Total Pageviews

Sunday, March 29, 2015

මුළු රටම ණය උගුලක


මුළු රටම ණය උගුලක

 (ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
මීට සති කිහිපයකට ඉහත දිනයක දහවල්, අම්පාර නගරයට පැමිණි මිනිස්සු භය සංත‍්‍රාසයෙන් මුසපත් වූහ. එක්තරා ලොරි රථ හිමියෙක් නගරයේ මූල්‍ය ආයතනයක් ඇතුළටම පැමිණ ගිනි තබා ගැනීම, ඊට හේතුවයි.  ගින්න සැණෙකින් මූල්‍ය ආයතනයට ද පැතිරුණු අතර, අවට සිටි පිරිස් මැදිහත්ව ගිනි තබා ගත් තැනැත්තා වහාම රෝහල් ගත කළහ. ආයතනයේ ගින්න ද අසීරුවෙන් නිවා දමන ලදී. සිද්ධිය වාර්තා වූයේ 2015 මාර්තු 02 වැනි දා ය. ලොරි රථ හිමියා පසුව මරණයට පත් විය. තමන් මිලයට ගත් ලොරි රථයේ ‘ලීසිං වාරික’ ගෙවා ගැනීමට නො හැකි වීමත්, එබැවින් මූල්‍ය ආයතනය රථය අත්පත්කර ගන්නට යාමත් නිසා හට ගත් සිත් තැවුල, දිවි නසා ගැනීමට හේතුව බව පසුව හෙළිදරව් විය. ඊට දෙසතියකට පමණ පසුව දිනපතා පුවත්පත් වාර්තා කළේ, ත‍්‍රී රෝද රථයක ‘ලීසිං වාරික’ ගෙවා ගැනීමට නොහැකි වීම නිසා විවාහක කාන්තාවක් ද සිය දිවි නසා ගෙන ඇති බවයි.

1990 දශකයට පෙර ලංකාවේ සිය දිවි නසා ගැනීම්වලට ප‍්‍රධාන හේතුව වූයේ, පේ‍්‍රම සබඳතා කඩ වීම් හෝ පවුලේ ගැටළු ය. ඉන් පසුව 1990 දශකය මුල් භාගයේ දී පොළොන්නරුව ආදී වියලි කලාපීය ප‍්‍රදේශවල වී ගොවීහු, ණය බර දරා ගත නො හැකිව දිවි නසා ගන්නට වූහ. වී අස්වනු සඳහා සාධාරණ මිලක් හෝ සාධාරණ අලෙවි ක‍්‍රමයක් නැතිවීම, ඔවුන්ගේ සිත්තැවුලට හේතුවී තිබිණි. 1990 දශකයේ මැද භාගය එද්දී වැඩිම දිවි නසා ගැනීම් වාර්තා වූයේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ‘ගොකරැල්ල’ සහ මොණරාගල දිස්ත‍්‍රික්කයේ ‘තණමල්විල’ යන ප‍්‍රදේශවලිනි. ඒවායින් බහුතරයකට හේතුව වූයේ, පවුලේ ආදායම් අඩු වීම, අධික ණය බර සහ ජය ගත නොහෙන තරම් ඉහළ නැගි දරිද්‍රතාවයයි. පසු කාලීනව ලංකාවේ සිය දිවි නසා ගැනීම් සංඛ්‍යාව, සෑහෙන තරම් පහත වැටුණි.


 
වර්තමානයේ පොලිස් සංඛ්‍යා ලේඛණවල, දිවි නසා ගැනීමට තුඩු දුන් හේතු මොනවාදැයි දැක්වෙන තීරුවේ, දුප්පත්කම හෝ දරිද්‍රතාවය යයි කියා උප තීරුවක් ද වෙන්කර තිබෙනු දැකිය හැකිය. එහි අරුත කුමක් ද? දුප්පත්කම නිසා සිය දිවි නසා ගැනීම, සමාජ ප‍්‍රපංචයක්වී ඇති බවයි. අම්පාරේ ලොරි රථ හිමියාගේ සිද්ධියත්, ඊට පසුව විවාහක කතකගේ සිද්ධියත් ඒ සමාජ ප‍්‍රපංචයේම දිගුවක් වැන්න! ‘ලීසිං’ පහසුකම් ලබා ගත් පුද්ගලයෙක්, මූල්‍ය ආයනයක් ඇතුළටම ගොස් දිවි නසා ගෙන තිබුණේ ද ප‍්‍රථම වරට ය.

