මැතිවරණ වාර්තාකරණයේ රස කතා-02
(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
‘මැතිවරණ වාර්තාකරණයේ රස කතා-01’, ඉකුත් ජනාධිපතිවරණ සමයේ, එනම් 2014 දෙසැම්බර් 10 වැනි දා ’වලස්පතිගේ අඩවියෙහි’ පළ කෙරිණි. ඉන් විස්තර කෙරුණේ, මැතිවරණ වාර්තාකරණයේ යෙදුණු මාධ්‍යවේදීන්, 1990 දශකයේ මුල් භාගයේ දී ඊට මුහුණ දුන් ආකාරයයි. වලස්පති අඩවිකරු ද එකල ‘ලංකාදීප’ මාධ්‍යවේදියෙකි. මැතිවරණ වාර්තාකරණය අරභයා ඔහු ලත් අත්දැකීම් මෙවර ලිපියට ද පාදක වෙයි.
(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
‘මැතිවරණ වාර්තාකරණයේ රස කතා-01’, ඉකුත් ජනාධිපතිවරණ සමයේ, එනම් 2014 දෙසැම්බර් 10 වැනි දා ’වලස්පතිගේ අඩවියෙහි’ පළ කෙරිණි. ඉන් විස්තර කෙරුණේ, මැතිවරණ වාර්තාකරණයේ යෙදුණු මාධ්‍යවේදීන්, 1990 දශකයේ මුල් භාගයේ දී ඊට මුහුණ දුන් ආකාරයයි. වලස්පති අඩවිකරු ද එකල ‘ලංකාදීප’ මාධ්‍යවේදියෙකි. මැතිවරණ වාර්තාකරණය අරභයා ඔහු ලත් අත්දැකීම් මෙවර ලිපියට ද පාදක වෙයි.
සිරිමාවෝ බණ්ඩානායක මැතිනිය |
අමරසිරි දොඩන්ගොඩ මහතා |
චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය
ජනතාව අමතන්නට ගිය
අමරසිරි දොඩන්ගොඩ හඬයි!
1977 සිට වසර 17ක් පමණ පැවති එක්සත් ජාතික පක්ෂ පාලනය පරාජය කිරීම පිණිස, 1990 දශකය මුල් භාගයේ දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු විපක්ෂය ගෙන ගියේ ඉතාමත් අසීරු අරගලයකි. ඒ සඳහා ඔවුහු ‘පොදු ජන එක්සත් පෙරමුණ’ බිහිකර ගත්හ. එ. ජා. ප. පාලනය, කිසිදාක බිඳිය නො හැකි යයි මතයක් හට ගෙන තිබීම, එබඳු අසීරු අරගලයක් බිහිි වීමට හේතුව විය. 1988-1989 භීෂණ සමයේ අඳුරු සෙවනැලි, ඒ වන විටත් යම් යම් ආකාරයෙන් හොල්මන් කරමින් සිටීම නිසා දේශපාලනය කිරීම පවා යම් අභියෝගයක් විය.
ඉක්බිති 1993 වසරේ දකුණු පළාත් සභා මැතිවරණය එළඹිණි. ඒ වන විට ගාල්ල දිස්ත‍්‍රික්කයේ ප‍්‍රබලම ශ‍්‍රී. ල. නි. ප. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා වූයේ, අක්මීමන, රිචඩ් පතිරණ මහතා ය. ඊළඟට, බද්දේගම, අමරසිරි දොඩන්ගොඩ මහතා ය. සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනිය, එවකට ශ‍්‍රී. ල. නි. ප. නායිකාවයි. මෙහි දී දකුණු පළාත් සභා ඡන්දයට මුහුණ දීම, අමරසිරි දොඩන්ගොඩ මහතාට පැවරිණි. ඒ අනුව ඔහු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස් විය. ඉන් පසුව පොදු ජන එක්සත් පෙරමුණේ මහ ඇමති අපේක්ෂකයා වශයෙන් පළාත් සභා සටනට එක් වූයේ ය. එවකට පාර්ලිමේන්තු විපක්ෂයේ ප‍්‍රදාන සංවිධායකවරයා වූ රිචඞ් පතිරණ මහතා, ඔහුගේ ගමන් සගයා විය. දකුණ, එ. ජා. ප. බලකොටුවක් සේ සැලකිණි. එහි හිටපු මහ ඇමතිවරයාවූ, එම්. එස්. අමරසිරි මහතා එ. ජා. ප. යෙන් තරග කළේ ය.
