Total Pageviews

Wednesday, July 1, 2015

ග්ලයිපොසේට් හෙවත් රටම එක්ව මරණයට කඩේ යාම

ග්ලයිපොසේට් හෙවත් මරණයට කඩේ යාම

(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
කොළඹ, බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ 2015 මැයි මස 22 වැනිදා පැවති උත්සවයකදී, ‘ග්ලයිපොසේට්’ නමැති උග‍්‍ර විෂකාරක වල් නාශකය ලංකාවට ගෙන්වීම තහනම් කරන බව, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ප‍්‍රකාශ කරන්නට යෙදුණි. ‘ග්ලයිපොසේට්’ කන්ටේනර් 15ක තොගයක් රේගුවෙන් මුදා හැරීමේ සිද්ධියක්ද ඒ දිනවලම ආන්දෝලනයට පත්ව තිබූ බැවින්, ජනාධිපතිවරයාගේ කතාවට ඉහළ අවධානයක් ලැබිණි. ආනයන තහනමක් නොපැවති බැවින්, ග්ලයිපොසේට් තොගය මුදා හරින්නට රේගුවට සිදු විය. තමන් බලයේ සිටි සමයේ, ග්ලයිපොසේට් තහනම් කරන්නට නොගිය හිටපු කෘෂිකර්ම ඇමති මහින්ද යාපා අබේවර්ධන මහතා ද, ග්ලයිපොසේට් කන්ටේනර් මුදා හැරීම ගැන ‘සැරට කතා කළ’ පිරිස අතර සිටීම විශේෂත්වයක් විය. බොහෝ දෙනෙක් ග්ලයිපොසේට් තොගය මුදා හැරීම ගැන කතා කළහ. ජනාධිපතිවරයාගේ කතාවෙන් පසුව, රාජිත සේනාරත්න ඇමතිවරයා ද පැවසුවේ, ගොඩබෑ ග්ලයිපොසේට් තොගය වහාම විනාශ කර, ඒවා යළි මෙරටට ගෙන්වීම තහනම් කරන බවයි.
මේ සටහන ලියන්නේ 2015 ජුනි 10 වැනි බදාදාය. දැන් කියන්නට සිදු වී තිබෙන්නේ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පටන් ග්ලයිපොසේට් ගැන කතා කළ සියලූම දෙනා පරාජය වී ඇති බවයි. ජයග‍්‍රාහකයා අමෙරිකාවේ සුප‍්‍රකට ‘මොන්සැන්ටෝ’ සමාගමයි. සල්ලිකාර මොන්සැන්ටෝලාට තුන් වේලටම කඬේ යන ලංකාවේ සමහර විශේෂඥයන්ට ද ජයග‍්‍රහණයේ යශෝකීර්තියෙන් සුළු කොටසක් හෝ හිමි වන්නට ද ඇත. මොන්සැන්ටෝ යනු, ලෝකයට ග්ලයිපොසේට් නිපදවා බෙදා හරින අයිතිකාර සමාගමයි.

‘ග්ලයිපොසේට්’ යනු, ලොව බොහොමයක් රටවල මෙන්ම, ශ‍්‍රී ලංකාවේද බහුලව භාවිතා කරන රසායනික වල් නාශකයකි. ලංකාවේදී එය වී, තේ, උක් සහ තවත් වැවිලි බෝග ගණනාවක වල් මර්දනය සඳහා භාවිතා කෙරේ. එය වඩාත් ප‍්‍රකටව ඇත්තේ, හරිත වර්ණයෙන් යුත් සියල්ල සමූලඝාතනය කරන වල් නාශකයක් වශයෙනි. ග්ලයිපොසේට් අඩංගු වල් නාශක රාශියක්, විවිධ වෙළෙඳ නාම යටතේ අපේ වෙළෙඳපොළෙහි අලෙවි වෙයි. එය උග‍්‍ර මරණීය විෂකාරයකි. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි එය පිළිකාකාරකයක්ද වෙයි.

