BMICH මහා පොත් දැක්ම ගාලූ
ආවා වගේ!
දකුණුු ලක පොත් වසන්තයේ රවුමක්
(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
ගාලූ නගර ශාලා පිවිසුම් මාර්ගයේ මිටි බැම්මට පය ගසා ගෙන, ‘ඇට්ටර වයසේ’ කොල්ලන් දෙදෙනෙක්
අයිස්ක‍්‍රීමක් කමින් බර කතාවක ය.
‘මෙතැන හොඳ ගේම්ස් නම් නෑ’, එකෙකු කනස්සල්ලෙන්
කියයි.
‘ඒ වුණාට රුපියල්
තිහටත් පොත් තියනවා යකෝ’,
අනෙකා උත්තර බඳියි. කොල්ලාගේ අතේ කුඩා ළමා
කතා පොතකි.
‘අම්මලා ඇතුළේ. මේක කාලා මමත් ඇතුළට
යනවා’, ‘ගේම්ස්’ ගැන මතක් කළ කොල්ලා
පිළිවදන් දුන්නේ ය.
‘ඇතුළ’ යයි කියන්නේ, ගාලූ නගර ශාලා
ගොඩනැගිල්ලයි. ‘ගොඩගේ’, ‘සරසවි’, ‘ගුණසේන’ ආදී පොත් ප‍්‍රකාශන ක්ෂේත‍්‍රයේ මහේශාක්‍යයන්ගේ අලෙවි
කුටි පිහිටියේ නගර ශාලා ගොඩනැගිල්ල ඇතුළේ ය. එය එකම මිනිස්
ගුමුගුමුවකි!
ලියුම්කරු මේ අත්දැකීම ලැබුවේ, ඉකුත් ඉරිදා (18) සවස් වරුවේ ය. එනම්, දකුණු ලක ජාත්‍යන්තර
පොත් වසන්තයේ සිවුවැනි දවසේ ය. එදා ද, ගාලූ මහනගර ශාලා පරිශ‍්‍රයම
එකම සෙනග පොදියකි. එහි පැමිණි හැම කෙනෙක්ම පාහේ කුමක් හෝ පොතක්
සොයමින් උන්හ. පොත් වෙළෙඳ කුටි අතර සැරිසරමින්
නොයෙක් නොයෙක් පොත් තෝරමින් උන්හ. වැඩි දෙනෙක් පොත්
සල්පිලට පැමිණ සිටියේ තම දරුමල්ලන් ද අතේ එල්ලා ගෙන ය. ඔවුන් සතු සිලි කවරවල
පොත් දෙක-තුනක්වත් තිබිණි!
‘දකුණු ලක ජාත්‍යන්තර
පොත් වසන්තය’ යයි කීවාට, එහි නිල නාමය ‘දක්ෂිණ අන්තර්ජාතික
පොත් ප‍්‍රදර්ශනයයි’. ඉකුත් 15 වැනි දා ආරම්භකර, 18 වැනි ඉරිදා රාත‍්‍රියෙන්
හමාර කළ එය, එදා මෙදාතුර දකුණු
පළාතේ පැවති විශාලතම පොත් ප‍්‍රදර්ශනය වූවාට සැක නැත. ප‍්‍රදර්ශනය පැවතියේ
ගාලූ නගර ශාලා පරිශ‍්‍රය මුල්කර ගනිමිනි. ප‍්‍රදර්ශනය පැවති
සිවු දින ඇතුළත, අඩු තරමින් ලක්ෂයක පමණ
පිරිසක්වත් එහි ඇදී එන්නට ඇත!
