Total Pageviews

Thursday, September 24, 2015

සේයා ඝාතනය, ජන විරෝධය සහ විකෘති කළ ප‍්‍රවෘත්ති


           සේයා ඝාතනය, ජන විරෝධය සහ 
                  විකෘති කළ ප‍්‍රවෘත්ති
 



(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
මුළු රටේම මිනිසුන්ගේ සිත් ශෝකයෙන් කීරි ගැස්වූ කම්පනය තවම අහවර නැත. රටේ තැනින් තැන, ඇගේ මිනීමරුවන් අත්අඩංගුවට ගන්නැයි බලකරමින් දැනුදු උද්ඝෝෂණ පැවැත්වෙන්නේ ඒ නිසා ය. වයසින් පස් හැවිරිදි ‘සේයා සදෙව්මි’ දැරිය, දූෂණයකර, මරා දැමීමේ සිද්ධියෙන් කුපිතව සිටියේ ඇගේ ගම් පළාත වූ ගම්පහ දිස්ත‍්‍රික්කයේ, කොටදෙනියාව, බඩල්ගමුව, අකරංගහ ගමේ වැසියන් පමණක් නො වේ. දැන් මුළු මහත් රට වැසියන් ද ඉන් කම්පනයට පත්ව උන්හ. මිනීමරුවන් අත්අඩංගුවට ගැනීම ප‍්‍රමාද වන විට, කුපිතව හැසිරුණහ. 

දැරිය දූෂණයකර, මරා දමා තිබුණේ 2015 සැප්තැම්බර් 11 වැනි දා රාත‍්‍රියේ ය. ඇගේ පණ සුන් සිරුර පසුදා නිවසට නුදුරු ඇලක තිබී සොයා ගැනුණි. ඇය ඝාතනයට ලක් වූයේ, සිය පස් වැනි උපන් දිනය සමරන්නට ඔන්න මෙන්න කියා තිබිය දී ය. සේයාගේ සිද්ධිය අහස පොළොව නුහුලන කෲරතර ඝාතනයකි. 



පොලීසිය දුන් තොරතුරු අනුව, මාධ්‍ය වාර්තා ඔස්සේ මුලින්ම රටට ඇඟවුණේ දැරිය ඝාතනය සම්බන්ධයෙන් ඇගේ පියා, මව හෝ සීයා සැක කෙරෙන බවයි. ඊළගට සැප්තැම්බර් 19 වැනි දා මාධ්‍ය වාර්තා කළේ, දැරිය ඝාතනය සම්බන්ධයෙන් 17 හැවිරිදි අසල්වැසි පාසැල් ශිෂ්‍යයෙකු සහ තවත් දෙදරු පුද්ගලයෙකු, සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි. පාසැල් ශිෂ්‍යයාගේ ‘ලැප්ටොප් පරිගණකයෙහි’ අසැබි දර්ශන රැසක්වූ බව ද පොලීසිය අනාවරණයකර තිබිණි. ඉන් පසුව සැප්තැම්බර් 23 වැනි දා ගම්පහ, බදුවතුගොඩ දී සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට පත්වූ බව හෙළි විය. ඔහු ‘කොණ්ඩයා  නමැත්තෙකි. 24 සහ 25 යන දිනවල පළවූ මාධ්‍ය වාර්තාවල සඳහන් වූය‘කොණ්ඩයා’ සේයාගේ ඝාතනය පිළි ගෙන, පාපෝච්චාරණයක් ද කර ඇති බවයි.


අප මේ සටහන ලියන්නේ ඒ ගැන විස්තර කියන්නට නොවේ. ඇගේ ඝාතනය සම්බන්ධයෙන් මහජනයා හෙවත් ‘සිවිිල් සමාජය’ හැසිරුණු ආකාරය ගැන යම් විවේචනාත්මක අදහසක් පළ කරන්නට ය. සේයාගේ මරණය හෙළිදරව් වීමත් සමගම, රටට හට ගත්තේ අතිවිශාල කම්පනයකි. ඉන් පසුව ඊට එරෙහිව නැගුණේ ඉතා ප‍්‍රබල ජන විරෝධයකි. පැන නැගුණු ජන විරෝධය තුළ හට ගත් ඇතැම් දේවල්, කොතෙක් දුරට යුක්ති සහගත වීද?, කොතෙක් දුරට මානුෂීය වීද? යන්න, දැන් අසන්නට තිබෙන ප‍්‍රශ්නයයි. සේයාගේ ඝාතනයට එරෙහිවූ සිවිල් සමාජය ඔවුන්ගේ පවුලට එල්ල කළ පීඩනය කොතෙක් ද යත්, සේයාගේ මව්පියන්ට ඇගේ අවමංගල්‍යයට සහභාගි වන්නට සිදු වන්නේ පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ය! සේයාගේ මව විද්‍යුත් නාලිකාවකට පවසා තිබුණේ, විරෝධතා පැවැත් වූවන්ට ඇති බිය නිසා, කනත්තට ගොස් සිය දියණියගේ මිනී වලට පත් මිටක් හෝ දමන්නට නො හැකි වූ බවයි!

