Total Pageviews

Sunday, January 11, 2015

තේ ගස් යට මාරයෙක්


තේ ගස් යට මාරයෙක්
ග්ලයිපොසේට් වින්නැහිය


(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
තෙත් කලාපීය කඳුකර පෙදෙස වසා ගත් සුන්දර තේ වගා ඉඩම්වල ‘මාරයා’ සැඟව සිටිතියි, දැන් දැන් හෙළිදරව් වෙමින් තිබේ. ‘මාරයා’ අනිකෙකු නොව, රජරට ඇතුළු වියළි කලාපීය පෙදෙස්වල මිනිසුන්ට මරු කැඳවූ වකුගඩු රෝගයේ හේතු කාරකය වන, ‘ග්ලයිපොසේට්’ නමැති කෘෂි රසායනයයි. ග්ලයිපොසේට්, ඉතා ප‍්‍රසිද්ධ වල්නාශකයකි. සකලවිධ බව බෝග වගාවන්ටම භාවිත කෙරෙන්නකි. එය තේ වගාවේ වල් මර්දනයට ද වසර කිහිපයක පටන් ඉතාමත් බහුලව භාවිත කෙරෙන්නේය. එබැවින් වකුගඩු රෝග මාරයා , තේ ගස් යටද සැඟව සිටිතියි කියන්නට සිදුවී තිබේ.

ග්ලයිපොසේට්, තේ වගාවට බහුලව යොදන බව අනාවරණය වීම ඉතා බරපතළ කාරණයකි. එය අනාවරණය වී ඇත්තේද අහම්බෙනි.


 රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, වෛද්‍ය චන්න ජයසුමන මහතා ඇතුළු පිරිස, මාරාන්තික වකුගඩු රෝගය සම්බන්ධයෙන් දිගින් දිගටම පර්යේෂණ කළෝය. රෝගය ඇතිවීම සඳහා ‘ආසනික්’ සහ ‘කැඞ්මියම්’ ඇතුළු විෂ බැර ලෝහ බලපාන බව ඔවුන් කළ පර්යේෂණ මගින් හෙළිකර ගැනුණි. එය මුළු රටම තිගැස්මකට ලක් කළ, අතිශයින්ම ආන්දෝලනාත්මක සොයා ගැනීමක් විය. එහෙත් එක් ගැටලූවක් ඉතිරි විය. ඒ, ආසනික් ඇතුළු බැර ලෝහ මිනිස් සිරුරට ඇතුළු වී, වකුගඩු කරා ගමන් කරන ක‍්‍රමවේදය කුමක් දැයි හරියටම පැහැදිලි කර ගන්නට නොහැකිවීමයි. පසුව ඔවුහු ඇමරිකාවේ, කැලිපෝනියා රාජ්‍ය විශ්වවිද්‍යාලයට සම්බන්ධ වී තවදුරටත් පර්යේෂණ පැවැත්වූහ. එහි මහාචාර්ය සරත් ගුණතිලක මහතාගේ මග පෙන්වීම්ද ඔවුන්ට ලැබිණි.

එහිදී ඔවුන්ට හෙළිදරව් වූයේ, මාරාන්තික නිදන්ගත වකුගඩු රෝගය ඇති වීම සඳහා තවත් විෂ රසායනිකයක් බලපාන බවයි. එය ‘ග්ලයිපොසේට්’ය. ග්ලයිපොසේට් යනු උග‍්‍ර විෂ සහිත වල්නාශක කෘෂි රසායනයකි. පර්යේෂණයේ දී අනාවරණය වූයේ ‘ග්ලයිපොසේට්’ ඉතා පහසුවෙන් ජලයෙහි ඇති කිවුල සමග සංයෝග වන බවයි. එසේම එය ආසනික්, කැඞ්මියම්, ක්‍රෝමියම් සහ නිකල් ආදී විෂ බැර ලෝහ සමගද ඉතාමත් පහසුවෙන් සංයෝග වේ. මේ කාරණා පසක්කර ගත් පර්යේෂකයෝ, ග්ලයිපොසේට් යනු, ආසනික් ඇතුළු විෂ බැර ලෝහ මිනිස් වකුගඩුකරා ගෙන යන ‘වාහකයා’ බව හඳුනා ගත්හ.

