Total Pageviews

Thursday, August 6, 2015

ලංකාවේ ගල් යුගය හමාර වූයේ කෙසේ ද?

ලංකාවේ ගල් යුගය හමාර වූයේ කෙසේ ද?
 
 

පාහියන්ගල

 (ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
(පින්තූර-ප්‍රෑන්ක් ද සොයිසා)
පරිණාමයේ යෙදෙමින් ශිෂ්ටාචාරගතවූ මනුෂ්‍යයා, ගල් යුගය හෙවත් ‘දඩයමින් සහ වනජ ද්‍රව්‍ය’ රැස් කීරීමේ’ සංචාරක දිවිපෙවෙතින් බැහැරව, කෘෂිකාර්මික යුගයකට එළඹියේ කෙසේ ද? එය ශ‍්‍රී ලංකාවේ දී මහත් විවාදාපන්න මාතෘකාවකි. මානව ශිෂ්ඨාචාරයේ මුල් අදියරයන් රැඳුණු අප‍්‍රිකානු මහද්වීපය, ඉන්දියාව සහ  ඕස්ටේ‍්‍රලියාව ආදී රටවල නම්, මනුෂ්‍යයෝ ගල් යුගයෙන් කෙලින්ම ‘කෘෂි යුගයකට පිළිපන් බවට පැහැදිලි පුරාවිද්‍යාත්මක සාධක තිබේ. ඒ රටවල කියන්නේ, ආදි මනුෂ්‍යයන් ගල් යුගයේ සිට කෙලින්ම ‘නව ශිලා යුගයකට’ ඇතුළුවූ බව ය.
 

‘නව ශිලා යුගය’ වූ කලී, මනුෂ්‍යයා වී වගාව ඇතුළු කෘෂිකර්මාන්තය, සතුන් ඇති කිරීම, මැටි බඳුන් භාවිතය සහ ඒවායෙහි උයා-පිහා කෑම, ආභරණ පැළදීම, යකඩ ඇතුළු ලෝහ වර්ග භාවිතය සහ ස්ථිර වාසස්ථානවල විසීම ආදියෙහි යෙදෙමින් ජීවත්වූ වකවානුවයි. ඇතැමුන් එය ‘කෘෂි යුගය’ ලෙස ද හඳුන්වති.  ආසියාව, යුරෝපය සහ අප‍්‍රිකාව සම්බන්ධයෙන් ගත් කල, නව ශිලා යුගයට අයත් ප‍්‍රධාන සංකේත ද්විත්වයක් වෙයි. ඉන් එකක්, ‘මැටි බඳුන්’ ය. අනෙක ‘ඔපවත් පොරව’ නමින් හැඳින්වේ. මේ දෙකම, කෘෂිකාර්මික කටයුතුවලට අවශ්‍ය මෙවලම් ය.
 
ලංකාවේ පුරාවිද්‍යාඥයන් පවසන්නේ, ගල් යුගය කෙළවර ක‍්‍රමිකව, එබඳු කෘෂි යුගයක් එළඹුණු බවට පැහැදිලි සාධක අපේ රටෙන් හමු නො වන බවයි. ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යාඥයෙකු වන ආචාර්ය සිරාන් දැරණියගල මහතා පවසා ඇති අන්දමට, ලංකාවට පෙර ඉන්දියාවට ‘නව ශිලා යුගය’ එළඹී තිබේ. එය කෙලින්ම, ඒ වන විටත් ලංකාවේ පැවති ගල් යුගය මතට පතිතවූ බව, ඔහුගේ අදහසයි. එය සිදුව ඇත්තේ ජන සංක‍්‍රමණ ඔස්සේ ය. ‘කෘෂි යුගයක’ හැඩතල දන්නා පිරිස් කෙලින්ම ඉන්දියාවෙන් ලංකාවට සංක‍්‍රමණය වීමෙන්, ලංකාවේ ද කෘෂිකාර්මික දිවිපෙවෙතක් ඇරඹුණු බව හෙතෙම පවසයි.
 
 
පාහියන්ගල පුරාවස්තු විශ්ලේෂණය


එසේ වුව ද ඇතැම් පුරාවිද්‍යාඥයන්, ඒ මතය පිළි නො ගනිති. ඔවුන් කියන්නේ, ලංකාවේ ‘නව ශිලා යුගයක්’ පැවති බවට යම් යම් සාධක මෙන්ම විවිධ ‘ඉඟි’ ද, මෑතක කෙරුණු පුරාවිද්‍යා  කැණීීම්වලින් හමුවී ඇති බවයි. ඒ ගැන කතිකා කිරීම, ලිපියේ අරමුණයි.
 