නගර ශාලා භූමියට පය ගැසූ සැණින්ම ලියුම්කරුට සිහිපත්
වූයේ, සෑම වසරකම
සැප්තැම්බරයට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) පැවැත්වෙන සුප‍්‍රකට ‘ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයයි’. දකුණු ලකට එවන් මහා
සම්මන්ත‍්‍රණ ශාලා කොයින් ද? එහෙත් ගාලූ නගර ශාලා පරිශ‍්‍රය පුරාවට දිස් වූයේ, BMICH මහා පොත් මංගල්‍යයේ සුපුරුදු ආකෘතික මුහුණුවරයි! එය පොත් ප‍්‍රදර්ශන හා
අලෙවි කුටි, පරිගණක අලෙවි සැල්, විවේක කූඩාරම්, කඩචෝරු සැල්, සාහිත්‍ය සංවාද සහ
දේශන, සංස්කෘතික සංදර්ශන ආදී
බොහෝ අංගෝපාංගයන් ගෙන් සජ්ජිත වූයේ ය. නගර ශාලා ගොඩනැගිල්ල
ඉදිරිපිට එළිමහන් භූමියෙහි ද දැවැන්ත ‘කූඩාරම් ශාලාවක්’ සවිකර තිබිණි. එය ද වෙන්ව තිබුණේ
පොත් අලෙවි කුටිවලට ය. පිටුපසින් සවිකළ මහා වේදිකාව විවිධ
සන්දර්ශනවලින් මුළු දුන්නේ ය. දකුණු පළාත් සභාවේ ‘සංස්කෘතික කණ්ඩායම’ එහි කිරුළු දැරී ය! ගාලූ නගරයට පොත් ප‍්‍රදර්ශන
නම් අමුත්තක් නොවේ. එහෙත් BMICH ආකෘතියට අනුව පැවති ‘දක්ෂිණ අන්තර්ජාතික
පොත් ප‍්‍රදර්ශනය’, එහි පැමිණි සැමටම
අලූත් අත්දැකීමක් එක් කළ බව පෙනුණි.
ප‍්‍රදර්ශනය සංවිධානයකර තිබුණේ, දකුණු පළාත් සභාව යටතේ
ක‍්‍රියාත්මක වන, ‘දකුණු පළාත් සංවර්ධන
අධිකාරියයි’. සමස්ත වැඩ සටහනේ
සංකල්පීය එළඹුම, දකුණු පළාතේ ප‍්‍රධාන
අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතාගේ ය. දකුණු පළාත් ප‍්‍රධාන
අමාත්‍යංශයේ ලේකම් සමන් දර්ශන පා`ඩිකෝරාල මහතා, සියලූ සම්බන්ධීකරණ කටයුතු මෙහෙය වීය. ඔවුන්ගේ උපදෙස් පරිදි
සමස්ත වැඩ සටහන ක‍්‍රියාත්මක කෙරුණේ, දකුණු පළාත් සංවර්ධන අධිකාරියේ සභාපති කුමාර කරවිට
මහතාගේ මෙහෙය වීමෙනි. දකුණු පළාත් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ
ජනරාල් ටී. ආර්. බී. මල්ලවාරච්චි මහතා
ඇතුළු කාර්ය මණ්ඩලය, ප‍්‍රදර්ශනයේ බර කරට
ගෙන සිටියේ මහත් කැප වීමෙනි.
මින් පෙර මෙබඳු දැවැන්ත පොත් ප‍්‍රදර්ශනයක්
සංවිධානය කිරීමේ අත්දැකීමක් නො තිබුණු
බැවින්, සියල්ලම මහත් ‘අභියෝග’ වූයේ ය. ප‍්‍රදර්ශනය සඳහා ලංකාවේ ප‍්‍රධාන
පෙළේ පොත් ප‍්‍රකාශන ආයතන 30කට අධික පිරිසක් එක්ව
සිටියහ. ප‍්‍රදර්ශනයේ කටයුතු සඳහා දකුණු පළාත් සභාවේ
අමාත්‍ය මණ්ඩලයේ මෙන්ම, මන්ත‍්‍රී කණ්ඩායමේ
සහාය ද, අනෙකුත් රාජ්‍ය ආයතනවල
නිලධාරින්ගේ සහාය ද උපරිමයෙන් ලැබිණි.
පොත් වසන්තය ඇරඹුණේ, දකුණු පළාතෙන් බිහිවූ මාර්ටින් වික‍්‍රමසිංහ, කුමාරතුංග මුනිදාස
ඇතුළු මහා ලේඛකයන් සිහිපත් කරමිනි. ඒ සමගම, පොත් ප‍්‍රකාශන ක්ෂේත‍්‍රයට
දකුණු පළාතෙන් බිහිවූ විජිත යාපා, සිරිසුමන ගොඩගේ සහ සමන් වීරතුංග (මුද්‍රණ ශිල්පී) යන වියත් ජ්‍යෙෂ්ඨයන්ට
උපහාර පුදනු ලැබී ය.