ග්ලයිපොසේට්, ලංකාවේ වියළි කලාපීය වී වගා බිම්වල ඉතාමත් බහුලව භාවිත කෙරෙන රසායනික වල් නාශකයකි. එසේම ඉහළ අලෙවියක් සහිත කෘෂි රසායනයකි. ආසනික් ඇතුළු විෂ බැර ලෝහ පසට එක් වන්නේ, වී ඇතුළු බව බෝගවලට යොදන කෘතිම රසායනික පොහොර සහ කෘතිම රසායනික කෘෂි රසායන (වල්නාශක, කෘමි නාශක සහ දිලීර නාශක) ඔස්සේය. දැන් එයට ‘ග්ලයිපොසේට්’ නමැති තවත් මාරයෙක් එකතු වී ඇති බව පර්යේෂණයෙන් හෙළි විණි.

හෙළිදරව්වත් සමගම, ලංකාවේ ග්ලයිපොසේට් භාවිතය තහනම් කරන ලෙස බලපෑම් එල්ල වන්නට විය. මාරාන්තික නිදන්ගත වකුගඩු රෝගය ගැන උනන්දු වන පාර්ශ්ව මෙන්ම, රසායනික ගොවිතැනට එරෙහිව සිටින විවිධාකාර පිරිස්ද බලපෑම් එල්ල කරන කණ්ඩායම් අතර වූහ.

තහනම් කරන්නැයි කොතෙක් ඉල්ලීම් කෙරුණද, ආණ්ඩුව එය ගණන් ගත් බවක් පෙනෙන්නට නොතිබිණි. ග්ලයිපොසේට් ඇතුළු කෘෂි රසායන වර්ග ලංකාවට ගෙන්වන මහා පරිමාණ බහුජාතික සමාගම්වල බලපෑම් නිසා හොරට නිදා සිටින්නේ යයිද ආණ්ඩුවට චෝදනා එල්ල විය.

මේ සම්බන්ධයෙන් ජනමාධ්‍යයට කරුණු දැක්වූ කෘෂිකර්ම අමාත්‍යංශය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යන ආයතනවල ඉහළ බලධාරීන් පැවසුවේ, අපූරු කාරණයකි. එනම් තේ වගාවේ වල් මර්දනය සඳහා ග්ලයිපොසේට් අඩංගු කෘෂි රසායන බහුලව භාවිත කරන බැවින්, ග්ලයිපොසේට් තහනම් කළ නොහැකි බවය. කෘෂිකර්ම ඇමති මහින්ද යාපා අබේවර්ධන මහතාද, කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය රොහාන් විජේකෝන් මහතාද ඒ මතය දරන බව ජනමාධ්‍යයෙහි වාර්තාකර තිබිණි. කෘෂිකර්ම අමාත්‍යංශය පාර්ශ්වයෙන් වැඩිදුරටත් පවසා තිබුණේ, ‘ග්ලයිපොසේට්’ යනු තේ වගාවට නැතිවම බැරි වල්නාශකයක්’ යනුවෙනි. වැවිලි කර්මාන්ත අමාත්‍යංශය තමන්ට දන්වා ඇති ආකාරයට, තේ වගා ක්ෂේත‍්‍රයේ ශ‍්‍රම හිඟයක් ඇති බැවින් අතින් වල් නෙලීම කළ නොහැකි දෙයක් බවට පත්වී ඇතැයිද, ඒ නිසා ග්ලයිපොසේට් අඩංගු රසායනික වල්නාශක භාවිත කරන්නට සිදුව ඇතැයිද, කෘෂිකර්ම අමාත්‍යංශය පාර්ශ්වයෙන් වැඩිදුරටත් පැහැදිලිකර තිබිණි.

තේ වගාව සඳහා අතිශයින්ම බරපතළ ලෙස ග්ලයිපොසේට් භාවිත කරන බව, අනාවරණය වූයේ එතැනිනි.
මේ කතා පුවත්වලින් පැහැදිලි වන්නේ කුමක්ද? වර්තමානයේ ලංකාවේ තේ වගාව සඳහා උග‍්‍ර විෂ සහිත වල්නාශකයක් වන ග්ලයිපොසේට් බහුලව භාවිත කරන බවය. රටක් හැටියට එය ඉතාමත් බරපතළ ගැටලූ මතුවන තත්ත්වයකි.

