Total Pageviews

Saturday, February 7, 2015

වස විස ගොවිතැනට මෛතී‍්‍රගෙන් රතු එළියක්

වස විස ගොවිතැනට එරෙහිව 
                           ජනපති මෛතී‍්‍ර


(ක්‍රිෂ්ණ විජේබණ්ඩාර)

රජරට ද ඇතුළුව දිවයිනේ කෘෂිකාර්මික ප‍්‍රදේශවල පැතිර යමින් තිබෙන මාරාන්තික වකුගඩු රෝගය පිළිබඳ කතිකාව ඉකුත් දිනවල යළිත් කරළියට නැගුණි. ඊට හේතුව වූයේ, නව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේ දී කළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශයයි. ඔහු එම ප‍්‍රකාශය කරන ලද්දේ, වකුගඩු රෝගීන් සඳහා ආධාර දීමේ වැඩපිළිවෙලෙහි ජාතික උත්සවය අමතමිනි. එය පැවතියේ පුලතිසිපුර බුද්ධි මණ්ඩපයේදීය.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා

  එහිදී කතා කළ ජනාධිපතිවරයා කියා සිටියේ, මාරාන්තික වකුගඩු රෝගයෙන් මිදීම සඳහා ක‍්‍රියාමාර්ග ගැනීමේදී කිසිදු බහුජාතික සමාගමකට හෝ වෙළෙඳ ආයතනයකට තමන් හිස නො නමන බවයි. නව රජයක් ලෙස තමන් ජනතාව වෙනුවෙන් නිසි තීන්දු ගන්නා බවද, රෝගය තුරන් කිරීම සඳහා රජයක් විදිහට කිසිසේත්ම පසුබට නොවන බවද, ඔහු සිය කතාවේදී අවධාරණය කළේය.

මාරාන්තික නිදන්ගත වකුගඩු රෝගයCKDU 1993 වසරේදී මුලින්ම වාර්තා වූයේ අනුරාධපුරය දිස්ත‍්‍රික්කයටද, රටේ අනෙකුත් කෘෂිකාර්මික ප‍්‍රදේශවලටද පැතිරිණි. මුලදී රෝගයට බලපාන හේතුව හරිහැටි අනාවරණය නොවීය. පසුව රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා ඇතුළු රජරට විශ්වවිද්‍යාලයේ පිරිසක්, කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප‍්‍රියානි පරණගම, මහාචාර්ය නලීන් ද සිල්වා මහතා ඇතුළු පිරිසක් සමග එක්ව රෝගයට හේතුව සොයා පර්යේෂණ කළහ. ඉන් අනාවරණය වූයේ, කෘෂි රසායන ඔස්සේ පොළොවට එකතු වන ‘ආසනික්’ නමැති උග‍්‍ර විෂකාරකය නිසා රෝගය ඇතිවන බවත්, පසට එක්වන ‘කැඞ්මියම්’ ආදී බැර ලෝහ පවා ඊට බලපාන බවයි. ඔවුන්ගේ සොයා ගැනීම ඉතාමත් ආන්දෝලනාත්මක විය. පර්යේෂණ වාර්තාව 2010 වසරේදී නිකුත් කෙරිණි. එවකට පැවති රජය එය ගණන් ගත්තේ නැත. සමහරු එය පිළිනොගත්හ. වාද විවාද පවා ඇතිවිණි. කෘෂි රසායන සමාගම් එහි ඇති කරුණුවලට එරෙහි වූහ. එසේ වුවද විෂ සහිත කෘෂි රසායනවලට එරෙහිව කිසියම් ජනමතයක් ඇවිළවීමට චන්න ජයසුමනලාගේ වාර්තාවට හැකිවිණි.

