Total Pageviews

Sunday, October 18, 2015

කොළඹ ජන තදබදය ඉහළ යයි


වසම් 13ක වර්ග කිලෝමීටරයකට 
30,000කට අධික ජනගහණයක්

(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
කොළඹ නගරය ජනගහණ ඝනත්වය
^Population Density& අතින්, ආසියාවේ උග‍්‍ර ජන තදබදයක් සහිත නගරයක් බවට පත් වෙමින් තිබේ. ලංකාවේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ අලූත්ම වාර්තා අනුව, වර්ග කිලෝමීටර් 37.3ක් පුරාවට පැතිර ඇති කොළඹ නගරයේ ජනගහණ ඝනත්වය දැන්, වර්ග කිලෝමීටරයකට පුද්ගලයන් 13,364කි. එසේ වුව ද, නගරය ඇතුළත පිහිටි ඉතා ජනාකීර්ණ ග‍්‍රාම නිලධාරී වසම් කිහිපයක ජනගහණ ඝනත්වය, වර්ග කිලෝමීටරයකට පුද්ගලයන් 30,000ද ඉක්මවයි! මෙය සුවිශේෂ තත්ත්වයකි.
 


2012 වසරේ දීප ව්‍යාප්තව පවත් වන්නට යෙදුණු ජන සංගණනයේ තොරතුරු ඇසුරින්, ඔවුන් මේ බව හෙළි කරන්නේ ‘1st Issue-2015’ නමැති ප‍්‍රවෘත්ති බුලටිනය මගිනි. කොළඹ නගරයේ ජනගහණයට සම්බන්ධ අලූත්ම තොරතුරු රාශියක්ම එහි ඇතුළත් ය. ඉන් සමහර කරුණු මහත් කුතුහලය දනවන තරම් වෙතියි කිව යුතු වේ. මෙම සටහන ලියැවෙන්නේ, ඒ ගැන හෙළි කරනු රිසියෙනි.
 
අනුවේදනීය තදබදයක්
වාර්තාවෙහි සඳහන් කරුණු කියවා ගෙන යද්දී, ලියුම්කරුට පැරණි අත්දැකීම් දෙකක් ද සිහිපත් විය. ඒ දෙකම, කොළඹ ජනගහණ තදබදයේ වෙනස් පැතිකඩවල් හෙළි කරන බැවින් මෙහි සඳහන් කරන්නෙමි. ඒවා ඇත්තටම ඉතා සංවේදී, අනුවේදනීය කතා පුවත් ය.
 
ඒ 2000 දශකයේ මැද භාගයයි. එවකට ‘ලක්බිම’ පුවත්පතේ ගිරාඳුරුකෝට්ටේ  ප‍්‍රවෘත්ති ලේඛකයා වූයේ, චන්ද්‍රාලෝක සමරනායක නම් මහතෙකි. (ඔහු දැන් ජීවතුන් අතර නැත) වෘත්තියෙන් දුම්රිය ආරක්ෂක හමුදාවේ සැරයන්වරයෙකු වූ හෙතෙම, එකල රාජකාරි කළේ මරදාන දුම්රිය පොළට අනුබද්ධව ය. ඔහු වික්ටෝරියා ජලාශයට ඉඩම් හසු වීම නිසා, මහනුවර තෙල්දෙණියේ සිට ගිරාඳුරුකෝට්ටේට යන්නට සිදුවූ තැනැත්තෙකි.
 
