(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
‘කලහේ කුමාරදාස ලියනගේ’ සහ ‘යටියන පුෂ්ප කුමාර’ යනු, දකුණේ ප‍්‍රකට රසකාමී සහ විනෝදකාමී කවීන් දෙදෙනෙකි. ඔවුහු වරක්, මාතර ප‍්‍රදේශයෙහි විසූ තම මිතුරු කවියෙකුගේ නිවසේ පැවති මංගලෝත්සවයකට ගියහ. මඟුල ජයටම තිබිණි. එහෙත් කිසියම් හේතුවක් නිසා මඟුල් ගෙදරින් මේ දෙදෙනාටම කෑම නො ලැබුණේ ය. එය කුමක් නිසා සිදුවී ද? යන්න, රහසකි! කෙසේ වෙතත්, සිදුවූ අකරතැබ්බය ගණනකට නො ගත් ඔවුහු හී්න් සීරුවේ මඟුල් ගෙදරින් පිට වූහ.
‘යං බං, අපේ ගෙදර ගිහින් උයා ගෙන හරි කාල යමු!’ යටියන සිය හිතවතාට යෝජනා කළේ ය. ‘හරි එහෙම කරමු’ යයි ඔහු ද කැමති විය.
දැනට ගාල්ලේ, බෝපේ ප‍්‍රදේශයේ පදිංචිව සිටිය ද, යටියන පුෂ්ප කුමාරයන් එකල විසුවේ මාතර, යටියන ගමේ ය. මාතර සිට ඔවුහු කෙලින්ම ගෙදර ගියහ.
සිදුවූ හරිය ඇසූ යටියනගේ බිරින්දෑ බොහෝ විස්සෝප වූවා ය. ඉක්බිති ‘තියෙන හැටියට’ කෑම වේලක් සකස්කර දුන්නා ය. ‘කෑමට පෙර’ යමක් තිබුණා දැයි යටියන කියන්නේ නැත. එහෙත් කෑමෙන් පසුව ඔහුගේ නිවස එකම කවි රස ගුලාවක්වූ බව, දන්නෝ දනිති. ‘අපි දෙන්නා ගෙදර නියම කවි මඩුවක් කළා’, යටියන තවමත් බොහොම ප‍්‍රීතියෙන් කියයි!
දකුණේ විසුව ද, මුළු රටේම පතළ කවීන් ගැන රසවත් කතා රැසක්, 2015 ජූලි මස 09 වැනි දා අසන්නට ලැබිණි. ඒවා දිග හැරුණේ, එදින සවස ගාල්ල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයීය ශ‍්‍රවණාගාරයේ පැවති ‘ගාල්ල දිස්ත‍්‍රික් ලේඛක සංවිධානයේ’, ද්වි මාසික සභා රැස්වීමේ දී ය. ගාල්ල දිස්ත‍්‍රික් ලේඛක සංවිධානයේ සභාපතිවරයා වන්නේ, මාධ්‍යවේදී, ලේඛක, සමන් සී. ලියනගේ මහතා ය. ප‍්‍රකට නීතිඥවරයෙකු සහ ලේඛකයෙකු ද වන තුෂාර ද සිල්වා මහතා එහි ලේකම්වරයා ය. ඔවුන්ගේ සංවිධානයට කදිම අනුශාසකවරයෙකු ද වෙති. හෙතෙම, ගාල්ල දිස්ත‍්‍රික් ලේකම් (ගාලූ මහ දිසාපති), රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා ය. ඔහු, ලංකාවේ බි‍්‍රතාන්‍ය යටත් විජිත පාලන සමයේ හම්බන්තොට මහ දිසාපතිවරයාව සිටි, ප‍්‍රකට ලේඛකයෙකු වන ‘ලෙනාඞ් වුල්ෆ්’ මහතාගේ සනුහරේ කෙනෙකු බඳු, ලේඛකයන්ට, කවීන්ට, සහ කලාකරුවන්ට ලැදියෙකි! හිතැතියෙකි!