සැණෙන් කුපිත වන මිනිස්සු
ඇත්තටම සාධාරණ ජන සමාජයක එවන් තත්ත්වයක් ඇති විය හැකි ද?, ඒ තත්ත්වය සාධාරණ හෝ යුක්ති සහගත ද?, මානුෂීය ද? යන්න මෙහි දී පැන නැගෙන ප‍්‍රශ්නයයි. එතරම් ජන විරෝධයක් ඇවිළ යාමට, සිද්ධිය සම්බන්ධයෙන්  ඇතැම් මාධ්‍ය කළ වාර්තාකරණයන් ද හේතු වූ බව දැන් නැගෙන චෝදනාවයි. එක් අතකට, ජන විරෝධයක් පැන නැගීමෙහි ද අසාධාරණයක් නැත. කෙසේ වෙතත්, සේයාගේ මරණය සම්බන්ධයෙන් හට ගත් තත්ත්වය, තවදුරටත් කතිකා කළ යුතු, පුළුල් සංවාදයට ලක් කළ යුතු කාරණයක් බව, ලියුම්කරුගේ අදහසයි.

ළමා ඝාතන සම්බන්ධයෙන් මෑත ඉතිහාසයේ කම්පනීයම සිද්ධිය වාර්තා වන්නේ, 1983 වසරේ අප‍්‍රියෙල් මස 05 වැනි දා ය. එය, ‘මතුගම සමන් කුමාර’ නමැති 14 හැවිරිදි පාසැල් ශිෂ්‍යයා පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමයි. රුපියල් ලක්ෂ එකහමාරක කප්පම් මුදලක් ගැනීමේ අරමුණින් ඔහු පැහැර ගෙන තිබිණි. පසුව ඔහුගේ මළ සිරුර, මතුගමට නුදුරු රබර් වත්තකින් පොලීසියට හමු විය. ඊට පසුව 1999 වසරේ ඔක්තෝබර් 08 වැනි දා, අලූත්ගම පදිංචි ‘සදීප ලක්ෂාන්’ නමැති තවත් පාසැල් ශිෂ්‍යයෙක් පැහැර ගෙන ගොස් මරා දැමිණි. එය ද කප්පම් සිද්ධියකි. ඉන් මුළු රටම කම්පනයට පත් විය. 2014 වසරේ ජූලි මස 28 වැනි දා ද සිව් හැවිරිදි දරුවෙක් පැහැර ගැනුණි. ඔහු ගල්ගමුව, මීගලෑවේ, ‘දිනිඳු යශේන් ලංකානාත් ඒකනායක’ ය. එය ද කප්පම් සිද්ධියකැයි ප‍්‍රකට විය. ඉන් රටම කැළඹිණි. පොලිස් පරීක්ෂණ දැඩි විය. අවසන දරුවාගේ දිවි ගැලවිණි. අපරාධකරුවෝ පොලිස් අත්අඩංගුවට පත් වූහ. එම වසරේ (2014) තවත් කම්පනීය පැහැර ගැනීම් දෙකක් වාර්තා විය. ඉන් එකක් වූයේ, කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ, නිකදලූපොත, ‘පමාරා කේෂාලි බණ්ඩාර’ නම් සිව් හැවිරිදි දැරියක් පැහැර ගැනීමයි. ඇය පැහැර ගැනුණේ, සැප්තැම්බර් 11 වැනි දා ය. අවසන ඇගේ දිවි ගැලවිණි. අනෙක, ගාල්ල දිස්ත‍්‍රික්කයේ, අක්මීමන, කුරුඳුවත්තේ විසූ ‘දේමුණි පූජනී හසන්ති’ නම් අට හැවිරිදි දැරියක් දූෂණයකර මරා දැමීමයි. සිද්ධියේ සැකකරු සැප්තැම්බර් 18 වැනි දා, දියේ ගිලීමකින් මිය ගොස් තිබිණි. මේවා තනි තනි සිද්ධීන් බව ඇත්ත ය. එහෙත් ඉන් ජන හදවත්වලට දැනුණු කම්පනය සහ තිගැස්ම ඉමහත් ය.

