Total Pageviews

Thursday, August 29, 2019

උරුලෑවා ගිය පාර දිගේ අරුවක්කාලූවට ගියෙමු!


උරුලෑවා ගිය පාර දිගේ 
අරුවක්කාලූවට ගියෙමු!

කුණු ලොරිවලට පොලිස් ආරක්ෂාව

(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර සහ ජූඩ් සමන්ත)

 කොළඹ සිට පුත්තලමට දිවෙන ප‍්‍රධාන මහා මාර්ගය වැටී ඇත්තේ බස්නාහිර සහ වයඹ වෙරළ තීරය සමීපයෙනි. එයින් කොළඹ සිට පුත්තලමට ඇති දුර කිලෝමීටර් 135ක් පමණ වේ. පුත්තලමේ සහ වනාතවිල්ලූවේ මිනිස්සු පවසන අන්දමට, මේ මහා මාර්ගය දැන් හරියට, ‘උරුලෑවා ගිය පාර වාගේ ය. කොළඹ කුණු ටොන් ගණන් පටවා ගත් ට‍්‍රක් රථ විස්සකට වැඩි සංඛ්‍යාවක්, මධ්‍යම රාත‍්‍රියේ මුළු පුත්තලම් පාර ම ග`දගස්වමින් අරුවක්කාලූ ප‍්‍රදේශය දක්වා ප‍්‍රවාහනය කිරීම ඊට හේතුවයි. කොළඹ කුණුවල ගන්ධය මග දෙපස වැස්සන්ට උදේ කාලයටත් ඔක්කාරය හැදෙන තරම් ය!

කොළඹ එකතු වන කුණු තොග, පුත්තලම සිමෙන්ති කම්හලට අයත් අරුවක්කාලූ නම් ප‍්‍රදේශයට බැහැර කිරීමේ කටයුත්ත දැන් මහත් අර්බුදයක් බවට පත්ව තිබේ. පරිසරවේදීන් මෙන් ම,  පුත්තලමේ මහජනයා ද එයට එරෙහිව උග‍්‍ර විරෝධයක් පළ කිරීම ඊට හේතුවයි. කුපිත වුණු පිරිස් කුණු ගෙන යන ට‍්‍රක් රථවල ගමන අවහිර කරන්නට ද ගියහ. මේ තත්ත්වය නිසා කොළඹ කුණු රැගෙන යන ට‍්‍රක් රථ, පුත්තලම් යන්නේ දැඩි පොලිස් ආරක්ෂාව ද ඇතිව ය. මැදියම් රැයේ රහසින් ධාවනය කෙරුණ ද, පුත්තලම් පැත්තේ දී ඒවාට ගල් ප‍්‍රහාර ආදියෙන් ගරු සැලකිලි කෙරෙන බව ද වරින්වර අසන්නට ලැබේ!

පැරණි වහරේ එන හැටියට, ඔක්කොම කුණු බේරුවල් බොක්කට ය. එසේ වුවත් අරුවක්කාලූ කුණු ප‍්‍රශ්නයත් සමගම දැන් ඒ කතාව වෙනස්කර ගන්නට කාලය පැමිණ ඇති බවක් පෙනී යයි. ඒ අනුව ඔක්කොම කුණු අරුවක්කාලූවට කියා අලූත් කතාවක් හදා ගැනීමටත් පුළුවන!

කසල රඳවනය ඉදි වෙමින්

පුත්තලම කර්කශ ය. කල්පිටිය දෙසින් හමා එන සුළ පවා වියලි ය. නොරච්චෝලේ තාප විදුලි බලාගාරය සහ සුළං බලාගාර පද්ධතිය ද බොහෝ ඈතින් දිස් වෙයි.  පුත්තලමේ නාගරික කලබලයෙන් මිදී තවත් කිලෝමීටර් දහයක් පමණ දුර ගෙවා අපි ඉකුත් අහරුවාදා (අගෝස්තු-21)  ‘අරුවක්කාලු‘ ප‍්‍රදේශය සොයා ගියෙමු. කසල බැහැර කිරීමට එරෙහිව පැන නැගී ඇති උග‍්‍ර මහජන විරෝධය සහ එහි පසුබිමේ පවතින කරුණු පිළිබ`දව කරුණු අධ්‍යයනය කිරීම ගමනේ අරමුණ විය.