ඉන් පසුව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO)ද පර්යේෂණයක් පටන් ගත්තේය. එහි වාර්තා 2011 සහ 2012 යන වර්ෂවල නිකුත් විය. එයින්ද හෙළිවූයේ ජලයට සහ පසට මුසුවුණු ආසනික් සහ අනෙකුත් විෂ සහිත බැර ලෝහ නිසා මාරාන්තික වකුගඩු රෝගය හට ගන්නා බවයි. 2012 වසරේ මැයි මාසය වන විට උතුරු මැද පළාතේ සමස්ත ජනගහණයෙන් සියයට 15.5ක් රෝගයට ගොදුරු වී ඇති බවද ඉන් හෙළිදරව් කර තිබිණි. 2012 වසරේ දෙසැම්බරය වන විට එවකට පැවති රජය, ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාව යම් පමණකට පිළිගත් බවක් පෙනී ගියේය. වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එවක රජයේ සෞඛ්‍ය ඇමතිවරයාය. 2013 වසර එළඹෙන විට ඔහු මාධ්‍යයට ප‍්‍රකාශ කර තිබුණේ, රජය ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවේ නිර්දේශ ක‍්‍රියාත්මක කරමින් සිටින බවයි.

 

  මාරාන්තික නිදන්ගත වකුගඩු රෝගය අදවන විට, උතුරු මැද, ඌව, වයඹ මධ්‍යම සහ දකුණ යන පළාත්වලටද ව්‍යාප්ත වී ගොසිනි. දැනට රට තුළ වෙසෙන සමස්ත රෝගීන් සංඛ්‍යාව (ලියාපදිංචි වූ හෝ නොවූ), 1,80,000ක් හෝ 2,00,000ක් පමණ විය හැකි බව, රෝගය පිළිබඳ උනන්දුවන අයගේ පිළිගැනීමයි. 1994 වසරේ සිට 2011 වසර දක්වා කාලය තුළ රෝගය නිසා පුද්ගලයන් 22500ක් මියගොස් ඇතැයි වෛද්‍ය චන්න ජයසුමන මහතා කියයි.

නව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරු වැසියෙකි. එබැවින් ඔහුට ඇත්තේ රෝගය ගැන සියැසින් දුටු, සිය කණින් ඇසූ කම්පනීය සජීවී අත්දැකීම් බව අමුතුවෙන් කිවයුතු නොවේ. ඔහු දිගු කලක පටන් දන්නා කියන පොළොන්නරු වී ගොවීන් අතර පවා වකුගඩු රෝගීන් සිටිනවා වන්නට පුළුවන. ඔහු රෝගයේ සුලමුල මැනවින් දන්නා කෙනෙකි. රටේ ජනාධිපතිවරයා හැටියට, රෝගය තුරන් කිරීමේ වැඩපිළිවෙලේදී ඔහු බහුජාතික සමාගම් සහ වස වෙළෙන්දන්ට හිස නමන්නට සූදානම් නැත ෟ රෝගයට ගොදුරු වූ සහ නොවූ ගොවීන්ගේ පැත්තෙන් බලන කල මෙය ඉතා හොඳ ප‍්‍රවේශයක් බව කිව යුතුය.


රෝගයෙහි බරපතලකම පෙනි පෙනීත් පසුගිය රජය, එය මුලිනුපුටා දමන්නට ප‍්‍රමාණවත් තරම් පිළියම් නොකළේය. ඔවුන් වරින් වර (2013/04/07) ‘ක්ලෝරෝෆයිරිෆෝස්’, ‘ප්‍රොපනිල්’ සහ ‘කාබරිල්’ යන රසායනික වල්නාශක සහ කෘමිනාශක ලංකාවට ආනයනය කිරීම තහනම් කළහ. එය හරියටම ක‍්‍රියාත්මක වූවාද යන්න අපැහැදිලිය. ඊට පසුව 2014.12.22 දින නිකුත් කළ ගැසට් නිවේදනය මගින්, ‘ප්‍රොපනිල්’, ‘කාබරිල්’, ‘ක්ලෝරොෆයිරිෆෝස්’, ‘ග්ලයිපොසේට්’ සහ ‘කාබොෆියුරාන්’ යන කෘෂි රසායන වර්ග 05ක්, (සීමිත ප‍්‍රදේශයක) භාවිතය සහ අලෙවිය තහනම් කළහ. තහනම බලපාන ප‍්‍රදේශ වූයේ, අනුරාධපුරය, පොළොන්නරුව, කුරුණෑගල, මොණරාගල යන දිස්ත‍්‍රික්ක සහ බදුල්ල දිස්ත‍්‍රික්කයේ මහියංගණය, රිදීමාලියැද්ද සහ කන්දකැටිය යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්ය. ඒ අතරතුර දේශීය පාරම්පරික වී වර්ග, කාබනික ක‍්‍රමයට වගාකිරීම යම් පමණකට දිරි ගැන්වූහ. රජරට ප‍්‍රදේශයේ පාසල් දරුවන්ට දේශීය පාරම්පරික සහල් යොදා සැකසූ ඖෂධීය කැඳක් පානය කරවීමට සැලැස්වූහ. ප‍්‍රශ්නයේ බරපතලකම හා සසඳන විට, මේවා ඉතාම දියාරු ක‍්‍රියාමාර්ග සේ සැලකිණි.

