කහට කෝප්පේ තිත්ත කතාව
කසල තේ, සිලෝන් ටී සහ කොස්ටික් සෝඩා
කසල තේ (ඡයාරූපය සන්ඩේ ඔබ්සවර්) |
කම්හල වැටලූ අවස්ථාවේ සීනි කිලෝග‍්‍රෑම් සියයකට අධික සංඛ්‍යාවක්ද, කෝස්ටික් සෝඩා කිලෝ ග‍්‍රෑම් තිස් ගණනක් ද, තවත් ද්‍රව්‍යයද සොයා ගැනුණි. පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ලබාගත් ඒවායෙහි සාම්පල් දැන් වැඩිදුර පරීක්‍ෂණ සඳහා ශ‍්‍රී ලංකා තේ මණ්ඩලයේ රසායනාගාරය වෙත යොමුකර තිබේ.
තේ දළු නෙලීම |
තේ, උත්තේජක පානයකි. එය මුලින්ම ලංකාවේ ප‍්‍රචලිත කළෝ, යටත් විජිත පාලන සමයේ දී අපේ රට පාලනය කළ බි‍්‍රතාන්‍යයෝ ය. ලංකාවේ සාර පොළොවෙහි වැවෙන තේ ගසින් උපදින දල්ලෙන් නිපැයෙන ‘තේ කොල’ ලොවටම රස බෙදන අනර්ඝ පානයකැයි මුලින්ම සොයා ගත්තෝ ඔවුහුය. එතැනින් පටන් ගත් වැවිලි බෝග සංස්කෘතිය තුළ, රටට විදේශ විනිමය ලැබෙන අංක එකේ ආදායම් මාර්ගය වූයේ තේ නිපදවීමය. එකල අංක එක තේය. ඊළඟට රබර් හා පොල්ය.
වත්මනෙහි රටේ තේ වගා කෙරුණු සමස්ත බිම් ප‍්‍රමාණය හෙක්ටයාර් 2,22,000කි. එය ‘පහතරට’, ‘මැදි රට’ සහ ‘කඳුරට’ තේ වගාවන් වශයෙන් කාණ්ඩ තුනකට වර්ගකර තිබේ. ඉන් බහුතර භූමිය කුඩා තේ ඉඩම් හිමියන් සතුවද, ඉතිරි කොටස මහා පරිමාණ පෞද්ගලික වතු සමාගම් යටතේද, රජයට අයත් රාජ්‍ය වැවිලි සංස්ථාව සහ ජනතා වතු සංවර්ධන මණ්ඩලය යන ආයතන යටතේ ද පාලනය වෙයි. මේ සියල්ලෙන්ම නිපැයෙන දළු, තේ කම්හල් 400ක පමණ දායකත්වයෙන් ‘නිමි තේ’ බවට පත්වේ. සියල්ලෙන්ම වසරකට නිපදවන තේ ප‍්‍රමාණය කිලෝග‍්‍රෑම් මිලියන 340.2ක් (දළ වශයෙන් මෙටි‍්‍රක් ටොන් 3,40,000ක්) පමණ වෙතියි 2013 වසරේ ශ‍්‍රී ලංකා මහබැංකු වාර්තාව කියයි. මුළු නිපැයුමෙන් මෙටි‍්‍රක් ටොන් 3,19,673ක් පමණ මැදපෙරදිගද ඇතුළුව ලොව රටවල් 31කට පමණ අපනයනය කෙරේ. ඒ ‘සිලෝන් ටී’ (Ceylon Tea) යන අද්විතීය ජාත්‍යන්තර වෙළෙඳ සන්නාමයෙනි. ඉන් වාර්ෂිකව රටට ලැබෙන ආදායම 2013 වසරේදී රුපියල් මිලියන 1,99,446ක් විය. 2013 වසරේ ශ‍්‍රී ලංකා මහබැංකු වාර්තාව පවසන අන්දමට, ලංකාවේ සමස්ත අපනයනයන්ගෙන් සියයට 14.8ක්ම තේ නිෂ්පාදනය. තේ වගාවේ නියැලෙන ශ‍්‍රමික පිරිසද ලක්‍ෂ ගණනකි. තේ නිෂ්පාදන කර්මාන්තය ක‍්‍රියාත්මක වන්නේ 1957 අංක 51 දරන තේ පාලන පනත යටතේය. ශ‍්‍රී ලංකා තේ මණ්ඩලය එහි බලතල ප‍්‍රකාරව, රජය වෙනුවෙන් තේ නිෂ්පාදන කර්මාන්තය හසුරුවයි. මින් පෙනී යන්නේ, තේ වගාව වූ කලී අදත් ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයෙන් අති විශාල තීරුවක් නියෝජනය කරන බවය.