බොහෝ දෙනෙක් සිතන්නේ යම් සිද්ධියක් වූ විගසම, පොලීසිය පැමිණ එහි අපරාධකරුවන් අල්ලා ගනීවි යයි කියා ය. අපරාධයක් විමර්ශනය, අධිකරණය දක්වා දිවෙන යම් නෛතික ක‍්‍රියාවලියකි. එයට යම් සාධාරණ කාලයක් ගත වේ. නිසි සාක්ෂි සොයා ගත යුතු වේ. එබැවින් මිනිසුන් සිතන තරම් වේගයෙන් අපරාධකරුවන් අත්අඩංගුවට ගැනෙන්නේ නැත. අනෙක, පොලීසිය තමන්ට සැකයයි සිතෙන ඕනෑම කාරණයක් ගැන සොයා බලනු ඇත. සේයාගේ සිද්ධියේ දී මාධ්‍ය ද පොලීසිය සොයා ගන්නා සෑම කාරණයක්ම ප්‍රවෘත්ති බවට පත්කර ගත්තේ ය. ඒ කාරණා සත්‍ය ද? යන්න සෙවීමක් නොවී ය. අපරාධයක් විමර්ශනය කිරීමේ දී, එයට යම් කාලයක් අවශ්‍ය වීම,  ප‍්‍රායෝගික තත්ත්වයකි. එහෙත් මිනිස්සු සැණෙන් කුපිත වන්නෝ ය! නො සන්සුන් වන්නෝ ය!

ඇතැමුන් සිතන්නේ, පොලීසිය සිය විමර්ශන කටයුත්ත ‘හරියට’ නො කරන බව ය. ඒ  සඳහා ඔවුන්ට පූර්වයෙහි අත්දැකීම් ද තිබේ. පොලිස් ක‍්‍රියාවලිය දේශපාලනීකරණය වීම, පක්ෂග‍්‍රාහී විමර්ශන ආදී කාරණා සම්බන්ධයෙන් පසුගිය කලයේ චෝදනා එල්ල විය. එසේම ‘සැකකරුවන්’, ආයුධ පෙන්වීමට ගොස් වෙඩි කෑමේ සිද්ධීන් ද ඇති විය. ඇතැම් අපරාධ කවුරුන් කළේ ද යන්න, කොහෙත්ම හෙළිදරව් නො වීය. ගෙවී ගිය කාලය තුළ පොලීසිය කෙරෙහි පැවති ජන විශ්වාසය යම් තරමකට පළුදුවූ බව පිළිගත යුතු වේ. මහජනයා  දැන් යම් අපරාධයක් දෙස බලන්නේ මේවා ද සිතෙහි දරා ගනිමිනි. එබැවින් සේයාගේ ඝාතනය සම්බන්ධයෙන් ද, ඔවුන්ගේ කෝපය හෝ නො සන්සුන්තාවය පදනම් විරහිත යයි කියන්නට නුපුළුවන!
 
තාත්තා ගැන සැකය?
සේයාගේ සිද්ධිය සම්බන්ධයෙන් මහජනතාව කුපිත වන්නේ ද, සිද්ධිය පොලීසිය හමුවේ දිග හැරුණු ආකාරය අනුව ය. මූලික පොලිස් පරීක්ෂණවල තොරතුරු මාධ්‍ය ඔස්සේ හෙළි වීමත් සමග ය. පොලීසිය හෙළිකර ගත් තොරතුරු අනුව, රාත‍්‍රී කාලයේ පැවරුණු යම් රැකියා කාරියක් අවසන සේයාගේ පියා ගෙදර එන්නේ රාත‍්‍රී 12.10ට පමණ ය. එහි දී ඔහු සිය බිරිය ගෙන් කුඩා දියණිය ගැන විමසයි. එවිට ඇය, ‘දියණිය ආත්තම්මාගේ කාමරයට යන්නට ඇතැයි’ කියන්නී ය. කුඩා දියණිය රාත‍්‍රී නින්දෙන් ඇහැරුණු ඇතැම් දිනවල, තනිවම ගොස් ආත්තම්මා ළඟ නිදා ගැනීම ඔවුන්ගේ පවුලේ සාමාන්‍ය සංසිද්ධියකි. එදත් ඇය එසේ යන්නට ඇතැයි සිතූ මව්පියන්, ඇය ගැන නො සොයාම නින්දට ගොස් තිබේ. ඔවුන් සිය දියණිය අතුරුදන්ව ඇති බව දන්නේ පසුවදා උදේ ය! අනෙක ඔවුන්ගේ නිදන කාමරයේ ජනේලයට ‘ග‍්‍රිල් එකක්’ ද තිබී නැත.

