නිරිත දිග මෝසමේ වස්සානය ගැන අලූත් කියැවීමක්
ගංවතුරත් එක්ක සහජීවනය
(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
‘වෙසක් එකට’ පින්බර සිතිවිලි ඇති
වුණාට, මැයි මාසය ගෙවිලා
යද්දි රටේ නිරිත දිග තෙත් කලාපය දුක් ගොඩක පැටලෙනවා. මහා ධාරාණිපාත වැහි
ඇවිත් පපු කැනතිවල ගිනි අවුලනවා. ඒ අතරේ හුඟ දෙනෙක්
සොයන්නේ ‘ස්කෝර් එක’ ගැනයි. මැරුණු ගාණ කීය ද?, අතුරුදන් වුණු ගාණ කීය
ද? කියලා ඔවුන් විමසනවා. පත්තර, ටී. වී. සහ රේඩියෝ අනුවේදනීය
සහ ත‍්‍රාසජනක වැසි විපත් තොරතුරුවලින් පිරී යනවා. ආණ්ඩුව මිනිස්සුත්
එක්ක හරිහරියට ආධාර එකතු කරන්නත් පටන් ගන්නවා. අන්තර්ජාල සමාජයේ පවා
ආධාර එකතු කෙරෙනවා.
‘ස්කෝර් එක’ විමසීමේ සහ ‘ආධාර එකතු කිරීමේ’ සිතිවිල්ලෙන් ටිකක්
බැහැර වෙලා, මැයි මාසයේ ගැටලූව ගැන වෙනස් විදිහේ ලියැවිල්ලක් පාඨකයන්ට
ඔප්පු කරන්න ලියුම්කරු උත්සාහ කරනවා.
සෑම අවුරුද්දකම මැයි මාසය ආශ‍්‍රිතව ලංකාවේ ‘නිරිත දිග මෝසම්’ ක‍්‍රියාදාමය සාහසික
ලෙස ‘සක‍්‍රිය වන බව’ කවුරුත් දන්නා කාරණයක්. එයින් පතිත වන මහ වැසි, රටේ නිරිත දිග තෙත්
කලාපීය ප‍්‍රදේශවලට වේගයෙන් දියවර ගෙන එනවා. මේක අනාදිමත් කාලයක
පටන්ම සිදු වෙන දෙයක්. බස්නාහිර, සබරගමුව, සහ දකුණ යන පළාත්, රටේ නිරිත දිග තෙත් කලාපීය ප‍්‍රදේශවලට අයිතියි. සාහසිකව පොළොවට කඩා
වැදුණත්, ‘යල’ කන්නයේ වී ගොවිතැනට
දියවර පොවන්නට මේ වස්සානය වෙහෙස වෙන හැටි අපූරුයි!
ගම්පහ, කළුතර, කොළඹ, කෑගල්ල, රත්නපුර, ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ මෙන්ම, බදුල්ල දිස්ත‍්‍රික්කයේ
කොටසකුත් නිරිත දිග තෙත් කලාපයේ මහා වැසි ලැබෙන ඉසව්වට හසු වෙනවා. එය ‘මහා ගංගා’ මෙන්ම ‘කුඩා ගංගා’ ද රාශියකින් සමන්විතයි. අප‍්‍රියෙල් මාසයේ මැද
හරියේ පටන්ම, නිරිත දිග මෝසම්
වැස්සෙන් වැටෙන අති විශාල ජලස්කන්ධය මුහුදට ගෙන යාම, ඒවායෙහි අනලස් කාර්්‍යභාරයයි!
කැලණි, කළු, ගිං, නිල්වලා, වැනි මහා ගංගාවන් ද, දඬුගම් ඔය, අත්තනගලූ ඔය, දියවන්නාව, බොල්ගොඩ ගඟ, බෙන්තර ගඟ, මාදු ගඟ, කොග්ගල ඔය, පොල්අතු ගඟ, කිරම ඔය, ඌරුබොක්ක ඔය, සහ වලවේ ගඟ ද අනාදිමත් කාලයක් මුළුල්ලේ මැයි මාසයේ
පුළුල් වස්සානයට හසු වෙනවා. නිරිත දිග මෝසමේ දී
කැලණි, කළු, ගිං, සහ නිල්වලා, වැනි මහා ගංගාවන්
සුවිශේෂයි. ඒවායෙහි අහිංසක පහත් නිම්නවල වෙසෙන විශාල ජන
පිරිසක් ගංවතුරට සහ නායයාම්වලට ගොදුරු වීම ඊට හේතුවයි.
