Total Pageviews

Tuesday, December 15, 2015

අඬා වැටෙන ඇල්ලට තවදුරටත් අඬා වැටෙන්නට ඉඩ හරිමු ද?



ඇල්පිටියේ අඬා වැටෙන ඇල්ලට 
තවදුරටත් අඬා වැටෙන්නට ඉඩ හරිමු ද?
(ගාල්ල-නන්දසිරි වැලිගමගේ)
සුන්දර ඇල්පිටියේ අඬා වැටෙන දිය ඇල්ල,  ආයිමත් අප අඬා වැට්ටෙව්වේ ය. ඒ අහිංසක තරුණ පෙම්වතුන් යුවලකගේ  අබිරහස් මිනී මැරුමක් නිසා



දිය ඇල්ලට මේ නම පට බැඳුණේ ද, එය පහතට කඩා වැටෙන විට ඇති වන හඬ කාන්තාවක් හඬන ශබ්දයක් ලෙසින් ඇසෙන නිසා යයි කියන ජන ශ්‍රැතියක් තුළිනි.

හැම දාමත් අඬා වැටෙන දිය ඇල්ල, මෙදා හඬා වැටෙන්නට වුයේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ උසස් විදුහලක ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරන සුන්දර තරුණ පාසැල් සිසුවියක හා තරුණයකු, ආදරය වෙනුවෙන් දිවි පුදා ඇතියි යන්න සිතා ගෙන . එත් මේ පිළිබඳ ඇල්පිටිය රෝහලේ අධිකරණ වෛද්‍යවරයාගේ පශ්චාත් අධිකරණ වෛද්‍ය පරික්ෂණය කියා පැවේ, තරුණ යුවලගේ මරණ සිය දිවි නසා ගැනිමක් නොව මිනීමැරුමක් වන බවයි. යුවතියගේ හිසට මොට්ට ආයුධයකින් පහර දිමකින් හා තරුණ පෙම්වතාගේ ගෙල සිරවිමකින් මරණ සිදු වි ඇතැයි වාර්තා කොට ඇත.
තරුණ යුවලගේ පෙමට දෙපාර්ශවයේම ආශිර්වාදය ලැබුවක් නිසා කොහොමටවත් ඒ දෙන්නට දිවි නසා ගැනීමක අවශ්‍යතතාවයක් නොවිණ.

ඒත් මේ යුවල පෙම් සුව විඳින්නට මෙවන් අනාරක්ෂිත තැනකට   ගියේ ඇයි ?  යන්න සමාජයේ කතිකාවකට බඳුන් විය යුතු .
ඒ අන් කිසිවක් නිසා නොව,  සමාජය තුළ දිනෙන් දින මෝරා යන  පෙම් රැළිවලට මෙසේ තවදුරටත් අයාලේ යන්නට ඉඩ දීම නො කළ යුතු නිසා .

අප හැමදාමත් කරන්නේ මෙවන් සිද්ධියක් වු විට පත්තර පිටු ගණන් සුන්දර ලෙස මේවා ගැන විස්තර පලකර, ඉන් පසුව ඔහේ අත්හරින එක . ඒත් තවදුරටත් දැන් එසේ අත්හැරිය යුතු නො වන තත්වයකට මේ සමාජය අද පත්
වී අවසාන .

මේ ස්ථානය එතරම්ම ඝණ කැලෑවක හුදකලා වු තැනක් ද නොවේ. ඒත් එය නිසි අවධානයට ලක් විය යුත්තන්ගේ ඇසට ලක්ව නැති බව නම් පෙනේ. අඬා වැටෙන ඇල්ල, සොබා දහමෙන් ජාතියට තිලිණ වූ තවත් ධන සම්පතක් බව නම් පෙන්නා දිය යුතුව ඇත.
ඒත් හරිහැටි කළමණාකරනය නො කිරිම නිසා මේ ස්වභාවික  සුන්දර ස්ථානය අද අයාලේ යන තැනක් බවට පත් වි ඇත.
මෙතනට එන්නේ බොහෝ පිරිස නා-කියා ගන්නට නොවේ. බයිට් කකා බෝතලයක් දෙකක් හිස්කර දමමින් අමුතු මාදිළිවල  ජොලියක් ලබා ගන්නට . එසේත් නැතිනම් තරුණ කෙල්ලක් හෝ කාන්තාවක් සමග නො මනා රති කෙළියක යෙදෙන්නට . මේ අතර කුඩු ටිකක්  නැතිනම් වෙනත් මත් වතුර ටිකක ගිලි පීනන්නට . මේ සියල්ලටම උචිත පරිසරය මෙහි හොදට ඇත්තේ .ඒවාට අනුබල දෙන පිරිස ද ඒ අවට නැත්තේ නොවේ.

මේ සියල්ල  නිදහසේ කරන්නට, කරගෙන යන්නට ඔහේ ඉඩ හැර සිටින්නට  ද වගකිවයුතු සියළු ආයතන බලා සිටින නිසා මෙවන් ඛෙදවාචක සිදුවන්නේ .

මේ තරුණ යුවල ලෙහෙසියෙන් ඝාතනය කළ නො හැකිය. තරුණයා ද හමුදා සෙබළකි එසේ නම් තත්පරයකින් දෙකකින් දිවත්ව ඝාතනයන්  කළ නො හැකි . කොයි හැටි වෙතත් මේ සිද්ධිය ගැන පොලිසියට වගබලා ගැනිමට පමණක් ඉඩ හැර අප බලන් සිටිය යුතු ද? එය ප්‍රමාණවත් ද? මතු ද මෙවැන්නක් විමට ඇති ඉඩ හසර එසේම පවතින්නට හරිනවාද? යන්න සමාජ කතිකාවට ගත යුතු ය.

කලින් මේ පිසේම තිබූ තවත් ස්ථානයක් වුයේ දූවිලි ඇල්ල . එදා දකුණු පළාත් සංචාරක ඇමැතිවරයා වු අයි. විජේවන්ත මහතා දූවිලි ඇල්ලට මෙසේ අයාලේ යන්නට ඉඩ නුදුන්නේය. අද වන විට එය  දෙස් වි‍දෙස් සංචාරකයින්ගේ පාරාදීසයකි.

එසේම හම්බන්තොට උණු දිය උල්පත එදා වෙල් යායක් මැද තිබු ආකර්ෂනීය ස්ථානයකි. මේ වන විට එය, විජේවන්ත මහතාගේම මැදිහත්විමකින් පණ නළ ලබා ලෝපතල සංචාරක පාරාදීසයක් බවට පත්ව තිබේ.

එසේ නම්  අඬා වැටෙන ඇල්ලට, මිනිසුන් අඬ වන්නට තව දුරටත් ඉඩ තැබිය යුතු ද? එය සංචාරක ස්ථානයක් ලෙස සංවර්ධනය කරන්නට නො හැක්කේ මන් ද?
2015/12/16

රුහුණේ සංස්කෘතික අනන්‍යතාව කොහි සිට එන එකක් ද?

රුහුණේ සංස්කෘතික අනන්‍යතාව 
කොහි සිට එන එකක් ද?
එහි අක්-මුල් කොහේ ද?
x    කෘතිය-රුහුණු අවුරුදු සිරිත් විරිත්
x    කර්තෘ-ජයතිස්ස තෙන්නකෝන්
x    පිටු-144/මිල-රුපියල් 300.00යි.
x    පරිච්ෙඡ්ද-14යි.
x    ගොඩගේ ප‍්‍රකාශනයක්.
 



ජයතිස්ස තෙන්නකෝන් මහතා


ප‍්‍රකට ගත් කතුවරයෙකු සහ මාධ්‍යවේදියෙකු වන ජයතිස්ස තෙන්නකෝන් මහතා විසින් රචිත, රුහුණු අවුරුදු සිරිත් විරිත් ග‍්‍රන්ථය, 2015 දෙසැම්බර් 14 වැනි දා පස්වරුවේ ගාල්ල, ලබුදූව, දක්ෂිණපාය ශ‍්‍රවණාගාරයේ දී දොරට වැඩියා. එය සිදු වූයේ දකුණු පළාතේ ලේඛකයන්ට ‘ලේඛකාධාර’ පිරිනැමීම පිණිස, දකුණු පළාත් සභාවේ සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශය සංවිධානය කළ චාම් උත්සවයක් ද සමගයි. දකුණු පළාත් සභාවේ සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය වීරසුමන වීරසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති උත්සව සභාවේ ප‍්‍රධාන ආරාධිතයා වූයේ, දකුණු පළාත් ප‍්‍රධාන ඇමති ශාන් විජයලාල් ද සිල්වා මහතායි. පළාත් සභාවේ උසස් නිලධාරීන්, ප‍්‍රභූවරුන්, ලේඛකයන්, කලාකරුවන් සහ මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා. උත්සවයේ ආරාධිත දේශකයා වූයේ මාධ්‍යවේදියෙකු මෙන්ම ගත් කතුවරයෙකු ද වන, ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර මහතා ය. එහි දී ඔහු කළ දෙසුම මේ සමග පළ කෙරේ.


පැරණි සිරිත් විරිත් සහ පැරණි වත් පිළිවෙත් සම්භාරයන් මැකී යමින් තිබෙන කාලයක, භාග්‍යවන්ත මාසය වෙනුවෙන් ජයතිස්ස තෙන්නකෝනුන් ගෙන එන රුහුණු අවුරුදු සිරිත් විරිත් ග‍්‍රන්ථය ඉතා ඉහළ වැදගත්කමක් දරනවා.  රුහුණට වෙනමම සංස්කෘතික අනන්‍යතාවයක් ඇති බව අප කවුරුත් දන්නා කරුණක්. රුහුණේ අවුරුදු සිරිත් විරිත් ද එහි කොටසක් බව පැහැදිලියි. ජන ව්‍යවහාරයේ පවතින අවුරුදු අසිරියෙන් යම් සැලකිය යුතු කොටසක් ලේඛනගත කරන්නට ඔහු දරා තිබෙන උත්සාහයට අප පින් දිය යුතුයි.
 

මා මුලින්ම, කෘතියේ දක්වා තිබෙන දුලබ ගණයේ අවුරුදු  සිරිත් ගැන යම් කෙටි සඳහනක් කරන්නම්. ඉන් පසුව රුහුණේ සංස්කෘතික අනන්‍යතාව කෙසේ ගොඩ නැගුණේ ද? යන කාරණය ගැන ඔබට කියන්නට අදහස් කරනවා. මා ඒවා කියන්නට යන්නේ පුරාවිද්‍යාත්මක පර්යේෂණ ආදිය ඇසුරෙනුයි. එසේම යම් වෙනස් කෝණයකිනුයි.
 

ජයතිස්ස සිය කෘතියේ,  
X   කෝඳුරුවන් වෙනුවෙන් කැවුම් පිසීම
x    සූර්ය සංක‍්‍රාන්තිය සහ හිරු දෙවොල ගැන (පි/33)
x    අවුරුදු කෝණය-‘කෝණ උදාවෙදි දරුවෝ හැමෝම ගෙදරට එන්න    ඕනි’ (පි/35)
x    දෑවුරුදු වැඳීම (පි/43)
x    ගේ අලේ කිරීම (පි/48)
x    ලිප් බොකු ආච්චි පිදීම/කුණු මුත්තා පිදීම (පි/58)
x    අවුරුදු රබන් සුරල් (පි/90)
x    රබන් කරත්තය (පි/95)
x    මාතර, ගොඩගම, ලේනදූවේ ‘හඳ දානය’ (පි/103)
x    නිල්වලා ධීවර ජනයාගේ අවුරුදු පාරු වන්දනාව (පි/108)
x    වේරගම්පිට, උයන්වත්තේ නොනගත පෙරහැර (පි/113-117)
x    ජන ක‍්‍රීඩා (පි/114-118)
 



ජයතිස්ස මහතා නව ග්‍රන්ථය ප්‍රධාන ඇමති ශාන් විජයලාල් ද සිල්වා මහතාට පිළිගන්වමින්-දකුණු පළාත් සංස්කෘතික හා කලා කටයුතු ඇමති වීරසුමන වීරසිංහ මහතා ද ඡායාරූපයෙහි වෙයි. (පින්තූරය-ප්‍රියාන් ද සිල්වා)

ආදී විශාල පරාසයක අවුරුදු කරුණු සඳහන් කරනවා. ඒ සියල්ලෙන්ම රුහුණේ සංස්කෘතිය පිළිබඳ අප ඉදිරියේ තබන චිත‍්‍රය ඉතා විචිත‍්‍රවත් එකක්. අම්මාගේ කිරි මෙන්, හිරුගේ රශ්මියෙන් සශ‍්‍රීක වූ අතීත රුහුණ, අවුරුදු කාලයට ශෂ්‍ය ප‍්‍රීතියෙන් ද, ලෙන්ගතුකමින් ද, බෞද්ධාගමික හික්මීමෙන් ද පිරී පැවතුණා. ජයතිස්ස, සිය අවුරුදු සිරිත් විරිත් හා අනෙකුත් අවුරුදු සමාජ චර්යාවන් උලූප්පා පෙන්වමින්, ව්‍යංගයෙන්  අපට කියන්නේ කුමක් ද? අතීත රුහුණ ධන ධාන්‍යයෙන්, රට සල්ලියෙන් මෙන්ම සමාජය සහ පවුලේ ලෙන්ගතුකම්වලින් ද පිරිපුන්ව පැවති බවයි. එසේ නො පැවතියා නම්, ඒ තරම් විශාල සිරිත් විරිත් සමුදායක් ගොඩ නැගෙන එකක් නැහැ. වර්තමාන රුහුණේ, ඒ තරම් සෞභාග්‍යයක් තිබෙනවා ද යන්න ගැටළුවක්.
 

