Total Pageviews

Wednesday, September 25, 2019

බලන් තලංගම තෙත් බිමෙහි රූ සිරි!


බලන් තලංගම තෙත් බිමෙහි රූ සිරි!

කොළොම් තොට මායිමේ



අප‍්‍රකට පරිසර පද්ධතියක අසිරිය


 
ආගන්තුක ශාක ඉවත් කරමින්


(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
රජ බිසෝවරුන් කොහොමත් රුවැත්තියන් ය. අන්ත:පුර ස්ත‍්‍රීහු ද එසේ ය. ඔවුහු රජ ගෙයි ඇතුළු මාළිගාවල වාසය කරති. අදින් වසර 600කට පමණ  පෙරාතුව පැවති කෝට්ටේ රාජධානි සමය ප‍්‍රකටව ඇත්තේ බාහිර සහ අභ්‍යන්තර වියවුල්වලින් පිරුණු වකවානුවක් වශයෙනි. එහෙත් කෝට්ටේ විසූ රජවරු, සිය බිසෝවරුන්ගේ ද, අන්ත:පුර ස්ත‍්‍රීන්ගේ ද රූප සම්පත්තිය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ බව ජන ප‍්‍රවාදවල සඳහන් වෙයි. එකල ඔවුන්ට ‘බත’ සලසා ඇත්තේ එක්කෝ ‘මුතු සම්බා’ සහලෙනි. නැතිනම්, ‘මුතු මාණික්කන්’ සහලෙනි. රජුන් ඇතුළු මහ වාසල රාජකීයයන් මෙන්ම, ප‍්‍රභූවරුන් ද වැළඳුවේ ‘මුතු සම්බා’ සහලේ බත ය.

ජන ප‍්‍රවාදවල කියැවෙන හැටියට, එකල මුතු සම්බා සහල් නිපැයුණේ ‘මුතුරාජවෙල’ පැසුණු කුඹුරුවල ය. මුතු මාණික්කන් සහල් නිපැයුණේ කෝට්ටේ රජ වාසලට සමීප සරුසාර වෙල් යායවල ය. කෝට්ටේ රජුන්ගේ යුද සෙබළුන් අනුභව කළේ ‘හීනැටි සහලේ’ බත බව ද කියැවේ. එකල රජවාසලට සමීප කුඹුරු ද, ඒවාට දිය රැුස්කර දුන් වැව් සහ ජලාශ ද, කුඩා පරිමාණයේ ඔය (හොය) දහරා ද තිබිණි. සුප‍්‍රකට ‘දියවන්නා ඔය’ ද ඉන් එකකි.



මේ සටහන අකුරු කරන්නේ, කෝට්ටේ විසූ රජවරුන් ඔවුන්ගේ සිත්ගත් රුවැත්තියන්ගේ කෝමල රේඛා නඩත්තු කරන්නට  උනන්දු විණැයි ජන වහරේ එන තොරතුරු පළ කරන්නට නොවේ. වී ගොවිතැන ද ඇතුළුව ඔවුන්ගේ රාජකීය භාවිතාවන්ට දියවර සැපයුණු ‘තලංගම වැව’ ගැන අලූත් කරුණු ටිකක් දිග හරින්නට ය. ඒවා, අලූත් කොළඹට පාරිසරික වින්දනයක් ගෙන එනු ඇත්තේ ය.

තලංගම වැව පිහිටා ඇත්තේ කඩුවෙල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ය. එය අපට හමුවන්නේ වර්තමානයෙහි ප‍්‍රත්‍යන්ත නුවරුන් කොළොම් පුරයට වැදෙන  කොට්ටාවේ සිට තලවතුගොඩ සහ බත්තරමුල්ල ඔස්සේ බොරැල්ලට වැටෙන අංක 174 බස් මාර්ගය ආශ‍්‍රිතව ය. වැව සහ පරිවාරයේ ජලාශ‍්‍රිත පරිසර පද්ධතිය, වර්තමානයේ තලංගම උතුර, මුත්තේගොඩ, තලංගම දකුණ, බටපොත සහ කුමාරගේ වත්ත යන ග‍්‍රාම නිලධාරී වසම්වලට අයත් වෙයි.

