Total Pageviews

Saturday, March 21, 2015

වර්ෂාව වෙනස් වීමේ අර්බුදය

වැස්ස පාර වෙනස් කරලා




 (ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
‘න්‍යෂ්ටික සඳෙස’, ශ‍්‍රී ලංකා පරමාණු ශක්ති අධිකාරිය මගින් පළ කරන විද්‍යුත් සඟරාවකි. එහි මංගල කලාපයේ (ISSN: 2386 - 1096) එක්තරා ලිපියක, ලංකාවේ ප‍්‍රධාන ආහාරය වූ ‘බත’ නිෂ්පාදනයට දැඩිව බලපාන කාරණයක් ඉස්මතු කර තිබිණි. ‘මෝසම් වැසි සමයත් වෙනස් වෙලාද ?’ යන්න ලිපියෙහි සිරස්තලය විය. ගත වූ දශකයට ආසන්න කාලය තුළ සම්මත වර්ෂාපතන රටාව වෙනස්වී ඇති බව ඉන් හෙළිදරව් කර තිබිණි.

සාමාන්‍යයෙන් ලංකාවේ වර්ෂාපතන රටාව, නිරිත දින සහ ඊසාන දිග යන ප‍්‍රධාන මෝසම් වැසි වකවානු දෙකකින්ද, අන්තර් මෝසම් වැසි වකවානු දෙකකින්ද සමන්විත ය. රටේ ප‍්‍රධාන ආහාර බෝගය වන වී වගා කිරීම සඳහා ‘යල - මහ’ කන්න රටාව සකස් කර ගෙන ඇත්තේ ද වැසි වකවානු පදනම් කර ගනිමිනි. මින් නිරිත දිග මෝසම් සමය, මහ කන්නයේ වී වගාවටය. ඊසාන දිග මෝසම් සමය, යල කන්නයේ වී වගාවටය. බත රටේ ප‍්‍රධාන ආහාරයයි. එය නිපැයෙන්නේ වී වගාවෙනි. 2013 වසරේ මහ බැංකු සංඛ්‍යා ලේඛන අනුව, ලංකවේ වාර්ෂික වී නිපැයුම, මෙටි‍්‍රක් ටොන් 46,21,000ක් පමණ වන අතර එය උපයා ගැනීම සඳහා හෙක්ටයාර් 12,27,000ක පමණ භූමියක වී වගා කෙරේ. ඉන් ලැබෙන වී අස්වැන්න සමස්ථ රට වැසියන්ගේම ප‍්‍රධාන ආහාරයයි. එබැවින් මොන යම් කාරණයක් නිසා හෝ රටේ සම්මත වර්ෂාපතන රටාව වෙනස්වීම, අතිශය බැරෑරුම් කාරණයකි.

වී පමණක් නොවේ ආහාරයට ගන්නා වැවිලි බෝග, ආහාර නොවන වැවිලි බෝග ආදී මිහිපිට සිටින අනෙකුත් ශාක සංහතියද, සත්ත්ව සංහතියද, යැපෙනුයේ රටට ලැබෙන වර්ෂාව, අව්ව, වැස්ස ආදී සොබාදහම් ප‍්‍රපංචයන් ගෙනි. එබැවින් සම්මත වර්ෂාපතන රටාවෙහි වෙනස්කම් ඇතිවීම සංවේදී කාරණයකි.

සාමාන්‍යයෙන් ලංකවේ පළමු අන්තර් මෝසම් වැසි සමය එළඹෙන්නේ මාර්තු සහ අප‍්‍රියෙල් යන මාසවලය. ඊළඟට රටට වැඩිම වර්ෂාවක් ලැබෙන නිරිතදිග මෝසම් සමය, මැයි මාසයෙන් පටන් ගෙන සැප්තැම්බර් මාසයේ අවසානය තෙක් දිවෙයි. එතැනින් පසුව දෙවැනි අන්තර් මෝසම් සමයත්, ඉනික්බිතිව ඊසාන දිග මෝසම් සමයත් එළඹෙයි. පරමාණුක ශක්ති අධිකාරිය පවසන්නේ දැන් මේ සම්මත වකවානු වෙනස් වී ඇති බවයි.