‘ලීසිං’ වාරික ගෙවා ගන්නට බැරිව, මිනිසුන් සිය දිවි නසා ගන්නා තැනට පත් වීම යනු, ඉතා බිහිසුණු සමාජ ඛේදවාචකයකි. සමාජයේ බහුතරයක් දෙනා නො සංසිඳෙන ආශාවන් පසුපස ගොස්, දරිද්‍රතාවයේ පත්ලටම වැටී ඇති බවත්, රටේ මූල්‍ය සදාචාරය අන්තයටම පිරිහී ඇති බවත්, ‘ලීසිං’ ආයතන ද රුදුරු යක්ෂ වෙස් ගෙන ඇති බවත් ඉන් ගම්‍ය වෙයි. එසේම රටේ මූල්‍ය ක්ෂේත‍්‍රය මහත් අවුලකට පත්ව ඇති බවත්, ඉන් පිළිබිඹු වේ. රට වැසියෝ ඉහටත් උඩින් ණයකාරයන් වී සිටිති. අවුලෙන් මහජනයා පමණක් නොව, මූල්‍ය ආයතන ක්ෂේත‍්‍රයත් පිරිහීමට ලක්ව ඇති ආකාරය පෙනී යයි.

අපේ රටේ වර්තමානය, එහැමපිටින්ම ණයකාර ජන සමාජයකි. නිවාස හදන්නේ ණයට ය. ගේ-දොර බඩුමුට්ටු ගන්නේ කොටස් වශයෙන් ගෙවීමේ ක‍්‍රමයට ය. ඒ කියන්නේ, ණයට ය. රථ වාහන මිල දී ගන්නේ ‘ලීසිං’ හෙවත් කල්බදු ණය ක‍්‍රමයට ය. නම්බුකාර ‘ණය කාඞ් පත්’ මගින් (ක්‍රෙඩිට් කාඞ්) එදිනෙදා කෑමට බීමට පවා ණය වෙන හැටි  ඕනෑම ‘සුපර්මාර්කට්’ එකකට යන කෙනෙකුට සියැසින්ම දැක බලා ගත හැකි ය. එබැවින් මාසයේ අන්තිමට, ණය ගෙවීම ස`දහා සැලකිය යුතු මුදල් කන්දරාවක් වැය කිරීමට සිදු වේ. මිනිසුන්ට ණය වීමට සිදු වන්නේ නිකම්ම නොවේ. අතේ මිටේ ඇති තරම් මුදල් නැති හින්දා ය. ආදායම අඩු ය. වියදම අධික ය. ඉතින් ණය වීමට සිදු වේ. ‘ණය නොවී බෑ’ යන සංකල්පය අද සමාජය පුරා පැතිර ගොසිනි. නම්බුකාර ලෙස ණය වෙන ක‍්‍රම ද  ඕනෑ තරම් ය. මිනිසුන්  ඕනෑවටත් වඩා ණය වෙන්නේ, තම තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ය. එහෙත් ඒවා, ‘ණය වී හෝ සපුරාගත යුතු තරම්’ දැඩි අවශ්‍යතා ද? යන්න ගැටළු සහගත ය.

ණය යනු නිකම්ම නොව, ගිවිස ගත් පොලියක් ද සමග නිශ්චිත කාලයක දී ආපසු ගෙවිය යුතු දෙයකි. ණය ගැනීම පිණිස මහත් උනන්දුවෙන් වැඩ කරන උදවිය, ණය ලබා ගත් පසුව ඒ කාරණය එක්කෝ සැහැල්ලූවට ගනිති. නැතිනම් අමතක කරති. මග හරිති. ණය ගෙවීම මහා කරදරයක් සේ කල්පනා කරති. ඇතැමුන් ණය හිමියන් විවේචනය කරන්නේ, තමන්ට අතින් පයින් පහරදී, බලහත්කාරයෙන් ණය දුන්නා සේ සලකමිනි. කෙසේ වෙතත්, ණය ගෙවීම් පැහර හැරීම යනු, ණයකරුවන් මහා උගුලකට ඇද වැටීමකි. දැන් රට වැසි බහුතරයක් එවන් විපතකට වැටී ඇති බව, ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය තොරතුරුවලින් ද පෙනෙයි. ‘ලීසිං’ වාරික ගෙවා ගන්නට බැරි තැන මිනිසුන් සිය දිවි නසා ගන්නට පෙළඹීම ද, එවන් විපතක් පැමිණ ඇති බව කියා පාන සාධකයකි! එමෙන්ම දරා ගන්නට බැරි තරම් ණය වීම පිළිබඳ කාරණය, බොහෝ කලක පටන්ම පැවත එන මූල්‍ය ප‍්‍රවණතාවක් බව ද පෙනෙයි.

