Total Pageviews

Friday, August 14, 2015

ලංකාව ගැන වෙනස් කතා ටිකක්-02



ලංකාව ගැන වෙනස් කතා ටිකක්-02

 

කදුරුගොඩ විහාර පුදබිම

බුදුන් දවස කන්දරෝඩ


වංශකතා අනුව නම්, බුදු දහම ලංකාවට පැමිණ ඇත්තේ දේවානම්පියතිස්ස රජ (ක‍්‍රි. පූ. 250-210) සමයේ ය. එකල ඉන්දියාවේ, අශෝක අධිරාජයාගේ අනුග‍්‍රහය ඇතිව මෙහි වැඩම කළ මිහිඳුමාහිමියන් විසින් බුදු දහම නිල වශයෙන් ස්ථාපිත කරන ලදී.
 

එහෙත් ඊට පෙර පටන්ම ලක් වැසියෝ බුදු දහම ගැන දැන සිටියහ. ඇතැම් විට ඔවුන් බුදුරජාණන් වහන්සේ පැතිරූ ආගමික දර්ශනය අදහන්නට ද ඇත. බුදුරදුන් ජීවමානව වැඩ සිටි සමයේ භාවිත කෙරුණු මාදිලියේ පාත‍්‍රා කොටස්, ලංකාවේ ස්ථාන කිහිපයකින්ම හමු වීම, කාරණය සනාථ කරන සාක්ෂියක් වන්නේ ය.
 
එකල මහ රහතන් වහන්සේලා ප‍්‍රමුඛ මහ සඟන භාවිත කළ, ‘උත්තර භාරතීය කාල උද්දීප්ත මැටි බඳුන්’  නමින් හඳුන් වන මාදිලියට අයත් පාත‍්‍ර කොටස් කිහිපයක්, 2011 වසරේ යාපනයේ, ‘කන්දරෝඩේ’ පුරාවිද්‍යා කැණීමෙන් සොයා ගැනීම, ආසන්නතම සිදු වීමයි.
 
පුරාවිද්‍යාත්මකව ගත් කල, ලංකා ඉතිහාසයේ පැරණිම ප‍්‍රධාන ජනාවාස හතරකි. ඉන් පළමු වැන්න, ‘අනුරාධපුරය’ යි. දෙවැන්න, රුහුණේ පිහිටි වත්මන් ’තිස්සමහාරාමය’ යි. මන්නාරමේ ඉපැරණි ජාත්‍යන්තර නැව් තොට පැවති ‘මාතොට’ හෙවත් ‘මහාතිත්ථය’ තෙවැන්න ය. සිවුවැන්න, බුදුන් ජීවමානව වැඩ සිටි දවස භාවිතා කළ මාදිලියේ පාත‍්‍ර කොටස් හමුවූ ‘කන්දරෝඩේ’ ය. කන්දරෝඩේ වූ කලී, යාපනය දිස්ත‍්‍රික්කයේ චූනක්කම් උප නගරයට සමීප භූමියකි. එය අතීතයේ දී ප‍්‍රකටව තිබුණේ ‘කදුරුගොඩ විහාරය’ යනුවෙනි.
 
2011 වසරේ කදුරුගොඩ විහාරයේ පුරාවිද්‍යා කැණීම් ඇරඹුණේ, උතුරුකරයේ පුරාවිද්‍යා ස්ථාන ගවේෂණය කිරීම සඳහා ජාතික උරුම අමාත්‍යාංශය මගින් ක‍්‍රියාත්මක කළ වැඩ පිළිවෙලක් යටතේ ය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, කන්දරෝඩේ කැණීමට, යාපනය විශ්ව විද්‍යාලයේ ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයන අංශය ද සහායකර ගත්තේ ය. 

කන්දරෝඩේ නිකම්ම පුරාවිද්‍යා භූමියක්ම නොවේ. එය යුද්ධය පැවති සමයේ ජාත්‍යන්තර වශයෙන් පවා දැඩි කතාබහකට ලක්වූ ස්ථානයකි. අතීත කන්දරෝඬේ වූ කලී, යාපනයේ දෙමළ රාජ්‍යයක් පැවති බව කියන සාධකයක් බවට, දෙමළ උගතුන් විසින් මතවාද පතුරුවා හැර තිබීම, ඊට හේතුවයි. දෙමළ ඩයස්පෝරාවට හිතවත් සමහරුන් කන්දරෝඩේ පුරාවිද්‍යා කැණීමට පවා එරෙහි වූහ. ඉන් ‘දෙමළ ඊළමේ’ සාධක කූට ලෙස වනසා දමනු ඇතැයි කියමිනි. අතීතයේ දී ‘ජම්බුකෝල පට්ටන’ හෙවත් ‘දඹකොල පටුන’ වරාය පැවති කන්කසන්තුරේ, කන්දරෝඩේට සමීප මුහුදු තීරයයි.
 
බුදුරජාණන් වහන්සේ ලොව පහළ වන්නේ අදින් වසර 2600 ක් හෙවත්, ක‍්‍රි. පූ. 06 වැනි සියවසේ දී ය. ගිහි ගෙය හැර පියා පැවිදි දිවියට එළඹෙන සිද්ධාර්ථ තවුසාණෝ, සිය 35 වැනි වියෙහි දී නිර්වාණය අවබෝධකොට ගෙන බුද්ධත්වයට පත් වෙති. ඉන් පසුව පුරා 45 වසරක් පරාර්ථ චර්යාවෙහි හැසිරෙමින්, 80 වැනි වියෙහි දී පිරිනිවන් පාන්නේ ය. මේ කාලයෙහි බුද්ධ ශ‍්‍රාවක භික්ෂූන් වැඩිපුරම භාවිතකර ඇත්තේ, මැටියෙන් තනා නිමකළ චාම් ස්වභාවයේ පාත‍්‍රයන් ය. පුරාවිද්‍යාඥයන් ඒවා හඳුන්වන්නේ, ‘උත්තර භාරතීය කාල උද්දීප්ත මැටි බඳුන්’ යන නමිනි.
 
