දේශීය මිරිදිය මත්ස්‍ය සම්පත
අනතුරේ
පැටවුන් බෝ කිරීම සඳහා බිත්තර දමන කාලයට, තම නිත්‍ය වාසස්ථානවලින් ඉවත්ව වෙනත් ස්ථානවලට සංක‍්‍රමණය වීම, බොහොමයක් මිරිදිය මසුන්ගේ සිරිතයි. ලංකාවේ වෙසෙන එබඳු මිරිදිය මසුන් අතර ‘ආඳාට’ හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. වාර්තා වී ඇති ආකාරයට ලංකාවේ ආඳුන් විශේෂ දෙකකි. එක් විශේෂයක් ‘ලංකා ආඳා’ ^AUGUILLIDAE) ය. අනෙකා ‘පොට්ට ආඳා’ (SYNBRANCHIDAE) ය. පොට්ට ආඳා, ලංකාවට ආවේණික, එනම් ලංකාවේ පමණක් දැකිය හැකි මිරිදිය මත්ස්‍යයෙකි.
ආඳන්ගේ ජීවන චර්යාවන් අතිශයින්ම කුතුහලය දනවන සුළුය. රට ඇතුළේ ගංගා, ඇළ - දොළ, වැව් හෝ වගුරු ජලාශවල විසුවද, උන් බිත්තර දැමීම සඳහා සංක‍්‍රමණය වන්නේ සමුද්‍රයටය. ගංගා මෝය ඔස්සේ කෙරෙන සංක‍්‍රමණ කටයුත්තට වැඩිහිටි වියෙහි පසුවන පිරිමි සහ ගැහැණු ආඳෝ එක් වෙති. එහිදී උන් මහ සයුරට පිවිස, එහි බොහෝ ඈතට පිහිනා යති. ආඳුන් මිරිදිය මසුන් වුවද, උන් සංක‍්‍රමණයේදී කරදියට ඔරොත්තු දෙයි. ලංකාවේ ආඳුන් මේ කටයුත්ත සඳහා බටහිරින් අරාබි මුහුදටත්, ගිනිකොණ දෙසින් මලක්කා සමුද්‍ර සන්ධිය ආසන්න මුහුදටත් සංක‍්‍රමණය වන බව වර්තමාන පර්යේෂණකයන් විසින් සොයා ගෙන තිබේ. එය මහත් කුතුහලය දනවන අලූත්ම කාරණයකි.
|
පර්යේෂණයේ අවස්ථාවක් |
|
ගල් පාඩියා
‘මෙහෙම යන ආඳුන් මුහුදේදී මිය යනවා. ඒත් උන්ගේ පැටවුන් අනිවාර්්‍යයෙන්ම තමන්ගේ මව්පියන් හිටපු රට ඇතුළේ සුපුරුදු වාසස්ථානවලට පැමිණෙනවා. අපේ රටේ සිටින වැලිගොව්වන් විශේෂ (Gobiidae) ගණනාවකටත් මේ වගේ දීර්ඝ සංක‍්‍රමණ රටාවන් තියෙනවා.’, එසේ කියන්නේ ගාල්ල වනජීවි සංරක්‍ෂණ සංගමයේ සභාපති මධුර ද සිල්වා මහතාය. |
ලංකාවේ නිවසන දේශීය මිරිදිය මසුන් පිළිබඳව ඔහු අපට හෙළි කළ තොරතුරු අතිශයින්ම කුතුහලය දනවයි.
දැන් ගෙවී යන්නේ, ලංකාවේ මිරිදිය මසුන් පිළිබඳව සුවිශේෂ කතිකාවතක් ගොඩනැගී ඇති සමයකි. ගාල්ල වනජීවි සංරක්‍ෂණ සංගමය අපේ රටේ මිරිදිය මසුන් අරභයා හත් වසරක් තිස්සේ කළ පර්යේෂණ ඇසුරෙන් ඉංග‍්‍රීසි බසින් ලියූ 'Sri Lankan Freshwater
Fishes' (‘ශ‍්‍රී ලංකාවේ මිරිදිය මසුන්’) නමැති ග‍්‍රන්ථය දොරට වැඞීම, ඊට හේතුවයි. කෘතිය මුද්‍රණය කර ඇත්තේ නේෂන් ට‍්‍රස්ට් බැංකුවේ අනුග‍්‍රහයෙනි. ඒ නිමිත්තෙන් කොළඹ ලයනල් වෙන්ඞ්ට් කලාගාරයේදී 2015 ජනවාරි 30 සිකුරාදා ඡායාරූප ප‍්‍රදර්ශනයක් ද ඇරඹිණි. ලංකාවේ වෙසෙන දේශීය මිරිදිය මත්ස්‍ය විශේෂ රාශියක ස්වභාවික ඡායාරූප ඊට ඉදිරිපත් කර ඇත.