මහජනතාවගේ වහරෙන් ‘කුණු‘ යයි කීවාට, ආණ්ඩුවේ අය ඒවා හඳුන්වන්නේ ‘ඝන අපද්‍රව්‍ය‘ නමිනි.  ඒ අනුව, කුණු ඉවත් කිරීම යනු ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමයි. අලූත් වැඩ පිළිවෙලේ හැටියට ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කෙරෙන්නේ පුත්තලමේ දී ය. එනම්, බස්නාහිර සහ මහා නගර සංවර්ධන අමාත්‍යංශය මගින් ‘අරුවක්කාලූ‘ ප‍්‍රදේශයේ ඉදිකර ඇති  විද්‍යාත්මක කසල රවනයේ ය! එයට කුණු ප‍්‍රවාහනය ඇරඹුණේ ඉකුත් ජූලි මාසයේ ය. ඒ කුලියාපිටියෙන් ගෙනා කුණු ලොරියක් බැහැර කිරීමෙනි.

ඔවුන් මහජනයාට පොරොන්දුවී ඇති ආකාරයට, කොළඹ කසල අරුවක්කාලූවට ප‍්‍රවාහනය කෙරෙන්නේ බොහොම ක‍්‍රමානුකූලව ය. ඒ අනුව කොළඹ කසල, කැලණිය වනවාසල ප‍්‍රදේශයේ දී  ‘දිරා යන කසල‘ සහ ‘දිරා නො යන කසල‘ යනුවෙන් වර්ගීකරණය කෙරේ. ඉන් පසුව දිරා යන කසල, වත්තල ‘කෙරවලපිටිය‘ අංගනයට යැවේ. දිරා නො යන කසල ඇසුරුම්කර දුම්රිය මගින් පුත්තලමේ අරුවක්කාලූවට යැවේ. කරුණු මෙසේ වුව ද, දැන් පුත්තලමට ප‍්‍රවාහනය කෙරෙන්නේ ගන්දස්සාර, කලවම් කසල ය. ඒවා ප‍්‍රවාහනය  ‘උරුලෑ ගමනක්‘ යයි මහජන කතාබහක් හට ගෙන ඇත්තේ ඒ හින්දා ය!

‘ග උහුලන්න බෑ. කුණු ලොරි ආපු වෙලාවේ ගමේ සමහර අය වමනේ දැම්මා‘ ප‍්‍රදේශවාසීහු කීහ.

කොළඹ නගරයේ එකතු වන කුණු කසල, බැහැර කරන්නට තැනක් නැති වීමේ ප‍්‍රශ්නය දැඩි කතාබහට ආවේ, 2017 වසරේ අලූත් අවුරුදු දවසේ (අප‍්‍රියෙල් 14) මීතොටමුල්ල කුණු කන්ද නාය යාමත් සමගිනි. එයින් කඳු පාමුල විසූ  33 දෙනෙක් මියගියහ. ඒ  සමගම, කොළඹ කුණු බැහැර කිරීම සම්බන්ධයෙන් අලූත් සංවාදයක් හට ගත්තේ ය.

කොළඹට එකතු වන කුණු බැහැර කිරීම, කොළඹ මහ නගර සභාවේ රාජකාරියකි. බොහෝ කලකට ඉහත ඔවුන් කොළඹ කුණු කසල බැහැර කළේ ‘බ්ලූමැන්ඩල්‘ ප‍්‍රදේශයට ය. එයින් ‘බ්ලූමැන්ඩල් කුණු කන්ද‘ බිහිවිය. ඉන් පසුව මීතොටමුල්ල ප‍්‍රදේශයට කුණු බැහැර කෙරිණි. එයින් මීතොටමුල්ල කුණු කන්ද බිහිවිය. එයින් පසුව කොළඹ කුණු බැහැර කෙරුණේ පිළියන්දල ‘කරදියානට‘  කරදියාන කුණු කන්ද‘ එයින් නිර්මාණය විය. කල් යාමේ දී මෙම ස්ථානවලට කුණු බැහැර කිරීම සම්බන්ධයෙන් දැඩි මහජන විරෝධතා එල්ල විය. මීතොටමුල්ල කුණු කන්ද නිර්මාණය වන කාලයේ කොළඹ නගරයට දිනකට එකතු වුණු කසල ප‍්‍රමාණය මෙටි‍්‍රක් ටොන් 800ක් බව කියැවිණි. වර්තමානයේ එය මෙටි‍්‍රක් ටොන් 1200ක් දක්වා වැඩිවී ඇති බවට ගණන් බලා තිබේ. ඒවා බැහැර කරන්නට තැනක් හෝ නිසි ක‍්‍රමවේදයක් නැතිකම, කලක් තිස්සේ පවතින ගැටලූවකි. 
කලවම් කසල

