Total Pageviews

Saturday, March 25, 2017

දේශීය පාරම්පරික වී සම්පත ජෛව සම්පත් මංකොල්ලකරුවන්ට බිලි වීමේ අවදානමක්!


දේශීය පාරම්පරික වී සම්පත 
 ජෛව සම්පත් මංකොල්ලකරුවන්ට
බිලි වීමේ අවදානමක්!


 
(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
එය 1980 දශකයේ එක්තරා දවසකි. කෘෂිකර්ම පුහුණුවක් සඳහා ලංකාවෙන් ගිය නිලධාරි කණ්ඩායමක්, ජපානයේ කිසියම් අධ්‍යයන ආයතනයක සැසිවාරයකට සහභාගිවෙමින් සිටියහ. එදින දේශකයා වූයේ ජපන් ජාතික මහාචාර්යවරයෙකි. පැමිණ සිටි පිරිස ලංකාවේ අය බව ඇසූ ඔහු මහත් සතුටට පත් විය. ලංකාවේ කෘෂිකර්මාන්තය ඉතා හොඳ තත්ත්වයේ පවතින බවත්, එය සුන්දර රටක් බවත් මහාචාර්යවරයා කීය. ඉන් පසුව ඔහු ප‍්‍රශ්නයක් ඇසුවේ ය.
 

‘උඹලාගේ රටේ දස මහා යෝධයෝ කියලා කට්ටියක් ඉඳලා තියෙනවා. උඹලාගේ රජවරු ඒ අයට කන්න දීලා තියෙන සහල් වර්ගය මොකක්ද?’ යන්න, ජපන් මහාචාර්යවරයාගේ ප‍්‍රශ්නය විය.
 

ලංකාවේ පිරිස මුහුණට මුහුණ බලා ගත්හ.  නවීන පන්නයේ රසායනික ගොවිතැන පිළිගෙන සිටි ඔවුන් එවන් දෙයක් දැන සිටියේ නැත. ජපාන මහාචාර්යවරයා ලංකාවේ දස මහා යෝධයන් ගැන දැනුවත්ව සිටීම පවා මහත් කුතුහලයක් ගෙන දිණි. අවසන මහාචාර්යවරයා තමන් ඇසූ ප‍්‍රශ්නයට, තමන්ම උත්තර බැන්දේ ය.
 



’ඒ තමයි උඹලාගේ රටේ තිබෙන ‘අකුරම්බඩ වී’. ඒවායේ සහල් තමයි උඹලාගේ රජවරු යෝධයන්ට කන්න දීලා තියෙන්නේ!’
ලංකාවෙන් ගිය පිරිස තුෂ්ණිම්භූත වූහ.
 

‘ලංකාවෙදි උඹලාගේ මිනිස්සු තමයි මේවා අපට කියලා දුන්නෙ’, මහාචාර්යවරයා තවදුරටත් පැහැදිලි කළේ ය.
 

මේ කතාව ලියුම්කරු සමග පැවසුවේ, ප‍්‍රකට ගොවි නායකයෙකු වන පොළොන්නරුව කවුඩුල්ලේ එම්. කේ. ජයතිස්ස මහතා ය. කලකට ඉහත, තමන් සහභාගිවූ ගොවි පුහුණු පන්තියක දේශනයකට පැමිණි ඩබ්ලිව්. ඒ. එල්. අබේසිංහ නමැති කෘෂි විද්‍යාඥයෙක්, සිය කතාවේ දී ‘අකුරම්බඩ වී’ ගැන පුවත අනාවරණය කළ බව හෙතෙම පැවසී ය. 

ජයතිස්ස මහතා පැවසූ ආකාරයට, ඩබ්ලිව්. ඒ. එල්. අබේසිංහ මහතා,  ‘අකුරම්බඩ වී’ ගැන සඳහන් වුණු  ජපානයේ පැවති පුහුණු වැඩසටහනට සහභාගිවූ කණ්ඩායමේ කෙනෙකි.
 

මෙය වසර විස්සකටත් වඩා පැරණි කතාවක් බව ඇත්ත ය. එහෙත් එයින් කියැවෙන ‘යටිපෙළ අරුත’ වර්තමානයට බොහොම වටින්නේ ය. 1980 දශයේ දී පවා ජපාන කෘෂි විද්‍යාඥයින් අපේ දේශීය පාරම්පරික වී සම්පතෙහි විශේෂතා ගැන දැන සිටි බව හෙළිදරව් වීම, එයට හේතුව ය!
 