‘ලංකාවේ මිරිදිය මත්ස්‍ය විශේෂ 93ක් ඉන්නවා. අපේ පර්යේෂණයේදී ඒ අතරින් විශේෂ 92ක්ම යළි සොයා ගත්තා. උන් නිවසන ස්වභාවික පරිසරයේදීම ඡායාරූපගත කළා. ලංකාවේ මිරිදිය මත්ස්‍ය විශේෂ 93න් 92ක්ම ස්වභාවික පරිසරයේදී ඡුායාරූපගත කෙරුණු මුල්ම අවස්ථාව ද මෙයයි’. සංගමයේ සභාපති මධුර ද සිල්වා සහ ලේකම්, මාධ්‍යවේදී සජීව විජේවීර යන මහත්වරු අපට කීහ. ස්වභාවික පරිසරයෙන් ඔවුන්ට සොයාගත නො හැකි වී ඇත්තේ ‘මාටින්ස්ටයිනිගේ වැලිගොව්වා’^Striphodon Martenstyni) නමැති දුලබ මත්ස්‍යයා පමණකි. පර්යේෂණය ඇසුරෙන් ඔවුන් සම්පාදනය කළ කෘතියට ලංකාවේ වෙසෙන දේශීය මිරිදිය මත්ස්‍ය විශේෂ 93 ගැනම සවිස්තර තොරතුරු ඇතුළත් කර තිබේ.
සමකයට ආසන්නව නිවර්තන කලාපයේ පිහිටි ශ‍්‍රී ලංකාව, ජෛව විවිධත්වය අතින් පිරිපුන් රටකි. එහි තිබෙන මල් පිපෙන ශාක (සපුෂ්ප ශාක) විශේෂ ගණන 3368කි. ඉන් විශේෂ 879ක්ම ලංකාවට ආවේණික ය. ලංකාවේ වෙසෙන උභය ජීවි විශේෂ සංඛ්‍යාව 103කි. ඉන් විශේෂ 87ක්ම ආවේණිකය. අපේ රටේ වෙසෙන පක්‍ෂි විශේෂ සංඛ්‍යාව 464කි. ඉන් විශේෂ 220ක්ම ආවේණික ය. එබැවින් ලංකාව ඉහළ ජෛව විවිධත්වයක් සහිත රටක් ලෙස පිළිගැනේ. එහිදී දේශීය මිරිදිය මත්ස්‍ය සම්පතට හිමිවන්නේ ද විශේෂ තැනකි. රටේ සිටින දේශීය මිරිදිය මත්ස්‍ය විශේෂ 93න් විශේෂ 54ක්ම ලංකාවට ආවේණික විශේෂ වීම, ඊට හේතුවයි. උන්ගේ ශරීර ස්වභාවය, චර්යා රටාව, වර්ණ සංකලනය මෙන්ම රට පුරා පැතිර ඇති ආකාරය ද අපූරු ය. ලංකාවේ දේශීය මිරිදිය මසුන්, සොබාදහමේ විචිත‍්‍රවත් සැරසිලිකරුවෝ වෙති. 1937 වසරේ ස්ථාපිත කළ වනසත්ව සහ වෘක්‍ෂලතා ආඥා පනතට, 2009 වසරේ එක් කළ අංක 22 දරණ සංශෝධනය මගින් දේශීය මිරිදිය මත්ස්‍ය විශේෂ 17ක් ආරක්‍ෂිත සතුන් ලෙස නම් කර ඇත. ඉන් විශේෂ 14ක් ලංකාවට ආවේණික යයි පිළිගැනේ. ලෝක සංරක්‍ෂණ සංගමයේ (IUCN ) 2012 වසරේ රතු දත්ත ලේඛණයට අනුව ඉන් විශේෂ 13ක්ම වඳ වී යාමේ තර්ජනයට මුහුණ පා සිටිති.