කන්දරෝඬේ කැණීමෙන් හමුවූ පුරා වස්තු, කාලනිර්ණය කෙරුණේ ඇමරිකාවේ ‘බීටා ඇනලිටික්’ නමැති රසායනාගාරයේ ය. ඔවුන් නිකුත් කළ වාර්තාවෙන් කියැවුණේ, ‘කන්දරෝඩෙන් සොයා ගත්  ‘පාත‍්‍ර කොටස්’, නිසැකවම ක‍්‍රිස්තු පූර්ව හය වැනි සියවසට අයත් වන බවයි. එය අතිශයින්ම පෙරළිකාර කාලනිර්ණ වාර්තාවක් බව, පුරාවිද්‍යාඥයන්ගේ අදහසයි. සොයා ගත් පාත‍්‍ර කොටස්, බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි සමයේ දඹදිවෙහි භික්ෂූන් අතර භාවිතාවූ සම්ප‍්‍රදායට (මාදිලියට) අයත් මැටි බඳුන් කොටස් බවට තහවුරු වීම, ඊට හේතුවයි!
 
 

 කැණීමෙන් හමුවූ උත්තර භාරතීය පාත්‍ර කොටස්

 උත්තර භාරතීය කාල උද්දීප්ත සම්ප‍්‍රදායට අයත් පාත‍්‍ර කොටස්, මීට ඉහත අවස්ථා දෙකකදී ද ශ‍්‍රී ලංකාවෙන් හමුවී තිබේ. ඒ, 1969 වසරේ ආචාර්ය සිරාන් දැරණියගල මහතාගේ ප‍්‍රධානත්වයෙන් කෙරුණු අනුරාධපුරයේ ඇතුළු නුවර කැණීමෙන් සහ 2000 දශකයේ ජර්මනිය සමග ඒකාබද්ධව, ‘කාවා ව්‍යාපෘතිය’ යටතේ කෙරුණු තිස්සමහාරාමයේ ඇතුළු නුවර කැණීමෙනි. මින් අනුරාධපුරයේ පාත‍්‍ර කොටස් ක‍්‍රි. පූ. 400-350 අතර වකවානුවට අයත් බවට කාලනිර්ණයකර තිබිණි.
 
බුුදුරදුන් ජීවමානව වැඩ සිටි සමයේ පවා, ලක් වැසි බෞද්ධයන් සිටියේය යන්න, පුරාවිද්‍යාත්මකව හෙළිදරව් වීම සිත් පහන් කරවන කාරණයක් නො වන්නේ ද?

 

මාදුරු ඔයට නො දෙවැනි 
කලා වැවේ පැරණි සොරොව්ව
වැව් බැඳවීම, වී වගාව සහ කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් අපේ රටට ඇත්තේ විශිෂ්ඨ ඉතිහාසයකි. විශිෂ්ඨ තාක්ෂණයකි.
 
වී වගාව සම්බන්ධයෙන් ලංකාවේ මෙතෙක් සොයා ගන්නා ලද පැරණිම, විධිමත් සාධක සමූහය වාර්තා වන්නේ, ආචාර්ය සිරාන් දැරණියගල මහතා, 1969, 1984 සහ 1988 යන වර්ෂවල අනුරාධපුරයේ ඇතුළු පුරයේ කළ කැණීම්වලිනි. ඒ අනුව ක‍්‍රිස්තු පූර්ව 09 වන සියවසේ (අදින් වසර 2900කට ඉහත), අනුරාධපුර හෙක්ටයාර් 10ක් පමණ විශාල භූමියක් සහිත නගරයකි. එහි විසූවෝ වී සහ ධාන්‍ය ගොවිතැන, එළ හරකුන් සහ අශ්වයන් ඇති කිරීම, යකඩ භාවිතය සහ මැටි බඳුන් භාවිතය යන දියුණු සමාජ  ලක්‍ෂණ සහිතව ජීවත් වූ බව පර්යේෂණයෙන් හෙළි විණි. මේ කාලවකවානුව වන විට ලංකාවේ ‘ගල් යුගය’ අවසන්ව, ‘පූර්ව ඓතිහාසික යකඩ යුගය’ එළඹී තිබිණි. එය ලංකාවට ගලා ආවේ ඉන්දියාවෙනි.
 
 

කලා වැව

 ‘ඔය කාලය වෙන කොට වී ගොවිතැන කළා කියන්නේ, අනිවාර්්‍යයෙන්ම කිසියම් වාරි තාක්‍ෂණයක් තියෙන්න ඇති. මොකද ලංකාව ඊසාන දිග සහ නිරිත දිග මෝසම් දෙකින් වර්ෂාව ලැබෙන රටක්. අනෙකි වී වගා  කරන්න නම් වියළි කාලයට ජලය රඳවා ගන්න වෙනවා. ඒ නිසා කුඩා වැව් තියෙන්න ඇති. ඇළ මාර්ගත් කියෙන්න ඇති’, පූර්ව ඓතිහාසික යකඩ යුගයෙහි තිබෙන්නට ඇතැයි සිතන වාරි තාක්ෂණය ගැන එසේ කියන්නේ, පුරාවිද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ පර්යේෂක, ආචාර්ය නිමල් පෙරේරා මහතා ය.
 

