Total Pageviews

Sunday, September 6, 2015

2015 දීත් වී ගොවීහු අන්ත පරාජයක් ලබති!


2015 දීත් වී ගොවීහු අන්ත පරාජයක් ලබති!
බත හදන මිනිසුන්ගේ ඛේදවාචකය

(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
වී මුුදලාලිලා හිනා මුහුණු ද රැගෙන ගොවි බිම්වලට එති. කිසිම ගැටළුවක් නැත. දෙන තරමක් වී තොග මිල දී ගන්නට ඔවුන් සූදානම් ය. සල්ලිත් එවේලේම ලැබේ. එහෙත් ඔවුන් වී කිරන්නේ, ආණ්ඩුවේ සහතික මිලට නොවේ. නාඩු වී කිලෝව රුපියල් 29ට-30ට ය. සම්බා වී කිලෝව රුපියල් 40ට ය. මුදලාලිලාගේ මිලට වී විකිණීම හොඳටෝම පාඩු ය. ඒත් ගොවීන්ට වෙන කරන්නට දෙයක් ද නැත. රටේ ප‍්‍රධාන වී නිපැයුම් දිස්ත‍්‍රික්ක වන, අනුරාධපුරය, පොළොන්නරුව, අම්පාර, කුරුණෑගල, වවුනියාව, මඩකලපුව, හම්බන්තොට ඇතුළු ප‍්‍රදේශවල ගණනාවකම වී අස්වනු විකිණීම දැන් මහා ජංජාලයක් බවට පත්වී තිබේ. ‘වී ගන්නෙමැයි’ ‘කැට තියා’ කීව ද, ආණ්ඩුවේ සහතික මිලට වී විකිණීම අති දුෂ්කර කටයුත්තක්ව තිබීම ඊට හේතුවයි!

 



 ආණ්ඩුවේ ලොකුම වී ගැනුම්කරුවා වන ‘වී අලෙවි මණ්ඩලය’, මෙවර යල කන්නයේ වී අස්වනු මිලට ගැනීම් ආරම්භ කළේ 2015 ජූලි මස 29 වැනි දා ය. එසේ වුව ද, මේ සටහන ලියැවෙන සැප්තැම්බර් 05 වැනි දා වන විට ද ඔවුන් මිලට ගෙන තිබුණේ, මෙටි‍්‍රක්ටොන් 1,16,500ක් වූ සිය ඉලක්කයෙන් මෙටි‍්‍රක්ටොන් 51,037ක් (සියයට 43.81ක්) පමණි. ඒ බව ඔවුන්ගේ වෙබ් අඩවියෙහි පළකර තිබිණි.

 ඕනෑම වගා කන්නයක රටට එන වී අස්වැන්නෙන් වැඩි කොටස මිල දී ගන්නේ, පෞද්ගලික අංශයයි. සාමාන්‍යයෙන් එය සියයට 85ක්, 90ක් පමණ වේ. වී මිල දී ගැනීමේ රාජ්‍ය අංශය, වී අලෙවි මණ්ඩලය, සමුපකාර සමිති සහ ඇතැම් අවස්ථාවල සතොස යන ආයතනවලින් සමන්විත වෙයි. ඔවුන් මිල දී ගන්නේ වෙළෙඳපොළට එන සමස්ත වී අස්වැන්නෙන් සියයට 10ක් හෝ 15ක් පමණ කොටසකි. පෞද්ගලික අංශය සමග සැසඳීමේ දී එය ඉතා කුඩා ප‍්‍රමාණයක් බව ඇත්ත ය. එසේ වුවත්, වී මිල ආණ්ඩුවේ සහතික මිලෙන් පහළට යා නො දී පාලනයකර ගෙන සිටින්නේ, රාජ්‍ය අංශය කරන මැදිහත් වීම තුළිනි. රාජ්‍ය අංශයේ මිල දී ගැනීමේ යාන්ත‍්‍රණය බි වැටුණු සෑම අවස්ථාවකම, මිල ද දරුණු ලෙස පහළට වැටී, වී අස්වනු විකුණා ගැනීමේ අර්බුදය මතු වෙයි. මීට ඉහත කාලවල කෙරුණු පරිද්දෙන්ම, මෙවර ද සිදුව ඇත්තේ එයයි!
 