වර්තමානයෙහි ගිං ගඟ පහළ නිම්නයේ විසුව ද, ලියුම්කරු කළු ගඟ ඉහළ
නිම්නයට වන්නට පිහිටි කිරිඇල්ල ගමේ ඉපිද, එහි හැදී වැඩුණු කෙනෙක්. ඉතින් ගංවතුර සමීප මිත‍්‍රයෙක්
වාගෙයි!
නිරිත දිග වස්සානයට සම්බන්ධ ප‍්‍රකට ‘ජන කියමන්’ දෙකක්, කළු ගඟ ඉහළ නිම්නයේ දී, එනම් රත්නපුරයේ
දී හමු වෙනවා. ඉන් එකක් වන්නේ, ‘සිරීපාද අඩවියේ ඉතින්
වඳුරෝ පැන්නත් පහළට ගංවතුර එනවා’ කියන කතාවයි. අනෙක, ‘සිංහල අවුරුද්ද පහු
වෙලා හතළිස් පස් දවසෙන් ගංවතුරක් එනවා’ කියන මති මතාන්තරයයි. ඒක අනිවාර්්‍යයෙන්ම
ගලනවා. පොඩියට හරි ගංවතුරක් එනවා. ඒකට කියන්නෙත් ‘හතළිස් පස් දවසේ වතුර’ කියලයි! ඉකුත් සතිය අග භාගයේ
රත්නපුරයට ආවේත් ‘හතළිස් පස් දවසේ වතුර’ කියලා සිතන අය එමටයි. ඊට අමතරව වසරේ තවත්
අවස්ථා රාශියක දී කළු ගඟ නිම්නයට ගංවතුර ගලනවා. ‘දීපවාලී’ උත්සව දිනය ආසන්නයේ එන
ගංවතුර, හඳුන්වන්නේ ‘සීවාලි’ හෝ ‘තීවාලි’ වතුර නමින්. කළු ගඟ නිම්නයේ දී ‘වතුර’ හෝ ‘වතුරක්’ යනුවෙන් හඳුන් වන්නේ ද
ගංවතුර තත්ත්වයක් ඇති වීමයි. වැසි එනවා. ඇල-දොළ පිටාර ගලනවා. කළු ගඟ උතුරනවා. ගංවතුර ගලනවා. ආපසු බැහැලා යනවා. ඒක ජන ජීවිතේම කොටසක්
මිස, අලූත් දෙයකුත් නොවෙයි.
ගංවතුර ගැන පැරණි ජන දැනුම
ගංවතුර ගැන යෙදෙන ජන කියමන් දෙක හුඟක් වැදගත්. නිරිත දිග වස්සානය
දුරදිග ගියොත් ඇති වන ජලගැල්ම සම්බන්ධයෙන් පැරණි මිනිසුන්ගේ දැනුම අපූර්ව එකක් බව
එයින් පෙන්නුම් කෙරෙනවා. අනෙක, කළු ගෙඟ් ජල බැස්මෙහි ‘වේගය’ සහ ‘තීව්රතාවය’ ශ‍්‍රීපාද අඩවියේ සිහිලස් ජල පෝෂක වනගොමු තුරුලේ තීන්දු
වන බවත් එයින් කියැවෙනවා. පැරණි මිනිසුන්ට
තිබුණු මේ අවබෝධය, අනාදිමත් කාලයක්
මුළුල්ලේ මැයි මාසයේ එන වැසි විපත්වලින් මිදීමට උපකාරී වෙන්න ඇති!