ලංකාව සම්බන්ධයෙන් ගත් කළ, ගල්යිපොසේට් වූ කලී, මහත් ආන්දෝලනාත්මක කාරණයකි. රටේ කෘෂිකාර්මික ප‍්‍රදේශවල දිගින් දිගටම පැතිර යන මාරාන්තික නිදන්ගත වකුගඩු රෝගයට. ග්ලයිපොසේට් ද එක් ප‍්‍රබල හේතුවක් බව හෙලිදරව්වීම, ඊට හේතුවයි. ඒවා කිවුල් ජලයට මිශ‍්‍ර වූ විට ඇතිවන රසායනික තත්ත්වයන්, වකුගඩු දුබල කරවන ‘ආසනික්’ සහ කැඩිමියම්’ ආදී විෂ බැර ලෝහ ශරීරයට අවශෝෂණය කර ගැනීමට පහසු මඟක් සලසතියි පර්යේෂණ මගින් ආවරණය විය. පර්යේෂණය මෙහෙය වූයේ. රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, වෛද්‍ය චන්න ජයසුමන මහතාය. ඔහු පෙන්වා දෙන අන්දමට, ග්ලයිපොසේට් යනු, වකුගඩු රෝගයට හේතුව වන ආසනික් ඇතුළු විෂ බැර ලෝහ සිරුරට ගෙන යන වාහකයාය. මාරාන්තික නිදන්ගත වකුගඩු රෝගය නිසා දැනුදු දිනකට 13 දෙනෙකුවත් මරණයට පත් වෙති.
වහාම තහනම් කරන්නෙමැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රසිද්ධියේම කීවද, මේ වන තුරුත් (ජුනි - 10) ග්ලයිපොසේට් ලංකාවට ආනයනය කිරීම නීතිමය වශයෙන් තහනම් කෙරී නැත. අඩු තරමින් පළිබෝධනාශක රෙජිෂ්ඨාර්වරයා, එය තහනම් කිරීමේ මූලික ගැසට් නිවේදනය පවා නිකුත් කර නැත.
මෙම තත්ත්වය තුළ, ග්ලයිපොසේට් ලංකාවට ආනයනය කිරීමේ කිසිදු නීතිමය හෝ නිල තහනමක් නැත. රේගු ආරංචි මාර්ග මගින් කියැවෙන්නේ, දේශීය කෘෂි රසායන සමාගම් ඇනවුම් කළ තවත් ග්ලයිපොසේට් තොග, නුදුරු දිනකදී රටට ලැබෙන්නට ඉඩ ඇති බවයි. තුරන් කළ යුතු ග්ලයිපොසේට් තිරිහන් කිරීම, මරණයට කඬේ යාමක් වැන්න.

‘ගල්යිපොසේට්’ සඳහා මුල්ම පේටන්ට් බලපත‍්‍රය නිකුත් කෙරුණේ, 1964 වසරේ දෙසැම්බර් 08 වැනිදා අමෙරිකාවේ ස්ට්‍රෝපර් රසායන සමාගමටය. එකල ඔවුන් ග්ලයිපෝසේට් නිපදවූයේ, නාන කාමරවල කිවුල තුරන් කිරීමේ රසායනිකයක් හැටියටය. පසුව 1969 වසරේ දී අමෙරිකාවේ ‘මොන්සැන්ටෝ සමාගම’ ග්ලයිපොසේට් රසායනයේ අයිතිය මිලට ගත්තේය. ඉක්බිති, 1969 වසරේ ජුලි මස 15 වැනිදා ඔවුහු එය වල් නාශක රසායනිකයක් ලෙස පේටන්ට් හිමිකම් ලබා ගත්හ. මොන්සැන්ටෝව, අමෙරිකාවේ ඉතා ප‍්‍රබල ව්‍යාපාරික සමාගමකි. ධාන්‍ය සහ අනෙකුත් බව භෝගවල බීජ නිපදවීම, කෘෂි රසායන සහ පොහොර නිපදවීම මෙන්ම ජාන තාක්‍ෂණයෙන් ආහාර බෝග නිපදවීම, ඔවුන්ගේ විෂය පථයයි. ඔවුහු ඒ සඳහා ලෝක ව්‍යාප්ත ඒකාධිකාරයක් හිමිකර ගෙන සිටිති. ග්ලයිපොසේට්වල අයිතිකාරයා ද මේ සමාගමයි.
අන්තර්ජාලයේ දැක්වුනු පුවතකට අනුව, අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා වරක් එල්සැල්වදෝර් රජයට ආධාරදීම නතර කරන බවට තර්ජනය කර තිබේ. ඊට හේතුව ඒ රටට මොන්සැන්ටෝවේ නිෂ්පාදන මිලදී නොගැනීමයි. තවත් වරක් අමෙරිකාවේ ග‍්‍රාමීය ප‍්‍රදේශයක ගොවීන් පිරිසක් පැරණි තිරිඟු ප‍්‍රභේදයක් වගා කළහ. එය මොන්සැන්ටෝ කෘෂි රසායනවලට ප‍්‍රතිචාර නොදැක්වීම නිසා මොන්සැන්ටෝව කුපිත විය. ආණ්ඩුවේ සහාය ද ඇතිව ඒ තිරිඟු වගාව විනාශ කරන්නට කටයුතු කෙරිණි. මොන්සැන්ටෝ සමාගම එතරම් ප‍්‍රබල ආයතනයකි.