ඉක්බිති, අසීරු සටනකින් පසු අමරසිරි දොඩන්ගොඩ මහතා දකුණු පළාත් සභාව ජය ගත්තේ ය. පො. එ. පෙ. ට මන්ත‍්‍රී ධුර 28ක් ලැබිණි. ඒ, පො. එ. පෙ. ට මන්ත‍්‍රී ධුර 22ක් සහ එහි හවුල්කාර, ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් ජාතික පෙරමුණට මන්ත‍්‍රී ධුර 06ක් බැගිනි. මෙහි දී එ. ජා. ප. යට ලැබුණේ, මන්ත‍්‍රී ධුර 27ක් පමණි. මින් එ. ජා. ප. ය තැති ගත්තේ ය. කෙසේ වෙතත්, දකුණු පළාත් සභා ජයග‍්‍රහණය, සොලවන්නට නො හැකි යයි කියූ එ. ජා. ප. ආණ්ඩුව පරාජය කරන්නට තබූ මුල්ම වෙඩි මුරය බවට ඉතිහාසගත විය. එහෙත් පළාත් සභාවේ දී පොදු ජන එක්සත් පෙරමුණු කණ්ඩායමට තිබුණේ, එක් වැඩි ඡන්දයක් පමණි.
මේ අතර, තමන්ට පළාත් සභාවේ බලය පිහිටු වන්නට ඉඩ දෙන්නැයි, පො. එ. පෙ. ඉල්ලා සිටියේ ය. එහෙත් එවකට දකුණු පළාත් ආණ්ඩුකාර, බාකිර් මාකර් මහතා පළාත් සභාව පිහිටු වන්නට ඇරයුම් කළේ අමරසිරි දොඩන්ගොඩ මහතාට නොව, එ. ජා. ප. යේ එම්. එස්. අමරසිරි මහතාට ය. පො. එ. පෙ. ඊට එරෙහි විය. විරෝධතා පළ කළේ ය. එසේ වුව ද ඉන් පලක් නො වීය. අමරසිරි දොඩන්ගොඩ මහතාට මහ ඇමති ධුරයේ දිවුරුම් දෙන්නට ඉඩ නො ලැබිණි. අවසන, ඔවුන් සාධාරණය ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගියහ. ආණ්ඩුකාර, බාකිර් මාකර් මහතාගේ තීරණය නීති විරෝධී යයි එහි දී තීරණය විය. එසේ වුව ද, අමරසිරි දොඩන්ගොඩ මහතාට මහ ඇමති ධුරයේ දිවුරුම් දෙන්නට, එයින් ද ඉඩ නො ලැබිණි. ආණ්ඩුකාර බාකිර් මාකර් මහතා ප‍්‍රදේශයෙන් පලා ගොස් සිටීම, ඊට හේතුව විය. එ. ජා. ප. ය දකුණු පළාත් සභාවේ බලය කෙසේ හෝ ර`දවා ගන්නට උත්සාහ කරන බව, ඉන් රටට පැහැදිලි විය.
පසුව සැලවූයේ, ආණ්ඩුකාරවරයා මාතලේ ප‍්‍රදේශයේ වත්තක සැඟව සිටින බවයි. ඉක්බිති අමරසිරි දොඩන්ගොඩ ඇතුළු පො. එ. පෙ. නායකකාරකාදීහු එහි ගියහ. ආණ්ඩුකාරවරයාට කරුණු දක්වා මහ ඇමති ධුරයේ දිවුරුම් දුන්නේ ය. මේ දේශපාලන නාටකය, එකල පුවත්පත්වල පොල්ගෙඩි අකුරින් සිරස්තල මැවී ය.
