01-උපමාව
නුඹ සඳ සේ
එහෙත්,
සඳ නුඹ සේ නොවීය
කිසි දා!
එහෙත්,
සඳ නුඹ සේ නොවීය
කිසි දා!
(නවයුගය-1984/03/12)
02-සෙවනැල්ල
විසල් තිඹිරි ගෙයි
දැවැන්ත සෙවනැල්ල
වැතිරී හිඳී
සුසානය පුරා
නිසංසලේ
(නවයුගය-1984/11/26)
03-එක්තරා උදෑසනක්
වේ ගඟ පෙණ බුබුළු අතරේ ඉකි බිඳුණා
ලිය ගොමු ළපළු අස්සෙන් මීදුම් හැලූණා
මී විත බුබුළු තුළ මිනිසෙකු මිය ඇදුණා
ලස්සන ගවොමෙ ලස්සන නැතිවී තිබුණා
වේ ගඟ පෙණ බුබුළු අතරේ ඉකි බිඳුණා
ලිය ගොමු ළපළු අස්සෙන් මීදුම් හැලූණා
මී විත බුබුළු තුළ මිනිසෙකු මිය ඇදුණා
ලස්සන ගවොමෙ ලස්සන නැතිවී තිබුණා
(නවයුගය-1985/03/26)
04-පන්තියේ ශෝකය
ඇල-දොළ ද නෙත කඳුළු පුරෝ ගෙන
මද සුළඟ දෙ අත් හිස තබාගෙන
සියොත් ගී ගොළුව ගිය සාවියේ
තුරු පියැසි ඉකි බිඳින හඬ ඇසේ
නිදන පුර පවුරු වෙත මුවාවී
සැහැසියන් ගිණි තැබුව මාවතේ
ගියෙ ද නුඹ අන්ධවී මුලාවෙන්
අරුණු රැස් දකින්නට නව ලොවේ
සවන් පත් සිසාරා ඇසෙන්නේ
නුඹ එදා කී බසක රාවයයි
එකට අත්වැල් බැඳන් ගිය අපේ
දෑත් යුග තවමබ නුඹෙ උණුසුමයි
(සිළුමිණ-1989/05/14)
05-බාල නගාවරු
බාල පළිඟු බැඳි මාල සුබාවා
බාල පබළු බැඳි වළළු සුබාවා
බාල අරුංගල් කනට සුබාවා
බාල නගාවරු වඩින සුබාවා
තාන් සේල හැඩ රුවිනි මැසෙන්නේ
නූල් පොටිනි ජීවිතය රැඳෙන්නේ
මාන්සියේ දර දියෙනි ඔවුන්නේ
ඈත ගමේ ලිප ගිනි මෙලවෙන්නේ
සදහට අතවැසිකමිනි මිදෙන්නේ
ගෙදර බුදුන් පුදසුනට වඩින්නේ
බාල කුමර කැල අකුරට යන්නේ
බාල නගාවරු නිවන් දකින්නේ
(සිළුමිණ-1989/07/09)
06-වරම්
රෑට අඳුරට වැහී
රටා පන් කොල වියන
ගෙවුණු රතැඟිලි තවම
උණුසුම් ය සියුමැලි ය
එදා කඳුළට පෙඟී
සිනා ඉරි තුළ වැසුණු
කැළැල් පිරිමදින්නට
ඉතින් මට ඉඩ දෙන්න
බිඳී බිම ඇද වැටී
ඉරී ගිය වසන්තය
රන් හුයෙන් එළලන්න
ඉතින් අවසර දෙන්න
(සිළුමිණ-1989/11/05)
07-ගී පොත
ජීවිතේ පිටු අතර ඇත්තේ
ගෙවුණු රතැඟිලි උනුසුමයි
ඒ පොතේ ලියැවී තිබෙන්නේ
දුකට කී ගී පබැඳුමයි
දෙතොල් පෙති මධුවිත සොයන්නේ
සිතට පණනළ බඳින්නයි
සුළං රැළි නූපුර සලන්නේ
මිහිරි ගී පද ගයන්නයි
සීන් ගෙල ඩා බිඳු වෙළෙන්නේ
සිළිටි මල් රොන් එරෙන්නයි
දෑතෙ කර ගැට මෝදු වෙන්නේ
ජීවිතේ තත් බඳින්නයි
(1990/06/30)
08-වරම්
ඉකි බිඳින සුසුම් තුළ
දැවටෙන්න ඉඩ දෙන්න
නයන විල හුණුව ගොස්
කැලැල් සැදි කොපුල් තල
සිප ගන්න ඉඩ දෙන්න
සෙමින් පිබිදෙන්න හැර
තලා පොඩිකර එදා
නුඹව හැරදමා ගිය
වසන්තය
වළලන්න,
සෙනෙහෙ පිරි මහද මිටියාවතේ
සුවඳ සුළඟට හැලී
රේණු සුළඟට බිඳී
ඉරී ගිය වසන්තය
රන් හුයෙන් එළලන්න
