‘‘ග්ලයිපොසේට්’’ ටොන් 278 ක් ගොඩ බෑම හෙවත්
රටට මාරයා කැන්දා ගැනීම
(ක්‍රිෂ්ණ විජේබණ්ඩාර)
‘‘පය බරවායට පිටිකරට බෙහෙත් බඳිනවා’’ යනුවෙන් අපේ පැරණි කියමනක් තිබේ. පාදයේ හටගත් ‘‘බරවාය’’ හෙවත් රෝගාබාධය සුව කිරීම පිණිස, පිටිකර හෙවත් ගෙලෙන් පහළ පිට කොන්දට බෙහෙත් බ`දිනවාය යන්න එහි සරල අරුතයි. ජන වහරෙහි එන හැටියට මෙසේ කියන්නේ, කළයුතු කාරිය නොකර වෙනත් නිරර්ථක, ඵල රහිත වැඩ කරන පිරිස් උපහාසයට ලක් කරනු පිණිස ය. මහජනතාවගේ පැත්තෙන් කල්පනා කරන කල, ලංකාවේ මෑතකාලීන පාලකකාරකාදීහු ද පය බරවායට පිටිකර බෙහෙත් බැඳීමෙහි ගජ හපන්නු ය. ඒ බව ඔවුන් වැඩ කරන හැටියෙන්ම පෙනී යයි. ඊට ආසන්නම උදාහරණ සිද්ධිය, ඉකුත් සඳුදා (2015/05/11) හටගත් ‘‘ග්ලයිපොසේට් කන්ටේනර් 20ක් පිළිබඳ කාරණයයි.
සිද්ධිය මෙසේය.
ලංකාවේ එක්තරා කෘෂිරසායන අලෙවි සමාගමක්, ඉන්දුනීසියාවෙන් ‘‘ග්ලයිපොසේට්’’ නමැති වල්නාශක රසායන අඩංගු කන්ටේනර් 15ක් ලංකාවට ගෙන්වා තිබේ. ඒවායෙහි අඩංගු ග්ලයිපොසේට් රසායන තොගය කිලෝග‍්‍රෑම් 2,78,940 කි. ලීටර්වලින් නම් 2,36,000 කි. මෙටි‍්‍රක් ටොන්වලින් නම් 278.94 කි. කෘෂි රසායන අලෙවි සමාගම ඉකුත් සඳුදා (2015/05/11) සිය ග්ලයිපොසේට් තොගය රේගුවෙන් මුදාගෙන ගොස් තිබේ. ඒ, ග්ලයිපොසේට් රටට ආනයනය කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඔවුන්ට නිකුත්කර ඇති නිල අවසරපතක්ද ඉදිරිපත් කරමිනි.
ග්ලයිපොසේට් වූ කලී, උග‍්‍ර විෂ සහිත, සමූලඝාතක වල් නාශක වර්ගයකි. එය, ලංකාවේ කෘෂිකාර්මික ප‍්‍රදේශවල පැතිරයමින් තිබෙන මාරාන්තික වකුගඩු රෝගයට ද හේතුකාරක වන බව, පර්යේෂණ මගින් හෙළි විය. ග්ලයිපොසේට් පිළිකාකාරකයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ද පිළිගෙන තිබේ. ලංකාවේ සීමිත කෘෂිකාර්මික ප‍්‍රදේශ කිහිපයක ඒවා අලෙවිය සහ භාවිතය ද තහනම් කර ඇත. කරුණු මෙසේ වුවද රේගු බලධාරීන්ට ග්ලයිපොසේට් තොගය මුදා හරින්නට සිදු විය. ඒවා රටට ආනයනය කරන්නට තහනමක් නොවීම, ඊට හේතුවයි. මෙය
එක් අතකට බලයේ සිටින ආණ්ඩු ‘පය බරවායට පිටිකර බෙහෙත් බඳින්නට’’ දක්වන කැමැත්තෙහි ප‍්‍රතිඵලයකි. ඊට පින්සිදු වන්නට 2015 යල කන්නෙහි සහ 2015/2016 මහ කන්නයෙහි ග්ලයිපොසේට් තොගය, ලංකාව පුරා කෘෂිකාර්මික පසට එක්වනු ඇත්තේය.