ප‍්‍රදර්ශනය සංවිධානය කිරීමේ දී, දකුණු පළාතේ ලේඛකයන්ට
ද විශේෂ අවස්ථාවක් ලැබිණි. ඔවුන් විසින් ‘කර්තෘ ප‍්‍රකාශන’ වශයෙන් එළි දැක්වූ කෘතීන් අලෙවි කිරීමට වෙනම අලෙවි
කුටියක් ‘ත්‍යාගයක්’ වශයෙන් ලැබීම, එම විශේෂ අවස්ථාවයි. එය සම්බන්ධීකරණය
කෙරුණේ, ‘ගාල්ල දිස්ත‍්‍රික්
ලේඛක සංගමය’ ඔස්සේ ය. ලියුම්කරු ප‍්‍රදර්ශන
කටයුත්තට සම්බන්ධ වූයේ ද එයිනි. සංගමයේ සභාපති සමන් සී. ලියනගේ සහ ලේකම් නීතිඥ
තුෂාර ද සිල්වා යන මහත්වරු දකුණේ ලේඛකයන්ගේ පොත් ගෙන්වා ගනිමින් එයට වෙහෙසුණහ. අලෙවි කුටිය භාරව
සිටියේ කිවියර විමලදාස මුදාගේ මහතා ය.
දකුණු ලක සාහිත්‍ය සැරිය බොහොම බහුශ‍්‍රැත, පුළුල් එකකි. එහි මෑත ඉතිහාසය
ඇරඹෙන්නේ, බි‍්‍රතාන්‍ය යටත්
විජිත පාලන සමයේ ය. නිදහස් සටන් මෙන්ම, ක‍්‍රිස්තියානි ආගම
පැතිරවීම සම්බන්ධයෙන් පැන නැගුණු වාද විවාද ඔස්සේ ඒවා පෝෂණය විය. ‘මාතර සාහිත්‍ය යුගය’ එකල බොහොම ප‍්‍රකට
එකක් විය. සිටිනාමළුවේ ධම්මජෝති, කරතොට ශ‍්‍රී ධම්මාරාම
වැනි පැවිදි හිමිවරුන් මෙන්ම ගජමන් නෝනා, රංචාගොඩ ළමයා, භරණ ගණිතයා ආදීහු ද එහි දී හමු වෙති. ඉන් පසුව ගාල්ලේ දී ‘බටුවන්තුඩාවේ මහ පඬිතුමා’ (දොන් අන්ද්‍රයස් ද
සිල්වා ශ‍්‍රී දේවරක්ෂිත බටුවන්තුඩාවේ) සහ ‘කොග්ගල පඬිතුමා’ (හවුපේ විදානගේ
ජොහැන්නස් පණ්ඩිතතිලක) අපට මුණ ගැසෙයි. වර්ෂ 1854 දී ‘යතලබ’ සඟරාව එළි දක්වන්නට මුල්
වන්නේ ‘බටුවන්තුඩාවේ මහ පඬිතුමා’ ය. පසුව එතුමෝ ලංකාවේ
මුල්ම ලියාපදිංචි පුවත්පත වූ ‘ලක්මිණි පහන’ එළි දක්වන්නට ද මුල් වෙයි. එය මුලින්ම පළ
කෙරෙන්නේ 1862 වසරේ ය. එහි ආරම්භක කතුවරයා, ‘කොග්ගල පඬිතුමා’ ය.
එහෙත් ලංකාවේ මුල්ම සිංහල පුවත්පත ‘ලක්මිණි පහන’ නොවේ. එය වර්ෂ 1860 දී ගාල්ලෙන් පළ
කෙරුණු ‘ලංකාලෝකයයි’. එය මුද්‍රණය කළේ
ගාල්ලේ, කොටුවේ, චර්ච් වීදියේ, අංක 02 දරණ ස්ථානයේ ය. ගාල්ලේ පරමානන්ද
විහාරාධිපති, බුලත්ගම ධම්මාලංකාර
සිරි සුමන තිස්ස, හික්කඩුවේ ශ‍්‍රී
සුමංගල, වැලිගම සුමංගල, දොඩන්දූවේ පියරතනතිස්ස, මොහොට්ටිවත්තේ
ගුණානන්ද ඇතුළු නායක හිමිවරුන්ගේ ආශිර්වාදයෙන් ‘ලංකාලෝකය’ පළ කෙරිණි. එය රජයේ ලියාපදිචි
කෙරුණක් නොවේ!