බොහෝ කාලයක පටන්ම කළු ගඟ නිම්නයට ගංවතුර ආවා තමයි. මිනිසුන්ට ඒ හැටි
අරෝවක් තිබුණේ නෑ. සිරීපාද අඩවියේ වඳුරෝ පනින කාලේ ගැමියන්ට
රහසක් නෙවෙයි. වැහි කාලේ ළං වෙනකොට මිනිස්සු ‘ඔරු-අඟුල්’ පිළියම් කරනවා. ඔරු බඳ දිරලා, හිල් හැදිලා, වතුර කාන්දු වෙනවා නම්, දුම්මල සහ කොහොල්ලෑ
එකට උණුකරලා වක්කරනවා. දිරා ගිය කොටස් නියනෙන් හාරලා, ලීයෙන්ම ‘ඇබ’ ගහනවා. ‘ඔරු පත්තාර’ දිරලා නම් අලූත්
දණ්ඩියං, අලූත් ලෑලි දාලා සකස් කරනවා. සමහරු අලූතින් ඔරු
කොටවනවා. ගංවතුරෙන් යට වෙන තැන්වල ගෙවල් හැදුවේ
අත්තිවාරම් හුඟක් උස්සලයි. ඒ වගේම උඩ තට්ටුවකුත්
හදනවා. නැතිනම් හොඳ සොල්දරයක් හදනවා. වතුර ගලා ගෙන එනකොට, පාවෙලා යන්න ඉඩ තියෙන
මේස, පුටු බැඳලා දානවා. වහල අබලන් නම් ඒවා
පිළිසකර කරනවා. ගංවතුර ගැලූවාම උඩු මහලේ හරි, සොල්දරේ හරි ඉන්න
පුළුවන්. ඔරුව තියෙන හින්දා බයකුත් නෑ. හැබැයි සර්පයන් ගෙන්
නම් පරිස්සම් වෙන්න ඕනෑ.
ගම්වල ගෑනු-පිරිමි කාටත් පාහේ පීනන්න පුළුවන්. ඔරු පදින්නත් පුළුවන්. ළමයිනුත් වෙල් යායවල අඩු වතුරේ කෙසෙල් කොට පහුරු
පැදලා, ඔරු පැදීමත් පිහිනීමත්
ඉගෙන ගන්නවා. ඉතින් දියේ ගිලීමෙන් අනතුරු වෙන්නේ නැති
තරම්! කොටින්ම ගංවතුර කාලෙට හාමුදුරුවරු පවා ඔරු
පැද ගෙන යනවා. පෝයකටවත් පන්සලකට
යන්නෙ නැති සමහරු ගංවතුර කාලෙට ඔරු පැද ගෙන පන්සල් යන්න කැමතියි. ගමේ හැම දෙනාටමත් හොඳ
ඔරු අඟුල් තිබුණේ නෑ. හුඟ දෙනෙකුට තිබුණේ තනි ඔරුවකට ලී කොට
කෑල්ලක් හරි කෙසෙල් කොටයක් හරි අමුණපු ‘කොල්ලෑ ඔරු’. වැඩිහිටියෝ තියෙන කෙනෙක් ගෙන් ඔරුවක් ඉල්ලා
ගෙන තමන්ගෙ දරු මල්ලන් ඔරු පද්දනවා. ළමයිනුත් ඉතින් ඔරු
පැද්දෙව්වෙ නැතිනම් අඬලා,
හැපිලා, බෙරිහන් දීලා, යම යුද්ධයක් කරනවා.
ගංවතුර ගැලූවාම දවස් දෙක තුනක් හොඳට අව්ව වැටිලා පායනවා. වෙල් යායාවල් පේන්නවත්
නෑ. ඇස් මානෙට එකම ගංවතුර පදාසයයි. ගංවතුරේ විපත කොයි හැටි
වුණත් ඔරු පදින්න ආසත් එක්ක. රාත‍්‍රියට ගංවතුරේ ජල
තලාව දෙසින් ලස්සන සින්දු ඇහෙනවා. ‘ඩොල්කි නාද’ සින්දුවට අත්වැල අල්ලනවා. ‘එච්. ආර්. ජෝතිපාල’, ‘මිල්ටන් පෙරේරා’, ‘එම්. එස්. ප‍්‍රනාන්දු’ වගේ අය නැතිවම බෑ. ‘ඩොල්කි’ නැති අය, ඔරු බඳට තට්ටු දාලා
තාල තරංග අල්ලනවා. ජල තලාව දෙසින් ඇසෙන ඉමිහිරි රාත‍්‍රී නාද
මාලාවලට ‘ගමේ මීවිතක’ පහසකුත් ලැබිලා වගේ! සමහර ගෙවල් වතුරෙන් යට
වෙලා. සමහර අය කඳුවලට කොටු වෙලා. පාරවල් තොටවල් යට වෙලා. යන්ඩ එන්ඩ තැනක් නෑ. ඒත් රාත‍්‍රියට විනෝද
වෙන්න පරහක් නෑ!
