Total Pageviews

Saturday, March 21, 2015

ලෝක මානව වංශ කතාවේ ලාංකේය පරිච්ඡේදය





පාහියන් ලෙන පිහිටි පාහියන්ගල කඳු වැටිය


බටදොඹ ලෙන
ලෝක මානව වංශ කතාවේ ලාංකේය පරිච්ඡේදය
අදින් වසර 20,000කට ඉහත 
බලංගොඩ මානවයෝ වැසි වනාන්තර ජයගත් බව 
ජාත්‍යන්තර සයන්ස් සඟරාව කියයි

(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර) 
වමේ සිට ඉදිරි පෙළ-ඔෂාන් වෙදගේ, ආචාර්ය සිරාන් දැරණියගල,
ආචාර්ය නිමල් පෙරේරා සහ ඇල්ප්‍රඩ් ද මැල් යන
මහත්වරු පාහියන් ලෙන කැණීම් පරීක්ෂා කරමින්
අදින් වසර 20,000කට පමණ ඉහත කාලයේ දී ශ‍්‍රී ලංකාවේ විසූ නවීන මානවයන්, ලෝක මානව පරිණාම ඉතිහාසයේ ඉතා විශිෂ්ඨ සන්ධිස්ථානයකට එළඹුණු බව, බි‍්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේ මානව පුරාවිද්‍යා පර්යේෂකයෙකු වන පැටි‍්‍රක් රොබර්ට්ස් (Patrick Roberts) මහතා ඇතුළු පිරිසක් විසින් කළ පර්යේෂණයකින් හෙළිවී තිබේ. එය ලෝක මානව පරිණාම ඉතිහාසය අලූතින් ලියන්නට තරම් වැදගත් කාරණයක් බව ද ඔහු සඳහන්කර ඇත.

ලංකාවේ විසූ නවීන මානවයන් සම්බන්ධ මේ කාරණය සඳහන් වන්නේ, ජාත්‍යන්තර ශාස්ත‍්‍රීය ප‍්‍රකාශනයක් වන ‘සයන්ස්’ සඟරාවේ 
(Science/Vol-347no6227/13March 2015) අලූත්ම කලාපයෙහි පළවූ පර්යේෂණ ලිපියක ය. එය ඉදිරිපත්කර ඇත්තේ, බි‍්‍රතාන්‍යය ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේ පැටි‍්‍රක් රොබර්ට්ස්, ලංකාවේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ ආචාර්ය නිමල් පෙරේරා, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඔෂාන් වෙදගේ, බි‍්‍රතාන්‍යයේ බ‍්‍රැඞ්ෆෝර්ඞ්  විශ්වවිද්‍යාලයේ පර්යේෂක, ආචාර්ය සිරාන් දැරණියගල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ජූඞ් පෙරේරා  සහ සමන් ඇරෑගම, බි‍්‍රතාන්‍යයේ ඇන්ඩෘ ග්ලෙඞ්හිල්, මහාචාර්ය මයිකල් ඞී. පැට‍්‍රාලියා, සහ ජුලියා ඒ. ලී-තොර්ප් යන විද්වතුන් විසිනි. එහි සඳහන් වන ආකාරයට, ලොව නවීන මානවයන් ඝර්ම කලාපීය (නිවර්තන කලාපීය) වර්ෂා වනාන්තර පරිසරයට අනුගතව ජීවත්වූ බවට ප‍්‍රථම විද්‍යාත්මක සාක්ෂි සමූහය ලැබෙන්නේ ශ‍්‍රී ලංකාවෙනි. එය සිදුව ඇත්තේ අදින් වසර 20,000ක් තරම් ඈත කාලයේ දී ය. පර්යේෂකයන් මෙම තොරතුරු අනාවරණයකර ගෙන ඇත්තේ, ලංකාවේ ප‍්‍රකට ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා කැණීම් භූමි වන, කුරුවිට ‘බටදොඹ ලෙන’, බුලත්සිංහල ‘පාහියන් ලෙන’, බලන්ගොඩ ‘කූරගල’, සහ උඩවලවේ ‘බෙල්ලන්බැඳිපැලැස්ස’ යන ස්ථානවලින් ලැබුණු නවීන මානව අවශේෂ, ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේ දී ගැඹුරු හැදෑරීම්වලට ලක් කිරීමෙනි.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා
 පාහියන් ලෙන කැණීම් භූමියේ දී

