ඉන්දියන් සාගරයේ මකර සිහිනය සහ ශ‍්‍රී ලංකාව
ඉන්දියන් සාගරයේ මකර සිහිනය සහ ශ‍්‍රී ලංකාව
(ක්‍රිෂ්ණ විජේබණ්ඩාර)
චාම්, එහෙත් උත්කර්ෂවත් අන්දමින් බදාදා (2015 පෙබරවාරි 04) පැවති ශ‍්‍රී ලංකාවේ 67 වැනි නිදහස් සමරු උළෙලට, විදෙස් රාජ්‍ය නායකයන් ගෙන් ද සුභ පැතුම් ලැබී තිබිණි. සුභ පැතූවන් අතර, චීනයේ ජනාධිපති ෂි ජිංපිං සහ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි යන රාජ්‍ය නායකයෝ ද වූහ. ඔවුන් තම සුබ පැතුම් එවා තිබුණේ ශ‍්‍රී ලංකාවේ නව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙතය. චීනය සහ ඉන්දියාව යනු ආසියාවේ වෙසෙන මහ බලවතුන් දෙදෙනාය. ජනාධිපතිවරණයෙන් හටගත් බල පෙරළියත් සමගම, ලංකාවේ කෙරෙන චීන ආයෝජන ව්‍යාපෘති සම්බන්ධයෙන් ඉතා බරපතළ චෝදනා එල්ල වෙමින් තිබේ. එසේම අලූත් ආණ්ඩුව බලයට පත් උණු උණුවේම, ඉන්දු - ලංකා රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතා තව තවත් තර වන ලකුණු පහළ වී තිබේ. එබඳු පසුබිමක් පැවතිය දී ශ‍්‍රී ලංකාවේ නිදහස් සමරු උළෙලට ඉන්දු - චීන මහ බලවතුන්ගෙන් සුභ පැතුම් ලැබීම, සුවිශේෂ කාරණයක් බවට පත් වේ.
|
තෙල් කැණීමක දර්ශනයක් |
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රජය පැවති සමයෙහි පැවතියේ, චීනය සමග ඉතාමත් දැඩිව බැඳුණු රාජ්‍යතාන්ත‍්‍රික ප‍්‍රතිපත්තියකි. ඒ අනුව චීන රජය ලංකාවේ විවිධ සංවර්ධන කටයුතුවලට මූල්‍ය ආධාර සහ ණය මුදල් සම්පාදනය කළේය. ඇත්තටම, ශ‍්‍රී ලංකාව චීනය සමග ආර්ථික සහයෝගීතාවන්ට මුල පිරුවේ, මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන කාලයටත් පෙර සිටය. එනම් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනියගේ පාලන සමයේදීය. එකල සැලසුම් කෙරුණු සමහර සංවර්ධන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කෙරුණේ, මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාගේ පාලනය තුළදීය. ඒ හැර, ඔහුගේ මැදිහත්වීමෙන් ද චීන ව්‍යාපෘති ගණනාවක්ම ඇරඹිණි.
චීනය, ශ‍්‍රී ලංකාවද ඇතුළුව දකුණු ආසියාතික රටවල් සමග පවත්වන සබඳතාවන් වසර සිය ගණනක් ඈතට දිවෙයි. ඒ, ක‍්‍රිස්තු පූර්ව තුන් වැනි සියවස තරම් ඈත කාලයේ සිට දිග හැරුණු ‘සේද මාවත’ (Silk Route) නම් මහා වෙළෙඳ ක‍්‍රියාවලිය ඔස්සේය. චීනයේ නිපදවෙන සේද රෙදි ප‍්‍රධාන අනෙකුත් වෙළෙඳ භාණ්ඩ, මැද පෙරදිග හරහා යුරෝපයට අලෙවි කිරීම එයින් සිදු විණි.
වෙළෙඳාම මෙහෙයවූවෝ අරාබිවරුය. චීනයේ ඔවුන් පිහිටවා ගත් වෙළෙඳ ජනපදයක් පවා එකල තිබිණි. එය ‘කැන්ටන්’ නම් විය. චීනයේ සිට ඉන්දියාව, මොංගෝලියාව ආදී රටවල් මැදින්, දුර්ග මාර්ග ඔස්සේ චීන වෙළෙඳ ද්‍රව්‍ය ගැල් මගින් ප‍්‍රවාහනය කෙරිණි. එකල චීනයෙන් පිටත් වන බඩු ගැලක්, මැද පෙරදිග බැග්ඩෑඞ් (ඉරාකය), බස්රා යන නගර ඔස්සේ කොන්ස්තාන්තිනෝපල් නුවරට (වර්තමාන ඉස්තාන්බුල්) යාමට වසර දෙකහමාරක් ගත වූවා යැයි ප‍්‍රකටය. චීනයෙන් ගෙන එන සේද ඇතුළු වෙළෙඳ බඩු අරාබි වෙළෙන්දන් අතින් යුරෝපයට විකිණුනේ කොන්ස්තන්තිනෝපල් නගරයේදී ය.
