ජනාධිපතිටත් වඩා බලසම්පන්න
ග්ලයිපොසේට්
(ක්‍රිෂ්ණ විජේබණ්ඩාර)
මාරාන්තික විෂ සහිත ‘ග්ලයිපොසේට්’ නමැති වල් නාශකය අඩංගු කන්ටේනර් 15ක් රේගුවෙන් මුදා හැරීමේ සිද්ධිය දැන් රට කළඹන මාතෘකාවක් වී තිබේ. එය අතිශයින්ම ආරවුල් සහගත සිද්ධි මාලාවක් බව, ඉකුත් සතිය පුරාවට මාධ්‍ය ඔස්සේ අසන්නට දකින්නට ලැබිණි.
කොළඹ පැවති උත්සවයකදී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් ‘ග්ලයිපොසේට්’ මෙ රටට ගෙන්වීම සම්පූර්ණයෙන්ම තහනම් කරන බව ප‍්‍රකාශ කිරීම, රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ජගත් පී. විජේවීර මහතා ඉතා හදිසියේ සිය තනතුරින් ඉල්ලා අස්වීම, ඒ සම්බන්ධයෙන් හිටපු කෘෂිකර්ම ඇමති මහින්ද යාපා අබේවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල සහ මහත්වරු, එක්සත් ජනතා නිදහස් සන්ධාන ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී කතා කිරීම ආදී කාරණා දක්වාම එය දුරදිග ගොස් ඇති බවක් පෙනෙයි. ආරවුල් සහගත සිද්ධිමාලාවට, කරුංකා ආනයන ජාවාරමක් සහ ආනයන අපනයන භාණ්ඩ පරීක්‍ෂා කරන සමාගමක් ගැන තොරතුරුද ඈදී තිබේ. ඒවා සමග ආණ්ඩුවේ ඉතා ප‍්‍රබල ඇමතිවරයෙකු සහ ලෝක ප‍්‍රකට ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකුගේ සොහොයුරෙකුගේද නම් කියැවෙයි.
ග්ලයිපොසේට් පැටිකිරිය
ග්ලයිපොසේට් යනු ලංකාවේද ඉතාමත් බහුලව භාවිත කරන වල් නාශකයකි. පළල් පත‍්‍ර සහිත වල් පැලෑටි සමූලඝාතනය කරන එය, ප‍්‍රධාන වශයෙන් ලංකාවේ වී වගාවටද, තේ ඇතුළු වාණිජ වැවිලි බෝග වගාවටද භාවිත කෙරේ. පාරිසරික නීතිඥ ජගත් ගුණවර්ධන මහතා පෙන්වා දෙන අන්දමට, ග්ලයිපොසේට් අඩංගු වල් නාශක අපේ රටට ප‍්‍රචලිත කෙරුණු 1979 වර්ෂයෙන් පසුවය.
ග්ලයිපොසේට්, මෑතකාලීනව ජන අවධානයට ලක්වන්නේ, රජ රටින් ඇරඹුණු මාරාන්තික නිදන්ගත වකුගඩු රෝගය සම්බන්ධයෙන් කෙරුණු පර්යේෂණ ඔස්සේය. එහිදී රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා ඇතුළු පිරිසට, ‘ග්ලයිපොසේට් මාරකය’ හමුවී තිබිණි. ඒ අනුව, මාරාන්තික වකුගඩු රෝගයට හේතුව වන ‘ආසනික්’ ඇතුළු විෂ සහිත බැර ලෝහ, මිනිස් ශරීරය ඇතුළතට ගමන් කරවන වාහකයා, ‘ග්ලයිපොසේට්’ බව 2014 වසරේදී ඔවුහු හෙළිකර ගත්හ. ඊට පසුව ඊට එරෙහිව අතිවිශාල ජන විරෝධයක් ගොඩ නැගුණි. බහුතර ජනමතය වූයේ ‘ග්ලයිපොසේට්’ භාවිතය සහ ඒවා මෙරටට ආනයනය කිරීමද තහනම් කළ යුතු බවයි.
