Total Pageviews

Thursday, December 11, 2014

පිළිකා මාරයා සමග සටන් කළ වඳුරඹ දියණිය

                       දින 26ක් පිළිකා මාරයා සමග සටන් කළ
                                 වඳුරඹ සිසුවියගේ කතාව
 


(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
(ඡුායාරූප-සුපුන්  රන්ජන)
ගිලිහී ගිය සුසිනිඳු කුරුළු පිහාටුව, ‘කොකාවල ගම’ වටකරින් ඇති කඳු වළල්ලේ කොතැනක හෝ නවතිනු ඇතැයි අම්මා දැඩිව විශ්වාස කළා ය. ‘කෙල්ලට මොනව හරි වුනොත් මම නම් ආයෙ ගෙදර යන්නෙ නෑ’ යයි, ඇය වරෙක පැවසුවේ  ඒ නිසා විය යුතු ය. එහෙත් සුසිනිඳු කුරුළු පිහාටුව, යළි අම්මාගේ සෙනෙහෙබර තුරුල්ලට පාවී ආවේ නැත. කොකාවල ගමට පාවී ආවේ ද නැත. එය ඉකුත් සෙනසුරාදා (2014/11/15) සවස අම්මාට පෙනි පෙනී, මහරගම පිළිකා රෝහල් පියසින් ද ගිලිහී, යළිත් නො එන්නටම කොහේදෝ අනන්තයකට පාවී, සැඟව ගොස් තිබුණේ ය!
 

‘අනේ මගෙ දුවේ!’, අම්මා යටිගිරියෙන් කෑගසමින් වැලපුණා ය. කොකාවල ගම, එක් හෝරාවකින් එකම කඳුළක්, එකම මළ ගෙයක්, බවට පත් විණි. ගම වටකර පිහිටි කඳු වළල්ල ද, හැන්දෑ වැහි බීරුමෙන් මුසපත්ව, නිසොල්මන්ව බලා සිටියේ සිදුවූ කිසිවක් අදහා ගනු බැරි පරිද්දෙනි. තාත්තා රංජිත්, හුසුම හිරවන තරම් හූල්ලමින් ඉකි බින්දේ ය.
 



 භද්‍ර යෞවනයට පිවිසෙමින් සිටිය දී සදහටම ජීවිතය හැරගිය 16 හැවිරිදි  දියණිය, නමින් ‘නිෂාදි නවෝද්‍යා සමරසිංහ’ ය. පවුලේ අය කියන විදිහට, නිෂාදි බොහොම කෙළිලොල් දැරිවියකි. පාඩම් වැඩ නැති වේලාවන්ට ඇය නිතරම, වෙලෙන් එහා ඇති අත්තම්මාගේ නිවසට දුවන්නී ය. ඇය, අම්මාගේත්, තාත්තාගේත්, අයියලාගේත් පමණක් නොවේ. මුළු පවුලේම සෙනෙහස දිනූ සුරතලියයි! කොටින්ම ඈ, සුසිනිඳු කුරුළු පිහාටුවක් බඳු ය. පවුලේ කාටත් ඇය ‘චූටි’ ය. මාරයා සිය සීතල දෑත් වනමින් බොහොම කලක පටන්ම ඇගේ ජීවිතය ලූහුබඳිමින් සිටින බව, කිසිවෙක් දැන සිටියේ නැත.
 

