Total Pageviews

Saturday, June 3, 2017

අතීත මහාතිත්ථයට එබී බැලීමක්-02




මහාතිත්ථයයළි කැනීමට මේ සුදුසු කාලයයි!









(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
(යාරූප-ප‍්‍රෑන්ක් ද සොයිසා)
කැලෑ පඳුරු අතරින් නික්ම, මහාතිත්ථයේ ඉතිහාසය පුරාවට සැරිසැරීම විචිත‍්‍රවත් ය.

මේ තියෙන්නේ පැරණි දිය අගල්. මේක ඩබල් මෝත්’, ඒ කියන්නේ දිය අගල් දෙකකින් සුරක්ෂිත කරලා තිබුණු වරායක්. පිටත දිය අගල පළලයි. ඇතුළත දිය අගල පළලින් අඩුයි’, කැලෑව තුළ එක ළඟින් පිහිටි ඇලවල් බඳු ව්‍යුහයන් පෙන්වමින් නිමල් පෙරේරා මහතා කියයි.
මාතොට හෙවත් මහාතිත්ථ වරාය පරිශ‍්‍රය අරභයා ආචාර්ය නිමල් පෙරේරා මහතාට ඇත්තේ පැරණි නෑකමකි. මහාතිත්ථ භූමියේ වරින්වර කෙරුණු පුරාවිද්‍යා පර්යේෂණවලට සම්බන්ධ වීමෙන් නැකම හට ගෙන තිබේ!

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මාතොට භූමියෙහි ප‍්‍රථම කැණීම පවත්වා ඇත්තේ වර්ෂ 1977 වසරේ දී ය.

මම ඉස්සෙල්ලාම මෙහේ ආවෙ 1979 වසරෙදි’, ඔහු කියයි.

අතීත මහාතිත්ථ වරායේ සෞභාග්‍යවත් හැඩතල සොයා කළ දැවැන්ත පුරාවිද්‍යා කැණීම, ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් 1980 වසරේ දී ඇරඹිණි. එය සහයෝගිතා කැණීමකි.ඇමරිකාවේ චිකාගෝ විශ්වවිද්‍යාලය, ලන්ඩන් නුවර කෞතුකාගාරය, නිව්යෝක් නුවර මෙට්‍රොපොලිටන් කෞතුකාගාරය සහ නවදිල්ලි නුවර, පෝඞ් පදනම යන විදේශීය පර්යේෂණ ආයතන ද ඊට එක් වූහ. කැණීම මෙහෙයවූයේ ඇමරිකාවේ චිකාගෝ විශ්වවිද්‍යාලයේ ආචාර්ය ජෝන් කාස්වෙල්  මහතා ය. ඇමරිකාවේ හාවඞ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය මාර්තා ප‍්‍රිකට්, ඉන්දියානු පුරාවිද්‍යාඥ බී. කේ. තාපර්, මාක් කෙනෝයර්, පී. පී. ජොග්ලේකර්, පීටර් ප‍්‍රැන්සිස්, මහාචාර්ය එම්. ඞී. කජාලි, ආචාර්ය ගිලියන් ජුලෙෆ් යන විද්වතුන් ද, එවකට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උපදේශකවරයෙකු වූ ආචාර්ය සිරාන් දැරණියගල, සහකාර පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය එච්. ඩබ්ලිව්. විජයපාල, සත්ත්ව විද්‍යාඥ ආචාර්ය පී. බී. කරුණාරත්න  ඇතුළු විද්වතුන් රැසක් ද, සරසවි පහක සිසුන් ද කැනීමට සහ එයින් සොයා ගත් පුරාවස්තු විශ්ලේෂණයට එක් වූහ. වර්තමාන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක, හිටපු නියෝජ්‍ය පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා, මහාචාර්ය අනුර මනතුංග සහ සුමේද කරුණාරත්න යන මහත්වරු ද කැනීමට එක්වූ විද්වතුන් අතර වූහ. එය එදා මෙදාතුර ලංකාවේ සිදුවූ දැවැන්ත පුරාවිද්‍යා කැනීමකි.

මේක විශාල වරායක්. ඒ වරාය සාමාන්‍යයෙන් අශ්වලාඩමක හැඩයෙන් යුක්තයි’, නිමල් පෙරේරා මහතා කියයි!