එදින පැවති රැුස්වීමෙහි විශේෂත්වයක් ද විය. එනම්, ගාලූ වැසියෙකු, ප‍්‍රවීණ ලේඛකයෙකු, ජනප‍්‍රිය කවියෙකු සහ මාධ්‍යවේදියෙකු ද වන, ‘කලහේ කුමාරදාස ලියනගේ සූරීන්ට’ උපහාර පිදීමේ හමුවක් ද සංවිධානයකර තිබීමයි. උපහාර තිළිණය පිදෙන්නේ, ගාලූ මහ දිසාපති, රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා අතිනි!
ගාලූ ජන සමාජයේ ‘කලහේ මහත්තයා’ යන ගෞරවනීය නාමයෙන් ප‍්‍රකට කලහේ කුමාරදාස ලියනගේ සූරීහු, වෘත්තියෙන් ගුරුවරයෙකි. හිටපු විදුහල්පතිවරයෙකි. පාසැල් වියේ පටන්ම, කවියට මෙන්ම ලේඛණ කලාවට ද ඇලූම් කළ ඔහු වෙතින් නියෝජනය වූයේ, කොළඹ යුගයේ කවි පරපුරයි. හෙතෙම සිය කව් සැරිය තුළ, මීමන පේ‍්‍රමතිලක, විමලරත්න කුමාරගම, බොරලැස්ගමුවේ ජී. එච්. පෙරේරා, එච්. ඇම්. කුඩලිගම, කිරළගහවෙල මාර්ටින් ජයවර්ධන ආදී ප‍්‍රවීණ කවියන් ද සමීපව ඇසුරුකර තිබිණි. කලහේ මහත්තයා, හිටිවන කවියට මෙන්ම, සදය උපහාසයෙන් පිරුණු රසවත් කතා කීමෙහි-බිණීමෙහි ද රුසියෙකි. දැන් ඔහු වයසින් 92 හැවිරිදි ය. යම් යම් අසනීප ගති පැවතිය ද, තවමත් කවි ලියන, හිටිවන කවි කියන, පත්තරවලට ලියන, දිරිය මිනිසෙකි. ලැබෙන ඕනෑම දෙයක් සිනාමුසුව, මැදහත් සිතින් ඉවසීම, ‘කලහේ මහත්තයාගේ’ පුරුද්දයි.
සංවිධානයේ සභාපතිවරයා විසින් කළ මූලික හැඳින්වීමෙන් පසුව, ගාලූ මහ දිසාපති රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා අතින් ‘කලහේ මහත්තයාට’ උපහාර තිළිණය පිරිනැමුණි. එහි දී සභාව ඇමතූ මහ දිසාපතිවරයා පැවසුවේ, මෙතැන කෙරෙන රසවත් කතාබහට කන් දෙන්නට ආසා ඇති නමුත්, හදිසි ‘මැතිවරණ’ රැස්වීමකට යා යුතුව ඇති බැවින් පිටව යන බවයි.
ඉන් පසුව එළඹියේ, ඔහු පිළිබඳ උපහාර දෙසුම පැවැත්වීමේ අවස්ථාවයි. එයට ඇරියුම් ලබා සිටියේ ගාලූ සහෘදයෙකු වන ප‍්‍රවීන ලේඛක ගාමිණී කුමාරවිතානයන් ය. කිසියම් නො වැලැක්විය හැකි කටයුත්තක් නිසා, ඔහුට එන්නට බැරි විය. එබැවින් දෙසුම පැවරුණේ, සංවිධානයේ ලේකම් තුෂාර ද සිල්වා මහතාට ය. තරුණ නීතිඥ වෘත්තිකයෙකු වන තුෂාර, නව පරපුරේ කවියෙකි. ඔහු මෙන්ම, ගාල්ල දිස්ත‍්‍රික් ලේඛක සංවිධානයට ගොනුවී සිටින තරුණ ලේඛකයන් බහුතරය ද අයත් වන්නේ, කලහේ මහත්තයා බඳු කොළඹ කවි පරපුරට මෙන්ම, ඔවුන්ගේ ලේඛණ දිවියට ද ආදරය කරන පිිරිසට ය. එය විශේෂත්වයකි. හදිසියේ නමුත්, තුෂාර ද සිල්වා මහතා සිය හිතාදර වැඩිහිටියා ගැන අතීත මතක සටහන් කිහිපයක් තම කතාවේ දී මනරම්ව කියා පෑවේ ය. කලහේ මහත්තයා බඳු ජ්‍යෙෂ්ඨ ලේඛකයන්ගේ නිර්මාණ සංරක්ෂණය නො වීම, බලවත් අඩුවක් බව ද ඔහු පෙන්වා දුන්නේ ය. ඔහුගේ නිර්මාණ තුළ, විමලරත්න කුමාරගම කවියාගේ ආභාෂයක් දැනෙන බව ද තුෂාර ද සිල්වා මහතාගේ අදහස විය.
