මකුළු දැලක් බඳු භූ පැලූම් මාරයෙක්
මධ්‍යම කඳුකරය අනතුරේ(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
කොස්ලන්ද මීරියබැද්ද නාය යාම් සිද්ධියේ උණුසුම පහව ගොස් නැත්තේය. වැසි සහිත තත්ත්වය හමාර නොවීමත්, කඳුකරයේ සමහර ස්ථාන තවමත් නාය යාමේ ලක්‍ෂණ පෙන්නුම් කිරීමත්, ඊට හේතුවය. නාය යාමේ තර්ජන නිසා, රත්නපුර, බදුල්ල, නුවරඑළිය යන දිස්ත‍්‍රික්කවල සමහර පවුල් ඉවත් කරන්නට යෙදුණු බවද ජනමාධ්‍ය වාර්තාකර තිබිණි. අඟහරුවාදා (04) පුවත්පත් වාර්තාකර තිබුණේ මීරියබැද්ද වත්තේ සිද්ධියෙන් හමුවූ මළසිරුරු සංඛ්‍යාව 11ක් බවයි. අතුරුදන් වූ පුද්ගල සංඛ්‍යාව 40කට අඩු බවද පුවත්පත් වාර්තාවල සඳහන් විය. ඒ අලූත්ම තත්ත්වයයි.
මියගිය හෝ වැලලූණු ජනසංඛ්‍යාව පිළිබඳ ඉලක්කම් කෙසේ වෙතත්, කොස්ලන්දේ හටගත් නායයාම පිටුපස ඇති කරුණ මහත් බිහිසුණුය. ඒ, මීරියබැද්ද වත්තේ නායයාම හුදෙකලා සිදුවීමක් නොවන බැවිනි. නාය යාම් සහ භූ චලන ගැන පර්යේෂණ පවත්වන විද්වතුන් පළකරන මති මතාන්තර අනුව ගත් විට, කොස්ලන්දේ සිද්ධිය යනු, රටේ සමස්ත මධ්‍ය කඳුකරයට දැන් කලක් තිස්සේ මුහුණ දෙමින් සිටින, මරණීය සංසිද්ධියක ‘ඉතා සුළු කෙළවරක්’ හෙළිදරව් වීමකි.
මීරියබැද්ද නායයාම සම්බන්ධයෙන් ‘ඉරුදින’ කළ විමසුමට මහනුවර, හන්තාන, මූලික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය සී.බී. දිසානායක මහතා පවසා තිබුණේ, ලංකාවේ උස් බිම්වලින් සියයට 20-25ත් අතර ප‍්‍රමාණයක් නාය යාමේ අවදානමට මුහුණපා සිටින බවයි. එසේම, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නාය යාම් පර්යේෂණ අංශයේ අධ්‍යක්‍ෂ ආර්.එම්.එස්. බණ්ඩාර මහතා ප‍්‍රකාශකර තිබුණේ, ලංකාවේ දිස්ත‍්‍රික්ක දහයක පිහිටි වර්ග කිලෝමීටර් 20,000ක පමණ භූමියකට, නාය යාමේ අවධානම බලපාන බවයි. අවධානම බලපාන, කළුතර, ගාල්ල, හම්බන්තොට, මාතර, බදුල්ල, රත්නපුර, කෑගල්ල, මහනුවර, නුවරඑළිය සහ මාතලේ යන දිස්ත‍්‍රික්කවල නාය යාම් ප‍්‍රදේශ දැක්වෙන සිතියම් පවා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් සකස් කොට ඇත. ඒ ඉහත කී දිස්ත‍්‍රික්ක එතරම්ම අවධානම් නිසාය.
අවධානම් දිස්ත‍්‍රික්කවල භූ ලක්‍ෂණ
නාය යාමේ අවධානම කොතෙක් බරපතලදැයි තේරුම් ගැනීම සඳහා, අවධානම් දිස්ත‍්‍රික්ක දහයේ භූ ලක්‍ෂණ හඳුනා ගැනීම වැදගත්ය.
පොදුවේ ගත් කල, නාය යාමේ අවධානමට මුහුණ දී සිටින දිස්ත‍්‍රික්ක දහයම භූ ලක්‍ෂණ අතින් කඳුකර ස්වභාවයක් ගනියි. ඉන් බොහොමයක්ම, රටේ මධ්‍ය කඳුකරය හෙවත්, මුහුදු මට්ටමේ සිට වැඩි උසකින් පිහිටි දිස්ත‍්‍රික්කය.