රටට ඉතා ඉහළ විදේශ විනිමයක් ලබාදෙන තේ, තෙත් කලාපීය වගාවකි. ඉතා හොඳ ආර්ථික බෝගයකි. 2013 වසරේ තොරතුරු අනුව ලංකාවේ සමස්ත තේ වගා බිම් ප‍්‍රමාණය හෙක්ටයාර් 2,22,000කි. ඒවා, මධ්‍යම, ඌව, සබරගමුව, බස්නාහිර සහ දකුණ යන තෙත් කලාපීය දේශගුණයන් සහිත පළාත්වල පැතිර තිබේ. ඉන් බහුතරයක්ම කුඩා තේ ඉඩම් හිමියන් සතු වගාවන්ය. ඉතිරිය මහාපරිමාණ වැවිලි සමාගම් සතු වගාවන්ය. සමස්තයක් වශයෙන් ගත්කල, තේ වගාවට නතුව ඇති ඉඩම් කිසියම් කඳුකර ස්වභාවයක් ගනියි. ඒත් ඇතැම් තේ ඉඩම්, එහැමපිටින්ම කඳුකරයට අයත්ය. ග්ලයිපොසේට් සම්බන්ධයෙන් ගත් කල, මෙය ඉතාමත් භයානක තත්ත්වයකි. කඳුකර තේ ඉඩම්වලට යොදන ග්ලයිපොසේට්, ජල බස්නා මාර්ග ඔස්සේ පහළ මිටියාවත්වලට ගලා බැසීම ඊට හේතුවයි. පහළ මිටියාවත්වල ඇත්තේ එක්කෝ නගර සහ ජනාවාසය. නැත්නම්, වී සහ අනෙකුත් ආහාර බෝග වගා කරන තෙත් බිම්ය. පහළ මිටියාවත්වල පානිය ජලය ලබා ගන්නා ළිං ඇතුළු ජල ප‍්‍රභවයන්ද, මිනිසුන් දිය නෑම සඳහා භාවිත කරන නොයෙකුත් ජල ප‍්‍රභවයන්ද තිබේ. පහළට ගලා එන ග්ලයිපොසේට් ඒවාට මුසුවී, එහි ජන ජීවිතයට මාරාන්තික බලපෑම් එල්ල නොකරතියි කිව හැකිද? තේ වගාවට යොදන විවිධ රසායනික පොහොරවල අවශේෂ සමග මුසුවී අහිතකර තත්ත්වයන් ඇති නොකරතියි කිව හැකිද? නැත.

තෙත් කලාපීය මිටියාවත්වල කිවුල් ජලය නැති බව ඇත්තය. එහෙත් පිරිසුදු ජලයට දිගින් දිගටම ග්ලයිපොසේට් මුසුවන විට කුමන විෂක් හට ගනීදැයි කියන්නට බැරිය.






මෙහිදී මතුවන තවත් බරපතළ කාරණයක් තිබේ. එනම්, තේ වගාවට යොදන ග්ලයිපොසේට් නිසා, තේ ගසට, තේ දල්ලට කුමන මිලක් එකතුවේද යන්නයි. අප නිපදවන තේවලට විෂ රසායනික බැර ලෝහ මුසුවී තිබේද? නැද්ද? යන්න ගැටලූ සහගත කාරණයකි.

දැන් කලක පටන්ම අපේ රටේ තේ වගා ක්ෂේත‍්‍රයේ ශ‍්‍රම හිඟයක් තිබෙන බව සත්‍යයකි. ඊට හේතුව වන්නේ, තේ වගා ඉඩම්වල වැඩ කිරීම ‘රැකියා ක්ෂේත‍්‍රයක්’ වශයෙන් ආකර්ෂණීය නොවීමයි. වර්තමාන සමාජයේ දෛනික කම්කරු කුලිය රුපියල් 800-1000කි. පෙදරේරු, වඩු සහ ඊට සමාන වෘත්තීන්හි දෛනික වැටුප රුපියල් 800, 1000, 1300 හෝ 1600 පමණ වේ. එසේ වුවද තේ දලූ නෙලන්නියකගේ දෛනික වැටුප, රුපියල් 500-600ක් පමණ වේ. තේ වගා ක්ෂේත‍්‍රයේ අනෙකුත් කම්කරු රැකියාවල වැටුපද එබඳුය. කොටින්ම තේ වගා ක්ෂේත‍්‍රයේ කම්කරුවන් අතර රුපියල් 1000ක දෛනික වැටුප් ලබන කෙනෙක් නැත. අනෙක තේ වගා ක්ෂේත‍්‍රයේ කම්කරු වෘත්තීන් සඳහා තිබෙන සමාජ පිළිගැනීමද අඩුය.

මෙම තත්ත්වය නිසා තේ වගා බිම් ආශ‍්‍රිතව නිවසන පුද්ගලයන් වෙනත් රැකියා සඳහා යොමුවී තිබේ. තේ වගාව යනු, ඉතා ඉහළ ආදායම් සහ විදේශ විනිමයක් උපයන ක්ෂේත‍්‍රයකි. එබැවින් කළ යුතුව ඇත්තේ කම්කරු වැටුප් වැඩිකර, තේ වගා ක්ෂේත‍්‍රයේ රැකියා ආකර්ෂණීය තත්ත්වයට ඔසවා තැබීමයි. එහෙත් තේ වගා ක්ෂේත‍්‍රය මෙහෙයවන පාර්ශ්ව විසින් කර ඇත්තේ, වගා භූමිය සරුසාර කිරීමේ කටයුත්ත කෘතිම රසායනික පොහොරවලටත් ග්ලයිපොසේට් වැනි විෂ සහිත කෘෂි රසායනවලටත් පවරා අත පිසදා ගැනීමයි. ආණ්ඩුවද මේවා නොදන්නවා නොවේ.