ඊළගට උදා වූයේ, සමකාලීනයන් සහ කලහේ මහත්තයා ඇසුරු කළ පසුකාලීන කවි පරපුරේ වාරයයි. කවියෙන් මෙන්ම, අතීත අත්දැකීම්වලින් ද හැඩ වුණු එය එකම රස කලසක් විය!
එහි දී අදහස් දැක්වූ එක් කවියෙකු පැවසුවේ, කලහේ මහත්තයා තරුණ සිය කාලයේ දී රූමත් කතුන් සිටින තැන්වල වැඩි වැඩියෙන් කවි කියා ඇති බවයි. ඊට අමතරව, එකල ඔහු සේවය කළ ඌරුබොක්ක ප‍්‍රදේශයේ ගැමි ජන ජීවිතය ද, නිර්මාණවලට පසුබිම්කර ගත් බවයි. එම ප‍්‍රදේශවල පැවති ‘කිතුල් රා නිපැයුම් කර්මාන්තය’ ඔස්සේ, සිය ජීවිතයට උත්තේජනයක් ලබා ගත් බව ද කියැවිණි!
සභාවේ සිට මේ කතා අසා ගෙන සිටි කලහේ මහත්තයා මහත් තෘප්තියෙන් පැවසුවේ, ‘ඒ අයගේ දුෂ්කර ජන ජීවිතය, මගේ නිර්මාණ මෙන්ම පත්තර වාර්තාවලින් ද පිළිබිඹු වුණා’, යනුවෙනි.
වියපත්ව සිටිය ද, කවිකම අත් නො හරින්නෙකු වන එඞ්වින් මණ්ඩලවත්ත (මණ්ඩලවත්ත රාළහාමි) කවියා ද, කලහේ මහත්තයා ළඟින් ඇසුරු කළ හිතෙෂියෙකි. ඔහු හෙළි කළේ සිය මිතුරාගේ එක්තරා පුරුද්දක් ගැනයි!
‘කලහේ ඉතින් විදුහල්පතිකම් කරන කාලේ, හරිම විනෝදයි. ඔහු සේවය කළ පාසැලක ගුරුවරියන්ට එක පුරුද්දක් තිබුණා. ඒ, දහවලට බීම සඳහා තේ වතු පිරවූ උණුසුම් බෝතලයක් පාසැලට ගෙන යාමයි. කලහේ මහත්තයාත් ඒ දවස්වල උණුසුම් බෝතලයක තේ වතුර අරන් යනවා. දවල්ට ගුරු කාමරේ දී මේ කට්ටිය එකට තේ බොනවා. පාසැලේ අනෙක් පිරිමි ගුරුවරුත් ඊට එක් වෙනවා. දවසක් කලහේ මහත්තයා එකපාරටම කියනවා, මම නම් අද බොන්නේ තේ වතුර නෙවෙයි, තැඹිලි වතුර කියලා. එහෙම කියලා අර උණුසුම් බෝතලෙන් ටිකක් වක්කර ගෙන බොනවා. ඉතින් සමහර ගුරුවර-ගුරුවරියන්ටත් තැඹිලි වතුර බොන්න ඕනෑ වෙනවා. ඒ ගොල්ලොත් කලහේ මහත්තයාගේ බෝතලෙන් තැඹිලි වතුර බොනවා. මෙන්න ඊට පස්සේ සමහරු පන්තිවලම ඔලූව ඩෙස්වල ගහගෙන නිදි! සමහර අයට ඉස්කෝලේ ඇරිලා ගෙදර යන්නත් මතක නෑ! ඒ අතරේ කලහේ මහත්තයා පලූ පැලෙන්න හිනා වෙනවා. එයාගේ උණුසුම් බෝතලේ තිබිලා තියෙන්නේ තැඹිලි වතුර විතරක් නෙවෙයි!’