මේ වගුව බලන්න.
මධ්‍යම කඳුකරයට අයත් දිස්ත‍්‍රික්ක සහ මුහුදු මට්ටමේ සිට ඒවායෙහි උස
දිස්ත‍්‍රික්කයේ නම සහ එහි පිහිටි ස්ථාන උස - මීටර්
මහනුවර 500
වලපනේ 1280
හුන්නස්ගිරිය 1514
මාතලේ 1889
රත්තොට - පිටවලපතන 300
නුවරඑළිය 1868
පිදුරුතලාගල 2527
කොත්මලේ ජලාශ බැම්ම 595
රත්නපුර 130
පලාවෙල 186
බලංගොඩ 592
වැද්දාගල (කලවාන) 427
නාය යාමේ අවධානමට මුහුණදී ඇති අනෙකුත් දිස්ත‍්‍රික්ක පිහිටා තිබෙන්නේ මධ්‍යම කඳුකරයට පරිවාරවය.
ඒවායෙහි උස මේ වගුවෙන් දැක්වේ.
දිස්ත‍්‍රික්කය සහ එහි ස්ථාන උස - මීටර්
බදුල්ල 680
හපුතලේ 1431
කොස්ලන්ද 700
රාවණා ඇල්ල 1370
නමුණුකුල 2016
ගාල්ල - තවලම - හෝකොක් 660
හිනිදුම 660
මාතර - දෙනියාය 459
හම්බන්තොට - වලස්මුල්ල 151
කෑගල්ල - අරනායක 300
නොබෝදා (2014/10/30) බිහිසුණු නාය යාමට හසුවූ කොස්ලන්ද ප‍්‍රදේශයද අයත් වන්නේ මධ්‍යම කඳුකරයට පරිවාරව, රටේ දකුණු දිසාවෙන් පිහිටි කඳුවැටියටය. ඉදින් රටේ මධ්‍යම කඳුකරය පමණක් නොවේ. ඊට පරිවාර උස් කඳුකර පෙදෙස් පවා නාය යාමේ අවදානමෙන් පෙළෙන බව, පැහැදිලිකර ගැනීමට පුළුවන. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නම් කළ අවධානම් දිස්ත‍්‍රික්ක හැම එකක්ම පාහේ, දැන් දශක කිහිපයක පටන්ම වරින් වර නාය යාම්වලට ගොදුරුවූ බව, පැරණි වාර්තා සඳහන් කරයි. එය විශේෂ ලක්‍ෂණයකි.
නාය යාමක් යනු කුමක්ද?
ඊට බලපාන හේතු මොනවාද?
ඉහළ මට්ටම්වල පිහිටි හෝ උස්බිම්වල පිහිටි අස්ථාවර පස් තට්ටු හෝ පාෂාණ සුන්බුන්, හදිසියේම බෑවුම් දිගේ පහළ ස්ථානකරා ගලා යාමේ හෝ රූටා යාමේ සංසිද්ධිය, නාය යාමක් ලෙස හැඳින්වේ. අධික වර්ෂාපතනය නිසා පස් ස්ථර බුරුල්වීම, භූචලන හෝ කම්පන ඇති වීම, සංවර්ධන කටයුතු සඳහා භූමිය වෙනස් කිරීම, භූගත පිපිරවීම් ආදී මිනිස් ක‍්‍රියාකාරකම් ඇතුළු හේතු රාශියක් නිසා ඒවා හට ගනී. එපමණක්ද නොවේ. කඳු මුදුන් සහ කඳු බෑවුම්වල වනාන්තර වැස්ම ඉවත් කිරීම සහ මිනිස් ක‍්‍රියාකාරකම් නිසා ජලවහන රටා අක‍්‍රමවත් වීමද නාය යාම් ඇතිවීමට බලපාන බව විද්වත් මතයයි. මහා ජලාශවල ජල මට්ටම උස් පහත් වීමේ තත්ත්වයන් අනුවද නාය යාම් ඇති විය හැකිය. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් හඳුනාගෙන ඇති අවධානම් දිස්ත‍්‍රික්ක දහයම, නාය යාම්වලට තුඩු දෙන සියලූ ගති ලක්‍ෂණවලින් පොහොසත් ය.