කරුණු කොයිහැටි වෙතත්, වී අස්වනු සාධාරණ මිලකට විකුණා ගන්නට නො හැකි වීමේ අර්බුදය, එක් අතකට ඉතාමත් හාස්‍යජනක ය. වී වගාව යනු රටේ විශාලතම වගා කටයුත්ත වන අතර, ඉන් නිපැයෙන සහල සමස්ත රට වැසියන්ගේම ප‍්‍රධාන ආහාරය වීම ඊට හේතුවයි. මුළු රටක්ම තුන් වේලටම කන්නේ බත් ය. ඒ බත නිපැයෙන වී අස්වැන්න, සාධාරණ මිලකට විකුණා ගන්නට බැරිවී තිබේ! රටේ ප‍්‍රධාන කෘෂිකාර්මික කටයුත්ත වන වී නිපැයුම සඳහා, ජාතික මට්ටමේ සැලසුමක් හෝ වැඩ පිළිවෙලක් නැතිකම, මෙබඳු තත්ත්වයක් උදා වීමට හේතුවයි. වෙනත්  ඕනෑම භාණ්ඩයක මිල තීරණය කරන්නේ එහි නිෂ්පාදකයා ය. එහෙත් වී අස්වනු සඳහා මිල තීරණය කරන්නේ ගොවියා නොව, වී මෝල් හිමි මුදලාලිලා ය! අලෙවිය පිළිබඳ කාරණයේ දී, වී ගොවීන් කොතරම් අසරණ ද යන්න, එයින්ම පෙනේ.
 

වී නිපැයුම් දත්ත
සාමාන්‍යයෙන් ලංකාවේ වැඩිම බිම් ප‍්‍රමාණයක වී වගා කෙරෙන්නේ ‘මහ’ කන්නයට ය. ඉකුත් 2014/2015 මහ කන්නයේ දී ද අපේ රටේ,  හෙක්ටයාර් 7,72,626ක පමණ වී වගා කෙරුණි. ඉන් මෙටි‍්‍රක්ටොන් 28,76,989ක වී අස්වැන්නක් ලැබිණි. එහෙත් වර්ෂාව අඩු යල කන්නයේ වී වගා කෙරෙන්නේ, අඩු බිම් ප‍්‍රමාණයක ය. 2014 යල කන්නයේ හෙක්ටයාර් 3,12,979ක පමණ වී වගාකර තිබිණි. ඉන් රටට ලැබුණු වී අස්වනු තොගය, මෙටි‍්‍රක්ටොන් 11,44,929ක් විය. මෙම සංඛ්‍යාලේඛන උපුටා ගන්නා ලද්දේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙනි.

රජයේ මාධ්‍ය සඳහන් කරන ආකාරයට, 2014/2015 මහ කන්නයේ වී අස්වැන්නෙන් රටට ලැබුණු සහල් ප‍්‍රමාණය මෙටි‍්‍රක්ටොන් මිලියන 1.67කි. මෙවර, එනම් 2015 යල කන්නයේ ද හෙක්ටයාර් 5,02,177ක පමණ වී වගාකර ඇතැයි සැලකේ. ඉන් අපේක්ෂිත වී අස්වනු ඉලක්කය, මෙටි‍්‍රක්ටොන් මිලියන 1.93කි. ඉන් ලැබෙතැයි සිතන සහල් ප‍්‍රමාණය මෙටි‍්‍රක්ටොන් මිලියන 1.18කි. ඒ අනුව, 2015 වර්ෂය තුළ දී රටට මෙටි‍්‍රක්ටොන් මිලියන 2.85ක සහල් සංචිතයක් ලැබෙතැයි අපේක්ෂිත ය. සාමාන්‍යයෙන් ලංකාවේ පාරිභෝජනයට වසරකට සහල් මෙටි‍්‍රක්ටොන් 2.27ක් පමණ අවශ්‍ය වේ. එබැවින් 2015 වසර තුළ දී රටට ලැබෙන සහල් තොගය ඊළඟ මාස 12ක කාලයක් සඳහා ප‍්‍රමාණවත් ය. සංඛ්‍යාලේඛන නිවැරදි නම්, දැන් රටට සහල් අතිරික්තයක් ලැබෙමින් පවතී! තත්ත්වය මෙබඳු වුව ද, මෙවර යල කන්නයෙහි වී අස්වනු අලෙවිය අර්බුදයට ගොස් තිබෙනු පෙනෙයි.
 

