Total Pageviews

Sunday, March 29, 2015

සැරසින් සහෝදරයෝ

ලංකාවේ ගල් යුගය වෙනුවෙන් සටන් කළ
සැරසින් සහෝදරයෝ


 පුරාවිද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ පර්යේෂක 

සහ හිටපු නියෝජ්‍ය පුරාවිද්‍යා අධ්‍යක්ෂක (කැණීම්) 

ආචාර්ය නිමල් පෙරේරා මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරිණි.


ආචාර්ය නිමල් පෙරේරා මහතා




(සාකච්ඡා කළේ-ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)

වාර්තාවී ඇති ආකාරයට, ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික යුගය ගැන මුල්ම පර්යේෂණ පවත්වා ඇත්තේ, ඊ. ඊ. ග‍්‍රීන් සහ ජේ. පෝල් (E. E. Green and John pole) යන බි‍්‍රතාන්‍ය ජාතික පුරාවිද්‍යාඥයන් දෙදෙනා ය. ඔවුන් ලංකාවේ උස් බිම් තෙත් කලාපය ගවේෂණයකර ශිලා මෙවලම් (ගල් ආයුධ) සොයා ගත්හ. එය ලංකාවේ කෙරුණු මුල්ම ප‍්‍රාග් ඓතිහාසික ගවේෂණයයි. ග‍්‍රීන් මහතා මස්කෙළිය අවටින් තිරුවානා සහ කහ`ද ඛණිජවලින් නිර්මාණය කළ ශිලා මෙවලම් සොයා ගත්තේ ය. පෝල් මහතාට ද එබඳුම ශිලා මෙවලම් හමු වූයේ පේරාදෙණිය සහ නාවලපිටිය යන ප‍්‍රදේශවලිනි. ඔවුන් ඒවා සොයා ගෙන තිබුණේ පොළොව මතුපිටිනි. ගවේෂණ සිදු වූයේ 1885 වසරේ දී ය. එනම් අදින් වසර 130කට පමණ පෙරාතුව ය.

 
ෆිරිට්ෂ් සැරසින්-මැද


පෝල් සැරසින්

 මේ කියන කාල වකවානුව ලංකාවේ බි‍්‍රතාන්‍ය යටත් විජිත පාලන සමයයි. එකල යුරෝපයේ විද්‍යාර්ථීන් අතර පවා, ලෝකයේ ගල් යුගය පිළිබඳ විවිධ මති-මතාන්තර පැවතුණි. එබැවින් ලංකාවේ ගවේෂණවලින් හමුවූ ශිලා මෙවලම්, සැබෑ මානව කෘතීන් ද යන්න ගැන සැක සංකා මතුව තිබිණි. එහෙත් ඊ. ඊ. ග‍්‍රීන් සහ ජේ. පෝල් යන විද්වතුන් සිය පර්යේෂණ දිගටමකර ගෙන ගියහ. ලංකාවේ ද ගල් යුගයක් පැවති බව, ඔවුන්ගේ විශ්වාසය විය.

ඒ කාලයේ දීම තවත් මානව හා ස්වභාවික විද්‍යාඥයින් දෙපලක් ඊට එක් වූහ. ඔවුන් ස්විස් ජාතික ඥාති සොහොයුරන් දෙදෙනෙකි. ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික යුගය පිළිබ`ද ප‍්‍රථම වරට ශාස්ත‍්‍රීය පර්යේෂණ සිදු වූයේ, ඔවුන් අතිනි. ඔවුහු නමින්,  ‘සැරසින් සහෝදරයන්’ (Sarasin) ය. පුරාවිද්‍යා ක්ෂේත‍්‍රයේ දී ‘සැරසින්වරුන්’ යයි ප‍්‍රකට ඔවුන් දෙදෙන එ රට ස්වාභාවික ඉතිහාසඥයන් ය. මින් එක් අයෙකු ‘ෆිරිට්ෂ් සැරසින්’ ය. අනෙක් සොහොයුරා ‘පෝල් සැරසින්’ ය.