ජයතිස්ස සිය කෘතියේ කියන තරම් සංස්කෘතික අනන්‍යතාවයක් රුහුණට ආවේ කොහොම ද? එහි අක්-මුල් කොහේ සිට එන්නේ ද? කිනම් අතීතයක සිට එන්නේ ද? යන්න, අප සොයා බැලිය යුතු වෙනවා.

පැරණි රුහුණ
පැරණි රුහුණ, බොහොම සශ‍්‍රීක මෙන්ම ඉතා විචිත‍්‍රවත් ඉතිහාසයක් ඇති සුවිශේෂ භූමි භාගයක්. බස්නාහිර පළාතේ කළුතර හෙවත් ‘කාලතිත්ථයෙන්’ මුහුදට බසිනා කළු ගඟෙන් ද. මහනුවර, මහියංගණය, දිඹුලාගල, සිත්තාරු සහ අල්ලෙයි ඔස්සේ ත‍්‍රිකුණාමල බොක්ක දක්වා වැටී ඇති මහා වාලූකා හෙවත් මහවැලි ගඟෙන් ද මායිම් වූ සුවිශාල බිම් තීරුව පැරණි රුහුණයි. රෝහණයයි. මේ භූමිය වර්තමානයෙහි කළුතර, රත්නපුරය, ගාල්ල, මාතර, හම්බන්තොට, මොණරාගල, නුවරඑළිය, මහනුවර, බදුල්ල, පොළොන්නරුව, අම්පාර, මඩකලපුව සහ ත‍්‍රිකුණාමලය යන පරිපාලන දිස්ත‍්‍රික්කවලට අයත් වෙනවා.
පැරණි රුහුණ එක් පැත්තකින් රටේ සමුද්‍ර තීරය හා සම්බන්ධයි. රට ඇතුළතින්, එය කන්ද උඩරට සහ මධ්‍යම කඳුකරයේ උතුරු සහ ඊසාන දිග පෙදෙස්වලට ද සම්බන්ධයි. සමස්ත රුහුණ ගැන වැඩි දෙනෙක් දන්නේ, එය ගොඩ-මඩ දෙකින්ම සරුසාර කෘෂිකාර්මික භූමියක් ලෙසයි. එහෙත් පැරණි රුහුණට ඉතා විශිෂ්ඨ ගණයේ විදේශ වෙළෙඳ සම්බන්ධතා පැවති බවත්, ඉතා විශිෂ්ඨ නාවික කර්මාන්තයක් පැවති බවත්, අප‍්‍රකටයි. රුහුණේ අප දන්නා ඉතිහාසය, වර්තමාන පුරාවිද්‍යා පර්යේෂණ ඔස්සේ තවත් අලූත් වී තිබෙනවා.
 

මාගම රාජධානිය
අතීත රුහුණ, සිය නැව් කර්මාන්ත සහ විදේශ වෙළෙඳාම් ඔස්සේ ඉතාමත් සමෘද්ධිමත් අවධියකට එසැවී ගියේ ‘මාගම රාජධානිය’ බිහි වීමත් සමගයි. ඒ, ක‍්‍රිස්තු පූර්ව 307 දී, එවකට අනුරාධපුරයේ රජ කළ දේවානම්පියතිස්ස රජුගේ බාල සොහොයුරු-‘මහා නාග කුමාරයා’ හදිසියේ රුහැණට පලා ඒමේ සිද්ධියත් සමගිනුයි. එතැනින්, ‘මාගම’ රාජධානිය ආරම්භ වෙනවා. ‘මහාගාමය’ එහි අගනුවරයි. එය තිස්සමහාරාමයේ පිහිටා තිබුණා. මෙය අදින් වසර 2300කට ඉහත හට ගත් සිද්ධියක්. රටේ දකුණ, ගිනිකොණ සහ නැගෙනහිර භූමිවලින් සජ්ජිතව ‘මහා රුහුණු රට’ එතැනින් නිර්මාණය වන්නට ඇති.
 

මෙතැන දී මා ඔබට, ‘හෙන්රි පාකර්’ නමැති බි‍්‍රතාන්‍ය ජාතික ඉංජිනේරුවා  මුණ ගස්වන්නට කැමතියි. ඔහු ඉතිහාසයට හා පුරාවිද්‍යාවට කැමති කෙනෙක්. පාකර්, වර්ෂ 1833 දී බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදී පාලනය යටතේ දකුණු පළාත භාර ඉංජිනේරු තනතුරට පත් වෙනවා. ඒ සමගම ඔහු තිස්සමහාරාමයේ පෞරාණික නටබුන් ගැන පර්යේෂණ කරනවා. ඔහු සිය පර්යේෂණ ගැන වාර්තාවක්, 1884 වසරේ දී රාජකීය ආසියාතික සමිති සඟරාවෙහි පළ කරනවා. එහි සඳහන් වන අන්දමට, මහානාග කුුමාරයා බිහි කළ රෝහණයේ අගනුවර වූ ‘මහාගාමය’ පිහිටා ඇත්තේ තිස්සමහාරාමයේයි. එහි විසූ කුඹල්කරුවන්, රන්කරුවන්, වානේ සහ යකඩ කර්මාන්තකරුවන් මෙන්ම විදෙස් වෙළෙඳාම් ගැන ද තොරතුරු ඔහු සොයා ගන්නවා.
 

මහානාග කුමරුන්ගේ සමයේ පටන්ම රුහුණ වෙනමම අනන්‍යතාවක් ගොඩ නගා ගන්නවා. එය ඉතාමත් විචිත‍්‍රවත්. ඒ ඉතිහාසය කෙටියෙන් විස්තර කරන්නම්.
 

බලංගොඩ මානව ජනාවාස සමය
සුළු භූමි ප‍්‍රමාණයක හැරෙන්නට, පැරණි රුහුණ ප‍්‍රාග් ඓතිහාසික  යුගයේ පටන්ම මානව ජනාවාස ලෙසින් පැවතුණා. කළු ගඟ පහළ නිම්නයේ බුලත්සිංහල පාහියන් ලෙනෙහි පැවති ආදි මානව ජනාවාසය අදින් වසර 48,000ක් පැරණියි. එය දැනට දකුණු ආසියාවේ පැරණිම ආදි මානව ජනාවාසය වශයෙන් සැලකෙනවා. ඊළඟට කළු ගඟ ඉහළ නිම්නයේ කුරුවිට, බටදොඹ ලෙන අදින් වසර 37,000ක් පැරණි මානව ජනාවාසයක්. ආචාර්ය පී. ඊ. පී. දැරණියගල, ඔහුගේ පුත් ආචාර්ය සිරාන් දැරණියගල, ආචාර්ය ඩබ්ලිව්. එච්. විජයපාල සහ ආචාර්ය නිමල් පෙරේරා යන විද්වතුන් මේ පර්යේෂණ ඉදිරියට ගෙනාවා. ලංකාවේ විසූ ‘නවීන මානවයන්’ හෙවත් ‘බලංගොඩ මානවයන්ගේ යුගය’ අනාවරණය කිරීමට, පර්යේෂණ මෙහෙය වූයේ අපේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවයි.
අපි දැන් කතා කළේ කළු ගඟ ඉහළ නිම්නය ගැනයි. ඊට ටිකක් දුරින් බලංගොඩ ප‍්‍රදේශය හරහා ‘වලවේ ගඟ ගලා බසිනවා. කළු ගඟ නිම්නයේ ආදි මානවයින් අදින් වසර 48,000 සහ 37,000 යන අතීත වකවානු ඔස්සේ පාහියන් ලෙන සහ බටදොඹ ලෙන් ජනාවාස කරන විට, වලවේ ගඟ නිම්නයේ ඉහළ ප‍්‍රදේශවල කුමක් වී ද? වලවේ ඉහළ නිම්නයට අයත්, කල්තොට, ‘කූරගල’ ලෙන්වල විසූ ආදි මානවයෝ අදින් වසර 16,000ක් පුරාණයේ සිට ජනාවාස තනා ගන්නවා. කූරගලින් පහළ තිබෙන්නේ උඩවලවේ ජාතික වනෝද්‍යානයයි. ඒ වලවේ පහළ නිම්නයයි. එහි ඇති ‘බෙල්ලන්බැඳිපැලැස්ස’ එළිමහන් ආදි මානව ජනාවාසය, අදින් වසර 12,500ක් පැරණියි. එහි විසූ අය හීලෑ බල්ලන් පවා ඇතිකර තිබුණා. බෙල්ලන්බැඳිපැලැස්සේ අලූත්ම පර්යේෂණ කළ ආචාර්ය නිමල් පෙරේරා මහතා පවසන අන්දමට, කූරගල කියන්නේ ‘වියලි කලාපීය සහ වෙරළබඩ විසූ ආදි මානවයන්, රටේ කඳුකරයට ආ-ගිය අතරමැදි කඳවුරක් වැනි තැනක්. වලවේ ගඟ පහළ නිම්නයේ හුංගම, මිණිඇතිලිය ගමෙන් 2008 වසරේ දී හමුවූ ‘මැණික් හාමි’ අදින් වසර 4000ක් පැරණි කෙනෙක්. ඔහුගේ සනුහරේ අය මැටි පබළුවලින් හැදූ ‘මාල’ පළඳා තිබුණා. බූන්දල පල්ලේමලල ප‍්‍රදේශයෙන් ද වසර 3310ක් පැරණි මානව ජනාවාස හමු වුණා. 2009 වසරේ මහාචාර්ය රාජ් සෝමදේවයන්, ඇඹිලිපිටියේ ‘රංචමඩමේ’ කළ කැණීම්වලින් අදින් වසර 3368ක් පැරණි මානව ජනාවාසයක් මතුකර ගත්තා. මැටියෙන් නිම කළ ආදාහනාගාර භාවිතය, ආභරණ පැළඳීම එහි විසූවන්ගේ සිරිතක්. එබඳු තවත් ජනාවාසයක් ඔහු වලවේ ඉහළ නිම්නයේ හල්දුම්මුල්ලෙනුත් සොයා ගත්තා. ඉන් යකඩ භාවිතය ගැන පවා සාධක ලැබුණා. වලවේ ගඟ මෝයෙනුත් 2008 දී ආදි මානව ඇටසැකිල්ලක් හමු වුණා. ‘ලූවිස්’ නමැති විද්වතෙක්, 1910 දශකයේ දී මාතර දිස්ත‍්‍රික්කයේ ‘ඌරුමුත්ත ගල් ලෙන’ කැණීම් කරලා ආදි මානව ජනාවාසයක් සොයා ගත්තා. පුරාවිද්‍යාඥයන් කියන හැටියට, යාල වනයේ මිනිහාගල්කන්ද ඉසව්වෙන් හමු වන මානව ජනාවාස සාධක අදින් වසර 1,25,000ක් පැරණියි.
 

තවම ගාලූ-මාතර යන දිස්ත‍්‍රික්කවලින් ආදි මානව ජනාවාස ගැන පැහැදිලි සාධකයක් ලැබිලා නෑ. ඇතැම් විට ඔය කියන කාලේ මේ ප‍්‍රදේශ මානව පරිසරයකට නො ගැලපුණා වෙන්නත් පුළුවන්. ඒත් රුහුණේ අතීතය ගැන මේ සියල්ලෙන්ම පැවසෙන්නේ කුමක් ද? රුහුණ ආදි මානව යුගයේ පටන්ම ජනාවාසව පැවති බවයි.
 

ආචාර්ය සිරාන් දැරණියගල මහතා 1969 වර්ෂයේ කළ කැණීම් අනුව, ක‍්‍රි. පූ. 900 දී, (එනම් අදින් වසර 2900කට ඉහත) අනුරාධපුරය දියුණු නගරයක්. ඊට අමතරව ප‍්‍රාග් ඓතිහාසික මානව ජනාවාස සාධක ද හමු වුණා. ආචාර්ය නිමල් පෙරේරා මහතා 2001 වසරේ දී තිස්සමහාරාමයේ ‘සඳගිරි සෑය’ කැණීම් කළා. එහි දී ද ප‍්‍රාග් ඓතිහාසික මානව ජනාවාස හමු වුණා. ඒ සමගම අනුරාධපුරයේ මෙන්, ක‍්‍රි. පූ. 900 කාලයට අයත් දියුණු ජනාවාසයක සාධක  ද හමු වුණා. මහාචාර්ය රාජ් සෝමදේව මහතා, තිස්සමහාරාම ප‍්‍රදේශයේ ‘තඹරවැව’ නමැති ස්ථානයේ කළ කැණීමකින් ද ක‍්‍රි. පූ. 900 කාලයට අයත් ආදි මානව ජනාවාසයක් සොයා ගෙන තිබුණා. මේවායෙහිි තේරුම වන්නේ අනුරාධපුරය සහ තිස්සමහාරාමය යනු, එකම වකවානුවේ, එකට බිහි වූ මානව ජනාවාස වන බවයි. රට මධ්‍යයේ සහ රටේ දකුණුකරයේ පැවතිය ද, මේ ජනාවාස දෙක සමකාලීනයි. ඒවා අදින් වසර 2900ක් පැරණියි.
 