මේ ගැන විස්තර සහිත ලිපියක් මැයි මස 17 වැනි දා ‘ඉරුදිනෙහි’ පළ විය.
කෙසේ වෙතත් එවකට සිටි කෘෂිකර්ම බලධාරීන් පැවසුවේ, තේ වගාවේ වල් මර්ධනයට ‘ග්ලයිපොසේට්’ බහුලව යොදා ගන්නා බැවින් එය තහනම් කළ නොහැකි බවයි. ඒ වෙනුවට ඔවුහු, 2014.12.22 වැනිදා ‘ග්ලයිපොසේට්’ ඇතුළු කෘෂි රසායන වර්ග පහක් මාරාන්තික වකුගඩු රෝගය පැතිර යන රජරටද ඇතුළු සීමිත ප‍්‍රදේශයක භාවිතය අලෙවිය සහ ප‍්‍රවාහණය පමණක් තහනම් කළහ. කොතෙක් කරුණු කීවත් ආනයනය තහනම් කෙරුණේ නැත.
මේ අතර 2015 මැයි 11 වැනි දින ‘ග්ලයිපොසේට්’ යළිත් කරලියට ආවේය. ඒ ‘ග්ලයිපොසේට් මෙටි‍්‍රක් ටොන් 278.94ක් අඩංගු කන්ටේනර් බහලූම් 15ක් ආනයනය කිරීමේ සිද්ධියක් සමගිනි. පෞද්ගලික සමාග මක් මගින් ගෙන්වනු ලැබූ ග්ලයිපොසේට් තොගය අකමැත්තෙන් නමුත් මුදාහරින්නට රේගුවට සිදු විය. ග්ලයිපොසේට් ලංකාවට ගෙන්වන්නට තහනමක් නොවීම, ඊට හේතුව ලෙස දැක්විණි. සිද්ධියට අති විශාල ජනමාධ්‍ය අවධානයක් ලැබිණි. එබැවින් යම් ආන්දෝලනයක් ඇති විය. ගෙන්වූ ග්ලයිපොසේට් තොගය ලංකාවට දස වසරකට ප‍්‍රමාණවත් බව පසුව හෙළිවිය.
ඇත්තටම, ලංකාවේ කෘෂි රසායන ආනයන තහනමක් අවසන් වරට පැන වූයේ මහින්ද රාජපක්‍ෂ රජය සමයේ, එනම් 2013.04.07 වැනිදාය. එය මාරාන්තික වකුග ඩු රෝගය සම්බන්ධයෙන් ගත් පියවරක් විය. එයින් ක්ලෝරෝෆයිරිෆෝස්, ප්‍රොපනිල් සහ කාබරිල් යන කෘෂි රසායන වර්ග තුන ආනයනය තහනම්කර තිබිණි. කොතෙක් ජන විරෝධතා පැමිණියද ඉන් පසුව කිසිදු විෂ සහිත කෘෂි රසායනයක් රටට ගෙන්වීම තහනම් කෙරුණේ නැත. වකුග ඩු රෝගීන්ට සුව සහන සැලසීමේ යම් යම් ක‍්‍රියාමාර්ග ගත්තද, හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාත්, එවකට කෘෂිකර්ම ඇමති මහින්ද යාපා අබේවර්ධන මහතාත්, මාරක ග්ලයිපොසේට් රටට ආනයනය කිරීම තහනම් කරන්නට ගියේ නැත.