වර්තමානයේ ලංකාවේ ‘දේශීය පාරම්පරික වී සම්පත’, ජාන සම්පත් මංකොල්ලකරුවන්ගේ ග‍්‍රහණයට හසුවීමේ අවදානමක් පැන නැගී තිබේ. එයින් නිපැයෙන බත, පෝෂණීය සහ ඖෂධීය ගුණයෙන් පිරිපුන් බව ලෝකයට හෙළිදරව්වීම, ඊට හේතුව යි! එයට දියවැඩියාව, පිළිකා ඇතුළු බෝ නො වන රෝග පාලන හැකියාව ද ඇති බව, ‘කාර්මික තාක්ෂණ ආයතනය’ සහ තවත් පර්යේෂකයන් මෑතක කළ විද්‍යාත්මක පර්යේෂණ ද මගින් අනාවරණය විණි. පර්යේෂණවල තොරතුරු ජාත්‍යන්තර මට්ටමේ විද්වත් ප‍්‍රකාශනවල ද පළ විය. ඊට පෙර පටන්ම දේශීය පාරම්පරික සහලෙහි දැඩි ඖෂධීය සහ පෝෂණීය ගුණ පැවති බව, දේශීය වෙදකම් ඔස්සේ  ද ලංකාවාසීහු දැන සිටියහ.
 

එබැවින් කවුඩුල්ලේ එම්. කේ. ජයතිස්ස මහතා පවසන පැරණි කතාවට දැන් යම් අවධානයක් දැක්විය යුතුව තිබේ.
 

ශ‍්‍රී ලංකාව  ඉතා ඉහළ ජෛව විවිධත්වයක් ඇති රටකි. ගහ කොල, සතා සීපාවා මෙන්ම අනෙකුත් ක්ෂුද්‍රජීවීන් සම්බන්ධයෙන් එය මැනවින් කැපී පෙනෙයි. අපේ ජෛව විවිධත්වය තුළ හමුවන ශාක, සත්ත්ව, සහ ජීවී විශේෂ බහුතරයක් ශ‍්‍රී ලංකාවට ආවේණික ය. එබඳු ශාක, සත්ත්ව සහ අනෙකුත් ජීවී විශේෂ ලොව අන් කිසිදු රටකින් හමු නො වන්නේය යන්න, එහි අර්ථයයි.
 

එය අපූර්ව කාරණයකි. ඒ නිසාම දැනට දශක තුනක පමණ කාලයක සිට ලංකාවේ ජෛව සම්පත්, විදේශීය කොල්ලකරුවන්ගේ ග‍්‍රහණයට හසුව තිබේ. එය ඉතා ප‍්‍රබල, එමෙන්ම ඉතා ඉහළ ආදායම් ලැබෙන ජාවාරමකි. ලංකාවේ හමුවන ශාක, සත්ත්ව සහ අනෙකුත් ජීවී විශේෂ මගින් ඖෂධ, පෝෂණීය ආහාර සහ පාන වර්ග නිපදවිය හැකි බවත්, දියවැඩියාව ආදී බෝ නො වන රෝග තත්ත්වයන් එයින් පාලනය කළ හැකි බවත් ඔවුහු දනිති. අපේ ජෛව සම්පත්වලින් යම් යම් දෑ නිපදවා, ඒවා ඔවුන්ගේ නමට ජාත්‍යන්තර ‘පේටන්ට් බලපත‍්‍ර’ ලබා ගෙන, ඉහළ ආදායම් උපදවා ගැනීම, ජාවාරමේ ස්වභාවයයි. 

ලංකාවේ ඖෂධීය ශාක සම්පත, රටවැසියන්ගේ විවිධ ලෙඩ රෝග මැඩපැවැත් වීම සඳහා අනාදිමත් කාලයක් මුළුල්ලේ භාවිතා කෙරිණි. ඒ ගැන කරුණු සම්භාරයක්ම දේශීය වෛද්‍ය ග‍්‍රන්ථ සහ වෙද පරම්පරා සතුව පැවති පෞද්ගලික බෙහෙත් වට්ටෝරුවල ද සටහන්ව තිබිණි. 1990 දශකය තුළ ඒවා ද කොල්ලයට ලක් විය.
 

