Total Pageviews

Saturday, August 8, 2015

රත්නපුර නිම්නයේ නිල් මැණික් විත්ති-02



රඹුක නිල් සහ පාතකඩ නිල්


(ක්‍රිෂ්ණ විජේබණ්ඩාර)

රත්න විද්‍යාව අනුව බලන කළ, කොරන්ඩම් පවුලට අයත් මැණික් වර්ග 08ක් ශ‍්‍රී ලංකාවෙන් හමු වේ. ඒ, නිල් ^Blue Sapphire&, රතු
^Rubies& නිල් ආර්නූල්,
^Star Sapphire&, රතු ආර්නූල්
^Star Rubies& පුෂ්පරාග
^Yellow Sapphire& රත්න පුෂ්පරාග
^Orange Sapphire& පත්මරාග
^Pink Sapphire& සහ සුදු නිල්
^White Sapphire& යනුවෙනි. සාමාන්‍ය ව්‍යවහාරයෙහි එනි ‘කාක නිල්’
^Dark Blue&  ද අයත් වන්නේ කොරන්ඩම් මැණික් පවුලට ය. එහි එන සැම මැණිකක්ම පාහේ මිල අධික මැණික් ලෙස ගණන් ගැනේ.

ලංකාවේ මැණික් හමුවන විවිධ ප‍්‍රදේශ ගත් විට, ඒ හැමතැනකින්ම පාහේ නිල් මැණික් හමු වේ. එසේ වුවත් ලොව ඉහළම තත්ත්වයෙහිලා සැලකෙන නිල් මැණික් හමුවන්නේ රත්නපුර දිස්ත‍්‍රික්කයේ, රක්වානට නුදුරින් පිහිටි ‘රඹුක’ ප‍්‍රදේශයෙනි. ප‍්‍රමාණයෙන් ද විශාල, ඉහළම තත්ත්වයේ නිල් වර්ණය සහිත ඇතුළත සියුම් වායු බුබුළු හෝ දෝෂ - පළුදු නැති, විනිවිද පෙනෙන, වීදුරු ගුණය සහිත නිල් මැණික් සඳහා රඹුක බොහොම ප‍්‍රසිද්ධ ය.

රඹුක. අදත් බොහොම ග‍්‍රාමීය ප‍්‍රදේශයකි. සුප‍්‍රකට රක්වාන කඳු පන්තියට අයත් කුඩා කඳුවැටි සහ බෑවුම් සහිත ප‍්‍රදේශයක් වූ රඹුක, රක්වාන - කලවාන මහා මාර්ගයේ, රක්වානට කිලෝ මීටර් 20ක් පමණ දුරින් පිහිටියේ ය.

අතු ගංගාවක් වන ‘රඹුක ගඟ’ ආශ‍්‍රිතව, ඈත අතීතයේ පටන්ම නිල් මැණික් හමුවන බව ප‍්‍රදේශවාසීහු කියති. රඹුකෙන් හමුවන නිල් මැණික්වල ‘තුඩිය (වර්ණ ප‍්‍රභවය / Lustre& ඉතා හොඳ මට්ටමක පවතින බව, මැණික් ව්‍යාපාරිකයන්ගේ ද අත්දැකීමයි. එංගලන්තයේ මහ රැුජිනගේ ඔටුන්නෙහි සවි කිරිම පිණිස එකල රත්නපුර දිසාවෙන් රැුස් කළ නිල් මැණික් අතරින්, තෝරා ගෙන ඇත්තේ ද රඹුකෙන් හමු වූ නිල් මැණික් බව ප‍්‍රකට ය. ජාත්‍යන්තර වෙළෙඳපොලේ දී පවා පිළිගැනෙන උසස්ම තත්ත්වය නිසා, ඒවාට ‘රඹුක නිල්’ යන ගෞරව නාමයක් ද පටබැඳී තිබේ.

රඹුක හැරුණු විට, කහවත්තේ ‘නීලගම’, පැලමඩුල්ලේ ‘පාතකඩ’ සහ ‘ගනේගම’ මෙන්ම ‘ඇහැලියගොඩ’ ද, ප‍්‍රමාණයෙන් විශාල නිල් මැණික් හමුවන ප‍්‍රදේශ ලෙස ප‍්‍රසිද්ධියක් උසුලයි. රත්නපුර නගරය ආශ‍්‍රිත වෙරළුප, හකමුව සහ බටුගෙදර ප‍්‍රදේශය ද නිල් මැණික් හමුවීම සම්බන්ධයෙන් කතාබහට ලක් වේ.