මාරාන්තික වකුගඩු රෝගය ආරම්භ වූවා යයි සැලකෙන්නේ, 1993 වර්ෂයේ සිටය. එහි ව්‍යාප්තිය අනුරාධපුරයෙන් පටන් ගත් අතර එකල එයට ‘‘රජරට මාරාන්තික නිදන්ගත වකුගඩු රෝගය’’ යයි ව්‍යවහාර කෙරිණි. උන්හිටි ගමන් වකුගඩු නරක්වී අතිශය දුක්ඛිත මරණයක් ළඟාවීම රෝගයේ ස්වභාවයයි. සෞඛ්‍ය හා වෛද්‍ය අංශවල ව්‍යවහාරය අනුව 1993 වසරේ පටන් මේ දක්වා (2014) පුද්ගලයන් 25,000ක් පමණ රෝගයෙන් මියගොස් තිබේ.
මුල් කාලයේ වකුගඩු රෝගයට බලපාන හේතුකාරක මෙනවාදැයි සොයා ගැනීමට නො හැකිව තිබිණි. පසුව රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන සහ කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප‍්‍රියානි පරණගම ඇතුළු විද්වත් පිරිසක් කළ පර්යේෂණයකින් කෘෂි රසායන ඔස්සේ පොළොවට එකතුවන ‘‘ආසනික්’’ සහ ‘‘කැඞ්මියම්’’ ආදී විෂ සහිත බැර ලෝහ නිසා රෝගය හට ගන්නා බව හෙළිදරව් කෙරිණි. මෙය ඉතාමත් ආන්දෝලනයකට තුඩු දුන් සොයා ගැනීමක් විය. ඔවුන්ගේ පර්යේෂණ වාර්තාව 2010 වසරේදී නිකුත් කෙරිණි. පසුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙහෙයවීමෙන්ද තවත් පර්යේෂණයක් කෙරිණි. රෝගයට හේතුව ‘‘ආසනික්’’ බව එයින් ද තහවුරු විය. එම වාර්තා 2011 සහ 2012 යන වර්ෂවල නිකුත් කෙරිණි.
මේවන විට, අනුරාධපුරය, පොළොන්නරුව සහ යාපනය යන දිස්ත‍්‍රික්ක වලද බදුල්ල දිස්ත‍්‍රික්කයේ ගිරා`දුරු කෝට්ටේ, රිදීමාලියැද්ද සහ කන්දකැටිය යන ප‍්‍රදේශවලද, මොණරාගල දිස්ත‍්‍රික්කයේ හම්බේගමුව, වැල්ලවාය, බුත්තල සහ තණමල්විල යන ප‍්‍රදේශවල ද කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ නිකවැරටිය, මහව, සහ යාපහුව යන ප‍්‍රදේශවලද මාතලේ දිස්ත‍්‍රික්කයේ විල්ගමුව සහ හෙට්ටිපොල යන ප‍්‍රදේශවලද හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ තිස්සමහාරාම සහ ලූණුගම්වෙහෙර යන ප‍්‍රදේශවල ද මාරාන්තික වකුගඩු රෝගය ව්‍යාප්තවී ගොසිනි. මේ වන විට රෝගය වැළඳුණු ජන සංඛ්‍යාව 1,80,000 ක් විය හැකි බව, සෞඛ්‍ය හා වෛද්‍ය අංශවල මතයයි. මහාචාර්ය සුනිල් විමලරත්න මහතා කළ පර්යේෂණයකට අනුව, රෝගය නිසා මසකට 400 දෙනෙක් මියයති.