ඉන් පසුව දකුණු පළාත් සභාවේ නව මහ ඇමති අමරසිරි දොඩන්ගොඩ මහතා, සිය මංගල අය-වැය ඉදිරි පත් කරන දිනය උදා විය. එදින උදේ, පොදු ජන එක්සත් පෙරමුණු කණ්ඩායමේ සිටි, වීරකැටියේ, විමල් ප‍්‍රැන්සිස්කු මන්ත‍්‍රීවරයා උන් හිටි ගමන් අතුරුදන්ව තිබුණේ ය. ඔහු පැහැර ගෙන ගියා යයි ද කතා පැතිරිණි. මින් පළාත් සභාව තුළ, පො. එ. පෙ. ට තිබූ එකම වැඩි ඡන්දය ද අවාසනාවන්ත ලෙස අතුරුදන් විය. එබැවින් පළාත් සභා සැසිවාරය කල් තැබිණි.
මේ අතර, විමල් ප‍්‍රැන්සිස්කු මන්ත‍්‍රීවරයා අතුරුදන්කර වීමට එරෙහිව විරෝධතා ද පැවැත් විණි. ඉන් ගාල්ල නගරයේ පැවති එක් උද්ඝෝෂණයක දී වෙඩි ප‍්‍රහාරවලට ලක්ව දෙදෙනෙක් මියගියහ. ඒ පිළිබඳ චෝදනා එල්ල වූයේ පොලීසියට ය. පසුව, විමල් ප‍්‍රැන්සිස්කු මහතා යළි කරළියට පැමිණියේ, එ. ජා. ප. යට සහාය දක්වන මන්ත‍්‍රීවරයෙකු වශයෙනි! එම සිද්ධියත් සමගින්, ‘ප‍්‍රැන්සිස්කුකරණය’ යනුවෙන් අලූත් වචනයක් ද බිහි විය. දකුණු පළාත් සභාව යළිත් විසුරුවා හැරිණි.
ඒ අනුව ඊළඟ දකුණු පළාත් සභා මැතිවරණය පැවතියේ, 1994 වසරේ මාර්තු මස 24 වැනි දා ය. එය මහත් ආන්දෝලනාත්මක මැතිවරණයක් විය. එවර ද පො. එ. පෙ. නියමුවා වූයේ අමරසිරි දොඩන්ගොඩ මහතා ය. ඔහුගේ ගමන් සගයා වූයේ, රිචඩ් පතිරණ මහතා ය. එය මහත් කලබල සහිත මැතිවරණයක් වේ යයි, බොහෝ දෙනා කල්පනා කළහ.
‘ලංකාදීපයට’ දකුණු පළාත් සභා මැතිවරණය ආවරණය කිරීමේ කටයුත්ත, එහි ප‍්‍රධාන කර්තෘ සිරි රණසිංහ මහතා විසින් ලියුම්කරුටත්, සනත් බාලසූරියටත් පවරනු ලැබී ය. අපි මාර්තු 23 වැනි දා කොළඹින් පිටත් වූයෙමු. අපේ ඡායාරූප ශිල්පියා වූයේ, ඩඩ්ලි වික‍්‍රමසිංහ ය. රියදුරු, සුසිර ය. ඡන්දෙට බද්දේගම මහ ගෙදර යනවා යයි කියා, විනිතා ගමගේ සහෝදර මාධ්‍යවේදිනිය ද ගමනට එක් වූවා ය.