අර්බුදයේ සුල මුල
ගොවීන්ගේ වී අස්වැන්න සාධාරණ  මිලකට අලෙවිකර ගන්නට නො හැකි වීමේ ගැටළුවට, ඇත්තේ ශෝකී කතාන්දරවලින් පිරුණු දිගු ඉතිහාසයකි. එය ඇරඹෙන්නේ, 1980 දශකය අග භාගයේ දී ය. එනම්, පොළොන්නරුවේ,  ඕනෑගම, ට‍්‍රැක් දහසයේ පදිංචි ගොවියෙකු වූ බී. ජී. හවඩියා (71) මහතා, සිය කුඹුරේදීම සිය දිවි නසා ගැනීමේ සිද්ධියෙනි. ඔහු සිය දිවි නසා ගෙන තිබුණේ, 1988 වසරේ දී ය. ඒ, ගෙවා ගත නො හැකි ණය බර හේතුවෙනි. ණය ගෙවන්නට මුදල් නැතිව ගියේ, එකක් කුඹුර පාළු වීම ය. අනෙක, ලබා ගත් වී අස්වැන්න සොච්චම වුව සාධාරණ මුදලකට විකුණා ගන්නට නො හැකි වීම ය. තාත්තා ගෙන් පසුව කුඹුරේ උරුමකරු වූයේ ඔහුගේ පුත් බී. ජී. ගුණපාල ය. ඔහු ද දක්ෂ ගොවියෙකි. තාත්තාගේ ණය කන්ද උරුම වූයේ ඔහුට ය. වී වගාවෙන් ඔහු ද පැරදිණි. 1994 වසරේ පෙබරවාරි මාසයේ ඔහු ද වස බී සිය දිවි නසා ගත්තේ ය. තාත්තා මෙන්ම පුතා ද සිය දිවි නසා ගත් බව හෙළි වූයේ, ගුණපාල ගොවි මහතාගේ මරණය සම්බන්ධයෙන් පැවති හදිසි මරණ පරීක්ෂණයේ දී ඔහුගේ මෑණියන් (හවඩියා ගොවි මහතාගේ බිරිඳ) දුන් සාක්ෂියෙනි. ඉන් පසුව පොළොන්නරුව දිස්ත‍්‍රික්කය පුරා වී ගොවීන් සිය දිවි නසා ගැනීමේ රැල්ලක් ඇති විය. 1994 වසරේ අගෝස්තු පාර්ලිමේන්තු මහා මැතිවරණය එළඹෙන විට ගොවීන් 21 දෙනෙක් සිය දිවි නසා ගෙන තිබිණි. මෙම තත්ත්වය මැතිවරණයෙන් එ. ජා. ප. ආණ්ඩුව පැරදී, පොදු ජන එක්සත් පෙරමුණු ආණ්ඩුවක් ඇති වන්නට තරම් ප‍්‍රබල විය. වර්තමානයේ රටේ ජනපති පදවිය උසුලන මෛත‍්‍රීපාල සිරිසේන නමැති තරුණ පොළොන්නරු දේශපාලනඥයා, ඉතා ඉහළට එසවී යන්නේ ද ඒ ගොවි රැුල්ල හේතුවෙනි. එකල පීඩිත වී ගොවීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නො පැකිලව පෙනී සිටින්නේ ද ඔහු ය.