සිද්ධිය සම්බන්ධයෙන් උනන්දු වන මහජනතාව, ඒ සියල්ල අර්ථ නිරූපනය කරන්නේ ‘මව්පියන්ගේ නො සැලකිල්ල’ වශයෙනි. ඔවුන් විද්‍යුත් නාලිකාවලට මුහුණ දීමේ දී ‘දුකක් නැතිව’ සිටීම ද, මහජනයාගේ සැකයට හේතු විය. දැරියගේ පියා කලකට ඉහත යම් අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබුවෙකු බවට ආරංචි පැතිර යාම ද ‘සැකමුසු තත්ත්වයට’ පොහොර දැම්මේ ය. විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මෙන්ම අන්තර්ජාලය හරහා ද පැතිර ගිය පුවත් ඔස්සේ, දැරියගේ මව්පියන් හෝ පවුලේ අය කෙරෙහි සැකයක බීජයක් වැපිරෙන්නට ඉඩ පාදා තිබිණි. සේයාගේ පියා විද්‍යුත් මාධ්‍යයට ප‍්‍රකාශකර තිබුණේ, ඝාතනය සම්බන්ධයෙන් තමන් සැක බව පවසන නිර්නාමික දුරකතන ඇමතුම් 700කට අධික සංඛ්‍යාවක් පොලීසියට ලැබිණැයි දැන ගන්නට ලැබුණු බවයි. එසේම සිද්ධිය සම්බන්ධයෙන් සැප්තැම්බර් 19 වැනි ද වන තුරුත් නිශ්චිත සැකකරුවෙකු හඳුනාගෙන නො තිබීම ද ගැටළුවක් විය. සැකය වැඩිපුරම එල්ල වූයේ පියාට එරෙහිව ය.

මාධ්‍ය වාර්තා කළ ආකාරයට, සියල්ලෙහි අවසන් ප‍්‍රතිඵලය වූයේ, 2000ක පමණ ජන පිරිසක් සේයාගේ නිවස වටකර ගැනීමයි. ඇගේ අවමගුලේ සියලූ වැඩ කරට ගෙන තිබුණේ ද පිටස්තර අයයි. සේයාගේ පණ සුන් සිරුර නිවසෙහි තිබිය දී, ඇගේ අම්මාටත්, තාත්තාටත්, පවුලේ අයටත්, සිදුව තිබුණේ ඇතූළු කාමරයක සිරකරුවන් මෙන් කල් ගත කරන්නට ය. ඔවුන් අවමගුල් අවස්ථාවට එක් වූයේ ද පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ය. එල්ල වූ පීඩනය කොතෙක් ද යත්, කනත්තට ගොස් සිය දියණියගේ මිනී වලට පස් පිඩක් හෝ දමන්නට බැරි විය! සේයා දියණිය යළි ඔවුන් වෙත එන්නේ නැත. මව්පියන්ට තම දියණිය වෙනුවෙන් සිත් ‘වාවා ගන්නට’ තිබුණු අවසන් මොහොත ද, ඇය මිහිදන් කෙරුණු අවස්ථාවයි. ඇගේ මව්පියන්ට ඒ එවස්ථාව ලැබුණේ නැත! ඒ වෙනුවට ඔවුන් ‘මිනීමරුවන්ය’ යනුවෙන් හංවඩුවක් ද වැදුණි!

සේයාගේ මව්පියන්ට මුහුණ දෙන්නට සිදුවූ තත්ත්වය, සාධාරණ හෝ යුක්ති සහගත නොවේය යන්න ලියුම්කරුගේ අදහසයි. එසේම එය මානුෂීය ද නො වන්නේම ය. ‘සබුද්ධික’ යයි කියූ මහජනයා ‘හැඟීම්වලට’ මුල් තැන දෙමින් හැසිරෙන බව පෙනුණි.