මහා වංශය පවසන අන්දමට ලංකාවේ හැදූ මුල්ම වැව, අනුරාධපුරයේ දකුණු දෙසින් පිහිටි ‘බසවක්කුලම’ (අභය වැව) යි. ක‍්‍රි. පූ. 06 වැනි සියවසේදී විජය කුමාරයා සමග ලංකාවට පැමිණි ‘අනුරාධ’ නම් කුමාරයා අනුරාධපුර ජනාවාස බිහි කළ බවත් ඉන් පසුව පණ්ඩුකාභය රජු බසවක්කුලම වැව ඉදි කළ බවත්, මහාවංශයෙහි සඳහන් වේ. රට බතින් පෝෂණය කිරීමේ සංකල්පය එකල ද තිබෙන්නට ඇත.
 
ක‍්‍රි. පූ. 01 වැනි සියවස වන විට ලංකාවේ වාරි ශිෂ්ටාචාරයෙහි පොදු ලක්‍ෂණයක් වූයේ, ගමක් පාසා ‘කුඩා වැව්’ ඉදිකර තිබීමයි. ඉන් පසුව ක‍්‍රිස්තු වර්ෂ 02 වැනි සියවසේ දී රජ කළ වසභ (ක‍්‍රි.ව. 67 -111) රජ්ජුරුවෝ තත්ත්වය වෙනස් කළහ. ග‍්‍රාමීය වැව්, ‘මහා වැව්’ බවට පත් කිරීම ඔහු කළ කාර්යභාරයයි. මහා ඇළ මාර්ග ද ඉදි විණි. කොටින්ම ලංකාවේ වාරි ඉතිහාසයෙහි විශාල වැව් තැනවීමේ වැඩපිළිවෙළ ඇරඹුණේ වසභ රජුගෙනි. එය අපූර්ව තාක්ෂණ විධි-ක‍්‍රමයකි. මහාවංශය කියන හැටියට, මහවිලච්චිය වැව, මනම්පිටියේ නොච්චිපතාන වැව ඇතුළු විශාල වැව් 12ක් ද, ඇලහැර යෝධ ඇල (අලිසාර ඇළ) ද ඉදිකර ඇත්තේ ඔහුගේ මෙහෙයවීමෙනි. ඉන් පසුව රජ පැමිණි මහසෙන් රජ්ජුරුවෝ (ක‍්‍රි.ව. 274 - 301*, සිය විස් පස් අවුරුදු රාජ්‍ය පාලන කාලය තුළ මහා වැව් 16ක් ද, අන්තර් දෝණි ඇළ මාර්ග රැසක් ද තනවමින් මහා පෙරළියක් කළහ.
 
අතීතයේ ලංකාවේ පැවති වාරි තාක්ෂණ මහිමය ගැන කියන්නට, බොහෝ දෙනෙක් ගන්නා ප‍්‍රසිද්ධම උදාහරණය ‘මාදුරු ඔය’ මහවැලි ජලාශයයි. එය තැනවුණේ, පැරණි මහ වැවක් නටබුන්ව ගිය භූමියක ය. 1980 දශකයේ දී ජලාශය ඉදි කරන්නට ගිය ඉංජිනේරුවරු, නවීන මිණුම් සිතියම් ආශ‍්‍රයෙන් එහි සොරොව්ව බැඳීම පිණිස යම් තැනක් තෝරා ගත්හ. කැණීම් කරද්දී ඔවුන්ට, පැරණි වැවේ සොරොව්ව ද එතැනින්ම මතු වනු දක්නට ලැබිණි! සොරොව් තැබීම සහ මිණුම් ගැනීම අරභයා පැරැන්නන් සතුව පැවති දැනුම ගැන එදා සියලූ දෙනා මවිතයට පත් වූහ.
 



මෙබඳුම පැරණි සොරොව්වක්, ධතුසේන රජු (ක‍්‍රි. ව. 455-473) සමයේ ඉදි කළ ‘කලා වැවෙන්’ ද හමුවී තිබේ. එය අප‍්‍රකට සිද්ධියකි.
 
මහවැලි ව්‍යාපාරය යටතේ ගෙනා දියවර, 1978 වසරේ දී පමණ කලා වැවට මුදා හැරුණි. ඒ ජලය නව ගොවි බිම්වලට රැගෙන යාම පිණිස, නව සොරොව්වක් සහ ඇල මාර්ගයක් ඉදි කිරීමේ ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක විය. මහවැලි අධිකාරියේ ඉංජිනේරුවරු, කිලෝමීටර් 6.88ක් දිග කලා වැව බැම්ම (වේල්ල) සහ ජල තලය ඇතුළු කොටස් මිනුම් ගත කළහ. ඉන් පසුව, නව සොරොව්ව ඉදි කරන්නට, වැව් බැම්මේ දකුණු ඉවුර දෙසින් (කැකිරාව දෙසින්) පිහිටි ස්ථානයක් නිර්දේශ කළහ.
 
 

ආරියතිලක පීරිස්  මහතා



තෝරා ගත් ස්ථානය කැණීම් කළ ඔවුන් මවිතයට පත් කරවමින්, හරියටම එතැන තිබී ඉපැරණි සොරොව්වක් හමු විය. නව සොරොව්ව ස්ථානගත කිරීමේ නවීන සැලසුමට සමාන ලෙස එය ඉදිකර තිබීම, පුදුම සහගත කාරණයක් විය. ව්‍යාපෘතිය සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙනුවෙන් සහභාගි වූයේ, උපදේශක වාරි ඉංජිනේරු, ආරියතිලක පීරිස් මහතා ය. ඔහු පවසන අන්දමට, වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ දැනුම් දීම පරිදි, එවකට පුරාවිද්‍යා කොමසාරිස්වරයා ද පැරණි සොරොව්ව නිරීක්ෂණය කරන්නට කලා වැවට පැමිණියේ ය. ඉක්බිති එය සුරක්ෂිතව වසා දැමුණු අතර, සමීප වෙනත් තැනකින් නව සොරොව්ව ඉදි කෙරිණි. එය අදත් දැකගත හැකි ය.
 