තේ කම්හලක ඇතුළත (ඡයාරූපය සන්ඩේ ඔබ්සවර්) |
රටට මේ තරම් වැදගත් තේ නිෂ්පාදන ක්ෂේත‍්‍රය, කූට ජාවාරම්කරුවන්ගේ ග‍්‍රහණයට නතුවෙමින් යන ආකාරයක් දැන් දැන් දක්නට ලැබේ. ඒ බව හෙළිදරව් වන්නේ, පොලිස් විශේෂකාර්ය බලකාය කරන වැටලීම් මගින් මතුවන තොරතුරු ඔස්සේය. ඒ අනුව ලංකාවේ තේ ජාවාරමෙහි ප‍්‍රධාන මාදිලි තුනක් ඇති බව නිරීක්‍ෂණය කළ හැකිය.
ලෝකය ලංකාවේ තේ ප‍්‍රිය කරන්නේ එය අතිශයින්ම ස්වාභාවික පානයක් වන බැවිනි. එසේ වුවද කූට ජාවාරම්කරුවෝ දැන් තේ නිෂ්පාදනයේදී එයට කෝස්ටික් සෝඩා, සීනි ඇතුළු ලිපියෙහි මුලින් සඳහන් කළ කෘතිම ද්‍රව්‍ය කලවම් කරති. සමහර තේ කම්හල් පාලකයෝ දළු ඇඹරුමේ දී ‘උක් පැණි’ ද එක් කරන බව ප‍්‍රකටය. ඔවුන් මෙසේ කරන්නේ තමන් නිපදවන තේවලට වැඩි කහටක් සහ කළු වර්ණයක් ඇති කිරීම පිණිසය. එය ජාවාරමෙහි එක් මාදිලියකි.
අනෙක් මාදිලිය වන්නේ, තේ කම්හල්වලින් ඉවත දමන කසල තේ, කෘතිමව රස ගන්වා, කූට ලෙස අපනයනය කිරීමය. ඉන්දියාව, වියට්නාමය සහ ඉන්දුනීසියාව යන රටවලින් ගෙන්වන බාල තේවලට, ලංකාවේ උසස් තේ ටිකක් කලවම්කර කූට ලෙස අපනයනය කිරීම, තේ ජාවාරමෙහි තුන් වැනි මාදිලියයි.
සියලූම කූට ජාවාරම් මගින් සකසා තේ, ලංකාවේ උරුමයක් වූ ‘සිලෝන් ටී’ යන කීර්තිමත් වෙළෙඳ නාමයෙන් පිටරට යැවීම, මෙහි ඇති බරපතල ඛේදවාචකයයි.
පෙබරවාරි මස 15 වැනිදා පොලිස් විශේෂ කාර්ය බලකාය ගාල්ල දිස්ත‍්‍රික්කයෙන් වැටලූ තේ කම්හල, ප‍්‍රකට තේ කම්හල් ජාලයකින් එකකි. ඒ ගැන උනන්දුවක් දක්වන අය කියන්නේ, ඔවුන්ගේ කූට ජාවාරම් ගැන කොතෙක් පැමිණිලි කළද, නීතිය හරිහැටි ක‍්‍රියාත්මක නොවන බවයි.