ගල් යුගයේ විසූ මනුෂ්‍යයන්, කෘෂි යුගයකට එළඹ ඇත්තේ එක්වරම නෙවේ. ක‍්‍රමිකව ය.  ලංකාවේ දී ඔවුන් අදින් වසර 34,000කට ඉහත ගින්දර සොයා ගත්හ. (ඒ බව හෙළි වූයේ, ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යාඥයෙකු වන ආචාර්ය එච්. ඩබ්ලිව්. විජයපාල මහතා 1986 සහ 1998 යන වර්ෂවල බුලත්සිංහල පාහියන් ලෙනෙහි කළ කැණීම්වලිනි.) ඉන් පසුව ඔවුන් තම ආහාරයට, දඩමස් මෙන්ම ශාක ද්‍රව්‍යය ද එකසේ එක්කර ගත්හ. 2015 මාර්තු 13 වැනි දා පළවූ ජාත්‍යන්තර ‘සයන්ස්’ සඟරාව, අදින් වසර 20,000ක් තරම් අතීතයේ දී ලංකාවේ විසූ නවීන මානවයන්, දඩයම් කළ සතුන්ගේ මස් මෙන්ම, ශාක ද්‍රව්‍යය ද එක සේ ආහාරයට ගෙන තිබූ බව, පළකර තිබිණි. එය ඔවුන් අලූත් ආහාර සංස්කෘතියකට එක් වුණු අවස්ථාවකි. පර්යේෂක පැටි‍්‍රක් රොබර්ට්ස් මහතා පවසන අන්දමට, අදින් වසර 20,000ක් තරම් ඈත වකවානුවක එවන් සාක්ෂි හමු වන්නේ ලංකාවෙන් පමණි. ඔහුට අනුව එය, නවීන මානවයා ඝර්ම කලාපීය (නිවර්තන කලාපීය) වර්ෂා වනාන්තර ආශ‍්‍රිතව සාර්ථකව යැපුණු බවට ලොව හමුවන පැරණිම සාක්ෂියකි.
 
ගල් යුගයේ විසූ මනුෂ්‍යයන්, ක‍්‍රමිකව කෘෂි යුගයකට එළඹුණු බව සිතිය හැකි අනෙක් සාධකය හෙළිදරව් වන්නේ, ආචාර්ය ටී. රත්නසිරි පේ‍්‍රමතිලක මහතා කළ පර්යේෂණ ඔස්සේ ය.
වර්ෂ 2003 වසරේ දී, පුරාවිද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ ආචාර්ය ටී. රත්නසිරි පේ‍්‍රමතිලක මහතා, හෝර්ටන්තැන්න ප‍්‍රදේශයේ කළ ‘විදුම් පරීක්ෂණයක්’ මගින්, අදින් වසර 10,000-17,000 ක් තරම් පැරණි ධාන්‍ය පරාග සොයා ගත්තේ ය. ඒවා, ‘බාර්ලි’ සහ ‘ ඕට්ස්’ යනුවෙන් හඳුනා ගැනුණි. ඉන් කියැවුණේ, එම කාලයේ දී හොර්ටන්තැන්නේ විසූවෝ, ‘බාර්ලි’ සහ ‘ ඕට්ස්’ යන ධාන්‍ය වගාකර ඇති බවයි. වත්මනෙහි නම්, ලංකාවේ බාර්ලි හෝ  ඕට්ස් වගා නො කෙරේ. ඊට අමතරව එළ හරකුන් ඇති කිරීම පිළිබඳ සාධක ද හෝර්ටන්තැන්න පර්යේෂණයෙන් හමු විය.
 
‘අදින් වසර 17,000ක් තරම් ඈත කාලේ බොහොම ප‍්‍රාථමික මට්ටමේ කෘෂිකර්මාන්තයක් කෙරෙන්න ඇති. ඊට පස්සේ අදින් වසර 10,000ක් විතර වන විට, එය ඊට වඩා පිරිපුන් ස්වරූපයක් ගත් බවට සාධක තියෙනවා’ යයි ප‍්‍රවීණ පුරාවිද්‍යාඥයෙකු වන ආචාර්ය නිමල් පෙරේරා මහතා කියන්නේ ය. ඔහු එසේ කියන්නේ,  හෝර්ටන්තැන්නෙන් ආචාර්ය ටී. රත්නසිරි පේ‍්‍රමතිලකයන්ට ලැබුණු සාධක ගොන්න, කෑගල්ලේ, දොරවක ලෙනෙන් හමුවූ සාධක සම්භාරයට සම්බන්ධ කරමිනි.
 