අනුරුද්ධ රත්වත්ත මහතා
දි. මු. ජයරත්න මහතා
තංගල්ල ටවුමේ අබිරහස් වෙඩික්කාරයා
අපි රාත‍්‍රියේ ද දකුණ පුරාවට රවුම් ගැසුවෙමු. කිසිදු කලබලයක් නො වී ය. පසුවදා උදෑසනින්ම දිගු ඡන්ද පෝලිම් දක්නට ලැබිණි. එහෙත් දහවල් වෙද්දී යම් යම් සිද්ධීන් සැල වන්නට විය. මාතර, ගන්දර, මහින්ද විජේසේකර පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයාගේ නිවස අසල ඡුන්ද පොළක දී, පැජරෝවකින් පැමිණි පිරිසක් ඩඞ්ලිගේ කැමරාව උදුරා ගන්නට තැත් කළහ. අප ‘ලංකාදීපයේ’ යයි දැනගත් මිනිස්සු එතැනට රොක් වූහ. ඒ සමගම පැජරෝකාරයන් හීන් සිරුවේ ලිස්සා ගියහ.
දිවා ආහාර පිණිස තංගල්ල තානායමට ගිය මොහොතේ, උන් හිටි ගමන් නගරය දෙසින් වෙඩි හඬ ඇසිණි. වේලාව සවස 4.00ට ආසන්න වන්නට ඇත. අපි එදෙසට දිවූයෙමු. ලහි ලහියේ කඩ වසන, හිස් ලූ ලූ අත දුවන, මහ හඬින් කෑගසන, වැලපෙන, මිනිස් සමූහයක් අපට දැක ගත හැකි විය. තුවක්කු ඔසවා ගත් පොලිස් භටයන් ද, අහසට වෙඩි තබමින් දිව යති! ඩඩ්ලි පින්තූර ගනිමින්ම දුවයි. අපි, එවකට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුවූ (හිටපු ජනාධිපති) මහින්ද රාජපක්ෂ මහතාගේ ‘කාල්ටන්’ නිවසට රිංගා ගතිමු. දැන් මුළු තංගල්ල නගරයම එකම සංත‍්‍රාසයකි.
කලබලයට හේතුව අපූරු එකකි. තංගල්ලේ වෙසෙන එක්තරා එ. ජා. ප. රාජ්‍ය ඇමතිවරයෙක්, සිය පිරිවර ද සමග, නගරයේ ඡුන්ද පොළක ඡුන්ද පෙට්ටිය කොල්ලකන්නට පැමිණ තිබේ. එහි දී ඔහුගේ මැරයන් අහසට වෙඩි තබා ඇත. ඒ සමගම තවත් යම් අබිරහස් වෙඩික්කරුවෙක්, ඡුන්ද පොළ දෙසට වෙඩි වරුසාවක් එල්ලකර ඇත. ඉන් බියට පත් ඇමතිවරයා ඇතුළු පිරිස පලා ගොස් තිබේ! අබිරහස් වෙඩික්කරුවා, ඡන්ද පොළට ආසන්නයේ ඇති නීතිඥ සිරි අන්ද්‍රාහැන්නදි මහතාගේ නිවසෙහිි සිටි ආරක්ෂකයෙකු බව, පසුව හෙළි විය. සිරි අන්ද්‍රාහැන්නදි මහතා ද, එවර ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් ජාතික පෙරමුණෙන් තරඟ කළ පළාත් සභා අපේක්ෂකයෙකි. වෙඩි කලබලයෙන් කිසිවෙකුටත් තුවාල නො වීය. ඒ ප‍්‍රවෘත්ති ‘ලංකාදීපයට’ දෙන්නට උපකාරී වූයේ, ‘කාල්ටන්’ නිවසේ දුරකතනයයි.
මැතිවරණයෙන් පො. එ. පෙ. උසස් ජයක් ලැබී ය. එ. ජා. ප. ය දරුණු පරාජයකට පත් විය.
දකුණ ජය ගත් අමරසිරි දොඩන්ගොඩ මහතා, නව මහ ඇමති පදවියෙහි දිවුරුම් දීම පැවතියේ, ගාල්ල කච්චේරියේ දී ය. එය ආවරණය කිරීම පිණිස, ඡායාරූප ශිල්පී ලලිත් වැලිවිටිගොඩ ද සමග ගාලූ පැමිණියෙමි. එදින කච්චේරිය ආශ‍්‍රිත ගාලූ කොටුව ප‍්‍රදේශයම එකම හිස් ගොඩක් විය. අපට කොටු දොරකඩින් ඇතුළට යාමට පවා මහත් පරිශ‍්‍රමයක් දරන්නට සිදු විණි. අන්තිමේ දී, පොළොවේ පය නො ගැටුණාක් මෙන් උඩින්ම තල්ලූවී ගියෙමු!