මහා ජලාශවල සොරොව් බැඳීම පිණිස සූක්ෂම ලෙස මිණුම් ගැනීම අරභයා, කලා වැව කරවූ රජදරුවන් සතුව පැවති දැනුම විශ්මයජනක ය. එය අදත් කෘෂිකාර්මික ජනී ජනයින්ට නො මසුරුව සිහිල් දියවර සපයන්නේ ය.

 

පේරාදෙණියේ දිවි ගැලවුණු පුවත
ලංකාවේ සරසවියක මුල් වරට, ‘භූ විද්‍යා අධ්‍යයන අංශයක්’ පිහිට වූයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ය. 1960 වසරේ දී එය ආරම්භ කළේ, දෙස්-විදෙස් පතළ භූ විද්‍යාඥයෙකු වන, (අභාවප‍්‍රාප්ත) මහාචාර්ය පියදාස විජේරත්න විතානගේ (මහාචාර්ය පී. ඩබ්ලිව්. විතානගේ) සූරීන් විසිනි. එයින් බිහිවූ ප‍්‍රකට භූ විද්‍යාඥයන් අතර, මහාචාර්ය සී. බී. දිසානායක, ආචාර්ය විල්බට් කෙහෙල්පන්නල, ආචාර්ය එන්. පී. විජයානන්ද, ආචාර්ය ජේ. රණසූරිය, මහාචාර්ය කපිල දහනායක ඇතුළු විශාල පිරිසක් වෙති. ලංකාවේ භූ පැලූම් අධ්‍යනය කරමින් ද, නාය යාම් අධ්‍යනය කරමින් ද, ඊට පිළියම් සොයමින් ද ඔවුන් රටට කළ සේවාව අති මහත් ය.
 

පේරාදෙණිය නගරය නාය ගිය අවස්ථාවක්


ඔවුන්ගේ විෂය ධාරාවේ වර්තමාන ‘ක්ෂේත‍්‍ර සම්ප‍්‍රාප්තිකයා’, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයයි. ඔවුහු නාය යාම්වලට ගොදුරු වන ප‍්‍රදේශ සිතියම්ගත කරති. නාය යාම් ගැන අධ්‍යනය කරති. අනතුරු ඇඟවීම් කරති. නාය යන ප‍්‍රදේශවලට පිළියම් යොදති. ඒවා, ජනතාව නාය විපතින් ගලවා ගැනීමේ මෙහෙයුම් ය. ඔවුන් පේරාදෙණිය නගරය වෙනුවෙන් කළ මෙහෙයුම සුවිශේෂ ය.
 
පේරාදෙණිය, ප‍්‍රකට පුරවරයක් බවට පත් වූයේ බි‍්‍රතාන්‍ය යටත් විජිත පාලන සමයේ දී ය. සෙංකඩගල පුරයට පිවිසීම පිණිස බි‍්‍රතාන්‍යයන් විසින් මහවැලි ගඟ හරහා දැවැන්ත යකඩ පාලමක් ඉදි කිරීම, ඊට මුල්වූ සිද්ධියයි. එකල ජන කවීහු, ‘පාලම තිබෙයි ඉර-හඳ පවතිනා තුරු’ යයි පාලමෙහි ගුණ-වරුණ ගැයූහ. පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇරඹිණි. 1990 දශකය නිම වනවිට පේරාදෙණිය අතිශය ජනාකීර්ණ නගරයක් විය. මහනුවර නගරයට සමීපයෙන් පිහිටා තිබීම, එහි ආකර්ෂණීයභාවය වැඩි කළාට සැක නැත.
 
 2006 වසරේ නොවැම්බරයේ පේරාදෙණිය නගරය උන් හිටි ගමන් බිහිසුණු නාය යාම් මාලාවකට බිලි විය. මහා මාර්ග ත්‍මන්ම නිවාස ද රැුසක්ම හානි විය. පසුව 2009 වසරේ ඔක්තෝබරයේ ද පේරාදෙණිය නාය ගියේ ය. අවසන නගරය එතැනින් ඉවත් කරන්නට පවා නිර්දේශ කෙරිණි. ඉමහත් ආන්දෝලන ඇති විය.
 
මේ අතර, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, රජයේ නියමය පරිදි වැඩට බැස්සේ ය. හෙල් මළු සැකසීම, අවදානම් ගල්-පර්වත පුපුරුවා දැමීම, පස් තට්ටු සහ පාෂාණ වැර ගැන් වීම, සහ පස මතුපිට ජල වහනය ක‍්‍රමවත් කිරීම ආදී වැඩ කන්දරාවක්, පේරාදෙණියෙහි ක‍්‍රියාත්මක කළහ. රජය ඒ ස`දහා රුපියල් මිලියන 102කට ආසන්න මුදලක් වැය කළේ ය. ඉන්, අස්ථායීව පැවති පේරාදෙණිය යළි ‘ස්ථායී’ කෙරිණි. ඊට පසුව එහි නාය නො ගියේ ය.
 
අපේම විද්‍යාඥයන් එක්ව සංග‍්‍රහකර ගත් දැනුමෙන්, මිය යන්නට තිබුණු නගරයකට යළි පණ පිඹින්නට හැකි වීම, සිත් ගන්නා සුළු, අසිරිමත් කාරණයක් නො වේ ද?