කඳුකරයේ භූමි පරිහරණය සහ නාය යාම්
කඳුකරයේ භූමි පරිහරණය කොතෙක් සාහසික ලෙස සිදුවී ඇත්දැයි කිවහොත්, එය නාය යාම්වලට අතවනන මාරක උගුල් සමූහයක් වැන්න. ඉතා කෙටියෙන් කිවහොත්, අප මෙතෙක් රටේ කඳුකරය භාවිත කොට ඇත්තේ, නාය යාම් ගැන ඇබින්දක්වත් සිතා බලා නොවේ. එබැවින් කඳුකර භූමිය පරිහරණය කෙරී ඇති ආකාරය අධ්‍යනය කිරීම වැදගත්ය.
ලංකාවේ මධ්‍යම කඳුකරය සහ පරිවාර කඳුකරයෙහි වර්තමාන ස්වභාවය මෙබඳුය.
* එම පෙදෙස්වල අධික ජනගහණය වාසය කිරීම.* මහවැලි, කැලණි, කළු, වලවේ ඇතුළු ප‍්‍රධාන ගංගා 103ක් කඳුකරයෙන් උපත ලබා ගලා බැසීම.
* කොත්මලේ (ඝන මීටර් මිලියන 172.9), පොල්ගොල්ල (ඝ.මී.මි. 4.1), වික්ටෝරියා (ඝ.මී.මි. 721.2), රන්දෙණිගල (ඝ.මී.මි 861.4), රන්ටැඹේ (ඝ.මී.මි. 22), බෝවතැන්න (ඝ.මී.මි. 52), කාසල්රී (ඝ.මී.මි. 48.3), මාඋස්සාකැලේ (ඝ.මී.මි. 123.6) සහ සමනළවැව (ඝ.මී.මි. 278.0) යන මහා ජලාශ මධ්‍යම කඳුකරය ආශ‍්‍රිතව පිහිටා තිබීම. (මෙම ජලාශවල සාමාන්‍යයෙන්, ජලය ඝනමීටර් මිලියන 2283.5ක් පමණ රඳවා ගනියි.)
* කඳුකර මහා ජලාශ ආශ‍්‍රිතව මහාවේලි, ඇලමාර්ග, ජලය ගෙන යන උමං මාර්ග සහ විදුලිබලාගාර පිහිටා තිබීම.
* ලංකාවේ ප‍්‍රධාන මහාමාර්ග ජාලයට අයත්, කොළඹ, හපුතලේ හරහා බදුල්ල පාර, කොළඹ, බෙරගල, කොස්ලන්ද හරහා අම්පාර පාර, කොළඹ, ගම්පොළ හරහා නුවරඑළිය - වැලිමඩ පාර, අවිස්සාවේල්ල, හැටන් හරහා නුවරඑළිය පාර, කොළඹ, මහනුවර පාර, දඹුල්ල, නාඋල හරහා මාතලේ පාර, රත්තොට, ඉලූක්කුඹුර හරහා ලග්ගල පාර, ඇල්ල-වැල්ලවාය පාර, රත්නපුර කලවාන හරහා වැද්දාගල පාර, රත්නපුර, රක්වාන, සූරියකන්ද හරහා දෙනියාය පාර, රත්නපුර වේවැල්වත්ත හරහා බලංගොඩ පාර, මහනුවර - බදුල්ල රජමාවත ආදී මහා මාර්ග රාශියක්ම කඳුකරය ඔස්සේ විහිදී තිබීම.
* කොළඹ - බදුල්ල දුම්රිය මාර්ගය ද මධ්‍යම කඳුකරය ඔස්සේ විහිදී තිබීම.