2013 වසරේ ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාව, ණය පිළිබඳ බිහිසුණු කාරණය ඉතා ‘මෘදු ලෙස’ පැහැදිලි කොට තිබේ. ඒ, රාජ්‍ය සහ පෞද්ගලික බැංකු සහ මූල්‍ය ආයතන අංශයේ ක‍්‍රියාවලිය ගැන විස්තර කරමිනි.

අක‍්‍රිය ණය

 එහි සඳහන් වන අන්දමට, 2012 වර්ෂයේ බැංකු අංශයේ ණය සැපයීම්වල වර්ධනය සියයට 21.1කි. ලෝක ආර්ථිකයේ මන්දගාමීත්වය සහ එවකට පැවති රජය දැරූ දැඩි මුල්‍ය ප‍්‍රතිපත්ති නිසා, 2013දී එය සියයට 8.8ක් දක්වා පහත වැටිණි. එසේ වුවත්, 2012 වසරේ සියයට 3.7ක්ව පැවති බැංකු අංශයේ අක‍්‍රිය ණය අනුපාතය, 2013 වර්ෂයේ දී සියයට 5.6ක් දක්වා ඉහළ ගොස් ඇත. එය සිදුවී ඇත්තේ, ණය සැපයීම් පහත වැටුණු තත්ත්වයක් තුළ ය. අක‍්‍රිය ණය වර්ධනය වීමේ අනුපාතයේ මුදල් ප‍්‍රමාණය, 2012දී රුපියල් බිලියන 17කි. 2013දී එය රුපියල් බිලියන 74ක් දක්වා ඉහළ නැග තිබේ. ඉන් බිලියන 56ක්ම උකස් අත්තිකාරම් (උකස් ණය) ය!

මහ බැංකු වාර්තාව පවසන අන්දමට, ලංකාවේ ඇති බලපත‍්‍රලාභී මුල්‍ය සමාගම් සහ විශේෂිත කල්බදු මුල්‍යකරණ සමාගම් සංඛ්‍යාව 58කි. ඔවුන් රටේ සමස්ත මූල්‍ය පද්ධතියෙන් සියයට 7ක් නියෝජනය කරන අතර, ශාඛා 1060කට ද හිමිකම් කියයි. රන් මිල පහළ වැටීම සහ ඉහළ පොළී අනුපාතයන් ආදිය නිසා 2013 වසරේ දී ඔවුන්ගේ ණය සැපයුම ද මන්දගාමී විය. එසේ වුවද, 2013දී ඔවුන් සැපයූ සමස්ත ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 553ක් විය. ඉන් වැඩිම ණය ප‍්‍රමාණයක් හෙවත් සියයට 46ක්ම නිකුත් කෙරුණේ, කල්බදු මුල්‍යකරණ  කටයුතු (රථ වාහන සහ යන්ත්‍රෝපකරණ ලීසිං වැනි) පිණිස ය. එසේ වුව ද, 2013 වසරේ ඔවුන්ගේ මුළු අක‍්‍රිය ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 37ක් විය. එය පෙර වසරට (2012) වඩා බිලියන 14ක වැඩි වීමකි!

ගෙවී ගිය කාලය තුළ රථ වාහන ආදිය මිලට ගැනීම් සඳහා, කල්බදු ණය වීම් ඉහළ ගොස් ඇත්තේ රොකට් වේගයෙනි. 2009 වසරේ රටේ සමස්ත කල්බදු ණය ප‍්‍රමාණය රුපියල් මිලියන 64,477කි. 2013 දී එය රුපියල් මිලියන 2,49,117කි! කල්බදු ලීසිං ප‍්‍රවර්ධනය පිණිස ආකර්ෂණීය ප‍්‍රචාරක කටයුතු කරන මුල්‍ය සමාගම්, වාරික ගෙවා ගත නොහැකිව හූල්ලන මිනිසුන් ගැන හෝ ආපසු ‘සීස්කර ගන්නා’ (අත්පත්කර ගන්නා) වාහන ආදිය ගැන කටක් අරින්නේ නැත!