නිල නො ලත් 
සත්ත්ව අවශේෂ විශ්ලේෂකයා
මහජනතාව ‘පාහියන්ගල’ නමින් හඳුන්වන මහා ගිරිකුළ, ප‍්‍රතාපවත් ලීලාවෙන් බලා සිටියේ ය. එහි පාමුල ලෙන් පියැස්ස යට පිහිටියේ, පුරාවිද්‍යා කැණීම් භූමියයි.
 
කැණීම් භූමියට යාබදව ඉදි කළ ලෑලි මැස්සකට වාඩිවූ මිනිසෙකි. මැස්ස පුරාවට අතුරා ඇති කුඩා ගල් පතුරු කැබලි, ඇටකටු කැබලි සහ තවත් සුන්බුන් එකින් එක ඔහුගේ පිරික්සුමට ලක් වෙයි. ඒ අතරින් යමක් වෙන්කර ගන්නා හෙතෙම, එය කැණීම් නිලධාරීන්ට ද පෙන්වමින් වචනයක් දෙකක් කියයි!
 
 

ජූඩ් පාහියන්ගල දී

 හෙතෙම නමින් ‘ජූඩ් පෙරේරා’ ය. නිල වශයෙන් ගතහොත්, ඔහුගේ රැකියාව කම්කරු මට්ටමේ එකකි. දැන් ඔහු ප‍්‍රකටව සිටින්නේ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ, ‘නිල නො ලත් සත්ත්ව අවශේෂ විශ්ලේෂකවරයා’ යනුවෙනි. ජූඩ් පෙරේරා, ‘සත්ත්ව පුරාවිද්‍යාව’ නමැති සුවිශේෂ දැනුම් සම්භාරය ලංකාවට දායාද කළ අතහුරු පරපුරක, තුන් වැනි පුරුක ය.
 
‘සත්ත්ව පුරාවිද්‍යාව’ යනු, පුරාවිද්‍යාව නමැති මහා විෂය පථයේ එන, ඉමහත් කුතුහලයක් දනවන එක් විෂය කොටසකි. පුරාවිද්‍යා පර්යේෂණ ඔස්සේ මුණ ගැසෙන පෞරාණික හෝ, පාෂාණිභූත සත්ත්ව අවශේෂ විද්‍යාත්මකව හඳුනා ගැනීමත්, එයින් පෞරාණික මානව පරිසරය මෙන්ම ජෛවවිවිධත්වය පිළිබඳ විවරණය කිරීමත්, එහි විෂය පථය වෙයි. එය කරන්නේ, පෞරාණික සත්ත්ව අවශේෂ, තවත් සාම්පලයක් සමග විද්‍යාත්මකව සැසඳීමේ විධි ක‍්‍රමයක් මගිනි.
පාෂාණිභූත සත්ත්ව අවශේෂ හඳුනා ගැනීමේ කලාව ලංකාවට තිළිණ කළෝ, ජාතික කෞතුකාගාරයේ සේවය කළ ප‍්‍රවීණ කීට විද්‍යාඥ පී. බී. කරුණාරත්න මහතා ය. ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යාඥයෙකු වන ආචාර්ය සිරාන් දැරණියගල මහතාගේ පර්යේෂණවලට සහාය වන අතර තුර, ඔහු නව ක‍්‍රමය භාවිත කළේ ය. ඒ අතර, කැලූම් මනමේන්ද්‍රආරච්චි සහ ජූඞ් පෙරේරා යන පුරාවිද්‍යා ලෝලයන් දෙදෙනා ද පුහුණු කරන්නට අමතක නො කළේ ය.
 
පී. බී. කරුණාරත්න මහතා අද ජීවතුන් අතර නැත. කැලූම් මනමේන්ද්‍රආරච්චි මහතා ද සිය සේවාව නිම කොට, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවයෙන් සමුගෙන ගොසිනි. දැන් ඉතිරිව සිටින්නේ ජූඞ් පෙරේරා මහතා පමණි.
 
කැණීම්වලින් හමුවන පාෂාණිභූත  ඕනෑම සත්ත්ව අවශේෂයක්, කුමන සතෙකුගේ, කුමන කොටසක් ද? යන්න, ඇස් බැල්මෙන්ම නිවැරදිව හඳුනා ගැනීමට ඔහුට පුළුවන. ඒ ශිල්පය විශ්වවිද්‍යාලවල පවා උගන්වන්නේ නැත. එය පුරාවිද්‍යා කැණීම් නමැති මහා සරසවියේ දී, ඔහු අතේ හුරුවෙන් ලැබූ නැණ මහිමයයි.

 
විල්පත්තුවේ අහම්බය
හීලෑකර ගත් අලි-ඇතුන් ගෙදර-දොරේ ඇති කිරීමක් මිස, වනයේ අතරමංවූ අලි පැටවුන්, මිනිස් ඇසුරේ හදා-වඩා ගෙන ආපසු යවන්නට හැකි බවක්, 1970 දශකය වන තුරුම කිසිවෙක් දැන සිටියේ නැත. අහම්බෙන් වුව, එය සිදු වූයේ ලංකාවේ විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ දී ය.
 
1970 දශකය කාලයේ, වනයෙහි අතරමංවූ වල් අලි පැටවුන් කිරි පොවා හදා වඩා ගනු ලැබුවේ, දෙහිවල ජාතික සත්වෝද්‍යානය තුළ ය. උන් හීලෑ සතුන් බවට පත්කර ගැනීම, එහි අරමුණවී තිබිණි. එහෙත් පසුකාලීනව ලැබුණු උපදේශය වූයේ, උන් ස්වාභාවික පරිසරයෙහිම ඇති දැඩි වන්නට සැලැස්විය යුතු බවයි. ඒ අනුව, 1972 වසරේ දී දෙහිවල සිටි වල් අලි පැටවුන් රංචුව විල්පත්තුවට ගෙන යනු ලැබී ය. උන් ගෙන ගියේ ද, විල්පත්තුවේ දී රැක බලා ගත්තේ ද, එවකට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාව සිටි වෛද්‍ය ෂෙල්ටන් අතපත්තු මහතාගේ මෙහෙය වීමෙනි.
 


