Total Pageviews

Monday, September 16, 2019

ලලිත් ගමගේ නම් කැලෑ මහත්තයා සමග කතාබහක්



කෘතිය-වන හා වනජීවී සංරක්ෂණය උදෙසා නීතිය
කර්තෘ-ලලිත් ගමගේ
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර වන සංරක්ෂකවරයෙකු සහ කුරුණෑගල දිසා වන නිලධාරීවරයා ද වන ලලිත් ගමගේ මහතා රචනා කළ වන හා වනජීවී සංරක්ෂණය උදෙසා නීතියනමැති ග‍්‍රන්ථය පසුගිය දා පරිසර අමාත්‍යංශ ශ‍්‍රවණාගාරයේ දී දොරට වැඩියේ ය. එය පරිසර ක්ෂේත‍්‍රයට බලපාන නීතිරීති ගැන පැහැදිලිකර දෙන කෘතියකි. මේ, ග‍්‍රන්ථය සම්බන්ධයෙන් කතුවරයා සමග කෙරුණු කතාබහකි.




0000000000000000000000000000000000000000
දැනට රටේ ක‍්‍රියාත්මක වන නීතිරීති, පරිසරය, සතා සීපාවා, ගහකොල සහ ජෛවවිවිධත්වය රැක ගන්නට ප‍්‍රමාණවත් ද?
යම් යම් ගැටලූ මතුවන අවස්ථා තිබුණත්, පරිසරය ආරක්ෂාකර ගන්නට ප‍්‍රමාණවත් තරම් නීතිරීති හැදිලා තියෙනවා. ප‍්‍රමාණවත් මට්ටමින් නීතිරීති හඳුන්වා දී තිබෙනවා.

ඔබ මෙබඳු ග‍්‍රන්ථයක් සම්පාදනය කරන්නට කල්පනා කළේ ඇයි ?
මම වසර තිස්පහක් පමණ තිස්සේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරනවා. විද්‍යාත්මක වන කළමනාකරණ කටයුතු, සමාජ වන විද්‍යා කටයුතු අතරතුර වන අපරාධ විමර්ශනය, වැටලීම් කිරීම සහ නෛතික කටයුතු මෙහෙයවීම මගේ රාජකාරියට අයත්. මම ඒ කටයුතු සහා රට පුරා ගිහින් විශාල ලෙස අත්දැකීම් ලැබුවා. එහි දී අපේ ආයතනයේ  පමණක් නොව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පොලීසිය, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල, මහවැලි අධිකාරියේ කාර්යාල ආදී වශයෙන් ආයතන විශාල ගණනක අය සමග කටයුතු කරන්නට සිදු වුණා. නිලධාරීන් මුහුණ දෙන ගැටලූ ගැන ත් මට අවබෝධයක් ලැබුණා. මෙහි දී මම විශේෂ කාරණයක් නිරීක්ෂණය කළා. ඒක ගැටලූවක්. ගතවුණු කාලය පුරාවට මම දැකපු ගැටලූවක් තියෙනවා. වැඩි දෙනෙක් එල්බ ගෙන සිටින්නේ තමන් සේවය කරන ආයතනයේ නීති ක‍්‍රියාවලිය තුළයි. නිදසුනක් ලෙස ගත හොත්, වන  සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අය වන ආඥාපනත ගැන හොඳින් ම දන්නවා. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අය වන සත්ත්ව සහ වෘක්ෂලතා ආඥාපනත ගැන හොඳින් ම දන්නවා. ඒත් පරිසර සංරක්ෂණය කියන විෂය ඊට වඩා පුළුල් අර්ථයක් ගෙන එනවා. පරිසරය රැක ගැනීම කියන කාරණයේ දී වෙනත් විෂය ක්ෂේත‍්‍රවලට අදාළ අණපනත් පවා අවශ්‍ය වෙනවා. පරිසර අපරාධ විමර්ශනය කරන නිලධාරීන්ට ඒ සියල්ල ගැන යම් අවබෝධයක් සහ දැනුමක්  තිබිය යුතුයි. ඒත් නිලධාරීන් බොහොම දෙනෙකුට එබඳු දැනුම් පරිචයක් නැති බව මට නොයෙක් වර  පෙනී ගියා. වන අපරාධයක් හෝ වෙන යම් පාරිසරික අපරාධයක් විමර්ශනය කිරීමේ දී සහ නීති කටයුතු මෙහෙයවීමේ දී පරිසර විෂයට බලපාන අනෙකුත් අණ පනත් හැම එකක් ගැන ම අවබෝධයක් තිබිය යුතුයි. එහෙම නො වුණොත් නීති කටයුත්ත අසාර්ථක වෙන්න ඉඩ තියෙනවා. අනෙක, මේ අණ පනත් ක‍්‍රියාත්මක වන්නේ එකිනෙකට ඒකාබද්ධවයි. නිලධාරීන් ඒ බැඳීම් ගැනත් දැන සිටීම වැදගත්. අපේ නිලධාරීන්ටත්, පොදුවේ පරිසර නීතිරීති ගැන දැන ගන්නට කැමති මහජනතාවටත් මේ කාරණා පැහැදිලි කිරීමේ අරමුණින් වන හා වනජීවී සංරක්ෂණය උදෙසා නීතියග‍්‍රන්ථය රචනා කළා. මෙයට මා කළ විමර්ශනවල දී ඉස්මතු වුණු ප‍්‍රායෝගික නීති කාරණා ද ඇතුළත්.
 