යාල, උඩ වලවේ, සිංහරාජය, නකල්ස් සහ හෝර්ටන්තැන්න ආදී ප‍්‍රදේශ තරම් ප‍්‍රසිද්ධියක් නො ඉසිළුව ද, තලංගම වැව සහ පරිවාරයේ ජලාශ‍්‍රිත භූමිභාග ‘පාරිසරික සංචාරයන්’ ප‍්‍රිය කරන උදවිය අතර බෙහෙවින් ජනප‍්‍රිය ය. අතිශයින් ම ජනාකීර්ණ කොළොම් තොටට අත පොවන තරම් දුරින් පිහිටි තලංගම ඉසව්ව, සුන්දර භූමි දර්ශන මෙන් ම, සතා සීපාවා සහ ගහකොල ඇතුළු ජෛව විවිධත්වයෙන් ද පොහෝනේ ය.  එය පක්ෂීන් නරඹන්නන් අතර ද බොහොම ජනප‍්‍රිය සංචරණ ඉසව්වකි. 

පැරණි ව්‍යවහාරයේ හැටියට තලංගම වූ කලී ‘තඩාග ග‍්‍රාම’ යන්නයි. ඒ අවට ඇති ‘හීනැටිකුඹුර’, ‘තලවතුගොඩ’ සහ ‘මහනියර’ ආදී ග‍්‍රාම නාමයන්, අතීතයේ එහි පැවති කෘෂිකාර්මික ජීවිතය ගැන කටු සටහනක් වර්තමානයට ද ශේෂ කරවයි. තලංගම ප‍්‍රදේශයේ අදටත් දකින්නට තිබෙන එක්තරා වෙල් යායක් හඳුන්වන නාමය ‘මුත්තෙට්ටුව කුඹුර’ ය. එහි වපසරිය අක්කර හයක් පමණ වේ. ජන ප‍්‍රවාදවල කියැවෙන හැටියට, කෝට්ටේ රජවාසලට ‘බත’ සැපයුණේ එයින් අස්වැද්දුණු වී සම්පතිනි. කෝට්ටේ රජ වාසල ‘ඇත් පන්තියට’ (අලි ඇතුන්) දිය කෙළි සැලැස්වුහයි කියන්නේ ද තලංගම වැවෙනි.

පැරණි කතා පුවත්වල එන හැටියට, තලංගම වැව ඉදිකර ඇත්තේ කෝට්ටේ රජ කළ හය වැනි පරාක‍්‍රමබාහු රජ්ජුරුවෝ (ක‍්‍රි. ව. 1547-1551) ය. ප‍්‍රදේශයේ පැරැන්නන් පවසන අන්දමට, කෝට්ටේ රාජධානි කාලයේ පැවති ‘තලංගම වැව’ විශාල එකකි. එහි ජල පෝෂක ප‍්‍රදේශය එකල වර්ග සැතපුම් තිස් තුනක පමණ භූමියක් පුරාවට පැතිර තිබුණි. එයින් වැඩි හරියක් කුඹුරු ය. වැව සහ ජල පෝෂක ප‍්‍රදේශයට වර්ෂාව ලැබෙන්නේ නිරිත දිග මෝසම් කාලය ඔස්සේ ය. වැව ආශ‍්‍රිත කලාපයේ වාර්ෂික වැසි පතනය මිලි මීටර් 2000-2500ක් පමණ වෙතැයි, මධ්‍යම පරිසර අධිකාරිය කියයි. එකල මුළු තලංගම ප‍්‍රදේශයට ම, දියවර සැපයුණේ තලංගම වැවෙනි. එසේම, ප‍්‍රදේශයේ ගංවතුර පාලනය  සඳහා ද එයින් සිදු වුයේ අනගි මෙහෙවරකි.

එහෙත් පසුකාලීනව වැවෙහි නඩත්තුව අභාවයට ගියේ ය. එබැවින් වැව ක‍්‍රමයෙන් ගොඩ විය. කෙසේ වෙතත් මෑත ඉතිහාසයේ තලංගම වැව, අක්කර 44ක පමණ භූමි වපසරියකින් සමන්විතව තිබිණි. පසුව වැවෙහි වපසරිය තවත් අඩුවී ගිය අතර, 1990 දශකය මුල් භාගයේ දී එය ප‍්‍රතිසංස්කරණය කෙරිණි. දැන් වැවට ඉතිරිව ඇත්තේ අක්කර 37ක පමණ කොටසක් පමණි. මධ්‍යම පරිසර අධිකාරිය පවසන ආකාරයට, වැවෙහි වර්තමාන ජල ධාරිතාවය අක්කර අඩි පණහකි. එහි රැඳෙන දියවරින් ගොවිතැන් කෙරෙන භූමිභාග පිහිටා තිබෙන්නේ, අකුරේගොඩ සහ උතුරු තලංගම අතර ය. එයින් අක්කර 250ක් පමණ වී වගා කෙරෙන කුඹුරු ය.


