අනුරාධපුර යුගයේ
මහා වෙළෙඳ නගරය හෙවත්
මහා වෙළෙඳ නගරය හෙවත්
වර්තමානයට මතුකර නො ගත්
රට සල්ලි උල්පත
රට සල්ලි උල්පත
අතීත මහාතිත්ථයට එබී බැලීමක්
(ඡායාරූප-ප‍්‍රෑන්ක් ද සොයිසා)
අපි, ඉපැරණි තිරුකේදීෂ්වරන් මහා කෝවිල් පරිශ‍්‍රයට නුදුරින්
වැටුණු කුඩා මාවතක අවිද ගෙන ගියෙමු. අලූත හැදූ ගෙවල් දොරවල් අතරින්
ගමන් කළ අපට කැලෑ පඳුරු අතරින් කිසියම් ඇල මාර්ගයක් බඳු දොරොව්වක් හමු විය. එය අතිශයින්ම පුළුල් ය.
‘ ඕක තමයි වරායේ මහ දිය අගල. මාන්තායි වරායට ඔය වාගේ දිය අගල් දෙකක් තිබිලා තියෙනවා. දැන් ඒවා වල්බිහි වෙලා, සමහරක් ජනාවාස වෙලා’, නිමල් මහත්තයා කීවේ ය. ඔහුගේ කටහෙඬේ මුසුව තිබුණේ සංවේග ස්වරයකි!
‘අර පැත්තේ කෑලෑව තියෙන හරියේ තමයි කැනීම් වලවල් දාලා තිබුණේ’, එළිමහනට පැමිණි අපට තවත් ඉසව්වක් පෙන්වමින් ඔහු පැවසී ය.
පාඨක මිත‍්‍රවරුණි, මෙය පරණ කතාවකි. මන්නාරමේ තිරුකේදීශ්වරන් පැරණි කෝවිල් පරිශ‍්‍රය අසලින් අතීතයට ඇවිද, ඉපැරණි ‘මාන්තායි’ හෙවත් ‘මහාතිත්ථ වරාය’ සොයා අප චාරිකා කළේ වර්ෂ 2011 ජූනි මාසයේ ය. ‘අපි’ යයි කීවේ, ලියුම්කරු,
ඡායාරූප ශිල්පී ෆ‍්‍රෑන්ක් ද සොයිසා, ජානක ලියනාරච්චි, සහ වවුනියාවේ සනත් ප‍්‍රියන්ත ඇතුළු අපේ නඩයට ය. එවකට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා මහතා ඇතුළු පුරාවිද්‍යා නිලධාරීන් කිහිප දෙනෙක් ද මන්නාරමේ දී අහම්බෙන් හමුවී අපට එකතුව උන්හ.
අපි කැලැවේ සැරිසැරුවෙමු. අදින් වසර 2200කට පමණ ඉහත දකුණු ආසියාවේ පැවති ‘මහා වාණිජ වරාය’ සහ ‘වෙළෙඳ නගරය’ පිහිටි භූමිය, එක් පැත්තකින් වන රොදින් ද, අනෙක් පැත්තෙන් ඉපැරණි තිරුකේදීශ්වරන් හින්දු කෝවිල සමීපයේ ජනාවාස බිම් තීරුවෙන් ද වැසී, වල්බිහිව තිබුණේ ය. අතීත ‘මහාතිත්ථ වරාය නගරය’ සහ ‘ජාත්‍යන්තර වරාය පරිශ‍්‍රය’ දැන් පොළොවෙන්, පසින් වැසී ගොසිනි. එකල එහි පැමිණි මහේශාක්‍ය චීන, රෝම, ග‍්‍රීක, අරාබි සහ ඉන්දීය වෙළෙඳුන් විසින් ඉතිරිකර ගිය සලකුණු මිස, දැන් එහි නිසිදු නාවිකයෙක් දකින්නට නැත්තේ ය!