පසුව රටවල් අතර යුද්ධ හට ගත්තේය. එබැවින් ගොඩබිම් සේද මාර්ගය ඇණ හිටියේය. ඒ සමගම ‘සාගර සේද මාර්ගය’ ඇති විය. චීනයෙන් පිටත්වන නෞකා මලක්කා සමුද්‍ර සන්ධිය, ඉන්දියන් සාගරය සහ අරාබි මුහුද ඔස්සේ යුරෝපයට යාත‍්‍රා කෙරුණේය. ඒ සමගම ගමන් මග අතරමැද පිහිටි ලංකාවටද, එහි මහාතිත්ථ, ගෝකර්ණතිත්ථ සහ ගොඩවාය ආදී පැරණි වරායන්ටද විශාල වැදගත්කමක් ලැබිණි. ලංකාවේ චීන වෙළෙඳ නාවික සංක‍්‍රමණයන් සිදුව ඇත්තේ ඒ කාරණය මුල් කර ගෙන බව, විද්වතුන්ගේ පිළිගැනීමයි.
සාගර සේද මාවත ඔස්සේ කෙරෙන වෙළෙඳාම එකල චීනයට මහා ධන උල්පතක් විය. එබැවින් නිරන්තරවම එය ආරක්‍ෂා කර ගැනීමට චීන පාලකයෝ උත්සාහ ගත්හ. ‘යූ ලෝං’ නමැති චීන අධිරාජ්‍යයාගේ සමයේ චීනයේ නාවික හමුදා ප‍්‍රධානියාව සිටියේ, චෙං හේ (Zheng He) නමැති නාවික අද්මිරාල්වරයා ය. වර්ෂ 1405 පටන් 1430 දක්වා ඔහු ඉන්දියන් සාගරයේ ද, අරාබි මුහුද ප‍්‍රදේශයේද, තවත් ප‍්‍රදේශවලද ගමන් වාර හතක්ම සංචාරය කොට තිබේ. ඉන් ගමන් වාර හයකදීම ඔහු ලංකාවටද පැමිණි බව ඉතිහාස වාර්තා සඳහන් කරයි.
ඉන් එක් ගමනකදී එවකට කෝට්ටේ පාලකයා වූ අලහක්කෝනාර, චෙං ගෝගේ වෙළෙඳ ක‍්‍රියාවලියකට එරෙහි වූ බවත්, ඉන් කුපිත වූ චීන සෙන්පතියා ඔහු අත්අඩංගුවට ගෙන චීනයට රැුගෙන ගිය බවත් ඉතිහාසයෙහි දැක්වේ. අලහක්කෝනාරයන් මුදා හැර ඇත්තේ වසර හයකට පසුවය. මින් පෙන්නුම් කෙරෙන්නේ, එකල ද චීනය තම වෙළෙඳ කටයුතු සඳහා ඇති වන බාධක බලය යොදා හෝ මගහැර ගන්නට පසුබට නොවූ බවය. ඉතිහාසය මූලාශ‍්‍රවල පැවසෙන අන්දමට, ඩෙංහේ සිය ගමන්වලදී නෞකා 300ක බල ඇණියක් යොදා ගෙන තිබේ. චීනයේ සිට ඉන්දියන් සාගරය ඔස්සේ අරාබි මුහුද දක්වාද, ඉන් ඔබ්බටද නාවික බලය පැතිරවීම, යූ ලෝං අධිරාජ්‍යයාගේ අරමුණ වන්නට ඇත.
චීනය සහ ලංකාව අතර පැරණි සබඳකම්වලට බෞද්ධාගමද හේතු වූ බව ප‍්‍රකට මතයකි. එහෙත් වඩා විමසිල්ලෙන් බලන විට පෙනී යන්නේ, ලංකාවේ ඉපැරණි චීන සම්බන්ධතා පිටුපස දැවැන්ත වෙළෙඳ - නාවික ප‍්‍රවාහයක්ද පැවති බවයි. කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ පඬුවස්නුවර, යාපහුව සහ අනුරාධපුරය ද ඇතුළුව රට අභ්‍යන්තරයෙහි මෑත භාගයේ කෙරුණු පුරාවිද්‍යා කැණීම්වලින් චීන කාසි සහ චීන බඩු භාණ්ඩ බහුලව හමුවීම, මීට හොඳ සාක්‍ෂියකි. චීනය තම සාගරීය වෙළෙඳාම් රැක ගැනීම පිණිස නාවික බලය උපරිමයෙන් පවත්වාගෙන ගියාට සැක නැත. ඒ සඳහා ඔවුන් ඉන්දියන් සාගරය ආශ‍්‍රිත ලංකාව වැනි රටවල් සමග සහයෝගීව සිටින්නට ඇත.
