Total Pageviews

Saturday, November 21, 2015

රට වැසියන්ට වස-විස නැති බත් කටක්!


අතීත උරුමයෙන් වර්තමානයට
වස-විස නැති පාරම්පරික බත් කටක්!


(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
‘පැසෙන විට, කෙත සුවඳයි-ඉදෙන විට බත සුවඳයි’ යන්න, ‘සුවඳැල්’ සහල ගැන අපේ පැරැන්නන් ඇදැහූ මතයයි. ඇල් වී වර්ගයක් වන සුවඳැල්, පැසී ගෙන එන විට කෙත පුරා සුවඳ හමයි. කුස්සියේ ඉදෙන විට බත ද සුවඳ හමන්නේ ය.

වරක් දඹුල්ලේ ‘රන්ගිරි දඹුළු ගොවි සංවිධානයට’ අයත් පැරණි වී වගා බිමක් නිරීක්ෂණය කරන්නට ගිය ලියුම්කරුට, ‘කෙත සුවඳයි’ යන්න සජීවීව අත් දකින්නට ලැබිණි. සුවඳැල් ශාකය, වැඩිය උස නැති, කෙසඟ පෙනුමින් යුත් ගොයම් ගසකි. හැන්දෑ දඹුළු සුළඟ, කරලින් බරව පැසෙමින් පැවති සුවඳැල් කෙතෙහි ඒ මේ අත දුවමින්, ප‍්‍රසන්න සුගන්ධයකින් අපේ නැහැපුඩු පිරිමැද්දේ ය. කතාවෙන් අසා තිබුණ ද, ‘සුවඳැල් කෙත සුවඳය’ යන්න ජීවිතයේ මුල්වරට හැබැහින් පසක්කර ගත්තේ එදා ය.

 
සුවදැල්
ඇලෙක්ස්-වමේ
අතීත ලංකාවේ පාරම්පරික දේශීය වී වර්ග හාර දහසක් පමණ වගා කෙරිණි. සුවඳැල්, මුතු සම්බා, කුරුළු තුඩ සහ දේශීය බාස්මතී බඳු සුවඳ හමන වී වර්ග පවා ඒ අතර විය. බිළිඳුන්ට කිරි දෙන අම්මලාට එකල වැඩිපුර කිරි එරෙන්නට දුන්නේ ‘ගෝනබරු’ හාලේ බත් ය. හීනැටි සහල් වර්ග බේතට-හේතට ගැනුණේ ය. ගොඩ-මඩ දෙකෙහිම නිපැයෙන සහලේ එකිනෙකට වෙනස් ඹෟෂධීය ගුණ ඇති බව ‘චරක සංහිතාව’ නමැති පැරණි වෛද්‍ය ග‍්‍රන්ථය රචනා කළ මහර්ෂිහු ද සඳහන් කළහ. දියවැඩියාව හෙවත් මධුමේහයට සුවඳැල් හාලේ බත ඉතා යහපත් බව, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මාහාචාර්ය සරත් බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් කළ පර්යේෂණයකින් සොයා ගැනුණි.


අතීත භාවිතාව අනුව ලංකාවේ පැවති වී වර්ග, මූලික වශයෙන් කාණ්ඩ හතරකට අයත් විය. ඉන් පළමුවැන්න ‘ගොඩ වී’ ය. එනම්, සම්පූර්ණයෙන්ම අහස් දිය හෙවත් වර්ෂා ජලයෙන් වගා කරන වී වර්ග ය. වගා කරන ප‍්‍රදේශ සහ භූමිය අනුව ඒවා ‘උඩරට වී’, ‘කඳු වී’ සහ ‘ඇල්මණ්ඩි වී’ යනුවෙන් ද හැඳින්විණි. සාමාන්‍යයෙන් මුහුදු මට්ටමෙන් අඩි 4000කට පමණ ඉහළ කඳුකර පෙදෙස්වල මෙන්ම, වාරි ජල සම්පාදනය අඩු වියලි කලාපීය ඇතැම් කුඹුරුවල ද ගොඩ වී වර්ග වගා කෙරිණි.