ඔය විදිහට පරණ මිනිස්සු ගංවතුරත් එක්ක සාමදානෙන්
සහජීවනෙන් ජීවත් වුණා. කළු ගඟ නිම්නයේ බොහොමයක් පහත් බිම්වල, අත්තිවාරම් උස්සා හැදූ සොල්දර සහිත ගෙවල්, ඔරු-අඟුල් තවමත් දැකිය
හැකියි. රත්නපුරේ, ගඟ අද්දර පාර, දෙමුවාවත පාර, ගොඩිගමුව, මුද්දුව, මහ සමන් දේවාලය අසල, කහංගම සහ ඇලපාත පැත්තෙත් ඒවා දකින්න පුළුවන්. ගොරකඇල-තෙප්පනාව පැත්තේත්, කිරිඇල්ලේ ගලතුරේ
පැත්තේත් ඒවා දකින්න පුළුවන්. ඒක ආපදා කළමනාකරණ
පාඩමක් වාගෙ!
ඔරුවෙන් ගමන් යාම, ගංවතුර කාලෙට ඉතිරි වෙන එකම ප‍්‍රවාහන මාධ්‍යයයි. ගංවතුර කාලෙට ඔරු
අයිති උදවිය ‘කාර්කාරයන්ටත්’ වඩා ගණං උස්සන බව කළු
ගඟ නිම්නයේ ප‍්‍රකට ජන ව්‍යවහාරයක්. පානදුරේ සිට ඇදෙන
රත්නපුරා පාර, ඉංගිරියේ නම්බාපානෙන්
යට වෙනවා. කිරිඇල්ලෙන් යට වෙනවා. තුන්අඳහේන, ගොරකඇල, කහංගම සහ සමන් දෙවාලේගාව ආදී තැන් බොහෙමයකින්ම යට
වෙනවා. බස් ඇතුළු රථ වාහන ගමන් නවතිනවා. ඉතින් ‘මගී ප‍්‍රවාහන ඔරු
සේවාවට’ ලොකු ඉල්ලූමක් ඇති
වෙනවා. සමහරු ඔරුවෙන් මිනිස්සු එගොඩ මෙගොඩ කරලා
පුංචි හැන්දෑ ‘මීවිතකට’ ගානක් සොයා ගන්නවා! ඇතැම් කෙනෙක් ගංවතුරේ
අයිනකට වෙලා මාළු බානවා. පෙතියෝ තමයි වැඩියෙන්ම
අහු වෙන්නේ.
ග‍්‍රාම සේවක මහත්තරු ඇවිත් බේකරි අරවලා, පාන් හදවනවා. පාන් බෙදනවා. බත් පාර්සල් බෙදනවා. මහ පාරවල් යට වෙන
තැන්වල ‘ආණ්ඩුවේ ඔරු අඟුල්’ තැන්පත් කරලා තිබුණා. ග‍්‍රාම සේවක මහත්තුරු
ඔරු පදින්න සුදුසු පළපුරුදු කට්ටිය සොයලා, ඒවා මහජන සේවයට යොදවනවා. ඒ වැඬේට රත්නපුරේ
කච්චේරියෙන් කුලී මුදලකුත් ලැබෙනවා. ඇතැම් මැණික් ව්‍යාපාරිකයන්
ලොරි ගණන් ආධාර බෙදනවා. වතුරෙන් යට වුණයි
කියලා කාටවත් ගැටලූවක් වෙන්න දෙන්නේ නෑ.
2003 වසරේ වෙනස්වීම
ඒත් 2003 වසරේ මැයි මාසේ ඉඳලා සියල්ල වෙනස් වුණා. නිරිත දිග වස්සානයට
හසුවන ඉසව්වට උණු කඳුළු එක් කරමින් මිනිසුන් 504 දෙනෙක් මියෑදුණා. මහ වැහි වැහැලා, ගංවතුර ගලලා,
කළු ගඟ නිම්නයේත් ගැටවර කඳු කීපයක්ම නාය යමින් මිනිස්
දඩයමේ ගියා. ගණන් හිලව් කොහොම
වුණත් මෙදා පාරත් එහෙමයි. මිනිස්සු වැඩිපුරම
මියගියේ දියේ ගිලිලා නෙවෙයි. නායයාම්වලට හසුවෙලයි.