‘චූටිගේ’ නිවස පිහිටියේ, ගාල්ලේ, වඳුරඹ නගරයට නුදුරු කොකාවල, ‘වැලිදෙණිය’ ගමේ ය. ඇගේ තාත්තා, ඩබ්ලිව්. ඞී. රංජිත් ය. අම්මා, එච්. කේ. රෝහිණී ධර්මජයන්ති ය. ඇගේ ලොකු අයියා, මනෝජ් දිල්ෂාන් සමරසිංහ ය. පොඩි අයියා, ඉනෝජ් උදාර සමරසිංහ ය. නිෂාධි පවුලේ බාලයා ය. තාත්තා සිය වඩු කාර්මික රැකියාවෙන් උපයන මුදලින් ජීවිතය ගැට ගසා ගත් නිෂාදිලාට මහ ලොකු ප‍්‍රාර්ථනා තිබුණේ නැත. ලොකු අයියා, කොරියාවේ රැකියාවක ය. ඇගේ අම්මා නිතරම වීරිය කෙරුවේ, නිෂාදිට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්නට ය. ඇගේ දිවිපෙවෙත ඉහළ තැනකට ඔසවා තබන්නට ය. නුදුරින් පිහිටි ‘වඳුරඹ මධ්‍ය මහා විද්‍යාලය (ජාතික පාසැල)’, නිෂාදි අකුරට ගිය තක්සලාවයි. ඇය එහි 11වැනි වසරේ සිසුවියකි.
‘චූටි  ගුරුවරුන්ට හරි ආදරෙයි. උදේ ඉස්කෝලේ යන කොට එයාගෙ මොන්ටිසෝරි ටීචර් මුණ ගැහුණොත් වැඳලා තමයි යන්නේ’, තාත්තා-රංජිත් කියන්නේ ළයෙහි නැගෙන ශෝකය වැරෙන් සඟවා ගනිමිනි.
 

සවස පන්ති පැවැත්වෙන බොහොමයක් දිනවලට, ‘චූටිගේ’ අම්මා බත් මුලක් ද බැඳ ගෙන දහවල් මද්දහන් කණිසමේ පාසැලට දුවන්නී ය. පාසැල ඇරුණු පසුව දියණියට බත් කවා, ඉස්කෝලයට පෙනෙන දුරින් ඇති වඳුරඹ බස් නැවතුම්පොළට පිය මනින්නී ය. ඉනික්බිති, සවස පන්තිය නිමවන තුරු සිමෙන්ති බංකුවක හිඳ ගෙන, දියණියට තනි රකින්නී ය. දෙසැම්බරයේ එන අ. පො. සා. පෙළ විභාගයට බොහොම වෙහෙස වියයුතු බව, ඇය දැන සිටියා ය. අම්මා දුරින් හිඳ තනි රැක්ක දියණිය අද, මුළු ගමකටම කඳුළු පුරවමින් මෙලොව හැර ගොසිනි! ඉකුත් ඉරිදා අප එහි යන විට ද, ඇගේ නෑයන්, අසල්වැසියන් මෙන්ම එකට අකුරට ගිය පාසැල් දරු-දැරියන් ද, එක පොදියේ හඬමින් උන්හ.
 

පාසැලේ දී ඇය සන්සුන් සිසුවියකි. පන්ති භාර ගුරුවරිය වන චමිලා තිළිණි මෙනවිය, විදුහල්පති, සුගත් රත්නායක මහතා ඇතුළු ගුරුවරුන්ගේ ආදරය දිනා ගත් දැරිවියකි. පන්තියේ මිතුරු මිතුරියන් අතර, එක බත් පත බෙදා ගෙන කන, එකට සෙල්ලම් කරන සහෝදරියකි. ගෙදර දී පමණක් නො වේ. පාසැලේ දී ද ඇගේ හැසිරීම්වල වෙනසක් නො පෙනුණි. කාහටත් පෙනුණේ ඇය හොඳ සෞඛ්‍යයෙන් පසුවන බවයි. ලබන දෙසැම්බරයේ අ. පො. සා. පෙළ විභාගයට මුහුණ දීමට ඇය සූදානම් වෙමින් සිටියා ය.
නිෂාදි ලෙඩින් වැටුණේ කිසිවෙක් නො සිතන ආකාරයකට ය! ඇයට යළි පාසැල් යන්නට ද ඉඩ නො තබමිනි.
 