ඔවුන් මුල් වරට ලංකාවට පැමිණ ඇත්තේ 1885 වර්ෂයේ ය. ඉන් පසුව ලංකාවේ වැදි ජනයා (ආදි වාසීන්) ගැන කරුණු අධ්‍යනයකර තිබේ. ඒ අනුව, වැදි ජනයාගේ ‘ශාරීරික මානව විද්‍යාව’ සහ ‘මානව වංශ විද්‍යාව’ මුලින්ම අධ්‍යනය කළ ඔවුහු වැදි ජනයාගේ සංස්කෘතික මෙවලම් ආදිය ද රැුස්කර ඇත. ඒ සමගම ඔවුන්ගේ ජීවන ක‍්‍රමය, සම්ප‍්‍රදායික අර්ථ ක‍්‍රමය සහ මුඛ පරම්පරාගතව එන සංස්කෘතික කාරණා ගැන ද අධ්‍යනයකර ඇත. ඔවුන් ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණ කෙරෙහි නැඹුරුවී ඇත්තේ ඉන් පසුව ය.

මේ වන විට ලංකාවේ වැද්දන් පිළිබඳ පළ කෙරුණු ප‍්‍රකාශ සහ මති-මතාන්තර, ප‍්‍රති විරුද්ධ උගතුන් විසින් සැකයට භාජනය කරන තත්ත්වයක් ද තිබිණි. ග‍්‍රීන් සහ පෝල් යන විද්‍යාඥයන් 1885 දී රැුස් කළ ශිලා මෙවලම් ද සැබෑ මානව කෘතීන් ද? යන්න ගැන පවා සැක කෙරිණි. කෙසේ වෙතත් සැරසින්වරු 1885 වසරේ මහඔය (වත්මන් අම්පාර දිස්ත‍්‍රික්කයට අයත්) නම් ස්ථානයෙන් ශිලා මෙවලම් සමූහයක් සොයා ගෙන තිබිණි. ඒවා ගැන ද සැක සංකා මතුවී ආවේ ය.

පසුව සැරසින් සොහොයුරන් 1903 වසරේ, ගිනිිකොණ දිග ආසියාවට අයත් ‘සුලූවිසි දූපත්’ බලා පිටත් වූහ. ඒ, එහි වෙසෙන ආදි වාසීන් ගැන පර්යේෂණ කරනු පිණිස ය.


ලමොන්කොං ගල් ලෙන

සුලූවිසි දූපත්වලට ගිය සැරසින් සොහොයුරන්, එහි ‘ලමොන්කොං’  (Lamoncong) නමැති ගල් ලෙනක් කැණීම් කොට ප‍්‍රාග් ඓතිහාසික යුගයට අයත් ශිලා මෙවලම් (ගල් ආයුධ) සොයා ගත්හ. ඒ අතර ලෙන අවට ජීවත්වූ ‘සුලූවිසි ටෝලා’ නම් ආදි වාසී ජනයා ගැන ද මානව විද්‍යා පර්යේෂණ කළහ. මෙහි දී ඔවුහු එක් කාරණයක් මැනවින් පසක්කර ගත්හ. එනම්, ලංකාවෙන් රැස් කළ ගල් ආයුධ සහ සුලූවිසි දූපත්වලින් රැුස් කළ ගල් ආයුධ, නිසැකවම ආදි වාසී ජනයාගේ සැබෑ මානව කෘතීන් වන බවයි. ලමොන්කොං ගල් ලෙන අවට ජීවත්වූ ටෝලා ආදි වාසීන් සහ ගල් ආයුධ අතර ද සෘජු සම්බන්ධයක් ඇති බව  ඔවුන්ට වැටහිණි.




ලංකාවේ ශිලා මෙවලම් සම්බන්ධයෙන් මේ වන විට පැවතියේ විවාදාපන්න තත්ත්වයකි. ගල් ආයුධ හමු වුව ද, ලංකාවේ ගල් යුගයක් තිබිණැයි යන්න, ඇතැම් විද්වතුන් අතර සැකයට බඳුන්වූ අදහසක් විය.