ආර්්‍යය සංක‍්‍රමණ සහ රුහුණ
බලංගොඩ මානවයන් විසූ කාලය, ජනප‍්‍රිය ව්‍යවහාරයේ දී හැඳින්වෙන්නේ ‘ගල් යුගය’ නමිනුයි. එහි අදහස වන්නේ, ‘ආදි මානවයන් දඩයමින් සහ වනජ ද්‍රව්‍ය රැස් කිරීමෙන් ජීවත් වූ සමය’ යන්නයි. සාමාන්‍යයෙන් ගල් යුගයෙන් පසුව මනුෂ්‍යයන්, යකඩ, සහ මැටි බඳුන් තැනීම ආදිය සහිත ‘කෘෂිකාර්මික යුගයකට’ එළඹෙනවා. එය ‘නව ශිලා යුගය’ යනුවෙන් හැඳින්වෙනවා. එහෙත් ලංකාවේ තවම ‘නව ශිලා යුගයක්’ ගැන ප‍්‍රමාණවත් තරම් සාධක හමුවී නෑ. එබැවින් ලංකාවේ ගල් යුගයේ අවසානය සහ නව ශිලා යුගයේ ආරම්භය කෙසේ වී ද? යන්න, මහත් කුතුහලය දනවනවා. එය ඇත්තටම පරිවර්තන අවධියක්. ඒ ගැන සාධක නෑ. ආචාර්ය සිරාන් දැරණියගල මහතා ඇතුළු පර්යේෂකයන් කියන්නේ, ලංකාවේ ගල් යුගය ගෙවී ගෙන යද්දී, යකඩ තාක්ෂණය සහ මැටි බඳුන් තැනීම ආදිය දත් අය කෙලින්ම ඉන්දියාවෙන් අපේ රටට සංක‍්‍රමණය වන්නට ඇති බවයි. එය ‘පූර්ව ඓතිහාසික  යකඩ යුගය’ කෙලින්ම ලංකාවට සංක‍්‍රමණය වීමක් ලෙසත් සැලකෙනවා. මේක නව යුගයක්. පෙරළියක්.
 

සිරාන් දැරණියගල මහතා 1969 වර්ෂයේ අනුරාධපුරයේ කළ කැණීම්වලින්, යකඩ තාක්ෂණ භාවිතය, මැටි බඳුන් තැනීම සහ භාවිතය, වී වගාව, අශ්වයන් ඇතුළු සත්ත්ව පාලනය ආදී සාධක ලැබුණා. ඒවා ක‍්‍රි. පූ. 900ට අයත්. ඒ කාලයටම අයත් සාධක, තිස්සමහාරාමයේ සඳගිරි සෑයෙනුත් ලැබුණා. මේ මුල් කාලීන ආර්්‍යය ආගමනයයි. පුරාවිද්‍යා චක‍්‍රවර්ති, පූජ්‍යය එල්ලාවල මේධානන්ද හිමියන් පවසන අන්දමට, ඉන්දු ආර්්‍යය සංක‍්‍රමණ සමයේ දී වලවේ ගඟ පහළ නිම්නයේ ද මානව ජනාවාස ඇති වුණා. එය   ක‍්‍රි. පූ. 543-විජයාගමනයේ දී සිදු වූවක්. මා සිතන ආකාරයට, ක‍්‍රි. පූ. 900 වැනි සියවසෙන් පටන් ගෙන, විජයාගමනය දක්වා වූ කාලය, ලංකාවේ ජන ශිෂ්ඨාචාරයේ ‘කඩයිමක්’ හෝ ‘නව යුගයක බිහි වීම’ පෙන්නුම් කරනවා. පැරණි රුහුණේ ප‍්‍රාග් ඓතිහාසික ජනාවාස යුගයෙන් පසුව, තිස්සමහාරාමයේ සඳගිරි සෑයේ කැණීමෙන් ද පෙනී යන්නේ, එය අලූත් යුගයක, අලූත් ශිෂ්ඨාචාරයක සරුසාර ඇරඹුමක් බවයි.
 

ජයතිස්සයන් සිය කෘතියේ සඳහන් කරන රුහුණේ  අලූත් අවුරුදු සිරිත්, ඉබේ පහළ වූවා නොවෙයි. ඒ අලූත් මානව සංස්කෘතිය, අදින් වසර 48,000ක් පැරණි බලංගොඩ මානව යුගයේ පටන්, පූර්ව ඓතිහාසික යකඩ යුගය මෙන්ම, සඳගිරි සෑය සහ තඹරවැව කැණීමෙන් මතු වූ (ක‍්‍රි. පූ. 900) දියුණු ශිෂ්ඨාචාරය ඔස්සේ ද අඛණ්ඩව විකාශනය වූවක්. ඒ කිසිවක්  ඕපපාතික නොවෙයි. එය එතැනින් ද නැවතුණේ නෑ. රුහුණේ අලූත් ශිෂ්ඨාචාරය නාවික වෙළෙඳාම් ඔස්සේ ද පැතිරී ගියා.
 

වෙළෙඳ නාවික ශිෂ්ඨාචාරය
පැරණිි රුහුණට ඉතා විශිෂ්ඨ වරාය සහ නාවික වෙළෙඳ ශිෂ්ඨාචාරයක් තිබුණා. ක‍්‍රි. පූ. 02-03 වැනි සියවස්වල පටන් රටේ ක‍්‍රියාත්මක වූ ප‍්‍රධාන වරාය තුනෙන් දෙකක්ම රුහුණේ. එකක් ත‍්‍රිකුණාමලයේ මහවැලි ගඟ මෝයේ, ‘ගෝකණ්ණ’වරාය. අනෙක, අම්බලන්තොට වලවේ ගඟ මෝයේ ‘ගොඩවාය’ වරාය. ඒවාට අමතරව මඩකලපුවේ ‘පල්ලවංක වරාය’ ද, කිරින්දේ ද, වැලිගම ද, ගාල්ලේ ද, දොඩන්දූවේ ද, බේරුවල ද පැරණි වරාය පැවතුණා. වලවේ ගඟ ඉහළ නිම්නයේ-හතරබාගේ ප‍්‍රදේශයේ දී ස්වයංක‍්‍රීය ස්වාභාවික සුළං උදුන් ආධාරයෙන් උණුකර ගත් වානේ සහ යකඩ, ඒ කාලයේ සිරියාවේ ‘දමස්කස්’ නුවරට යවා තිබෙනවා. එය සිදු වූයේ ක‍්‍රි. පූ. 02-03 වැනි සියවස්වලයි. රුහුණට රෝම අධිරාජ්‍යය සමග ද සබඳතා පැවති බව, මහාචාර්ය ඔස්මන් බෝපෙආරච්චි මහතාගේ පර්යේෂණ මගින් හෙළි වුණා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ‘කාවා ව්‍යාපෘතිය’ යටතේ තිස්සමහාරාමයේ කළ කැණීම්වලින් ක‍්‍රි. පූ. 03 වැනි සියවසට අයත් නාවික වෙළෙඳාම් අවශේෂ හමු වුණා. ඒ අතර 2008 වසරේ දී  ‘වී’ මුට්ටියක් ද හමු වුණා. රුහුණ ධන ධාන්‍යයෙන් මෙන්ම, විදෙස් වෙළඳාමෙන් ද සජ්ජිතව පැවති බව ඉන් ඉඟි කෙරෙනවා. ගොඩවාය මුහුදෙන් හමු වූ දැවමය නෞකාවේ නටබුන්, ක‍්‍රි. පූ. 03 වැනි සියවස තරම් පැරණියි.
 

රට ඇතුළතින් ඉපැයූ ඇත් දළ, මැණික්, යකඩ, ගම්මිරිස් ඇතුළු කුළුබඩු ආදී වෙළෙඳ ද්‍රව්‍ය, මේ වෙළෙඳ නාවික ශිෂ්ඨාචාරය ඔස්සේ එතෙර යැවුණු බව කිව හැකියි.
 

වර්ෂ 1505න් පසුව එළඹි යටත් විජිත පාලන සමයත් සමග රුහුණ තරමක් ඇද වැටුණු බව ඇත්තයි. එහෙත් රුහුණේ වැස්සන් තම දෑ අභිමානයත්, අනන්‍යතාවයත් හැකි පමණ රැක ගෙන, අලූත් තත්ත්වයට ගැලැප්පුණු බව පේනවා. රුහුණට අනන්‍ය වූ සංස්කෘතික ක‍්‍රියාවලියක් අදත් නො නැසී ඉතිරිව තිබීම, ඊට හොඳම සාක්ෂියක්. ජයතිස්ස අද අපට ගෙන එන රුහුණේ අලූත් අවුරුදු සිරිත් ද ඉන් එක් කොටසක් බව කිව යුතුයි.
 

මා යෝජනා කරන්නේ රුහුණේ සංස්කෘතික අනන්‍යතාව, ආදි මානව සමයේ පටන්-යම් යම් දුක් ගැහැට මධ්‍යයේ වුව ද අඛණ්ඩව පැවත ආ එකක් බවයි. එය මා කලින් කීවාක් මෙන්,  ඕපපාතික නෑ.
 

ජනපද ව්‍යාපාර
පැරණි රුහුණ අති විශාල භූමි පරාසයක්. එබැවින් කතුවරයා සිය පෑනට හසුකර ගන්නේ, බෙන්තර ගඟේ සිට කුඹුක්කන් ඔය දක්වා වූ වත්මන් දකුණු පළාත පමණයි. දිස්ත‍්‍රික්ක තුනක තුනක ජන සංස්කාතික කාරණා පිළිබඳ ගවේෂණය කිරීම පවා ඉතාමත් බරසාර කටයුත්තක්. ඉතින් ජයතිස්සයන් ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත‍්‍රික්ක තුන පමණක් සිය කෘතියට තෝරා ගැනීම ගැන අපට තේරුම් ගත හැකියි. එහෙත් මෙහි සුවිශේෂ තත්ත්වයන් ඇති බව  අමතක කළ නො හැකියි. මා මේ කාරණය  ඔබට පැහැදිලි කරන්නම්.
 

වර්ෂ 1952 දී වැල්ලවායේ හඳපානාගල වැව හැදෙනවා. 1956 දී හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ බඳගිරිය ජලාශය හැදෙනවා. 1949 වසරේ දී අම්පාරේ ගල් ඔය ජලාශය ඇරඹෙනවා. එය මෑත ඉතිහාසයේ කෙරුණු ප‍්‍රථම මහා ගොවි ජනපද ව්‍යාපාරයයි. ඉන් පසුව 1961 දී වලවේ ව්‍යාපාරය යටතේ උඩවලවේ ජලාශය බැඳෙනවා. 1985 දී ලූණුගම්වෙහෙර ජලාශය හැදෙනවා. 1950 දශකයෙන් ඇරඹුණු දශක තුනක් තුළ මුළු රුහුණම කිසියම් ගොවි ජනපද ක‍්‍රියාවලියකින් වෙළී යනවා. අලූත් නගර බිහි වෙනවා. ඒ සමගම නිල නො වන, අනවසරයන් වශයෙන් ද අලූත් ගොවිතැන් වැඩ ඇරඹෙනවා. මේ නිල-නො නිල අලූත් ගොවි ජනපද ක‍්‍රියාවලියට ජනපදිකයන් ඇදී ආවේ කොහෙන් ද? මා අසා ඇති ආකාරයට, නිල්වලා ගඟ නිම්නයෙන් හට ගත් ජනගහණ තෙරපුම ඇඹිලිපිටිය, හම්බන්තොට, වැල්ලවාය, මොණරාගල ඔස්සේ ගල් ඔය දෙසට තල්ලූ වී ගියා. මේක එක්තරා ජන සංක‍්‍රමණයක්. හරියට බි‍්‍රතාන්‍ය පාලන සමයේ ගාලූ-මාතර මිනිස්සු ‘සිංහලේ ගියා’ වගේ. ඔවුන් නිල්වලා නිම්නයෙන් ඇරඹී ඈත රුහුණට පැතිරී ගියා. දොඩන්දූව, බේරුවල සහ වැලිගම වරාය පැවති කාලයේ ද, නැව් මගින් රටේ නැගෙනහිර පෙදෙස්වලට ගමන් බිමන් තිබුණා.
 

ඔවුන් නිකම්ම එහි ගියා නොවෙයි. ගිං, නිල්වලා, වලවේ, කිරිඳි ආදී ගංගා නිම්නවල පැවති ජන ස්ංස්කෘතිය ද ඔවුන් නව ජනපදවලට අරන් ගියා. මෙය ඉතා විශාල සංස්කෘතික සංක‍්‍රමණයක්. මේ අදත්, අම්පාර-මාතර, මොණරාගල-මාතර, අම්පාර-ගාල්ල, මොණරාගල-ඇඹිලිපිටිය, මොණරාගල-වලස්මුල්ල, ඇඹිලිපිටිය-මාතර, ඇඹිලිපිටිය-මිද්දෙණිය ආදී බස් සේවාවලට අති විශාල මගී සංඛ්‍යාවක් සිටීම ඊට සාක්ෂියක්. ඔවුන්ට ඒ බස් සේවා නැතිව බෑ. විශේෂයෙන්ම සිංහල අලූත් අවුරුදු සමයට නිල්වලා නිම්නයට නෑගම් හෙවත් මුල් ගම් බලා යන අධික ජන පිරිස් දැකිය හැකියි. සමහරු දරුවන් ලැබීම පිණිස ද මුල් ගම් බලා එනවා. මේක ඔවුන්ගේ මුල් පිළිබඳ කාරණයක්.
 

මා මෙයින් කියන්නට යන්නේ, පැරණි රුහුණට අයත් පහළ ඌවෙන් එහා නැගෙනහිර දිගට වෙසෙන ජනයා අතර, නිල්වලා, වලවේ ආදී ජන නිම්නවලට අනන්‍ය වූ සංස්කෘතික ශේෂයන් පවතින බවයි.
 