 මහ බැංකුව මේ ‘අක‍්‍රිය ණය’ යයි හඳුන් වන්නේ කුමක් ද? ණය ලබා ගත්ත ද, ඒවා කලට වේලාවට ගෙවා ගන්නට නො හැකිවූ මහජනතාව ය. ඔවුන්ගේ දුක් කඳුළු සැඟවුණු ණය කන්ද ය. කපටි ලෙස ණය නො ගෙවා සිටින පිරිසක් නැතැයි අපි නො කියමු. බහුතරයක් පිරිස්, තමන් ගත් ණය ආපසු ගෙවිය යුතු යයි අදහන්නෝ ය. එහෙත් තම තමන් මුහුණ දෙන ආර්ථික ගැටළු නිසා ඔවුන්ට ණය ගෙවා ගත නො හැකිව තිබේ. දැන් වාණිජ බැංකු සහ මුල්‍ය ආයතන අලූත් පිළිවෙතක් අරඹා තිබේ. එනම්, කල් ගිය ණය අයකර ගැනීම සඳහා වෙනම ‘සීස් කණ්ඩායම්’ පත් කිරීමයි. දුරකතන මගින් තර්ජනය කරමින් ද, රතු ලියුම් එවමින් ද, බෙල්ල මිරිකා හෝ ණය එකතුකර ගැනීම, ඔවුන්ගේ කාරියයි. ඊට අමතරව, යම් ණය වාරිකයක් ගෙවීම සතියක් දෙකක් ප‍්‍රමාද වූ අවස්ථාවල දී පවා, තර්ජනාත්මක ලියුම් එවමින්, දුරකතන ඇමතුම් දෙමින් ණයකාරයා පසුපස පැන්නීම දැන් සමහර වාණිජ බැංකුවල පුරුද්දයි! බැංකු සහ මූල්‍ය ආයතන මෙසේ කරන්නේ, යමෙක් ණය නො ගෙවන්නේ නම් ඒ සඳහා ගත හැකි නීතිමය ක‍්‍රියාමාර්ග ද තිබිය දී ය.

බැංකු සහ මූල්‍ය ආයතන මෙසේ හැසිරුණ ද, ඔවුහු අධිකතර ලාභ ලබන බව මහ බැංකු වාර්තාවෙන්ම පෙනේ. 2013 වසරේ බැංකු අංශයේ සමස්ත වත්කම් ප‍්‍රමාණය රුපියල් ටි‍්‍රලියන 5.9ක් දක්වා සියයට 16.5ක වාර්ෂික වර්ධනයක් පෙන්වා තිබේ. එය 2012 වසරේ ලැබුණු සියයට 19.9ක වාර්ෂික වර්ධනයට වඩා අඩු බව ඇත්ත ය. එසේ වුවත් සියයට 16.5ක වර්ධනයක් යනු සුළුපටු කාරණයක් නොවේ! එසේම බැංකු අංශයේ සමස්ත ශාඛා ගණන 5567කි. ටෙලර් යන්ත‍්‍ර සංඛ්‍යාව 2012 වසරේ 2415කි. 2013 දී 2538කි.

මේ අතර, බලපත‍්‍රලාභී මුල්‍ය සමාගම් සහ විශේෂිත කල්බදු මුල්‍යකරණ සමාගම් ද 2013 වසරේ සිය ශාඛා සංඛ්‍යාව, 1060ක් දක්වා වැඩිකර ගෙන තිබේ. එය පෙර වසරට වඩා ශාඛා 88ක වැඩි වීමකි. එසේම ඔවුන් 2013 දී සිය තැන්පතු ප‍්‍රමාණය ද රුපියල් බිලියන 337ක් දක්වා සියයට 33කින් වැඩිකර ගෙන ඇත. 2012 වසර සඳහා ඔවුන්ගේ බදු පසු ලාභය රුපියල් බිලියන 15කි. 2013 වසරේ එය බිලියන 08කි. පෙර වසරට වඩා අඩු ලාභයක් වුව ද, රුපියල් බිලියන 08ක් යනු ද සැලකිය යුතු මුදලකි.



 එක් අතකින් මිනිසුන් ණය ගෙවා ගත නො හැකිව, මූල්‍ය සමාගම් ඇතුළටම ගොස් දිවි නසා ගන්නට පෙළඹී සිටිති. අක‍්‍රිය ණය කන්ද ද දිනෙන් දිනම වර්ධනය වෙයි. අනෙක් අතින් බැංකු සහ මූල්‍ය සමාගම්, මිනිසුන්ට තව තවත් ණය වෙන්නට උල් පන්දම් දෙමින් ද, ඒ අතර අධික ලාභ ලබමින් ද සිටින්නෝ ය. මෙය ආර්ථික විපරීතයක් නොවේ ද? ණය ගන්නට සිදු වීම සහ ඒවා ගෙවන්නට බැරි තත්ත්වයක් ඇති වීම, ඇත්තටම පුද්ගලික ප‍්‍රශ්නයක් යයි කිව හැකි ද?

2015/03/29-ඉරුදින



No comments:

Post a Comment