‘දැනට සති කිහිපයකට උඩ දී චූටිට ‘දෙයියන්ගෙ ලෙඩ’ (පැපොල) හැදුණා. ඒත් පිටට බිබිලි ඒ තරම් ආවේ නෑ. පස්සේ එක සනීප වෙලා දුව නෑවා. ඊට පස්සෙන්දා එයා කකුල් පණ නැතුව ඇද වැටුණා. එයාව ගෙට ගෙනාවේ ඔසවා ගෙනයි. පපුව දැවිල්ලයි, කොන්ද රිදෙනවයි කියලත් කිව්වා. අපි එවේලේම ළමයා කරාපිටිය රෝහලට අරන් ගියා’, එසේ කියන්නේ නිෂාදිගේ පුංචි අම්මා කෙනෙකු වන ඩබ්ලිව්. ඞී. පද්මලතා මෙනවියයි.
 

අම්මාගේ සුසිනිඳු කුරුළු පිහාටුව, මාරයා එවූ මහා සැඩ සුළඟකට හසු වන්නට වැඩි දවසක් ගියේ නැත. ඔවුන් නිිෂාදි කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළේ ඔක්තෝබර් 21වැනි දා සවස ය. ඒ වන විට ඇගේ ඉඟටියෙන් පහළ කොටස අප‍්‍රාණිකව යමින් පැවතුණි. සිරුර සොලවන්නටත් නො හැකිවූ නිෂාදි, නිසොල්මනේම, රෝහල් ඇඳ මත උඩුකුරුව වැතිර සිටියා ය. පවුලේ අය පමණක් නොව, පන්තියේ සිසු-සිසුවියන් ද, ගුරුවරු ද ඇගේ සුවදුක් බලන්නට පැමිණියහ. ඒ අතර පන්ති භාර ගුරුවරිය වන චමිලා තිළිණි මෙනවිය ද විය. ‘මං රෝද පුටුවෙන් හරි විභාගේ කරන්න එනවා මිස්’යයි, නිෂාදි එවේලේ පවසා තිබිණි. කරාපිටියට ඇතුළුකර දින කීපයකට පසුව, ඇය වැඩිදුර ප‍්‍රතිකාර පතා කොළඹ ජාතික රෝහලට මාරු කෙරිණි. එහි දී  කළ පරීක්ෂණවලින් හෙළි වූයේ, නිෂාදි සුසුම්නාවේ පහළ කොටසේ හට ගත් පිළිකා රෝගයකින් පෙළෙන බවයි! අර සැඩ සුළඟ, හෙණයක් පරිද්දෙන් දැරියගේ ජිවිතය ඉල්ලා ලූහුබඳින බව කාහටත් දැනුණි. එසේ වුව ද, වෛද්‍යවරුන්ගේ පිළිසරණ මිස කළ හැකි අන් දෙයක් ද නොවී ය.
 

‘කොළඹ දී නංගිට ඔපරේෂන් එකකුත් කළා. වෛද්‍යවරු බොහොම මහන්සි වුණා. ඊට පස්සේ එයාව මහරගම පිළිකා රෝහලට යැව්වා’, එය, ගිලන්ව වැටුණු මොහොතේ පටන්, නිෂාදිගේ සාත්තුවට ළඟ සිටි ඥාති සොහොයුරියක වන මුතුලක්ෂ්මි නිලන්ති මෙනවියගේ කඳුළු පිරි මතකයයි.
 

කරාපිටිය ශික්ෂණ රෝහලේ ද, කොළඹ ජාතික රෝහලේ ද, මහරගම ජාතික පිළිකා විද්‍යායතනයේ ද, වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු කාර්්‍ය මණ්ඩල ද නිෂාදිගේ දිවි ගලවා ගන්නට නො ගත් වෙහෙසක් නැති තරම් ය. මව් පියන් ද, පවුලේ අය ද එක්ව ‘චූටි’ වෙනුවෙන් බෝධි පූජා පැවැත් වූහ. දෙවියන්ට බාර-හාර වූහ. තව නොයෙක් පින්කම් කළහ. එහෙත් ඇගේ ශාරීරික තත්ත්වය කෙමෙන් පිරිහෙමින් පැවතුණි. මහරගම දී ඇය කා සමගවත් කතා කිරීමට ද මැළි වූවා ය. ‘අම්මේ මගේ තුනටියෙන් පහළ මොකවත් දැනෙන්නේ නෑ’, වරෙක අම්මාට ද කෙඳිරුවා ය. මහරගම ජාතික පිළිකා විද්‍යායතනයේ, දමයන්ති පීරිස් සහ ඩෙහාන් ගුණසේකර යන විශේෂඥ වෛද්‍යවරුන් ඇගේ දිවි ගලවා ගැනීමට බොහෝ උත්සාහ කළහ. විවිධ ප‍්‍රතිකාර දුන්හ. අනෙකුත් වෛද්‍යවරුන් ද, හෙද-හෙදියන් ද, කාර්යමණ්ඩලය ද ඇය ගලවා ගැනීමට උදව් කළහ. නිෂාදිගේ දෙපා යළිි පණ ගස්වා ගැනීම, ඔවුන්ගේ වෑයම විය.
 