පසුකාලීනව වෛද්‍ය චන්න ජයසුමන මහතා ඇතුළු පිරිසක්, ඇමරිකාවේ කැලිපෝනියා රාජ්‍ය විශ්වවිද්‍යාලයේදී කළ තවත් පර්යේෂණයකින් අනාවරණය වුයේ, ආසනික් ඇතුළු බැර ලෝහ වකුගඩුකරා ගෙන යාම සඳහා ‘‘ග්ලයිපොසේට්’’ නැමති විෂ රසායනිකය උපකාරීවන බවයි.
ආසනික්, කැඞ්මියම් ඇතුළු බැර ලෝහ සහ ග්ලයිපොසේට් පසට සහ ජලයට මුසු වන්නේ වී, තේ, රබර් ඇතුළු භව බෝග වගාවන් සඳහා යොදන රාසායනික පොහොර, රසායනික කෘමි නාශක, වල් හා දිලීර නාශක ආදී කෘෂි රසායන ඔස්සේ ය. සාමාන්‍යයෙන් ලංකාවේ සමස්ත වී වගා බිම් ප‍්‍රමාණය හෙක්ටයාර් 12,27,000 ක් පමණ වේ. තේ වගා බිම් ප‍්‍රමාණය හෙක්ටයාර් 2,22,000 කි. පොල් වගා බිම් ප‍්‍රමාණය හෙක්ටයාර් 3,95,000 කි. රබර් වගාව හෙක්ටයාර් 1,32,000 කි. මේවා ද ඇතුළුව ලංකාවේ සමස්ත බව බෝග වගා බිම් ප‍්‍රමාණය හෙක්ටයාර් 20,00,000 කට ආසන්න වේ. ඒ සියලූ භූමිය අස්වද්දන්නේ කෘතිම රසායනික පෙහොර සහ උග‍්‍ර විෂ සහිත කෘෂි රසායන වර්ග භාවිත කිරීමෙනි.
මාරාන්තික වකුගඩු රෝගය වේගයෙන් පැතිර යන විට, රටේ පාලකයෝ රෝගයට බිළිවූවන්ගේ සුව සෙත පිණිස යම් යම් ක‍්‍රියාමාර්ග ගත්හ. ප‍්‍රතිකාර පහසුකම් වර්ධනය කිරීම, පිරිසිදු ජලය සැපයීම, ආදිය ඒ අතර විය. ඒ සමඟම පාරම්පරික දේශීය වී වර්ග කාබනික ක‍්‍රමයට වගා කරවීමේ වැඩ පිළිවෙලක් ද දියත් කෙරිණි. එහෙත් මාරාන්තික වකුගඩු රෝගය ගැන පර්යේෂණ කරන, ඒ ගැන උනන්දුවක් දක්වන බහුතර මහජනයාගේ ඉල්ලීම වූයේ විෂ සහිත කෘෂි රසායන භාවිතය, ලංකාවෙන් සදහටම තුරන්කර දමන ලෙසයි. ඒවා රටට ගෙන්වීම වහාම තහනම් කරන ලෙසයි. එවකට පැවති මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව ඒ ඉල්ලීම් සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නො කළේය. ආනයනික කෘතිම රසායනික පොහොරවල ප‍්‍රමිතිය ගැනද විධිමත් සොයා බැලීමක් නො කෙරිණි.
පසුව 2013.04.07 වැනිදා රජය විෂ සහිත කෘෂි රසායන වර්ග තුනක් ලංකාවට ගෙන්වීම තහනම් කළේය. ‘‘ක්ලෝරොෆයිරිෆෝස්’’, ‘‘ප්‍රොපනිල්’’ සහ ‘‘කාබරිල්’’ යන කෘෂි රසායන ඒ අතර විය. ඊට පසුව 2014.12.22 දින රජය, ‘‘ක්ලෝරොෆයිරිෆෝස්’’,‘ ‘ප්‍රොපනිල්’’,‘‘කාබරිල්’’,කාබොෆියුරාන්, සහ ‘‘ග්ලයිපොසේට්’’ යන කෘෂි රසායන වර්ග සීමිත කෘෂිකාර්මික ප‍්‍රදේශයක භාවිතය සහ අලෙවිය තහනම් කළේය. අනුරාධපුරය, පොළොන්නරුව, කුරුණෑගල සහ මොණරාගල යන දිස්ත‍්‍රික්ක ද, බදුල්ල දිස්ත‍්‍රික්කයේ මහියංගණය, රිදීමාලියැද්ද, සහ කන්දකැටිය යන ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාස තහනමට ඇතුළත්කර තිබිණි.