ඔවුන්ගේ පර්යේෂණ අනුව, පළමු අන්තර් මෝසම් සමය මාර්තු මාසයේ සිට මැයි මාසය දක්වා දිර්ඝ වී තිබේ. සම්මත වැසි රටාවන් අනුව, මාර්තු මාසයෙන් ඇරඹෙන පළමු අන්තර් මෝසම් සමය අප‍්‍රියෙල් මාසයෙන් හමාර වේ. නව සොයා ගැනීම අනුව එය මැයි මාසය තෙක් දීර්ඝ වී ගොසිනි. සිංහල මාස ක‍්‍රමය අනුව අප‍්‍රියෙල් යනු බක් මාසයයි. මාර්තුවේ හෝ අප‍්‍රියෙල් මුල් සතියේදී මහ කන්නයේදී අස්වනු නෙලා ගන්නා ගොවීහු සිංහල හා හින්දු අලූත් අවුරුද්ද සමරති. ඉන් පසුව ඊළඟ යල කන්නයේ වගා කටයුතු ඇරඹීම පිණිස කුඹුරුවලට බසිති. පළමු අන්තර් මෝසම් සමය අප‍්‍රියෙල් මාසය දක්වා දීර්ඝ වූවාය යන්නෙහි අරුත, යල කන්නයේ කෙරෙන වී වගාවේ මුල් අවධිය (පැළපත) වර්ෂාවට හසුවෙනවාය යන්නයි. නව පර්යේෂණයෙන් හෙළි වුණු අනෙක් කාරණය ද වී වගාව සම්බන්ධයෙන් අතිශයින්ම වැදගත්ය. ඉන් කියැවෙන්නේ, නිරිත දිග මෝසම් සමය බල පැවැත්වෙන කාලසීමාව දැන් අඩු වී ගොස් ඇති බවයි. ඒ අනුව නිරිත දිග මෝසම් සමය බල පැවැත්වෙන්නේ, ජුනි සිට සැප්තැම්බර් මාසය දක්වාය. සම්මත වැසි වකවානුවල හැටියට නම් අපේ රටේ නිරිත දිග මෝසම් සමය පටන් ගන්නේ මැයි මාසයෙනි. එය රටට වාර්ෂිකව මිලිමීටර් 100ත් 300ත් අතර වර්ෂාවක් ලබාදී, සැප්තැම්බර් මාසය අග භාගයේදී හමාර වේ. පරමාණුක ශක්ති අධිකාරියේ පර්යේෂණය අනුව, වර්තමාන නිරිත දිග මෝසම් වැසි සමය දැන් මාස හතරක් දක්වා අඩු වී ගොසිනි.


 වී වගාව සම්බන්ධයෙන් ගත් කළ, නිරිත දිග මෝසම් වැසි සමය රටට අතිශයින්ම වැදගත්ය. යල කන්නයේ වී වගාවෙහි තරුණ අවධියට දියවර සැපයීම මෙන්ම, ඊළඟ මහ කන්නයේ වී ගොවිතැන් සඳහා වැව් අමුණු පුරවා දියවර සකසා දීම කෙරෙන්නේ ද නිරිත දිග මෝසමෙන් එන වැසි මගිනි. අනෙක රටට වැඩිම වර්ෂාපතනයක් ලබා දෙන්නේ ද එයිනි. එබැවින් එය ඉතා වැදගත් ය.

අලූත් තොරතුරුවලින් පෙනී යන්නේ, යල කන්නයේ වී වගාවට ජලය අධික තත්ත්වයක් ඇති වන්නට යන බවයි. අනෙක් පැත්තෙන්, මහ කන්නයේ වී වගාවට ලැබිය යුතු ජල සැපයුමෙන් මාසයක් අඩු වී යන බවයි. තවත් පැහැදිලිව කියන්නේ නම් මහ කන්නයේ වී වගාවන් ආරම්භයේදී ප‍්‍රමාණවත් තරම් ජලය නොලැබීමේ තත්ත්වයක් උද්ගත විය හැකි බවයි. අනෙක රටේ වැඩිම වී වගා භූමියක් අස්වැද්දෙන්නේ ද මහ කන්නයටය. ඉන් නිපැයෙන වී අස්වනු තොගය රටේ ලොකුම ආහාර සම්පත ද වෙයි. එබැවින් නිරිත දිග මෝසම් සමය මාස පහේ සිට මාස හතරක් දක්වා කෙටිවීම බරපතළ ප‍්‍රශ්නයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