කරුණු මෙසේ වුවද, ඉකුත් රජය තම කෘෂිකර්මාන්තය ලෙස සැලකුවේ නවීන රසායනික ගොවිතැනයි. ඒ සඳහා කෘෂි රසායන සමාගම්වල ආශිර්වාදය ද සහිතව රසායනික ගොවිතැන දිරි ගැන්වූහ. කෙසේ හෝ වේවා, රෝගයට ගොදුරුව සිටින ගොවීන් සහ මේ ගැන උනන්දුවක් දක්වන පාර්ශව දිගින් දිගටම කියා සිටියේ, ලංකාවට විෂ සහිත කෘෂි රසායන සහ විෂ සහිත රසායනිකපොහොර ආනයනය කිරීම වහාම නතර කළ යුතු බවයි. දේශපාලන ධාරාවේදී පාඨලී චම්පික රණවක, උදය ගම්මන්පිල, පී. හැරිසන්, අතුරලියේ රතනහිමි ආදීහුද, සිවිල් සංවිධාන සහ ගොවි සංවිධාන ධාරාවේදී මහාමාන්කඩවල පියරතන නාහිමි, සරත් ප‍්‍රනාන්දු, කවුඩුල්ලේ එම්.කේ. ජයතිස්ස, තිලක් කාරියවසම්, අශෝක හරිශ්චන්ද්‍ර, ආර්.පී. ධර්මතිලක, ඇලෙක්ස් තන්ත‍්‍රිආරච්චි, හේමන්ත අබේවර්ධන, සුරන්ජන් කොඩිතුවක්කු, පී. ගුරුසිංහ ආදී පිරිසක්ද, ඒ මතය ගෙන දේශීය කාබනික ගොවිතැනක් වෙනුවෙන් හඬ නැගූහ. මාරාන්තික වකුගඩු රෝගය නිසා දිනකට 13ක් බැගින්, මසකට රෝගීන් 400ක් මියයන බව දැන දැනම, රජය ඔවුන්ගේ හඬ ගණන් නො ගත්හ. මහ ජනතාවට හැඟී ගියේ, ආණ්ඩුව කෘෂි රසායන සමාගම් තුරුළේ නැළවෙන බවකි.

 

 

  වකුගඩු රෝගය හෝ වස - විස සහිත ආහාර ගැන එළිපිට කුමක් කීවද, පසුගිය රජය විෂ සහිත කෘෂි රසායන සහ පොහොර ආනයනය තහනම් කිරීමේ යෝධ පියවර තබන්නට මැළිවිය. වකුගඩු රෝගයට බලපෑම් ඇති කරන ‘ග්ලයිපොසේට්’ තහනම් කරන්නැයි කෙරුණු ඉල්ලීම් සම්බන්ධයෙන්ද කෘෂිකර්ම දෙපාර්තමේන්තු බලධාරීන් දුන් පිළිතුරු වූයේ, එය තේ වගාවේදී භාවිත කරන වල්නාශකයක් නිසා තහනම් කළ නොහැකි බවයි. ඒ අතර රජය දිගින් දිගටම රසායනික පොහොර සඳහා රුපියල් 350 සහනාධාරයද දුන්නේය.

නව රජයක් පත් වුවද, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය තවමත් ගොවීන්ට උගන්වන්නේ නවීන බීජ සමග කරන රසායනික ගොවිතැන ගැනය.