නව මහ ඇමති පදවියෙහි දිවුරුම් දීම අවසන, අමරසිරි දොඩන්ගොඩ මහතා ජනතාව ඇමතීම පිණිස කොටුවේ ‘පචගහ’ නමින් ප‍්‍රකට ස්ථානයට පැමිණියේ ය. එතැන එකම ජන සන්නිපාතයකි. නව මහ ඇමතිවරයාත්, රිචඩ් පතිරණ මහතාත්, එහි වූ බැම්මක් මත නැග ගත්හ. මිනිස්සු දිගින් දිගටම ජය ඝෝෂා නැගූහ. එහි නිවේදකයාගේ කාර්යභාරය කළේ රිචඩ් පතිරණ මහතා ය. ජනතාව අමතන්නට ගිය අමරසිරි දොඩන්ගොඩ මහතාට හැඬුම් ආවේ ය. එබැවින් ඔහුට වැඩි යමක් කතාකර ගත නො හැකි විය!
රිචඩ් පතිරණට මහනුවරින් සරදමක්
ගාල්ලේ දී ප‍්‍රබලයෙකුගේ භූමිකාව රඟ දැක්වුව ද, වරක් මහනුවර දේශපාලන සගයෝ ප‍්‍රසිද්ධියේම රිචඞ් පතිරණ මහතාට දේශපාලනිකව රසවත් සරදමක් කළහ. ඔහු එය නිහඬව විඳ දරා ගත්තේ ය. ඒ කතාව මෙසේ ය.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‘නව ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය’ එළි දැක් වීමේ ජන රැළිය, 1993 වසරේ සැප්තැම්බර් මස 03 වැනි දා මහනුවර, බෝගම්බර පිටියේ දී පැවැත් විණි. එය ‘ලංකාදීපයට’ ආවරණය කිරීම පැවරුණේ ලියුම්කරුට ය. ඡායාරූප ශිල්පියා ලලිත් වැලිවිටිගොඩ ය. ශ‍්‍රී. ල. නි. ප. නායිකා සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනිය ද, දළදා සමිඳුන් වැඳ පුදා ගැනීම පිණිස පෙර දින මහනුවර යන්නී ය. එබැවින් අපි ද සැප්තැම්බර් 02 වැනි දා මහනුවර ගියෙමු. ලංකාදීප මහනුවර මාධ්‍යවේදී, ජේ. ඒ. එල්. ජයසිංහ ද අප හා එක් විය.
දළදා මාළිගය අබියස දී අපට මුලින්ම හමු වූයේ, එවකට පාර්ලිමේන්තු විපක්ෂයේ සංවිධායක, රිචඞ් පතිරණ මහතා ය. ඔහු අප පිළි ගත්තේ, ‘උදේට කාලා දැයි’ සුහදව විමසමිනි. ස්වල්ප වේලාවක දී සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනිය ද සමග, එස්. බී. දිසානායක, යසරත්න තෙන්නකෝන්, දි. මු. ජයරත්න ඇතුළු මහනුවර ශ‍්‍රී. ල. නි. ප. ජ්‍යෙෂ්ඨයන් ද එහි පැමිණියහ. මැතිනිය වෙනුවෙන් එදින විශේෂ ‘දළදා දැක්මක්’ ද පැවැත් විණි.