‘පීපල් ටු පීපල් වොලන්ටියර්ස්’ යනු, ජගත් පාරිසරික පහසුකම් ව්‍යාපෘතියේ මගපෙන්වීම මත, මධ්‍යම පරිසර අධිකාරියේ ද අනුග‍්‍රහය ඇතිව, තලංගම වැව ආශ‍්‍රිත භූමි සහ ජලජ පරිසර පද්ධතිය සංරක්ෂණය කිරීම පිණිස ඉදිරිපත්ව සිටින රාජ්‍ය නො වන පාරිසරික සංවිධානයකි. ඔවුන් සඳහන් කරන අන්දමට, මේ ඉසව්ව ‘තෙත් බිම් පරිසර පද්ධතියකි’.  
එහි දී හමුවන පක්ෂි විශේෂ සංඛ්‍යාව 207කි. ඉන් ලංකාවට ආවේණික විශේෂ ගණන 23කි. සංක‍්‍රමණික විශේෂ සංඛ්‍යාව 95කි. පක්ෂීන්ට අමතරව, ක්ෂීරපායී සත්ත්ව විශේෂ 24ක් ද, මිරිදිය මත්ස්‍ය විශේෂ 35ක් ද, සමනල විශේෂ 64ක් ද, බත්කූරු විශේෂ 37ක් ද, උරග විශේෂ 23ක් ද එයින් හමු වේ. උන්ට අමතරව, උභය ජීවී සහ සර්ප විශේෂ ද එහි වෙසෙති. වැව ආශ‍්‍රිත ප‍්‍රදේශයේ ශාක ප‍්‍රජාව තුළ තෙත් කලාපීය මෙන්ම, ජලජ පරිසරයේ වැවෙන ශාක වර්ග ගණනාවක් ද දක්නට ලැබේ.  ඒවා අතර, කොරකහ, හල්, දිවිකදුරු, ගොරක, මයිල, මී, කුඹුක් සහ වල්ලපට්ටා ආදී ශාක වර්ග කැපී පෙනෙයි. කොළඹ නගරය සමීපයේ, අතිශය ජනාකීර්ණ නාගරික ප‍්‍රදේශයක් තුළ පවතින මේ ජෛව විවිධත්වය සුවිශේෂ ය.

තලංගම වැව ආශ‍්‍රිත පරිසර පද්ධතිය පක්ෂීන් සහ සෙසු සතුන් අධ්‍යනය කිරීම සදහා අගනා ප‍්‍රදේශයක් බව පරිසරවේදීන්ගේ අවධානයට ලක් වන්නේ 1988 වර්ෂයේ පමණ ය.

‘ඒ කාලේ මමයි, වෛද්‍ය රුවන් පෙරේරා මහත්තයයි පක්ෂීන් නිරීක්ෂණය කරන්න ඔය ප‍්‍රදේශයට එනවා. එතකොට මෙතැන හොඳ ජෛව විවිධත්වයක් තියෙනවා කියලා අපි අත්දකිනවා. ඊට පස්සේ තමයි හුෙඟක් දෙනෙක් මෙහේ එන්න පටන් ගත්තේ’, එසේ කියන්නේ පාරිසරික නීතිඥ ජගත් ගුණවර්ධන මහතා ය.

ඔහු පවසන අන්දමට, තලංගම තෙත් බිම් පද්ධතිය ඉතා දුර්ලභ සංක‍්‍රමණික පක්ෂීන්ගේ වාස භූමියකි. ‘බෙල්ලන් කොකා’ වැනි නේවාසික පක්ෂීන්ගේ අභිජනන තිප්පොළකි.

‘එක සැරයක් අපට තලංගම දී දුර්ලභ වැහි ලිහිණි විශේෂයක් හමුවුණා. උන් වසර තිහකින් විතර ලංකාවට ආවා කියලා වාර්තා වෙලා තිබුණේ නෑ. ‘දම් සිලූටු දෑතුඩුවා’ සහ ‘මල් සේරුවා’ වගේ තෙත් බිම් ආශ‍්‍රිතව වාසය කරන පක්ෂීන් තලංගම දී දකින්න පුළුවන්’, ඔහු පවසයි.

තලංගම තෙත් බිම් පරිසර පද්ධතියෙහි ඇති වැදගත්කම නිසා ම, මධ්‍යම පරිසර අධිකාරිය 2007 වසරේ දී එය ‘පාරිසරික ආරක්ෂක ප‍්‍රදේශයක්’ බවට ප‍්‍රකාශයට පත් කළේ ය. එයට වැව සහ ඒ ආශ‍්‍රිතව පිහිටි හෙක්ටයාර් 118ක භූමියක් අයත් වන බව, 2007 මාර්තු මස 05 වැනි දා නිකුත් කෙරුණු ගැසට් නිවේදනයේ සඳහන් විණි.