 විල්පත්තුවේ දී දිනක් අපූරු දෙයක් සිදු විය. කිරි පොවා හදා වඩා ගනිමින් සිටි එක් වල් අලි පැටවෙක්, හොර රහසේම යළි වනයට පලා යාම, ඒ සිද්ධියයි. පසුව හෙළි වූයේ, ඌ වනයේ වෙසෙන වල් අලි රංචුවකට  එක්වී සිටින බවයි. වල් අලි, සාමාන්‍යයෙන් මිනිස් ඇසුරට වැටුණු පැටවුන් යළි රංචුවට භාර ගන්නේ නැත. එබැවින් මෙය අමුතු සිද්ධියකි.
 
වහාම එය පොත්පත්වල ද සටහන් කෙරිණි. මිනිස් ඇසුරට ගෙන, කිරි පොවා හදා වඩා ගන්නා වල් අලි පැටවුන්, පසුව යළි වනයටම මුදා හරින්නට පුළුවන් බව එයින් පෙනී ගියේ ය.
 
මේ අදහස මුහුකුරා වැඩිණි. අවසන, 1995 වසරේ උඩවලවේ ජාතික වනෝද්‍යානයට අනුබද්ධව, ‘ඇත් අතුරු සෙවණ’ බිහි විය. වනයෙහි අතරමං වන වල් අලි පැටවුන්, කිරි පොවා හදා වඩා, යළි වනයටම යැවීම එහි කෙරෙන කටයුත්තයි. ‘යළිත් නිජබිම කරා යාමට ඉඩ දෙන්න’ යන්න, එහි තේමාවයි. ඒ ආකාරයට දැනටමත් වල් අලි පැටවුන් විශාල සංඛ්‍යාවක්, ඇත් අතුරු සෙවණ ඔස්සේ වනයට මුදා හැර තිබේ.  එය, එබඳු කටයුත්තක් කරන ලොව එකම ආයතනය ද වෙයි.  
 
අහම්බෙන් වුව ද ලැබුණු විල්පත්තු අත්දැකීම, වඳවී යමින් තිබෙන වල් අලින්ගේ ලෝකයට අලූත් හුස්මක් වූ හැටි කදිම ය.

 

පොළොව යටට රිංගීමේ ශිල්ප කලාව
මැණික් පතල් කර්මාන්තය අරභයා රත්නපුරයේ ප‍්‍රසිද්ධ කතාවක් තිබේ. ‘මේ වලේ නැත්නම් අනික් වලේ’ යන්න, ඒ කතාවයි. එහි තේරුම වන්නේ කණිමින් සිටින පතලයෙන් මැණික් නො ලැබුණත්, ඊළඟ පතලයෙන් නම් ටක්කෙටම මැණික් ලැබෙන බවයි. ‘ඊළඟ පතලය’ යන්න, කවදා හෝ හෙට දවසේ කණින පතලයයි. වටිනා මිණි කැට හමුවන රත්නපුරය සහ සෙසු පළාත්වල මිනිසුන්ට, සෞභාග්‍යවත් මහ පොළොව ඒ තරම්ම විශ්වාස ය!
 
සම්ප‍්‍රදායික මැණික් පතල් කැපීමේ කර්මාන්තය, මහ පොළොව සමග කරන අතිශය විශ්වාසවන්ත ගනුදෙණුවකි. මතුපිට සිට අඩි 40, 50, 60 තරම් ගැඹුරට කණිමින් ඔවුන් මහ පොළොව ඇතුළට රිංගන්නේ ඉමහත් විශ්වාසයක් පෙරදැරිව ය. වටිනා මැණික් ගල් ලැබීමේ ප‍්‍රාර්ථනයත්, පොළොව ඇතුළේ දී ජීවිතාරක්ෂාවත් එයට ඇතුළත් වෙයි.
 
 

රත්නපුරේ මැණික් පතලක්

 ප‍්‍රධාන වශයෙන්, පොළොවේ ගැඹුරට කණින මැණික් පතල් වර්ග දෙකකි. ඉන් එකක් ‘හතර රියන් පතල්’ ය. එනම්, හතර රියනක් දිග, හතර රියනක් පළල පතල් ය. අනෙක, ‘අට රියන් පතල්’ ය. එනම්, අට රියනක් දිග, හතර රියනක් පළල පතල් ය. මීටත් වඩා දිග-පළල පතල් ද තිබේ. එහත් පොළොව ඇතුළට බසින ගැඹුරුම මැණික් පතල් ‘හතර රියන්’ හෝ ‘අට රියන්’ වශයෙන් කැණීම පතල්කරුවන්ගේ සිරිතයි.
 
මැණික් පතලක් පොළොව යටට හෑරීම, එක්තරා අවදානම් සහගත වැඩකි. වල හාරන්නේ ද බොහොම පරිස්සමිනි. හාරන වල ‘පතල් මුක්කු’ (රබර් කොට) යොදා සවිකරන ‘තට්ටු’ මගින් සවිමත් කරති. පතලේ බිත්ති පුවක් ලී පටි සහ කැකිල්ල අතු අතුරා ආස්තරණය කරති. පතල් වල කැණීම මෙහෙයවන්නේ ‘පතල් බාස් උන්නැහේ’ ය. ‘ලඹ කැටයක්’ භාවිත නො කළ ද, හරියටම ‘ලඹ’ වන සේ පතල ගැඹුරට හෑරීමට ඔහු දනියි.වල යාන්තම් වත් ඇද වුවහොත්, පතලේ බිත්ති බිඳ වැටී, වැඩ කරන පතල්කරුවන් ද සමග පොළොවේ වැළලී යන්නට ඉඩ තිබේ! ගැඹුරු පතල් කැණීම සූක්ෂම වැඩකි.
 