එකල ‘ලංකාදීප’ පුවත්පතේ සේවය කළ ලියුම්කරු, (1993 වසරේ පටන්) මේ දක්වාම සිය මාධ්‍ය ඔස්සේ වී ගොවීන්ගේ ගැටළු ගැන හෙළිදරව් කරමින් සිටින්නේ ය. ඔවුන්ගේ අලෙවි ගැටළුව, කවරදාකවත් සුව නො වන ‘හිඟන්නාගේ තුවාලයක්’ වැනි යයි දැන් ලියුම්කරුට සිතේ! 1994 වසරෙන් පසුව බලයට පැමිණි කිසිදු ආණ්ඩුවක් වී ගොවීන්ගේ ප‍්‍රශ්නයට සාධාරණ සහ ප‍්‍රමාණවත්, තිරසාර විසඳුමක් ඇති කළේ නැත. කෙසේ වෙතත් වී ගොවීන්ගේ ගැටළුව, කිසිදු ආණ්ඩුවකට නො සලකා හැරිය හැක්කක් ද නොවේ. ඒ මන්ද, ගැටළුවෙහි අනෙක් පාර්ශවය ‘සහල් පාරිභෝගිකයන්’ හෙවත් ‘බත් කන මිනිසුන්’ හා බැඳී පවතින බැවිනි. මුළු රටේම ප‍්‍රධාන ආහාරය බත් ය. එබැවින් ගොවීන්ගේ වී අලෙවි ගැටළුව, අනිවාර්යයෙන්ම බත් කන මිනිසුන්ගේ ද ගැටළුවක් බවට පත් වෙයි. එයට විසඳුමක් සෙවිය යුත්තේ දෙපාර්ශවයටම සාධාරණයක් ඉටු වන පරිද්දෙනි. එහෙත් දැන් සිදුව ඇත්තේ, වාර්ෂිකව රටට ලැබෙන වී අස්වැන්න හරි හැටි කළමනාකරණයකර ගන්නට ආණ්ඩුවේ පාර්ශව අසමත් වීමයි. අස්වනු නෙලන කන්නයක් කන්නයක් පාසා වී විකිණීමේ අර්බුද මතු වන්නේ ඒ නිසාවෙනි.

වර්තමානයෙහි ආණ්ඩුවේ සහතික මිල, සම්බා වී කිලෝවකට රුපියල් 50කි. නාඩු වී කිලෝවකට රුපියල් 45කි. මේ යාන්ත‍්‍රණය යහපත් ආකාරයට ක‍්‍රියාත්මක වන්නේ නම්, වී අලෙවි මණ්ඩලය ‘ගිනි කසයෙකු’ මෙන් සමස්ත අස්වැන්නෙන් සියයට 10ක් හෝ 15ක් මිලට ගත යුතු වෙයි. එය නිසි පරිදි කෙරෙන්නේ නම්, පෞද්ගලික අංශයට සහතික මිලට වඩා පහළින් වී මිල දී ගැනීමට නුපුළුවන. වී අලෙවි මණ්ඩලය සහතික මිලට වී ගනිද්දී, කිසිවෙක් ඊට වඩා අඩු මිලට වී විකුණන්නට නො යාම, ඊට හේතුව ය. ආණ්ඩුව මෙවර වී මිල දී ගැනීම් සඳහා රුපියල් කෝටි 600ක් වෙන්කර තිබේ. එහෙත් වී අලෙවි මණ්ඩලය, සැප්තැම්බර් 04 වැනි දා වන විටත් සිය ඉලක්කයෙන් සියයට 50ක් වත්  සපුරා ගැනීමෙහි අපොහොසත් විය. එහි ප‍්‍රතිඵලය වූයේ රටේ ප‍්‍රධාන වී වගා ප‍්‍රදේශ හැම එකකම පාහේ, වී විකුණා ගැනීමේ ඉතා දිගු පෝලිම් ඇති වීමයි. ඇතැම් ගොවීන් අඩුම තරමින් තුන් දිනක්වත් වී තොග ද රැුගෙන රස්තියාදු වූ බව මාධ්‍ය වාර්තාකර තිබිණි. පෞද්ගලික අංශයේ ඇසින් බලන කල, මෙය ‘හොද්ද බොර වීමක්’ වැනි ය. ඔවුහු ලහි ලහියේ කිලෝව රුපියල් 25ට, 27ට, වී මිල දී ගන්නට පටන් ගත්හ. වී අස්වනු විකුණා ණය-තුරුස් බේරන්නට, වැඩ කුලී ගෙවන්නට, ගෙදර දොරේ ප‍්‍රශ්න විසඳන්නට, බලා සිටි ගොවීන්ට ද වෙන කරන්නට දෙයක් තිබුණේ නැත. ඔවුහු තම වී තොග  පෞද්ගලික වෙළන්දන්ට විකුණා දැමූහ. ආණ්ඩුවේ සහතික මිල විහිළුවක් බවට පත් විය.
 