‘පීපල් ටු පීපල් වොලන්ටියර්ස්’ සංවිධානයේ අනුරාධ ප‍්‍රභාත් කුමාර මහතා පවසන අන්දමට, කොළඹ නගරය ආශ‍්‍රිතව පිහිටි තෙත් බිම් අතරින් සංක‍්‍රමණික පක්ෂීන් වැඩියෙන් ම දැකිය හැක්කේ තලංගම දී ය. වර්තමානයේ තරුණ සත්ත්වවේදීන්ගේ සංගමය, සමනල අධයයන කවය සහ ප‍්‍රකට පරිසරවේදීන් රැසක් එහි පැමිණ ගවේෂණ කිරීමට පුරුදුව සිටිති.

කොළඹ නගරය පරිවාරයේ පිහිටි ‘තලංගම තෙත් බිම් පරිසර පද්ධතිය’ පාරිසරික සංචරණ කලාපයක් වශයෙන් තවදුරටත් සංවර්ධනය කළ යුතු භූමි භාගයකි. පාරිසරික නීතිඥ ජගත් ගුණවර්ධන මහතා ඒ ගැන කියන්නේ මෙසේ ය.

‘මෙතැන බොහොම ඉහළ ජෛව විවිධත්වයක් තියෙනවා. ඒවා ගැන මීට ඉහතත් අධ්‍යයන කෙරුණා. දැනුත් කෙරෙනවා. ඒවා තව ඉදිරියටත් ගෙන යා යුතුයි. තලංගම වැව කියන්නේ ජල බස්නාවක් ලෙස වැදගත් මෙහෙවරක් කෙරෙන තැනක්. ඒත් ඒකට බාධා වෙන කාරණා තියෙනවා. මේ ඉසව්වෙන් අධිවේගී මාර්ගයක් සැලසුම් කෙරිලා තියෙනවා. එයින් බලපෑම් ඇති වේවි. ඒ අතර, වැව ගොඩ වෙමින් යනවා. ගංවතුර පාලනයට කියලා 1992 දි විතර වැවේ ‘ස්පිල් එක’ (පිටවාන) පහත් කළා. එයින් වැවේ ධාරිතාවය අඩු වුණා. ඒක නැවත යථා තත්ත්වයට පත් කළ යුතුයි. මොන දේ කරන්නත් කලින්, වැව වටේ තිබෙන පරිසර පද්ධති ‘ප‍්‍රතිස්ථාපනය කරන්න  ඕනෑ. ඒ වගේම, ආගන්තුක සහ ආක‍්‍රමණශීලී ශාක ගහනය ඉවත් කළ යුතුයි’


පරිසරවේදී අනුරාධ ප‍්‍රභාත් කුමාර මහතා පෙන්වා දෙන අන්දමට, තලංගම වැව ආශ‍්‍රිත තෙත් බිම් පරිසරය සංරක්ෂණය කිරීමේ දී එහි නිවැසි සත්ත්ව සහ ශාක ප‍්‍රජාවට ද, අලංකාර භූ දර්ශනවලට ද හානි වීම් වළකා ගත යුතු ය. තෙවනුව, සංචරණයට පහසුකම් සහ මංපෙත් සැකසිය යුතු ය. එහි එන අයට මේ තෙත් බිම ගැන දැන ගැනීමට, නැරඹුම් ස්ථානයක් සහ තොරතුරු මධ්‍යස්ථානයක් ආරම්භ කළ යුතු ය. එහෙත් එවැනි කටයුතු නො කෙරෙන බව ද අනුරාධ ප‍්‍රභාත් කුමාර මහතා සඳහන් කරන්නේ ය. 

පරිසරවේදීන් පෙන්වා දෙන අන්දමට, තලංගම ආශ‍්‍රිත ජලජ පරිසර පද්ධතියට එල්ලවී ඇති තර්ජන බොහොමයකි. කුඹුරු ඉඩම් ගොඩ කිරීම නිසා සුළු වැස්සකින් පවා ගංවතුර ඇති වීම, අනවසර යාන්ත‍්‍රික බෝට්ටු ධාවනය නිසා ජලචර පක්ෂීන්ගේ සහ අනෙකුත් සතුන්ගේ හැසිරීම්වලට බාධා එල්ල වීම මෙන්ම, උන්ගේ අභිජනන මධ්‍යස්ථාන විනාශ වීම, නිවාස ව්‍යාපෘති සහ මහා මාර්ග තැනීම වැනි යටිතල ව්‍යාපෘති නිසා වැවට සහ වැව අවට පර්සරයට බලපෑම් එල්ල වීම, කැලි කසල මෙන්ම අපද්‍රව්‍ය වැවට බැහැර කිරීම සහ තෙත් බිම් පරිසරයේ ඇති බිම් පෙදෙස් අනවසර පදිංචිකරුවන්ගේ ග‍්‍රහනයට නතු වීම සහ ආක‍්‍රමණික හා ආගන්තුක ශාක පැතිරීම, ආදී කාරණා ඒ අතර වේ. තලංගම තෙත් බිම සංරක්ෂණය කිරීමේ දී මේ ගැටලූ සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ යුතු බව ඔවුන්ගේ අදහසයි.