ලෝක මානව පරිණාම ඉතිහාස පුවත

පුරාවිද්‍යාඥයන් පවසන අන්දමට, ලෝක මානව පරිණාම ඉතිහාසයේ කතා පුවත, විචිත‍්‍රවත් එකකි. එය පෘථිවි ඉතිහාසයේ ‘ප්ලයිස්ටෝසීන’ හෙවත් ‘හිම යුගය’ තරම් ඈතට දිවෙයි. එය අදින් වසර මිලියන 02 කට හෝ, 1.67 කට ඉහත එළඹිණි. පසුව අදින් වසර 10,000 කට හෝ 12,000 කට ඉහත එය අවසන් විය. ඉන් පසුව ‘හොලෝසීන යුගය’ ඇරඹිණි. පෘථිවියේ අවසන් හිම යුගය ද එයයි. ඇතැම්හු එය, ‘අවසන් ප්ලයිස්ටෝසීන යුගය’ හෙවත්, ‘අවසන් හිම යුගය’ යනුවෙන් ද හඳුන්වති. පෘථිවි ඉතිහාසයේ ‘මධ්‍ය ශිලා යුගය’ එළඹෙන්නේ, ‘අවසන් හිම යුගය’  නිමාවී යන සමයේ දී ය. ඉතා කෙටියෙන් කිවහොත්, ‘මධ්‍ය ශිලා යුගය’ යනු අවසන් හිම යුගයේ නිමාව ඇරඹී, හොලෝසීන යුගයේ ආරම්භය දක්වා වූ කාල වකවානුවයි. අවසන් හිම යුගයේ ‘මධ්‍යම සමය’, අදින් වසර 1,25,000 ක් පමණ පැරණි ය. මේ කාලයේ පටන්ම, (එනම් මධ්‍ය ශිලා යුගයේ පටන්ම) ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික මානව ජනාවාස පැවතිණි.මෙතෙක් කෙරී ඇති  පර්යේෂණ අනුව, මනුෂ්‍යයන් ලොවට බිහිවී ඇත්තේ අප‍්‍රිකානු මහද්වීපයෙනි. එය සිදු වූයේ, අදින් වසර විසි ලක්ෂයකට පමණ ඉහත දී ය. ඉක්බිති ඔවුහු ලොව පුරා ව්‍යාප්ත වූහයි කියනු ලැබේ. මෙය හඳුන් වන්නේ, ‘අප‍්‍රිකාවෙන් නික්මීමේ න්‍යාය’ (Out of Africa Theory) යනුවෙනි. අප‍්‍රිකාවෙන් නික්මුණු මානවයෝ, එක් පැත්තකින් යුරෝපය දෙසටත්, අනෙක් පැත්තෙන් සීනායි අර්ධද්වීපය (වත්මන් මැද පෙරදිග), අරාබි මුහුද ආශ‍්‍රිත ගොඩබිම් ඔස්සේ, ඉන්දියන් සාගර පරිධියේ පිහිටි ලංකාව සහ ඉන්දියාව දෙසටත්, මැලේසියාව, ඉන්දුනීසියාව සහ බෝර්නියෝ දූපත් ඔස්සේ  ඕස්ටේ‍්‍රලියාවටත් සංක‍්‍රමණය වූහ. පුරාවිද්‍යාඥයන් එය හඳුන් වන්නේ, ‘දකුණු පිවිසුම් මාර්ගය’ යනුවෙනි. දඩයම්කර ගත් සතුන්ගේ මස්, එකල ඔවුන්ගේ ප‍්‍රධාන ආහාරය විය. ඔවුන් ‘නවීන මානවයන්’ බවට පත් වූයේ මේ සංක‍්‍රමණයේ දී ය. එනම්, අදින් වසර 1,25,000ත් 80,000ත් අතර වකවානුවේ ය. පෘථිවි ඉතිහාසය සම්බන්ධයෙන් එය අවසන් හිම යුගයේ ‘මධ්‍යම සමය’ හෙවත් ‘මධ්‍ය ශිලා යුගයයි’.