වර්ෂ 1907 දී සැරසින් සොහොයුරන් යළි ලංකාවට පැමිණියහ. ලංකාවේ සැබෑ ගල් ආයුධ තිබේ ය, යන අදහස සහ එහි ගල් යුගයක් පැවතියේ ය, යන අදහස තහවුරු කිරීම සඳහා තදුරටත් පර්යේෂණ පැවැත්වීම, ගමනේ අරමුණ විය. ලංකාවට පැමිණි ඔවුහු වැල්ලවායට නුදුරු තෙළුල්ල අසල ‘දානියා ගල් ගේ’ කැණීම් කළහ. එහෙත් ප‍්‍රාග් ඓතිහාසික මානව ජනාවාස සාධක හමු නො වී ය. ඊළ`ගට කතරගම ගිය ඔවුහු කිරි වෙහෙර අසල ගල් ගේ නම් ස්ථානයෙහි ඇති ‘දෙබිඩි ගල් ගේ’ කැණීම් කළහ. ඉන් තිරුවානා පාෂාණවලින් තැනූ ගල් ආයුධ, කහඳ පාෂාණ න්‍යෂ්ඨියක් ඇතුළු අවශේෂ හමුවිණි. එහෙත් මේවා සැබෑ මානව කෘතීන් ද? යන සැකය ද ඔවුන් තුළ පැවතිණි. අනතුරුව සැරසින්වරු බිබිලේ හරහා ‘වැදි රටට’ (වැදි ජනයා බහුලව වෙසෙන ප‍්‍රදේශය) ගියහ. එහි දී බිබිල සහ නිල්ගල අතර පිහිටි ගල් ලෙන් ගණනාවක් ගවේෂණය කළහ. එයින් ද ප‍්‍රාග් ඓතිහාසික මානව ජනාවාස සාධක හමු නො වී ය.

ඊට පසුව ඔවුහු නිල්ගල ප‍්‍රදේශයේම ‘ගොන්ගොඩදෙණිය’ නම් ගල් ලනක් කැනීම් කළහ. එයින් ශිලා මෙවලම්, සත්ත්ව අවශේෂ සහ ඉතා තදින්ම ජීර්ණය වීම නිසා කැබලි බවට පත්වූ මානව ඇට සැකිල්ලක් ද සොයා ගත්හ. සැරසින්වරුන් එය, ‘ගොන්ගොඩදෙණිය’ ගල් ලෙන යයි කීව ද, ජනප‍්‍රිය ව්‍යවහාරයේ දී එය ‘නිල්ගල ගල් ලෙනයි’.

පසු කාලීනව නිල්ගල අවට ප‍්‍රදේශයේ පර්යේෂණ කළ ආචාර්ය සිරාන් දැරණියගල මහතා පවසන අන්දමට, සැරසින්වරුන්ට මානව ඇට සැකිල්ලක් හමුවූ ගල් ලෙන, නිල්ගල ගල් ලෙනයි. එහි සැබෑ නම ‘මහවෙල ගල් ලෙන’ බව දැරණියගල මහතාගේ මතයයි. සැරසින්වරුන්ට හමුවූ දිරා ගිය මානව ඇට සැකිල්ල, ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණවලින් සොයා ගත් ප‍්‍රථම ආදි මානව ඇට සැකිල්ල ද වෙයි.

නිල්ගල ගල් ලෙන කැණීමේ දී සැරසින් සොහොයුරන් ‘පස් ස්ථර වින්‍යාස සංකල්පය’ ද (පස් තට්ටු අනු පිළිවෙල අධ්‍යනය කිරීම), භාවිතකර තිබිණි. එකල එය ළදරු වියෙහි පැවති සංකල්පයක් විය. කෙසේ වෙතත් ඔවුන් පස් ස්ථර වින්‍යාස සංකල්පය කැණීමකට භාවිතකර තිබුණේ ද ලංකාවේ ප‍්‍රථම වරට ය. ඇට සැකිල්ල හමුවූ පස් ස්ථරය, අදින් වසර 5500ක් පමණ පැරණි වියහැකි බව නූතන පුරාවිද්‍යාඥයන්ගේ මතයයි. ඉන් සොයා ගත් සත්ත්ව අවශේෂ අතර, වර්තමානයෙහි පහත රට තෙත් කලාපයට පමණක් සීමාවී සිටින ‘අකාවස්’ (Acavus) වර්ගයේ ගස් බෙල්ලන්ගේ කොටස් ද බහුලව තිබිණි.

පසුව ඔවුහු නිල්ගල ඉසව්වේම දානිගල ගල් ලෙන්, මාලිගහ ගල් ලෙන්, ඇකිරියන්කුඹුරේ ගොන්ජිනේ ගල් ලෙන ආදී ස්ථානවල ද කැණීම් කළහ. එහෙත් සාර්ථක ප‍්‍රථිපල නො ලැබිණි. ශ‍්‍රී ලංකාවේ ගල් යුගයක් පැවති බව, සාධක සහිතව පෙන්නුම් කිරීම සැරසින්වරුන්ගේ අභිප‍්‍රාය විය. ඔවුහු ඒ සඳහා දිගින් දිගටම පර්යේෂණ කළහ.


