ආසනික් එන්න
බත් පතට මාරයා පැමිණ ඇති දැයි බලන්න.....
(ක්‍රිෂ්ණ විජේබණ්ඩාර)
බදුල්ල දිස්ත‍්‍රික්කයට අයත් ගිරාඳුරුකෝට්ටේ, කඩිනම් මහවැලි ව්‍යාපාරය යටතේ සංවර්ධනය කෙරුණු කෘෂිකාර්මික ප‍්‍රදේශයකි. එහි වැසි ගොවීහු දැනට වසර දහයක පමණ කාලයක සිට, මාරාන්තික නිදන්ගත වකුගඩු රෝගයට (CKDu) මුහුණ දෙමින් සිටින්නෝය. ඉකුත් 10 වැනි දා මුළු ප‍්‍රදේශයම මහත් කම්පනයකින් වෙළී ගියේය. ගිරාඳුරුකෝට්ටේ, ගල්පෝරුයාය, දෙමටන්ඇල්ල ගමේ පදිංචි සොරබොර බණ්ඩාරලාගේ පොඩි නෝනා (71) මහත්මිය සහ ඇෙඟ් පුත් ඌරුවරිගයේ සේනාරත්න (26) මහතා වකුගඩු රෝගයෙන් මියයාම ඊට හේතුවයි. මව් - පුතු දෙදෙන රෝගයට ගොදුරුව මහනුවර, මහියංගණය සහ ගිරාඳුරුකෝට්ටේ යන රෝහල්වලින් දිගු කලක් තිස්සේ ප‍්‍රතිකාර ලැබූහ. දිගු කලක් තිස්සේ රෝගයෙන් දුක් වින්දහ. ගිරාඳුරුකෝට්ටේ ප‍්‍රදේශයෙන් ලැබෙන තොරතුරු අනුව, ගෙවුණු දශකයක පමණ කාලය තුළ එහි වැසි ගොවීන් 2000ක් වත් මාරාන්තික වකුගඩු රෝගයෙන් මියගොස් තිබේ. ඊට අමතරව තවත් 2817ක පිරිසක් ගිරාඳුරුකෝට්ටේ රෝහලේ වකුගඩු රෝගීන් ලෙස ලියාපදිංචිව සිටිති.
රජරට සහ රටේ වියළි කලාපීය කෘෂිකාර්මික ප‍්‍රදේශවල පැතිරයමින් තිබෙන මාරාන්තික නිදන්ගත වකුගඩු රෝගය මුළු රටටම ඇති කළේ විශාල කම්පනයකි. එය ආසනික්, කැඞ්මියම් ඇතුළු විෂ බැර ලෝහ අඩංගු කෘෂි රසායන භාවිතය නිසා හටගත් බව, ඒ ගැන කෙරුණු පර්යේෂණ මගින් අනාවරණය විය. රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා ඇතුළු විද්වත් කණ්ඩායමක් මේ පිළිබඳ කළ මුල්ම පර්යේෂණයේ වාර්තාව 2010 වසරේ දී නිකුත් කෙරිණි. ඉන් පසුව ලෝක සෞඛ්‍ය සංවිධානය කළ පර්යේෂණයේ වාර්තා 2011 සහ 2012 යන වසරවල නිකුත් විය. කිවුල් ජලය සමග සංයෝගවන ආසනික් ඇතුළු විෂ බැර ලෝහ මගින් රෝගය හට ගන්නා බව එයින් කියැවිණි. ඒවා විෂ සහිත කෘෂි රසායන ඔස්සේ පොළොවට එකතු වන බවද හෙළිවිණි. කෙසේ වෙතත් පර්යේෂණ මගින් හෙළිදරව්කළ කාරණා සම්බන්ධයෙන්, ප‍්‍රමාණවත් තරම් රාජ්‍ය මට්ටමේ අවධානයක් යොමු වූයේ නැත. පසත්, ජලයත්, ගොවිතැනත් විෂ කරන කෘෂි රසායන රටට ගෙන්වීම, පාලනය හෝ තහනම් කෙරුණේ නැත. එබැවින් වකුගඩු රෝග මාරයා මෙල්ල කළ නොහැකි විය.