පෘථිවි ඉතිහාසයේ මධ්‍ය ශිලා යුගය යයි කියන්නේ, ‘නවීන මිනිසා’ ලොවට බිහිවී, ව්‍යාප්තවූ සමයයි. ඔහු ‘හෝමෝ සේපියන්ස් සේපියන්ස්’ ය. එ් අනුව, අපේ රටෙන් හමු වන මධ්‍ය ශිලා යුගයට අයත් ප‍්‍රාග් ඓතිහාසික මානව සාධක, අයත් වන්නේ ‘නවීන මානවයාට’ ය. අපේ භාවිතාව අනුව, මධ්‍ය ශිලා යුගයේ දී ලංකාවේ විසූ නවීන මානවයා හැඳින්වෙන්නේ ‘බලංගොඩ මානවයා’ යනුවෙනි. ඔහුගේ දිවි පෙවෙත ගැන හමු වන පුරාවිද්‍යාත්මක සාධක, අදින් වසර 48,000 ක් (පාහියන් ලෙන) පමණ පැරණි ය.

ජූඩ් පෙරේරා මහතා පාහියන් ලෙන මානව අවශේෂ විෂ්ලේෂණය කරමින්

ඉකුත් දශක කිහිපයෙහි මේ කාරණා සම්බන්ධයෙන් පර්යේෂණ සම්භාරයක්ම සිදු වී තිබේ. ඒවාට මූලිකත්වය දුන්නේ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයෙකුව ආචාර්ය සිරාන් දැරණියගල මහතා ය. ඉන් වැදගත්ම පර්යේෂණය 2005 වසරේ දී කුරුවිට, බටෙදාඹ ලෙනෙහි කෙරිණි.  දැරණියගල මහතාගේ මග පෙන්වීම පරිදි එය මෙහෙය වූයේ, එවකට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (කැණීම්) ධුරය හෙබවූ, ආචාර්ය එච්. නිමල් පොර්රා මහතා ය. එ් සඳහා  ඕස්ටේ‍්‍රලියාවේ කැන්බරා නුවර, ජාතික විශ්ව විද්‍යාලය, ස්කොට්ලන්තයේ ස්ටි‍්‍රලිං විශ්ව විද්‍යාලය, සහ එඩින්බරෝ විශ්ව විද්‍යාලය ඇතුළු විදෙස් පර්යේෂණ ආයතන රාශියක සහාය ලැබිණි. පර්යේෂණයත් සමගම, ලොව නවීන මානවයාගේ ආසියානු සංක‍්‍රමණය, ව්‍යාප්තිය, යැපීම් රටාව, අර්ථ ක‍්‍රමය සහ සොබා දහමේ අභියෝගවලට ඔරොත්තු දීම සම්බන්ධයෙන් අලූත් තොරතුරු රාශියක් අනාවරණය විය. ලෝක මානව පරිණාමයේ දී, මිනිසා ‘නවීන මානවයෙකු’ බවට පත් වූයේ, ලංකාව ඇතුළු දකුණු ආසියා භූමියේ දී ද? යන කාරණය, බටෙදාඹ ලෙන පර්යේෂණය ඔස්සේ ජාත්‍යන්තර කතිකාවක් ලෙස අලූතින් ගොඩ නැගිණි. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර තලයේ ප‍්‍රකාශන රැසක් ද පළ විය. 
පාසැල් දරුවෝ පාහියන් ලෙන
කැණීම් නරඹන්නට පැමිණ

‘මධ්‍ය ශිලා යුගය’ වූ කලී, ලොව ‘නවීන මිනිසාගේ (හෝමෝ සේපියන්ස් සේපියන්ස්) යුගයයි’. එනම්, නවීන මිනිසා ලොවට බිහි වීම, සහ ඔහු ලොව පුරා ව්‍යාප්ත වූ කාල වකවානුවයි. ‘ජ්‍යාමිතික හැඩයේ ක්ෂුද්‍ර ශිලා මෙවලම්’ භාවිතය, මධ්‍ය ශිලා යුගයේ විසූ මානවයන්ගේ අනන්‍ය ලක්ෂණයයි. සතුන් දඩයම සහ වන ද්‍රව්‍ය රැස් කිරීම, එකල විසූ මිනිසුන්ගේ මූලික ජීවන රටාව විය. එම ජීවන රටාවේ අවසාන සමය, ‘ජ්‍යාමිතික හැඩයේ ක්ෂුද්‍ර ශිලා මෙවලම්’ භාවිතය මගින් නිරූපනය වේ. මධ්‍ය ශිලා යුගය පැවති සෑම රටකින්ම එ්වා හමු වේ. කාලනිර්ණයන් සුළු වශයෙන් වෙනස් වුව ද, මධ්‍ය ශිලා යුගය පැවති රටවල ජ්‍යාමිතික හැඩයේ ක්ෂුද්‍ර ශිලා මෙවලම්වල බොහෝ සමානකම් තිබේ.