වී ගොවිතැන යනු වර්ෂාව, ජලය, හිරු එළිය සහ පසෙහි ඇති ගුණාත්මකභාවය මත පදනම් වන ක‍්‍රියාවලියකි. සරු අස්වැන්නක් ලැබීමට නම් කලට වැසි මෙන්ම පීදුම් සමයේදී ප‍්‍රමාණවත් තරම් සූර්යාලෝකයක් ලැබීම ද වැදගත් වේ. දේශගුණික විපර්යාසයන් මත පදනම්ව ඒ කාරණා වෙනස් වීම ගැටලූ සහගත තත්ත්වයකි.



පැරණි ගොවීන් සිය වගා ක‍්‍රම සහ  වගා කාලසටහන් සකසා ගන්නේ, දේශගුණික විපර්යාස සහ කාලගුණික ප‍්‍රපංචයන් ගැන පාරම්පරිකව ලත් දැනුම් සම්භාරය ඔස්සේය. කැකුළම හෝ ගොඩට ඇල් වී වැපිරීම සහ අඩු වයස් වී හෝ වැඩි වයස් වී වැපිරීම මගින් ඔවුහු දේශගුණික සංසිද්ධිවල බලපෑම් සීරුමාරු කර ගත්හ. දැන් එහෙම නැත. මහා සහ මධ්‍ය පරිමාණ වාරිමාර්ග යටතේ ඇති කුඹුරුවලට දියවර නිකුත් කරන වකවානු තීන්දු කරන්නේ මහවැලි ජල පාලන ලේකම් කාර්යාලය මගිනි. දිස්ත‍්‍රික් ලේකම්වරුන් මගින් කැඳවන කන්න රැුස්වීම්වලදී ඒ දින වකවානු ගොවීන්ට දැනුම් දෙනු ලැබේ. එහිදි ගොවීන්ගේ පාරම්පරික දැනුමට, අත්දැකීමට තැනක් නැත. ඔවුන් සාමාන්‍යයෙන් මහ කන්නයේ වී වගා වැඩට වතුර දීම පටන් ගන්නේ ඔක්තෝබර් මාසයේ සිටය. යල කන්නය සඳහා අප‍්‍රියෙල් මාසයේ සිටය. එබැවින් නිතරම පාහේ ගොවීන්ට සිදු වන්නේ මාස තුනේ, තුනහමාරේ වී වර්ග වපුරන්නටය. 

වර්ෂා රටාව ගැන සළකා නොබලමින් කෙරෙන වී වගා, බොහෝවිට කෘමි උවදුරුවලට ලක්වෙයි. වැසි හෝ නියඟ විපත්වලට හසුවෙයි. රටේ බොහොමයක් පෙදෙස්වල මෙවර මහ කන්නයේ වී අස්වනු නෙලීම වර්ෂාවට හසු විය. ජල පාලන ලේකම් කාර්යාලය මාර්තු 17 වැනිදා නිකුත් කළ දත්ත අනුව, රටේ ප‍්‍රධාන වී වගා ප‍්‍රදේශවල ජලාශ බහුතරයක් (ජලාශ 19ක් පමණ) ඉතා ඉහළින්ම පිරී ගොසිනි. එහි තේරුම, ඉකුත් කාලයෙහි රටට විශාල වර්ෂාපතනයක් ලැබුණු බවය.

පරමාණු ශක්ති අධිකාරිය කන්න හැටියට ලංකාවේ වර්ෂ රටාව වෙනස්වීම, ඉතා ගැඹුරින් කතිකා කළ යුතු කාරණයකි. රටට නව වගා කාල සටහනක් හදාගත යුත්තේ ඒ අනුව යමිනි. 


අර්බුදයේ තරම

‘න්‍යෂ්ටික සඳෙස’ විද්‍යුත් සඟරාවේ පළ වූ ලිපිය මේ සමග පළ වේ. 