මේ කතාව ඇසූ සභා තොමෝ සැණෙකින් සිනා සයුරක ගිලී ගියේ ය!
මේ කතාව ඇසූ සභා තොමෝ සැණෙකින් සිනා සයුරක ගිලී ගියේ ය!
කලහේ මහත්තයා මේ කතාවෙන් කුල්මත් විය. ඉක්බිති එඞ්වින් මණ්ඩලවත්තයන් දෙසට හැරී, ‘මතක ද, මං ඔහේගේ මගුලට ආපු හැටි! ඒකත් කියන්ඩ’ යයි ඉල්ලී ය. මණ්ඩලවත්ත කවියා ඒ සිද්ධිය පැවසුවේ සභාව තව තවත් රස ගන්වමිනි.
‘මගේ විවාහයේ සාක්කියට අත්සන් කරන්න කතාකර ගෙන හිටියේ, කලහේ මහත්තයාටයි. ඒත් ඒ දවස් වෙන කොට එයාට විභාග ඩියුටි වැටුණා. හැබැයි කොහොම හරි එන බවයි කියලා තිබුණේ. මෙයා මගේ අතිජාත මිත‍්‍රයා. කොහෙමෙ හරි එන බවත් මම දැන හිටියා. මෙයා ඒ කාලේ විදුහල්පති නේ. ඉතින් විභාග ඩියුටියෙදි ශාලාධිපති. හැබැයි ආවා. අතේ ලොකු බෑග් එකකුත් තිබුණා. එයා ඒක බොහොම පරිස්සම් කරන බවත් පෙනුණා. සාක්කියට අත්සන් කරලා, පොඩි අඩියකුත් ගහලා, කෑම ටිකකුත් කාලා යන්න ගියා. අර බෑග් එකේ තිබිලා තියෙන්නේ ළමයින්ගේ උත්තර පත්තර මිටි!’ යයි ඔහු කියා පෑවේ ය.
මණ්ඩලවත්ත කවියා සිය කතාව හමාර කළේ සිය සගයාට උපහාර පිණිස හිටිවන කවි කිහිපයක් ද ගයමිනි.
මණ්ඩලවත්ත කවියා සිය කතාව හමාර කළේ සිය සගයාට උපහාර පිණිස හිටිවන කවි කිහිපයක් ද ගයමිනි.
කලහේ මහත්තයා ගැන සහෝදර කවීන් ගෙන් පැවසුණු වදන් බොහොමයකටම, ‘මීවිත සප්පායම්’ පිළිබඳ කතා ද ඇතුළත් විය. මේ අතර මුලසුනෙන් කියැවුණේ, කලහේ මහත්තයා දැන් මීවිතෙන් දුරස්ව සිටින බවයි. ‘ඒත් මීවිත පුරන අයට එතුමාගේ ගෙදර පහසුකම් සලසන බව ද අපිත් එක්ක කිව්වා’ යයි, සංවිධානයේ සභාපති සමන් සී. ලියනගේ මහතා ද අලූත් කාරණයක් හෙළි කළේ ය. මීවිත සමග කළ ගනුදෙනු නිසා කලහේ මහත්තයාගේ නිර්මාණ ‘මීවිතකටත් වඩා’ මිහිරිවූ බව සභාවෙන් පැවසිණි.
මේ අතර, කලහේ මහත්තයා නැගී සිටියේ ය.