ලියුම්කරුගේ පැරණි හිතවතෙකු වූ චන්ද්‍රාලෝක මහතා, දිනක් හැන්දෑ යාමයේ ‘මීවිතකට’ ඇරයුම් කළේ ය.  මීවිත හමුව පැවැත්වෙන්නේ, ලක්බිම කන්තෝරුවට පෙනෙන දුරින්, ග‍්‍රෑන්ඩ්පාස් ප‍්‍රදේශයේ ස්ථානයක ය. එය, ආමර් වීදියට නුදුරු දිවුල් ගස් හන්දියෙන් ඉහළට යන මාවතේ ගොස්, ඇතුළට හැරී යන අඳුරු පටු මගකි. දෙපැත්තේම කුඩා ගෙවල්වලට ඇරුණු පටු මග, පොදු වැසිකිළියක් අසලින් තවත් කොහේට දෝ යැවෙන කුඩා පියගැට පෙළකින් අවසන් විය. පොදු වැසිකිළිය ආසන්නයේ, පරණ ටයර් සහ ටියුබ් රැස්කරන හුණ්ඩුවක් බඳු කඩයකි. එය චන්ද්‍රාලෝක මහත්තයාගේ මිතුරාගේ කඩයයයි. මිතුරා ද නුවර වැසියෙකි. මීවිත හමුව පැවැත්වෙන්නේ ටයර්-ටියුබ් කඩය ඇතුළේ ය. එය අමුතුම තැනකි. පරණ ටයර් ගොඩක් මත රැඳවූ දිගු දොර ලෑල්ලක්, මේසයක වෙස් ගෙන තිබිණි. තවත් ටයර් කිහිපයක් මත ලෑලි කෑලි තබා අසුන් සකස්කර තිබිණි. මීවිත හමුවට සිව් දෙනෙකි. ඒ චන්ද්‍රාලෝකත්, මමත්, ටයර් මිතුරා සහ ඔහුගේ සහායකයාත් ය. අපි අල්ලාප සල්ලාපයේ යෙදෙමින් බොහෝ රෑ වන තුරු එහි ගත කළෙමු.
 
අපේ මීවිත හමුවට යම් ඉඩකඩක් තිබුණු බව ඇත්ත ය. එහෙත් ටයර් ටියුබ් ගොඩවල් අතරේ ද තුන් හතර දෙනෙක් සැපට නිදා ගෙන සිටියහ. කඩය ඉදිරිපිට පටු මාවතේ ද මිනිස්සු ය. සමහරු පුටු එළියේ තබා ගෙන ‘ ඕමි’ ගසති. සමහරු කැරම් ගසති. තවත් අය බර කතා බහේ ය. දැන් වේලාව රාත‍්‍රී 11.00ත් පසුවී ගොසිනි. මිනිසුන් එළියේ සිටියාට, නිවෙස්වල දොර ජනෙල් වසා දමලා ය. වැසිකිළි ගන්ධය ද පිරිවරා ගෙන වරින්වර හමන සුළගේ එතී, ‘ගංජා සූස්තියක’ සුවඳක් ද නාස් පුඩු කොනිත්තයි.
 
‘මහත්තයා, ඔය එක කට්ටියක් දැන් ගේ ඇතුළේ නිදි. පාන්දර එක විතර වෙන කොට එයාලා ඇහැරෙනවා. එතකොට එළියේ හිටපු අය ගෙට ගිහින් නිදා ගන්නවා. පැක්ටරිවල රෑ වැඩ කරලා එන අයත් නිදා ගන්නේ ඒ වෙලාවටයි. එහෙම නැතිව ගෙදර සේරමලාට එකට නිදා ගන්න තරම් මේ ගෙවල් ඉඩ නෑ. මමත් මේකේ නිදා ගන්නේ පාන්දර ජාමෙට’, පටු මගෙහි විසිර සිටින මිනිසුන් පිළිබඳ මගේ කුතුහලය තේරුම් ගනිමින් ටයර් කඩේ හිතවතා පැවසී ය. ඔහු දැන් වසර 10-15ක් ඒ අත්දැකීම ලබන්නෙකි!
 



ඉහළ ධනවතුන්ගේ සහ මධ්‍යම පාන්තිකයන්ගේ නිවාස හැරුණු විට, කොළඹ නගරයේ ඇති බහුතරයක් නිවාස බෙහෙවින් කුඩා ය. නිවැසි සියල්ලන්ටම එකවර නිදා ගන්නට තරම් ඒවායෙහි ඉඩකඩ නැත. එබැවින් මිනිස්සු රාත‍්‍රියට ‘ෂිප්ට් එකට’ හෙවත් ‘මාරුවෙන් මාරුවට’ නිදා ගනිති. එහෙත් වැසි දිනවලට නම් තත්ත්වය බරපතල ය! සමහර අය නිදා ගන්නේ දහවලට ය. මේ තත්ත්වය කොළඹ නගරයේ ‘වතු’ නමින් හඳුන්වන පැල්පත් නිවාස ආශ‍්‍රිතව බහුලව දක්නට ලැබේ.
 