ලලිත් ගමගේ මහතා සිය කෘතිය ඔහුගේ මෑණියන්ට පිළිගන්වමින්

පරිසර නීති ක‍්‍රියාත්මක වීමෙන් රටට, මහජනයාට ලැබෙන ප‍්‍රතිලාභ මොනවා ද?
පරිසර නීති පනවා තිබෙන්නේ ගහකොල, සතාසීපාවා සහ ජෛවවිවිධත්වය ඇතුළු සමස්ත පරිසරය රැක ගන්නයි. පරිසරය රැකුණොත් මහජනයාට හො පරිසර තත්ත්වයක් ඇතුළේ යහපත්, නිරෝගී සම්පන්න සහ සශ‍්‍රිකත්වයෙන් යුත් ජීවිතයක් ලැබෙනවා. ඒක මිල කරන්න බෑ. ඒ වගේම නීති හරියට ක‍්‍රියාත්මක වුණොත්  රටේ ජාතික ආදායම ද වැඩි වෙනවා. අනෙක, අපට ලැබුණු පරිසරය ආරක්ෂා කරලා අනාගත පරපුරට ඉතිරිකර දීම අපේ යුතුකමක් සහ වගකීමක් වෙනවා. එය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙනුත් සහතිකකර ඇති කාරණයක්.

වන සහ වනජීවී යන ක්ෂේත‍්‍ර ගත්තාම, අණ පනත් කොපමණ සංඛ්‍යාවක් බලපානවා ද?
දැනට වලංගුභාවයේ පවතින නීතිරීති සියයකටත් වඩා අපේ ක්ෂේත‍්‍රයට බලපානවා. ආඥා පනත්, පනත්, නියෝග, පරිපාලන විධිවිධාන ආදී වශයෙන් මේවා දැකිය හැකියි. ඒ වගේම පරිසරය සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතීන් රාශියකට ද ශ‍්‍රී ලංකාව අත්සන් තබා තිබෙනවා. ඒවා ඔස්සේ ද නීතිරීති එනවා. පරිසර සංරක්ෂණ වැඩවල දී ඒ කොයි එකක් හරි අවශ්‍ය වෙන්න පුළුවන්.

එයින් කීපයක් නම් කළොත්?
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව, 1871 අංක 22 දරණ කාලාවරෝධ ආඥා පනත, 1844 අංක 01 දරණ මායිම් නිරූපන ආඥා පනත, 1972 අංක 01 දරණ ඉඩම් ප‍්‍රතිසංස්කරණ පනත, 1869 අංක 17 දරණ රේගු ආඥා පනත, 1979 අංක 23 දරණ මහවැලි අධිකාරිය පනත, 1979 අංක 02 දරණ දණ්ඩ නීති සංග‍්‍රහය, අපරාධ නඩු විධිවිධාන සංග‍්‍රහය, 1887 අංක 14 දරණ සාක්ෂි ආඥා පනත, 1951 අංක 25 දරණ පාශු සංරක්ෂණ ආඥා පනත ආදී වශයෙන් නීති අණ පනත් රාශියක් තිබෙනවා.

විමර්ශනයක දී මේ සියල්ල අවශ්‍ය වන්නේ ඇයි?
වන සහ වනජීවී ක්ෂේත‍්‍රයේ අපරාධ විවිධාකාරයි. වන අපරාධකරුවන් පවා විවිධ තරාතිරම්වලට අයත්. විමර්ශන කටයුත්තේ දී සැකකරුවන් වෙනුවෙන්  නීතිඥවරුන් පෙනී සිටිනවා. මැදිහත් වෙනවා. අධිකරණවලදී ත් බොහොම ප‍්‍රසිද්ධ නීතිවේදීන් වන අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටිනවා. එහෙත් උසාවියේ දී වන නිලධාරීන්, තම වෘත්තීය අත්දැකීම්, නීතිපති උපදෙස් සහ තමන්ගේ  ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ මගපෙන්වීම් ඔස්සේ වන සහ වනජිවී අපරාධ නඩු ඔප්පු කළ යුතුයි. නඩු ජයගත යුතුයි. බොහෝවිට අධිකරණවලින් විවිධ නීතිමය කාරණා සිද්ධියට අදාළ වන්නේ කෙසේ ද කියා විමසා බලනවා. වන සහ වනජීවී නිලධාරීන් ඒවා ගැන දැන සිටිය යුතුයි.  විශේෂ නඩුවල දී නම් නීතිපති දෙපාර්තමේන්තුවේ සහාය ලැබෙනවා. ඒත් සමස්ත නඩු සංඛ්‍යාවෙන් සියයට 95ක් ම, අප විසින් මෙහෙයවා ගත යුතුයි. ඒ නිසා වනජීවී සහ වන ආඥා පනත්වලට අමතරව ආධාරක නීති සහ අනෙකුත් නීති අවශ්‍ය වෙනවා.