අතීත ව්‍යවහාරයේ හැටියට, කළු ගඟ කියන්නේ ‘කාල නදී’. එය ඇරඹෙන්නේ ශ‍්‍රීපාද
අඩවියේ ඉඳිකටුපාන ඉසව්වෙන්. ගංගාව කිලෝමීටර් 129ක් දිගයි. ජල ධාරා ප‍්‍රදේශය
වර්ග කිලෝමීටර්-2720 ක්. ගංගාව රත්නපුර සහ
කළුතර යන දිස්ත‍්‍රික්ක ඔස්සේ ගමන්කර, කළුතරින් මුහුදට
ගලා බසිනවා. ඒ අතරතුර ප‍්‍රධාන පෙළේ අතු ගංගා 12ක පෝෂණය ලබනවා. රත්නපුර නගරය අසලින්
එකතු වන ‘වේ ගඟත්, පහළින් එකතු වන ‘කුරු ගඟත්’, ‘කුකුලේ ගඟත්’ අතු ගංගා අතර ප‍්‍රධානයි. වාර්ෂිකව ඝන මීටර්-මිලියන- 8183ක ජලස්කන්ධයක් කළු ගඟ
ඔස්සේ මුුහුදට ගලා බසිනවා.
රත්නපුර නගරය අයත් වන්නේ කළු ගඟ ඉහළ නිම්නයටයි. එය පිහිටලා තිබෙන්නේ
ගංගාවේ සුවිසල් ‘වකයක්’ එහෙම නැතිනම් ‘වංගුවක්’ මැදයි. එතැනින් පහළට ගෙඟ් ගමන
දඟරාකාරයි. ඉතින් වස්සාන කාලෙට ‘වකය’ කෙලින් වෙලා ගංගාව
නගරය මැදින් ගලා බසින්න ගන්නවා. රත්නපුරේ මිනිස්සු
ගංවතුර මනින්නේ ඔර්ලෝසු කණුවෙන්. මෙදා පාරත් ඔර්ලෝසු
කණුවේ අඩි හතක් විතර වතුරෙන් යට වෙලා ගිහින්. ඒ කියන්නේ මුළු නගරයම
ගංවතුරේ ගිලිලා ගිහින්! ගංගාව මුහුදට වැටෙන්නේ
කළුතර නගරය සමීපයෙන්. රත්නපුරයත්, කළුතර නගරයත් අතර වැඩි උස පරතරයක් නෑ. ඉතින් වංගුවෙන් වංගුව, දඟරයෙන් දඟරය තැග්
ගැහි ගැහී බොහොම හෙමින් ගලා බසින්න ගංගාවට සිදු වෙනවා. මුළු නිම්නයටම ගංවතුර
අල්ලන්න ඒ කාරණය බලපානවා.
ගංගාව ඉහළ නිම්නයේ පිහිටි රත්නපුර දිස්ත‍්‍රික්කය වර්ග
කිලෝමීටර් 3275ක් විශාලයි. එහි 10,82,277ක ජනගහනයක් ජීවත්
වෙනවා. වර්ග කිලෝමීටරයකට වැටෙන ජන සංඛ්‍යාව 334ක්. ගංගාව පහළ නිම්නයේ
පිහිටි කළුතර දිස්ත‍්‍රික්කය වර්ග කිලෝමීටර් 1606ක් විශාලයි. එහි 12,17,260ක ජනගහනයක් ජීවත් වෙනවා. වර්ග කිලෝමීටරයකට
වැටෙන ජන සංඛ්‍යාව 644ක්. සෑම වර්ෂයකම ගංවතුරෙන්
ඔවුන් විඳින පීඩාව අති මහත්! සහන කටයුතු සඳහා ද අති
විශාල ධනස්කන්ධයක් වැය කෙරෙනවා. ගැටවර මෙන්ම වියපත් කඳු
පවා මිනිස් දඩයමේ යාම බිහිසුණුයි!