මාරාන්තික වකුගඩු රෝගය පිටුදැකීම මෙන්ම වසවිය සහිත ආහාරවලින් සඳහටම ඉවත් වීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ හැක්කේ එකම විසඳුමකි. ඒ මුළු රටම කාබනික ගොවිතැන් ක‍්‍රමයක් යටතේ පාරම්පරික දේශීය වී වර්ග සහ අනෙකුත් බව බෝග වගා කිරීමට පෙළඹවීමයි. මෙය බොහෝ දෙනෙක් පිළිගන්නා කාරණයකි. ඒ සඳහා නවීන තාක්‍ෂණයද යොදා ගැනීමටද පුළුවන. එහෙත් එය අප සිතන තරම් සරල කටයුත්තක් නොවේ. මුළු රටම නවීන බීජ සහ රසායනික ගොවිතැනට වහවැටී සිටීම, ඊට හේතුවයි. රාජ්‍ය මට්ටමේ පෙළඹවීමක් නැතත්, පසුගිය කාලයේදී රට පුරා, අඩුම තරමින් ගොවීන් දස දහසකවත් පිරිසක්, පාරම්පරික වී වර්ග කාබනිකව වගා කළහ. ඉතා සරු අස්වැන්නක් සහ ඉහළ ආදායමක් ලබා ගත්හ. දේශීය වී වර්ග වගා කිරීමෙන් අලාභ සිදුවෙතියි කීම, අද පට්ටපල් බොරුවක් වී තිබේ. එබැවින් ජාතික මට්ටමෙන් අදියර කීපයක් ක‍්‍රියාත්මක කිරීමෙන්, පියවරෙන් පියවර ගොවීන් කාබනික ගොවිතැනට හුරුකළ හැකිය.

මේ සම්බන්ධයෙන් මතුවිය හැකි ලොකුම ගැටළුවක් ද වෙයි. එනම්, වී ඇතුළු දේශීය පාරම්පරික බව බෝග කාබනික පිළිවෙතට වගා කරවීම සඳහා රජයේ පාර්ශවයට (කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට) ප‍්‍රමාණවත් තරම් පළපුරුද්දක්, දැනුම් සම්භාරයක් සහ යාන්ත‍්‍රණයක් නැතිකමයි. ඔවුන්ට උගන්වා ඇත්තේ නවීන බෝග සහ රසායනික ගොවිතැන ගැනය.

නවීන රසායනික ගොවිතැන හමුවේ, දේශීය පාරම්පරික ගොවිතැන අභාවයට ගියේ, ඒ හා බැඳී තිබුණු පාරම්පරික දැනුම් සහ අත්දැකීම් සම්භාරයත් සමගිනි. අප රටක් හැටියට, ඒවා සංරක්‍ෂණය කර තැබීමට ද කටයුතු කර නැත. පැරණි වී වර්ග පවා රාජ්‍ය මට්ටමින් රැුක ගත්තේ නැත. එබැවින් යළි දේශීය බව බෝග සහ කාබනික වගා ක‍්‍රමයකට ගමන් කිරීම තරමක් අසීරු, එහෙත් පියවරෙන් පියවර ඉටුකර ගත හැකි ඉලක්කයකි. ගොවි බිමෙන් අඩක්වත් කාබනිකව වගා කිරීමට ක‍්‍රමවේදයක්, නීතියක් සකස් කිරීම, දේශීය වී වර්ගවල බිත්තර වී සම්පාදනය වැඩි කිරීම සහ ක්ෂේත‍්‍රය පිළිබඳව ඉතිරි වී ඇති දැනුම් සම්භාරයන් සහ අත්දැකීම් රැස්කර ලේඛණගත කිරීම ආදිය, රට එබඳු ගොවිතැනකට තල්ලූකර දැමිය හැකි ක‍්‍රියාදාමයන්ය.

 ‘කුමන තත්ත්වයක් යටතේ වුවත් රෝගය වැළක්වීම සඳහා ගතයුතු සෑම ක‍්‍රියාමාර්ගයක්ම ගැනීමට මම පසුබට වෙන්නේ නෑ’ යන්න, ජනාධිපතිවරයාගේ දැක්මයි. රෝගය සමග පීඩිතව ගෙවීගිය කාලය දෙස බලන විට, එය පුළුල් අරුතක් ඇති ප‍්‍රකාශකයක් බව පෙනෙයි. ඒ මක්නිසාද, වකුගඩු රෝගය තුරන් කෙරෙන අතරතුර රටද ඉබේටම වස විස රහිත නව කෘෂිකර්මාන්තයකට තල්ලූ වී යන බැවිනි.

 (පින්තූර අන්තර්ජාලයෙනි)

2015/02/01-ඉරුදින

No comments:

Post a Comment