මහාතිත්ථය එකල ගුදම්’ (නැව් බඩු ගබඩා) සහිත ජාත්‍යන්තර වරායකි. ජාත්‍යන්තර වෙළෙඳ භාණ්ඩ හුවමාරු මධ්‍යස්ථානයකි. කැණීම් පර්යේෂණයේ දී සොයා ගත් ආකාරයට වරාය පරිශ‍්‍රය පැවති භූමිය හෙක්ටයාර් 50 ද ඉක්මවයි. වරාය පිහිටි භූමිය දිය අගල් දෙකකින් සුරක්ෂිතකර තිබේ. වරාය ඇතුළත පිහිටි ගොඩනැගිලිවල අවශේෂ ද පර්යේෂකයන්ට හමු විය. වරායෙහි එක් ජැටියක් ද, එක් පිවිසුම් මාවතක මීටර් 200ක පමණ කොටසක් ද කැණීම්වලින් මතුකර ගැනුණි. පිවිසුම් මාවත මීටර් 2.4ක් පළල ය. එය ඉදිකර ඇත්තේ පිළිස්සූ ගඩොළු සහ බොරළු තට්ටු මත මුහුදු වැලි අතුරා සකස් කිරීමෙනි. මෙය වත්මනෙහි මහා මාර්ගවල තාරහෝ කාපට්ඇතිරීමකට සමාන ය!

කැණීමෙන් හමු වූ පුරාවස්තු අතර, ඉපැරණි රෝම, චීන සහ අනෙකුත් විදේශීය කාසි, චීන මැටි බඳුන් කැබලි, වීදුරු බඳුන් කැබලි, වීදුරු පබළු, කාර්නේලියන් පබළු ආදිය ද විය. ආභරණ සහ තඹ ලෝහ නිපැයු කම්හලක අවශේෂ ද එහි තිබිණි. කැණීම්වලින් හමුවී ඇති චීන මැටි බඳුන් කැබලි, ඔස්සේ චීන නාවිකයන්ගේ ආගමනය ද, රෝම සහ ඉන්දියානු කාසි මගින් යුරෝපීය නාවිකයන්ට තිබූ සම්බන්ධය ද පිළිබිඹු වීම, මහාතිත්ථයේ විශේෂත්වයයි.

 ආචාර්ය නිමල් පෙරේරා මහතා පවසන අන්දමට, වරාය තිබී ඇත්තේ දිය අගල් ආශ‍්‍රිතව ය.

ලොකු දිය අගලේ නැව් නවත්වන්නත්, ඒවා යාත‍්‍රා කරවන්නත් ඇති. දිය අගල් දෙක මේ භූමියේ බොහොම ඈතට විහිදෙනවා. පිවිසුම් මාර්ග, කුඩා යාත‍්‍රා ගමන් කරන ඇල මාර්ග තිබෙන්න ඇති. දිය අගල් දෙකෙන් වට වුණු ගොඩබිම් භූමිය අක්කර දෙ-තුන්සීයක්වත් විශාල බව පේනවා’, ඔහු කියන්නේ ය.

වර්ෂ 1980 වසරේ ඇරඹුණු කැණීම, 1984 වසරේ හදිසියේ නතර කරන්නට සිදු විය. ඒ කොටි යුද්ධය මාන්තායි ප‍්‍රදේශයට ද පැතිරීම නිසා ය. ඉන් පසුව මහාතිත්ථයයළින් වනගත වන්නට වූයේ ය. අප දැන් ඇවිද යමින් සිටින්නේ ඒ ඉසව්වෙ මැදිනි!

මහාතිත්ථ වරාය එහි මුළු යටගියාව පුරාවට පාලනය කෙරී ඇත්තේ, අනුරාධපුරයේ රජ කළ රජවරුන් අතිනි. ඔවුන් විසින් පත් කළ වරාය පාලකයන් එකල හඳුන්වා ඇත්තේ මහපුටුලද්දන්යනුවෙනි. වරායේ නාවික කටයුතුවලින් අයබදු එකතු කිරීම ඔවුන්ගේ රාජකාරියවී තිබේ.
මහාතිත්ථ තොටුපොළෙන් හමු වුණු ටැම් ලිපියක් (ගල් කණුවක්), දැනුදු මන්නාරම කච්චේරියේ දී දකින්නට පුළුවන. සිරිසඟබෝ නමින් පෙනී සිටි, දෙවැනි සේන රජුගේ (ක‍්‍රි. . 844-879) සමයෙහි කෙරුණු ටැම් ලිපියෙහි, පට පිළි (සේද රෙදි) සහ අනෙකුත් වෙළෙඳ භාණ්ඩවලට බදු අය කළ බව සඳහන්වේ. එකල මේ නැව් තොට මාවටු පටුනනමින් ද හඳුන්වා ඇත. බදු අය කළ නිලධාරීන් මහපුටුලද්දන්බව, ටැම් ලිපිය කියයි.
 
මහාතිත්ථ තොටුපොළෙන් හමු වුණු ටැම් ලිපිය


1984 වසරේ ඇරඹුණු මහාතිත්ථ පුරාවිද්‍යා කැනීම, කොටි යුද්ධයට මැදි වීම නිසා එම වසරේම අගෝස්තුවේ දී හදිසියේ නවතා දමන්නට සිදු විය. ඉන් පසුව ඒ ඉසව්ව අවධානයෙන් අත්හැරී ගියේ ය. දැන් එය ජනාවාස සහිත පෙදෙසකි! එහි අනවසර ඉදි කිරීම් ද බහුල ය.