කොළඹ ජන තදබදය ගැන දෙවැනි අත්දැකීම ලැබුවේ ද ‘ලක්බිම’ කන්තෝරුව අසල දී ය. එදා ද රාත‍්‍රී 11.30ට පමණ සේවය නිම වී නවාතැන බලා යමින් සිටියෙමි. වාහනය පත්තර කන්තෝරුවට අයත් ත‍්‍රී රෝද රථයකි. එහි රියදුරා, කන්තෝරුව අසල ‘වත්තක’ පදිංචි තරුණයෙකි. ත‍්‍රී වීලරය කන්තෝරුවෙන් ගමන පටන් ගෙන, සිරිමාවෝ බණ්ඩාරනායක මාවතෙන් කොස්ගස් හන්දිය (ග‍්‍රෑන්ඞ්පාස්) පැත්තට හැරෙව්වා පමණි. හරවන තැනම ‘වයිට් හවුස්’ නමින් ප‍්‍රකට ගෙස්ට් හවුසියකි.
 
අප යන විට එතැන පාරේ 25ක 30ක සෙනග පිරිලා ය. රියදුරා එක්වරම වාහනය නතර කළේ ය. ‘මොකක් හරි කේස් එකක් ද දන්නෙ නෑ’, මම කීවෙමි. මහ රෑ 11.30ට ගෙස්ට් හවුසියක් ඉදිරි පිට මේ තරම් සෙනගක් රැස්ව සිටීම මට මහත් අමුත්තකි. ගැහැණුන් සහ මිනිසුන් පෝලිම් ගැසී ගෙස්ට් හවුස්වලට යන බවක් ද මා අසා නැත. රියදුරා, රථයේ සිටම එතැන සිටි කවුදෝ සමග වචනයක් දෙකක් කතාකර, යළි ගමනට පිළිපන්නේ ය.
 
‘ඇයි ඒ ගොල්ලෝ?’ මම ඇසුවෙමි.
 
‘අපේ වත්තෙ කට්ටිය!’, ඔහු උත්තර දුන්නේ ය.
 
‘ඇයි ඉතින් එතැන පිරිලා?’ මම යළිත් ඇසුවෙමි.
 


රියදුරා නිහඬ ය. රථය දැන් ඔරුගොඩවත්ත ඔස්සේ ගමන් කරයි. අප වැල්ලම්පිටිය, රාජගිරිය ඔස්සේ නුගේගොඩට යා යුතු ය. මද වේලාවකින් ඔහු බොහොම සීරුවට, දිගු පිළිතුරක් ගොනු කළේ ය.
 
‘අද නගර සභාවේ පඩි දවසනේ මහත්තයා. ඔය අපේ වතුවල හුඟ දෙනෙක් වැඩ කරන්නේ ඒකෙ. වතුවල ගෙවල් ඉතින් දන්නවනේ. ඒවයේ කාමර නෑ. හැමෝම ඉන්නේ එකට. පුංචි පුංචි ගෙවල්. ගෙදර හැමෝටම ඉන්න ඉඩත් නෑ. අලූත බැඳපු අයට, තරුණ කපල්වලට ඉතිං කේස් නේ. ඉතිං පඩි ගත්තාම උන් ඔය ගෙස්ට් එකට එනවා!’ රිය පදවන අතර ඔහු කියයි.
 
‘මාරයි, එහෙමත් ප‍්‍රශ්නයක් තියෙනව ද?’ මට එක්වරම කියැවිණි.
 
‘දැන් ඔය කට්ටියක් ඇතුළේ. ඒ අය එළියට ආවාම අනිත් අය යනවා!’ යයි කී රියදුරා, ‘ ඕක පත්තරේට නම් ලියන්න එපා’ යනුවෙන් ඉල්ලීමක් ද කළේ ය.
 
