක, කසිප්පු අල්ලන්නට පොලීසියෙන් පැන්න විට, ඔවුන්ට කසිප්පු මුදලාලි ගෙන් ‘හොඳ’ සංග‍්‍රහයක් ලැබේ. එයට මුදල් කවරයක් ද ඇතුළත් වෙතැයි මිනිස්සු විශ්වාස කරති. ඔවුන් ආපසු යන විට, කසිප්පු බෝතල් දෙක තුනක් ද, ගෝල කොල්ලෙක් ද ලැබේ. පොලීසිය එය ‘වැටලීමක් සේ’ උසාවියට ඉදිරිපත් කරයි. කොල්ලා වරද පිළිගනියි. උසාවිය දඩ ගසයි. ඉතින් ප‍්‍රදේශයේ කසිප්පු ජාවාරම පාලනය කළ බවට පොලීසියේ පොත්වල ද ලියැවෙයි. වැඩේ බොරුවකුත් නොවේ ය. මුදලාලිගේ කසිප්පු පොළ ‘දොළොස් මහේ පහන’ මෙන් හැමදාමත් පවතියි. කසිප්පු ජාවාරම් සම්බන්ධව මෙවන් විහිළු ‘කතා’ රටේ බොහොමයක් තැන්වලින් අසන්නට පුළුවන. සමහර ජාවාරම්කරුවන් දේශපාලනයට ද සම්බන්ධ බැවින් පොලීසියට ද කරන්නට දෙයක් නැත. ගම් මට්ටමේ පොලීසි හෝ සුරා බදු ඒකකවලට ‘නො පෙනෙන’ ජාවාරම්, පානදුර වලානේ, විශේෂ පොලිස් ඒකකය පැමිණ වැටලීමේ රහස ඇත්තේ එතැන ය! ඉතින් ‘නිල මත්පැන්’ මිල වැඩි වන වැඩිවන වාරයක් පාසාම මිනිස්සු ‘හොර මත්පැන්වලට’ (කසිප්පු) නැඹුරු වෙති.
සෑම හැන්දෑවකම හොර මත්පැන් (කසිප්පු) පොළවල් සහ නිල මත්පැන් හල්වලට ඇදී එන පිරිස් නිරීක්ෂණය කිරීමෙන්, මධු ලෝලීන් ගැන යම් අදහසක් ඇතිකර ගත හැකි ය. ‘හොර පොට්වලට’ ඇදී එන වැඩිම පිරිසක් එදිනෙදා කුලී වැඩ කිරීමෙන් ජීවත් වන උදවිය බව බැලූ බැල්මටම පෙනේ. ඔවුන්ට එක්කෝ ‘සීල් අරක්කු’ බොන්නට තරම් මුදල් නැත. නැතිනම් ‘සීල් අරක්කු’, ‘කසිප්පු’ තරම් ‘වදින්නේ’ නැත. ‘නිල බාර්වල’ මෙන් හොර මත්පැන් විකුණන තැන්වල අල්ලාප සල්ලාපයේ යෙදෙමින් රස්තියාදු ගසන්නට නො හැකි ය. එබැවින් එහි එන අය, වැඩේකර ගෙන සැණින් මාරු වෙති. ඔවුන්ගේ මදු පානයට ‘කටගැස්ම’ හෙවත් බයිට් නැති තරම් ය. ඇතැමෙක් ‘කට්ට සම්බල් පැකට්’ එකක් කටට හලා ගනිති.