බොහෝ පසු කාලීනවද චීනය ලංකාව සමග මිතුරුකම් ඇති කර ගෙන සිටියේය. විශේෂයෙන්ම සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ ප‍්‍රධානත්වයෙන් සමගි පෙරමුණු රජය පැවති සමයේ චීනය ලංකාවට බොහෝ උදව් කළේය. රටේ කෘෂිකාර්මික ප‍්‍රදේශ රැුසක වී මෝල් පිහිටුවීම සහ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාව ඉදි කර දීම (1973 දී), ඒ අතර විශේෂ කාරණා විය. පසුකාලීනව, අධිවේගී මාර්ග, හම්බන්තොට ජාත්‍යන්තර වරාය සහ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, කොළඹ නෙළුම් පොකුණ රඟහල, කොළඹ වරායේ 'CTCT' කන්ටේනර් පර්යන්තය සහ තවමත් ඉදිවෙමින් පවතින ‘නෙළුම් කුළුණ’ සහ ‘පෝර්ට් සිටි' දූපත් ව්‍යාපෘතිය’ ආදියට ණය හෝ ආධාර දුන්නේ චීනයයි. ඉන් බොහොමයක් කෙරුණේ මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාගේ පාලන සමයේය. 2007 වසරේදී දෙරට අතර ආයෝජන ප‍්‍රවර්ධන එකඟතා ගිවිසුමක් අත්සන් කෙරිණි.
උතුරේ යුද්ධය පැවති සමයෙදී අපට චීනයේ උදව් ලැබිණි. එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ ශ‍්‍රී ලංකාව අභියෝගයට ලක් වූ තීරණාත්මක අවස්ථාවලදී ද චීනයේ සහාය නොඅඩුව ලැබිණි. චීන ජනාධිපති ෂී ජිංපිං මහතා 2014 සැප්තැම්බර් ශ‍්‍රී ලංකාවෙහි දෙදින නිල සංචාරයකද නිරත විය.මෙකල මෙන්ම, මහින්ද රාජපක්‍ෂ මහතා බලයේ සිටි කාලයේ ද චීන උදව්වෙන් කෙරෙන සංවර්ධන ව්‍යාපෘති සඳහා චෝදනා නැගුණු බව රහසක් නොවේ. ලංකාව චීන කොලණියක් කරන්නට යතියි විවේචකයෝ කීහ.
මෙහිදී පැන නගින ගැටලූවක් තිබේ. එනම් චීනයේ මිත‍්‍ර හස්තය කොතෙක් දුරට අවංක ද යන්නයි. එය පිටතට පෙන්වන තරම් අවංක එකක් නොවන බව ලියුම්කරුගේ අදහසයි. ලංකා භූමිය පිහිටා තිබෙන්නේ ලොව කාර්යබහුලතම වෙළෙඳ නැව් මාර්ගය වන බටහිර - නැගෙනහිර ප‍්‍රධාන වැව් මාර්ගයට අතේ දුරිනි. එසේම ලෝකයටම ඛනිජ තෙල් නිපදවා දෙන මැද පෙරදිග පර්සියන් බොක්ක පිහිටා ඇත්තේ ද ලංකාවට ඔබ්බෙන් අරාබි මුහුදට සම්බන්ධවය. පර්සියන් බොක්ක ඔස්සේ පිට කෙරෙන ඉන්ධන නෞකාවලින් බහුතරයක්ම ඇදී යන්නේ ලංකාව අයිනෙන්, චීනය ඇතුළු පෙරදිග රටවලය. ඒ රටවල් අතර සිටින ලොකුම තෙල් ගැණුම්කරුවා වන්නේ ද චීනයයි. එබැවින් චීනයට ඉන්දියන් සාගරයේ ආධිපත්‍යය මෙන්ම එය පවත්වා ගෙන යාම සඳහා ලංකාවේ සුහදතාව ද අත්‍යවශ්‍ය කාරණයකි. ඒ සඳහා ඔවුහු මෑත කාලීනව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජයේ පටන්, මහින්ද රාජපක්‍ෂ රජයේ සමාප්තිය දක්වාම දැඩි මිත‍්‍රශීලි පිළිවෙතක් අනුගමනය කළහ.