ශ‍්‍ර‍්‍රී ලංකා හරිත ව්‍යාපාරයේ සුරන්ජන් කොඩිතුවක්කු මහතා කියන හැටියට, බේරේ වැව, දියවන්නාව, බොරලැස්ගමුව ඇතුළු කොළඹ ආශ‍්‍රිත තෙත් බිම් මුහුණ දෙන පොදු ප‍්‍රශ්නයක් තිබේ. ඒ, ‘ජල දූෂණයයි’. කර්මාන්ත ශාලා සහ ජනාවාස අපද්‍රව්‍ය ඒවාට එකතුවීම නිසා එය සිදු වේ. මින් කර්මාන්ත අපද්‍රව්‍යවල ආසනික් සහ ඊයම් ඇතුළු බැර ලෝහ ද අඩංගු ය. තලංගම වැව ආශ‍්‍රිත පරිසර පද්ධතිය ද වර්තමානයේ ජල දූෂණයෙන් පීඩා විඳින්නේ ය.

වැව ආශ‍්‍රිතව වෙසෙන උදවිය එහි දියවරින් වී ගොවිතැන් කරති. ගව සහ එළු ආදී සත්ත්ව පාලනයේ යෙදෙති. පලා වර්ග සහ එළවළු ආදී වශයෙන් කොරටු ගොවිතැනෙහි යෙදෙති. දිය නෑම පිණිස ද වැව් දිය පාවිච්චි කරති. මේ තත්ත්වය නිසා වැව ආශ‍්‍රිත ජන ජීවිතයට බැර ලෝහ ඇතුළු වීමේ අවදානම වැඩි ය. ‘ඒවා අඩු කරන්න ක‍්‍රියාමාර්ගයක් ගන්න  ඕනෑ’, සුරන්ජන් කොඩිතුවක්කු මහතා  කියන්නේ ය.

පරිසරවේදීන් කියන හැටියට තලංගම තෙත් බිම් පද්ධතිය, කොළොම් තොට පරිසරයේ නිවැසි ‘කොක්කුන්ගේ’ විශාලත ම ලැගුම් පොළවලින් එකකි. හැන්දෑ ජාමයට උන් එහි ගාල් වෙනු දකින කෙනෙකුට, උන්ගේ කලිකලහය අසන කෙනෙකුට කොළොම් පුර මායිමේ එවන් තැනක් තිබේදැයි පුදුම සිතෙනු නිසැක ය!
(මෙම ලිපිය 2019/09/22 දින සතිඅග අරුණ පුවත්පතෙහි පළවිය)

Monday, September 16, 2019

වත්තල ප‍්‍රාදේශීය සභාව රජයේ රෝහල් දණ ගස්වයි!




වත්තල ප‍්‍රාදේශීය සභාව

බස්නාහිර, මධ්‍යම සහ දකුණ යන පළාත්වල රජයේ රෝහල් දණ ගස්වයි!

සායනික අපද්‍රව්‍ය දහනයට තහංචියක්

අසරණ වුණු රෝහල් පාලකයන් ‘ආදාහනාගාරවල’ පිහිට ඉල්ලයි!


කරාපිටිය සායනික අපද්‍රව්‍ය




(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)

(පින්තූර-යූ. එම්. තිලකරත්න/රවීන්ද්‍ර චන්ද්‍රලාල්/අරුණ තිලකරත්න)

ගම්පහ දිස්ත‍්‍රික්කයට අයත් ‘වත්තල ප‍්‍රාදේශීය සභාව’, මේ දිනවල මහත් බලසම්පන්න ආයතනයකි. ඊට හේතුව වන්නේ ඔවුන් ගත් තීරණයක් නිසා දැන් බස්නාහිර, දකුණ සහ මධ්‍යම යන පළාත්වල රජයේ රෝහල් සියල්ල වසා දමන්නට සිදු වීමේ අවදානමක්  උද්ගත වීමයි!