දළදා මාළිගාවේ දී සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනිය, කෙලින්ම දළදා සමිඳුන් වැඩ සිටින කුටිය ඉදිරිපිටට කැඳවා ගෙන යනු ලැබිණි. එතැන මහ සෙනගකි. පොලීසිය ඔවුන් මදකට ඈත් මෑත් කළ අතර, අපි ‘මැතිනියගේ අය’ ලෙස හැසිරුණෙමු. දළදා කුටිය භාර භික්ෂූන් වහන්සේලා ද, එහි නිලධාරීන් ද, එහි වූහ. එය ඉතා කුඩා කුටියකි. එයට ඇතුළු වන්නට ඉඩ ලැබුණේ, මැතිනිය ඇතුළු ප‍්‍රධාන මැති ඇමති පිරිස පමණකි. ලලිතුත් මමත්, ජයසිංහත් මැතිනිය පසුපසින්ම රිංගා ගතිමු. හැරෙන්නටවත් ඉඩ නැති නිසා ලලිත් පින්තූර ගත්තේ අසීරුවෙනි. ඇය නෙළුම් මල් වට්ටියකින් දළදා සමිඳුන් පිදුවා ය. ඉන් පසුව, රිසි සේ වැඳ පුදා ගන්නැයි, අභිනයෙන් සෙසු අයට ද කීවා ය. මැතිනියට පසුපසින් හිද, අපි ද ජීවිතයේ මුල් වරට, දළදා සමිඳුන් සියැසින් දැක වැඳ පුදා ගත්තෙමු!
ශ‍්‍රී. ල. නි. ප. නව ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය එළි දකින රැුළිය පැවතියේ පසුව දා (03 දා) සවස බෝගම්බර පිටියේ ය. ඊට අති විශාල ජනකායක් රැස්ව සිටියහ. රැළිය පැවතියේ පක්ෂයේ නායිකා සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනියගේ ප‍්‍රධානත්වයෙනි. ඒ සඳහා, ශ‍්‍රී. ල. නි. ප. යේ ජ්‍යෙෂ්ඨයන් ඇතුළු ක‍්‍රියාකාරිකයන් විශාල පිරිසක් එක්ව සිටියහ. රැළියෙහි නිවේදකයන් ලෙස කටයුතු කළේ, මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන යසරත්න තෙන්නකෝන් සහ මහින්ද අබේකෝන් යන මහත්වරු ය. නිවේදක යසරත්න තෙන්නකෝන් මන්ත‍්‍රීවරයා, මීළඟ කථිකයාවූ පාර්ලිමේන්තු විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක, රිචඞ් පතිරණ මහතා හඳුන්වා දුන්නේ මෙසේ ය.
‘අපේ මීළඟ කථිකයා දැන් ගාල්ලෙ ඉඳල නුවර ඇවිල්ලා ඉන්නෙ. එයා කොළඹ දි, පාර්ලිමේන්තු විවාදවල දි, අපේ කතාවල වෙලාව කපනවා. දැන් නම් ඒ කෙරුම් හරියන්නේ නෑ. ඒත් අපි නම් එයාට එහෙම කරන්නේ නෑ. දැන් පිළි ගන්න, පාර්ලිමේන්තු විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක, ගාල්ලේ මන්ත‍්‍රී, රිචඩ් පතිරණ!’
හැඳින්වීම ඇසූ පිරිස් සිනා මුසුව ඔල්වරසන් දුන්හ. රිචඩ් පතිරණ මන්ත‍්‍රීවරයා ද සිය කතාවේ දී, මහනුවර සගයන් තමන්ට කළ සරදම ගැන එක වචනයකුදු නො කීය.
1994 අගෝස්තු මහා මැතිවරණය
පොදු ජන එක්සත් පෙරමුණ, දකුණු පළාත් සභාව ජය ගන්නා අවස්ථාව වන විට රටේ තවත් දේශපාලන පෙරළියක් හට ගෙන තිබිණි. විජය කුමාරතුංග මහතාගේ ඝාතනයෙන් පසුව විදේශගතවූ, ශ‍්‍රී. ල. නි. ප. නායිකා සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනියගේ දියණි, චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය යළිත් සිය රට පැමිණ තිබීම, එම පෙරළියයි. ඇය පොදු ජන එක්සත් පෙරමුණේ නායිකාව ලෙස පත්වූ අතර, රට පුරා රැස්වීම් ගණනාවකටම එක්ව සිටියා ය. ඇයගේ ආකර්ෂණීය රුව රැගත් පෝස්ටර් එකල රට පුරා ඇල විණි. ඒවා බෙහෙවින් ජනප‍්‍රිය විය. එ. ජා. ප. යට එරෙහි බලවේග, ඇය වටා එක් වෙමින් සිටියහ.