තවත් මෙබඳුම පිරිසක් හැන්දෑවට නිල මත්පැන් හල්වලට ද (වයින් ස්ටෝර්ස්) එති. ඔවුහු මහත් කලබලකාරී ය. පෝලිම් හෝ පේලි නොතකති. හැකි ඉක්මණින් මත්පැන් මිල දී ගැනීමේ හදිස්සියෙන් පෙළෙති. හරියට ඊළඟ නිමේෂයේ දී මුළු ලෝකයෙන්ම මත්පැන් අවසන් වෙනවා යයි සිතන තරම් හදිස්සිකාරයන් ය. මිල අඩු කාලේ කුප්පි (සැෂේ පැකට්) සහ මධ්‍යසාර ප‍්‍රතිශතය සියයට 05ට වැඩි ‘බියර් කෑන්’ ඔවුන් අතර බෙහෙවින් ජනප‍්‍රිය ය. ඔවුන් ද එදිනෙදා සල්ලියට රැකියා කරන, මීවිතක් සඳහා වැඩි මුදලක් වැය කරන්නට හැකියාවක් නැති උදවිය බව පෙනේ. ඔවුන්ට අවශ්‍ය අඩු මුදලකින් වැඩි ‘කරන්ට්’ එකකි. ඔවුන්ට ඇත්තේ ‘පැකට් බයිට්’ ය. ඇතැම් විට ‘උම්බලකඩ කට්ට සම්බල් පැකට්’ ය.
අවන්හලකට, එළිමහනකට හෝ නිවසකට එක් වෙමින් මස්-මාළු ඩෙවල් ආදී ‘බයිට්’ ද සමගින් මීවිතක් තොල ගෑමත්, දීර්ඝ කාලයක් අල්ලාප සල්ලාපයේ යෙදීමත්, මධ්‍යම පාන්තික මධු ලෝලයන්ගේ සමාජ සිරිතකි. කලින් කී හදිස්සිකාර පිරිස් කෙරෙන් එවන් චර්යාවන් දැකිය නො හැකි ය. ලියුම්කරු මෙයින් කියන්නට උත්සාහ කළේ, මධු ලෝලීන් අතර අඩු ආදායම් ලාභීන් බහුතරයක් සිටින බවයි. ඔවුන් මධු ලෝලීන් වූයේ ‘සෙට් වීමට’ ද? නැතිනම් දවසේ වෙහෙස නිමා කිරීමට ද?, නැතිනම් වෙනත් හේතූන් නිසා ද?, එසේම මධ්‍යම පාන්තිකයන් මධු ලෝලීන් වූයේ මන් ද?. මත්පැන් හදිසියේ පහළ වුණු ප‍්‍රපංචයක් නොවේ. මත්පැන් බුදුන් වහන්සේගේ කාලයේ දීත් පැවති බව, බෞද්ධ කතාවල ද එයි. එය සමාජයෙන් තුරන් කිරීම ද අසීරු ය. එහෙත් මෑත කාලයේ ජන සමාජය, අධික මධු ලෝලීත්වයක් වැළඳ ගත්තේ කුමන හේතූන් නිසා ද? යන්න ගැටළුවකි. එය කුටුම්භ තුළ ආර්ථික ගැටළුවක් ද මතු කරන්නේ ය. අධික මධු ලෝලීත්වය, අපරාධවලට ද හේතුවක් බවට විශ්වාසයක් ද වෙයි. ලියුම්කරු සිතන්නේ, ජන සමාජය අධික මධු ලෝලීත්වයක් වැළඳ ගත්තේ කුමන හේතූන් නිසා ද? යන ප‍්‍රශ්නයට සමාජ විද්‍යාව පැත්තෙන් පුළුල් පිළිතුරක් සහ විග‍්‍රහයක් ලැබිය යුතු බවයි.
එසේ නැතිව ‘නිල’ මත්පැන්වල මිල ඉහළ දැමීම පමණක්, සමාජය මතින් මුදා ගැනීමේ ක‍්‍රමවේදයක් ලෙස ගණන් ගත නො හැකි ය.
(පින්තූර අන්තර්ජාලයෙනි)
2015/10/08.
chronic alcoholism needs treatment; , මත්පැන් මිල ඉහළ දැමීම පිළියමක් නොවේ
ReplyDelete