‘මැයි සිට සැප්තැම්බර් දක්වා ලැබෙන නිරිත දිග මෝසම් වැස්සත්, දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා ලැබෙන ඊසාන දිග මෝසම් වැස්සත් අපට බලපාන ප‍්‍රධාන වැසි වේ. ඊට අමතරව වසරේ පළමු අන්තර් මෝසම මාර්තු සිට අපේ‍්‍රල් දක්වා  කාලය තුළද දෙවන අන්තර් මෝසම ඔක්තෝබර් සිට නොවැම්බර් දක්වා කාලය තුළ ද ලැබෙන බව අපි දනිමු’.
මේ බව සනාථ කිරීමට අවශ්‍ය මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ප‍්‍රකාශන බහුලව ඇත. ඊට හොඳම නිදසුනක් ලෙස ශ‍්‍රී ලංකාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ඔබ පිවිසිය හොත් අපට බලපාන මෝසම් රටා ගැන තොරතුරු ඔබට අවබෝධ කර ගත හැකිය. අප පාසල් අවදියේදී හැදෑරුවේ ද ඉහත සඳහන් කාල වකවානුවල ඇතිවන එම වැසි පිළිබඳවය.

මේ පිළිබඳව පරමාණුක ශක්ති අධිකාරියේ සමස්ථානික ජලවිද්‍යා අංශයේ නිලධාරීන් විසින් පසුගිය වසර කිහිපය තුළ කරන ලද පරීක්‍ෂණවලදී අප රටට බලපාන වැසි රටා පිළිබඳ නවතම තොරතුරු අනාවරණය කර ගෙන ඇත. ඔවුන් මේ සඳහා උපයෝගී කර ගෙන ඇත්තේ න්‍යෂ්ටික තාක්‍ෂණ ක‍්‍රමවේදයකි. ඒ අනුව ඔවුන් වර්ෂා ජල අනුවල ස්ථායි මූලද්‍රව්‍ය සමස්ථානික වන ඔක්සිජන් - 18 ^18O&සහ ඩියුටීරියම් (2H& සංයෝජනය එක් එක් කාල වකවානු තුළ කෙසේ හැසිරේද යන්න පිළිබඳ අධ්‍යයනය කර ඇත. මෙහිදී මෙම තොරතුරු අනාවරණය කිරීම සඳහා කොළඹ නාගරික ප‍්‍රදේශය ආශ‍්‍රිතව වසර 5ක් මුළුල්ලේ රැුස් කර ගත් දත්ත සහ වසර 2ක් මුළුල්ලේ මධ්‍යම, උතුරු මැද සහ නැගෙනහිර පළාත් ආශ‍්‍රිතව ස්ථාන 20කින් ලබාගත් දත්ත උපයෝගී කර, එසේ සොයාගත් කරුණු අනුව පළමු අන්තර් මෝසම මාර්තු සිට මැයි දක්වා දීර්ඝ වී ඇති බවත්, නිරිතදිග මෝසම ජුනි සිට සැප්තැම්බර් දක්වා අඩුකාල පරිච්ඡේදයක බල පැවැත්වෙන බවත් තහවුරු වී ඇත. එබැවින් මෙතෙක් ප‍්‍රකාශයට පත් කර ඇති වර්ෂා රටාවන්ගේ කාලපරිච්ඡේද නැවත සාකච්ඡාවට බඳුන් කළ යුතුව ඇත.

ඕස්ටේ‍්‍රලියාව ආශ‍්‍රිත සාගර ප‍්‍රදේශවල ඉහළින් හට ගන්නා ජල වාෂ්ප අප‍්‍රිකානු මහාද්වීපය ආශ‍්‍රිතව ඇති මැඩගස්කරයට ඉහළින් ගොස් ඉන්දියන් සයුර පීරා බටහිර දෙසින් ලංකාවට ඇතුල්වීම මගින් නිරිත දිග මෝසම් වැස්ස ලැබේ. මෙහිදී මුහුදු ජලයට ආවේණික සමස්ථානික අගයන් බහුලව වර්ෂා ජලයේ දැකිය හැකිය.