ජාතික වැඩ පිළිවෙලක්
ගොවීන් ගෙන් බැණුම් ඇසුව ද, වී අලෙවි මණ්ඩලයට ද ගැටළු ගණනාවක් තිබිණි. ප‍්‍රමාණවත් තරම් ගබඩා නැතිකම, සේවක හිඟය, අනෙකුත් සම්පත් හිඟය ආදිය ඒ අතර ඇතැයි කියැවිණි. ඒ සියල්ල ඇත්ත වන්නට පුළුවන. එහෙත් එය විකාර කතාවකි. වී වූ කලී, රටේ ප‍්‍රධාන වගාව සහ ප‍්‍රධාන ආහාර නිෂ්පාදන කර්මාන්තයයි. ඉන් යැපෙන පවුල් ගණන 8,79,000ද ඉක්මවයි. එයට මෙසේ විය හැකි ද? මෙබඳු ගැටළු ඇති  විය හැකි ද? එය බරපතල ප‍්‍රශ්නයකි.

 



 වී වගා කිරීම, දියවර සැපයීම, අස්වනු අලෙවිය, සහල් නිෂ්පාදනය සහ සහල් අලෙවිය ආදී ප‍්‍රධාන කාරණා ද ඇතුළත්ව, සමස්ත වී ගොවිතැන සම්බන්ධයෙන් ජාතික වැඩ පිළිවෙලක් නොමැති වීම, මෙබඳු තත්ත්වයක් ඇති වීමට හේතුවයි. එය වී අලෙවි මණ්ඩලයට පමණක් කරන්නට හැකි දෙයක් නොවේ. රාජ්‍ය තන්ත‍්‍රයේ මැදිහත් වීමෙන් කළ යුතු දෙයකි. දැන් සිදුව ඇත්තේ සියල්ල වී අලෙවි මණ්ඩලය පිට පටවා අත පිසදා ගැනීමේ පිළිවෙතකි!

වී ගොවීන්ගේ සහ සහල් පාරිභෝගිකයන්ගේ යහපත වෙනුවෙන්, 1971 වසරේ පිහිටවුණු වී අලෙවි මණ්ඩලය මුල් කාලයේ දී ඉතා හොඳින් ක‍්‍රියාත්මක විය. පසුව 1977-1994 එ. ජා. ප. පාලන සමයේ එහි කටයුතු  බිඳ වැටී, ගොවීන්ගේ අප‍්‍රසාදයට ලක් විය. එකල ඔවුන් සතු වී ගබඩා ගණනාවකම ඇඟළුම් කම්හල් පිහිටු විණි. ඉනික්බිති 1994 අගෝස්තුවෙන් ඇරඹුණු පොදු පෙරමුණු පාලන සමයේ දී එය වසා දැමුණි. එයින් පසුව වී මිල දී ගැනීමේ කටයුත්ත ස. තො. ස.ට පැවරිණි. ඔවුන්ගේ ක‍්‍රියාවලිය අසාර්ථක වූ අතර, ආණ්ඩුව යළි වී අලෙවි මණ්ඩලයට  පණ දෙනු ලැබී ය. දැන් පණ ගසා සිටින්නේ එසේ දෙවැනි වරටත් උපත ලැබූ ‘වී අලෙවි මණ්ඩලයයි’.