ලංකාවේ ජෛව සම්පත එවන් ජාත්‍යන්තර ජාවාරමකට හසුව ඇති බව බරපතල ලෙස හෙළිදරව් වූයේ, 1998 වසරේ ජුනි මස 28 වැනි දා ය. දේශීය කොතලහිඹුටු ශාක කොටස් මෙටි‍්‍රක් ටොන් හතරකට අධික තොගයක්, අතිශයින්ම හොර රහසේ, නීති විරෝධීව ජපානයට අපනයනය කරන්නට යද්දී රේගු නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වීම, එම සිද්ධියයි.

 වැටලීම මෙහෙය වූයේ, එවකට ශ‍්‍රී ලංකා රේගුවේ ‘වනජීවී කාර්ය සාධක බලකායේ’ (පසුව රේගුවේ,  ‘ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකය’) ප‍්‍රධානි, රේගු අධිකාරී සමන්ත ගුණසේකර මහතා ප‍්‍රමුඛ නිලධාරීන් කණ්ඩායමක් විසිනි. 
ජපාන සමාගමක් අපේ කොතලහිඹුටුවලින් දියවැඩියා රෝග පාලන ඖෂධ නිපදවන බව, රේගු විමර්ශනවලදී හෙළිදරව් විය. (1998 වසරේ අගෝස්තු මස 16 වැනි දා ‘ලක්බිම ඉරිදා සංග‍්‍රහය’, සිය මුල් පිටුවේ ඡුායාරූපය ඔස්සේ සිද්ධිය අනාවරණය කළේ ය.)
 

ඒ සමගම බොහෝදෙනා ගේ ඇස් ඇරුණි. ලංකාව හසුවී සිටින ජාන සහ ජෛව සම්පත් මංකොල්ලය, නො රටුන්ට අධික ලාභ ගෙන දෙන, ලංකාවේ අපට කිසිදු ලාභ ප‍්‍රයෝජනයක් (එක ඩොලරයක්වත්) නො ලැබෙන කූට ජාවාරමක් බව එයින් පසක් විය. මුල් කාලයේ, එනම් 1940 දශකයෙන් පසුව මේ ජාවාරමට බිලි වූයේ ‘බිබිලේ දොඩම්’ ය.
 

පසුව දේශීය කරවිල, මස්බැද්ද, ඒකාවේරිය, ගම්මාලූ, හීන් අරත්ත, සෙම් රෝග සඳහා පානය කරන පස්පංගු කසාය, දේශීය බිනර මල්, කෙකටිය ආදී ඖෂධීය මෙන්ම විසිතුරු ශාක ද, සංයෝග ද කොල්ලයට බිලි විණි. දිවි මකුළුවන්, මහගල් හූනන්, කැදලි තුරීතයන්ගේ කූඩු, දේශීය විසිතුරු මසුන් වැනි වනජීවීන් ද ජාවාරමට හසු වූහ. එකල ජාවාරමේ තිරය පිටුපස ර`ග දැක්වීම් කළේ, ජපානය, ඇමරිකාව සහ  ඕස්ටේ‍්‍රලියාව යන රටවල ඖෂධ සමාගම් ය. ඔවුන්ගේ සහාය පිණිස ‘ඩොලර් කුට්ටි’ ගිල දැමූ, උගත්  දේශීය ඒජන්තවරුන් ද උන්හ!
 

ජාවාරමට එරෙහිව, එකල බොහෝ පරිසරවේදීහු සටන් වැදුණහ. ඔවුන් එක හඬින් කියා සිටියේ දේශීය ජෛව සම්පත් විදෙස්ගත කිරීම් පාලනය කිරීම පිණිස විශේෂ නීති රෙගුලාසි පැනවිය යුතු බවයි. එසේම තර්ජනයට ලක්ව ඇති ශාක සහ සත්ත්ව විශේෂ සඳහා නෛතික ආරක්ෂාවක් පැනවිය යුතු බවයි. රටේ පාලකයෝ එවන් පියවරක් නො ගත්හ. පොරොන්දු පමණක් දුන්හ.
 

එසේ වුව ද ශ‍්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකය, ලංකාවේ ‍ෙජෙව සම්පත් අනවසරයෙන් එතෙර යැවීමට එරෙහිව විශාල වැඩ කොටසක් කර ගෙන ගියේ ය. රේගු අධිකාරී සමන්ත ගුණසේකර මහතා එහි නියමුවා විය. සටනෙහි යෙදුණු පරිසරවේදීන්ට නීති සහාය ලැබුණේ, පාරිසරික නීතිඥ ජගත් ගුණවර්ධන මහතා ගෙනි.
 