වෛද්‍ය චන්න ජයසුමන මහතා
චන්න ජයසුමන ඇතුළු විද්වත් පර්යේෂකයන් දැන් තවත් බිහිසුණු තොරතුරු සමූහයක් හෙළිදරව් කර තිබේ. ඒ ඔවුන් කළ අලූත්ම පර්යේෂණය ඔස්සේය. සොයා ගත් තොරතුරු පිළිබඳ පර්යේෂණ පත‍්‍රිකාව 2015 ජනවාරි මස 30 වැනිදා 'International Journal of Food
Contamination' නමැති අන්තර්ජාතික ආහාර විද්‍යා සඟරාවේ පළවී තිබිණි. රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන, කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප‍්‍රියානි පරණගම, සාරංග ෆොන්සේකා, මහාචාර්ය මාලා අමරසිංහ, කැලිෆෝනියා රාජ්‍ය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සරත් ගුණතිලක සහ රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සිසිර සිරිබද්දන යන විද්වත්හු එහි පර්යේෂකයෝය.
පර්යේෂණය මගින් හෙළිකෙරුණු බරපතළම කාරණය වූයේ, ශ‍්‍රී ලංකාවේ වැසියන් වර්තමානයේ ආහාරයට ගන්නා සහල්වල ඉතාමත් අහිතකර ප‍්‍රමාණයන්ගෙන් ‘ආසනික්’ අඩංගු වී ඇති බවයි ෟ කෘෂි රසායන යොදා වගා කරන නව වැඩි දියුණු කළ වී වර්ගවලින් නිපැයෙන සහලේ, ආසනික් අධික ලෙස අඩංගුව ඇති බවත්, වඩාත් පාහින ලද සහල්වල ආසනික් තත්ත්වය උග‍්‍ර බවත්, ඔවුන් සොයා ගෙන තිබේ. මතුවී තිබෙන විශේෂම කාරණය වන්නේ, කෘෂි රසායන නොයොදමින්, කාබනික ක‍්‍රමයට වගා කළ දේශීය පාරම්පරික වී ප‍්‍රභේදවල සහලේ ආසනික් ප‍්‍රතිශතය ඉතාමත් අවම තත්ත්වයක පැවතීමය.
මෙහි තේරුම කිමෙක්ද? සමස්ත ශ‍්‍රී ලාංකිකයන්ම වස වළඳමින්, සෙමෙන් සෙමෙන් මරණය කරා පියමනිමින් සිටින බවය ෟ අකාලයේ මරණය වැළඳ ගන්නට යමින් සිටින බවය.
වෛද්‍ය චන්න ජයසුමන ඇතුළු කණ්ඩායම සිය පර්යේෂණ කටයුත්ත සඳහා, නව වැඩි දියුණු කළ වී ප‍්‍රභේදවල සහල් සාම්පල 120ක්ද, දේශීය පාරම්පරික වී ප‍්‍රභේදවල සහල් සාම්පල 50ක්ද විෂ්ලේෂණය කොට තිබේ. ඒවා පදවිය, සිරිපුර, මහවිලච්චිය ආදී ප‍්‍රදේශ ගණනාවකින් රැුස්කර ගෙන ඇත. සාම්පල සඳහා, කෘෂි රසායන භාවිත කරමින් වගා කළ නව වැඩිදියුණු වී වර්ගවල සහල් මෙන්ම, කාබනිකව වගා කළ දේශීය පාරම්පරික වී වර්ගවල සහල් ද යොදා ගැනුණි. විශ්ලේෂණයට ලක්වුණු සමස්ත සහල් සාම්පල සංඛ්‍යාව 170කි.