ප‍්‍රධාන වශයෙන්ම ලංකාවට වර්ෂාව ලැබෙන්නේ, නිරිතදිග මෝසම (මැයි-සැප්තැම්බර්) සහ ඊසාන දිග මෝසම (දෙසැම්බර්-පෙබරවාරි) යන මෝසම් දෙක ඔස්සේය. මින් නිරිතදිග මෝසමේදී, මිලි මීටර් 100 සිට 3000ක් දක්වා වර්ෂාපතනයක් රටට ලැබේ. ඊසාන දිග මෝසමේ දී මිලිමීටර් 750 සිට 1200ක් දක්වා වර්ෂාපතනයක් රටට ලැබේ. ඉට අමතරව අන්තර් මෝසම් වකවානු දෙකකින් ද වැසි ලැබේ. ලැබෙන වැසිවලින් වැඩිහරියක්ම පතිතවන්නේ මධ්‍යම කඳුකරයේ නිරිත දිග සහ ඊසාන දිග බෑවුම්වලටය. මින් බොහොමයක් අධික වැසිය. ඒවා නායයාම්වලට තුඩුදෙයි. පැයක් ඇතුළත මි.මී. 75කට වැඩි වර්ෂාවක් ලැබුණහොත් නායයාම් ඇතිවන බව ප‍්‍රකටය. ලංකාවේ වරින්වර හටගත් ප‍්‍රබල නායයාම්, වර්ෂාපතන රටාව හා ගැලැපූ විට මේ කාරණය තහවුරු වේ.
මේ සටහන ලියැවෙන (2014/11/06 වැනි) බ‍්‍රහස්පතින්දාව (06) වන විටත් මධ්‍යම කඳුකරයට වැසි ඇදහැලෙයි. ඒ සමගම හටගත් නායයාම් බිය නිසා කඳුකරයේ තැනින් තැන මිනිසුන් ඉවත් කෙරුණු බව, පුවත්පත් වාර්තා මගින් කියැවේ. ඇල්ල - වැල්ලවාය පාරද පස් හා ගල් ඇදවැටීමේ අවදානමින් පෙළෙයි. මහනුවර සිට මහියංගනයට දිවෙන දහඅට වංගු පාර ද පසුගිය දිනවල නාය ගියේය. බදුලූ දුම්රිය පාරේ සමහර තැන්ද නාය ගොස් තිබිණි. මින් පෙනෙන්නේ දැන් මුළු කඳුකරයම නාය යාමේ භීතියෙන් අනාරක්‍ෂිතවී ඇති බවය.
නායයාම් සහ භූමි කම්පා
‘නාය යාම්’ සහ ‘භූමිකම්පා’ යනු එකම කාසියක දෙපැත්ත වැනි සංසිද්ධියකි. යම් භූමිකම්පාවකදී පොළොවේ ඇතිවන වෙව්ලීම් නිසාද උස් භූමි ප‍්‍රදේශ නාය යෑමට තුඩු දෙයි. 2003 වසරේ මැයි මාසයේ, රටේ නිරිත දිග ප‍්‍රදේශවල හටගත් බිහිසුණු නාය යාම් සමූහය සහ ගංවතුර තත්ත්වය මුළු රටටම මහත් කම්පනයක් ඇති කළ අවස්ථාවක් විය. ඉන් පුද්ගලන් 504ක් මියගියහ. එතරම් නාය යාම් සංඛ්‍යාවක් සිදුවූයේ, යම් භූචලනයක බලපෑම නිසා යයි සැකයක්ද එකල කතාබහට ලක්වී තිබිණි.භූමි කම්පාවක් සම්බන්ධයෙන් ලංකාවේ පැරණිම වාර්තාව හමුවන්නේ වර්ෂ 1615 පෘතුගීසි පාලන සමයේය. 1615 වසරේ හටගත් භූමිකම්පාවකදී කොළඹ කොටුවේ විසූ පුද්ගලයන් 2000ක් මරුමුවට පත්වූහ. නිවාස හා ගොඩනැගිලි 200කට හානි විය. එවක් පටන් අද දක්වා ශ‍්‍රී ලංකාවට දැනී ගිය භූ කම්පන සංඛ්‍යාව 63ක් බව කියැවේ.