එයින් පසුව ගාල්ලේ කොග්ගල දී මහා ගත්කරු මාර්ටින් වික‍්‍රමසිංහයන්
අපට මුණ ගැසෙයි. එතැන් සිට, කඹුරුපිටියේ වනරතන, ගනේගම සරණංකර ආදී
පැවිදි වියතුන් ද, ඇතුළුව කුමාරතුංග
මුනිදාස, ජිනදාස විජේතුංග, මහාචාර්ය සෙනරත්
පරණවිතාන, මහාචාර්ය එදිරිවීර
සරච්චන්ද්‍ර, ඞී. බී. ධනපාල, මහාචාර්ය විනී විතාරණ, ගුණදාස අමරසේකර, දා. දු. න. වීරකෝන්, අරීසෙන් අහුබුදු, මහාචාර්ය බන්දුසේන
ගුණසේකර, මහාචාර්ය තිස්ස
කාරියවසම්, කිත්සිරි නිමල්ශාන්ත, ධර්මසිරි ගමගේ, පියසේන කහඳගමගේ, ගුණසේන විතාන, රත්නශ‍්‍රී විජේසිංහ, මහාචාර්ය අමරදාස ලියනගමගේ, විජිත යාපා, බන්දුපාල ගුරුගේ, වික්ටර් අයිවන්, සුනන්ද දේශප‍්‍රිය, අර්නස්ට් වඩුගේ, කලහේ කුමාරදාස ලියනගේ, ගාමිණී කුමාරවිතාන, රංජිත් අමරකීර්ති
පළිහපිටිය, ජිනදාස ලේල්වල, නන්දන වීරසිංහ, ලීලාරත්න කංකානම්ගේ, තිලක කුඩාහෙට්ටි, වෛද්‍ය ආරියසේන යූ. ගමගේ, බන්දුල නානායක්කාරවසම්, විමලදාස මූදාගේ, සෙනරත් ගොන්සාල්කෝරාල, සුගතපාල මෙන්ඩිස්, සෝමදාස අබේවික‍්‍රම, දෙනගම සිරිවර්ධන, ජයතිස්ස තෙන්නකෝන්, රංජිත් හේවගේ, රාජික ගමගේ, ධම්මික රණවීර ආදී
වශයෙන් සාහිත්‍යධරයන්, කවීන්, පුවත්පත් කතුවරුන්, විද්වතුන් සහ ලේඛකයන්
රාශියකගේ නම් ලිවිය හැකි ය. ඒ සැවොම දකුණු ලකේ ය. එය අතිශයින්ම පුළුල්
ලිවිසැරියකි!
ලියුම්කරු, සමන් සී. ලියනගේ ද සමග එක්ව
අවස්ථා ගණනාවක්ම ප‍්‍රදර්ශන භූමියේ සැරිසැරී ය. සෑම තැනකම මහ පිරිස් ය. ප‍්‍රදර්ශන භූමිය තුළ
සජීවී විකාශන කුටියකි. එහි සිටින අය, ප‍්‍රදර්ශන භූමියට එන ලේඛකයන් මෙන්ම මාධ්‍යවේදීන්
ද, රසිකයන් ද ‘සාහිත්‍ය සල්ලාපයකට’ අල්ලා ගනිති. උන් සමග තෙපලන දෑ පොත්
තෝරමින් සිටින පිරිසට දිරියකි. අත්වැලකි.
සුදෝසුදින් සැරසුණු කෙනෙක් පාසැල් සිසුන් පිරිසක් වටකර
ගෙන හරබර දෙසුමක ය. දෙසුමට නිමිත්ත සාහිත්‍ය රසවින්දනයයි. සාහිත්‍යකරුවෙකුට, නිස්සාර ‘වලක්’ වුව පස් පියුමෙන්
සුසැදි මනරම් ‘විලක්’ බවට පත් කළ හැකි යයි
හෙතෙම නිර්මාණ සාහිත්‍යයෙහි අනුසස් සිසුන්ට කියා දුන්නේ විදෙස් උපමා කතාවක් ද සඳහන් කරමිනි. දේශකයා, ගාලූ සාහිත්‍ය
සැරියෙහි නිතර හමුවන ගාමිණී කුමාරවිතානයන්
ය!