ප‍්‍රවීණ මැණික් විද්‍යාඥයෙකු වන රත්නපුරයේ, බටුගෙදර, ආචාර්ය දුනිල් පාලිත ගුණසේකර මහතා පවසන අන්දමට, පැල්මඩුල්ලේ පාතකඩ සහ ගනේගම යන ප‍්‍රදේශවල ඇති මැණික් ඉල්ලම් ද තත්ත්වයෙන් උසස් නිල් මැණික් මතුකරයි. එම ප‍්‍රදේශවලින් හමුවන නිල් මැණික්, ‘රඹුක නිල්’ තරම්ම හෝ ඊටත් වඩා තත්ත්වයෙන් උසස් බව ඔහු පවසයි. පාතකඩ ප‍්‍රදේශයේ පොළොව මතුපිට සිට අඩි 50ක් පමණ (තට්ටු 35ක් පමණ* ගැඹුරින් ඇති ඉල්ලම්වලින් එබඳු නිල් මැණික් ලැබෙන බව ඔහු නිරීක්‍ෂණය කර තිබේ.

‘මැඩගස්කර් රටෙනුත් නිල් මැණික් හමු වෙනවා. ඒත් ඒ ගල්වල ඇතුළෙන් යම් අපැහැදිලිතාවයක් (ගල ඇතුළේ මදුරුවෝ දඟලනවා වගේ) තියෙනවා. ලංකාවේ නිල් මැණික්වල ඒ ගතිය නැ’, දුනිල් පාලිත ගුණසේකර මහතා පවසයි.

 
රත්නපුරේ මැණික් පතලක්
ලංකාවෙන් හමු වූ විශාල ප‍්‍රමාණයේ නිල් මැණික් සහ නිල් ආර්නූල් මැණික් බොහොමයක් හමු වී ඇත්තේ ද පැල්මඩුල්ල ප‍්‍රදේශයෙනි. එය විශේෂ කාරණයකි.

1998 වසරේ රත්නපුර හකමුව ප‍්‍රදේශයෙන් කැරට් 856ක නිල් මැණිකක් ද, 1999 දී පැල්මඩුල්ලෙන් කැරට් 804ක නිල් මැණිකක් ද, 2000 වසරේදී ඇහැලියගොඩට නුදුරු එල්ලාවල ප‍්‍රදේශයෙන් කැරට් 2516ක නිල් මැණිකක් ද හමු විය. එම වසරේම කහවත්තේ නීලගමින් කැරට් 4002ක නිල් මැණිකක් ද, 2001 වසරේදී පැල්මඩුල්ලේ ගනේගම ප‍්‍රදේශයෙන් කැරට් 254ක නිල් මැණිකක් ද හමු විය. (මැණික් කර්මාන්තයේ ප‍්‍රගතිය, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය -  2011 ජනවාරි)

එතෙර ඉල්ලූම
මැණික් වූ කලී, ශ‍්‍රී ලංකාවේ අපනයන භාණ්ඩ අතර ඉහළ ආදායමක් ගෙන දෙන වෙළෙඳ භාණ්ඩයකි. අපනයනය කෙරෙන මැණික්වලින් බහුතරයක්ම නිල් මැණික් ය. සාමාන්‍යයෙන් එය සියයට 44ක් පමණ වේ. මෙයින් පෙනී යන කාරණය වන්නේ ලංකාවේ නිල් මැණික්වලට එතෙරින් ඉතා හොඳ ඉල්ලූමක් පවතින බවයි.

ඔබ කියවන මේ සටහන් ලියැවෙන්නේ, 2015 වසරේ මුල් භාගයේ ය. මේ වන විට රත්නපුරයේ විවෘත මැණික් වෙළෙඳපොළහි නිල් මැණික් අලෙවි වන්නේ කැරට් 01ක් රුපියල් 80,000ත්, 1,50,000ක් අතර මිලකට ය. කපා ඔප දැමූ නිල් මැණික් ඊටත් වැඩි මිලකට අලෙවි වනු පෙනෙයි. නිල් මැණික බොහෝ විශාල එකක් නම්, කැරට් එකක් රුපියල් 5,00,000කට මිල කෙරෙන අවස්ථා ද තිබේ. 2012 වසරේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති මැණික් ප‍්‍රදර්ශනයේදි කැරට් 30ක නිල් මැණිකක්. කැරට් එකක් රුපියල් ලක්‍ෂ 20 බැගින් මිල නියම කර අලෙවියට ඉදිරිපත් කර තිබිණි. නිල් මැණික්වල මිල ගැන හරියටම කියන්නට ද බැරි ය!

භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශය 2009 වසරේදී පළ කළ බනිජ පිළිබඳ දත්ත වාර්තාවේ සඳහන් වන ආකාරයට, ශ‍්‍රී ලංකාව නිල් මැණික් අපනයනයෙන් ඉහළ ආදායමක් උපයාගෙන තිබේ. එහි දැක්වෙන ආකාරයට, 2008 වසරේ දී නිල් මැණික් කැරට් 3,01,000ක් අපනනයෙන් රුපියල් මිලියන 5328ක් උපයා ගෙන තිබේ. 2014 වසරේ ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ දැක්වෙන ආකාරයට, එම වසරේ කැරට් 26,85,000ක මැණික් තොගයක් අපනයනයකර ඇත. ඉන් රුපියල් මිලියන 21,831ක් උපයා ගෙන තිබේ. මින් බහුතරය නිල් මැණික් ය.