මේ අතර, ආණ්ඩුව ඉකුත් දිනවල විෂ කෘෂි රසායන සම්බන්ධයෙන් තීරණයක් ගත්තේය. ඒ, 2014 දෙසැම්බර් 22 දිනෙන් නිකුත් කළ අංක 1894/4 දරන ගැසට් නිවේදනයෙනි. ඉන් කියැවුණේ, අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල, මොණරාගල, යන දිස්ත‍්‍රික්කවල සහ බදුල්ල දිස්ත‍්‍රික්කයේ මහියංගණය, රිදීමාලියැද්ද සහ කන්දකැටිය යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල, ග්ලයිපොසේට්, ප්‍රොපනිල්, කැබරිල්, ප්ලෝරොෆයිරිපෝස් සහ කාබොෆියුරාන් යන කෘෂි රසයන වර්ග භාවිතය, විකිණීම සහ විකිණීමට ඉදිරිපත් කිරීම තහනම් කර ඇති බවයි. පළිබෝධ නාශක රෙජිස්ටාර් ආචාර්ය ජී. ඒ. ඩබ්ලිව්. විජේසේකර මහතා ගැසට් නිවේදනය නිකුත්කර තිබුණේ, 1980 අංක 33 දරන පළිබෝධ නාශක පාලනය කිරීමේ පනත අනුවය.
ගැසට් නිවේදනයෙහි සඳහන් දිස්ත‍්‍රික්ක සහ ප‍්‍රදේශ සියල්ලම, මාරාන්තික නිදන්ගත වකුගඩු රෝගයට ගොදුරුවූ ප‍්‍රදේශ වේ. ආණ්ඩුව කියන්නේ එම ප‍්‍රදේශවල නිදන්ගත වකුගඩු රෝගය තවදුරටත් පැතිරයාම පාලනය කිරීමේ අරමුණින් ග්ලයිපොසේට් තහනම් කළ බවය.


 


වකුගඩු රෝගයට බිළිවූ ප‍්‍රදේශවල හෝ ග්ලයිපොසේට් තහනම් කිරීම ඉතා හොඳ දෙයකි. එහෙත් ඉන් මාරාන්තික නිදන්ගත වකුගඩු රෝගයට බලපාන හේතු කාරණා හමාර නොවේ. කෘෂිකාර්මික ප‍්‍රදේශ කිහිපයක පමණක් ග්ලයිපොසේට් තහනම් කිරීම අසම්පූර්ණ ක‍්‍රියාදාමයක් වීම, ඊට හේතුවයි.
ආණ්ඩුව පාර්ශ්වයෙන් කියන හැටියට, ප‍්‍රදේශ කිහිපයක පමණක් ග්ලයිපොසේට් තහනම් කර ඇත්තේ, තේ වගාව බේරා ගැනීමටය. ඒ තේ වගාවේ වල් මර්දනයට ග්ලයිපොසේට් භාවිත කරන බැවිනි. එහිදී ග්ලයිපොසේට් පහළ මිටියාවත්වලට ගලා එයි. මේ අතර තහනම බලනොපාන අනෙකුත් වියළි කලාපීය දිස්ත‍්‍රික්ක ගණනාවක කුඹුරු හෙක්ටයාර් ලක්‍ෂ ගණනකටද වල් මර්දන කටයුතු සඳහා ග්ලයිපොසේට් භාවිත වෙයි. කෙටියෙන් කියන්නේ නම් මින් ගම්‍ය වන්නේ මුළු රට පුරාම කෘෂිකාර්මික කටයුතුවලදී ග්ලයිපොසේට් භාවිත කරන බවයි. එසේ නම් ආණ්ඩුව ගෙනා තහනම ඉතා සොච්චම් විසඳුමක් බවට පත්වේ.

දැන් රටේ වියළි කලාපීය කුඹුරුවලද ග්ලයිපොසේට් මාරයා සැඟවී සිටිති. පෙනුමින් සුන්දර වුවද තේ පඳුරු යටද ග්ලයිපොසේට් මාරයා සැඟවී සිටිති.
ඉරුදින-2015/01/04.

No comments:

Post a Comment