ග්ලයිපොසේට් මෙටි‍්‍රක් ටොන් 278.94ක් රටට ආනයනය කිරීමේ උණුසුම පහව යන්නටත් පෙර, එනම් 2015 මැයි 22 වැනිදා අලූත් ආණ්ඩුවේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මහත් පෙරළිකාර ප‍්‍රකාශයක් කළේය. එහිදී ඔහු පැවසුවේ, ලංකාවට ග්ලයිපොසේට් ආනයනය කිරීම තමන් විසින් සම්පූර්ණයෙන්ම තහනම් කරන බවයි. ඔහු මේ බව ප‍්‍රකාශ කළේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති හෝටල් ක්ෂේත‍්‍රයේ උත්සව සභාවක් අමතමිනි. වකුගඩු රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම තම අරමුණු වන බැවින්, විෂ සහිත ග්ලයිපොසේට් රට ගෙන්වීම තහනම් කරන බව හෙතෙම පවසා තිබිණි. මෙතෙක් ගෙන්වූ ග්ලයිපොසේට් තොග හෝ අලෙවි කරන්නට ඉඩ දෙන ලෙස, සමහර කෘෂි රසායන සමාගම් තමාගෙන් ඉල්ලීම් කළ බවත් තමන් ඒවා ද ප‍්‍රතික්ෂේප කළ බවත්, සිය කතාවේදී ජනාධිපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශකර තිබිණි.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා කළ මෙම ප‍්‍රකාශය, රටේ බොහෝ දෙනෙකුගේ අමන්දානන්දයට හේතු විය. අන්තර්ජාල වාසී සමාජජාලකරුවන් පවා ජනාධිපතිවරයාට ස්තූතිකර තිබෙනු දක්නට ලැබිණි. එය ඇත්තටම බොහොම පෙරළිකාර ප‍්‍රකාශයක් විය.
ජනාධිපතිවරයා ග්ලයිපොසේට් තහනම් කරන බවට ප‍්‍රකාශ කළේ 2015 මැයි 22 වැනිදාය. හරියටම ඊට දින තුනකට පසුව, එනම් මැයි 25 වැනිදා රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ජගත් පී. විජේවීර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් විය. ඒ වන විට කන්ටේනර් 15ක ‘ග්ලයිපොසේට්’ රසායන තොගය රේගුවෙන් මුදාහැර තිබිණි. පසුවදා (2015 මැයි 26) පුවත්පත්, රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ ඉල්ලා අස්වීමත්, ‘ග්ලයිපොසේට්’ තොගය මුදා හරින්නට සිදුවීමත්, එකම පත‍්‍රයේ වෙන වෙනම ප‍්‍රවෘත්ති ලෙස පළකර තිබිණි.
ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මාධ්‍යයට පැවසුවේ තමන් මුහුණ දෙමින් සිටින සෞඛ්‍ය හේතූන් නිසා එවන් තීරණයක් ගත් බවයි. ඒ හැර, දේශපාලනික හෝ වෙනයම් කාරණයක් ඉල්ලා අස්වීම කෙරෙහි බලනොපෑ බව ද ඔහු කියා තිබිණි. ඔහු ඉල්ලා අස්වී තිබුණේ කිසියම් නිල විදේශ සංචාරයක්ද සූදානම්ව තිබියදීය.
රේගුව, පාලනය වන්නේ මුදල් අමාත්‍යංශය යටතේය. එය ලංකාවට අති විශාල මුදල් කන්දරාවක් රැුස්කර දෙන, එමෙන්ම ආනයන සහ අපනයන සම්බන්ධයෙන් රේගු නීති ක‍්‍රියාත්මක කරන ඉතා බලවත් රාජ්‍යායතනයකි. එබඳු ආයතනයක ප‍්‍රධානියා හදිසියේ ඉල්ලා අස්වීම, රටට මහත් කුතුහලයක් සහ යම් ආන්දෝලනයක් ජනිත කළේය. මේ ගැන විවිධ කතාබහ ඇති විය.