බලංගොඩ මානවයා

මධ්‍ය ශිලා යුගයේ දී ශ‍්‍රී ලංකාවේ විසූ මානවයන් ‘බලංගොඩ මානවයන්’ වෙති. ඔවුන් නිසැකවම ‘නවීන මානවයන්’ ය. එ් අනුව, ලංකාව ප‍්‍රධාන වශයෙන්ම ‘මධ්‍ය ශිලා යුගයේ මානවයන්’ හෙවත්, නවීන මානවයන් විසූ රටකි. අප‍්‍රිකාව හැරුණුවිට, මධ්‍ය ශිලා යුගයට අයත් ලොව පැරණිම ශිලා මෙවලම් හමුවෙන්නේ ද ශී‍්‍ර ලංකාවෙනි. මෙයින් ජ්‍යාමිතික හැඩයේ පැරණිම ක්‍ෂුද්‍ර ශිලා මෙවලම් ද බහුලව ලැබෙන්නේ ශී‍්‍ර ලංකාවෙනි. එය විශේෂිත කාරණයකි. නවීන මානවයා පිළිබඳ ප‍්‍රබල සාක්ෂියකි.

නූතන පුරාවිද්‍යාඥයන්ගේ අදහස වන්නේ, මුළු දකුණු ආසියාවෙන්ම, ''නවීන මානවයාගේ” ප‍්‍රධාන මධ්‍යස්ථානය වන්නේ ද, ශ‍්‍රී ලංකාව බවයි. ‘ජ්‍යාමිතික හැඩයේ ක්‍ෂුද්‍ර ශිලා මෙවලම්’ ඇතුළු නවීන මානවයාගේ පැරණිම සාධක රැුසක් ශ‍්‍රී ලංකාවෙන් හමු වීම, ඊට හේතුවයි. බුලත්සිංහල පාහියන් ලෙන (අදින් වසර 48,000), කුරුවිට බටෙදාඹ ලෙන (අදින් වසර 40,000), කිතුල්ගල බෙලි ලෙන, යන ස්ථාන ලංකාවේ පැරණිම නවීන මානව ජනාවාස ලෙස    සැලකෙයි. බලංගොඩට නුදුරු ‘බෙල්ලන්බැඳිපැලැස්සෙන්’ (අදින් වසර 12,500), 1956 වසරේ නවීන මානව ඇට සැකිලි සහ අවශේෂ සොයා ගැනීමත් සමගම, ලංකාවේ මානවයන් ‘බලංගොඩ මානවයන්’ ලෙස හැඳින්වීම ඇරඹිණි. බෙල්ලන්බැඳිපැලැස්සේ පැරණි කැණීම කළේ හිටපු කෞතුකාගාර අධ්‍යක්ෂවරයෙකු වන ආචාර්ය පී. ඊ. පී. දැරණියගල මහතා ය.