 ඒ සියල්ල ව්‍යවර්ථ කරමින් නොවැම්බර් 14වැනි දා (සිකුරාදා) මැදියම් රැයේ ‘චූටිට’ අසාධ්‍ය විණි. එබැවින් ඇය දැඩි සත්කාර ඒකකයට යැවිණි. ‘අනේ මට තනියම නම් යන්න බෑ. අම්මත් එන්ඩ’ එවේලේ ඇය අම්මාට ඇවිටිලි කළා ය. දහවල් වන විට ‘චූටිගේ’ තත්ත්වය තවදුරටත් අසාධ්‍ය වෙමින් පැවතුණි. සුසුම්නාවේ පිළිකා තත්ත්වයට අමතරව ඇයට ‘ලියුකීමියා’  තත්ත්වයක් ද හට ගෙන ඇතැයි වෛද්‍යවරු පැවසූහ. යන්ත‍්‍රයකට සවි කෙරුණු පණ නළ ද සමගින් දැඩි සත්කාර ඒකකයෙහි, ඇය උඩුකුරුව වැතිර සිටියේ අසරණ විලාශයෙනි. අම්මාට ද, තාත්තාට ද, ඥාති සොයුරිය වන මුතුලක්ෂ්මි නිලන්තිට ද, දැනුණේ තම පවුලම මහා සැඩ සුළඟකට හසුව ගසා ගෙන යන්නාක් මෙනි. මේ ශෝකය දරා ගත හැකි ද?
 

‘මට පිරිත් කියන්ඩ’ පසුව දා (සෙනසුරාදා) සවස් භාගයේ  ඕ අයැද සිටියා ය.
 

කොළඹ ඉසිපතන විහාරාධිපති කීඹියේ විජිත නාහිමියෝ, ඔවුන්ගේ පවුලේ ඥාතිවරයෙකි. එවේලේ උන් වහන්සේ ද ඇගේ සුව දුක් බලන්නට දැඩි සත්කාර ඒකකයට  පැමිණ සිටියහ. නාහිමියෝ, රෝහල අසල පන්සලෙන් තවත් භික්ෂූන් වහන්සේ නමක් ද කැඳවා ගෙන, සෙත් පිරිත් සජ්ජායනය ඇරඹූහ. ඒ අතර, වටාපත පහත දමා, පිරිත් කියන්නැයි ද ඇය අතින් සංඥා කරනු පෙනුණි. නාහිමියෝ ඇගේ ඉල්ලීම කාරුණිකව ඉවසූහ.
 

ඊළඟ මොහොතේ ඇය පිරිත් අසමින්ම මෙලොව හැර ගොස් තිබිණි!
අම්මාට යටිගිරියෙන් කෑගැසුණි.
 

සියල්ලටම ගතවී තිබුණේ දින 26ක් පමණි. අම්මාගේ සුසිනිදු කුරුළු පිහාටුව, සොවින් වැලපෙන කොකාවල කඳු වළල්ල පැන, යළිත් නො එන්නටම කොහේදෝ පාවී, සැඟව ගොස් තිබුණේ ය!
 

ඉරුදින-2014/11/23.







No comments:

Post a Comment