ආසනික් යනු පිළිකාකාරකයක් ලෙසද ගණන් ගන්නා උග‍්‍ර විෂකාරකයකි. එය කවර තත්ත්වයන් යටතේ වුවද ශරීරගත වීම මරණීය කාරණයකි. කෙසේ වෙතත් ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය සහල්වල තිබිය යුතු ආසනික් ප‍්‍රමාණය සම්බන්ධයෙන් ‘අවම සෞඛ්‍යහානි මට්ටමක්’ පනවා ඇත. ඒ අනුව, සහල් කිලෝග‍්‍රෑම් එකක තිබිය යුතු ආසනික් ප‍්‍රමාණය මයික්‍රෝ ග‍්‍රෑම් 200කි. එය ‘අවම සෞඛ්‍යහානි’ මට්ටමයි. එහෙත් ලංකාවේ ආහාරයට ගන්නා නව වැඩිදියුණු වී වර්ගවල සහලේ කිලෝග‍්‍රෑමයක ඇති ආසනික් ප‍්‍රමාණය මයික්‍රෝග‍්‍රෑම් 20.6-540.4ක් වන බව, වෛද්‍ය චන්න ජයසුමන මහතා ඇතුළු පිරිස විසින් සොයා ගෙන තිබේ. විෂ්ලේෂණයට ලක්වූ නව වැඩිදියුණු කළ වී වර්ගවලට අයත් සහල් සාම්පලවලින් සියයට 70කම ආසනික් සංයුතිය, කිලෝග‍්‍රෑම් එකකට මයික්‍රෝග‍්‍රෑම් 286ක්ව පැවති බවද පර්යේෂණ පත‍්‍රිකාවේ දැක්වෙයි. සමස්ත සහල් සාම්පලවලින් සියයට 11කම ආසනික් සංයුතිය, මිනිස් පරිභෝජනයට කොහෙත්ම නුසුදුසු තත්ත්වයක පැවති බව, ‘ඉරුදින’ කළ විමසුමේදී චන්න ජයසුමන මහතා පැවසීය.
මේවාට සාපේක්‍ෂව, කාබනිකව වගා කළ දේශීය පාරම්පරික වී ප‍්‍රභේදවල සහලේ ආසනික් සංයුතිය කිලෝග‍්‍රෑමයකට මයික්‍රෝග‍්‍රෑම් 11.2-64.2ක් තරම් අවම තත්ත්වයක පැවතිණි.
‘නව වැඩිදියුණු කළ වී වර්ග වගා කරන්නේ, කෘතිම රසායනික පොහොර, කෘතිම කෘෂි රසායන ආදී වස විෂ සහිතවයි. එයින් නිපදවෙන සහලේ ආසනික් විෂ අධික බව හෙළිවුණා. මෙහෙම ගියොත් අපට කන්න දෙයක් ඉතිරි වෙන්නේ නෑ. එක්කෝ විෂ සහිත කෘෂි රසායන රටට ගෙන්වන එක නතර කරලා, දේශීය ගොවිතැන කාබනික ක‍්‍රමයකට හුරු කරන්න ඕනෑ. නැත්නම් බැර ලෝහ සහ විෂ අධික කෘෂි රසායන භාවිතය පාලනය කරන්න ඕනෑ. මෙහෙම ගියොත් මුළු රටම ලෙඩවෙන දවස වැඩි ඈතක නෙවෙයි’, චන්න ජයසුමන මහතා කියයි.
අපේ රටේ ප‍්‍රධාන ආහාරය බත්ය. සාමාන්‍යයෙන් වසරකට එක් පුද්ගලයෙක් සහල් කිලෝග‍්‍රෑම් 116ක් පමණ පරිභෝජනය කරති. රටේ නිපැයෙන සහලින් සියයට 99ක්ම, බතලගොඩ හෝ වෙනත් වී පර්යේෂණායතනයක හැදූ නව වැඩි දියුණු කළ වී වර්ගවලින් නිපදවුණු ඒවාය. ඒවා සියයට සියයක්ම වගා කරන්නේ ආනයනික නවීන කෘෂි රසායන භාවිතාවෙනි. මේ තත්ත්වය නිසා මුළු රටටම වස විෂ සපිරි මරණිය සහලේ බත් වළඳන්නට සිදුවී තිබේ.