මේ අතර, චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ පළමුවන නැගෙනහිර පළාත් සංචාරය එළඹිණි. එහි දී ඇය, රත්මලානේ සිට අම්පාර සහ මඩකලපුවට ගමන් කරන්නේ හෙලිකොප්ටරයකිනි. එහි ඉඩකඩ සීමිත නිසා, පුවත්පත්වලින් ඡුායාරූප ශිල්පීන් පමණක් රැුගෙන යනු ලැබී ය. මෙය විශේෂ අවස්ථාවක් බැවින්, රටේ සියලූම පුවත්පත් ඒ ගැන උනන්දු වූහ. ‘ලංකාදීපයෙන්’ තෝරා යැවුණේ, ඡායාරූප ශිල්පී ලලිත් වැලිවිටිගොඩ ය. ඔහු උදෑසනින්ම රත්මලාන ගුවන් තොටුපොළට යා යුතු විය. එහෙත් කිසියම් හේතුවක් නිසා පමාවක් ඇති විය. ඔහු එහි යන විට චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඇතුළු පිරිස රැගත් හෙලිකොප්ටරය පිටත්ව ගොසිනි! ලලිත්ට හිස් අතින් කන්තෝරු එන්නට සිදු විය.
මේ ගැන කතිකා කළ ලංකාදීප පාලනාධිකාරිය, තීරණයකට එළඹිණි. වහාම පෞද්ගලික හෙලිකොප්ටරයක් ‘හයර්’ කෙරිණි. ලලිත්ව එහි නංවා, චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ සංචාරය ආවරණය කරන්නට නැගෙනහිර යැවිණි! ලලිත් ද තනි හෙලිකොප්ටරයක ‘පුතයා වගේ’ ගොස්, පින්තූර ගෙනාවේ ය.
පසුව චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය රටේ ඉමහත් ජන ආකර්ෂණයක් දිනා ගත්තා ය. ඇය බස්නාහිර පළාත් සභාවට ද තරඟ කොට එය ද දිනා ගත්තා ය. ඊළඟට 1994 වසරේ අගොස්තු පාර්ලිමේන්තු මහා මැතිවරණයට තරඟ කරමින්, එය ද විශිෂ්ඨ ලෙස ජය ගත්තා ය. අගමැති ධුරයට පත් වූවා ය. එකල බලයේ පැවති එ. ජා. ප. ආණ්ඩුවේ ජනාධිපතිවරයා වූයේ, ඩී. බී. විජේතුංග මහතා ය. 1994 මහා මැතිවරණයේ දී ලියුම්කරු අතින්, ලංකාදීපයට ජාතික මට්ටමේ රැුළි ගණනාවක්ම ආවරණය කෙරිණි. ඉන් වැඩි හරියක්ම, චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අමතන රැස්වීම් ය.
සයිමන් බෝගම්බර වේදිකාවේ!
චන්ද්‍රිකාගේ අම්පාර රැළිය පැවතියේ, නගරය මැද තිබූ විශාල පිට්ටනියක ය. ඇය එහි පැමිණි විගස මහා සෙනගක්, ඇය බලන්නට වේදිකාව අසලට කඩා වැදුණහ. එහි දී ආරක්ෂක යකඩ වැටවල් පෙරළිණි. සමහරු වේදිකාවට ද ගොඩ වූහ. පොදි කෑම නිසා සුළු තුවාල ලැබූ 25ක 30ක පමණ පිරිසක් අම්පාර මහ රෝහලෙන් බෙහෙත් දමා ගෙන තිබිණි!