මේ, කොළඹ යයි කියන මහේශාක්‍ය පුරවරයේ නිවසන  හුදී ජනයින්ගේ කතාවයි! පුරවරය අලංකාරවත් බව ඇත්ත ය. එහෙත් සුවසේ නිදන්නටත්, අනෙකුත් පෞද්ගලික හැසිරීම් නිදහසේ පවත්වන්නටත්, ඉඩක් එහි නැත!
 
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ තොරතුරු සමූහය සහ මුලින් කී කතා පුවත් දෙක අතර කිසිදු සම්බන්ධයක් නැත. එහෙත් ඉන් පිළිබිඹු වූ, කොළඹ මානව සමාජයේ අඳුරු අහුමුළුවල දුක්ඛිත හැඩතල, ඔවුන් ඉලක්කම් සමූහයකින් අපූරුවට චිත‍්‍රණයකර තිබේ.
 
කොළඹ විත්ති 
කොළඹ, ලංකාවේ අධිකතම ජනගහණයක් සහිත දිස්ත‍්‍රික්කයයි. 2012 වසරේ එහි ජනගහණය 23,09,809කි. එහි ජනගහණ ඝනත්වය වර්ග කිලෝමීටරයකට පුද්ගලයන් 3438කි. දිස්ත‍්‍රික් මට්ටම එසේ වුව ද, කොළඹ නගරයේ තත්ත්වය බෙහොම වෙනස් ය.
 
කොළඹ, ලංකාවේ අධිකතම ජනගහණයක් සහිත නගරයයි. එය රටේ වෙළෙඳ අගනුවර ද වෙයි. රටේ ප‍්‍රධාන වරාය, කොටුව සහ මරදාන දුම්රිය පොළ, ප‍්‍රධාන බස් නැවතුම් පොළ, ප‍්‍රධාන කාර්යාල, බැංකු, රේගු, තැපැල්, පොලිස් සහ හමුදා මූලස්ථාන, ජාතික රෝහල, අධිකරණ සංකීර්ණ, වෙළෙඳපොළ, නගර සභාව, සංචාරක හෝටල සහ පෞද්ගලික වෙළෙඳ සමාගම් ආදී ස්ථාන ගණනාවක්ම ඒ තුළ පිහිටා තිබේ. එබැවින් දිනකට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් කොළඹ නගරය පරිහරණය කරති. එසේම, එහි සෑම අස්සක් මුල්ලක්ම බෙහෙවින් ජනාකීර්ණ ය.
 
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අලූත්ම තොරතුරු අනුව, 2012 වසරේ කොළඹ නගරයේ සමස්ත ජනගහණය, 5,61,314කි. එතරම් පිරිසක් නිවසන කොළඹ නගරයේ සමස්ත භූමි ප‍්‍රමාණය, වර්ග කිලෝමීටර් 37.3කි. එබැවින් කොළඹ නගරය නමැති කුඩා භූමිය තුළ, අධික ජන ඝනත්වයක් දක්නට ලැබේ. එය වර්ග කිලෝමීටර් එකකට, පුද්ගලයන් 13,364කි. සාමාන්‍යයෙන් ලංකාවේ ජාතික ජනගහණ ඝනත්වය, වර්ග කිලෝමීටරයකට පුද්ගලයක් 325කි. ඒ අනුව බැලූව හොත්, කොළඹ නගරයේ ජන ඝනත්වය සිතා ගැනීමටත් බැරි තරම් ය!
 