‘ඉරුදින’ට ලැබුණු තොරතුරු අනුව, පෞද්ගලික තේ කම්හල් බොහොමයක මෙන්ම වැවිලි සමාගම්වලට අයත් සමහර තේ කම්හල්වලද, කෝස්ටික් සෝඩා, උක් පැණි, සීනි, පෙරස් කුඩු ආදී තේ නොවන ද්‍රව්‍ය එක් කිරීම හොර රහසේ, ජයටම සිදුවේ. පවනේ වියලා ගත් අමු දළු, ඇඹරුම් යන්ත‍්‍රයට ඇතුළු කරන්නට පෙර, ජලයේ දියකර ගත් තේ නොවන ද්‍රව්‍ය මල්බාල්දි ආධාරයෙන් ඉසින බව තතු දන්නා අය කියති. එයට යොදවන කම්හල් සේවකයන්ට ‘අත යටින්’ වෙනම වැටුප් ගෙවන බවද ප‍්‍රකටය.
ජාවාරම්කරුවන් තම නිපැයුමට තේ නොවන ද්‍රව්‍ය එක් කරන්නේ, කහට සහ කළු වර්ණය වැඩිපුර ලබා ගැනීමේ අරමුණෙනි. එසේ නම් ඔවුන්ගේ තේ නිපැයුම ඒ තත්ත්වයට පත් වූයේ මන්ද? යන ගැටලූව මතුවේ.
ඊට හේතුවන කතා පුවත ඇරඹෙන්නේ අමු තේ දළු නෙලීමේ සිටය. තේ වගාවේදී උසස් ප‍්‍රමිතියේ ‘නිමි තේ’ ලබා ගැනීමට නම්, නිසි ප‍්‍රමිතියට අයත් දළු (දළු දෙකහමාරේ) පමණක් නෙලා ගත යුතුය. එහෙත් අමු දළු ප‍්‍රමාණය වැඩිකර ගැනීමේ තණ්හාවෙන් සමහරු නිසි ප‍්‍රමිතියට නැති (කොල තුනේ හතරේ දළු ද) නෙලා ගනිති. එවිට නිපැයෙන්නේ උසස් තේ නොව, ‘බාල තේ’ය. එබැවින් සමහර තේ කර්මාන්තකරුවෝ, තම නිපැයුමට තේ නොවන රස කාරක සහ වර්ණකාරක කෘතිමව එක් කරති. ඉන් වැඩි ආදායමක් උපයති. මෙයින් සිදු වන්නේ කීර්තිමත් ‘ලංකා තේ’ (සිලෝන් ටී) නමින් ‘බාල තේ’ විදේශගත වීමය.
තේ නිපදවීමේදී ඕනෑම කම්හලක සාමාන්‍යයෙන් සමස්ත නිපැයුමෙන් සියයට 4-6ක් පමණ ‘කසල තේ’ වශයෙන් ඉවත් කෙරේ. එයින් යම් කොටසක්, මනුෂ්‍ය භාවිතාව සඳහා ප‍්‍රති නිෂ්පාදනය කර ගත හැකිය. ඉතිරි කොටස කසල හෝ පොහොර වශයෙන් ඉවත් කෙරේ.