කඳුරට චාරිකා

මීළඟට සැරසින් සොහොයුරන් යොමු වූයේ රටේ උස් බිම් තෙත් කලාපයට අයත් ප‍්‍රදේශවලට ය. ඒ අනුව, බණ්ඩාරවෙල ප‍්‍රදේශයේ කඳුකර භූමි ගණනාවක් ගවේෂණය කළහ. එහි දී පොළොව මතුපිටින් කහඳ සහ තිරුවානාවලින් සාදන ලද ශිලා මෙවලම් බහුල වශයෙන් හමු විණි. ඉන් පසුව සැරසින්වරු මහනුවර ප‍්‍රදේශයේ ගවේෂණවලට යොමු වූහ. ඉන් පොළාව මතුපිටින් ගල් ආයුධ සුළු ප‍්‍රමාණයක් පමණක් සොයා ගන්න ලදී.

ඉක්බිති ඔවුහු පේරාදෙණියට ගියහ. එහි දී ඔවුන්ට ඊ. ඊ. ග‍්‍රීන් සහ ජේ. පෝල් යන බි‍්‍රතාන්‍ය ජාතික පුරාවිද්‍යාඥයන් දෙදෙන මුණ ගැසුණි. එය ඉතාමත් වැදගත් අවස්ථාවක් විය. හමුවේ දී ඔවුන්ට, ග‍්‍රීන් මහතා පුණ්ඩළුඔය ප‍්‍රදේශයෙන් රැස් කළ ගල් ආයුධ එකතුවත්, පෝල් මහතා මස්කෙළිය සහ නාවලපිටියෙන් රැුස් කළ ගල් ආයුධ එකතුවත් පරීක්ෂා කරන්නට අවස්ථාව ලැබිණි. ඉක්බිතිව ඔවුහු එක්ව, ඒ සියල්ල ස්ථිර වශයෙන්ම සැබෑ මානව කෘතීන් බව ප‍්‍රකාශයට පත් කළහ. ඉන් නො නැවතී, පේරාදෙණියට නුදුරින් මහවැලි ගඟ අසල ඇති කඳුකර භූමි ද ඒකාබද්ධව ගවේෂණය කළහ.

 
නිල්ගලට නුදුරු එක්ගල් ඔය ජලාශය


සැරසින්වරු ලංකාවේ ශිලා මෙවලම් වර්ගීකරණය කළේ ද යම් විධිමත් පිළි වෙලකට ය. මේ වන විට,  යුරෝපයේ ගල් ආයුධ වර්ගීකරණ රටාවක් සැකසී තිබිණි. ඊට පදනම්ව තිබුණේ  ඕස්ටේ‍්‍රලියාවේ සහ අන්දමන් දූපත්වල කෙරුණු පර්යේෂණයි. සැරසින්වරු ලංකාවේ ගල් ආයුධ වර්ගීකරණය කළේ, ඒ යුරෝපීය රටාවන් ද සංසන්දනාත්මකව සම්බන්ධකර ගනිමිනි. ඒ අනුව ඔවුන් ප‍්‍රකාශ කළේ, ලංකාවේ ගල් ආයුධ යුරෝපියානු මධ්‍ය ශිලා යුගයට අයත් නො වන බවයි. ලංකාවේ ගල් ආයුධ අයත් වන්නේ, මැඩලීනියානු යුරෝපයේ අවසන් පැලියෝලිතික අවධියට බව, පෝල් සැරසින් මහතාගේ මතය විය.

පර්යේෂණවලින් පසුව, සැරසින්වරු ලංකාවෙන් රැස් කළ ගල් අයුධ එකතුව සහ අනෙකුත් ප‍්‍රාග් ඓතිහාසික පුරා වස්තු, ඔවුන්ගේ මව් රට වන ස්විට්සර්ලන්තයට ගෙන ගියහ. අද ඒවා එ රට ‘බාසල් නුවර’ සංස්කෘතික ඉතිහාස කෞතුකාගාරයේ තැන්පත්කර තිබේ. ඒ සමගම ඔවුහු, ලංකාවේ සිය පර්යේෂණ අත්දැකීම් අළලා ජර්මන් බසින් ලියූ ග‍්‍රන්ථයක් ද (Pri History of Sri Lanka) පළ කළහ.

(ඡායාරූප-අන්තර්ජාලයෙනි)
2015/03/29-ඉරුදින



No comments:

Post a Comment