කොළඹ නගරයේ ජන පිරිස, දෙ කොටසකට බෙදා දැක්විය හැකි ය. එක් කොටසක් කොළඹ නගරයේ නිවසන ස්ථිර පදිංචිකරුවන් ය. අනෙක් පිරිස, රැකීරක්ෂා සහ අනෙකුත් කටයුතු පිණිස පිටතින් එහි එන උදවියයි. රජයට අයත් ‘buildsrilanka.com’ වෙබ් අඩවියට අනුව, සෑම වැඩ කරන දිනයකම පිටතින් ඇදී එන ලක්ෂ 15ක පමණ ජන පිරිසක් කොළඹ නගරය පරිහරණය කරති. ඒ, නගරයේ ස්ථිර පදිංචිකරුවන්ට අමතරව ය. එහි සඳහන් වන අන්දමට, දිනකට කොළඹ නගරයට එන මගී බස් රථ සංඛ්‍යාව 27,215කි. ඉන් පැමිණෙන මගීන් සංඛ්‍යාව 9,58,000ක් පමණ වේ. දිනකට එහි එන පෞද්ගලික වාහන සංඛ්‍යාව 2,43,459කි. ඉන් පැමිණෙන පුද්ගලයන් සංඛ්‍යාව 5,60,132ක් පමණ වේ. දෛනිකව කොළඹට එන දුම්රිය ද ගණනාවකි. ඉන් දිනකට පැමිණෙන පුද්ගලයන් ගණන, 1,65,000ක් බව ඇස්තමේන්තුකර තිබේ. buildsrilanka.com වෙබ් අඩවිය පවසන අන්දමට, කොළඹ නගරයට රථවාහන පිවිසෙන ස්ථාන 09ක් තිබේ. ඉන් දෛනිකව කොළඹට ඇතුළුවන වාහන සංඛ්‍යාව 2,75,000කි. මේ අනුව දහවල් කාලයට ලක්ෂ 20ක පමණ පිරිසක් කොළඹ නගරයේ රැඳෙති. වර්ග කිලෝමීටර් 37.3ක් වන කුඩා භූමියකට, මේ සියලූ ජනස්කන්ධය  සහ වාහන සම්භාරය දරා ගැනීමට සිදුවී තිබේ. එය කොළඹ නගරය මුහුණ දෙන වර්තමාන ඛේදවාචකයයි.
 
පරිපාලනමය වශයෙන් ගත් කල, කොළඹ නගරය තුළ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙකක් තිබේ. ඒ, කොළඹ සහ තිඹිරිගස්යාය යනුවෙනි. මින් කොළඹ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට ග‍්‍රාම නිලධාරී වසම් 20කි. තිඹිරිගස්යාය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට ග‍්‍රාම නිලධාරී වසම් 35කි. ඒ අනුව, කොළඹ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජනගහණ ඝනත්වය, වර්ග කිලෝමීටරයකට පුද්ගලයන් 17,959ක් බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියයි. තිඹිරිගස්යාය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජනගහණ ඝනත්වය, වර්ග කිලෝමීටරයකට පුද්ගලයන් 9919කි. කොළඹ නගරයෙන් ද, කොළඹ කොටුවට තදාසන්න ඉසව්ව ජන ඝනත්වයෙන් අධික බව ඉන් පෙනී යයි.
 
කොළඹ නගරයේ ජනගහණ ඝනත්වය වර්ග කිලෝමීටර් එකකට, පුද්ගලයන් 13,364ක් බව ඉහතින් සඳහන් කළෙමු. එසේ වුව ද, නගරයේ ඇතුළත තත්ත්වය ඊට වඩා වෙනස් ය. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වාර්තාවේ දැක්වෙන ආකාරයට, ජින්තුපිටිය, මසංගස්වීදිය, ඛෙත්තාරාම, නැ/අලූත්කඬේ, බ/අලූත්කඬේ, ද/කොච්චිකඬේ, පංචිකාවත්ත, මාලිගාවත්ත, මාලිගාකන්ද, කොම්පඤ්ඤවීදිය, නවගම්පුර, මාදම්පිටිය, සහ සමන්තාරණපුර යන ග‍්‍රාම නිලධාරී වසම්වල වර්ග කිලෝමීටරයකට පුද්ගලයන් 30,000කට අධික ජන ඝනත්වයක් දක්නට ලැබේ.
 