ඒ සමගම, ගොවීන්, පරිසර සංවිධාන සහ රටවැසි බහුතරයක් දෙනා රජයෙන් ඉල්ලා සිටියේ, ‘‘ග්ලයිපොසේට්’’ ලංකාවට ගෙන්වීම තහනම් කරවන ලෙසයි. එවකට පැවති රජය ඉල්ලීම එක තඹයකට ගණන් ගත්තේ නැත. ඒ වෙනුවට රෝගයට බිළිවූවන්ගේ ප‍්‍රතිකාර පහසුකම් පුළුල් කළහ. නො එසේ නම් ‘‘පය බරවායට පිටිකරට බෙහෙත් බැන්දහ.
‘ග්ලයිපොසේට්’ ලංකාවට ගෙන්වීම නතර කරන ලෙස ඉල්ලූ අයට ඉකුත් රජයේ කෘෂිකර්ම අමාත්‍යංශයෙන් ලැබුණේ කදිම පිළිතුරකි. ලංකාවේ තේ වගා භූමිවල වල් මර්ධනය සඳහා ‘‘ග්ලයිපොසේට්’’ අඩංගු වල් නාශක වර්ග බහුලව භාවිත කරන බැවින් ඒවා ආනයනය තහනම් කළ නො හැකි බව ඔවුන් දුන් පිළිතුරෙහි සඳහන් විය. තේ වගා භූමිවල වල් මර්ධනය සඳහා ‘‘ග්ලයිපොසේට්’’ අඩංගු වල් නාශක බහුලව ඉසින බව ඇත්තකි. එයින් තේ වගාව කෙරෙන තෙත් කලාපීය භූමිවල, ජල මූලාශ‍්‍ර දූෂණය වන බවත්, එය අනාගතයේදී තවත් මාරාන්තික රෝග යකට අතවැනීමක් වන බවත් කිසිවෙකු කල්පනා නොකළහ.
මේ අතර ලංකාවේ ආහාරයට ගන්නා, නව වැඩිදියුණු වී වර්ගවල සහල්වල පවා මනුෂ්‍ය භාවිතයට අහිතකර මට්ටමින් ‘‘ආසනික්’’ ඇති බව 2015.01.30 වැනිදා අනාවරණය විය. ඒ, ‘International
Journal of Food Contamination’’ නම් ජාත්‍යන්තර සඟරාවට, වෛද්‍ය චන්න ජයසුමන මහතා ඇතුළු පිරිසක් යොමුකළ පර්යේෂණ ලිපියකිනි. ලංකාවේ භාවිත වන සහල්වලින් සියයට 70 කම, මිනිස් සෞඛ්‍යට අහිතකර මට්ටමින් ආසනික් අඩංගු වන බව එහි දැක්විණි.