යම් ප‍්‍රමාදයක් වුව ද, පොලීසිය (රහස් පොලීසිය ද ඇතුළුව) හැසිරුණේ ‘වෘත්තීය විමර්ශකයන්’ පරිද්දෙනි. ඔවුහු සේයාගේ පියා එදින රාත‍්‍රියේ කළ රැකියා කාරිය ඇත්තක් දැයි සොයා බැලූහ. පියා බොරුවක් නො කී බව ඉන් හෙළි විණි. ‘ඝාතකයා අසල්වැසියෙක් විය හැකිය’ යන්න ඔවුන්ට අවබෝධ විය. විමර්ශන ඒ ඔස්සේ දිග හැරුණි.


මහජන තීන්දුව
එසේ වුව ද ‘ඝාතකයා අන් කවරෙකුදු නොව, දැරියගේ පියාය’ යන්න, ඒ වන විටත් මහජනයා විසින් තීන්දුකර තිබිණි! ඔවුන් අදහන අන්දමට, දැරියගේ මව ද එයට සම්බන්ධ ය. ඒ පිළිබඳ පළවූ අන්තර්ජාල පුවතකට දැමූ ‘කොමෙන්ටුවකින්’ කියැවුණේ, ‘ඝාතකයා ඇගේ පියා බව’ ඔහුගේ මුහුණෙන්ම පෙනෙන බවයි! (කොමෙන්ටුකරුවාගේ කතාව ඇත්තක් නම්, අපරාධ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන  ඕනෑම නැත. මිනිසුන්ගේ මුහුණු බලා අපරාධකරුවන් හඳුනා ගැනීමට පුළුවන!) ඇවිළ යන්නට පටන් ගත් විට මහජන කෝපයක් නිවා දැමීම පහසු කටයුත්තක් නොවේ. එවන් අවස්ථාවල කෝපවූ වැඩි දෙනෙක්, ‘ඇත්තක්’ කීව ද පිළි නො ගන්නා තත්ත්වයට පත් වෙති. ඇත්තටම ‘මහජන සැකයේ සහ කෝපයේ ඇඟිල්ල’ සේයාගේ පියා කෙරෙහි එල්ල වන විට, ඔහු නීතිය ඉදිරියේ හෝ, අඩු තරමින් මුලික පොලිස් විමර්ශනවලින් හෝ, ‘මිනීමරුවා’ යයි ඔප්පුවී තිබුණේ නැත! ඔහු සම්බන්ධයෙන් එවන් සාක්ෂියක් හෝ අනාවරණය කෙරී නො තිබුණේ ය!

කෙසේ වෙතත්, මහජනයා කී පමණින්ම මිනිසුන් අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් පොලීසියට නැත. ඒ සඳහා සාක්ෂි ලැබිය යුතු ය. සේයාගේ සිද්ධියේ දී, ඇසින් දුටු හෝ වෙන යම් මතුපිට සාක්ෂි ද නො වුණේ ය. එබැවින් ‘පරිවේශණීය සාක්ෂි’ සෙවීමට විමර්ශන නිලධාරීන්ට සිදු විය. එවැන්නක් ලෙහෙසි පහසු ද නොවේ.

සේයා සම්බන්ධයෙන් මහජන කෝපයක් ඇවිළ යාමට කාරණා කිහිපයක්ම බලපෑවේ ය. පියා ඇතුළු පවුලේ අයගේ හැසිරීම් ‘සැක කටයුතු’ යයි, සමාජය පුරා අර්ථ නිරූපනයක් ඇති වීම, පස් දිනක් යන තුරුම නිශ්චිත සැකකරුවෙකු හඳුනා ගත නො හැකි වීම සහ සිද්ධියේ කම්පනීය බව, යන කාරණා  ඒ අතර වෙයි. ඉන් ‘සමාජ කම්පනයක්’ ඇති විය. එය පුළුල් ජන විරෝධයක් දක්වා පැතිරිණි.