දෙවැනි කාණ්ඩය ‘ඇල් වී’ ය. අහස් දියෙන් වගා කෙරෙන හේන්වල වැපිරෙන වී වර්ග, ඇල් වී යනුවෙන් හැඳින්විණි. ඇල් වීවලින් නිපැයෙන් ‘ඇල් හාලේ බත්’, බිළිඳුන්ට කිරි දෙන මව්වරුන්ට ඉතා ගුණ යයි පැරණි භාවිතාවේ කියැවේ.

තුන්වැනි වී කාණ්ඩය ‘බාල වී’ ය. එනම් වර්ෂාව අඩු කන්නවල වපුරන මාස තුන-තුනහමාරේ වී වර්ග ය.

සිව්වැනි කාණ්ඩය ‘මා වී’ ය. ඒ වූ කලී, දියළු කුඹුරුවල (අධික ලෙස ජලය සහිත) වගා කෙරෙන වී වර්ගයකි. නිල්වලා ගඟ පහළ නිම්නයට අයත් අත්තුඩාව, මාලිම්බඩ සහ නාදුගල ආදී පෙදෙස්වල දියළු කෙත්බිම් අදත් වැපිරෙන්නේ  ‘මහ මා වී’ වියෙනි. පැසෙන්නට හය මාසයක් ගත වුව ද, එය විශ්මිත ගුණයෙන් යුත් සහලක් උපදින වී වර්ගයකි. මා වී බත, බෙහෙවින් ‘බර’ ය. එබැවින් වෙනත් බතක් තරම් වළඳන්නට නො හැකි ය. බත ලෙහෙසියෙන් පිළුණු නොවෙයි. පෝෂණ ශක්තියෙන් මෙන්ම, වාජීකරණ ගුණයෙන් ද අධික ය. කළු ගඟ නිම්නයේ ඇතැම් පෙදෙස්වල මෙන්ම,  ගම්පහ දිස්ත‍්‍රික්කයේ ඇතැම් පෙදෙස්වල ද තවමත් මා වී වගා කෙරේ.

 
සෙනෙවිරුවන්
ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජුගේ සිරකරුවෙකු වශයෙන් සිටි බි‍්‍රතාන්‍ය ජාතික රොබට් නොක්ස් ද (එදා හෙළදිව ග‍්‍රන්ථය), ලංකාවේ දේශීය පාරම්පරික වී වර්ගවල රුව-ගුණ ගැන කරුණු දක්වා තිබේ. ඔහු කියන හැටියට පැසීමට ගතවන කාලය වෙනස් වුව ද, ලංකාවේ වී වර්ගවලින් නිපැයෙන සහලේ බතෙහි මිහිරි රසය වෙනස් නොවේ. ඉක්මණින් පැසෙන වී වර්ගවල බත, ඉමිහිරි රසයෙන් යුක්ත වුව ද, ඒවායෙහි අස්වැන්න අඩු බව ඔහු කියයි.

දේශීය පාරම්පරික භාවිතාවෙහි වාජීකරණ ගුණ සහිත සහල් වර්ග ගැන ද කියැවෙයි. ඒ අතර සුවඳැල්, රත් ඇල්, කලූ හීනැටි, මා වී සහ කුරුළු තුඩ යන සහලේ බත ප‍්‍රධාන ය. ‘මුතු මාණික්කන්’ සහලේ බත, කතුන්ගේ රුව වඩවන බව ප‍්‍රකට ය.