සෞඛ්‍ය හේතුන් මතයයි කීවද, සිය ප‍්‍රධානියා හදිසියේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් රේගුවේ වෙනත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ වෙනස් කතාවකි. වෙනස් උපකල්පනයකි. ඒ අනුව ජගත් පී. විජේවීර මහතාගේ ඉල්ලා අස්වීම කෙරෙහි කරුණු තුනක් බලපා ඇතැයි කියති. ඉන් පළමුවැන්න ආනයන - අපනයන භාණ්ඩ පරීක්‍ෂාව පැවරී ඇති එක්තරා පෞද්ගලික ආයතනයක් සම්බන්ධ කාරණයකි. ඒ ආයතනයට සම්බන්ධතා ඇති බව කියන ප‍්‍රබල ඇමතිවරයෙකු ඔහුට දෝෂාරෝපණය කළ නිසා හටගත් කලකිරීමෙන් ඉල්ලා අස්වීම සිදුවූ බව එයින් කියැවෙයි. දෙවැන්න, ‘ග්ලයිපොසේට්’ කන්ටේනර් 15ක් මුදාහරින්නට සිදුවීමේ කාරණයයි. තුන්වැන්න, නීති විරෝධී ලෙස කරුංකා පුවක් තොගයක් ඉන්දියාවට ප‍්‍රති අපනයනය කරන්නට උත්සාහ කිරීමේ සිද්ධියයි. එය පිටුපස ආණ්ඩුවේ ප‍්‍රබල දේශපාලනඥයෙක්ද ලෝක ප‍්‍රකට ලාංකික ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකුගේ සොහොයුරෙක්ද සිටින බව කියති. තම ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ජගත් පී. විජේවීර මහතා සිටින්නේ මාධ්‍ය වෙත අදහස් පළ නොකිරීමේ පිළිවෙතකය. එබැවින් ඔහු මුලින් පැවසූ දේවල් හැරෙන්නට වෙනත් කිසිවක් දන්නා කෙනෙක් නැත. මෙම තත්ත්වය නිසා රේගු අභ්‍යන්තරයේ මුලින් කී උපකල්පන තුන කතිකාවට ලක්වෙමින් තිබේ. ඒවා ඇත්තද? නැත්තද? යන්න, තහවුරු කරන කෙනෙක්ද නැත.
කෙසේ හෝ වේවා ජගත් පී. විජේවීර මහතා හදිසියේ ඉල්ලා අස්වූයේ එළිපිට නො කියන යම් බරපතල හේතුවක් නිසා බව පැහැදිලිය. ඇත්තටම, රටක රේගුවේ ප‍්‍රධානියාට ඉල්ලා අස්වී යන්නට තරම් හේතු ඇතිවීම හොඳ දෙයක් නොවේ. ඉන් පිළිබිඹු වන්නේ රටේ ඉහළ පාලන ව්‍යුහයේ ඇති ව්‍යාකූල භාවයයි.
කාරණය සඳහන් කරමින් 27 වැනිදා පැවති එ.ජ.නි.ස. ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදී තිලංග සුමතිපාල පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා පවසා තිබුණේ, ඔහු ඉල්ලා අස්වූ හේතුව පැහැදිලි කරන ලෙස තමන් මුදල් ඇමති රවී කරුණානායක මහතාට දන්වා සිටින බවයි. එහිදී කරුණු දැක්වූ හිටපු කෘෂිකර්ම ඇමති මහින්ද යාපා අබේවර්ධන මහතා විමසා සිටියේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ‘ග්ලයිපොසේට්’ ආනයනය තහනම් කරන බව කියද්දීත්, රේගුවෙන් ඒවා මුදා හැරියේ කෙසේද? යන්නයි.
‘ග්ලයිපොසේට්’ ආනයනය තහනම් කරන බව ජනාධිපතිවරයා පැවසුවද, මේ සටහන ලියන බ‍්‍රහස්පතින්දා (28) වන තුරුද එවන් නිල තහනමක් පැනවී නොතිබිණි.