ගෙවුඩ පිළිස්සීම
1970 දශකයේ අග භාගයෙන් පසුව, ලංකාවේ නිල් මැණික් නිපැයුම වෙනස් මගකට යොමු විය. 1977 දී ආණ්ඩු පෙරළියත් සමගම රත්නපුරයේ මැණික් වෙළෙඳපොළ තායිලන්ත ජාතික මැණික් වෙළෙඳ ව්‍යාපාරිකයන්ට විවෘත වීම, වෙනසට හේතුව වූයේ ය.

රත්නපුරයට පැමිණි තායිලන්ත ව්‍යාපාරිකයන් වැඩිපුරම මිලයට ගත්තේ ‘ගෙවුඩ’ ^Geuda& මැණික්ය. ඔවුන් රත්නපුරයට එන විට ගෙවුඩ මැණික් සඳහා මිලක් හෝ ඉල්ලූමක් නො තිබිණි. ඔවුහු ලංකාවේ ගෙවුඩ අඩු ලංසුවට මිල දී ගෙන, එරටට ගෙන ගොස් ඒවා පුළුස්සා (තාප පිරියම් කිරීම), නිල් මැණික් බවට පත් කර අධික මිල ගණන්වලට අලෙවි කළහ.

ගෙවුඩ, කොරන්ඩම් ඛනිජ පවුලට අයත් මැණික් විශේෂයකි. ඒවා කෘතිමව කිසියම් ඉහළ උෂ්ණත්වයකට ලක් කළ විට, නිල්, රතු, සුදු නිල් හෝ පුෂ්පරාග බවට පත් කළ හැකි ය. තාප පිරියම්කරණයේ දී නිල් කැට බවට පත් වන්නේ, ජන ව්‍යවහාරයේ එන ‘ඞීසල් ගෙවුඩ’ ය. එනම් ගලෙහි ඇතුළත, ‘ඞීසල්’ බඳු දුඹුරු පැහැයන් සහිත ගෙවුඩ මැණික් ය. මැණික් විද්‍යාඥයන් පෙන්වා දෙන අන්දමට, ‘ඞීසල් ගතියට’ හේතුව වන්නේ ගල තුළ ඇති යකඩ ඔක්සයිඩ් ^Fe2 O3& ය. ‘සැපායර්’ ගලකට නිල් වර්ණය ලැබෙන්නේ එහි ඇති ටයිටේනියම් සහ යකඩ යන මූලද්‍රව්‍ය මගිනි. ගෙවුඩ ගල් තුළ ඒ මූලද්‍රව්‍ය ඇතත්, ඊට අදාළ අයනය සෑදී නැති නිසා, එය නිල් මැණිකක් ලෙස වර්ධනයවී නැත. තාප පිරියම්කරණය මගින් කෙරෙන්නේ, කෘතිමව දෙන උෂ්ණත්වයක් මගින් ගෙවුඩ ගලෙහි
zFe,TiZ අයනය (යකඩ සහ ටයිටේනියම් මූලද්‍රව්‍ය එක් වීමේ දී සෑදෙන අයනය) සෑදෙන්නට සලස්වා, නිල් වර්ණය ඇතිකර ගැනීමයි. ඉක්බිති ගෙවුඩය නිල් මැණිකක් බවට පත් වේ.

 
පතලක ඇතුළත
වර්තමානයෙහි ශ‍්‍රී ලංකාවේ ද ගෙවුඩ තාප පිරියම්කරණය ඉතා හොඳින් කෙරෙයි. එයින් රටට ලැබෙන ආදායම ද ඉතා විශාල ය. ගෙවුඩ ගලක් තාප පිරියම් කර නිපද වූ නිල් මැණික ද, ස්වභාවික මැණිකකි. මහ පොළොවෙන් කෙළින්ම හමුවන නිල් මැණිකක් සහ තාප පිරියම් කළ නිල් මැණිකක් අතර කිසිදු වෙනසක් නැත. එබඳු ගලක් කොහෙත්ම කෘතිම මැණිකක් නොවේ. වටිනාකම අතින් බැලූව ද, ඒවා මහ පොළොවෙන් කෙලින්ම ලැබෙන නිල් මැණික්වලට සමාන ය. කෙසේ වෙතත්, එබඳු මැණික් අලෙවි කෙරෙන්නේ එය, ‘තාප පිරියම් කිරීමෙන් වැඩි දියුණු කළ මැණික් ගලක්’ යන විශේෂ හැඳින්වීම ද සමගිනි. බොහෝ මැණික් විද්‍යාඥයෝ එබඳු ගල්වලට තත්ත්ව සහතික නිකුත් කරන විට, එය ‘තාප පිරියම් කළ මැණිකක්’ ^Heat Treated Gem Stone& බව සඳහන් කරති.

පින්තූර-රත්නපුරේ මුෂාන් හරීම් සහ අන්තර්ජාලයෙනි.

විශේෂ ස්තුතිය-රත්නපුර, මිණි මියුසියම් ආයතනයේ, කපිල චම්පක අතුරලියගම මහතාට.

මීළඟට-රත්නපුර නිම්නයේ නිල් මැණික් විත්ති-03





No comments:

Post a Comment