මොංගෝලියාවට ඉහළින් පටන් ගන්නා ජල වාෂ්ප ඉන්දියන් උප මහද්වීපයට ඉහළින් හමා විත් බෙංගාල බොක්ක ආශ‍්‍රිත මුහුදේ පහසද ලැබ ඊසාන දෙසින් අප රටට ඇතුල් වී දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා වූ කාලය තුළ අපට ඊසාන දිග මෝසම් වැස්ස ලබා දේ. එහි සමස්ථානික සංයුතිය ඉන්දියානු උප මහාද්වීප ගොඩබිම් ප‍්‍රදේශවලට ආවේණික සහ බෙංගාලි බොක්ක ආශ‍්‍රිත මුහුදට ආවේණික වූ සමස්ථානික සංයුතියේ අගයන්වල සංකලනයක් ලෙස පැහැදිලිව හඳුනාගත හැකිය.

මෙසේ අපට ලැබෙන නිරිත දිග හා ඊසාන දිග මෝසම් වැසිවල ජල සමස්ථානික සංයුතින් පරීක්‍ෂා කිරීමේදී එම අගයන් හාත්පසින්ම වෙනස් බව හඳුනා ගෙන ඇත. 
අන්තර් මෝසම් වැසි ඇතිවීමේදී ගංගා, ඇළ, දොළ හා ජලාශ වැනි ජල ප‍්‍රභවයන්ගේ වාෂ්පීකරණයත්, පසෙක රඳා පවතින ජලය වාෂ්පීකරණයත් හේතුවෙන් වලාකුළු ඇති වේ. දවසේ උදය වරුවේ සිදුවන ඉහත ක‍්‍රියාවලිය නිසා සවස් කාලයේදී තද වැසි ඇති වේ. මෙය අන්තර් මෝසම් කාල වකවානුව තුළදී චක‍්‍රයක් ලෙස සිදු වේ.

මෙම ජල වාෂ්පයන්ගේ චක‍්‍රීකරණය හේතුවෙන් වැස්සේ ඇති සමස්ථානික සංයුතිය ප‍්‍රධාන මෝසම් රටාවෙන් වෙනස්ම අගයක් ගනී තවද බෙංගාල බොක්කේ ඇති වන සුළි කුණාටුවල බලපෑම දෙවන අන්තර් මෝසම් වර්ෂාවට පමණක් බලපාන බවද සනාථ වී ඇත. මෙම සුළි කුණාටු ආශ‍්‍රිත සමස්ථානික අගයන් පළමු අන්තර් මෝසම් වැස්සේ දැකිය නොහැකිය.


වික්ටෝරිය ජලාශය
මෙම පර්යේෂණ කටයුතු තවදුරටත් සිදු කිරීම මගින් ඉදිරියේදී ඇතිවන කාලගුණ විපර්යාස පිළිබඳ අවශ්‍ය වැදගත් තොරතුරු අනාවරණය කර ගත හැකි වනු ඇත.

තවද මෙම වර්ෂා රටාවන්ගේ විවිධ වෙනස්වීම් සහ හැසිරීම් අප රටෙහි භූගත ජල පද්ධතියට බලපාන ආකාරය පිළිබඳ අධ්‍යයන කටයුතු සමස්ථානික ජල විද්‍යා අංශය මගින් මේ වන විටත් අරඹා ඇත. අනාගතයේදී මිනිසාගේ පරිභෝජනයට සුදුසු ජලය සොයා ගැනීම අසීරු කරුණක් වන බවට වර්තමානයේ ජලය ආශ‍්‍රිතව උද්ගත වී ඇති අර්බුදකාරී තත්ත්වය විමර්ශණවලදී අවබෝධ වී ඇත. මෙම පර්යේෂණවලදී සොයා ගනු ලබන වැදගත් කරුණු කාලගුණය සහ ජලය පිළිබඳ වගකිව යුතු ආයතන වෙත ලබා දීම අපගේ අරමුණයි.
විරාජ් එදිරිසිංහ
අංශ භාර නිලධාරී 
(සමස්ථානික ජලවිද්‍යා අංශය)
පරමාණුක ශක්ති අධිකාරිය
(ඡායාරූප අන්තර්ජාලයෙනි)
2015/03/22-ඉරුදින

No comments:

Post a Comment