‘ග්ලයිපොසේට්’ ආනයනය තහනම් කරනවා නම්, ගැසට් නිවේදනයක් පළකරමින් එය ‘නීතියක්’ බවට පත් කළ යුත්තේ, කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ සිටින පළිබෝධනාශක රෙජිෂ්ට‍්‍රාර්වරයා විසිනි. ඉන් පසුව ඔහු ඒ නීතිමය ලියැවිලි රටේ ආනයන පාලකවරයාට යැවිය යුතුවේ. එහෙත් බ‍්‍රහස්පතින්දා (28) සවස් වන තුරුම එබඳු ගැසට් නිවේදනයක් නිකුත් කළ බවක් අසන්නටවත් නොවීය.
‘ඉරුදින’ මේ ගැන විමසීමට කෘෂිකර්ම අමාත්‍යංශයේ අතිරේක ලේකම් ආචාර්ය විජේරත්න මහතා ඇමතීය. ඔහු පැවසුවේ, පළිබෝධනාශක රෙජිෂ්ට‍්‍රාර් ආචාර්ය අනුර විජේසේකර මහතාගෙන් ඒ ගැන අසා දැන ගන්නා ලෙසයි. එහෙත් බදාදා (27) සවසත්, බ‍්‍රහස්පතින්දා (28) පෙරවරුවේත් කොතෙක් උත්සාහ කළද, ආචාර්ය අනුර විජේසේකර මහතා දුරකතනයට සම්බන්ධකර ගැනීමට හැකි වූයේ නැත.
‘ග්ලයිපොසේට්’ ආනයනය තහනම් කරන බව පැවසුවේ රටේ ජනාධිපතිවරයායි. එය නීතියක් බවට පත්කළ යුත්තේ නිලධාරීන් විසිනි. ඒ වැඩ කොටස කෙරී නැත. එබැවින් ‘ග්ලයිපොසේට්’ තහනම ‘හුදු බොරු සංදර්ශනයක්ද යන සැකයක් මතුවේ.
මේ අතර, තවත් ආරංචියකින් පැවසෙන්නේ, රජයට අයත් සිපෙට්කෝ ‘ආයතනයට, ‘ග්ලයිපොසේට්’ ආනයන අවසරය දෙන්නැයි ඉල්ලා, වකුගඩු රෝගය බහුල ප‍්‍රදේශයේ ඇමතිවරයෙක් රජයට යෝජනාවක් දිරිපත් කර ඇති බවයි. ඔහු එය ඉල්ලා ඇතැයි කියන්නේ තේ වගාවේ උන්නතිය වෙනුවෙනි. ‘ඉරුදින’ කළ විමසුමකට පිළිතුරු දෙමින් ශ‍්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසුවේ, තේ වගාවේ වල් මර්ධනයට මාරක ‘ග්ලයිපොසේට්’ ඉල්ලා සිටීම, හාස්‍යජනක කාරණයක් බවයි.
‘තේ වගාව යම් විද්‍යානුකූල ක‍්‍රියාවලියක්. ඒ අනුව තේ පඳුර නිවැරදිව සකස් කළාම පොළොවට හිරු එළිය වැටෙන්නේ නෑ. ඉතින් වල් පැල වැවෙන්නේ නෑ. වැවෙන වල්පැල ශ‍්‍රමිකයන් යොදවා උදුරා දමන්න පුළුවන්. එතකොට තේ වගාවේ පරිසරයත් රැකෙනවා. ‘ග්ලයිපොසේට්’ ඕනෑ නෑ’, ඔහු පැවසුවේ ය.
කෙසේ හෝ වේවා, ‘ග්ලයිපොසේට්’ ප‍්‍රශ්නය රේගු නිලධෘරීන්ගේ සිත් කළඹවන, රටේ ජනාධිපතිවරයාගේ තීන්දු පවා බලාත්මක නොකරන ඉතා බලවත් එකක් බව, රටට පැහැදිලිවෙමින් තිබේ.
2015/05/31-ඉරුදින
No comments:
Post a Comment