මහාතිත්ථ වරාය සහ මහා නගරය එහි පැවති බව දැන දැනම, පුරාවිද්‍යා ආරක්ෂක ස්මාරකයක් ලෙස ප‍්‍රකාශයට පත්කර තිබෙන්නේ, තිරුකේදීශ්වරන් කෝවිල, දිය අගල සහ පැරණි තොටුපොළ පමණි. 1973 වසරේ සැප්තැම්බර් මස 07 වැනි දා රජය නිකුත් කළ, අංක 09/157 දරණ ගැසට් පත‍්‍රය මගින් එය සිදුකර තිබේ. ඉතිරි සුවිශාල භූමිය හෙවත් අතීත මහාතිත්ථ නගරයසහ මහා නැව්තොටඅදත් මිනිස් අතවරයන්ට මුහුණ දෙමින් ඉතාමත් අසරණව පොළොව යට වැතිර සිටින්නේ ය!

ලංකාවේ පැවති සිවිල් යුද්ධය නිසා 1980 වසරේ පටන් ගත්
මහාතිත්ථ පුරාවිද්‍යා කැණීම සම්පූර්ණකර ගන්නට නො හැකි විය. එය 1984 වර්ෂයේ දී හදිසියේ නතර කරන්නට සිදු විණි. එසේ වුව ද, එතෙක් සොයා ගත් තොරතුරු ඇසුරින් ග‍්‍රන්ථයක් පළ කරන්නට පර්යේෂකවරු අමතක නො කළහ. එය පළ කෙරුණේ කැනීම් නතර කරන්නට සිදු වීමෙන් වසර 29කට පසුව ය!
Mantai-City by the sea, ග‍්‍රන්ථයෙහි නමයි. කැනීම් 

පර්යේෂණය සඳහා එක්වූ මහාචාර්ය ජෝන් කාස්වෙල්, ආචාර්ය සිරාන් දැරණියගල සහ ඇලන් ග‍්‍රැහැම් යන විද්වතුන් තිදෙන එහි කතුවරුන් වූහ. 2013 වසරේ අගෝස්තුවේ එය මුල් වරට නිකුත් කෙරුණේ, ඩුබායි රටේ පැවති ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයක දී ය. ග‍්‍රන්ථ කවරයේ පින්තූරය නම් දැනුදු අන්තර්ජාලයේ ඉතිහාස ලෝලීන් අතර සැරිසරමින් තිබෙනු පෙනෙයි. එය ලංකාවේ අලෙවි කෙරෙන නම් බවක් දැන ගත්නට නැත. එසේම සිංහල පරිවර්තනයක් ගැන අදහසක් ද ඇති බවක් පෙනෙන්නට නැත!

ග‍්‍රන්ථයෙහි එන හැඳින්වීමක මෙසේ සඳහන් වේ.
මාන්තායි වරාය චීනය සහ බටහිර ලෝකය අතර සංස්කෘතික සම්බන්ධතාවක් ගොඩ නගන්නට හේතුවූ සමුද්‍රික සන්ධිස්ථානයකි. එසේම එය ඉන්දියාව සහ ලංකාව අතර සම්බන්ධතා ඇතිකර ගන්නට ද හේතුවී තිබුණේ ය. ඒ සම්බන්ධයෙන් වර්ෂ 1500කට අධික කාලයක් පැරණි සාධක හමුවේ. මාන්තායි වරාය ක‍්‍රි. . 11 වැනි සියවස තෙක්ම පැවතිණි.

බටහිර ඉන්දියාවේ ගුජරාටයේ පිහිටි ඉපැරණි ලෝතාල් වරාය’, මෙහෙන්දොජාරෝ-හරප්පා ශිෂ්ඨාචාරය පැවති සමයේ ප‍්‍රධාන වරායයි. පුරාවිද්‍යා කැනීම් මගින් මතුකර ගෙන ඇති එහි නටබුන් අද සංචාරක තිප්පොළකි. ලංකාවේ අතීත මහාතිත්ථය ද වර්තමානයට මතුකර ගත හැකි නම් එය අපේ රටට ධන උල්පතක්ම වන්නේ ය. එබඳු පෞරාණික ස්ථානවලට විදෙස් සංචාරකයන් බොහෝ  ප‍්‍රිය කිරීම ඊට හේතුවයි. 

මහාතිත්ථයෙහි කළ පැරණි චාරිකාවක මතකය අලූත්කර ගනිමින් රටේ පාලකකාරකාදීන්ට යෝජනාවක් කරනු රිසියෙමි. දැන් කොටි යුද්ධය ද අහවර ය. මහාතිත්ථ පැරණි වරාය සහ වෙළෙඳ නගර පරිශ‍්‍රයේ හැඩතල සොයා  යළි පුරාවිද්‍යා කැනම් කිරීමට කාලය එළඹ තිබේ!
(සමාප්තයි)
2017/05/23.
(මෙම ලිපිය 2017/06/04-ඉරිදා ලක්බිමෙහි පළවිය.)

No comments:

Post a Comment