පතල් මුක්කු යොදා ‘පතලේ තට්ටු’ සවි කරන්නේ, ‘කත්තු’ සහ ‘කට්ට’ කපා මුක්කුවට මුක්කුව හිර කිරිමේ ඉපැරණි තාක්ෂණික ක‍්‍රමයට ය. එහි දී එකදු යකඩ ඇණයක් හෝ කොහු ලණු පොටක්වත් පාවිච්චි කරන්නේ නැත. මහ පොළොවත්, තම පාරම්පරික තාක්ෂණික ශිල්ප ඥාණයත්, සුමන සමන් දෙවියනුත් විශ්වාස කරන පතල්කරුවෝ, තට්ටු ගසමින් පොළොව ඇතුළට ගමන් කරති. හරස් දෝනා පවා කණිමින් මැණික් ඉල්ලම් සොයති. මැණික් ගල් ගරා ගනිති. එසේ වුව ද, කිසිදු පතල් බාස් උන්නැහේ කෙනෙකු ‘ඉංජිනේරුවෙකු’ ලෙස හැඳින් වෙන්නේ නැත!
 
නවීන මිණුම් හෝ කැණීම් උපකරණයක්, ඇණයක්, මුරිච්චියක්, ලණු පොටක් පාවිච්චි නො කොට, නිරුපද්‍රිතව පොළොව යට රිංගීම කදිම කලාවකි. අනාදිමත් කාලයක් මුළුල්ලේ පරපුරෙන් පරපුරට පැවත එන අනභිබවනීය තාක්ණික දැනුම් සම්භාරයකි.

 

වන රජවරු
කඳු මුදුනක තිබුණු කඳ කෙලින් සුවිසල් ගසක් සහ බට ගසක්, ළඟ එන සැඩ සුළඟින් ආරක්ෂා වන ආකාරය කතිකා කරමින් උන්හ. ‘මම ඔය සුළඟට බය නෑ. මම ඒකට මුහුණ දෙනවා’, මහ ගස මහත් ආඩම්බරයෙන් කීය. බට ගස දැරුවේ වෙනත් අදහසකි. ‘මට උඹට තරම් හයිය නෑ. මම දෙකට නැමිලා සුළඟට ඉඩ දීලා පණ බේරා ගන්නවා’ යයි බට ගස පිළිතුරු දුන්නේ ය. මහ ගස එබසට සිනාසුණේ අවඥාවෙනි!
 
පසුවදා මැදියම් රැයේ, සැඩ සුළඟ ප‍්‍රචණ්ඩ ලීලාවෙන් ක`දු මුදුන සිසාරා හමා ගියේ ය. අලූයම බලන විට, කඳ කෙලින් මහ ගස දෙකට කැඞී, ඈතට වීසිවී තිබුණේ ය. දෙකට නැමී දිවි බේරා ගත් බට ගස, කිසිද ගැහැටකින් තොරව එතැනම සිටිනු පෙනුණි.
 
 

සිංහරාජය (පින්තූරය-Pic Pick වෙබ් අඩවියෙනි)

කරදර සහ දුක් ගැහැටවලින් ගැලවී යන ආකාරය ගැන කියා දෙන මේ උපමා කතාව, බොහොම ගැඹුරක් ඇති එකකි. එහෙත් සැබෑ ලෝකයේ කඳු මුදුන්වල හමුවන උස් වෘක්ෂයෝ, සැඩ සුළඟින් පෙරළී නො වැටෙන තරම් ශක්තිවන්තයෝ ය. ලංකාවේ තෙත් කලාපීය දේශගුණයෙන් පිරිපුන් කඳුකර සදාහරිත වන ගොමු තුළ, උන්ගේ සංහතිය අදත් ඉහළින්ම වැජඹෙත්.
 
ලංකාවේ වැඩිම උසින් යුත් වෘක්ෂයන් මුණ ගැසෙන්නේ, තෙත් සහ අතර මැදි දේශගුණ කලාපවලට අයත් වන ගොමු තුළ දී ය. ඒවා සිංහල බසින් ‘හොර’ හෙවත් ඉංග‍්‍රීසි බසින් ‘ඩිප්ටෙරකාපේසියේ’  නමැති ශාක කුලයට අයත් වේ.  තවත් සරලව කියනවා නම්, ‘හොර’ හෙවත් ‘ඩිප්ටෙරකාපේසියේ’ කුලය යනු, ලංකාවේ වන බිම්වල ඇති උසම වෘක්ෂයන්ගේ හිමිකරුවා ය.
 
හොර, බූ හොර, දුම්මල, නා පත් බෙරලිය, පිණි බෙරලිය, හො`ඩ බෙරලිය, කොටිකන් බෙරලිය, දොරණ, දුන්, යකහලූ දුන්, තිනිය දුන්, රතු දුන්, මල් මොර, මැන්ඩෝර ඇතුළු හොර කුලයට අයත් ශාක විශේෂ 52ක් පමණ ලංකාවේ දී මුණ ගැසේ. ඒ සියල්ලම ලංකාවට ආවේණික වීම, විශේෂත්වයයි. වඩා වැදගත් කාරණය එය නොවේ. හොර කුලයට අයත් ශාක විශේෂ හැම එකක්ම පාහේ, මීටර් 20සිට 50ද ඉක්මවන තරම් උසින් යුත් රූස්ස වෘක්ෂයන් වීමයි!
 