දේශීය පාරම්පරික වී වර්ගවල බත කොතරම් ගූණවත් ද? යන්න, අද රටවැසි බොහොම දෙනෙක් නො දනිති. 1960 වසරෙන් පසුව එළඹි ‘හරිත විප්ලවයෙන්’ රටට පැටවූ, වස-විස සපිරි නවීන රසායනික ගොවිතැනට හසුව ඒවා අභාවයට යැවීම ඊට හේතුවයි. එහෙත් රටවැසි සමහර ගොවීහු තම පාරම්පරික වී සම්පත වැනසී යා නො දී රැක ගත්හ. ඔවුන්ට අමතරව, ඇලෙක්ස් ප‍්‍රනාන්දු සහ මතුගම සෙනෙවිරුවන් යන දෑ හිතෙෂියන් දෙපල ද බොහොම වෙර වීරියෙන් දේශීය පාරම්පරික වී වර්ග සංරක්ෂණය කිරීමේ වැඩ පිළිවෙලක නියැලූණහ. ඇලෙක්ස් ප‍්‍රනාන්දු මහතා, 1971 කැරැල්ලට සිරගතව නිදහස් වීමෙන් පසුව ද, මතුගම සෙනෙවිරුවන් මහතා 1987 වසරෙන් පසුව ද, පැරණි වී වර්ග එකතු කිරීමටත්, ඒවා යළි ගොවීන්ට බෙදා දීමටත් ක‍්‍රියා කළහ. වගා දැනුම ද නිර්ලෝභීව බෙදා දුන්හ. ඉන් සැලකිය යුතු ව්‍යාප්තියක් ඇති විය. ආණ්ඩුවේ වගා යාන්ත‍්‍රණය වන ‘කෘෂිකර්ම දෙපාර්තමේන්තුව’ ද, නවීන වස-විස ගොවිතැනෙහිම ඇලීගැලී සිටීම නිසා, එකල පැරණි වී වර්ග යළි ව්‍යාප්ත කරන්නට යාම මහත් දුෂ්කර කටයුත්තක් විණි. මිථ්‍යා මත ද විශාල සංඛ්‍යාවක් පතුරුවා හැර තිබිණි. එකල කෘෂිකර්ම බලධාරීන් කළේ, පැරණි දේශීය වී වර්ගවල ලක්ෂණ භාවිත කරමින් නව දෙමුහුන් වී වර්ග නිපද වීම ය. එහෙත් ඇලෙක්ස්ලා සහ සෙනෙවිරුවන්ලා මෙන්ම, ඈත ගම්වල පාරම්පරික වී බීජ රැකගත් නිර්භීත ගොවීන්ට ද පින් සිදු වන්නට, දැන් ලංකාවේ වී ගොවීන් දස දහසකට ආසන්න සීමිත සංඛ්‍යාවක් දේශීය පාරම්පරික වී වර්ග වස-විසෙන් තොරව වගා කරමින් සිටිති. ඒවායෙහි ආහාරමය මෙන්ම ඖෂධීය ගුණය ද ඉතා ඉහළ ය. ඔවුන් අතර අද පැරණි වී වර්ග 600ක් පමණ සංසරණය වෙමින් තිබේ.

 
මා වී සහල් කොටමින්-අත්තුඩාව
කාර්මික තාක්ෂණ ආයතනය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමග එක්ව පසුගිය කාලයේ දේශීය පාරම්පරික සහල් වර්ග 25ක් පිළිබඳ පර්යේෂණයක් පැවැත්වූයේ ය. එහි ප‍්‍රතිඵල ඇතුළත් වාර්තාවක් 2011 වසරේ දී නිකුත් කෙරිණි. එහි මෙසේ ද සඳහන් වේ.

‘කලූ බාලවී, පච්චපෙරුමාල්, දහනල, රතු හීනැටි, කට්ටමන්ජල් සහ රතැල් යන සහල් වර්ගවල, වැඩි යකඩ හා ප්‍රෝටීන් අඩංගු බැවින් මේවා වැඩි පෝෂණ ගුණයෙන් යුක්ත වන අතර, යකඩ ඌණතාව මග හැරීමට සුදුසු ය. එබැවින් ගර්භනී  හා කිරි දෙන මවුවරුන්ට මෙම සහල් නිර්දේශ කළ හැක.’