පෙරළි තුනක්
පැරණි රුහුණ ගත් විට ජන පෙරළි තුනක් හඳුනා ගත හැකියි. ඉන් පළමුවැන්න වන්නේ, ඉන්දියාවෙන් පැමිණි ‘පූර්ව ඓතිහාසික යකඩ යුගය’, කෙලින්ම අදින් වසර 48,000ක පටන් ලංකාවේ පැවති ‘ගල් යුගය’ මත පතිත වීමේ පෙරළියයි. ලංකාවේ මිනිසුන් අදින් වසර 34,000කට ඉහත දී ගින්දර භාවිතය සොයා ගෙන තිබුණා. ඒ සාධක හමු වුණේ බුලත්සිංහල පාහියන් ලෙනේ කළ පර්යේෂණවලිනුයි. ඒ කාලේ එහි විසූවන් දඩ මස් හෝ වනජ ආහාර පුළුස්සා අනුභව කරන්න ඇති. ඉන් පස්සේ අදින් වසර 2900-3000 පමණ කාලේ, ‘පූර්ව ඓතිහාසික යකඩ යුගය’, කෙලින්ම ඉන්දියාවෙන් ලංකාවට පතිත වෙනවා. වී ගොවිතැන, සත්ත්ව පාලනය, යකඩ භාවිතය සහ මැටි වළංවල උයා කෑම වැනි අලූත් ශිෂ්ඨාචාරයක ලක්ෂණ එයින් ඇරඹෙනවා. අපි අද අලූත් අවුරුද්දේ නැකතට ගිනි මොළවා, නැවුම් වළඳක කිරිබතක් පිස ගැනීමේ සිරිතක් පවත්වනවා. මේ සංකේතවත් කරන්නේ කුමක් ද? ආදි මානවයා ගින්දර සොයා ගැනීමේ ජයග‍්‍රහණයත්, ඔවුන් අලූත් ශිෂ්ඨාචාරයකට පිවිසී මැටි වළංවල උයා කෑමට පුරුදු වූ විජයග‍්‍රහණයත් ඉන් සංකේතවත් වෙනවා කියා මා සිතනවා.
 

රටේ හටගත් දෙවැනි පෙරළිය, බි‍්‍රතාන්‍ය පාලකයන් කන්ද උඩරට අල්ලා ගැනීමෙන් පසුව හට ගත් කැරලි ඇතුළු සිද්ධි මාලාවයි. එයින් ‘සිංහලේ යාම’ නම් ජන සංක‍්‍රමණ පිළිවෙත ද ඇති වුණා. තුන් වැන්න, 1950 දශකයේ පටන් ඇති වුණු ගොවි ජනපද ව්‍යාපාර සමූහයයි. මේ සියලූ අවස්ථාවල දීම රුහුණේ ජන සමාජය දැඩි වෙනස්කම්වලට මුහුණ දෙන්නට ඇති. ඒ සමගම සංස්කෘතික කාරණා ද අලූත් තත්ත්වයන්ට ගැලැප්පෙන්නට ඇති.
 

රුහුණේ ජීවන ක‍්‍රියාවලිය
රුහුණේ ජීවන ක‍්‍රියාවලියෙහි ප‍්‍රධාන කොටස් තුනක්  හඳුනා ගන්න පුළුවන්. ඉන් එකක්, රට ඇතුළත පැවති වී, අනෙකුත් ධාන්‍ය සහ හේන් වගාව හා බැඳුණු කෘෂිකාර්මික ක‍්‍රියාවලියයි. අනෙක, සමුද්‍රය හා බැඳුණු වෙළෙඳ නාවික සහ ධීවර ක‍්‍රියාවලියයි. රුහුණේ විවිධ ප‍්‍රදේශවලින් වරින් වර හමු වූ විදේශීය කාසි සම්භාරය ඊට සාක්ෂි සපයනවා. ආහාර සුරක්ෂිතතාවෙන් පිරිපුන්, සමෘද්ධිමත් ජන සමාජයක මහේශාක්‍ය ලක්ෂණ එයින් ඉස්මතු වෙනවා. තුන් වැනි කාරණය වන්නේ, ඒ සියල්ල බෞද්ධාගමික පසුබිමක් හා බද්ධ වී පැවතීමයි. ඒ ගැන අමුතුවෙන් නිදසුන් සැපයිය යුතු නෑ. නිල්වලා පහළ නිම්න වැසි ගොවීන්, අදත් ‘මා වී’ සලකන්නේ ‘බුද්ධ බෝගය’ යනුවෙනුයි. ඔවුන් බුදුන් නො වැඳ, මා වී බැත සුළං කරන්නට ‘මුඩේට’ නගින්නේත් නෑ.
 

කෘෂිකර්මාන්තය යනු සූර්්‍යයාගේ ආලෝකය සහ උණුසුම පදනම්කර ගත් ‘යල-මහ’ ක‍්‍රියාවලියක්. අතීත නාවික කර්මාන්තය ද මෝසම් සුළං ධාරා මත පදනම් වුණා. මේ කාරණා දෙකම රුහුණේ සිංහල අවුරුද්දට සම්බන්ධයි. සිංහල අවුරුද්ද ඇත්තටම හිරු දෙවිඳුන් පිළිබඳ ජන උත්සවයකැයි කියා මට සිතෙනවා. හිරුගේ බැල්ම, ධාන්‍ය හෙවත් ආහාර, මෝසම් සුළං අදත් අපට අවශ්‍යයයි. ජයතිස්ස මේ කාරණය, ‘බක්’ යන පදය යනු ‘බත්’ යන්නෙහි විකාශනයක් ලෙසින් විග‍්‍රහ කරනවා. එය හරිම අරුත්බරයි. මට සිතෙන්නේ, හිරු දෙවියන්ගේ අවුරුදු සැරිය යනු වී ශෂ්‍යයෙහි අසිරිය වන  බවයි.
 

සියල්ල මැකී යන සමයක, අවුරුදු සිරිත් ඔස්සේ රුහුණ උලූප්පා දුන්නාට ජයතිස්සට හද පත්ලෙන්ම ප‍්‍රශංසාව හිමි වෙනවා.
-ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර
2015/12/15.







Wednesday, December 9, 2015

‘රුහුණු අලූත් අවුරුදු සිරිත්’ දෙසැම්බර් 14 දා දොරට වඩියි

‘රුහුණු අලූත් අවුරුදු සිරිත්’
දෙසැම්බර් 14 දා දොරට වඩියි


 


ප‍්‍රවීණ ජනමාධ්‍යවේදියෙකු සහ ගත් කතුවරයෙකු ද වන, ජයතිස්ස තෙන්නකෝන් මහතා විසින් රචිත ‘රුහුණු අලූත් අවුරුදු සිරිත්’ නමැති නවතම ග‍්‍රන්ථය දෙසැම්බර් 14 වැනි සඳුදා සවස 2.30ට, ගාල්ල, ලබුදූව, ‘දක්ෂිණපාය’ ශ‍්‍රවණාගාරයේ දී ජනගත කෙරේ.
 

උත්සව සභාවේ මුලසුන හොබවන්නේ, දකුණු පළාත් සංස්කෘතික අමාත්‍ය වීරසුමන වීරසිංහ මහතා විසිනි. විශේෂ දේශනය පවත්වන්නේ, මාධ්‍යවේදියෙකු සහ ප‍්‍රවීණ ලේඛකයෙකු වන ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර මහතා ය.
 


 පරිච්ෙඡ්ද 14ක් ඔස්සේ ලියැවුණු නව ග‍්‍රන්ථය, ජයතිස්සගේ 11 වැනි කෘතිය ද වෙයි. එය අගනා ගවේශණශීලී නිබන්ධයකි. එය ගොඩගේ ප‍්‍රකාශනයකි.
2015/12/10.

Saturday, December 5, 2015

ලංකාවට ‘ග්ලයිපොසේට්’ කවන්න ඩැනියෙල් ගෝල්ඩ්ස්ටින් ඇවිල්ලා!


ලංකාවට යළි ‘ග්ලයිපොසේට්’ කවන්න
ඩැනියෙල් ගෝල්ඩ්ස්ටින් ඇවිල්ලා!
ලංකාවට එරෙහි මොන්සැන්ටෝ කුමන්ත‍්‍රණය

(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
ඇමරිකානු ‘මොන්සැන්ටෝ සමාගමයේ’ ‘මහා කාරුණික ඇස’, මේ දිනවල ශ‍්‍රී ලංකාව දෙසට යොමු වී ඇති බව අසන්නට ලැබෙයි. ඔවුන් නිපදවන ‘ග්ලයිපොසේට්’ නමැති උග‍්‍ර විෂ සහිත වල් නාශක රසායනයට එරෙහිව පැන වුණු තහනම ඉවත් කරවා ගන්නට පොටක් පාදා ගැනීම, මහා කරුණාවේ අරමුණ බව කියනු ලැබේ! ලැබෙන ආරංචිවල හැටියට, මොන්සැන්ටෝව නව ව්‍යාපෘතියට වියදම් කරන්නට යන මුදල රුපියල් කෝටි 36කි. එනම් ඇමරිකානු ඩොලර් මිලියන 2.5කි.
 
සිද්ධිය ගැන 2015/11/29 වැනි දා මුලින්ම අනාවරණය කළ ‘ලංකා සී නිවුස්’ වෙබ් අඩවියට අනුව, ලංකාව මොන්සැන්ටෝවට එතරම් විශාල වෙළෙඳපොළක් නොවේ. එහෙත්  දකුණු ආසියානු සහ දකුණු ඇමරිකානු රටවල්, ලංකාවේ ‘ග්ලයිපොසේට්’ තහනම ආදර්ශයට ගත හොත් ඉන් ඔවුන්ට ව්‍යාපාරික වශයෙන් හානියක් වීමට පුළුවන. එබැවින් තම ප‍්‍රතිරූපය නංවා ගැනීම පිණිස ඔවුන් නව ව්‍යාපෘතිය සැලසුම්කර ඇත. ඉන් කරන්නට යතියි කියන්නේ, ලංකාවේ ‘ග්ලයිපොසේට්’ තහනම ‘අවිද්‍යාත්මක’ යයි ජන මතයක් ගොඩ නැගීම ය. ඒ සඳහා, නව පර්යේෂණ පැවැත්වීම, සම්මන්ත‍්‍රණ පැවැත්වීම, මාධ්‍ය ප‍්‍රචාරක කටයුතු සහ විද්වතුන්ට පර්යේෂණ දීමනා ගෙවීම ආදී ක‍්‍රියාමාර්ග ගණනාවක් සැලසුම්කර ඇත.
 
‘ග්ලයිපොසේට්’ වූ කලී, මාරාන්තික නිදන්ගත වකුගඩු රෝගය ඇති වීමට හේතුකාරකයක් ලෙස, පර්යේෂණ මගින් හඳුනා ගත් රසායනික වල් නාශකයකි. ඒ බව ලංකාවේ රජරට විශ්වවිද්‍යාලය කළ පර්යේෂණ මගින් මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය කළ පර්යේෂණ මගින් ද අනාවරණය විය. පසුව ලෝක ‍ෙසෟඛ්‍ය සංවිධානය මගින් එය ‘පිළිකාකාරකයක්’ ලෙස ද හඳුනා ගැනුණි. මාරාන්තික වකුගඩු රෝගය වූ කලී, දැනට ලංකාවේ තිබෙන ඉතා බරපතලම සෞඛ්‍ය ප‍්‍රශ්නය ද වෙයි. පර්යේෂකයන් පවසන අන්දමට, ඉන් දිනකට 13ක් මියයන්නෝ ය! දැනට රට පුරා සිටින රෝගීන් සංඛ්‍යාව 78,000කට අධික ය. උතුරු මැද පළාතෙන් ඇරඹුණු රෝගය දැන්, දකුණේ, හම්බන්තොට දිස්ත‍්‍රික්කයට අයත්  බඳගිරිය, අගුණකොලපැලැස්ස ආදී ප‍්‍රදේශවලට ද පැතිර ගොසිනි. වර්තමාන ආණ්ඩුව ද රෝගීන්ගේ සුව සම්පත පිණිස විශාල වැඩ කොටසක්කර ගෙන යයි.
 
‘ආසනික්’, ‘ග්ලයිපොසේට්’ සහ ‘කැඞ්මියම්’ ඇතුළු බැර ලෝහ වර්ග, මාරාන්තික නිදන්ගත වකුගඩු රෝගය ඇති වීමට හේතුකාරක ලෙස, පර්යේෂණ මගින් හඳුනා ගැනීමත් සමගම රට පුරා මහත් ආන්දෝලනයක් ඇති විය. එහි දී ‘ග්ලයිපොසේට්’ වැඩි බලපෑමක් එල්ල කරන රසායනිකයක් බව ද තහවුරු විය. ඊට එරෙහිව ද මහජන උද්ඝෝෂණ හට ගැනුණි. අවසන, 2015 මැයි මස 22 වනි දා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේ, තමන් ‘ග්ලයිපොසේට්’ භාවිතය සහ ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කරන බවයි. පසුව ජුනි මස 11 වැනි දා විශේෂ ගැසට් නිවේදනයක් මගින්  ‘ග්ලයිපොසේට්’ තහනම නීතිගත කෙරිණි. එය රට වැසි බහුතරයකගේ අස්වැසිල්ලට හේතු විය. දැන් ‘ග්ලයිපොසේට්’ ආනයනය, බෙදාහැරීම සහ භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් ය.
 