ජනාධිපතිවරයා ග්ලයිපොසේට් ආනයනය තහනම් කරන බව කීවද, එය සංකීර්ණ ක‍්‍රියාදාමයකි. ඒ සඳහා කෘෂි රසායන සමාගම් විසින්, දැනටමත් ගබඩාකර ගෙන ඇති ග්ලයිපොසේට් තොගය කොතෙක් ද යන්න, හෙලිකර ගත යුතුයි. ඊළඟට ඒවාට කුමක් කරන්නේද ? යන්න අධ්‍යනය කළ යුතුය. ග්ලයිපොසේට් බඳු මරණීය විෂ කාරකයක්, ලෙහෙසියෙන් විනාශ කළ හැකි නොවේ. එක්කෝ ඒවා, නැව්ගත කළ රටටම ආපසු යැවිය යුතු වේ. නැත්නම් කිසියම් පිළිගත් ක‍්‍රමයකට විනාශ කළ යුතු වේ. ඒ අතරතුර, වල් මර්දනය සඳහා උපද්‍රවය රහිත විකල්ප විසඳුමකට යොමු විය යුතුය. ග්ලයිපොසේට් තහනම් කරනවා යයි කටින් කීවද, ආණ්ඩුව මෙබඳු කාරණා සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු කල බවක් නොපෙනේ. අඩුතරමින් ඒවා ආනයනය තහනම් කිරීමේ මූලික ගැසට් නිවේදනය පවා තවමත් නිකුත් වී නැත.

ග්ලයිපොසේට් තහනම් කරනවා යැයි, ජනාධිපතිවරයා කළ ප‍්‍රකාශයත් සමගම තවත් අපූරු දෙයක් දක්නට ලැබිණි. ඒ ග්ලයිපොසේට් රටට අවශ්‍ය යයි කියමින්, කිසියම් පිරිසක් ජනමාධ්‍ය ඔස්සේ මත දැක්වීමේ ව්‍යාපාරයක් ඇරඹීමයි. එය ග්ලයිපොසේට් රැක ගැනීම සහ ඒවා භාවිතය සාධාරණය කිරීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන බව පැහැදිලිව දක්නට ලැබිණි. ඔවුන් නැඟු එක් තර්කයක් වූයේ, ග්ලයිපොසේට් තේ වගා ක්‍ෂේත‍්‍රයට ඉතාම අවශ්‍ය කෘෂි රසායනයක් යන්නයි. තේ වගාවේ වල් මර්දනය සඳහා ග්ලයිපොසේට් බහුලව භාවිතා කරන බව ඔවුන් පවසා තිබිණි.

කෙසේ හෝ වේවා, ශ‍්‍රී ලංකා තේ පර්යේෂණයතනය මෙම කාරණය සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ දෙබිඩි පිලිවෙතකි. ඔවුන් තේ වගාවේ වල් මර්දනය සඳහා එක් අතකින් ‘ග්ලයිපොසේට් නිර්දේශ කරයි. ඒ අතරම කෘෂි රසායන භාවිතයෙන් වන හානි ගැන ද කියයි. ඔවුන් 2012 ජුලි මාසයේ නිකුත් කළ අනු අංක 03/12 චක‍්‍රලේඛයේ මේ බව සඳහන් වේ.
එහි ඔවුහු මෙසේ ද කියති.

රසායනික ක‍්‍රම භාවිතයෙන් වල් පැළෑටි පාලනය
මෙම උපදෙස් පත‍්‍රිකාව 2006 දෙසැම්බර් මස නිකුත් කළ අනු අංක 03/08 ඡුඹ3 චක‍්‍රලේඛය හා 2012 අනු අංක 04/12 උඵ1 චක‍්‍රලේඛය සමග සබැදෙන අතර 2003 වසරේ නිකුත් කළ 10/03 අනුපිළිවෙළක් උඵ 2හා උඵ 3 චක‍්‍රලේඛ මෙමගින් අවලංගු කෙරේ.