ඉතින් අවසර දෙන්න
(දිනමිණ-1990/07/18)
09-සිවදාසන්
ගිනි ගත්තේ ඉර මඩල නෙවෙයි
දකුණුකරේ පණ ගැහෙන හිතයි
පිළිස්සුණේ පුර පවුරු නෙවෙයි
උතුරුකරේ ලෙන්ගතු සුවඳයි
සුළං රොදේ පැටලී ආවේ
ගිනි ගෙන දැවෙනා ලතෝනියයි
ඒ හඬ අස්සේ වැලපෙන්නේ
උඹේ පැලේ ඩාදිය සුවඳයි
කරගැටි පොළොවේ පීදුනු ගොයමේ
ගිනි දඬු සැඟවුනු යුද පිටියයි
ඒ ගොයමට කිරි දියර පොවන්නට ගිනි ගෙන දැවෙනා ලතෝනියයි
ඒ හඬ අස්සේ වැලපෙන්නේ
උඹේ පැලේ ඩාදිය සුවඳයි
කරගැටි පොළොවේ පීදුනු ගොයමේ
ගිනි දඬු සැඟවුනු යුද පිටියයි
උඹ යළි එනව ද සිවදාසන්
(1990/08/27)
10-උදානය
දිවිය සිහිලෙන් තෙමූ නිල් දිය දහර වියැලූණු දා
සළෙළු දන විත් සිහින පැල්පත සැණින් ගිනි ලෑවා
කදෝපැණි ඇස් හොරෙන් ඇරුණාවේ
ටිකිරි මුව මසවුලින් පිරුණාවේ
සයුරු තල මත අඳුර වැතිරුණු සීත රෑ යාමේ
පහන් කණු ඉකි බිඳින සුසුමට තුරුළුවී රහසේ
ඉතින් සඳ නෙත් වසා සිටියාවේ
ජීවිතේ සා පවස නිවුණාවේ
දුහුල් සළු පිරිමැදෙන සුළඟේ මිහිර සිත දැවටී
ත්‍සමින් ඉකි බිඳ හැඬූ නෙත් යුග සදාකල් ගොළුවී
සිහින් හිරි පොද හොරෙන් වැටුණාවේ
සිල්වතුන් ඇස් කොණින් බැලූවාවේ
(1990/09/12)
11-පෙරහැර
උතුරු සළු නිහඬව උනා
සිළිටි මල් අඳුරට වෙලා
සුළඟ අවරට ඉකි බිඳිද්දී
සීත පිනි කැට ගිලිහුණා
කසී සළුපිළි පොරවලා
රුවන් ඔටුණු ද දිලිහුණා
රිදී මිරිවැඩි නො ලෑ දවසක
සිළිටි මල් පෙති පොඩි වුණා
සුරඟනන් පා කිංකිණී
බෙර හඬින් චංචල වෙලා
දෑල පන්දම් පෙරහරේ
සිළිටි මල් මත ඇවිළුණා
(දිනමිණ-1990/10/03)
12-නික්මන
බොල් සෙවනැලි යට සිහිලස තිබිණි ද
පුර දොර අද්දර දිවා රැයේ
ඩාදිය බිඳුවක පෙඟවෙනු දුටුවෙ ද
සිටුවරුනගෙ සිත් කොළොම් පුරේ
වැහැරුණු සිහිනය ඉකිබිඳ හැඬුව ද
රළු අතැඟිලි නෙත් පිසින වෙලේ
මසුරං අහුරම ඉගිල ගියාව ද
හිතට උඩින් සල්පිල් අතරේ
‘ඇතුගල’ නැගි පුර හඳ නෙත ගැටිණි ද
රෑ වැඩ මුරයේ වෙහෙස දිගේ
පුරන්ව යන හෙට ගැන ඉව වැටිණි ද
පොඩ්ඩියෙ වැව් තාවල බැලූවේ
(1990/10/22)
13-ඇද වැටීම
මදුරු කොයිල් දුමට යටින් ඇවිදින් රහසිනේ
ඩා බිඳුවේ ලූණු රසය ද බේරා මිල කළේ
රජ සිරිතට හරබර ගමනින් වඩිනා සඳේ
ගෙල පෑගී පාවඩ යට අපෙ වෙහෙසයි මළේ
මිරිවැඩි යට පෑගෙන මිරිකෙන දූවිලි වගේ
පැතුම් ගොඩට ලැගුම් පොළක් අපි කාටත් නැතේ
හැමදාමත් බිම ලගිනා බිම හිමි නැති රැහේ
බිම ඇද වැටෙනා දවසක් කවදාවත් නැතේ
ඉගිලී ගිය යසඉසුරින් බිඳක් හැලූණු දිනේ
හිත වටකර මල් පිපුනා වීදියෙ අගු කොණේ
අපේ පැතුම් මිල දී ගෙන ඉහළටමයි ගියේ
බිම වැදහුණු දා අපගේ විමනයි කුඩු වුණේ
(1990/10/29)