එ. ජා. ප. යේ මහා මැතිවරණ රැළියක්, 1994 ජූලි 20 වැනි දා සවස රත්නපුර දිස්ත‍්‍රික්කයේ කොලොන්න නගරයේ පැවැත් විණි. එහි ප‍්‍රධාන කථිකයා වූයේ ජනාධිපතිවරයා වූයේ, ඞී. බී. විජේතුංග මහතා ය. රැුළිය සංවිධානයකර තිබුණේ කොලෙන්න එ. ජා. ප. සංවිධායක, නන්ද මැතිව් මහතා ය. රැළිය පැවැත්වෙද්දී, උන් හිටි ගමන් එහි වේදිකාව කඩා වැටිණි! ජනාධිපතිවරයා ඇතුළු වේදිකාවේ සිටි අමුත්තෝ ටකරන් වහලයට යට වූහ. ‘දිවයින’ ඡායාරූප ශිල්පී සරණපාල පමුණුව, වේදිකාවෙන් බිමට පැන ගෙන තිබිණි. සිද්ධියෙන් කිසිවෙකුට හානි නො වීය. රැළිය ද එතැනින්ම අවසන් විය.
රට පුරා පැවැත්වෙන මැතිවරණ රැළිවල දී, විවිධ පුවත්පත්වල මාධ්‍යවේදීහු මුණ ගැසෙති. නන්දසේන සූරියාරච්චි, දයා ලංකාපුර, මහින්ද අබේසුන්දර, සරත් අබේගුණවර්ධන, විමලසේන ඉහළගම, දයා පෙරේරා, චූලවංශ සිරිලාල්, රංජිත් පද්මසිරි, නන්දන ඩී. කෙහෙල්ගමුව, ආදීහු ඒ අතර වූහ.
1994 මහා මැතිවරණයේ, චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සහභාගි වන මහනුවර රැළිය පැවතියේ, අගොස්තු 02 වැනි දා ය. ඒ බෝගම්බර පිටියේ දී ය. රැළිය අමතන්නට ඇය සූදානම් වෙත්ම, රැස්ව සිටියෝ දිගින් දිගටම ඔල්වරසන් දුන්හ. එය නතර වන බවක් පෙනෙන්නට නො වීය. ඇය කිහිප වරක්ම කතා කරන්නට උත්හාස කළ ද, ඔල්වරසන්කරුවෝ පෙරටත් වඩා උස් හඬින් ජය ඝෝෂා කරන්නට වූහ. බැරිම තැන, එස්. බී. දිසානායක, දි. මු. ජයරත්න (හිටපු අගමැති) යන මහනුවර දේශපාලනඥයන් ද මයික‍්‍රපෝනයට පැමිණ පිරිස නිහඬ කරන්නට උත්සාහ කළහ. එය ද හරි නො ගියේ ය. දැන් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පසෙකටවී හිඳින්නී ය. එවේලේ කර්නල් (පසුව ජෙනරාල්) අනුරුද්ධ රත්වත්තේ මහතා පැමිණ, පිරිස සන්සුන් කරන්නට උත්සාහ කළේ ය. ඉක්බිති පිරිස නිහඬ වූහ. එහෙත් වේදිකාව අසලම සිටින එක් පුද්ගලයෙක් දිගටම ජය ඝෝෂා නගයි. අනුරුද්ධ රත්වත්තේ මහතා ඔහු දෙස රවා බැලූවේ ය. ඊළඟට, ‘සයිමන්, නිශ්ශබ්ද වෙයන් යකෝ’ යයි සැරෙන් කීවේ ය.
ඉන් පසු ‘සයිමන්’ නිශ්ශබ්ද විය.
චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට සිය කතාවකර ගෙන යන්නට හැකි විය.
ඇය එම මැතිවරණයෙන් ද විශිෂ්ඨ ජයක් ලැබුවා ය. පසුව ජනාධිපති ධූරයට ද පත් වූවා ය.
(සමාප්තයි)
ඇය එම මැතිවරණයෙන් ද විශිෂ්ඨ ජයක් ලැබුවා ය. පසුව ජනාධිපති ධූරයට ද පත් වූවා ය.
(සමාප්තයි)
2015/08/10.
No comments:
Post a Comment