කෑගල්ලේ දොරවක්කන්ද ලෙන, සුවිශේෂ පුරාවිiා කැණීම් බිමකි. ඉන් ලංකාවේ ‘නව ශිලා යුගයක්’ ගැන විද්වත් කතාබහක් ඇවිළ යාම ඊට හේතුවයි. වර්ෂ 1992 දී ඒ පර්යේෂණය කළේ, ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යාඥයෙකු වන ආචාර්ය එච්. ඩබ්ලිව්. විජයපාල මහතා ය. ඔහුට අනුව, කෑගල්ලේ ‘දොරවක ලෙන’ ලංකාවේ ‘නව ශිලා යුගයක’ සාධක හමුවූ එක් තැනකි. එය අදින් වසර 6,300ක් පැරණි බලංගොඩ මානව ජනාවසයක් බව විජයපාල මහතාගේ කැණීමෙන් හෙළි විණි. අදින් වසර 5,300ක් පැරණි ජ්‍යාමිතික ක්ෂුද්‍ර ශිලා මෙවලම් සහ කාල රක්ත මැටි බඳුන් (දියුණු මැටි බඳුන්)කොටස්, දොරවක ලෙනේ එකම සන්දර්භයකින් හමු වීම,  විශේෂත්වයක් විය. කැණීමෙන් හමුවූ මැටි බඳුන් කොටස් අදින් වසර 3,100ක් පැරණි බවට කාලනිර්ණය කෙරිණි. ලෙනෙන් හමුවූ මානව ජනාවාස සාධක අතර, ධාන්‍ය වර්ගයක අවශේෂ ද විය. ඒවා අදින් වසර 7,000ක් පැරණි බවට වාර්තා විය.
 
එපමණක් ද නොවේ! බුලත්සිංහල, ‘පාහියන් ලෙන’ ද එබඳු සාධක හමුවූ ස්ථානයකි.
ආචාර්ය රත්නසිරි පේ‍්‍රමතිලක මහතා ද පාහියන් ලෙනෙහි 2012 වසරේ පර්යේෂණයට එක් විය. ඔහු ඊට සහභාගි වූයේ, ලෙනෙන් මතුකර ගත් මානව ජනාවාස පස් ස්ථර ආශ‍්‍රයෙන් ශාක ද්‍රව්‍යය හා පරාග ආදිය සියුම් ලෙස විශ්ලේෂණය  ස`දහා ය. ආචාර්ය නිමල් පෙරේරා මහතා පවසන අන්දමට, ආචාර්ය පේ‍්‍රමතිලක මහතාගේ පර්යේෂණයෙන් පාහියන් ලෙන් වැසියන්, අදින් වසර 37,000 ක් තරම් ඈත කාලයේ දී, ‘ඇටි කෙසෙල්’, ‘වල් වී’, සහ ‘වල් දෙල්’ යන ආහාර ද, උණ ශාක ද භාවිතා කර තිබේ. මේවා කිසියම් ප‍්‍රාථමික කෘෂිකර්මාන්තයක සලකුණු නොවේ ද?
 
ලංකාවේ ආදි මානවයන් ක‍්‍රමිකව නව ශිලා යුගයකට එළඹුණු බවට තවත් ඉඟියක්, 2005 වසරේ කුරුවිට ‘බටදොඹ ලෙනෙහි’ කෙරුණු කැණීම්වලින් ද ලැබිණි. කැනීම් මෙහෙය වූයේ, ආචාර්ය නිමල් පෙරේරා මහතා ය. ලෙනෙහි විසූ බලංගොඩ මානවයන්, අදින් වසර 20,000කට පමණ ඉහත දී තාල වර්ගයේ ශාකවල (වේවැල්/දෝතලූ/කිතුල්/කටු කිතුල්/බට/පුවක් ආදී) ගොබ, පත‍්‍ර සහ අනෙකුත් කොටස්වලින් නිදා ගැනීමේ ඇතිරිලි බඳු ද්‍රව්‍ය, දඩ මස් තබන මැසිවලට එලන ඇතිරුම් ද්‍රව්‍ය සහ කුඩා පැසක් බඳු මළු ආදිය සකසා ගත් බව, පර්යේෂණවලින් හෙළි විය. ඊට අමතරව මුහුදුබඩ ජනාවාස අතර සංක‍්‍රමණය, ධීවර කර්මාන්තය පිළිබඳ පැරණිම තොරතුරු යන කාරණා ද ඉන් අනාවරණය විණි. මෙම තොරතුරු ඇතුළත් ලිපියක්,
‘People of the ancient rainforest:Late Pleistocene foragers at the Batadomba-lena rockshelter, Sri Lanka/Journal of Human Evolution-2011-Sep. -Volume-61, Issue-3‘ නමැති ජාත්‍යන්තර මානව පුරාවිද්‍යා සඟරාවේ, 2011 සැප්තැම්බර් කලාපයේ පළ විය.
 