වර්ෂ 1871 දී කොළඹ නගරයේ ජනගහණ ඝනත්වය, වර්ග කිලෝමීටරයකට පුද්ගලයන් 3917කි. වර්ෂ 1971 වන විට එය, වර්ග කිලෝමීටරයකට පුද්ගලයන් 15,075ක් දක්වා ඉහළ ගියේ ය. 2001 දී එය තවදුරටත් ඉහළ ගොස්, කොළඹ නගරයේ ජනගහණ ඝනත්වය, වර්ග කිලෝමීටරයකට පුද්ගලයන් 15,407ක් විය. දැන් 2012 දී එය 13,364කි. ඒ අනුව බලන විට, කොළඹ නගරය එහි ජනගහණ ඝනත්වය යම් තරමකට අඩුකර ගෙන තිබේ.
 
‘විකිපීඩියා’ අන්තර්ජාල විශ්වකෝෂයට අනුව, අපේ අසල්වැසි ඉන්දියාවේ මුම්බායි නගරයේ භූමි ප‍්‍රමාණය වර්ග කිලෝමීටර් 603කි. එහි වර්ග කිලෝමීටරයකට පුද්ගලයන් 20,973ක ජන ඝනත්වයක් දක්නට ලැබේ. කල්කටා නගරයේ ජනගහණ ඝනත්වය, වර්ග කිලෝමීටරයකට පුද්ගලයන් 22,355කි. චෙන්නායි නගරයේ ජනගහණ ඝනත්වය, වර්ග කිලෝමීටරයකට පුද්ගලයන් 11,238කි. ලන්ඩන් නගරයේ ජනගහණ ඝනත්වය, වර්ග කිලෝමීටරයකට පුද්ගලයන් 5362කි. නිව්යෝක් නගරයේ ජනගහණ ඝනත්වය, වර්ග කිලෝමීටරයකට පුද්ගලයන් 10,833කි. සියොල් නගරයේ ජනගහණ ඝනත්වය, වර්ග කිලෝමීටරයකට පුද්ගලයන් 17,164කි. ටෝකියෝ  නගරයේ ජනගහණ ඝනත්වය, වර්ග කිලෝමීටරයකට පුද්ගලයන් 6075කි. ඒ අනුව, කොළඹ නගරය ද, ලොව අධික ජන ඝනත්වයක් ඇති නගරයක් බවට පත්ව තිබේ. කෙසේ වෙතත්, ලන්ඩන්, ටෝකියෝ වැනි දියුණු නගර, සිය ජන ඝනත්වය පාලනයකර ගෙන ඇති බව පෙනී යයි.
 
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වාර්තාව අනුව කොළඹ පදිංචිකරුවන් ගෙන්, සියයට 36.7ක් සිංහලයන් ය. සියයට 29.8ක් ලංකා දෙමළ ජාතිකයන් ය. ලංකා යෝනක ප‍්‍රතිශතය සියයට 29.5කි. ඉන්දීය දෙමළ ජාතික ප‍්‍රතිශතය සියයට 1.7කි.
 


අධික ජනගහණයක් පැවතිය ද, කොළඹ නගරයේ නිවැසි ජනයාගේ අධ්‍යාපන තත්ත්වය එතරම් උසස් නොවේ! ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වාර්තාවේ දැක්වෙන ආකාරයට කොළඹ නගරයේ පදිංචිකරුවන් ගෙන්, සියයට 38.3ක්ම 10 ශ්‍රේණිය සමතුන් ය. තවත් සියයට 18.8ක් 05 ශ්‍රේණිය සමතුන් වන අතර, සියයට 18.3ක් සාමාන්‍ය පෙළ මට්ටමේ අධ්‍යාපනයක් ලැබූ අයයි. උසස් පෙළ මට්ටමේ අධ්‍යාපනයක් ලැබූ පිරිස සියයට 14.1කි. උපාධි හෝ ඊට එහා අධ්‍යාපනය ලැබූ පිරිස සියයට 4.9කි. කොහෙත්ම පාසැල් නො ගිය පිරිස සියයට 3.9කි. මින් පිළිබිඹු වන්නේ ජන සම්පතින් පෙහොසත් වුව ද, කොළඹ නිවැසියන් ඉහළ අධ්‍යාපනයක් ගැන උනන්දු නො වන බව ද?
2015/10/19.



No comments:

Post a Comment