බස්නාහිර, දකුණ සහ මධ්‍යම යන පළාත්වල රජයේ රෝහල් සියල්ලේ ම ‘සායනික අපද්‍රව්‍ය’ පුළුස්සා දැමීම කෙරෙන්නේ වත්තල ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයට අයත් කෙරවලපිටිය ප‍්‍රදේශයේ තැනවුණු ‘අධිතාප දාහකයක’ ය. එහි හිමිකරුවා ‘සිසිලි ප්‍රොජෙක්ට්ස්’ නම් පෞද්ගලික සමාගමකි. ඔවුන්ට එම කටයුත්ත පැවරී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශය සහ මධ්‍යම පරිසර අධිකාරිය යන ආයතනවල අවසරයෙනි. වත්තල ප‍්‍රාදේශීය සභාව සැප්තැම්බර් 12 වැනි දා උන්හිටි ගමන් ඔවුන්ගේ ‘වෙළෙඳ බලපත‍්‍රය’ අවලංගු කළේ ය. එයින් පසුව බස්නාහිර, දකුණ සහ මධ්‍යම යන පළාත්වල රජයේ රෝහල්වල ‘සායනික අපද්‍රව්‍ය’ රැස්කර පුළුස්සන කටයුත්තට තහංචි වැටිණි. එහි බලපෑම කොතෙක් ද යත්, මේ වන විට ‘සායනික අපද්‍රව්‍ය’ ටොන් සියයක් පමණ රෝහල් පරිශ‍්‍රවල ගොඩ ගැසී තිබේ!


මේ තත්ත්වය ගැන අදහස් දක්වමින්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා මාධ්‍ය හමුවේ පවසා තිබුණේ, ‘මෙහෙම ගියොත් රෝහල් වසා දමන්න සිදු වේවි’ යනුවෙනි!


සායනික අපද්‍රව්‍ය බැහැර කරන්නට නො හැකි වීමේ ප‍්‍රශ්නයට මුහුණ දී සිටින ප‍්‍රකට රෝහල් අතර, කොළඹ ජාතික රෝහල, කළුබෝවිල මහ රෝහල, මහනුවර මහ රෝහල, කරාපිටියේ ශික්ෂණ රෝහල, උතුරු කොළඹ ශික්ෂණ රෝහල සහ මහරගම අපේක්ෂා රෝහල ඇතුළු රෝහල් ගණනාවක් ම වෙයි. මින්, කරාපිටිය ශික්ෂණ රෝහලේ පමණක් දැනට, සායනික අපද්‍රව්‍ය පිරවූ කන්ටේනර් හතක් රඳවා තිබෙන බව, රෝහල් සංවර්ධන කමිටුවේ සභාපති පාලිත අමරවර්ධන මහතා සඳහන් කළේ ය. ඒවා ර`දවා තිබෙන භූමිය අසලින් වැටුණු ‘බොම්බෙ කාසල් ඇළ මාර්ගය’ ගලා බසින්නේ කරාපිටියේ අතිශයින්ම ජනාකීර්ණ පෙදෙස් ඔස්සේ ය.



‘දැන් කන්ටේනර්  පිරිලා. ඉතින් දිනපතා එකතු වන අපද්‍රව්‍ය ඇසුරුම් (කහපාට බෑග්) රඳවා තබන්නේත් එතැනමයි. මේ දවස්වල වහින වැසි නිසා ඒවා සේදී ඇළට ගලා යාමේ අවදානමකුත් තියෙනවා’, ඔහු කියන්නේ ය.


‘සායනික අපද්‍රව්‍ය’  යයි කියන්නේ, වෛද්‍ය ප‍්‍රතිකාර කටයුතුවල දී ඉවත් කෙරෙන ලේ තැවරුණු රෙදි, ගෝස්, ශල්‍යාගාරවලින් ඉවත් කරන යම් යම් ද්‍රව්‍ය, පාවිච්චි කළ එන්නත් සිරින්ජර්, ඉවත දමන අත්වැසුම් ආදී දේවල් ය. නොයෙකුත් රෝග කාරක පවා මුසු වුණු සායනික අපද්‍රව්‍ය,  ‘සාමාන්‍ය කසල’ මෙන් විවෘත පරිසරයට බැහැර කරන්නට හෝ වළලා දමන්නට නො හැකි ය. ඒවායින් විෂ බීජ පැතිරීමේ අවදානම, ද අධික ය. එබැවින් සෙන්ටිගේ‍්‍රඞ් අංශක 1200-3000ක පමණ තාපයකට හසුකර පුළුස්සා විනාශ කිරීම, ජාත්‍යන්තර සම්ප‍්‍රදායයි.