ඇතැම් පුරාවිද්‍යාඥයන් එකඟ නො වෙතත්, ඉහත දැක්වූ තොරතුරු මගින් පෙනී යන්නේ, ලංකාවේ ද ‘නව ශිලා යුගයක්’ පැවති බව ඉඟි වෙන සාධක හමුවී ඇති බවයි. පුරාවිද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව මහතා ඇඹිලිපිටියේ, ‘රංචමඩම’ සහ හපුතලේට නුදුරු ‘හල්දුම්මුල්ල’ යන ප‍්‍රදේශවල කළ කැණීම්වලින් මැටි නළ ආදියෙන් නිර්මිත ආදාහනාගාර පවා හමු විය. දියුණු ශිෂ්ඨාචාරයක් පෙන්වන එම ජනාවාස, අදින් වසර 3,000-3,750ක් තරම් පැරණි බවට කාලනිර්ණය විය. එය මැටි බඳුන් භාවිතාවටත් එහා ගිය දියුණු සමාජයකි!
 
මෙතෙක් කෙරුණු පුරාවිද්‍යා පර්යේෂණ අනුව, ලංකාවේ ගල් යුගයේ අවසානය සනිටුහන් වන්නේ අදින් වසර 3,800නි. වර්ෂ 1986 දී මන්නාරමේ ‘මාතොට ඉපැරණි වරාය’ කැණීම් කරද්දී, මධ්‍ය ශිලා යුගයට (ගල් යුගයට) අයත් ආදි මානව ජනාවාසයක සාධක හමු විය. පුරාවිද්‍යාඥයන් පවසන්නේ, එය ලංකාවේ මධ්‍ය ශිලා යුගයට අයත් අවසාන කාල සීමාව යනුවෙනි. එයින් පසුව ගල් යුගයේ මානව සාධක හමු නොවී ය. ආචාර්ය සිරාන් දැරණියගල මහතාගේ ප‍්‍රධානත්වයෙන්, 1969 වසරේ අනුරාධපුර ඇතුළුපුරයේ කළ කැණීම්වලින්, කෙලින්ම දියුණු කෘෂිකාර්මික ශිෂ්ඨාචාරයක සාධක හමු විය. ඒවා අදින් වසර 2,900ක් පැරණි බවට කාලනිර්ණය කෙරිණි. අනුරාධපුරය ඒ වන විටත් නගරයකි. පාලන කේන්ද්‍රස්ථානයකි. හමුවූ කෘෂිකාර්මික ශිෂ්ඨාචාරය, ඉන්දීය සංක‍්‍රමණ ඔස්සේ පැමිණි බව, දැරණියගල මහතාගේ අදහස විය.
 
 
පාහියන්ගල කැණීම්
කොයි හැටි වෙතත් අපේ රටේ ගල් යුගයේ විසූ මනුෂ්‍යයන්, කෘෂිකාර්මික යුගයකට පරිවර්තනය වූයේ කෙසේ ද? යන්න, විවාදාපන්න මාතෘකාවකි. පාහියන් ලෙන සහ බටදොඹ ලෙන ඇතුළු ප‍්‍රාග් ඓතිහාසික ගල් ලෙන්වල, මතුපිට පස් තට්ටු පසුකාලීන මිනිස් ක‍්‍රියාකාරකම් නිසා හානියට පත්ව ඇති බැවින්, ඒ පරිවර්තනීය අවධිය ගැන තොරතුරු සොයා ගැනීම ද දුෂ්කර කාරණයක්ව තිබේ.
2015/06/28-ඉරුදින

2 comments:

  1. http://www.divaina.com/2016/02/03/badada01.html

    ReplyDelete
  2. නව ශිලා යුගයේ සමාජ විකාශනය පිළිබදව මහාචාර්ය රාජ් සෝමදේව මහතාගේ පර්යේශණ වලින් හෙළි කළ නවතම අදහස් ඵල කිරීම කාලීන අවශ්‍යතාවයකි.

    ReplyDelete