මහාචාර්ය ඉන්ද්‍රකීර්ති සිරිවීර සූරීහු සිය ‘රජරට ශිෂ්ටාචාරය සහ නිරිතදිග රාජධානි’ නම් අගනා ග‍්‍රන්ථයෙහි ඉපැරණි මාන්තායි නගරය ගැන කදිම තොරතුරක් ගෙනහැර දක්වති. එය මහාතිත්ථයෙන් හමුවූ සෙල් ලිපියක එන පුවතකි. එකල ‘තේවන්’ නම් තැනැත්තෙක්, තිරුකේදීශ්වරන් කෝවිල අසල නගරයෙහි වීදි පහනක් දැල්වීම පිණිස බරපැන දැරූ බව එයින් කියැවේ. ඒ සඳහා වන මුදල්, එහි ‘වෙළෙඳ ශ්‍රේණියක’ (වෙළෙඳ සමාගමක) තැන්පත් කළ බව සෙල් ලිපියෙන් හෙළිවෙතියි සිරිවීරයෝ පවසති.
තිරුකේදීශ්වරන් හින්දු කෝවිල නම් අදත් එලෙසින්ම දැකගත හැකි ය. එහි එන බැතිමත්හු සුපුරුදු ලෙසින් පහන් දල්වති. එහෙත් දැන් ‘මහාතිත්ථ නගරයේ’ වීදි පහන් දල්වන්නට එන කෙනෙක් වෙත් ද? වර්තමාන මහාතිත්ථය, අතීත සමෘද්ධිමත් සමයකින් ශේෂවූ අපැහැදිලි කටු සටහනක් වැන්න!
මහාතිත්ථය සම්බන්ධයෙන් ලියුම්කරුගේ ‘චාරිකා මතකය’ පැරණි එකක් බව ඇත්ත ය. එහෙත් ඒ ගැන සටහනක් තබන්නට සිත් දුන්නේ, වරින්වර අන්තර්ජාලයෙන් දකින එක්තරා පින්තූරයක් නිසා ය. ලංකාවේ අපට කෙසේ වෙතත්, එය ලෝකයට නම් ටිකක් පරණ එකකි. එසේ වුව ද එයින් මතු කෙරෙන කාරණය ගැන කතා කිරීම අද දවසේත් ලාංකිකයන්ට වැදගත් වන නිසා මේ සටහන ලියන්නෙමි. එය අනෙකක් නොව, ‘මහාතිත්ථය’ සම්බන්ධයෙන් ලියැවුණු එකම පර්යේෂණ ග‍්‍රන්ථයේ කවරයේ පින්තූරයයි. ග‍්‍රන්ථයේ නම, ‘Mantai-City by the sea’ ය.
පෞරාණික ‘මහාතිත්ථ වරාය පරිශ‍්‍රය’, පිහිටා තිබෙන්නේ, වර්තමාන මන්නාරම නගරයට කිලෝමීටර් 06ක් පමණ ගිනිකොණ දෙසිනි. පැරණි බසින් ‘මහාතිත්ථය’ යන්නෙහි තේරුම, ‘මහා තීර්ථය’ හෙවත් ‘මහා තොටුපොළ’ යන්නයි. මන්නාරමේ සුප‍්‍රකට, ඉපැරණි තිරුකේදීශ්වරන් හින්දු කෝවිල පිහිටා ඇත්තේ ද ඉපැරණි වරාය භූමිය ආශ‍්‍රිතව ය. මන්නාරමේ ‘මහා තොටුපොළ’, එකල මහා වරායකි. එය රටේ වයඹ දිග මුහුදේ පිහිටි ප‍්‍රධාන වරාය ද විය.
‘ඒ කාලේ මේක තමයි දකුණු ආසියාවේ ලොකුම වාණිජ වරාය. ඒ වගේම මෙතැන ලොකු වෙළෙඳ නගරයකුත් තිබිල තියෙනවා’, ආචාර්ය නිමල් පෙරේරා මහතා පවසන්නේ අතීත සැමරුම් සැඟවුණු කැලෑ රොද මැද්දෙන් ඇවිද යන අතරතුර ය.