එසේ වුව ද, යම් ගැටළුවක් ඉතිරි වී තිබිණි. එනම් තහනම පැනවෙන්නට ඔන්න මෙන්න සමයේ, ග්ලයිපොසේට් මෙටි‍්‍රක් ටොන් 278.94ක තොගයක් අඩංගු කන්ටේනර් 15ක් නිරුපද්‍රිතව කොළඹ වරායෙන් මුදා ගෙන යාමේ සිද්ධියයි. එය ඒ දිනවල මහත් ආන්දෝලනයට තුඩු දිණි. කෙසේ වෙතත් තහනම පැනවෙන අවස්ථාව වන විට, ලංකාවේ කෘෂි රසායන සමාගම් සතුව පැවති ග්ලයිපොසේට් තොගය කොතෙක් ද? යන්න, රටට හෙළි කෙරුණේ නැත. ඒ තොග යම් ගබඩාවකට එක් රැුස් කළේ ද?, ඒවා ආරක්ෂිත ලෙස විනාශ කළේ ද?, නැතිනම් යම් රටකට ආපසු හැරියේ ද? යන්න ගැන තොරතුරු ද හෙළි නො වී ය. ඇත්තටම තහනමෙන් පසුව රටට ඉතිරි වූ ග්ලයිපොසේට් තොගය කොපමණ ද? යන්න හෝ ඒවාට කුමක් කළේ ද? යන්න දන්නා කෙනෙක් ද නැත! ඒ ගැන සැවොම නිහඬව සිටින සෙයකි! එසේම මෑතක පෑලියගොඩ ප්‍රදේශයේ ගබඩාවකින් අල්ලා ගත්, කැඩ්මියම් අධික පොහොර තොගයේ පරීක්ෂණවලට වූයේ කුමක් ද? යන්න ගැන ද දැන් හාවක් හූවක් නැත.
 
මොන්සැන්ටෝව, ලංකාවේ දී කැළැල් වුණු තම ප‍්‍රතිරූපය යළි ගොඩ නගා ගැනීමේ ව්‍යාපෘතියකට මුල පුරා ඇත්තේ එවන් පසුබිමක් තිබිය දී ය. එය විශේෂ කාරණයකි.
 
ලැබෙන තොරතුරු අනුව, මොන්සැන්ටෝවේ සේවය කරන , ‘ආහාර විෂවේදය’ පිළිබඳ විශේෂඥයෙකු වන ‘ආචාර්ය  ඩැනියෙල් ඒ. ගෝල්ඩ්ස්ටින් ( Dr.Daniel A. Goldstein) නමැති විද්‍යාඥයෙක් ඉකුත් (2015) නොවැම්බර් මාසයේ ලංකාවේ සංචාරයකර තිබේ. එහි දී ඔහු ‘වකුගඩු රෝග ප‍්‍රවණතාව සහ කෘෂිි රසායන’ මැයෙන් විද්වත් සම්මන්ත‍්‍රණ තුනකට සහභාගි වී ඇත. ඉන් පළමුවැන්න නොවැම්බර් 19 වැනි දා සබරගමුව විශ්වවිද්‍යාලයේ දී ද, දෙවැන්න නොවැම්බර් 20 වැනිදා පේරාදෙණිය ගන්නෝරුවේ, පැලෑටි සහ ජාන සම්පත් මධ්‍යස්ථානයේ දී ද පවත්වා තිබිණි. ඒවාට විශ්වවිද්‍යාල මට්ටමේ විද්වතුන් පිරිස් සහභාගි වී සිටි බව දැන ගන්නට ඇත.

ගෝල්ඩ්ස්ටින් මහතා සහභාගි වූ ප‍්‍රධාන සම්මන්ත‍්‍රණය නොවැම්බර් 21 වැනි දා කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පවත්වා තිබේ. ඒ ගැන පළවූ මාධ්‍ය වාර්තාවල සඳහන්ව තිබුණේ, සෞඛ්‍ය විෂය භාර අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා එහි ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වීමට නියමිත බවයි. ඊට අමතරව ඩෙන්මාර්කයේ මහාචාර්යවරයෙකු වන හර්මන් අන්තෘප්, මහාචාර්ය කමණී වනිගසූරිය, මහාචාර්ය අර්.  ඕ. තටිල්, මහාචාර්ය බුද්ධි මාරඹේ, මහාචාර්ය රොහාන් වීරසූරිය, මහාචාර්ය රවීන්ද්‍ර ප‍්‍රනාන්දු සහ නාලක ගුණවර්ධන යන විද්වතුන් ද එයට සහභාගි වන බවට මාධ්‍ය වාර්තාවල සඳහන් විය.


NEWS.Lk

වෙබ් අඩවිය නොවැම්බර් 19 වැනි දා ඒ ගැන පළකර තිබුණු පුවත මෙසේ ය.

Symposium on Kidney disease and agrochemicals

A symposium on "Emerging trends in agrochemicals and chronic kidney disease of unknown origin" will be held on 21st November 2015 at the BMICH.
Minister of Health, Nutrition and Indigenous Medicine Dr. Rajitha Senaratne will be the Chief Guest
 Foreign speakers at the symposium include Professor Herman Antrup PhD, Department of Environmental and Occupational Medicine, Institute of Public Health, University of Arhus , Denmark and Dr. Daniel A. Goldstein MD, Senior Science Fellow, a Paediatrician and Clinical Toxicologist. Other speakers are Professor Kamani Wanigasuriya, Professor R.O. Thattil, Professor Buddhi Marambe, Professor Rohan Weerasooriya, Professor Ravindra Fernando and Nalaka Gunawardene.
 The symposium is organized by the Toxicology Society of Sri Lanka.


 

ආචාර්ය ඩැනියෙල් ඒ. ගෝල්ඩ්ස්ටින් යනු මොන්සැන්ටෝ සමාගමයේ සේවය කරමින්, ග්ලයිපොසේට් අඩංගු කෘෂි රසායන යහපත් යයි මත පළ කරන, ඒ වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයෙකි. රජය ‘ග්ලයිපොසේට්’ භාවිතය තහනම්කර ඇති වකවානුවක, ඔහු වැන්නෙක් මෙ රටට පැමිණ විද්වත් සම්මන්ත‍්‍රණ ඇමතීම අතිශයින්ම සැක කටයුතු යයි තතු දන්නා අය කියති.
2015/12/06.


Wednesday, December 2, 2015

‘මහාවංශ’ කතු හිමියන්ට ඇමරිකාවෙන් සහතිකයක්

‘මහාවංශ’ කතු හිමියන්ට 
ඇමරිකාවෙන් කාලනිර්ණ සහතිකයක්
 
දෙමළ මහා සෑය-කැණීම්වලට පෙර


(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
‘මහාවංශය’ යනු, පුරාණ ලංකාවේ ඉතිහාසය ගැන ලියැවුණු විශිෂ්ඨතම ග‍්‍රන්ථයයි. ක‍්‍රිස්තු පූර්ව 543 දී විජය රජුගෙන් ඇරඹෙන ලංකාවේ මහා සම්මත රාජ වංශයේ පටන්, ක‍්‍රිස්තු වර්ෂ 1798 ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු දක්වා වූ ඉතිහාස කතා පුවත් රැසක් එයට ඇතුළත් ය. එය අද දක්වාත් දිගින් දිගටම ලියා ගෙන එන ඉතිහාස කෘතියකි. එසේ වුව ද, මුල් ‘මහාවංශය’ යයි සැලකෙන්නේ විජය රජුගේ (ක‍්‍රි. පූ. 543) පටන්, මහාසේන රජු (ක‍්‍රි. පූ. 303) දක්වා වූ වසර 240ක ඉතිහාසය ඇතුළත් පරිච්ෙඡ්ද 37කින් සමන්විත කොටසයි. එතැන් සිට, පළවැනි පරාක‍්‍රමබාහු රජුගේ (ක‍්‍රි. ව. 1153) පාලන සමය දක්වා වසර 1457ක කාලය ඇතුළත් පරිච්ෙඡ්ද 42ක කොටස, එහි ද්වීතීය භාගය හෙවත් ‘චූලවංශය’ යනුවෙන් හැඳින් වේ.
 
භාවිතාවේදී කෘතීන් ද්විත්වයම ගණන් ගැනෙන්නේ ‘මහාවංශය’ ලෙසිනි. පැරණි මූලාශ‍්‍රවල හැටියට එය ලියැවී ඇත්තේ ක‍්‍රි. ව. 05 වැනි සියවසේ දී ය. අනුරාධපුර, මහා විහාරබද, ‘දික්සඳසෙනෙවියා පිරුවෙන්හි’ මාහිමි, ‘මහාථෙර මහානාම’ හිමියන් එහි කතුවරයා ය. උන්වහන්සේ ගෙන් පසුව, තවත් මහ තෙරවරුන් අතින් ‘මහාවංශය’ දිගටම රචනා කෙරුණු බව ප‍්‍රකට ය. මේ කරුණු සටහන් කරන්නේ, ඉතිහාස ග‍්‍රන්ථ රචනය ගැන කියන්නට නොවේ. ‘මහාථෙර මහානාම’ හිමියන් සහ උන් වහන්සේ රචනා කළ ‘මහාවංශය’ නමැති කෘතියෙහි ආශ්චර්්‍යය ගැන කියන්නට ය. ඒ හිමියන් ලියා ඇති දෙය හුදු ප‍්‍රබන්ධයක් නොව ‘සත්‍යයක්’ බවට, නොබෝදා ඇමරිකාවේ ‘බීටා ඇනලිටික්’ පුරාවිද්‍යා රසායනාගාරයෙන් කාලනිර්ණ සහතිකයක් ලැබීම, ඊට හේතුව ය! කාලනිර්ණ සහතිකය ලැබී ඇත්තේ, පොළොන්නරුවේ සුප‍්‍රකට ‘දෙමළ මහා සෑයෙහි’ පෞරාණිකත්වය සම්බන්ධයෙනි.

පොළොන්නරුවේ ඇතුළු පුරයෙහි පැවති වල් බිහිව ගිය එක්තරා කඳු ගැටයක්, අනාදිමත් කාලයක් මුළුල්ලෙහිම හඳුන්වා දෙනු ලැබුවේ ගරා වැටුණු චෛත්‍ය ගොඩැල්ලක් වශයෙනි. ජන ව්‍යවහාරයෙහි එය ‘දෙමළ මහා සෑය’ යනුවෙන් හැඳින්විණි. එය මෑතක් වන තුරුම කිසිදු කැණීමකට හෝ සංරක්ෂණයකට නතු නො වූ, පැරණි ගොඩනැගිල්ලක් විය. මහාවංශයේ එන පුවතක් හැරෙන්නට ඒ ගැන වැඩි යමක් හෙළිදරව් වී තිබුණේ ද නැත. වරින් වර සුළු පරිමාණ කැණීම් කීපයක් කෙරුණ ද, වැඩි යමක් සොයා ගන්නට නො හැකි විණි. මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න සූරීන් සිය ‘පොළොන්නරුව-මධ්‍යකාලීන ලක්දිව අගනගරය’ නම් කෘතියෙහි ‘දෙමළ මහා සෑය’ ගැන මෙසේ කියන්නේ ය.
 
කැණීම්



‘දෙමළ මහාසෑය-දමිළයන්ගේ දාගැබ’
‘පරාක‍්‍රමබාහුගේ දකුණු ඉන්දීය සටනේ දී අල්වා ගනු ලැබූ ද්‍රවිඩ සිරකරුවන් විසින් ගොඩ නංවන ලද හෙයින්, මේ නම යෙදී ඇත. එය මෙතෙක් කැණීමකට හෝ සංරක්ෂණයකට හෝ භාජනය නොවූ සුවිසල් ගඩොල් ගොඩනැගිල්ලකි. පරාක‍්‍රමබාහුගේ මූලික අරමුණ වූයේ ඔහුගේ අගනුවර මෙම මහා ස්තූපය ගොඩ නැංවීම වුවත්, යම් හේතූන් මත ඔහුට එය කළ නො හැකි විය. පූර්ණ වශයෙන් අවසන් කළේ නම් එය මීටර් 183ක් උසැති ලෝකයේ විශාලතම බෞද්ධ ස්මාරකය වනු නො අනුමාන ය. අති විශාල දාගැබක් ලෙසින් එය නිම නොවූ අතර, එය මත පසු කලක දී කුඩා දාගැබක් ඉදිකර ඇත’ (පිටුව-209)
 
මහාවංශ පුවත
මහා පරාක‍්‍රමබාහු රජු දකුණු ඉන්දීය සටනේ දී අල්ලා ගනු ලැබූ ද්‍රවිඩ සිරකරුවන් ලවා, ‘දෙමළ මහා සෑය’ ඉදි කළ බව සඳහන් වන්නේ මහාවංශයේ ය. එහි 78 වැනි පරිච්ෙඡ්දයේ ය.
 
මහාවංශය පවසන අන්දමට, පොළොන්නරුවේ දෙමළ මහා සෑය ඉදිකර ඇත්තේ මහා පරාක‍්‍රමබාහු රජු (ක‍්‍රිස්තු වර්ෂ-1153-1186) විසිනි. රජුගේ අණින්, ඉන්දීය පාණ්ඩ්‍යයන්ට සහාය පිණිස, ලංකාපුර නම් සෙනෙවියා ඉන්දියාවට ගොස් කළ සටනක දී, චෝලයන් 12,000ක් අත්අඩංගුවට පත් විය. සිරකාර පිරිස ලංකාවට කැඳවා ගත් පසුව, රජු සෑය ඉදි කරවා ඇත්තේ ඔවුන් මෙහෙවරට ගනිමිනි. එබැවින් එය ‘දෙමළ මහා සෑය’ යයි නම් ලද්දේ ය. මහාවංශ කතාවෙහි එන හැටියට, සෑයෙහි වට ප‍්‍රමාණය  රියන් 1300කි. මහාවංශය මෙසේ කියයි.
 