චීනය ඉන්දියන් සාගර කලාපයේ තම බලය පැතිරවීම සඳහා 2000 දශකය මුල් භාගයේ දී පකිස්ථානයේ එනම්, පර්සියන් බොක්කට පිවිසෙන ස්ථානයේ ගුබාඩාර් වරාය සංවර්ධනය කරන්නට අත දුන්හ. අනතුරුව එහි පාලනය චීන සමාගමකට පවරා ගත්හ. ඊළඟට ඔවුහු ලංකාවේ හම්බන්තොට වරාය, ඉන්ධන පර්යන්තය සහ මත්තල ගුවන් තොටුපොළ ඉදි කරන්නට උදව් කළහ. කොළඹ ‘පෝර්ට් සිටි’ ව්‍යාපෘතියට අත ගැසූහ. සන්නිවේදන කේන්ද්‍රයක් බිහි කිරීම පිණිස නෙළුම් කුළුණක් හදන්නට උදව් කළහ. ලංකාව කෙරෙහි මේ තරම් ඇඟෑලි වීම සඳහා හේතුව කුමක්ද ? ඔවුන්ට අවශ්‍ය වන්නට ඇත්තේ ඉන්දියන් සාගර කලාපයේ තම නාවික බලය සුරක්‍ෂිත කර ගැනීම සඳහා ලංකාවේ පය ගසා ගෙන හිඳීම වන්නට ඇත.
මහින්ද රාජපක්‍ෂ රජය සමයේ, ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් සිටියේ ලංකාවට එරෙහි මතයකය. ඊට හේතු ලෙස පිටතට පෙනුණේ යුද්ධය හා බැඳුණු මානව හිමිකම් පිළිබඳ කාරණාය. එහෙත් පිටතට නොපෙනුණු කාරණය වූයේ, චීන - ලංකා මිත‍්‍රත්වයයි. චීනය ලංකාවේ පය ගසා ගෙන ඉන්දීය සාගර කලාපයේ නාවික බලය පැතිරවීම පිළිබඳ අකමැත්තයි. ඉන්දියාව ද ලංකාවේ චීන මැදිහත්වීම්වලට කැමති නැත. හම්බන්තොට වරාය විවෘත කළ විගස එහි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ශාඛාවක් විවෘත කළේ ඒ නිසාය.
නව ජනාධිපතිවරයා ලෙස මෛත‍්‍රීපාල සිරිසේන මහතා පත්වීමෙන් පසුව, දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. ශ‍්‍රීධරන් මහතා කළ අපූරු කතාවක් ජනවාරි 26 වැනිදා අන්තර්ජාල පුවත් සේවාවල පළ වී තිබිණි. එහිදී ඔහු පවසා තිබුණේ දකුණු සුඩානයේ සිට ලංකාවට සමීප මුහුද යටින් තම රට දක්වා තෙල් නළයක් ඉදි කිරීමේ චීන සැලසුමක් ඇති බවයි. චීනය ඉදිරි වසර 50 තුළදී එය ඉටු කර ගනු ඇති බවත්, ඒ හේතුව නිසා ඔවුන් ලංකාව සමග මේ තරම් සහයෝගීව සිටින බවත් ශ‍්‍රී ධරන් මහතා පවසා තිබිණි. ඉන් ඇතිවන තත්ත්වයන්ට ඉන්දියාව මෙන්ම අමෙරිකාවද අකමැති නිසා තම පිරිසට මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව කටයුතු කරන්නට සිදු වූ බව ද ඔහු පවසයි. අන්තර්ජාල පුවත්වල දැක්විණි.ශ‍්‍රී ධරන් මහතා කියන කතාව ඇත්තක් නම්, ඉන්දියන් සාගර කලාපයේ බලය පිළිබඳ ප‍්‍රශ්නය, ලංකාවේ ආණ්ඩු මාරු කරවන තරම් ව්‍යාධියක් වී තිබේ. අලූත් ආණ්ඩුව පත් වූ උණු උණුවේම නව විදේශ ඇමති මංගල සමරවීර මහතා ඉන්දීයාවේ සංචාරයක යෙදීම ඉන්දීය සංචාරයක් සඳහා නව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට එරටින් ඇරයුම් ලැබීම, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා මාර්තුවේ ලංකාවේ සංචාරයකට එන්නට තීරණය කිරීම ආදිය හුදු රාජ්‍ය තාන්ත‍්‍රික කරණම නොවේ. ඒවා, චීන ග‍්‍රහණය බිඳ දමා, අපේ රට ඉන්දියාව දෙසට නම්මවා ගැනීමේ උපක‍්‍රම බව රහසක් නොවේ.