2010 දශකය මුල් භාගයේ දී ලංකාවේ ‘වල්ලපට්ටා’ ශාකය ද මෙබඳු ජාවාරමකට හසු විණි. එය පාලනයකර ගන්නට පවා අසීරු විය. එයින් රටට ලැබිය හැකි ආර්ථික වාසිය පවා අත්කර ගන්නට රටේ පාලකයන්ට නො හැකි විය. ‘වල්ලපට්ටා’ ජාවාරම පාලනයකර, රටට හිතකර පරිදි මෙහෙයවා ගන්නට ගන්නට නො හැකි වීම, වර්ෂ 1998 දී පටන්, රටේ ජෛව සම්පත වෙනුවෙන් පරිසරවේදීන් නැගූ හඬ පාලකයන් විසින් ගණන් නො ගත් බව පෙන්නුම් කරන හොඳම නිදසුනයි! 
 

ලංකාවේ දේශීය පාරම්පරික වී සම්පත, දේශීය හා ජාත්‍යන්තර වශයෙන් වෙනදාට වඩා වැඩි අවධානයක් දිනා ගනිමින් තිබෙනුයේ මෙවන් පසුබිමක ය.
 

දැනට ක‍්‍රියාත්මක වන ආකාරයට. ලංකාවෙ ජෛව සම්පත් සම්බන්ධයෙන් ප‍්‍රධාන නෛතික ආරක්ෂකයා වන්නේ, ‘1999 සංශෝධිත වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතයි’.  ඊට අමතරව  ‘ශාක ආරක්ෂණ පනත’, ‘වන ආඥා පනත’ සහ රේගු ආඥා පනත’ ආදී තවත් අණ පනත්වල සහාය ද එයට ලැබේ.
 

‘1999 සංශෝධිත වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත’ යටතේ, විවිධ වර්ගවලට අයත් සත්ත්ව සහ ශාක විශේෂ රාශියක් ‘ආරක්ෂිත’ තත්ත්වයට පත්කර තිබේ. එහෙත් ඒවා හෝ ඒවායෙහි කොටස්, යුෂ නිස්සාරක ආදිය අපනයනය කිරීමට එරෙහිව තහනම් නීති පනතෙහි සඳහන් නො වන බව තතු දන්නා අයගේ මතයයි. නීති ගැන දන්නා ඇතැමුන් එම අදහස ප‍්‍රතික්ෂේප  කරති. ඔවුන් කියන්නේ, පනතින් ආරක්ෂිත තත්ත්වයට පත් කළ පසුව ඒවා විදෙස්ගත වීම් ද තහනම් වන බවයි. කෙසේ හෝ වේවා, දැනට බලාත්මකව පවතින අණ පනත්වල පවා විවාදාපන්න තත්ත්වයක් ඇති බව එයින් පෙනේ.
 

කෙසේ වෙතත්, ලංකාවේ ඇති වී ශාකවල ‘වනගත දර්ශ’ (වල් වී)  මිස, දේශීය පාරම්පරික වී වර්ග (ප‍්‍රභේද) එකක්වත්  මේ කිසිදු පනතකට ඇතුළත්ව නැත.  ඒවා විදේශගත කිරීම තහනම් යයි විශේෂ නීති ද  පනවා නැත.
 

ලංකාවේ දේශීය පාරම්පරික වී සම්පත ගැන මහජන කතිකාවක් හට ගත්තේ, රජරටින් ඇරඹී, තවමත් දිවයිනේ වියලි කලාපීය පෙදෙස්වල පැතිරෙමින් තිබෙන මාරාන්තික වකුගඩු රෝගයේ විලාපය ද සමගිනි. ඒ සමගම දියවැඩියාව, පිළිකා සහ හෘද ආදි බෝ නො වන රෝග පැතිරීම වැඩි වීමේ තත්ත්වය ද, ඒවා ගැන කෙරුණු විවිධ පර්යේෂණ ද දේශීය පාරම්පරික වී සම්පත ගැන මහජන කතිකාවක් හට ගැනීම කෙරහෙි බලපෑවේ ය. එයින් මුළු රටම වස විසෙන් තොර ගොවිතැනක් පිළිබඳ කතිකාවකට තල්ලූවී ගියේ ය. එහි පුරෝගාමී ගොවිතැන වූයේ, දේශීය පාරම්පරික වී වර්ග, වස විසෙන් තොරව වගා කිරීමයි. එයින් නිපැයෙන බත අනුභව කිරීමයි. අද ලංකාවේ වී ගොවීන් විශාල පිරිසක් එහි නියැලී සිටිති.
 