‘පඬිරජය ගෙණ ඒ රටින් ගෙණෙන ලද දෙමළුන් ලවාත් කරවූ බැවින් දෙමළ සෑය යයි නම් ලත් එක්දහස් තුන්සිය රියන් විශාල වූ සියලූ ථූපයන්ට මහත්වූ දෙවෙනි කෛලාශය ඒ සමානවූ මහාසෑයක් රහතුන්ගේ සෘඬියක්ද, දෙවර්ගයක්ද නැතිව මහත් වූ රාජරධියෙන්ම කරවූයේ ය’ (මහාවංශය-සිංහල/බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, නැදිමාල, දෙහිවල/පිටුව-390)
 
මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා
මේ අනුව අතීත දෙමළ මහා සෑය, සුවිසල් ස්තූපයකි. සුවිසල් බෞද්ධ ස්මාරකයකි. වර්තමානයෙහි ද එවන් ප‍්‍රතාපවත් මහා දාගැබ් නිර්මිතයක නටබුන් දැක ගත හැකි බව ඇත්ත ය. එහෙත් දැන් එය දිස් වන්නේ, කාලයාගේ ඇවෑමෙන් ගරා වැටුණු පැරණි චෛත්‍යයක රූ සිරියෙනි. අද එහි වට ප‍්‍රමාණය අඩි 1950ක් සේ (මීටර්-594.46ක්) සැලකෙයි. එහි ගරා වැටුණු උස මීටර් 31ක් පමණ වෙයි.
 
මහාචාර්ය ගාමිණී අධිකාරී මහතා

රජය 2014 වසරේ දී එහි සංරක්ෂණ කටයුතු සඳහා අත ගැසුවේ ය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහාය ද ඇතිව, සංරක්ෂණ කටයුත්ත පැවරුණේ ‘මධ්‍යම සංස්කෘතික අරමුදලට’ ය. ඒ අනුව මධ්‍යම සංස්කෘතික අරමුදල, පොළොන්නරුවේ ‘දෙමළ මහා සෑය’ කැණීමේ පර්යේෂණ ව්‍යාපෘතිය ආරම්භ කළේ, 2014 වසරේ මාර්තු 29 වැනි දා ය. අරමුදලෙහි එවකට අධ්‍යක්ෂ ජනරාල් ධුරය හෙබවූ, මහාචාර්ය ගාමිණී අධිකාරී මහතා ඊට මග පෙන් වූයේ ය. කැණීම් ව්‍යාපෘතියෙහි උපදේශකවරයා වූයේ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු කැණීම් අධ්‍යක්ෂ, ආචාර්ය නිමල් පෙරේරා මහතා ය. පර්යේෂණයෙහි අරමුණ වූයේ, සෑය සංරක්ෂණය කිරීම සඳහා එහි ඉදි කිරීම් ව්‍යුහය නිවැරදිව හඳුනා ගැනීමයි.
 

කැණීම් පර්යේෂණය තවමත් අවසන්ව නැත. මධ්‍යම සංස්කෘතික අරමුදලේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප‍්‍රිශාන්ත ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි දැනුදු (2015 දෙසැම්බර්) එහි වැඩ කෙරී ගෙන යයි. එබැවින් දැන් දෙමළ මහා සෑය පිළිබඳ මෙතෙක් නෑසූ රහස් ගණනාවක්ම ඉන් අනාවරණය වෙමින් පවතී. මහා දාගැබ් නිර්මාණය සම්බන්ධයෙන් පැරණි ශිල්පීන්ට පැවති දැනුම් සම්භාරය කොතෙක් පිරිපුන් ද යන්න, ඉන් පැහැදිලි වන බව මහාචාර්ය ප‍්‍රිශාන්ත ගුණවර්ධන මහතා පවසයි.
 
 
ආචාර්ය නිමල් පෙරේරා මහතා
කැණීම් භාරව සිටින ආචාර්ය නිමල් පෙරේරා මහතා, සිය අත්දැකීම් විස්තර කරන්නේ මෙසේ ය.
 
‘දෙමළ මහා සෑය’, සාමාන්‍යයෙන් අක්කර හතරක පමණ භූමි වපසරියකින් සමන්විතයි. එය මෙතෙක් කල් සැලකුණේ, බොරළු සහ තිරුවානා ගල් සහිත ස්වභාවික කඳු ගැටයක් මත ඉදි කළ චෛත්‍යයක් වශයෙනුයි. 2014 වසරේ සිට කෙරෙන කැණීම්වලින් අද ඒ අදහස වෙනස් වී තිබෙනවා. ඒ අනුව සෑය ගොඩ නගා ඇත්තේ, වෘත්තාකාර ප‍්‍රාකාරයක් මැදට, මීටර් 25ක් පමණ උසට පස් දමා, අඩිය අඟලට තලා, පුරවා සකස් කිරීමෙනි. මහා සෑයක් යයි අප සිතන වෘත්තාකාර කොටස, මෙසේ පුරවා සැකසූ ප‍්‍රාකාරයයි. සාමාන්‍යයෙන් අක්කර පහක පමණ භූමියක් පස් පුරවා සකස්කර තිබෙනවා. එය එක් අතකට, වට අඩි 1950ක පැතිරුණු, මීටර් 25ක් පමණ උසට පස් පුරවා තැනූ වේදිකාවක් හෝ මළුවක් වගෙයි! එහි හරි මැද කුඩා චෛත්‍යක නටබුන් දක්නට ලැබෙනවා. ඇත්තටම සෑය එයයි!’
 
‘අපට මතුපිටින් තිරුවාණා සහිත බොරළු පස් ගොඩැල්ලක් මෙන් පෙනෙන කඳුගැටයක් බඳු කොටස පුරවා සකස් කල එකක්. වියලි කලාපයට ආවේණික රතු-දුඹුරු පස්වලින් එය පුරවලා තියෙනවා. බොරළු සහිත පස්, තිරුවාණා සහිත පස්, මැටි සහිත පස්, රොන් මඩ සහිත පස්, වැව් හෑරීමේ දී ඉවත් කෙරුණු පස්, ගඩොල්, ගොඩනැගිලි කඩා දැමීමේ දී ඉවත් කෙරෙන ද්‍රව්‍ය ආදී වශයෙන් මේක පස්වලින්ම පුරවලා, ජලය දමා අඩිය අඟලට තලලා සකස් කරලා තියෙනවා. පරාක‍්‍රමබාහු රජ තුමා එක පස් බිඳක්වත් අපතේ යවලා නෑ. වටේ තිබෙන වෘත්තාකාර ප‍්‍රාකාරය හදන්න ගඩොල් භාවිතකර තිබෙනවා. මේ ප‍්‍රාකාරය මීටර් 25ක් පමණ උසයි. ඒක හරියට වේදිකාවක් වාගෙ. චෛත්‍යය ඉදිකර ඇත්තේ ඒ මැද යි. මේක ඇත්තටම ලංකාවේ දාගැබ් කර්මාන්තයේ සුවිශේෂ ඉදි කිරීමක්’ යයි, ආචාර්ය නිමල් පෙරේරා මහතා පවසයි.
 
කැණීමෙන් හෙළිවූ අතීත රහස්
කැණීමේ දී හමුවූ පුරා වස්තු අතර, ආදි මානව යුගයට අයත් ‘ගල් ආයුධ’, පැරණි වළං කටු, මැටි මෙවලම් ආදිය ද තිබිණි. ඒවා අතර පැවති අඟුරු කැබලි, ඔවුන්ට මහාර්ඝ සම්පතක් විය. එයින් ‘කාබන් 14 පරීක්ෂණ’ පවත්වා, සෑයෙහි දින වකවානු පිළිබඳ කාලනිර්ණ වාර්තා ගැනීමට හැකි වීම ඊට හේතුව විය. ‘වලස්පතිගේ අඩවිය’ කළ විමසුමකට පිළිතුරු දෙමින් 2015/12/02 වැනි දා, මධ්‍යම සංස්කෘතික අරමුදලේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප‍්‍රිශාන්ත ගුණවර්ධන මහතා ඒ කතා පුවත හෙළිදරව් කළේ මෙසේ ය.
 
‘කැණීම්වලින් හමුවූ අඟුරු සාම්පල් අපි ඇමරිකාවේ බීටා ඇනලිටික් කාලනිර්ණ රසායනාගාරයට යැව්වා. දැන් ඔවුන්ගේ වාර්තාව අපට ලැබී තිබෙනවා. ඒ අනුව ‘දෙමළ මහා සෑය’ දාගැබ, ක‍්‍රිස්තු වර්ෂ 1025ත්, 1165ත් අතර කාලයේ ඉදි කළ බවට කාලනිර්ණය වී තිබෙනවා. මේක ඉතාමත් වැදගත් වාර්තාවක්. මොකද, මෙයින් ‘මහාවංශයේ’ එන කතාව සත්‍යයක් බව ඔප්පු වෙනවා. මේ වකවානුව අයත් වන්නේ මහා පරාක‍්‍රමබාහු රජතුමා (ක‍්‍රි. ව. 1153-1186) අපේ  රට පාලනය කළ වසර  33ක කාල පරාසයටයි. මහාවංශය සඳහන් කරන ආකාරයට, දෙමළ මහා සෑය එතුමා විසින් ඉදිකර වූවක්. දැන් එය තහවුරු වෙනවා. අනෙක මේ වාර්තාවෙන් කියැවෙන තවත් දෙයක් තිබෙනවා. ඒ මහාවංශයේ සඳහන් කතා ප‍්‍රවෘත්තිය, පුරාවිද්‍යා පර්යේෂණවලින් හෙළිකර ගත් තොරතුරු සමග සමපාත වන බවයි. ඉන් කියැවෙන්නේ, මහාවංශයේ කතු හිමියන් සත්‍ය තොරතුරු වාර්තාකර ඇති බවයි. මෙයින් මහාවංශයේ එන ඓතිහාසික තොරතුරුවල විශ්වසනීය භාවය තවදුරටත් තහවුරු වෙනවා’
 
දෙමළ මහා සෑය ඉදි කිරීමට සම්බන්ධ කාලනිර්ණ වාර්තාවට අමතරව, තවත් කාල වාර්තා දෙකක් ද ඔවුන්ට ලැබී තිබේ. ඉන් එක් අඟුරු සාම්පලයක්, ක‍්‍රි. පූ. 01 වැනි සියවසට අයත් වේ. අනෙක, ක‍්‍රි. ව. 02 සහ 03 යන සියවස්වලට අයත් ය. 

‘මේකත් බොහොම වැදගත්. එයින් පෙනෙන්නේ, අනුරාධපුර යුගයේ දී පවා දෙමළ මහා සෑය ඉදි කළ ඉසව්ව (පොළොන්නරුව) ජනාවාසව පැවති බවයි. පරාක‍්‍රමබාහු රජ තුමා සෑය ඉදි කරන්න, ජනාවාස ප‍්‍රදේශයක් තෝරා ගත් බව මින් පැහැදිලි වෙනවා’ යයි, මහාචාර්ය ප‍්‍රිශාන්ත ගුණවර්ධන මහතා වැඩි දුරටත් සඳහන් කළේ ය.

දෙමළ මහා සෑය කැණීම් ව්‍යාපෘතියෙහි කළමනාකාර හේරත් මහතාගේ සම්බන්ධීකරණයෙන්, ක්ෂේත‍්‍ර නිලධාරීන් වන, ඇල්ප‍්‍රඩ් ද මැල්, ප‍්‍රියන්ත මාරසිංහ සහ කුමාරි අලහකෝන් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් කැණීමට එක්ව සිටිති.
 
(පින්තූර-මධ්‍යම සංස්කෘතික අරමුදල සහ අන්තර්ජාලයෙනි.)
2015/12/03.








ගල් බෝතලය ඉහළ නැගීමේ හුදී ජන ගැටළුව

 එළිපිට කතා නො කළ ද, මත්පැන් මිල ඉහළ දැමීම, ජනතාවගේ ගැටළුවකි. ඒ ගැන කියන ලිපියක්, ‘මතට සෙට් වෙන්නෝ හෙවත් රාජ්‍ය ආදායම සුරකින්නෝ’ යනුවෙන් 2015 ඔක්තෝබර් මාසයේ 08 වැනි දා ‘වලස්පති අඩවියෙහි’ පළ කළෙමු. මෙවර අය වැයෙන් මත්පැන් මිල යළිත් ඉහළ දැමිණි. සුළු සංශෝධන කිහිපයක් එක් කොට, මුල් ලිපිය යළිත් පළ කරන්නෙමු.
 




ගල් බෝතලය ඉහළ නැගීමේ හුදී ජන ගැටළුව
(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
එය හැන්දෑව, ගොම්මන් යාමයට එබිකම් කරන වේලාවයි. එබැවින් දෝ මිනිස්සු  ‘වයින් ස්ටෝර්සය’ ඉදිරිපිට පොදිකමින් සිටියහ.
 

‘බාග-කාල් නෑ, ඒවා ඉවරයි!’
යකඩ කූරු කවුන්ටරයෙන් ඇතුළු පැත්තේ සිටි මිනිසා කෑගෑවේ ය.
 

එසැණින් පෝලිමේ හෝ පේලියේ සිටි සමහරු මැලවුණු මුහුණින් යුතුව ඉවත් වූහ. ඇතැමෙක් තවෙකෙකු හා මන්ත‍්‍රණය කොට, බෝතලයක් ගෙන දෙකට බෙදා ගන්නට සැරසුණෝ ය. කවුදෝ, ‘මුන් අරක්කු කාලක් බොන එකටත් කෙලියා’ යයි බැණ වදිනු ඇසුණි.
 