පැට්‍රික්   රොබර්ට්ස් මහතා
දකුණු ආසියාවේ ගත් කල, බලංගොඩ මානවයාගේ පැරණිම ඇටසැකිල්ලේ  කොටස් හමු වූයේ 1986 වසරේදී කළුතර, බුලත්සිංහල පිහිටි පාහියන් ලෙනෙනි. ඒ, එවක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් කටයුතු භාර අධ්‍යක්‍ෂවරයාව සිටි එච්. ඩබ්ලිව්. විජයපාල මහතාගේ ප‍්‍රධානත්වයෙන් කළ කැණීම්වල දී ය. එවකට කළ ගණනය කිරීම් අනුව, එම මානව අවශේෂ ද අදින් වසර 38,000 ක් පැරණි බව හෙළි විය. පසුව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක සහ ආචාර්ය සිරාන් දැරණියගල යන මහත්වරුන්ගේ මග පෙන්වීමෙන්, ආචාර්ය නිමල් පෙරේරා මහතා 2012 වසරේ කළ පර්යේෂණයෙන් හෙළි වූයේ, පාහියන් ලෙනෙහි මානව ජනාවාසය අදින් වසර 48,000ක් පැරණි බවයි. එතෙක් දකුණු ආසියාවේ පැරණිම ආදි මානව ජනාවාසය ලෙස සැලකුණේ ඉන්දුනීසියාවේ, බෝර්නියෝ දූපත්වල පිහිටි ‘නියා’ (Niah Cave Complex) ගල් ලෙනයි. අද ඒ කිරුළ හිමිව ඇත්තේ අපේ ‘පාහියන් ලෙනට’ ය. එහි මානව ජනාවාසය අදින් වසර 48,000ක් පැරණි වීමෙන් පෙනෙන්නේ, ඒ තරම් ඈත කාලයක පටන් ‘බලංගොඩ මානවයන්’ හෙවත් නවීන මානවයන්, ඝර්ම කලාපීය (නිවර්තන කලාපීය) වර්ෂා වනාන්තර පරිසරයට අනුගත වෙමින් ජීවත්වූ බවයි.
කූරගල

මෙහි තේරුම, අපූරු ය.  එනම්, ලොව දකුණු පිවිසුම් මාර්ගය ඔස්සේ සංක‍්‍රමණය වෙමින් පැමිණි ‘නවීන මානවයන්’ (බලංගොඩ මානවයන්), දකුණු ආසියාවට පා තැබූ මුල්ම ජනාවාසය ශ‍්‍රී ලංකාව බවයි. අසල්වැසි ඉන්දියාවෙන් පවා මේ තරම් පැරණි නවීන මානව ජනාවාස සාධක හමු නොවේ.

දැන්, ජාත්‍යන්තර ‘සයන්ස්’ සඟරාවේ අලූත්ම කලාපයෙහි පිටු අතර දිග හැරී ඇත්තේ ද මේ කතා පුවතෙහි අලූත්ම පරිච්ඡේදයකි. ඉන් සාක්ෂි සහිතව ඔප්පුකර සිටින්නේ, ලොව නවීන මානවයා අදින් වසර 20,000ක් තරම් ඈත කාලයේ සිට, ලංකාවේ ඝර්ම කලාපීය (නිවර්තන කලාපීය) වර්ෂා වනාන්තර පරිසරයට ඉතා සාර්ථකව අනුගත වෙමින් ජීවත්වූ බව ය. ආචාර්ය නිමල් පෙරේරා මහතා පවසන අන්දමට, එය ලෙහෙසි පහසු කටයුත්තක්  නොවේ.

ඝර්ම කලාපීය වර්ෂා වනාන්තර පරිසරයක් යනු, ගස් වැල්වලින් ගහණ, තෙත් කලාපීය පරිසරයකි. එහි තාල වර්ගයේ ශාක ද, වල් දෙල්, වෙරළු, කැකුණ ආදී ශාක ද තිබේ. අලින්, ගවරුන්, ආදී විශාල සතුන් සීමිත ය. කුඩා ක්ෂීරපායී සහ කුඩා උරග සතුන් ද, මත්ස්‍යයන් ද, බෙල්ලන් ආදී සතුන් ද බහුල ය. එහෙත් දඩයම් පිණිස වනාන්තරය තුළ උන් හඹා යාම ලෙහෙසි වූයේ නැත. මෙම තත්ත්වය නිසා වර්ෂා වනාන්තර පරිසරයෙහි ජීවත් වීම, ඇත්තටම අභියෝගයක් විය. දඩ මස් හෝ ආහාර ලබා ගැනීම දුෂ්කර දෙයක් විණි. යැපීම් ධාරිතාවය අඩු මට්ටමක පැවතුණි. එවන් පරිසරයක ඔවුන් ජීවත් වූයේ කෙසේ ද? යන්න, මෙතෙක් කලක් පුරාවිද්‍යාඥයන්ට ගැටළුවක් විය.