ලංකාවේ මිරිදිය මසුන් ගැන පර්යේෂණ ආරම්භ වී ඇත්තේ වර්ෂ 1810 තරම් ඈත කාලයේ සිටය. එහි මුල්ම පර්යේෂකයා පීටර් නමැති සත්ත්ව විද්‍යාඥයෙකි. ඉන් 1827 දී ප‍්‍රංශ විද්‍යාඥයෙකු වන ඒ රයන්ඞ් නමැත්තා ද ත‍්‍රිකුණාමලයේ කින්නියා ප‍්‍රදේශයේ මසුන් පිළිබඳව පර්යේෂණ කර තිබේ. ඉන් පසුව ආචාර්ය පී. ඊ. පී. දැරණියගල මහතා ඇතුළු විද්වතුන් විශාල පිරිසක් ක්‍ෂේත‍්‍රයට එක් වී තිබේ.
මධුර සිල්වා සහ සජීව විජේවීර යන මහත්වරුන් පවසන අන්දමට, ගාල්ල වනජීවි සංරක්‍ෂණ සංගමය දේශීය මිරිඳිය මසුන් පිළිබඳව පර්යේෂණ කරන්නට මුල පුරා ඇත්තේ, 2007 වසරේදීය. ඒ මධ්‍යම පරිසර අධිකාරියට අයත් ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය මගින් පැවරූ ව්‍යාපෘතියක් ඔස්සේය. ගාල්ල සහ මාතර යන දිස්ත‍්‍රික්කවල ජෛව විවිධත්වය පිළිබඳව සමීක්‍ෂණය කිරීම ඒ යටතේ ඔවුන්ට පැවරිණි. එහිදී ඔවුන්ට අවබෝධ වූයේ දේශීය මිරිදිය මසුන් ඉතා දැඩි ලෙස වඳ වී යාමේ තර්ජනයට මුහුණ දී සිටින බවයි. එබැවින් ඔවුහු දේශීය මිරිදිය මසුන් පිළිබඳව ද අධ්‍යනය කළහ. සමීක්‍ෂණය කෙරෙන භූමි ප‍්‍රදේශය කොළඹ, රත්නපුර, මාතර, ගාල්ල සහ කළුතර යන තෙත් කලාපීය දිස්ත‍්‍රික්ක දක්වා පුළුල් විය. සමීක්‍ෂණයේ උපදේශකවරුන් වශයෙන් ආචාර්ය රොහාන් පෙතියාගොඩ, පාරිසරික නීතිඥ ජගත් ගුණවර්ධන, ධර්ම ශ‍්‍රී කණ්ඩම්බි, ආචාර්ය කාලිංග පද්මලාල් යන මහත්වරු කටයුතු කළහ. එය 2014 වසරේ අවසානය දක්වා පුරා හත් වසරක් මුළුල්ලේ ක‍්‍රියාත්මක කෙරිණි.
අධික ජනගහණයක් සහ ජනාවාස අධික වීම, තේ සහ රබර් වගාවන් බහුලවීම, මැණික් ගැරීම්, සහ වැලි ගොඩදැමීම අධිකවීම යන කාරණා, සමීක්‍ෂණයට ලක් වූ දිස්ත‍්‍රික්කවල පොදු ලක්‍ෂණයන්ය.
‘දේශීය මිරිදිය මසුන්ගේ පැවැත්මට කාරණා කීපයක්ම බලපානවා. ජල මාර්ගවල පිරිසුදු ජලය තිබීම, ජලය ගලා ගෙන යාම, ජලයේ පැහැදිලිතාවය ඒ අතර ප‍්‍රධානයි. ඒත් දැන් තේ වගාවේ කෘෂි රසායන භාවිතය සහ කැලි කසල දැමීම නිසා ජලයේ පිරිසුදුතාව නැති වී ගිහින්. අවිධිමත් කෘෂිකාර්මික කටයුතු, මැණික් ගැරීම්, කුඩා ජල විදුලිබලාගාර තැනීම සඳහා කරන ඉදිකිරීම් වගේම වන ගහණය අඩු වී යාම් වගේ ප‍්‍රශ්න නිසා සෝදා පාළුව ඇති වෙනවා. ජලය බොර වෙනවා. මේවා මිරිදිය මසුන්ගේ පැවැත්මට හානියක්. විශේෂයෙන්ම අක‍්‍රමවත් විදිහට තේ වගා කිරීම ලොකු ගැටලූවක්. මිරිදිය මසුන්ගේ ජනාවාසවලට සෙවණ අවශ්‍යයි. තේ වගාවේ ඒක නෑ. නමුත් රබර් වගාව උන්ට හිත කරයි.