පවතින නීතියේ හැටියට කසල තේ, අපනයනය කිරීම සපුරා තහනම්ය. එහෙත් කසල තේවලින් මනුෂ්‍ය පානයට සුදුසු ලෙස ‘ප‍්‍රති නිෂ්පාදනයකර ගත හැකි තේ සැකසීම සඳහා තේ මණ්ඩලය ඉතා සීමිතව බලපත‍්‍ර නිකුත් කරයි. ප‍්‍රති නිෂ්පාදන කටයුත්ත බහුලව කෙරෙන්නේ අම්බලන්ගොඩ සහ බලපිටිය යන ප‍්‍රදේශවලය. ඔවුන් ප‍්‍රති නිෂ්පාදනය කරන තේ, නිකුත් කෙරෙන්නේ දේශීය වෙළෙඳපොළටය. කරුණු මෙසේ වුවද, කූට ජාවාරම්කරුවන් විසින් ඉතාමත් හොර රහසේ කසල තේ පිටරට යවති. ඒ ‘පියෝ සිලෝන් ටී’ යන කීර්තිමත් ලේබලයද සහිතවය. ඒ ජාවාරම රට සල්ලි උල්පතකි. ඔවුන් කරන්නේ ‘හොඳ තේ’ යම් ප‍්‍රමාණයක්ද, කෝස්ටික් සෝඩා සහ සීනි ආදී තේ නොවන ද්‍රව්‍යද කසල තේවලට මිශ‍්‍රකර අපනයනය කිරීමය. එවිට විදේශ වෙළෙඳපොළට ‘සිලෝන් ටී’ නමින් ලැබෙන්නේ මළ ජරාවකි. ඉන්දියාවෙන් සහ වියට්නාමයෙන් ආනයනය කෙරෙන තේ, ලංකාවේ තේ සමග මිශ‍්‍ර කොට ‘සිලෝන් ටී’ නමින් එතෙර යැවීම ද මෙම ජාවාරමේම කොටසකි.
පොලිස් විශේෂ කාර්ය බලකාය දැන් කලක පටන්ම මේ ජාවාරමට එරෙහිව කටයුතු කරමින් සිටින්නේය. ඔවුන්ට ශ‍්‍රී ලංකා තේ මණ්ඩලයේ සහාය ද ලැබී තිබේ. ගෙවී ගිය 2014 වසරේ පමණක් ඔවුන් විසින් අත්අඩංගුවට ගත් කසල තේ ප‍්‍රමාණය මෙටි‍්‍රක් ටොන් සියයද ඉක්මවයි. ජාවාරම යම් පමණකට පාලනය වී තිබෙන්නේ ඔවුන්ගේ මෙහෙවරට පින් සිදු වන්නටය.
වැටලීම් තොරතුරු අනුව, කසල තේ ජාවාරම මෙහෙයවන්නේ ගම්පොළ ප‍්‍රදේශය මුල්කරගත් මුස්ලිම් ජාතික ව්‍යාපාරික පිරිසකි. ගම්පොළට අමතරව, කුරුණෑගල, ග‍්‍රෑන්ඞ්පාස්, මාවනැල්ල සහ කොලොන්නාව යන ප‍්‍රදේශද මෙයට සම්බන්ධය.
ලංකාව පමණක් නොවේ. ඉන්දියාව, කෙන්යාව, පකිස්තානය ආදී රටවල් ද උසස් තත්ත්වයේ තේ නිපදවයි. එබැවින් ජාත්‍යන්තර වෙළෙඳපොලේදී ලංකාවේ තේවලට ඇත්තේ උග‍්‍ර තරගයකි. ලංකාවේ තේ ඉන් ජය ලබන්නේ කීර්තිමත් ‘සිලෝන් ටී’ නාමය නිසාය. තේ වලට තේ නොවන ද්‍රව්‍ය එක් කිරීම සහ කසල තේ ජාවාරම නිසා දැන් ඒ කීර්තිය බිඳවැටෙමින් තිබේ. 2013 වසරේ මැයි මාසයේ ලංකාවට පැමිණි ඉරාක රජයේ දූත පිරිසක්, රජයෙන් ඉල්ලා තිබුණේ තම රටට කසල තේ නොඑවන ලෙසයි. ඔවුන් තම බැග්ඩෑඞ් අගනුවරින් සොයා ගත්, ‘සිලෝන් ටී’ ලේබලය සහිත කසල තේ සාම්පල් පවා ලංකාවේ බලධාරීන්ට ඉදිරිපත් කර තිබිණි. එවකට ඇමතිවරයෙකු වූ රිෂාඞ් බදුර්දීන් මහතාටද තේ සාම්පල් දැක ගන්නට ලැබිණි. කසල තේ ජාවාරම කොතෙක් ඔඩු දුවා ඇතිද යන්න තේරුම් ගැනීමට ඒ සිද්ධිය වුව ප‍්‍රමාණවත්ය.
රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයා හමුවූ ඉරාක නියෝජිතවරු |
ජාවාරම් මැඞීම සඳහා තේ මණ්ඩලය ලොකු උනන්දුවක් නො ගන්නා බව, බොහෝ දෙනෙකු චෝදනා කරති. ලියුම්කරු ඔවුන්ගේ පාර්ශවයෙන් තොරතුරු ගැනීම සඳහා 2015 පෙබරවාරි 25 වැනිදා දහවල් තේ මණ්ඩලයේ සභාපතිවරයා ඇමතීමට උත්සාහ කළද එය ව්‍යවර්ථ විය. ඊළඟට අංක 011-2508991 දුරකතනය ඔස්සේ එහි අධ්‍යක්‍ෂ ජනරාල් අනුර සිරිවර්ධන මහතා ඇමතීය. ඔහු පැවසුවේ කසල තේ ජාවාරම ගැන තේ කොමසාරිස් ගයන්ත එදිරිසිංහ මහතාගෙන් අසා දැන ගන්නා ලෙසයි. ඉන් පසුව පස්වරු 2.07ට පමණ ඔහු ඇමතීමට හැකි විය. ඔහු ඉරුදිනට පැවසුවේ එබඳු තොරතුරු ලබාදීමට නම්, තම ආයතනයේ සභාපතිවරයාගෙන් ලිඛිත අනුමැතියක් ලබා ගත යුතු බවයි. තමන්ට හදිසි ‘මීටිමකට’ යන්නට තිබෙන බැවින් ඇමතුම ද අවසන් කළේය. ජාවාරම් ගැන මතය විමසීම සඳහා ලංකා තේ කම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති ගයාන් සමරසේකර මහතා ඇමතීමට 091-5638898 දුරකතන අංකය ඔස්සේ උත්සාහ කළද, බ‍්‍රහස්පතින්දා (26) වනතුරුද ඔහුගෙන් ඇමතුමක් නොලැබිණි. සමස්ත ක්ෂේත‍්‍රයම තේ ජාවාරම් අරභයා දීර්ඝ නිද්‍රාවක ගිලී ඇති බවක් ලියුම්කරුට සිතුණි.
‘ඉරුදින’ කළ විමසුමේ දී ලංකා වතු සේවා සංගමයේ සභාපති ධම්මික ජයවර්ධන සහ ප‍්‍රධාන ලේකම් නාත් අමරසිංහ යන මහත්වරු පැවසුවේ තේ නිපැයුම් කර්මාන්තයට හානි ඇති කරන කූට ජාවාරම්වලට තම සංගමය විරුද්ධ බවයි. තමන් ඒ ගැන කරුණු අධ්‍යනය කරමින් සිටින බවද ඔවුහු කීහ.
ලංකාවෙන් ආනයනය කළ නිමි තේ කන්ටේනර් 181ක් ලොව විවිධ වරායවල පසෙකට දමා ඇති බව, ‘ඉරුදින’ ඇමතූ කෙනෙක් තහවුරු නොකළ ආරංචියක් කීය. ඒවායෙහි බාල තේ පුරවා තිබීම ඊට හේතුව බවද ඔහු කීය. මේ අතර ශ‍්‍රී ලංකා රේගුවේ උසස් නිලධාරියෙක් ලියුම්කරුට පැවසුවේ, ‘කොහු බත්’ යයි ව්‍යාජ ලේඛණ පෙන්වා අපනයනය කර තිබියදී ආපසු ලංකාවට ගෙන්වා ගත් කසල තේ කන්ටේනර් 13ක් ගැන විශේෂ පරීක්‍ෂණයක් පවත්වමින් සිටින බවයි.
ජාවාරම ඒ තරම්ම බිහිසුණුය.
(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
2015/03/01-ඉරුදින
No comments:
Post a Comment