කලක් තිස්සේ ම, මේ කටයුත්ත පැවරී තිබුණේ ‘සිසිලි ප්‍රොජෙක්ට්ස්’ නම් පෞද්ගලික සමාගමකට ය. ඔවුන් මුලින් ම ඒවා පුළුස්සනු ලැබුවේ, කොළඹ මුල්ලේරියාව ප‍්‍රදේශයේ සවිකර තිබුණු දාහකයක ය. එහෙත් මහජන විරෝධතා හේතුවෙන් එය ඉවත්කර ගන්නට සිදු විය. ඉන් පසුව ඔවුහු රජයේ අනුමැතිය ද සහිතව සිය ‘දාහක සංකීර්ණය’ වත්තල කෙරවලපිටියේ ඉදි කළහ. එයින් එක් දාහකයක වැඩ නිම කළ ඔවුහු තමන් එක් රැස් කරන සායනික අපද්‍රව්‍ය එහි ගෙන ගොස් පුළුස්සා දැමූහ.


‘වත්තල ප‍්‍රාදේශීය සභාව සැප්තැම්බර් 12 වැනි දා  අපේ වෙළෙඳ බලපත‍්‍රය අවලංගු කළා. ඒ අය මේ  ගැන අපිත් එක්ක කතා කළේ වත් නෑ. අපි තමයි බස්නාහිර, දකුණ සහ මධ්‍යම යන පළාත්වල රජයේ රෝහල්වල ‘සායනික අපද්‍රව්‍ය’ පුළුස්සන කටයුත්ත කළේ. දැන් අපට ඒක කරන්න අවසරයක් නෑ. ඉතින් රෝහල්වල සායනික අපද්‍රව්‍ය ගොඩ ගැහෙනවා. ඒක බොහොම නරක තත්ත්වයක්. ඒත් මේ තත්ත්වය නිසා අපට කරන්න දෙයක් නෑ’, ‘අරුණ’ කළ විමසුමක දී ‘සිසිලි ප්‍රොජෙක්ට්ස්’ ආයතනයේ ප‍්‍රකාශකයෙක් කියා සිටියේ ය.


ඔවුන් කියන හැටියට, දැනට ලංකාවේ පිළිකා රෝහල්වල සායනික අපද්‍රව්‍ය ආරක්ෂා සහිතව පිළිස්සීමේ හැකියාව ඇත්තේ තම ආයතනයට පමණ ය. දැන් උද්ගතව ඇති තත්ත්වය නිසා ඒවා ද ගොඩ ගැසෙමින් තිබේ!


‘සිසිලි ප්‍රොජෙක්ට්ස්’ ආයතනය සඳහන් කරන අන්දමට, මුල්ලේරියාවේ දාහකය ඉවත්කර ගන්නට සිදු වීමෙන් පසුව ඔවුන්ට සිදු වූයේ මහත් අකරතැබ්බයකි. ඒ, සායනික අපද්‍රව්‍ය පුළුස්සන්නට තැනක් නැති වීමයි. ඉන් පසුව ඔවුහු රජයේ අනුමැතිය ඇතිව, කෙරවලපිටියේ ජන ශූන්‍ය භූමියක දාහක සංකීර්ණයක් ඉදි කරන්නට සැලසුම් කළහ. එය ඉදි කෙරෙන තුරු, රෝහල් පරිශ‍්‍ර තුළ රැඳවූ කන්ටේනර්වලට සායනික අපද්‍රව්‍ය රැස් කරන්නට පටන් ගත්හ.


‘සිසිලි ප්‍රොජෙක්ට්ස්’ ආයතනය සෞඛ්‍ය අමාත්‍යංශය සහ මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතිය සහිතව කෙරවලපිටියේ තැනූ අධිතාප දාහක සංකීර්ණය, දාහක දෙකකකින් සමන්විත ය. සම්පූර්ණයෙන් ක‍්‍රියාත්මක වන විට, එයින් දිනකට සායනික අපද්‍රව්‍ය ටොන් 15ක් පමණ දහනය කළ හැකි ය. ඉන් එකක් ඉක්මණින් වැඩ නිම කෙරුණු අතර, තමන්ට  පැවරුණු රෝහල්වල දෛනිකව එකතු වන සායනික අපද්‍රව්‍ය එහි ගෙන ගොස් පිළිස්සීම කර ගෙන ගියහ. දෙවැනි දාහකයේ වැඩ නිම වුණු පසුව, කන්ටේනර්වල අසුරා ඇති අපද්‍රව්‍ය තොග එහි ගෙන ගොස් දහනය කිරීම ඔවුන්ගේ සැලසුම විය. වත්තල ප‍්‍රාදේශීය සභාව, කෙරවලපිටිය ප‍්‍රදේශයේ ‘දාහකයක්’ පවත්වා ගෙන යාමට ‘සිසිලි ප්‍රොජෙක්ට්ස්’ ආයතනයට දී තිබුණු අවසරය අවලංගු කළේ මේ අතරවාරයේ ය!