සාමාන්‍යයෙන් මිරිදිය මසුන් බිත්තර දමන්නේ ලොකු වැසි කාලවලටයි. ඒ කාලෙට ජල මාර්ග යාන්තම් බොර පැහැයකට හැරෙනවා. එතකොට උන් බිත්තර දාන්න පටන් ගන්නවා. තේ වගාව ආශ‍්‍රිතව සෝදා පාළුව ඇතිවීම වෙනස්. තේ වගා භූමිවලට පොඩි වැස්සක් ආවත් ජල මාර්ග බොර වෙනවා. මාළු මේක තේරුම් ගන්නේ බිත්තර දාන්න කාලේ ආවා කියලයි. එතකොට උන් වැරදි කාලෙට බිත්තර දාන්න පටන් ගන්නවා. මෙහෙම වුණාම උන්ගේ චර්යා රටා විකෘති වෙලා පැවැත්මට හානි වෙනවා.’ මධුර ද සිල්වා මහතා කියන්නේය.
මිරිදිය මසුන්ගේ ව්‍යාපෘතිය ගත් විට, ප‍්‍රධාන දේශගුණික කලාප තුනක් හඳුනාගත හැකි බව පරිසරවේදීහු කියති. අත්තනගලූ ඔය ද්‍රෝණියේ සිට නිල්වලා ගඟ ද්‍රෝණිය දක්වා පැතිර ඇති තෙත් කලාපීය ප‍්‍රදේශ හෙවත් ‘නිරිත දිග කලාපය ඉන් පළමුවැන්නයි. දෙවැන්න, මහවැලි ගඟ ද්‍රෝණිය ඇතුළත් ‘මහවැලි කලාපයයි.’ රටේ ඉතිරි සියලූම ප‍්‍රදේශ ඇතුළත් ‘වියළි කලාපය’, තුන් වැන්නයි. මෙයින් මිරිදිය මත්ස්‍ය ගහණය වැඩි තෙත් කලාපීය ප‍්‍රදේශවලය.
පර්යේෂකයන් පවසන අන්දමට, දේශීය මිරිදි මත්ස්‍ය විශේෂ බොහොමයක් උන්ගේ නිජබිම වූ ගංගා - ඇළ දොළවලට පමණක් ආවේණිකය. ඇතැම් මසුන්, උන් වසන නිජබිමට පමණක් (Point Endamic) ආවේණිකය. තමන් නිවසන ජල මාර්ගය තුළ මිස උන්ට වෙනත් ජල මාර්ගවලට සංක‍්‍රමණය වීම ද අසීරුය.
ගඩයා (Labeo Fisheri) නම් ලංකාවට අවේණික මිරිදිය මත්ස්‍යයා වඳ වී යාමේ දැඩි තර්ජනයට ලක් වූවෙකි. උන්ගේ නිජබිම, මහවැලි ගගේ, පොල්ගොල්ල, ගැටඹේ සහ වරාතැන්න ප‍්‍රදේශයයි. ජල දහරාව ගල් පර මතින් වේගයෙන් ගලා බසින ස්ථානවල ගං පතුල උන්ගේ වාසස්ථානයයි. පොල්ගොල්ල ප‍්‍රදේශයේ ඉදි වෙමින් යන කුඩා ජල විදුලිබලාගාරයක් නිසා දැන් උන්ගේ වාසස්ථානය විනාශ වී යාමේ අනතුරක් නිර්මාණය වී තිබේ.
|
ධර්මශ්‍රී කණ්ඩම්බි මහතා |
ගඩයා, තඹලයා (Labeo
Lankae) සහ ලෙහෙල්ලා (Tor
Khudree) වැනි වඳ වී යාමේ තර්ජනයට ලක් වූ දුර්ලභ මිරිදිය මසුන් (වැඩිහිටි සතුන්) වැඩිපුරම වාසය කරන්නේ ජල දහරාව වේගයෙන් ගලා බසිනා, ඉහළ මට්ටමේ භූමි ප‍්‍රදේශවලය. බිත්තර දමන කාලයට උන් තම ජල මාර්ගවල පහළ ප‍්‍රදේශ කරා සංක‍්‍රමණය වෙති. පසුකාලීනව ගංගා ආදිය හරස් කරමින් තරමක් විශාල ජල විදුලිබලාගාර ඉදිකිරීම නිසා උන්ගේ සංක‍්‍රමණ රටා බිඳ වැටී තිබේ. ‘මේ කාරණය මහවැලි ගඟේ මිරිදිය මත්ස්‍ය දිවිපෙවෙතට තදින්ම බලපාලා තිබෙනවා, ’ ගාල්ල වන ජීවි සංරක්‍ෂණ සංගමයේ පර්යේෂකවරු පවසති.