කෙසේ වෙතත්, පාහියන් ලෙන සහ බටදොඹ ලෙන ඇතුළු ලෙන් කැණිම්වලින් හෙළි වූයේ, එකල විසූ මානවයන් එම අභියෝගය ලෙහෙසියෙන් ජය ගෙන තිබුණු බවයි. ඔවුන්ගේ ආහාර අපද්‍රව්‍යය අතර, ශාක ද්‍රව්‍යය ද, කුඩා සතුන්ගේ අවශේෂ ද බහුලව තිබිණි. එය ඔවුන්, ඝර්ම කලාපීය (නිවර්තන කලාපීය) වර්ෂා වනාන්තර පරිසරයෙහි අභියෝග සාර්ථකව ජය ගෙන ජීවත්වූ බවට සාක්ෂියක් විය. ‘සයන්ස්’ ජාත්‍යන්තර ස`ගරාව හෙළි කරන්නේ ඒ කතා පුවතයි.

අදින් වසර 20,000ක් තරම් අතීතයේ දී ලංකාවේ විසූ නවීන මානවයන්, දඩයම් කළ සතුන්ගේ මස් මෙන්ම, ශාක ද්‍රව්‍යය ද එක සේ ආහාරයට ගෙන තිබූ බව, ‘සයන්ස්’ සඟරාව කියයි. එය ඔවුන් අලූත් ආහාර සංස්කෘතියකට එක් වුණු අවස්ථාවකි. පර්යේෂක පැටි‍්‍රක් රොබර්ට්ස් මහතා පවසන අන්දමට, අදින් වසර 20,000ක් තරම් ඈත වකවානුවක එවන් සාක්ෂි හමු වන්නේ ලංකාවෙන් පමණි. ඔහුට අනුව එය, නවීන මානවයා ඝර්ම කලාපීය (නිවර්තන කලාපීය) වර්ෂා වනාන්තර ආශ‍්‍රිතව සාර්ථකව යැපුණු බවට ලොව හමුවන පැරණිම සාක්ෂියකි.

‘සයන්ස්’ සඟරාවේ සඳහන් වන අන්දමට, පැටි‍්‍රක් රොබර්ට්ස් ඇතුළු පර්යේෂකයන්, ලංකාවෙන් හමුවූ නවීන මානව දත් ගැඹුරු පරීක්ෂාවන්ට ලක්කර තිබේ. එහි දී ඔවුන් ඒවායෙහි එනමලය කාබන් සහ ඔක්සිජන් සමස්ථානික ක‍්‍රමයකට
(Isotope Analysis) විශ්ලේෂණයකර ඇත. නවීනයෙකු වන්නට පෙර දඩ මස් පමණක් ආහාරයට ගත් ඔවුන්, අදින් වසර 20,000ක සන්ධිස්ථානයේ දී ශාක ද්‍රව්‍යය ද ආහාරයට එක්කර ගත් බව හෙළිවී ඇත්තේ එයිනි. එය ලෝක මානව පරිණාමයේ තවත් යෝධ පියවරකි.

කූරගල පර්වතය
ආචාර්ය නිමල් පෙරේරා මහතා පවසන අන්දමට, මානව පරිණාමයේ අදින් වසර 20,000ක වකවානුව විශේ්ෂ ය. බටදොඹ ලෙනෙහි විසූ නවීන මානවයන්, අදින් වසර 20,000කට ඉහත දී තාල වර්ගයේ ශාකවල ගොබ, පත‍්‍ර සහ අනෙකුත් කොටස්වලින් නිදා ගැනීමේ ඇතිරිලි, බඳු ද්‍රව්‍ය, දඩ මස් තබන මැසිවලට එලන ඇතුරුම්, කුඩා පැසක් බඳු බඳුන් ආදිය නිපදවා ගත් බව, 2005 වසරේ කළ පර්යේෂණයෙන් සොයා ගැනුණි. ඒ බව 2011 වසරේ සැප්තැම්බරයේ පළ වූ, ‘හියුමන් ඉවලියුෂන්’ (Journal of Human Evolution-vol-61) ජාත්‍යන්තර සඟරාවේ පළ විය.

අදින් වසර 20,000ක් යනු ලෙහෙසි කාලයක් නොවේ. ඒ කාලය තුළ, ලෝක මානව පරිණාමයේ වංශකතාවට ලාංකේය පරිච්ඡේදයක් එක් වීම, අපූර්වත්වයකි.

(පින්තූර-ප්‍රෑන්ක් ද සොයිසා/සරත් වීරවංශ සහ අන්තර්ජාලයෙනි)

2015/05/22-ඉරුදින





No comments:

Post a Comment