14-බණ්ඩරීගේ කවිය
මහයා මෙතැනින් දඩමං ගිය බව
සත්තයි මයෙ දෙයියෝ
බුද්දිල ඇත්තෝ පල්ලා
තහනම් බහකට හිත් ලාලා
ගල් රුකුලෙන් ගියෙ නෑ මං
සීතල වන්නියෙ කොබ්බෑ මල් පිපිලා
පාට පාට කෝනම් පොජ්ජයි
බිංගොඩ කඳු මුදුනේ
කැකුලො කැකුලියෝ රුකුලේ
අම්මිල ඇත්තෝ තුරුලේ
සත්තයි මයෙ ඇත්තෝ
දඩමං සාරයි වනන්තරේ
මිනිග්ගජ්ජු ඇවිදිං
කේලම් බහ ගිනිලා මහ බැද්දේ
රුකුලට ගච්චාපන් මයෙ ඇත්තෝ
(2006/මාර්තු)
15-නිම්නය
අලූයම් රැයින්-සඳරැස් ඇවිත්
උස් කඳු මුදුන්-ඇකයෙහි නිදත්
වන ගොමු සැලෙයි-මිමිණුම් සරින්
ගොලූවත පුරයි-ගඟ සැඟවෙමින්
තරු ඇහැරෙතැයි-පිණි බිඳු බයයි
වනයෙහි හැපී-මීදුම් ගලයි
පිණි බිඳු වැටී-තුරු පත් තුඩින්
ගඟ දිය සොයා-යළි ඉකි බිඳියි
දිය කඳ සිඹියි-පිණි කැට සෙමින්
ගඟ දැන් ගලයි-සමුදුර දුරයි
(2007/01/30)
16-වර්ෂාධිකං සන්තුෂ්ඨිං
වර්ෂාධික සමයං කොළඹ චරං
කර්ණේන මේඝ ඝර්ජනා
ගමනාගමන සම්පත්තී
ජලචර ලෝක චාරිකං
තනි මංසලේ ජලාධාරේ
පූර්ණං වීදි වාහනං
ජලචර දැකුං සන්තුෂ්ඨිං
විලිබර ගමන් අංගනා
විලම්බීතං සිහිලේන මංඤ්ඤං
‘කිංප්‍රොන්සේන’ සජ්ජිතා
වර්ෂාධිකං රම්‍ය ඉක්ෂුපාකං
කෑකොස්සං මන නන්දනං
(2012 වසර)
17-නැව් තොටමුණක පේ‍්‍රමය
සක්මන් මළුවේ සිත පැටලී වැටුණා
ගාලූ මුවදොරින් රළ රැළි ඉකි බිඳුණා
පහන් වැට ද නැති ඈත සිතිජයේ
රාමලාන් සඳ පර්දාවෙන් වැසුණා
හදවත තෙරපූ නුහුරු හැඟුම් බාලේ
වෙළෙඳ වීදියේ සුළඟට පාව ගියා
රිදී කාසිවල ඔමරි බලන් ළඳුනේ
සිටුවර සේනා කිම සෙනෙහෙට බැදුණේ
නැව් තොටමුණ යස ඉසුරින් පිරි සොඳිනා
පුර වාහල මහ මැදුරෙහි රූ සිරිනා
සුසුමක උණුසුම විතර ද ඉතිරි වුණේ
රාමලාන් සඳ බැස ගිය තනි යහනේ
(2012/07/26)
18-පිට වීදියේ එමා නෝනාගේ කවිය
(කවි නිමිත්ත-අනියම් බිරියට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට මරණ දඬුවම් ලැබූ මිණිපුර මහ නිලමේට ජනාධිපති සමාවක් ලැබිණි. ඉක්බිති ඔහු අභාවප‍්‍රාප්ත විය.)
සිය දහසක් බෙර පද පිරිවරිනා
පන්දම් එළි මැද රැඟුමන් සොබනා
පෙරහැර පිට මහ නිලමේ වඩිනා
දෙවොලේ වීදිය රුසිරෙන් පිරුණා
යහන් ගැබින් බැස උවටැන් කරනා
ඇතුළු පුරේ අග බිසවුන් සොඳිනා
පුර හඳ රහසින් සැඟවුණු සැණිනා
නිලමෙට පිටි වාහල දොර ඇරුණා
ආල හැඟුම් දෝතින් ගෙන පුදනා
ස්වාමි සඳුන් ගෙයි නිති වැඩ සිටිනා
උන්ට සෙනේ නැතුවාම නො වේ මැයි
පුර හඳ සේ නිලමෙට බැඳුණා
මිණිපුර දෙවොලේ රන් කොත බිඳුණා
පෙරහැර පිට අද ඇත් රජු නැතුවා
වාහල වීදිය පාළුයි රන් කඳ
දුක වාවනු කෙලෙස ද මන්දා
No comments:
Post a Comment