රට එවන් තැනකට තල්ලූවී ගියේ නිකම්ම ද නොවේ. ‘හරිත විප්ලවය’ ලොවට පිළිසිඳුණු වර්ෂ 1960න් පසුව, දේශීය පාරම්පරික වී වර්ග සුරැුකීමට දිවිය කැප කළ පුරෝගාමී ගොවීන් අතලොස්සකගේ ව්‍යායාමය නිසා ය. නවීන ගොවිතැන පිළිකෙව් කළ ග‍්‍රාමීය ගොවීන් ද ඔවුන්ට උදව් කළහ. ඇලෙක්ස් තන්ත‍්‍රිආරච්චි සහ මතුගම සෙනෙවිරුවන් යන මහත්වරු ඒ අතර ප‍්‍රමුඛයෝ ය. දේශීය වී වගා කරන්නට රාජ්‍ය නො වන සංවිධානවල සහාය ද ලැබිණි.
 

එකල දේශීය පාරම්පරික වී වර්ග වගා කරන්නට රාජ්‍ය අංශයේ සහායක් නො ලැබුණේ ය. ඔවුන් සිටියේ නවීන රසායනික ගොවිතැන පැත්තේ ය. ‘හරිත විප්ලවය’ එන්නට පෙර. ලංකාවේ දේශීය පාරම්පරික වී වර්ග 4000ක් පමණ පැවතියේ යයි කියනු ලැබේ. නවීන ගොවිතැන ප‍්‍රචලිත වෙත්ම ඒවා අභාවයට ගියේ ය. එබැවින් ඒවා යළි ප‍්‍රතිෂ්ඨාපනය කිරීම මහත් අසීරු කටයුත්තක් විය.
 

දැන් තත්ත්වය බොහොම වෙනස් ය. පසුගිය මහින්ද රාජපක්ෂ රජය, වස විසෙන් තොර දේශීය පාරම්පරික වී ගොවිතැන රාජ්‍ය අනුග‍්‍රහය ලැබෙන තැනට ඔසවා තැබී ය. වර්තමාන මෛත‍්‍රී-රනිල් රජය ද එය පෙරටත් වඩා වේගයෙන් ඉදිරියට ගෙන යනු පෙනෙයි. වස විසෙන් තොර දේශීය පාරම්පරික වී වගා කිරීමේ රාජ්‍ය යාන්ත‍්‍රණය, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ අධීක්ෂණයෙන් ක‍්‍රියාත්මක වෙමින් පවතින බව ද පෙනෙයි. තතු දන්නා අය කියන්නේ, දැනට දේශීය පාරම්පරික වී වර්ග 600ක් පමණ රට පුරා ගොවීන් අත සංසරණය වෙමින් පවතින බව ය. මේ සියල්ල ඉතා යහපත් ප‍්‍රවණතාවයන් ය.
 

ඉතින්, වර්තමානය වූ කලී, දේශීය පාරම්පරික වී සම්පත  පෝෂණීය සහ ඖෂධීය ගුණයෙන් පිරිපුන් බවට විද්‍යාත්මකව කරුණු හෙළි වුණු සමයකි. වස විස රහිත දේශීය පාරම්පරික වී ගොවිතැනක්, රාජ්‍ය අනුග‍්‍රහය ද සහිතව  රට පුරා ව්‍යාප්ත වෙමින් යන සමයකි. එවන් සමයක දේශීය පාරම්පරික වී සම්පත ජෛව සම්පත් මංකොල්ලකරුවන් ගෙන් රැක ගන්නට ජාතික මට්ටමේ නෛතික වැඩ පිළිවෙලක් ආරම්භ කිරීම නො පමාව කළ යුත්තකි. රටේ පාලකයන්ට එවන් දැක්මක් ඇති බවක් නො පෙනෙයි. එය මහත් ඛේදජනක ය!
(සමාප්තයි)

පින්තූර-ප්‍රෑන්ක් ද සොයිසා
(මෙම ලිපිය 2017 මාර්ත්‍ර 19 වැනි දා ලක්බිම ඉරිදා සංග්‍රහයෙහි පළ විය)
2017/03/14.



No comments:

Post a Comment