දිනය නොවැම්බර් 23 වැනි දා ය. එදා අපේ රටේ බොහොමයක් මත්පැන් හල් අසල මෙවන් ජවනිකා දිග හැරෙන්නට ඇත. ආණ්ඩුව 2016 වසරට ගෙනා අයවැයෙන් මත්පැන් මිල වැඩිකර තිබීම, ඒ කෝපයට හේතුවයි. ඔවුහු 2015 වසරේ ඔක්තෝබර් 04 වැනි දා ද මත්පැන් මිල ඉහළ දැමුවෝ ය. ඉක්බිති නොවැම්බර් 20 වැනි දා ඉදිරිපත් කළ අයවැයෙන්, මත්පැන් මිල යළිත් වරක් ඉහළ දැමුවෝ ය. ඒ අනුව සැර මත්පැන් ලීටරයක මිල රුපියල් 255කින් ද,  විදේශීය මත්පැන් ලීටරයක මිල රුපියල් 170කින් ද, බීර ලීටරයක මිල රුපියල් 30ක් සහ 70කින් ද ඉහළ දමා තිබිණි. මුදල් ඇමති රවී කරුණානායක මහතා  කළ අයවැය කතාවේ සඳහන් වන අන්දමට, 2015 වසරේ රජය මත්පැන් බදුවලින් ලැබූ ආදායම රුපියල් බිලියන 100ක් පමණ වේ. මත්පැන් බදු යළිත් ඉහළ දමා ඇත්තේ එය තවදුරටත් වැඩිකර ගැනීමේ අරමුණෙනි. දැන් හුදී ජන මධු ලෝලීන්ගේ හිතවතා වන ‘ගල් අරක්කු’ බාගයක මිල රුපියල් 650කි. බෝතලයක මිල රුපියල් 1300කි. සිවු දෙනෙක් එකතු වී ගල් බෝතලයක් බොන්නට නම් දැන් අවම වශයෙන් රුපියල් 2000ක් වත්  ඕනෑ ය!
 

මත්පැන් යනු ලංකාවේ ජන සමාජයේ එළිපිට කතා නො කරන මාතෘකාවකි. සදාචාරවත් ජනයා නිතරම අදහස් කරන්නේ, මත්පැන් සහ සියලූ මත් ද්‍රව්‍ය සමාජයෙන් තුරන් කළ යුතු බවයි. ඉන් සමාජය විනාශ වන  බව ඔවුන්ගේ ඇදහීමයි. එසේ වුව ද, මත්පැන් හෝ මත් ද්‍රව්‍ය පිළිබඳ ඉතිහාසය, මනුෂ්‍යයා බිහි වීම තරම්ම පැරණි බව ද අසන්නට ලැබේ. සමාජය කොතරම් මතට එරෙහිව ගිය ද, මත්පැන් සහ මත් ද්‍රව්‍ය එදා පටන් අද දක්වාම පැවත ගෙන එයි. එය ඇතැම් සමාජයක එළිපිට ද, ඇතැම් සමාජයක රහසින් ද භාවිතා කෙරෙන්නකි. බොහොම දෙනෙකුට එය, වෙහෙසකර දවසක හැන්දෑ ගොම්මන උණුසුම්කර ගැනීමේ විධි ක්‍රමයකි. ලංකාවේ ද මත්පැන් සහ මත් ද්‍රව්‍ය, ඈත අතීතයේ පටන්ම පැවත එනු දක්නට ලැබේ. එබැවින් මත්පැන් මිල ඉහළ යාම යනු ජනතාවගේ ප‍්‍රශ්නයකි.


හැන්දෑ ගොම්මන උණුසුම්කර ගැනීමේ විධි ක‍්‍රමයට ඉහළ මිලක් පැන වීම ඇරඹුණේ, 2015 ඔක්තෝබර් මාසයේ දී ය. ආණ්ඩුව ඔක්තෝබර් 04 වැනි දා මධ්‍යම රාත‍්‍රියේ සිට මත්පැන් බදු ඉහළ දැමුවේ ය. පසුව දා පුවත්පත් වාර්තා කළේ, ඉන් දේශීය මත්පැන් බෝතලයක මිල රුපියල් 60කින් ද, විදේශීය මත්පැන් බෝතලයක මිල රුපියල් 125කින් ද, බීර කෑනයක මිල රුපියල් 50කින් ද ඉහළ යන බවයි. එබැවින් හුදී ජනයින්ගේ ‘සැෂේ පැකට්වල’ මිල ද ඉහළ යනු ඇත්තේ ය. ආණ්ඩුවේ පාර්ශවයෙන් කියැවුණේ, රටේ සුරා බදු ආදායම වැඩිකර ගැනීම පිණිස මෙසේ කළ බවයි. එසේම එය ‘මත්පැන් පානය’ අධෛර්්‍ය කිරිමේ වැඩ පිළිවෙලක් ද වන බවයි. එසේ වුව ද, එය යථාර්ථයක් ද? යන ප‍්‍රශ්නය  මෙහි දී පැන නැගෙන්නේ ය.


මත්පැන්වල ප‍්‍රගතිය
කෙසේ නමුත් මත්පැන් මිල ඉහළ දැමුවාය කියා, ඒවා පාරිභෝජනයෙහි අඩුවක් වන්නේ නැත. ඒ වෙනුවට කෙරෙන්නේ, මත්පැන් භාවිතය දිනෙන් දින ඉහළ යාම ය. සුරා බදු දෙපාර්තමේන්තුවේ නිල තොරතුරු ඇතුළත් වෙබ් අඩවියට අනුව, 2005 වසරේ සිට 2014 වසර වන විට ලංකාවේ සැර මත්පැන් නිපැයුම ලීටර් මිලියන 5.4කින් ද, සැර අඩු මත්පැන් නිපැයුම ලීටර් මිලියන 73කින් ද ඉහළ ගොස් තිබේ. මත්පැන් මිල වැඩි වීම, එහි පාරිභෝජනයට බලපාන්නේ නැති බව ඉන් පෙනීයයි. ලංකාවේ ලියාපදිංචි මත්පැන් නිෂ්පාදන ආයතන ගණන 24කි. රා නිපැයුම් ආයතන ගණන, 32කි. හෙළිවී ඇති තොරතුරු අනුව, රට පුරා දැනට ඇති නිල මත්පැන් අලෙවි බලපත‍්‍ර (අලෙවි සැල්) සංඛ්‍යාව 3200ද ඉක්මවයි. 2005 වසරේ සිට 2014 වසර දක්වා කාලය තුළ පමණක්, අලූතින් නිකුත් කෙරුණු මත්පැන් අලෙවි බලපත‍්‍ර සංඛ්‍යාව 424කි. මෙයින් පෙනෙන්නේ, මෑත භාගයෙහි මත්පැන් ‘සුලභ කිරීමක්’ සිදුව ඇති බව ය. යමක් සුලභ වීම, එහි පාරිභෝජනය වැඩි වීමට ද හේතුවකි. එය මත්පැන්වලට ද වලංගු ය. පසුගිය කාලයේ මාධ්‍ය වාර්තා මගින් හෙළිවූ අන්දමට, මත්පැන්  පානය අතින් දැන් ලංකාව දෙවැනි වන්නේ, චෙකෝස්ලෝවැකියාව, ප‍්‍රංශය සහ රුසියාව යන ඉහළ මට්ටමින් මත්පැන් පරිභෝජනය කරන රටවලට පමණි! දැනට අපේ රටේ ඒක පුද්ගල වර්ෂික මත්පැන් පරිභෝජනය, ලීටර් 7.4ක් බව කියනු ලැබේ. එදා-මෙදා තුර මත්පැන් මිල ඉහළ දැමූ නිසා ඒවායෙහි පරිභෝජනය අඩු වූවා නම්, රටට මේ තරම් ‘මත්පැන් ප‍්‍රගතියක්’ කොයින් ද?

සාමාන්‍යයෙන්  ‘නිල මත්පැන්වල’ මිල ඉහළ යන්නට, යන්නට, ජන සමාජයෙහි සිදු වන්නේ, ‘නිල නොවන’ මත්පැන් (කසිප්පු වැනි) භාවිතය ඉහළ යාමයි. අඩු ආදායම් ලාභී පිරිස් ඊට යොමු වනු දැකිය හැකි ය. තතු දන්නා අය උපකල්පනය කරන ආකාරයට, දැනට රට පුරා ඇති ‘හොර මත්පැන් හල්’ සංඛ්‍යාව දෙලක්ෂය ද ඉක්මවයි! සුරා බදු දෙපාර්තමේන්තුව, 2014 වසරේ දී සිය වැටලීම්වලින් රුපියල් මිලියන 148ක්  ‘දඩ’ වශයෙන් රජයට උපයා දී තිබේ. හොර මත්පැන් කර්මාන්තය කොතෙක් ඉහළ මට්ටමක පවතී ද යන්න එයින්ම පෙනේ.


එදා-මෙදාතුර පැවති ආණ්ඩු හැම එකකින්ම පැවසුවේ, මත්පැන් භාවිතය ජන සමාජයෙන් තුරන්කර දමන බවයි. ඒ අතරම ඔවුහු ඉන් බදු ආදායම් එකතුකර ගැනීමටත් මැළි නො වූහ. 2015 ජනවාරි 08 වැනි දා තෙක් පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ‘මතට තිත’ නමින් මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ වැඩ පිළිවෙලක් හඳුන්වා දුන්නේ ය. ඉන් පසුව බලයට පත්වූ මෛත‍්‍රී-රනිල් ආණ්ඩුව ද, රට මත්පැන් ඇතුළු මත් ද්‍රව්‍යවලින් මුදා ගන්නා බව කියා සිටියේ ය. ඒ සඳහා ‘මතින් නිදහස් රටක්’ ඇතුළු නොයෙකුත් වැඩ සටහන් ද ක‍්‍රියාත්මක වෙමින් තිබේ.

කොයි හැටි වෙතත්, 2014 ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ  සඳහන් වන අන්දමට, වර්තමානයෙහි ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයෙන් සැලකිය යුතු කොටසක් පිරිමැසෙන්නේ සුරා බදුවලිනි! එය 2013 වසරේ දී සියයට 2.9කි. 2014 වසරේ දී සියයට 2.6කි. මත්පැන් නිෂ්පාදනය සහ වියදම් මත පැනවූ බදු    වලින් 2005 වසරේ රටට ලැබුණු ආදායම රුපියල් මිලියන 16,085කි. 2014 වසර වන විට එය රුපියල් මිලියන 53,015කින් ඉහළ ගොස්, රුපියල් මිලියන 69,100ක් විය. සිගරැට් නිෂ්පාදනය සහ වියදම මත පැනවූ බදු ආදායම ද, 2005 වසරේ සිට 2014 වසර වන විට රුපියල් මිලියන 30,548කින් ඉහළ ගොස් තිබේ. බලයට එන ආණ්ඩු මතින් නිදහස් වන්නේ යයි කයිවාරු ගැසුව ද, රාජ්‍ය ආදායමෙන් සියයට 03කට ආසන්න කොටසක්, දුම්කොළ සහ සුරා බදු ඔස්සේ උකහා ගන්නා බව මෙයින් පෙන්නුම් කෙරෙන යථාර්ථයයි! එය හරියට පන්සල් ගොසින් ගෙදර එන අතර, මත්පැන්හලකටත් (බාර් එකකටත්) ගොඩ වැදී ඒමක් බඳු ය.

එබැවින් බලයට එන ආණ්ඩුවල අය පවසන ‘මතින් රට මුදා ගැනීම’, යථාර්ථයක් ද? යන ප‍්‍රශ්නය මතු වේ. දැනට නම් එය ‘මත්පැන් විරෝධීන්’ සනසන සංකල්පයක් පමණක් බව, ලියුම්කරුගේ අදහසයි. එයට ලැබෙන ප‍්‍රචාරය ද, මත්පැන් කෙරෙහි  අමුතු ‘කුතුහලයක් අවුළුවන’ බව ද පෙනෙයි. එය තවදුරටත් මත්පැන් ව්‍යාප්තියට හේතුවක් නොවේ යයි කිව හැකි ද?

සුරා බදු දෙපාර්තමේන්තුවේ ආයතන කාර්ය තේමාව වන්නේ, ‘නීති විරෝධී මත්පැන් සහ මත් ද්‍රව්‍යවලින් තොර වූ, සෞඛ්‍ය සම්පන්න ජන සමාජයක් බිහි කිරීමයි. ඒ සමගම, රජයේ ප‍්‍රතිපත්තිවලට අනුකූලව සුරා බදු ආදායම් සුරැුකීම සහ ඒවා එක් රැස් කිරීමයි. එසේම රටේ ආර්ථික සංවර්ධන කටයුතු සඳහා රාජ්‍ය ආදායමෙන් කොටසක් රැස්කර දීමත් ඔවුන්ගේ අරමුණකි. (සුරා බදු දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව-2014) මෙහි රට වැසියන් මතින් මුදා ගැනීමේ කතාවක් ඇත්තේම නැත. ඔවුන් කියන්නේ ‘නීති විරෝධී මත්පැන් සහ මත් ද්‍රව්‍ය’ තුරන් කරන බව ය. එසේ කරන්නේ ඉන් රජයේ සුරා බදු ආදායමට හානි වන නිසා ය! මෙහි තේරුම වන්නේ, බලයට එන ආණ්ඩු ‘සුරාව’ රාජ්‍ය ආදායම් පියවා ගැනීමේ උපකරණයක් ලෙස පාවිච්චි කරන බවයි. ඒ අප පෙහොසත් රටක් නො වන බැවිනි. සුරා බදු සල්ලිය යම් තරමක් ‘කිළිටි’ වුව ද, අපට ඉන් මිදෙන්නට තරම් ආර්ථික සමෘද්ධියක් නැත. ඉතින් ‘සුරා බදු’ මත යැපීමෙන් ගැලවිය නො හැක්කේ ය.