වී ගොවිතැනේ ප‍්‍රසාරණය 

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන අනුව, 1993 වසරේ ලංකාවේ වී වගා කළ බිම් ප‍්‍රමණය හෙක්ටයාර් 8,20,000කි. 2013 වසර වන විට එය හෙක්ටයාර් 12,27,000ක් දක්වා, හෙක්ටයාර් 4,07,000කින් ඉහළ ගොස් තිබේ. 1993 වසරේ රටේ සමස්ත වී අස්වැන්න, මෙටි‍්‍රක්ටොන් 25,70,000කි. 2013 වසර වන විට එය මෙටි‍්‍රක්ටොන් 46,21,000ක් දක්වා, මෙටි‍්‍රක්ටොන් 20,51,000කින් ඉහළ ගොස් තිබේ. මෙහි තේරුම, ඉකුත් විසි වසර තුළ ලංකාවේ වී ගොවිතැන පුළුල් ප‍්‍රසාරණයකට ලක්වී ඇති බවයි. නව වාරිමාර්ග ව්‍යාපෘති යටතේ කුඹුරු ඉඩම් අලූතින් බිහි වීම, 2009 වසරේ සිවිල් යුද්ධය හමාර වීමත් සමගම, උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල වී වගාව යළි පුළුල් වීම, පොහොර සහනාධාරය ඇතුළු විවිධ සානුබල නිසා වී ගොවීන් දිරිමත් වීම, අස්වනු ඵලදායිතාවය ඉහළ යෑම සහ වාර්ෂික ඒක පුද්ගල සහල් පරිභෝජනය කිලෝග‍්‍රෑම් 116ක් දක්වා ඉහළ යෑම ආදී කාරණා ගණනාවක් මේ වර්ධනයට බල පෑවේ ය. එසේම ගෙවී ගිය කාලය තුළ රටේ ජනගහණය ද, දෙකෝටිය ද ඉක්මවමින් ප‍්‍රසාරණය විය. වී ගොවිතැන අද, ඒ සියල්ලන්ගේම කුසගිනි නිවිය හැකි මට්ටමක් අත්කර ගෙන සිටින බව පැහැදිලි ය. අනෙක රට වැසියන්ද දැන් වෙනදාට වඩා බත් කෑමට නැඹුරුව සිටිනු පෙනෙයි. මෙය වී ගොවිතැන් ක්ෂේත‍්‍රය අතිශයින්ම පුළුල් ලෙස ප‍්‍රසාරණය වීමකි.

‘වී අස්වනු මිල දී ගැනීම  සහ සහල් නිපදවීම පිණිස ගොඩනැගුණු ආණ්ඩුවේ යාන්ත‍්‍රණය’ වන වී අලෙවි මණ්ඩලයට, ඉහත කී ‘ප‍්‍රසාරණය’ දරා ගන්නට හැකි වී ද?, එයට ඔරොත්තු දෙන්නට හැකි වී ද? යන්න, මෙහි දී මතුවන ගැටළුවයි. ඒ සඳහා වී ගබඩා පහසුකම් වැඩි කළේ ද?, සේවකයන්, වාහන, වී මෝල් ආදි යටිතල ව්‍යුහයන් පුළුල් කළේ ද?, වී මිල දී ගැනීමේ මධ්‍යස්ථාන සංඛ්‍යාව වැඩි කළේ ද?, ප‍්‍රමාදයකින් තොරව මුදල් ගෙවීමේ යාන්ත‍්‍රණයක් බිහි කළේ ද? යන ගැටළු ගැන මෙහි දී විමසිය යුතු වේ. ඊළඟට සමුපකාර සමිති සහ ගොවි සංවිධාන යන රජයට සම්බන්ධ ආයතන වී මිල දී ගැනීම් සඳහා දිරිමත් කළේ ද? යන්න ද විමසිය යුතු ය. වී මිල දී ගැනීම් සඳහා මෙවර බොහොමයක් ප‍්‍රදේශවල සමුපකාර සමිති සම්බන්ධකර ගෙන නැත! ගෙවී ගිය විසි වසරටම ආණ්ඩුවේ පාර්ශවයෙන් කෙරුණේ, හිඟුරක්ගොඩ සහ පන්නෙගමුවේ මහා පරිමාණ වී මෝල් දෙක වැඩි දියුණු කිරීමත්, මේ නොබෝදා අතිශයින්ම සාහසික ලෙස මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ වී ගබඩා කිරීමේ ආර්ථික ඝාතක ක‍්‍රියාමාර්ගය ගැනීමත් පමණි!

ඇත්තටම විය යුතුව තිබුණේ, වී ගොවිතැන් ක්ෂේත‍්‍රය ප‍්‍රසාරණය වන විට, ඊට සාපේක්ෂව වී අලෙවි සහ සහල් නිපැයුම් ක්ෂේත‍්‍ර ද වර්ධනය කිරීම ය. එය ක‍්‍රමිකව කළ හැකිව තිබුණි. එහෙත් හැමදාමත් ආණ්ඩුවේ කැමැත්ත ලෙස පේනුම් කළේ, වී අලෙවි ප‍්‍රශ්නය පැන නැගුණු පසුව ‘පිටිය සොයා දිවීමේ’ පිළිවෙත ය!