2004 වසරේ දෙසැම්බරයේදී ඉන්දුනීසියාව ආශ‍්‍රිත මුහුදේ හටගත් රිච්ටර් මාපකයේ 9.6ක සුනාමි භූමිකම්පාව මෑත භාගයේ ලංකාවට දැනුණු ප‍්‍රබලම භූ කම්පනයයි. ඉන් පසුව 2007 වසරේ ජූලි 09, 20, 22 යන දිනවල තිස්සමහාරාමයේ බෙරලිගෙල ප‍්‍රදේශයට රිච්ටර් 3.0-3.5 ප‍්‍රමාණයේ භූමිකම්පන දැනුණි. ඊට පසුව 2009 වසරේ අප‍්‍රියෙල් 15 වැනිදා මහනුවර කුණ්ඩසාලේ ප‍්‍රදේශයට ද භූමිකම්පාවක් දැනුණි. වසර කීපයකට පෙර අම්පාර ප‍්‍රදේශය ආශ‍්‍රිතව ද භූකම්පන වාර්තා විය. මේවා සුළු භූමි කම්පන බව ඇත්තය. එහෙත් ශ‍්‍රී ලංකාව පවතින්නේ ඒවායින් වුවද හානිවන තත්ත්වයකය. අපේ රට අයත් භූමිය, භූ ගර්භ අභ්‍යන්තරයෙන් විශාල ලෙස පැලූම්වලට ලක්ව තිබීම, ඊට හේතුවය. භූ කම්පනයකදී ඉහළ ස්ථරවල ඇති පස් හෝ පාෂාණ තට්ටු, භූ පැලූම් ඔස්සේ බිහිසුණු ලෙස නාය යෑමට පුළුවන.
භූ විද්‍යාඥයෝ ශ‍්‍රී ලංකාවේ භූමිය කොටස් තුනකට බෙදා දක්වති. ඒ, වන්නි සංකීර්ණය , උස් බිම් සංකීර්ණය සහ විජයානු සංකීර්ණය වශයෙනි. මේ සමස්ත භූමියෙහි ස්වාභාවික පැලූම් 80,000ක් පමණ ඇති බවත්, ඉන් 09ක් ප‍්‍රධාන පැලූම් බවත්, ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥයකු වන මහාචාර්ය පී.ඩබ්ලිව්. විතානගේ මහතා 1965 වසරේදී සොයා ගත්තේය. ‘ඉන්දියානු ප්ලේටයෙන්’ වෙන්වී ගිය ලංකා භූමිය, වසර මිලියන 126ක් මුළුල්ලේ වයඹ සිට ගිනිකොණ දෙසට (යාල-කිරින්ද දෙසට) පාවී යන බවත්, එයින් හට ගන්නා භූ විපර්යාස නිසා රටේ මධ්‍ය කඳුකර භූමිය ඉහළට එසවෙමින් යන බවත් ඔහු හෙළි කළේය. ඔහු කියන හැටියට, වසරකට මිලිමීටර් 01-02 පමණ ප‍්‍රමාණයකින් ලංකා භූමිය ගිනිකොණ දෙසට පාවී යමින් තිබේ.
ලංකාවේ විශාලතම භූ පැලූම, ත‍්‍රිකුණාමලය වරාය ප‍්‍රදේශයෙන් පටන් ගෙන, මහවැලි ගඟ, මහියංගණය සහ මොණරාගල ඔස්සේ විහිදී ගොස්, හපුතලේ, වලවේ ගඟ සහ හම්බන්තොට දෙසින් මුහුද දෙසට දිවෙයි. මාතලේ, උකුවෙල, වත්තේගම, තෙල්දෙණිය, දිගන, අධිකාරිගම, කිඹුලන්තොට සහ නිල්දණ්ඩාහින්න දෙසට තවත් පැලූමක් විහිදෙයි. ලංකාවේ වයඹත් ගිනිකොණත් අතර කඳුකරය මැදින් වැටී ඇති පැලූම් ගණන 11කි. මේවා මහාචාර්ය පී.ඩබ්ලිව්. විතානගේ මහතාගේ වාර්තාවල සඳහන් පැලූම් අතරින් කිහිපයක් පමණි.
‘ඉරුදින’ කළ විමසීමකදී සුප‍්‍රකට භූ විද්‍යාඥයෙකු වන, මහනුවර හන්තාන මූලික අධ්‍යන ආයතනයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය සී.බී. දිසානායක මහතා මෙසේ පැහැදිලි කළේය.