නිරිත දිග ගැටලූ
මැයි මාසයේ එන නිරිත දිග වස්සානය රටට රහසක් නෙවෙයි. ඒත් වර්තමාන ජන සමාජය, පැරැන්නන් වාගේ මැයි
මාසය ළං වෙනකොට සූදානම් වෙන බවක් පේන්න නෑ. ඉතින් වර්තමානයේ නිරිත
දිග වස්සාන කාලය ගැන නිසැකවම ගැටලූ රාශියක් මතු වෙනවා!
x ඇයි අපිට නිරිත දිග
වස්සානයට හසුවන කලාපයේ ගංගා මෝය ටික, කල් තියා යම් ප‍්‍රමාණයකට හාරා ශුද්ධ කරන්න බැරි?,
x ඇයි අපට ගංගා සහ
අනෙකුත් ඇල මාර්ගවල අවහිරතා කල් තියා ඉවත් කරලා සකස් කරන්න බැරි?
x ජල අවදානමට ලක් වෙන
ජනාවාස ගැන සිතියම් හදලා,
ඇයි අපට ඒ තැන් ආශ‍්‍රිතව කල්තියා ඔරු-බෝට්ටු රඳවන්න බැරි?
x ඒ වාගේම, නාය යන බවට ඇඟවීම්
තියෙන ගම්වල මිනිස්සුන්ට,
හදිසියක දී ඉවත් වෙන්න තැන් හදලා තියන්න ඇයි අපට බැරි?,
x අඩු ගණනේ, නාය යාමේ තර්ජන තියෙන
ප‍්‍රදේශවල මහජනයා වසරින් වසර-අදියරෙන් අදියර වෙනත් ඉඩම්වල පදිංචි කරවන්න
බැරි ඇයි?,
x කල්තියා පෙන්නුම්
කෙරෙන නාය යාමේ ඉඟි ගැන ඔවුන් කල්තියා දැනුවත් කරන්න බැරි ඇයි?
x නාය යාමේ තර්ජන තියෙන
ප‍්‍රදේශවලට හදිසියක දී ළඟා වෙන ආකාරය ගැන, කල්තියා යම් වැඩ පිළිවෙලක්, (විකල්ප මාර්ගයක් වැනි) හදන්න බැරි ඇයි?
ගඟ අවහිර වීමේ අවදානම
කළු ගඟ නිම්නය සම්බන්ධයෙන් තවත් බරපතල අනතුරුදායක
තත්ත්වයක් තියෙනවා. එනම් රත්නපුර නගරය ආශ‍්‍රිතව, කළු ගඟට සමීපව, ගඟ දෙපස පිහිටි කුඩා කඳු
නාය ගොස්, හදිසියේ ගඟ අවහිර
වන්නට ඉඩ තිබීමයි! රත්නපුර, පර්ගියුෂන් විද්‍යාලය පිහිටි කන්දේ ගඟ දක්වා බෑවුම් ප‍්‍රදේශය, රත්නපුර, මහ රෝහල් කන්දේ ගඟ
දක්වා ගල්කඩුව බෑවුම් ප‍්‍රදේශය, සමගිපුරය සහ මුවගංකන්ද මේවා අතර ප‍්‍රධානයි. රත්නපුරයට මදක්
එපිටින් හොලීපිටිය සහ ඇල්ලගාව පාලම ආශ‍්‍රිතව ද මෙබඳු අනතුරුදායක කඳු දකින්නට
පුළුවන්. ඉන් බොහොමයක් අතිශය ජනාකීර්ණයි.
අප මිත‍්‍ර හේමන්ත අබේවර්ධන මහතා, ගොවි සංවිධාන ක්ෂේත‍්‍රයේ
ක‍්‍රියාකාරිකයෙක්. දැනට රත්නපුරයේ පදිංචිව සිටින ඔහු මෙවර
රත්නපුරයේ සහන කටයුතුවල නියැලී සිටියා.
‘ඔය කඳු හදිසියේ නාය
ගිහින් කළු ගඟ අවහිර වුණොත් මොනවා වෙනවා ද කියා සිතා ගන්නටත් බැරි වෙනවා. එහෙම වුණොත් කා වැටුණු
පස් කඳු පුපුරුවා හැරලා ගඟ බස්සන්න වේවි. රත්නපුරේ කොහේහරි තැනක
ඒ වගේ දේකට සූදානමක් තියේ ද?, පුපුරන ද්‍රව්‍ය ගබඩා කරලා තියෙනවා ද? කියලා මම නම් දන්නේ නෑ’, ඔහු කියනවා.
අඩු ගණනේ රත්නපුරේ පරණ මිනිස්සුන්ගේ ‘පෙර සූදානම’ අධ්‍යනය කරලා හරි, විපත්ති සහගත
තත්ත්වෙන් ගොඩ යන්න පුළුවන් නම් හොඳයි!
2017/05/29.
-ඉරිදා ලක්බිම-2017.06.04
No comments:
Post a Comment