මාරාන්තික වකුගඩු රෝගයට බලපාන විෂ සහිත කෘෂි රසායන පිළිබඳ ගැටලුව ඉකුත් ජනාධිපතිවරණ ඡන්ද රැස්වීම් වේදිකාවේදී ද දැඩි කතාබහට ලක් විය. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව ඒවා ආනයනය තහනම් නො කළැයි බරපතල ලෙස චෝදන එල්ල විය. චෝදනාව ඇත්තය. විද්වතුන් විසින් ‘‘ඇහැටම ඇඟිල්ලෙන් ඇන’’ පෙන්වාදී තිබිය දීත් පැවති ආණ්ඩුව විෂ සහිත කෘෂි රසායන රටට ගෙන්වීම තහනම් කළේ නැත. රට පියවරෙන් පියවර හෝ කාබනික කෘෂිකර්මයකට තල්ලූකර ගෙන ගියේ නැත. එක්කෝ කෘෂි රසායන සමාගම්වල බලය හමුවේ ඔවුන් බිය වූවාද විය හැකිය. නැතිනම් ඔවුන් ආණ්ඩුවට දුන් යම් යම් වරදාන හමුවේ නිශ්ශබ්දව සිටියා ද විය හැකි ය. කෙසේ වෙතත් අලූත පත් වූ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ආණ්ඩුව මේ සම්බන්ධයෙන් වඩා යහපත් පියවරක් ගනු ඇතැයි මහජනයා බලාපොරොත්තු වූහ. ධුරයට පත්වූ අලූත ඔහු ජන හමුවක් අමතමින් අසා තිබුණේ තමන් කෘෂි රසායන සමාගම්වලට බිය නොවී කටයුතු කරන බවයි. ඒ අතරම අලූත් ආණ්ඩුව වකුගඩු රෝගීන් සඳහා මුදල් දීමනාවක් පිරිනැමීමේ වැඩ සටහනක් ද ඇරඹුවේය. චීන රජයේ ආධාර ඇතිව වකුගඩු රෝහලක් ඉදි කරන්නට ද සැලසුම්කර තිබේ. මේ සියල්ල අයහපත් දේවල් නොවේ. එසේ වුවද ඒවා රෝගයට බලපාන ‘‘හේතුකාරකය’’ මුලිනුපුටා දැමීමට නොව රෝගයෙන් ලැබෙන ‘‘ප‍්‍රතිඵලයට’’ කෙරෙන පිළියම්ය. ඒ හැර රෝගයට ‘‘ප‍්‍රධාන හේතුකාරකය’’ ලෙස හඳුනා ගෙන ඇති විෂ සහිත කෘෂි රසායන රටට ගෙන්වීම තහනම් කිරීමේ වැඩ පිළිවෙලක් නම් තවමත් ක‍්‍රියාවට නැගුණේ නැත. මැතිවරණ වේදිකාවේ මේ ගැන ‘‘ඇට්ටි හැලෙන්නට’’ කතා කළ නාමධාරී ගුණෝපේත දේශපාලනඥයන්ටද දැන් කාරණය අමතකවුණු සෙයකි.
‘‘ග්ලයිපොසේට්’’ ආනයන සිද්ධිය හෙළිදරව් වුණ ඉකුත් සඳුදා (2015/05/11) පරිසර සංවිධාන සහ ගොවි සංවිධාන ක්ෂේත‍්‍රයේ මහත් කැළඹීමක් ඇති විය. එදිනම මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ ශී‍්‍ර ලංකා හරිත ව්‍යාපාරයේ වැඩ සටහන් කළමනාකාර බන්දුරංග කාරියවසම් මහතා අති විශාල ‘‘ග්ලයිපොසේට්’’ තොගයක් රටට ඇතුළුකර ගැනීමෙන් අත්වන මහා ව්‍යසනය ගැන අනතුරු ඇඟවීය. ඒවා හැකි ඉක්මණින් ආපසු ඉන්දුනීසියාවට යැවිය යුතු බවත්, ‘‘ග්ලයිපොසේට්’’ ආනයනය වහාම තහනම් කළ යුතු බවත් කියා සිටියේ ය.
‘‘ග්ලයිපොසේට්’’ මෙටි‍්‍රක්ටොන් 278.94ක තොගයක් රටට මුදා හරින්නට සිදුවීම කෙතෙක් බරපතල දැයි අමුතුවෙන් කිවයුතු නොවේ. ඉන් පෙනී යන්නේ පැරදී ගෙදර ගිය ආණ්ඩුව මෙන්ම අලූත පත්වූ ආණ්ඩුවද ‘‘පය බරවායට පිටිකරට බෙහෙත් බඳින්නට’’ දැඩි කැමැත්තක් දක්වන බවයි.
ඉරුදින-2015/05/17.
No comments:
Post a Comment