‘මහාචාර්ය විතානගේ මහත්තයාගේ සොයා ගැනීම ඉතා වටිනා එකක්. මේ භූ පැලූම් රටේ මධ්‍යම කඳුකරය පුරා හරියට මකුළු දැලක් වගේ පැතිර පවතිනවා. දවස් 3-4ක් වැස්සොත් බෑවුම් සහිත භූමියක නාය යාම් ඇතිවෙන්න පුළුවන්. ඒක සුලභ සිද්ධියක්. ඒත් භූ චලනයක් බඳු බාහිර ක‍්‍රියාවලියක් මගින් ‘තල්ලූවක්’ ඇතිකරනවා නම්, ස්ථාවර පස් හෝ පාෂාණ තට්ටු පවා භූ පැලූම් දිගේ නාය යන්නට පුළුවන්. භූ පැලූම් සහිත කඳු කරයේ අපි මහා ජලාශ රාශියක් ඉදිකරලා තියෙනවා. ලංකාවට බලපාන යම් භූමි කම්පාවකදී භූ පැලූම් ඔස්සේ එන පීඩනය නිසා ඔය ජලාශ පවා නාය යාමට ඉඩ තිබෙනවා. එහෙම දෙයක් වුණොත් ඇති විය හැකි විනාශය හිතාගන්නත් බෑ. ඒක හින්දා අපි සෑම කඳුකර ජලාශයකම භූ කම්පන මාන සවිකරලා, ඇතිවන සුළු භූ කම්පන පවා අධ්‍යනය කළ යුතුයි. අපි මේක හැමදාමත් කියනවා. ඒත් කෙරෙන්නේ නෑ’.
නාය යාම් අවධානමෙන් පෙළෙන ලංකාවේ කඳුකරය, මානව ජනාවාස, මහා ජලාශ, වතු වගා බිම්, මහා මාර්ග හා දුම්රිය මාර්ග, නගර ආදියෙන් සජ්ජිතය. ඊට අමතරව ඒ භූමිය, මකුළු දැලක් බඳු භූ පැලූම් ජාලයකින්ද සමන්විතය. භූ පැලූම් වූ කලී, නාය යාමේ අනතුර තවතවත් වැඩි කරන ප‍්‍රපංචයකි. රටේ මුළු කඳුකරයම සීතල මරණයකරා කැඳවා ගෙන යන මර උගුලකි.
වර්ෂා රටාව සහ නාය යාම්
පළමු අන්තර් මෝසම් සමය (මාර්තු/අපේ‍්‍රල්) තුළ සිදුවූ නාය යාම්
* 2002.04.29 - හාලි ඇල දෙමෝදර ගල්වලේ නාය යාම - මරණ - 05යි.
නිරිත දිග මෝසම් සමය (මැයි - සැප්තැම්බර් දක්වා) තුළ සිදුවූ නාය යාම්.
* 1982.06.08 - රත්නපුර, පතුල්පාන නායයාම - මරණ - 09යි.
* 1985.06.03 - බුලත්කොහුපිටිය, බඹරගල නාය යාම - මරණ - 22.
* 1992.06.03 - ගලබඩ, වටවලදී බදුලූ දුම්රිය මාර්ගය නාය යාම.
* 1995.06.17 - කොටගල ඉඟුරුඔය දී බදුලූ දුම්රිය එහි එන්ජිමද සමග නාය ගියේය.
* 2003 මැයි මාසයේ රටේ නිරිතදිග ප‍්‍රදේශවල හටගත් නාය යාම් සහ වැසි විපත් - මරණ 504යි.
* 2004 අගෝස්තු - හල්දුම්මුල්ල නගරය අවධානමට ලක්වීම.
දෙවන අන්තර් මෝසම් සමය (ඔක්තෝබර්/ නොවැම්බර්) තුළ සිදුවූ නාය යාම්
* 1997.10.22 ගම්පොළ සිංහාපිටියේ නාය යාම - මරණ 26යි.
* 1997 නොවැම්බර් මාසයේ, කොස්ලන්දේ නාකැටිය නාය යාම.
* 2006 ඔක්තෝබර් නොවැම්බර් යන මාසවල පේරාදෙණියේ හට ගත් නාය යාම්.
* 2002.10.07 බෙලිහුල්ඔය පුවක් ගහවෙල නායයාම - මරණ - 05යි.
ඊසාන දිග මෝසම් සමය (දෙසැම්බර් - පෙබරවාරි) තුළ හට ගත් නාය යාම්
* 1986.01.06 - මතුරට කැටයාපතන නායයාම - මරණ සංඛ්‍යාව - 13යි.
* 1982.12.09 - මාතලේ, පිටකන්ද නායයාම - මරණ සංඛ්‍යාව - 13යි.
* 2007.01.12 - හඟුරන්කෙත, පදියපැලැල්ල නාය යාම.
* 2007.01.02 - නුවරඑළිය මහවැව නාය යාම - නිවාස 65කට හානි විය.
ඉරුදින-2014/11/09
No comments:
Post a Comment