ඉන් පසුව හට ගත්තේ තවත් ඛේදනීය සිද්ධියකි. එනම් 17 හැවිරිදි පාසැල් ශිෂ්‍යයෙක් සහ දෙදරු පියෙක් පොලිස් අත්අඩංගුවට පත් වීමයි. ඔවුන්ගේ  තොරතුරු පවා මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කෙරිණි. ඉක්බිති මහජන කෝපය ඔවුන් වෙත එල්ල වන්නට විය. ඒ සමගම පාසැල් සිසුවාගේ අනාගතය ද, දෙදරු පියාගේ සමාජ ජීවිතය ද දරුණු අභියෝගයකට ලක් විය. ඔවුන්ට දූෂකයන් සහ මිනීමරුවන් යයි හංවඩුව වැදිණි. දැන් ප්‍රධාන සැකකරු වෙනත් අයෙකු යයි හෙළිවී තිබේ. දැන් සේයාගේ තාත්තා, අම්මා, සීයා මෙන්ම අසල්වැසි පාසැල් ශිෂ්‍යයා සහ දෙදරු පියා ද නිර්දෝෂීවී සිටිති. එහෙත් ඔවුන්ට වැදුණු හංවඩුව මැකී යා ද? ඔවුන්ට වුණු අසාධාරණයට වගකියන්නේ කවුරුන් ද?

ඇතිවූ මෙම තත්ත්වයට හේතුව කුමක් ද? එය අපරීක්ෂාකාරී මාධ්‍ය වාර්තාකරණය බව, ලියුම්කරුගේ පිළිගැනීමයි. ‘යම් කාරණයක ‘සත්‍යතාවය’ සහ ‘නිවැරදිතාවය’, අඩුම තරමින් පාර්ශව තුනකින්වත් තහවුරුකර නො ගෙන කිසිදු තොරතුරක් මුදා හරින්න එපා’ යන උපදේශයක් ජන මාධ්‍යයෙහි එයි. සේයාගේ ඝාතනය සම්බන්ධයෙන් පුවත් ගෙනා ඇතැම් මාධ්‍ය, එය පිළිපැද්දේ ද? යන්න ගැටළුවකි. මූලික පොලිස් විමර්ශනවලින් හෝ ‘ඇත්තක් යයි’ තහවුරු නොවූ අපරාධමය කාරණයක්, ‘සත්‍යයක් යයි හැඟෙන සේ’ පළ කරන්නේ කෙසේ ද?, එසේ කිරීමට ඇති අවශ්‍යතාවය සහ අයිතිය කුමක් ද? යන්න මෙහි දී විමසිය යුතු වේ. මාධ්‍ය ඔස්සේ ගෙන ගිය අනාවරණයන් නිසා, සේයාගේ ඝාතකයා අල්ලා ගැනීමට වැඩි උනන්දුවක් සහ ඒ ගැන සමාජ අවදි කිරීමක් ඇතිවූ බව ඇත්තකි. එසේ වුවත් ඒ මාධ්‍ය ඝෝෂාවම, දැන් දරු පවුල් තුනක සමාජ පැවැත්ම දරුණු අභියෝගයකට පමුණුවා තිබේ. ඇත්තටම මාධ්‍ය ‘හදිසි නො වූවා
නම්’  මෙවැනි තත්ත්වයක් ඇති නො වන්නට ද ඉඩ තිබිණි.

ශ‍්‍රී ලංකා කර්තෘ සංසදයේ ‘වෘත්තීය ප‍්‍රතිපත්ති මාලාව’, මෙබඳු කාරණයක් ඉස්මතු කරයි. ‘නිරවද්‍ය වාර්තාකරණය-2-2.’
‘වාර්තාවල නිරවද්‍යතාව, එය පළ කැරෙන්නට කලින් සොයා බැලීම සඳහා කර්තෘවරුත් ඒ ඒ පුවත්පත් කලාවේදියෝත් සෑම සාධාරණ ප‍්‍රයත්නයක්ම දැරිය යුත්තෝය. එවැනි සොයා බැලීමක් ප‍්‍රායෝගිකව නොකළ හැකි අවස්ථාවක දී ඒ බව වාර්තාවෙහි සඳහන් කළ යුතු ය
.’

සේයාගේ සිද්ධිය සම්බන්ධයෙන් එවන් විමසුම් ඇසක් නො ගැටුණු බව, දැන් පැහැදිලි ය.

සේයා ඝාතනයේ සැබෑ අපරාධකරුවන් කවුරුන් ද යන්න, දැන් අනාවරණයවී  තිබේ. ඇගේ පවුලේ අයට මෙන්ම අසල්වැසි පවුල් දෙකකට ද, දැඩි පීඩනයක් එල්ල කළ ‘සබුද්ධික මහජනයාත්’, ඔවුන්ට ඒ සඳහා ‘ඉන්ධන’ අලෙවි කළ ඇතැම් ජන මාධ්‍යත්, දැන් කුමක් කියන්නේ ද?
 
2015/09/25.



No comments:

Post a Comment