‘ප‍්‍රතිඔක්සිකාරක වැඩි ප‍්‍රමාණයක් අඩංගු කලූ බාලවී, පච්චපෙරුමාල්, රත් සුවඳැල් සහ කලූ හීනැටි ආදී සහල් වර්ග පිළිකා සහ හෘද රෝග වැනි බෝ නො වන රෝග සඳහා නිර්දේශ කළ හැක.’

‘සුවඳැල්, මසුරන්, දික් වී, හා ගෝණබරු වැනි පිෂ්ඨය ජීර්ණය වීමේ වේගය අඩු (අඩු ග්ලයිසිමික් දර්ශකයක්) සහල් වර්ග දියවැඩියා රෝගීන්ට නිර්දේශ කළ හැක.’

දේශීය පාරම්පරික වී වර්ග කොතෙක් ගුණදායක ද යන්න ගැන, මේ වචන හොඳම සාක්ෂියකි!

වී ශාකයෙන් නිපැයෙන බත, අපේ රටේ ප‍්‍රධාන ආහාරයයි. අද එය නිපැයෙන්නේ ‘හරිත විප්ලවයෙන් ගෙනා’ නවීන ගොවිතැන ඔස්සේ ව්‍යාප්ත කෙරුණු, නව වී ප‍්‍රභේද (දෙමුහුන් වී වර්ග) මගිනි. ඒවා වවන ගොවිබිම් ඔස්සේ දැන් මරණය හඹා එන බව වත්මනෙහි කවුරුත් දනිති. ‘නිදන්ගත වකුගඩු රෝගය’ අද මිනිසුන් බිළි ගන්නා මාරයෙකුවී සිටින්නේ ය. පිළිකා, දියවැඩියා සහ හෘද රෝග ද බහුල ය. නවීන ගොවිතැනෙහි වස-විස ඇති බව දැන් දැන් කොයි කාහටත් තේරුම් යමින් තිබේ. බොහොමයක් ගොවීන් ද දැන් වස-විසෙන් තොරව, කාබනිකව සිය බව බෝග වගා කරන්නට උනන්දු වෙමින් සිටිති. ආණ්ඩුව ද අද වස-විස නැතිව ගොවිතැන් කළ යුතු බව පිළි ගෙන තිබේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ද ඊට එක්ව සිටිනු පෙනෙයි. එය හොඳ ප‍්‍රවණතාවයකි. ඔවුන් දැන් කොළඹ නාරාහේන්පිට ප‍්‍රදේශයේ ස්ථානයක (ආසිරි රෝහල අසල), වස-විස නැති දේශීය පාරම්පරික සහල් වර්ග අලෙවි කරන වෙළෙඳ කුටියක් ද පවත්වා ගෙන යයි.


දේශීය පාරම්පරික සහලෙහි රුව-ගුණ යනු අති විශාල තොරතුරු සම්භාරයකි. මෙහි ලියා දැක්වූයේ එයින් ඇබින්දක් පමණි. ඒ අනෙකක් නිසා නොව, දැන් වස-විස නැති සහලකින් බතක් වැළඳිය හැකි තත්ත්වයක් හට ගෙන ඇති බව කියන්නට ය. බතක් වළඳන්නට වත්කමක් නැතිනම් (වස-විස නැති දේශීය පාරම්පරික සහල් වර්ග, සාමාන්‍ය සහල්වලට වඩා මිලෙන් වැඩි ය.) සහල් වර්ග කිහිපයක් මිල දී ගෙන, සතියකට දෙතුන් දිනක්වත් ‘ධාන්‍ය කැඳක්’ සාදා වළඳන්නට පුළුවන් බව කියන්නට ය.
(ඡායාරූප-ප්‍රෑන්ක් ද සොයිසා)
2015/11/29.



No comments:

Post a Comment