ආණ්ඩුවේ වී මිල දී ගැනීම් අඩාල වීමට මෙවර බලපෑ තවත් කාරණාවක් වූයේ, බොහොමයක් ගබඩා හිස් නො වීමයි. ඒවා 2014/2015 මහ කන්නයේ ගත් වී තොගවලින් පිරි පැවතුණි. සෑම වසරකම පෙබරවාරි, මාර්තු සහ අප‍්‍රියෙල් යන මාසවල මහ කන්නයේ වී අස්වනු වෙළෙඳපොළට එන බවත්, සෑම වසරකම අගොස්තු සහ සැප්තැම්බර් මාසවල යල කන්නයේ වී අස්වැන්න වෙළෙඳපොළට එන බවත්, පාසැල් දරුවන් පවා දන්නා කාරණයකි. එබැවින් එය වී අලෙවි බලධාරීන්ට රහසක් විය නො හැකි ය. යල කන්නයේ වි අස්වනු එන තුරුත් ගබඩා හිස් නො වූයේ, ඔවුන්ට එය නිවැරදිව කළමනාකරණයකර ගැනීමට අපොහොසත් වීම නිසා ය. ආණ්ඩුව එය නියාමනය නො කළ නිසා ය. ‘වී අස්වනු මිල දී ගැනීම  සහ සහල් නිපදවීම පිණිස ගොඩනැගුණු ආණ්ඩුවේ යාන්ත‍්‍රණය’ අතිශයින්ම දුර්වල බව එයින්ම පෙනේ. එහි වෙළෙඳ වාසිය පෞද්ගලික අංශයට ය.
සහල් මාෆියාව
2014 වසරේ රටේ වී වගා ප‍්‍රදේශ බොහොමයක නියඟ තත්ත්වයක් ඇති විය. එබැවින් 2014 වසර තුළ රටේ වී නිපැයුම, මෙටි‍්‍රක්ටොන් මිලියන 3.8ක් දක්වා සියයට 27කින් පහත වැටුණි. එයින් සහල් මිල ඉහළ ගියේ ය. මිල පහත දැමීමේ අරමුණින් සහල් මෙටි‍්‍රක්ටොන් 6,00,000ක් ආනයනය කෙරිණි.

එකල සහල් මිල ඉහළ ගියේ ඇත්තටම රටේ සහල් හිඟ වීම නිසා ද? යන්න අදත් නො විසඳුණු ගැටළුවකි. එසේ නම් 2013 වසරේ රටට ලැබුණු මෙටි‍්‍රක්ටොන් 46,21,000ක වී අස්වැන්නට කුමක් වී ද? ඒවා පෞද්ගලික අංශයේ ගබඩාවල සිර වී ද? නැතිනම් ‘බියර්’ පෙරීම පිණිස විකිණී ගියේ ද? යන්න කිසිවෙකුත් නො දනිති. මෙහි නො පෙනෙන පැත්තක් ද තිබේ. එනම්, රටට ලැබෙන සමස්ත අස්වැන්නෙන් සියයට 85ක් හෝ 90ක් මිලයට ගන්නා පෞද්ගලික අංශය සතුව කොපමණ වී තොගයක් තිබේ ද? යන්න, කිසිවෙකුත් හරිහැටි නො දැන සිටීමයි. ආණ්ඩුව සහල් ආනයනය ගැන තීන්දු ගැනිමේ දී ද භාවිත කරන්නේ, උපකල්පනික තොරතුරු ය. අනෙක, තමන් සතු වී තොග කොපමණ දැයි හෙළිදරව් කිරීමේ නීතියක් ද ලංකාවේ නැත. මෙහි දී කෙරෙන්නේ, මහා පරිමාණයෙන් වී තොග රැස්කරන, මහා පරිමාණ සහල් යන්ත‍්‍රාගාර පවත්වන අතලොස්සක් ව්‍යාපාරිකයන් විසින්, ටිකෙන් ටික සහල් මුදා හරිමින් වී සහ සහල් වෙළෙඳපොළ පාලනය කිරීමයි. වී මිල මෙන්ම සහල් මිල ද, ඔවුන්ගේ වාසියට ස්ථාවරව පවත්වා ගෙන යාමයි. ඉකුත් විසි වසර තුළ බලයට පැමිණි කිසිදු ආණ්ඩුවක්, රටේ පෞද්ගලික වී මෝල් සහ සහල් නිිපැයුම්කරුවන් නියාමනය කරන්නට වැඩ පිළිවෙලක් ක‍්‍රියාත්මක කළේ නැත.