කාරණය සම්බන්ධයෙන් විමසීමේ දී වත්තල ප‍්‍රාදේශීය සභාව පැත්තෙන් කියැවෙන්නේ, ‘දාහකය ඉදි කරලා තියෙන්නේ අවසරය දීපු තැන නෙමෙයි. ඒක නිසා මේක නීත්‍යානුකූල නෑ. ඒක නිසා තමයි අපි බලපත‍්‍රය අවලංගු කළේ’ යනුවෙනි.


සායනික අපද්‍රව්‍ය ආරක්ෂා සහිතව විනාශ නො කළ හොත් ඇතිවිය හැකි නරක තත්ත්වයන් ගැන දන්නා උදවිය කියන්නේ, වත්තල ප‍්‍රාදේශීය සභාව බස්නාහිර, දකුණ සහ මධ්‍යම යන පළාත්වල මහජනයා සහ රෝහල් පද්ධතියේ යහ පැවැත්ම ‘ප‍්‍රාණ ඇපයට’ ගෙන ඇති බවයි!


මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා, ‘දිනපතා අරුණ’ ඊයේ (16) පෙරවරුවේ අවස්ථා ගණනාවක ම වත්තල ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අමතන්නට උත්සාහ කළේ ය. එහෙත් ඔහු සම්බන්ධකර ගත නො හැකි විය.


සායනික අපද්‍රව්‍ය ගොඩ ගැසීමේ ප‍්‍රශ්නය වඩාත් බරපතල එකක් බවට පත්ව ඇත්තේ මේ දිනවල ඇද හැලෙන වර්ෂාව නිසා ය. ඒවා වැසි ජලයට මුසුව, ජල මාර්ගවලට ද එක් වුව හොත් ඇතිවිය හැකි තත්ත්වය අතිශයින් ම බරපතල ය. කොළඹ ජාතික රෝහලේ එකතු වුණු සායනික අපද්‍රව්‍ය තොග අසුරා ඇති කන්ටේනර් රඳවා ඇත්තේ ද රෝහල් ගොඩනැගිලිවලට ආසන්නයෙනි!


කරාපිටිය ශික්ෂණ රෝහලට බයෝ ගෑස් ව්‍යාපෘතියක් හඳුන්වා දුන් චතුර වැලිවිටිය මහතා, කසල කළමණාකරණ ක්ෂේත‍්‍රයේ අත්දැකීම් ලැබූ පරිසරවේදියෙකි. ඔහු කියන්නේ, රජය මගින් හෝ වේවා, පෞද්ගලික අංශය මගින්  හෝ වේවා, පළාත් මට්ටමින් දාහක දාහක ඉදි කිරීම, මේ ප‍්‍රශ්නයට ඇති විසඳුම බවයි.


සායනික අපද්‍රව්‍ය ඉවත්කර ගන්නට නො හැකි වීම නිසා බරපතල ම අපහසුතාවයට මුහුණ දී සිටින්නේ බස්නාහිර, දකුණ සහ මධ්‍යම යන පළාත්වල රජයේ රෝහල්වල පාලකයන් ය. ඔවුන්ට, ඔවුන්ගේ රාජකාරි වපසරිය තුළ මේ වෙනුවෙන් කළ හැකි දෙයක් ද නැත. එහෙත් රෝහල්වලට හෝ අවට පරිසරයට විෂ බීජ පැතිරීමේ අවදානම කළමනාකරණයකර ගත යුත්තේ ඔවුන් ය!


‘අරුණ’ පුවත්පතට ලැබුණු අතිශයින් ම විශ්වාසදායක තොරතුරු අනුව, ප‍්‍රශ්නයෙන් අසරණ වුණු ඇතැම් රෝහල් පාලකයන්, සුසාන භූමිවල පිහිටුවා ඇති ‘ආදාහනාගාරවල’ පිහිට පතන්නට සාකච්ඡාකර ඇති බව ද සැල වෙමින් තිබේ!

(මෙම ලිපිය 2019/09/17 දිනපතා අරුණ පුවත්පතේ පළවිය)