|
මධුර |
|
සජීව |
ලංකාවට ආවේණික ‘කහ ඉරි රන්වන් හල්මල් දණ්ඩියා’ (Rasbora nigromarginta) නම් දේශීය මිරිදිය මත්ස්‍යයා මුල්වරට සොයා ගැනුණේ, 1930 වසරේදී ආචාර්ය පී. ඊ. පී. දැරණියගල සූරීන් විසිනි. ඒ රත්නපුර දිස්ත‍්‍රික්කයේ ගිලීමලේ රක්‍ෂිතයෙනි. ඊට පසුව උන් වාර්තා වූයේ 1957 දී ජර්මන් ජාතික විද්‍යාඥයෙකු වූ මින්කින් (Meinken) මහතාගේ පර්යේෂණ කටයුත්තකදීය. ජර්මනියට ගෙන ගිය හල්මල් දණ්ඩින් සාම්පලයක සිටි එක් මත්ස්‍යයෙක්, වෙනස් විශේෂයක් බව ඔහුගේ හඳුනා ගැනීම විය. ඌ, කහ ඉරි රන්වන් හල්මල් දණ්ඩියෙකි. ඉන් පසුව උන් ලංකාවෙන් වාර්තා නොවීය. පසුව රතු දත්ත පොතේ ද උගේ නම සටහන්ව තිබිණි. අවසාන උන් මිහිතලයෙන් සදහටම වඳ වී ගියා යයි සළකා, ලංකාවේ මිරිදිය මත්ස්‍ය නාමාවලියෙන් ද ඉවත් කෙරිණි. ගාල්ල වනජීවි සංරක්‍ෂණ සංගමයේ පිරිස කළ සමීක්‍ෂණයේදී මේ දුබල මත්ස්‍යයා මතුගම, අත්වැල්තොට ප‍්‍රදේශයෙන් යළි සොයා ගැනුණි.
‘මේ මාළුවා යළි සොයා ගත්තේ වසර 57කට පස්සේය. ඊට අමතරව ලංකාවේ ලොකුම දේශීය මිරිදිය මත්ස්‍යයා වූ ‘වලයා’
^Wallago
attu) සහ ‘වල පොත්තා’ කියන මාළුන් අපට හමුවුණා. දුර්ලභ දේශීය මසුන් විසිතුරු මසුන් ලෙස හොරෙන් පිටරට යැවීමත්, විදේශීය මසුන් දේශීය ජල මාර්ගවලට කලවම්වීමත් ලොකු ගැටලූවක්. ‘වීදුරු පිසින්නා’ සහ ‘මන්නයා’ නමැති විදේශීය මසුන් දැන් ලංකාවේ සෑම ගංගාවකින්ම හමුවෙනවා. උන් පොළොන්නරුවේ පරාක‍්‍රම සමුද්‍රයෙනුත් හමුවෙනවා. උන් ව්‍යාප්ත වීම දේශීය මිරිදිය මසුන්ගේ පැවැත්මට හානි කරයි’, මධුර සිල්වා මහතාත්, සංගමයේ ක‍්‍රියාකාරික සුපුන් දේශපේ‍්‍රම මහතාත්, අවධාරණය කළහ.
ඉරුදින-2015/02/01.
Sri Lankan Freshwater Fishes කියන පොත ගන්න පුලුවන් කොහෙන්ද මහත්මයා?
ReplyDelete0773587099 යන අංකයෙන් සජීව විජේවීර මහතා අමතා විමසන්න. ප්‍රතිචාර දැක්වූවාට ස්තුතියි.
Deleteමං කැමතී නැතිවෙලා යන මිරිදිය මසුන් ආරක්ෂා කරන්න කොහොමද මෙනාද කරන්න පුළුවන්
Deleteමට වලයා සහ වල පොත්තා නිවැරදිව හදුනාගන්න පුළුවන් විස්තර ටිකක් දෙනවද. පොටෝ සහිත..
ReplyDelete