1. හැඳින්වීම
 තේ වගාවේ වල් පැලෑටි කළමනාකරණ සඳහා උඵ1 උපදෙස් චක‍්‍රලේඛයේ දක්වා ඇති පරිදි අතින් හෝ යන්ත‍්‍ර මගින් වල් නෙලීම ශෂ්‍ය විද්‍යාත්මක ක‍්‍රම භාවිතය හා වල්නාශක භාවිතය යන ඒකාබද්ධ ප‍්‍රවේශයක් චක‍්‍රීය ලෙස අනුගමනය කළ යුතුයි. වල්නාශක භාවිතය මගින් වල් මර්දනයේ ඇති පහසුව, ඉක්මන් බව, ලාභදායී බව සහ තෝරා ගත් වල් පැලෑටි පමණක් මර්දනය කිරීමට ඇති හැකියාව ආදී වාසි ගණනාවක් දක්නට ලැබුණද ඒවා තේ පඳුරට ද වැදීම නිසා භෞතික හානි සිදුවීම, තේ පත‍්‍ර මත රසායනික අවශේෂ රැඳීම නිසා නිමි තේවල රසායනික අවශේෂ අන්තර්ගත වීම, පසට හා ජලයට එකතුවීම නිසා විය හැකි පාරිසරික හානි යන අවාසිදායක තත්ත්වයන්ද ඇති වේ. මේ නිසා එම හානි වළක්වා ගැනීම සඳහා වසරකට දෙවරක් පමණක් වල්නාශක භාවිතය සීමා කළ යුතුය.

 තවද ඉහත දැක් වූ හානි අවම කර ගැනීම සඳහා තේ පර්යේෂණ ආයතන නිර්දේශයන් පමණක් නියමිත මාත‍්‍රාවන්ගෙන් දින 7ක පෙර අස්වනු කාල සීමාවන්ද ^PHI& අනුගමනය කරමින් භාවිතා කළ යුතුය. වල්නාශක ඉසීමේදී බිංදු ආකාරයෙන් හෝ දුමාරයක් ආකාරයෙන් තේ පඳුරට ද වැදීම වැළැක්වීම සඳහා වල් නාශක ඉසිනයේ මුවවිට ට ^Nozzle& සුදුසු නැසිනි ආවරණයක් ^spray guard& සවිකර නාශක යෙදිය යුතුය.
තේ පර්යේෂණායතනයේ චක‍්‍රලේඛය මගින් එක් කාරණයක් පැහැදිලි වේ. එනම්, ග්ලයිපොසේට් ඇතුළු කෘෂි රසායන යෙදීමෙන් නිමි තේවලට යම් බලපෑමක් එල්ල විය හැකි බවයි.

එබැවින් ග්ලයිපොසේට් නිපදවන මොන්සැන්ටෝවේ එජන්තවරුන්ට, ඔවුන්ගේ බලපරාක‍්‍රමයට සහ ඔවුන්ලේ සල්ලියට කඬේ යන උදවියට ද ග්ලයිපොසේට්වල එල්ලී සිටින ආණ්ඩුවටද කිව හැක්කේ එක් දෙයකි. ග්ලයිපොසේට් සෙල්ලමෙන් ලංකාවේ ගොවි ජන සම්පත මරණය කරා තල්ලූ කර ගෙන ගියාක් මෙන් රටේ තේ සම්පතෙහි කීර්තිනාමයද මරණ මංචකයට තල්ලූ වී යා හැකි බවයි.

ඉරුදින-2015/06/14.
පසු සටහන-
ග්ලයිපොසේට් ආනයන තහනමේ නිල ගැසට් නිවේදනය, 2015/06/11 දින නිකුත් කෙරිණි. එය ග්ලයිපොසේට් තහනම් කිරීමේ මුල් පියවරයි. එය ප‍්‍රසංසනීය කටයුත්තකි. එය සිදු වූයේ, ‘ඉරුදින’ ලිපිය ලියා මුද්‍රණයට යැවීමෙන්  පසුව ය.

No comments:

Post a Comment