අපි කැලෑ පඳුරු පීරා ගෙන ඈතට ගියෙමු. ඒ ඉසව්ව, ගෙයක් දොරක්, මනුෂ්‍යයෙක් නැති පාළු පෙදෙසකි. මාන්තායි මහා භූමියේ එක් පැත්තකින් මන්නාරම් ගොඩබිම ය. අනෙක් පැත්තෙන්, කලපු පරිසරය සහ මුහුද ය. කලකට ඉහත නම් මේ ඉසව්ව කොටි යුද්ධයට නතුව පැවති බව, බංකර් සලකුණුවලින් පෙනෙයි.
තිරුකේදීශ්වරන් කෝවිල |
අතීත මහාතිත්ථය බෙහෙවින් සෞභාග්‍යවත් ය. එය එකල අනුරාධපුර රාජධානියේ ප‍්‍රධාන ජාත්‍යන්තර වරායයි. එසේම එය අනුරාධපුර නගරයේ ‘ජාත්‍යන්තර දොරටුව’ වශයෙන් ද පවතින්නට ඇත. විදෙස් වෙළෙඳ සම්පත් අනුරාධපුරයට ඇදී ආවේ ද, පිටරටවලට යවන බඩු-භාණ්ඩ ලංකාවෙන් එතෙර වූයේ ද මහාතිත්ථයෙනි. ඉතිහාසඥයන් පවසන අන්දමට, මහාතිත්ථය නාවික ගමන් අරභයා මුලින්ම අත් පොත් තබා ඇත්තේ ඉන්දියාව සමග සබඳතා පැවැත්වීමෙනි. ක‍්‍රි. පූ. 07-08 යන සියවස්වල පවා මන්නාරම් මුහුදු බොක්කට ඉන්දීය වෙළෙඳ සබඳතා පැවති බව ඉතිහාසඥයන්ගේ විශ්වාසයයි. ඉන්දීය වෙරළාසන්න තොටුපොළවල සිට පැමිණි යාත‍්‍රා ක‍්‍රම ක‍්‍රමයෙන් මන්නාරම් බොක්ක ‘මහා තීර්ථයක්’ හෙවත් ‘මහා තොටුපොළක්’ බවට පත් කරන්නට ඇත. හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල මහතාගේ ප‍්‍රධානත්වයෙන් අනුරාධපුරයේ ඇතුළුනුවර කළ කැණීම් අනුව, ක‍්‍රි. පූ. 09 වැනි සියවසේ දී පවා අනුරාධපුරය නගරයක් මෙන්ම කිසියම් ආකාරයක පාලන කේන්ද්‍රස්ථානයක් ද වූ බව හෙළි විය. එකල එයට ඉන්දීය වෙළෙඳ සම්බන්ධතා ද පැවති බව ඉන් අනාවරණය කෙරිණි. ඇතැම් විට ඉන්දීය සබඳතාවයන්, මල්වතු ඔය මෝය ආශ‍්‍රිතව හෝ මන්නාරම් බොක්ක ආශ‍්‍රිත තොටුපොළකින් පැමිණියා වන්නට ද පුළුවන! ඒ කෙසේ වෙතත්, මහාතිත්ථය විධිමත් වෙළෙඳ වරායක් වශයෙන් වැඩ කටයුතු අරඹන්නේ ක‍්‍රි. පූ. 02 වැනි සියවසේ දී පමණ ය. එනම් අදින් වසර 2200කට පමණ ඉහත දී ය.
මේ කාලය වන විට මහවැලි ගඟ මෝය ආශ‍්‍රිතව (කොඞ්ඩියාර් බොක්ක), වත්මන් ත‍්‍රිකුණාමලයේ ‘ගෝකණ්ණතිත්ථ’ වරාය (ක‍්‍රි. පූ. 06 වැනි සියවස) ද, රුහුණේ ‘ගොඩවාය වරාය’ (ක‍්‍රි. පූ. 04 වැනි සියවස) ද ඇරඹී තිබිණි. අනුරාධපුර නගරයට ඊසාන දිගින් ගෝකණ්ණතිත්ථය ද, වයඹ දිගින් මහාතිත්ථය ද පිහිටියේ ය. එබැවින් එතෙර මෙතෙර නාවික වෙළෙඳාම් අරභයා අනුරාධපුරයට ඉහළ වැදගත්කමක් ලැබිණි.