ඉන්දීය විදේශ ඇමති සුෂ්මා ස්වරාජ් මහත්මිය ඉකුත් සතියේ චීනයේ සංචාරය කිරීමද, ලංකාවේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ලබන මාර්තුවේ චීන සංචාරයක යෙදෙන්නට සැලසුම් කිරීම, මාර්තු 22 වැනිදා චීන ජනාධිපතිවරයා පකිස්තානයේ නිල සංචාරයක යෙදෙන්නට සැලසුම් කිරීම, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ලබන මැයි මාසයේ චීන සංචාරයක යෙදෙන්නට නියමිතව සිටීම, ඇමරිකා ජනාධිපති බරක් ඔබාමා ඉන්දියාවට පැමිණීම, මීට එකතු කළ යුතු තවත් කාරණා කිහිපයකි. මේවා සිදුවන්නේ නිකම්ම නොවේ. ලංකා - චීන ඇගෑලිකම බිඳ දැමුව හොත්, ඉන්දියන් සාගර කලාපයේ නාවික බලවතා වීමේ චීන සිහිනය ද බොඳ වී යනු ඇතැයි, ඉන්දියාව සහ ඔවුන්ගේ මිත‍්‍ර පාර්ශව විශ්වාස කරනවාද විය හැකිය.
කෙසේ හෝ වේවා දකුණු සුඩානයේ සිට චීනය දක්වා සාගර පත්ලෙහි පිහිටුවන සන්නිවේදන තන්තු ජාලයක් සහ තෙල් නළ මාර්ගයක් ඉදි කිරීමේ කටයුත්තකට චීනය දැනටමත් අතගසා ඇති බව පෙනේ. එය නම් කර ඇත්තේ, 'String of Pearls" (මුතු දාමය) යනුවෙනි. එහිදී ලංකාවේ හම්බන්තොට වරාය ඉන්ධන පහසුකම් සඳහාත්, පකිස්ථානයේ ගුවාඩාර් වරාය නාවික හමුදා පහසුකම් සඳහාත් භාවිත කිරීමට සැලසුම්කර ඇත.
ජනවාරි 02 වැනි සතියේ නව රජය බිහිවීමෙන් පසුව, චීනයේ උදව් (ආධාර හෝ ණය) ඇතිව කෙරුණු සංවර්ධන ව්‍යාපෘති දැඩි විවේචනයට ලක් විය. එසේම චීන රජයේ විශේෂ නියෝජිතයෙකු ළඟදීම ලංකාවේ සංචාරයට එන බවද ඉකුත් සතියේ මාධ්‍ය මගින් වාර්තා කර තිබිණි. චීනය අතීතයේදීත් කළේ සිය සාගර සේද මාර්ගය හොඳින් හෝ නරකින් බලා කියා ගැනීමයි. වත්මනෙහි චීනයට ඇත්තේ වෙළෙඳ බඩු නොව ඛනිජ තෙල් පිළිබඳ ප‍්‍රශ්නයයි. ඒ සමගම නැගෙනහිර - බටහිර වෙළෙඳ නැව් මාර්ගයේ නාවික බලවතා වීමේ මකර සිහිනයයි. ඒ කාරණයේදී ඔවුන්ට ශ‍්‍රී ලංකාව අත්හරින්නට ද නොහැකිය. එබැවින් මෛත‍්‍රීපාල සිරිසේන නව ජනාධිපතිවරයාට සුහදත්වයේ දෑත දිගු කරන්නට තිබෙන ඉඩකඩ වැඩිය.
පසු සටහනලිපිය ලියා හමාර කළ බ‍්‍රහස්පතින්දා (2015/02/05)සවස ආරංචි වූයේ, කොළඹ ‘පෝට් සිටි දූපත් ව්‍යාපෘතියට’ අලූත් ආණ්ඩුවේ කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි, කැබිනට් ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා පැවසූ බවයි. එහෙත් ඊළඟ සඳුදාව (09) වන විට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබුණේ, පෝර්ට් සිටි ව්‍යපෘතිය සම්බන්ධයෙන් තවම සලකා බලමින් යන බවත්, ඒ ගැන තවම තීරණයක් ගෙන නැති බවත් ය.
ඉරුදින-2015/02/08.
No comments:
Post a Comment