වියපත් පියෙක්, එක්ස්සයිස් පොතක කොලයක ලියූ තුණ්ඩුවක් රැුගෙන පොත් අලෙවි
සැල් පීරමින් සිටියේ ය. එහි වූයේ ළමා කෘති
නාමාවලියකි! අම්මා කෙනෙක් තමන් ඉදිරියේ ඇති පොත් ගැන සිය
දරුවන්ට කියා දෙමින්, පොත් තේරීම ඔවුන්ට
පවරනු පෙනුණි. හැම තැනකම කතාව පොත් ගැන ය. ‘අන්තර්ජාල පරපුර’ නියෝජනය කරන දරුවන්
පවා පොත් තෝරමින් සිටිනු දක්නට ලැබිණි.
පොත්පත් ගැන කතිකාවේ දී දැන් නිතරම සඳහන් වන කාරණයක් තිබේ. එනම්, මිනිසුන් පොත් කියවීමේ
පුරුද්දෙන් ඈත් වෙමින් සිටින බවයි. එහෙත් ‘දක්ෂිණ අන්තර්ජාතික
පොත් ප‍්‍රදර්ශනයේ’ ශේෂ පත‍්‍රය ගැන ලැබෙන
ආරංචි නම් අමුතු ය. තමන්ගේ ගාලූ පිරිවැටුම, BMICH මහා පොත් මංගල්‍යයේ පළමු දවසේ ආදායම ඉක්මවා ගිය බව, අගනුවර ප‍්‍රකටතම පොත්
ප‍්‍රකාශන ආයතනයකින් (රහසින්) අසන්නට ලැබිණි. ඇතැම් ආයතනවලට ගාලූ ප‍්‍රදර්ශනයේ
දී රුපියල් මිලියන හතර ඉක්මවූ පිරිවැටුමක් ලැබුණු බව ද සැලයි!
‘බිස්නස් හොඳයි’, ලියුම්කරුට මුණගැසුණු
පොත් අලෙවිකරුවන් කිහිප දෙනෙක්ම කියා
සිටියහ. ‘වැඬේ පාඩු නෑ. ඊළඟ සැරෙත් අපි එනවා’ යයි ඇතැමෙක් කී ය. ‘මේකේ තේරුම මිනිස්සු
පොත් කියවනවා’ කියන එකයි’, එක් ප‍්‍රකාශකවරයෙක්
ලියුම්කරු සමග කීවේ ය.
දකුණු ලක සාහිත්‍ය සැරිය අතිශයින්ම පුළුල් එකක් බව මීට
පෙර ද සඳහන් කළෙමු. ඊට සාපේක්ෂව දකුණේ
අතිශයින්ම පුළුල් ‘පාඨක සැරියක්’ ද ඇති බව, ‘දක්ෂිණ අන්තර්ජාතික
පොත් ප්‍රදර්ශනයට’ පැමිණි මහ සෙනගින්
පැහැදිලි විය. මහ වැහි පීඩාවෙන් දුකට පත් සමයක වුව, පොදිකමින් පැමිණ රසික
සිතින් ඔවුන් එය වැළඳගත් හැටි!
පසුව ලියමි
එහෙත් යම් කණස්සල්ලක් ද නො දැනුණා නොවේ! දකුණු ලකේ සාහිත්‍ය
සැරියේ දී වෙනදා මුණ ගැසෙන විද්වත් ලේඛකයන්, කවීන්, කලාකරුවන් ආදී සහෘදයන්ගේ මුහුණු, දකුණු ලක පොත් වසන්තයේ
දී හමු නො වීම, ඊට හේතුව ය!
පින්තූර-අන්තර්ජාලයෙනි.
2017/06/20
(මෙම ලිපිය 2017/06/25 දින, ලක්බිම ඉරිදා සංග‍්‍රහයේ පළ විය.)