තවත් අතකින් විස්තර කළ හොත්, මහාතිත්ථ වරාය
පිහිටියේ ‘මල්වතු ඔය’ (අරුවි ආරු) හෙවත් ඉපැරණි ‘කාදම්බ නදී’ නිම්නයේ පහළ කොටසේ ය. එබැවින් එය නිරන්තරවම
අනුරාධපුරය සමග බැඳී පැවතිණි.
සෞභාග්‍යවත් අතීත මහාතිත්ථයට යස ඉසුරු ගෙන එමින් නෞකාවෝ, ප‍්‍රධාන මාර්ග දෙකක් ඔස්සේ පැමිණුනහ. ඉන් එකක් වූයේ, සේද රෙදි නිපැයෙන චීනයේ සිට ලංකාව සහ ඉන්දියාව ඔස්සේ මැද පෙරදිග දක්වා දිවෙන මුහුදු මාර්ගයයි. චීනයේ ‘කැන්ටන්’ නුවර සිට පැටවුණු සේද රෙදි තොග රැුගෙන එහි නිතරම යාත‍්‍රා කළේ, චීන නෞකාවන් ය. අනෙක් වෙළෙඳ නැව් මාර්ගය වූයේ, නැගෙනහිර ඉන්දියාවේ සිට මැද පෙරදිග ඔස්සේ යුරෝපයට කුළුබඩු ආදිය ප‍්‍රවාහනය කෙරුණු නාවික මාර්ගයයි. එහි වැඩිපුරම යාත‍්‍රා කළේ අරාබි නාවිකයෝ ය. අරාබි මුහුදේ නැව් ගමන්වල දී, ලංකාවේ ප‍්‍රධාන වරාය ලෙස සැලකුණේ මහාතිත්ථ වරායයි.
මුල් කාලයේ චීනයේ සේද රෙදි, ඉන්දියාව ඔස්සේ ගොඩබිම් මාර්ගවලින්, මැද පෙරදිග ඔස්සේ යුරෝපයට ප‍්‍රවාහනය කෙරුණේ ගැල් මගිනි. ඒ මාර්ගය එකල හඳුන්වනු ලැබුවේ ‘සේද මාර්ගය’ යනුවෙනි. පසුකාලීනව එය ‘සමුද්‍ර සේද මාර්ගය’ බවට පත් විය.
එකල සේද රෙදි, අශ්වයන්, කානේලියන් පබළු, ඇගේට් ආභරණ, මැටි බඳුන්, පෝසිලේන් භාණ්ඩ සහ මිදි යුෂ ආදිය එතෙරින් මහාතිත්ථයට ලැබිණි. මුතු-මැණික්, අලි ඇතුන්, කුළුබඩු, තඹ ලෝහ ආදිය මහාතිත්ථයෙන් එතෙරට යැවිණි. මහාතිත්ථය එකල ‘මහා වෙළෙඳ නගරයක්’ විය. එහි සිට අනුරාධපුරය දක්වා පුළුල් මාවතක් ද ඉදිවී තිබිණි. ක‍්‍රි. ව. 13 වැනි ශත වර්ෂය දක්වා ඉන්දීය වෙළෙන්දන් එහි පදිංචිව සිටියහ. අතීත මහාතිත්ථය, වර්තමාන තිරුකේදීශ්වරන් හින්දු කෝවිල් භූමිය ආශ‍්‍රිතව පොළොවේ වැළලී සිටින්නේ, ඒ සියලූ ඉතිහාස පුවත් ළයෙහි සඟවා ගනිමිනි.
(මතු සම්බන්ධයි.)
2017/05/23.
(මෙය 2017/05/28 ඉරිදා ලක්බිමෙහි පළ විය.)
(මෙය 2017/05/28 ඉරිදා ලක්බිමෙහි පළ විය.)
No comments:
Post a Comment