දැන් සියල්ලම කෙරී ඇත්තේ ඔවුන්ගේ වාසියට ය. රට පුරා පැවති සුළු පරිමාණ වී මෝල් බහුතරයක්ම වැසී ගොසිනි. ගම්පහ දිස්ත‍්‍රික්කයේ, ‘මරඳගහමුල’ නගරය මුල්කර ගෙන පැවති පෞද්ගලික අංශයේ සහල් සැකසුම් කර්මාන්තය ද බිඳ වැටී ගොසිනි. වී අලෙවි මණ්ඩලයේ ක‍්‍රියාවලිය ද දිවෙන්නේ, ඉලක්ක සපුරාගත නො හැකි අඩපණ ස්වභාවයක ය. වාණිජ බැංකු පවා ඉක්මණින් ණය දෙන්නේ මහා පරිමාණ වී මෝල් හිමියන්ට ය. ඒ සියල්ලෙහි වාසිය ගන්නා අතලොස්සක්වූ මහා පරිමාණ වී මෝල් සහ සහල් නිපැයුම්කරුවන්, රුපියල් 25ට, 27ට වී කිරමින් සිය ගබඩා තරකරමින් සිටිති. එය ඊළඟ වකවානුවේ සහල් මිල පාලනය, තමන් අතට ගැනීමේ මුල් පියවරයි.

සහලට ගෙවන මිල
ආණ්ඩුවේ සහතික මිල සම්බා වී කිලෝවකට රුපියල් 50ක් බවත්, නාඩු වී කිලෝවකට රුපියල් 45ක් බවත්, මීට පෙර ද සඳහන් කළෙමු. වී මිල  එවන් තත්ත්වයක පවතී නම්, සහල් කිලෝව අඩු මිලට දෙන්නට කොහෙත්ම පුළුවන්කමක් නැත. සහල් කිලෝවක් නිපදවීම සඳහා වී කිලෝ එකහමාරක් අවශ්‍ය වේ. ඊට අමතරව එයට ශ‍්‍රම කුලී, ගබඩා, ප‍්‍රවාහන, කෙටීමේ සහ ඇසිරුම් ආදී ගාස්තු ද එකතු වේ. ඉතින් සහල් පාරිභෝගික රට වැසියන් ඉල්ලන තරම් අඩු මිලකට සහල් විකිණිය හැකි ද? යන්න ගැටළුවකි. පෞද්ගලික අංශය මේ ප‍්‍රශ්නයට මුහුණ දෙන්නේ, අස්වනු නෙලන සමයට වී කුණු කොල්ලයට ගැනිමෙනි.

ලියුම්කරුට සිතෙන හැටියට වඩා වැදගත් වන්නේ, වී කිලෝවේ මිල ඉහළ දැමීම නොවේ. වී ගොවීන්ගේ වියදම් බර අඩු කිරීමේ ක‍්‍රමවේදයක් සැකසීමයි. එයින් සහල් මිල පහළට ගෙන ඒම පිණිස නව මං සෙවීමයි. වී වගාවේ යෙදවුම්වල මිල අඩු කිරීම, ට‍්‍රැක්ටර්, සුනාමි, මහසෝනා ආදී කෘෂි උපකරණවලට බදු සහන සලසා ඒවායෙහි මිල අඩු කිරීම වැනි යෝජනා ඒ සඳහා සලකා බැලිය හැකි වේ. එයින් වී ගොවීන්ගේ වියදම අඩුවී, යම් මුදලක් අත ඉතිරි වීමට මග පෑදෙනු ඇත.

වී නිපැයුම සහ සහල් අලෙවිය අරභයා ජාතික මට්ටමේ වැඩ පිළිවෙලක් ගොඩ නැගෙන තුරු, බත නිපයන වී හදන ගොවීන්ට හිඟමන උරුම වනු ඇත. මහා පරිමාණ වී මෝල් සහ සහල් සැකසුම්කාර ව්‍යාපාරිකයන්, ඔවුන්ට අත වනමින් පැජරෝ, මොන්ටෙරෝවල නැගී යනු ඇත.

(පින්තූර-අද ‍දෙරණ සහ සිංහ fm ‍වෙබ් අඩවිවලිනි)
2015/09/07.

No comments:

Post a Comment