(ගොවියා වෙබ් අඩවියෙනි)
හරිත විප්ලවය විසින් අපට දුන් වස විෂ සපිරි නවීන ගොවිතැනත්, නව වැඩි දියුණු කළ වී වර්ගත් නිසා දේශීය පාරම්පරික වී ප‍්‍රභේද සහ වී ගොවිතැන වඳවී ගියේය. එය කාබනික ගොවිතැනකි. එහි කිසිදු වස විෂක් නැති බව චන්න ජයසුමන මහතා ඇතුළු පිරිස කළ අලූත් පර්යේෂණයෙන්ද සනාථ වී තිබේ. මේ ගොවිතැනට යළි පණදීම පිණිස දිවිහිමියෙන් කටයුතු කළේ ඇලෙක්ස් තන්ත‍්‍රිආරච්චි, මතුගම සෙනෙවිරුවන් යන ගොවි ක‍්‍රියාකාරකයන් දෙපළය. ඔවුන් හෙළිකළ මග ඔස්සේ, හෙළ සුවය කණ්ඩායම, හේමන්ත අබේවර්ධන, තිලක් කන්දේගම, සුරන්ජන් කොඩිතුවක්කු, තිලක් කාරියවසම්, පී. ගුරුසිංහ, මාතර කෙතක මහිම කණ්ඩායම, කවුඩුල්ලේ ජයතිස්ස ඇතුළු ගොවි හිතෛෂීන්, ගොවි ක‍්‍රියාකාරිකයන් සහ පරිසරවේදීන් විශාල පිරිසක් දැනටමත් ගමන් කරමින් සිටිති. ඔවුහු පැරණි දේශීය වී වර්ග ව්‍යාප්තකර ඒවා කාබනිකව වගා කරන්නට ගොවීන් දිරි ගන්වමින් සිටිති. එහෙත් ඔවුන්ගේ ප‍්‍රයත්නයට රාජ්‍ය අනුග‍්‍රහයක් නොලැබෙන තරම්ය.
වකුගඩු රෝගය ද, ඊට බලපාන හේතු කාරණාද, මුලිනුපුටා දමන බව අලූත පත්වූ මෛත‍්‍රීපාල සිරිසේන රජය ද පවසා තිබේ. මුළු රටම වස වළඳමින් සෙමින් සෙමින් මරණය කරා යමින් සිටින බව ඔවුන්ගේ අවධානයට ලක්වනු ඇති බව ලියුම්කරුගේ විශ්වාසයයි.
ඉරුදින-2015/02/15
රජරට සහ රටේ වියළි කලාපීය කෘෂිකාර්මික ප‍්‍රදේශවල පැතිරයමින් තිබෙන මාරාන්තික නිදන්ගත වකුගඩු රෝගය මුළු රටටම ඇති කළේ විශාල කම්පනයකි. එය ආසනික්, කැඞ්මියම් ඇතුළු විෂ බැර ලෝහ අඩංගු කෘෂි රසායන භාවිතය නිසා හටගත් බව, ඒ ගැන කෙරුණු පර්යේෂණ මගින් අනාවරණය විය. රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා ඇතුළු විද්වත් කණ්ඩායමක් මේ පිළිබඳ කළ මුල්ම පර්යේෂණයේ වාර්තාව 2010 වසරේ දී නිකුත් කෙරිණි. ඉන් පසුව ලෝක සෞඛ්‍ය සංවිධානය කළ පර්යේෂණයේ වාර්තා 2011 සහ 2012 යන වසරවල නිකුත් විය. කිවුල් ජලය සමග සංයෝගවන ආසනික් ඇතුළු විෂ බැර ලෝහ මගින් රෝගය හට ගන්නා බව එයින් කියැවිණි. ඒවා විෂ සහිත කෘෂි රසායන ඔස්සේ පොළොවට එකතු වන බවද හෙළිවිණි. කෙසේ වෙතත් පර්යේෂණ මගින් හෙළිදරව්කළ කාරණා සම්බන්ධයෙන්, ප‍්‍රමාණවත් තරම් රාජ්‍ය මට්ටමේ අවධානයක් යොමු වූයේ නැත. පසත්, ජලයත්, ගොවිතැනත් විෂ කරන කෘෂි රසායන රටට ගෙන්වීම, පාලනය හෝ තහනම් කෙරුණේ නැත. එබැවින් වකුගඩු රෝග මාරයා මෙල්ල කළ නොහැකි විය.
අපේ රටේ ප‍්‍රධාන ආහාරය බත්ය. සාමාන්‍යයෙන් වසරකට එක් පුද්ගලයෙක් සහල් කිලෝග‍්‍රෑම් 116ක් පමණ පරිභෝජනය කරති. රටේ නිපැයෙන සහලින් සියයට 99ක්ම, බතලගොඩ හෝ වෙනත් වී පර්යේෂණායතනයක හැදූ නව වැඩි දියුණු කළ වී වර්ගවලින් නිපදවුණු ඒවාය. ඒවා සියයට සියයක්ම වගා කරන්නේ ආනයනික නවීන කෘෂි රසායන භාවිතාවෙනි. මේ තත්ත්වය නිසා මුළු රටටම වස විෂ සපිරි මරණිය සහලේ බත් වළඳන්නට සිදුවී තිබේ.
No comments:
Post a Comment