තෙත් කලාපීය වනාන්තරවල ඔවුන්ට ඇත්තේ ‘රජවරුන්’ බඳු මහේශාක්‍ය දිවි පෙවෙතකි. අනෙකුත් සියලූම වෘක්ෂයෝ අඟුටු මිට්ටන් සේ ඔවුන්ට පහළින් ජීවත් වෙති. උද්භිද විද්‍යාඥයන් මේ ශාක ප‍්‍රජාවට ‘හොර-දුන් සංගමය’ කියා නමක් ද පටබැඳ තිබේ.

 
ඇත් ජානයේ කරුවලගස්වැව ලකුණ
සාහිත්යික මූලාශ‍්‍රවල එන හැටියට, වල් අලි රංචුවක නායකයා සද්දන්ත ඇතෙකි. එනම්, දිගු  දළ සහිත පිරිමි සතෙකි. දිගු-දැවැන්ත දළ පිහිටන්නේ, විශාල සිරුරු සහිත පිරිමි සතුන් හෙවත්, ‘සද්දන්තයින්ට’ ය. එහෙත් සත්ත්ව විද්‍යාත්මකව කාරණය වෙනස් ය. ඒ අනුව, වල් අලින්ගේ ලෝකය ‘මාතෘ මූලික’ සමාජයකි. සැම විටම එහි නායකත්වය හොබවන්නී, රංචුවේ සිටින වයස්ගතම ඇතින්න ය. එනම් ආත්තම්මා ය. වැඩිහිටි ගැහැණු සතුන්, වැඩිවිය පත් පිරිමි සතුන් රංචුවෙහි තබා නො ගනිති. එබැවින් සද්දන්ත පිරිමි සතුන්ට රංචුවේ තැනක් නැත. සත්ත්ව විද්‍යාත්මකව ගත් කල අලි රංචුවක් වූ කලී, ගැහැණු සතුන්ගේ ද, වැඩිවිය නො පත් පිරිමි සතුන්ගේ ද, ගැහැණු හෝ පිරිමි කුඩා පැටවුන්ගේ ද එකතුවකි. රංචුවෙන් ඉවත් කළ වැඩිවිය පත් පිරිමි සතුන්, එක්කෝ රංචුවේ සංඥා දැනෙන මානයේ හුදෙකලාව හැසිරෙති. නැතිනම්, ‘තනි අලින්’ සේ ඉවත්ව යති.
 
ලංකාවේ සිටින්නේ, සත්ත්ව විද්‍යාත්මකව ‘ආසියානු (වල්) අලින්’ ය. උන් අතර, ‘රුහුණු ගැටව්’ සහ ‘සෝමාවතී විල් අලි’ යයි උප විශේෂ දෙකක් ද වෙති. අලින් අතර, ‘දළ ඇතුන්’ සුවිශේෂ ය. බුදු සිරිතෙහි ද උන් ගැන කියැවේ. දළදා කරඬුව වැඩම වීම වැනි බෞද්ධාගමික කටයුතු නිසා, ලංකාවේ දළ ඇතුන්ට හිමිව ඇත්තේ ගෞරවනීය තැනකි.
 
 

(පින්තූරය-Sundaytimes)

අප‍්‍රිකානු අලින්ගේ නම්, ගැහැණු-පිරිමි දෙපාර්ශවයටම දළ පිහිටයි. එසේ වුව ද, ආසියානු අලින් ගෙන් දළ පිහිටන්නේ පිරිමි සතුන්ට පමණි. අනෙක් අයට ඇත්තේ යාන්තම් පිටතට පෙනෙන ‘පණු දත්’ ය. ඒවා ‘දළ’ නොවේ. ලංකාවේ වල් අලින් ගත් කල, ‘දළ ඇතුන්’ ඇත්තේ සියයට 04ක් තරම් සුළු ප‍්‍රතිශතයකි. එහෙත් ඉන්දියාවේ පිරිමි අලින් අතර, සියයට 50-80ක් තරම් දළ ඇතුන් සිටිති. මැලේසියාවේ සියයට 90ක්ම දළ ඇතුන් ය. ලංකාවේ ‘රුහුණු ගැටව්’ සහ ‘සෝමාවතී විල් අලින්ට’ ද දළ නැත. එබැවින් අපේ රටේ ඇත් සම්පත බොහොම වටින්නේ ය. ලංකාවේ දළ ඇතුන් දුලබ මන්දැයි, කිසිවෙකුත් නො දනිති.
 

ලාංකේය වන ඇතුන් සම්බන්ධයෙන් වෙනස් කාරණයක් ද තිබේ. එනම් විල්පත්තුවට නුදුරු පුත්තලම දිස්ත‍්‍රික්කයේ, ‘කරුවලගස්වැව’ වන ප‍්‍රදේශයේ ඇත් ප‍්‍රතිශතය ඉහළ අගයක් ගැනීමයි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන අන්දමට, කරුවලගස්වැව ඇත් ප‍්‍රතිශතය සියයට 30කි! එය ජානමය කාරණයක් විය හැකි යයි සමහරු කියති. කෙසේ වෙතත්, ඊට හේතුව ද තවම සොයා ගෙන නැත. ඇත් ප‍්‍රතිශතය වැඩි වීමට හේතු සොයා නො ගත්ත ද, එය අසිරිමත් කාරණයකි.

(පින්තූර-ප්‍රෑන්ක් ද සොයිසා/මුෂාන් හරීම්/ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය)


2015/08/14.

1 comment:

  1. ලංකාවේ අලින්ට දල නැත්තේ ඔවුන් පරිනාමයේ අන්තිම හරියේ ඉන්නේ ඒකයි

    ReplyDelete