සමාජ විලාසිතාව
මත්පැන් සම්බන්ධයෙන් මෑතක සිට නැගෙන විශාල චෝදනාවක් තිබේ. එයින් මහජනයාට ඇති වන රෝගී තත්ත්වයන්ට පිළියම් කිරීම සඳහා අති විශාල සෞඛ්‍ය වියදමක් දරන්නට වෙනවාය යන්න, ඒ චෝදනාවයි. එය පුදුමයට කරුණක් නොවේ. පුදුමය වන්නේ, මේ තරම් මත්පැන් බොන රටක ඇත්තටම එවන් රෝගී තත්ත්වයක් නො තිබුණා නම් පමණි. එහෙත් අනතුර දැන දැනම මිනිස්සු මත්පැනෙහි ඇලී සිටිති. දැන් එය ‘සමාජ විලාසිතාවක්’ බවට පත්වී හමාර ය. ‘සෙට් වීමට’, ‘ටි‍්‍රප් එකට’, ‘පාටියට’ පමණක් නොව, අද ‘මළ ගෙයට’ ද, ‘බණ සහ දානේ ගෙවල්වලට’ ද මත්පැන් නැතිවම බැරි ය!

 



මුලින් සටහන් කළ තොරතුරු අනුව, රට පුරා හොර සුරා සැල් දෙලක්ෂයක්වත් ඇතැයි උපකල්පනය කෙරේ. සාමාන්‍යයෙන් බලපත‍්‍ර සහිත ආයතනවල මත්පැන් නිපදවෙන්නේ යම් ප‍්‍රමිතියකට යටත්ව ය. එහෙත් හොර සුරාකරුවෝ එවන් ප‍්‍රමිති නො සලකති. පරණ යකඩ, සිමෙන්ති, ඇමෝනියා පොහොර ආදී  ඕනෑම දෙයක් දමා හොර මත්පැන් පෙරති. ඒවා අඩු මිලට විකුණති. ඉන් කුමන ආකාරයේ ලෙඩ රෝග හැදෙනවා දැයි කිසිවෙක් දන්නේ නැත. දේශපාලන අනුග‍්‍රහය ලැබීම සහ පොලීසිය ඇතුළු නීතිය ක‍්‍රියාත්මක කරන ආයතනවල දුර්වලතා නිසා හොර සුරා පාලනය කිරීම දුෂ්කර දෙයක්වී තිබේ. කසිප්පු ජාවාරම සම්බන්ධයෙන් මහජනයා අතර ප‍්‍රචලිතව ඇති විහිළු ‘කතාවක්’ මෙසේ ය.

ඇතැම් තැනක, කසිප්පු අල්ලන්නට පොලීසියෙන් පැන්න විට, ඔවුන්ට කසිප්පු මුදලාලි ගෙන් ‘හොඳ’ සංග‍්‍රහයක් ලැබේ. එයට මුදල් කවරයක් ද ඇතුළත් වෙතැයි මිනිස්සු විශ්වාස කරති. ඔවුන් ආපසු යන විට, කසිප්පු බෝතල් දෙක තුනක් ද, ගෝල කොල්ලෙක් ද ලැබේ. පොලීසිය එය ‘වැටලීමක් සේ’ උසාවියට ඉදිරිපත් කරයි. කොල්ලා වරද පිළිගනියි. උසාවිය දඩ ගසයි. ඉතින් ප‍්‍රදේශයේ කසිප්පු ජාවාරම පාලනය කළ බවට පොලීසියේ පොත්වල ද ලියැවෙයි. වැඩේ බොරුවකුත් නොවේ ය. මුදලාලිගේ කසිප්පු පොළ ‘දොළොස් මහේ පහන
මෙන් හැමදාමත් පවතියි. කසිප්පු ජාවාරම් සම්බන්ධව මෙවන් විහිළු ‘කතා’ රටේ බොහොමයක් තැන්වලින් අසන්නට පුළුවන. සමහර ජාවාරම්කරුවන් දේශපාලනයට ද සම්බන්ධ බැවින් පොලීසියට ද කරන්නට දෙයක් නැත. ගම් මට්ටමේ පොලීසි හෝ සුරා බදු ඒකකවලට ‘නො පෙනෙන’ ජාවාරම්, පානදුර වලානේ, විශේෂ පොලිස් ඒකකය පැමිණ වැටලීමේ රහස ඇත්තේ එතැන ය! ඉතින් ‘නිල මත්පැන්’ මිල වැඩි වන වැඩිවන වාරයක් පාසාම මිනිස්සු ‘හොර මත්පැන්වලට’ (කසිප්පු) නැඹුරු වෙති.

සෑම හැන්දෑවකම හොර මත්පැන් (කසිප්පු) පොළවල් සහ නිල මත්පැන් හල්වලට ඇදී එන පිරිස් නිරීක්ෂණය කිරීමෙන්, මධු ලෝලීන් ගැන යම් අදහසක් ඇතිකර ගත හැකි ය. ‘හොර පොට්වලට’ ඇදී එන වැඩිම පිරිසක් එදිනෙදා කුලී වැඩ කිරීමෙන් ජීවත් වන උදවිය බව බැලූ බැල්මටම පෙනේ. ඔවුන්ට එක්කෝ ‘සීල් අරක්කු’ බොන්නට තරම් මුදල් නැත. නැතිනම් ‘සීල් අරක්කු’, ‘කසිප්පු’ තරම් ‘වදින්නේ’ නැත. ‘නිල බාර්වල’ මෙන් හොර මත්පැන් විකුණන තැන්වල අල්ලාප සල්ලාපයේ යෙදෙමින් රස්තියාදු ගසන්නට නො හැකි ය. එබැවින් එහි එන අය, වැඩේකර ගෙන  සැණින් මාරු වෙති. ඔවුන්ගේ මදු පානයට ‘කටගැස්ම’ හෙවත් බයිට් නැති තරම් ය. ඇතැමෙක් ‘කට්ට සම්බල් පැකට්’ එකක් කටට හලා ගනිති.

තවත් මෙබඳුම පිරිසක් හැන්දෑවට නිල මත්පැන් හල්වලට ද (වයින් ස්ටෝර්ස්) එති. ඔවුහු මහත් කලබලකාරී ය. පෝලිම් හෝ පේලි නොතකති. හැකි ඉක්මණින් මත්පැන් මිල දී ගැනීමේ හදිස්සියෙන් පෙළෙති. හරියට ඊළඟ නිමේෂයේ දී මුළු ලෝකයෙන්ම මත්පැන් අවසන් වෙනවා යයි සිතන තරම් හදිස්සිකාරයන් ය. මිල අඩු කාලේ කුප්පි (සැෂේ පැකට්) සහ මධ්‍යසාර ප‍්‍රතිශතය සියයට 05ට වැඩි ‘බියර් කෑන්’ ඔවුන් අතර බෙහෙවින් ජනප‍්‍රිය ය. ඔවුන් ද එදිනෙදා සල්ලියට රැකියා කරන, මීවිතක් සඳහා වැඩි මුදලක් වැය කරන්නට හැකියාවක් නැති උදවිය බව පෙනේ. ඔවුන්ට අවශ්‍ය අඩු මුදලකින් වැඩි ‘කරන්ට්’ එකකි. ඔවුන්ට ඇත්තේ ‘පැකට් බයිට්’ ය. ඇතැම් විට ‘උම්බලකඩ කට්ට සම්බල් පැකට්’ ය.

 

අවන්හලකට, එළිමහනකට හෝ නිවසකට එක් වෙමින් මස්-මාළු ඩෙවල් ආදී ‘බයිට්’ ද සමගින් මීවිතක් තොල ගෑමත්, දීර්ඝ කාලයක් අල්ලාප සල්ලාපයේ යෙදීමත්, මධ්‍යම පාන්තික මධු ලෝලයන්ගේ සමාජ සිරිතකි. කලින් කී හදිස්සිකාර පිරිස් කෙරෙන් එවන් චර්යාවන් දැකිය නො හැකි ය. ලියුම්කරු මෙයින් කියන්නට උත්සාහ කළේ, මධු ලෝලීන් අතර අඩු ආදායම් ලාභීන් බහුතරයක් සිටින බවයි. ඔවුන් මධු ලෝලීන් වූයේ ‘සෙට් වීමට’ ද? නැතිනම් දවසේ වෙහෙස නිමා කිරීමට ද?, නැතිනම් වෙනත් හේතූන් නිසා ද?, එසේම මධ්‍යම පාන්තිකයන් මධු ලෝලීන් වූයේ මන් ද?. මත්පැන් හදිසියේ පහළ වුණු ප‍්‍රපංචයක් නොවේ. මත්පැන් බුදුන් වහන්සේගේ කාලයේ දීත් පැවති බව, බෞද්ධ කතාවල ද එයි. එය සමාජයෙන් තුරන් කිරීම ද අසීරු ය. එහෙත් මෑත කාලයේ ජන සමාජය, අධික මධු ලෝලීත්වයක් වැළඳ ගත්තේ කුමන හේතූන් නිසා ද? යන්න ගැටළුවකි. එය කුටුම්භ තුළ ආර්ථික ගැටළුවක් ද මතු කරන්නේ ය. අධික මධු ලෝලීත්වය, අපරාධවලට ද හේතුවක් බවට විශ්වාසයක් ද වෙයි. ලියුම්කරු සිතන්නේ, ජන සමාජය අධික මධු ලෝලීත්වයක් වැළඳ ගත්තේ කුමන හේතූන් නිසා ද? යන ප‍්‍රශ්නයට සමාජ විද්‍යාව පැත්තෙන් පුළුල් පිළිතුරක් සහ විග‍්‍රහයක් ලැබිය යුතු බවයි.

එසේ නැතිව ‘නිල’ මත්පැන්වල මිල ඉහළ දැමීම පමණක්, සමාජය මතින් මුදා ගැනීමේ ක‍්‍රමවේදයක් ලෙස ගණන් ගත නො හැකි ය.
(පින්තූර අන්තර්ජාලයෙනි)

2015/12/03.
 

Tuesday, December 1, 2015

තුෂාරගේ අලූත්ම කාව්‍ය නිර්මාණ සංග්‍රහය

මුහුදම කඳුළු බිඳුවකි
තුෂාරගේ අලූත්ම කාව්‍ය සමුච්චය
 



නව පරපුරේ කවියෙකු වන, නීතිඥ තුෂාර ද සිල්වාගේ අලූත්ම නිර්මාණ සංග‍්‍රහය වන ‘මුහුදම කඳුළු බිඳුවකි’ කෘතිය, ළඟදීම එළි දැක්වීමට කටයුතු යොදා තිබේ. ඔහු මෑතක සටහන් කළ කාව්‍ය නිර්මාණ ගණනාවක්ම එයට ඇතුළත්කර ඇති අතර, කෘතියට පෙරවදන ලියා ඇත්තේ ප‍්‍රවීණ කිවියර සෙනරත් ගොන්සල්කෝරාල මහතා විසිනි.
 

තුෂාරගේ ප‍්‍රථම කාව්‍ය නිර්මාණ සංග‍්‍රහය පළ වූයේ ඔහු පාසැල් ශිෂ්‍ය අවධියේ සිටිය දී ය. 1987 වසරේ පළවූ එය ‘කව්මිණිමුතු’ නම් විය. ඉන් පසුව ඔහු 2000 වසරේ දී ‘මුහුදු රළ වගේ’ කාව්‍ය නිර්මාණ සංග‍්‍රහය පළ කළේ ය. 2006 වසරේ ඔහු ‘ඉද්දමලී’ නමින් ළමා ගී සංග‍්‍රහයක් පළ කළේ ය. ඔහු ලියූ ‘පංචායුධ කුමාරයා’ නම් ළමා කතාව 2007 වසරේ පළ කෙරිණි. තුෂාර 2008 වසරේ එළි දැක් වූ ‘ඉගිලෙන කණ කොක්කු’ යොවුන් නවකතාවට, ගොඩගේ යොවුන් සාහිත්‍ය සම්මාන ලැබිණි. ඊට අමතරව ඔහු, ‘මානව හිමිකම් සහ මූලික අයිතිවාසිකම්’, ‘සමථ මණ්ඩලය’ සහ ‘බුද්ධිමය දේපල හා ප‍්‍රකාශන හිමිකම්’ යන නීති ග‍්‍රන්ථවල ද කතුවරයා ය.
 

මේ නිර්මාණය උපුටා ගත්තේ ඔහුගේ ‘මුහුදම කඳුළු බිඳුවකි’  කෘතියෙනි.
 

සේකරට
 

ඔබේ දුම් වැටිය
මට දෙන්න සේකර   
 

බලන්න
දිලිසි දිලිසී මා වටේට
එළිය දෙන හැටි
සිගරැට් දුම් රැස් වළල්ල
 

මෙන්න
පොඩි මල්ලිත් ඇවිත්
වක්කඩ ළඟ හිඳ
දණ්ඩි පැටවෙක් අල්ල ගෙන
 

ඔබ හැඩම
කෙහෙරැලි  අවුල් වූ විට
මාත් එහෙමයි
මටත් ඔබ සිහිවෙන්න
හිතේ සතුටක් නැති විට
 

සතුටක් ද දුකක් ද ජීවිතය
දැන සිටියේ ද සේකර ඔබ
ඒත්
දුම්වැටියක් වගෙයි
ගෙවී යයි ගෙවී යයි ජීවිතය
(තුෂාර ද සිල්වා)
2015/12/01.