ඔබේ ග‍්‍රන්ථයේ මේවා ගැන සහන් වෙනවා ද?
ඔව්, මා ලැබූ අත්දැකීම් සහ පැරණි නඩු තීන්දු ආදිය ද සමග ඒවා විස්තර කෙරෙනවා.

වන අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් සමග උසාවියේ දී හැප්පෙන්න එක අසීරු නැද්ද?
පළපුරුද්ද අඩු, නො සැලකිලිමත්  නිලධාරීන්ට නම් යම් අසීරුතා ඇතිවෙනවා ඇති. ඒත් හොඳින් සූදානම් වෙලා, කරුණු අධ්‍යයනය කරලා අධිකරණයට යනවා නම් අසීරුතා ඇති වෙන්නේ නෑ. තමන්ගේ නඩු කටයුත්තට අදාළ නීති කාරණා, නීති පොත්වල තිබුණාට, ඒවා උසාවියට ඉදිරිපත් නො කළොත් පලක් නෑ. විශේෂයෙන් ම, සාක්ෂි මෙහෙයවන විට සැලකිලිමත් වෙන්න  ඕනෑ. ආධාරක නීති භාවිතා කරන්න  ඕනෑ. ඒ කියන්නේ අපරාධ නඩු විධිවිධාන සංග‍්‍රහය, සාක්ෂි ආඥා පනත සහ දණ්ඩ නීති සංග‍්‍රහය වැනි අණ පනත්වල අපට භාවිත කළ හැකි විධි විධාන සහන් වෙනවා. ඒ්වා ගැන හුරුවක් වැඩි දෙනෙකුට නෑ. නීති ගැන දැනුම් තේරුම් නැති කෙනෙක් නීති කටයුත්තක් මෙහෙයවන විට වාසි ලැබෙන්නේ  අනෙක් පාර්ශවයටයි. ඇතැම් අවස්ථාවල අධිකරණය යම් යම් කාරණා සම්බන්ධයෙන් නීතිමය පැහැදිලි කිරීම් බලාපොරොත්තු වෙනවා. එවන් අවස්ථාවල නිසි  පරිදි කටයුතු කළ යුතුයි.

වන අපරාධ නඩු බොහොමයක් ඉවත දැමෙනවා නේ ද?
යම් පැමිණිල්ලක දී, වන අපරාධමය සිද්ධිය සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ කළ යුතුයි. එහි දී අපරාධය කළ බව හෝ එහි තීව්රතාවය හෝ එයින් සිදුවුණු පරිසර හානිය විතරක් අධිකරණයේ දී දැක්වූවාට වැඩක් නෑ. එය නීති අණ පනත්වල කියන කාරණාවලට පටහැණිව සිදුවුවක් බව පෙන්විය යුතුයි. ඒ සහා ආධාරක නීති පිළිබව පුළුල් වැටහීමක් තියෙන්න  ඕනෑ. එවිට නඩු කටයුත්ත අසාර්ථක වන්නේ නෑ.

පරිසර නීති සම්බන්ධයෙන් මහජනයාගේ අවධානය කොහොම ද?
වැඩි දෙනෙක් පරිසරයට හානි නො කළ යුතුයි කියන එක දන්නවා. ඇතැම් අයට නීති ගැනත් යම් අවබෝධයක් තියෙනවා. එහෙත් වාණිජ අරමුණින් කටයුතු කරන ජාවාරම්කාර සුළු පිරිසක් නීති උල්ලංඝනය කරනවා. ඔවුන් නීති නො දන්නවාත් නොවෙයි. ඇත්තට ම, නීති ක‍්‍රියාත්මක කිරීම කියන්නේ වන අපරාධ හෝ පරිසර හානි වැළැක්වීමේ හො`දම මෙවලම නොවෙයි. අප කළ යුත්තේ දැනුවත් කිරීම් මගින් මහජනයා පරිසර හානි නො කරන තැනට ගෙන ඒමයි. එහෙමත් නැතිනම් ස්වේච්ඡුාවෙන් ම පරිසර නීති පිළිපදින තැනට ගෙන ඒමයි.
 (ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
 2019/09/17

No comments:

Post a Comment