‘මං අද හිතා හිටියේ කට අරින්න නෙවෙයි. ටිකක් අසනීප ගති තිබුණත් මෙතන කියැවෙන දේවල් ඇසුවාම යමක් කතා කරන්න හිතුණා. මුලින්ම, මට උපහාර දක්වන්න වැඩ සංවිධානය කරපු සියලූ දෙනාටම ස්තුති වන්ත වෙනවා. මගේ නිර්මාණවල විමලරත්න කුමාරගමයන්ගේ ආභාෂයක් පෙනෙන බව මෙතැන කියැවුණා. ඒක මමත් පිළි ගන්නවා. මම කුමාරගම මහත්තයා ඇසුරු කරලා තියෙනවා. ඔහුගේ භාෂා හැසිරවීම තුළ හරිම ලාලිත්‍යයක් දිස් වෙනවා. රමණීය ගලා යාමක් තියෙනවා. මමත් මගේ නිර්මාණවල දී භාෂාවේ ලාලිත්‍යය මෙන්ම, එය හරියට ගඟක් වගේ ගලා යාම ගැනත් සැලකිලිමත් වෙනවා. එය අවශ්‍යයි. රසය තිබෙන්නේ එතැනයි. මං හිතන්නේ, කුමාරගම මහත්තයා ගෙන් පස්සේ ගැමි ජන ජීවිතය ගැන වැඩියෙන්ම ලිව්වෙ මං වෙන්ඩ ඇති’, යනුවෙන් සඳහන් කළේ හැඟීම්බරව ය.
‘මං අද හිතා හිටියේ කට අරින්න නෙවෙයි. ටිකක් අසනීප ගති තිබුණත් මෙතන කියැවෙන දේවල් ඇසුවාම යමක් කතා කරන්න හිතුණා. මුලින්ම, මට උපහාර දක්වන්න වැඩ සංවිධානය කරපු සියලූ දෙනාටම ස්තුති වන්ත වෙනවා. මගේ නිර්මාණවල විමලරත්න කුමාරගමයන්ගේ ආභාෂයක් පෙනෙන බව මෙතැන කියැවුණා. ඒක මමත් පිළි ගන්නවා. මම කුමාරගම මහත්තයා ඇසුරු කරලා තියෙනවා. ඔහුගේ භාෂා හැසිරවීම තුළ හරිම ලාලිත්‍යයක් දිස් වෙනවා. රමණීය ගලා යාමක් තියෙනවා. මමත් මගේ නිර්මාණවල දී භාෂාවේ ලාලිත්‍යය මෙන්ම, එය හරියට ගඟක් වගේ ගලා යාම ගැනත් සැලකිලිමත් වෙනවා. එය අවශ්‍යයි. රසය තිබෙන්නේ එතැනයි. මං හිතන්නේ, කුමාරගම මහත්තයා ගෙන් පස්සේ ගැමි ජන ජීවිතය ගැන වැඩියෙන්ම ලිව්වෙ මං වෙන්ඩ ඇති’, යනුවෙන් සඳහන් කළේ හැඟීම්බරව ය.
ඒ සමගම සභාවේ යම් විවාදා පන්න තත්ත්වයක් පැන නැගිණි. සභාව තුළ ‘මීවිත ගැන වැඩිපුර කතා කිරීම නුසුදුසු යයි’ අදහසක් ඉදිරිපත් වීම ඊට හේතුව විය. සභාවේ සිටියෝ ඊට පක්ෂව මෙන්ම විපක්ෂව ද අදහස් ඉදිරිපත් කළහ. මේ කතා අසා සිටි කලහේ මහත්තයා, අපූරු ප‍්‍රශ්නයක් නැගුවේ ය.
‘දැන් ඔය ප‍්‍රශ්නයක් මතු වෙන්නේ ‘අඩියක්’ ගැහුවොත් නේ. ඉතින්, ‘අඟල් හයක්’ ගැහුවොත් මොකද වෙන්නේ?’
ඒ සමගම සභා තොමෝ සිනා සයුරක ගිලී යන්නට විය.
2015/07/11.
No comments:
Post a Comment