කොළඹ කුණු පුත්තලමේ අරුවක්කාලූවට බැහැර කිරීම, මේ සම්බන්ධයෙන් සකස් කෙරුණු අලූත් ම ව්‍යාපෘතියයි. එය මහින්ද රාජපක්ෂ රජය පැවති සමයේ, ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කළ  ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කළ යෝජනාවකි. එහි සහන් කෙරුණු ආකාරයට, කසල රවනය ඉදි කිරීමට යෝජිතව තිබුණේ ‘අරුවක්කාලු‘ ඉසව්වේ  ගඟේවාඩිය ප‍්‍රදේශයට අයත්, කලා ඔයට ආසන්න භූමියක ය. එහෙත් ‘පාරිසරික බලපැම් අධ්‍යයන වාර්තාව‘ මගින් යෝජනාව ප‍්‍රතික්ෂේප කෙරිණි. යෝජිත භූමිය විල්පත්තුව වනෝද්‍යානයට ආසන්නයෙන් පිහිටා තිබීම, ඊට හේතුව විය. දැන් ක‍්‍රියාත්මක වෙමින් යන්නේ,  ඒ යෝජනාවේ තිබුණු සැලසුම නොවේ. වත්මන් යහපාලන රජයේ බස්නාහිර සහ මහා නගර සංවර්ධන අමාත්‍යංශය මගින් සැකසූ අලූත් ව්‍යාපෘතියකි.

‘අරුවක්කාලූව‘ ගමක් නොවේ. පුත්තලම දිස්ත‍්‍රික්කයේ වනාතවිල්ලූව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් එය, ස්වභාවික  ‘හුණුගල්‘ නිධියකි. පුත්තලම සිමෙන්ති කම්හල, සිය නිෂ්පාදන සදහා හුණුගල් හාරා ගන්නේ එයිනි. ආණ්ඩුව  රටට කියා ඇති ආකාරයට, කොළඹින් ගෙන යන කසල තොග බැහැර කරන්නේ හුණුගල් හාරා ගැනීමෙන් පසුව අත්හැර දැමුණු භූමියකට ය. එහි ඉදිකර ඇති  ‘විද්‍යාත්මක කසල රවනය‘ ය. එම භූමිය අරුවක්කාලූ හුණුගල් ප‍්‍රදේශයට අයත් ය.

‘අරුවක්කාලූ කසල රවනය‘ නිසා ප‍්‍රදේශයේ ගම්මාන ගණනාවකට බලපෑම් ඇති විය හැකි යයි, ඊට එරෙහිව හ නගන අය සහන් කරති. සේරක්කුලිය, කරතිව්, ග‍ෙඟ්වාඩිය, රාල්මඩුව, සින්න නාගවිල්ලූව, මංගලපුර, අලූත් එළුවන්කුලම සහ පරණ එළුවන්කුලම යන ගම්මාන ඒ අතර වේ. මේ කියන ඉසව්වේ පවුල් 5000ක් පමණ පදිංචිව සිටිති. ඔවුන් ගෙන් ඇතැමෙක් ධීවරයන් ය. ඇතැමෙක් ගොවීන් ය.

කුරුණෑගල පැත්තේ සිට මන්නාරම දක්වා විහිදෙන විශාල භූගත ජල නිධියක් අරුවක්කාලූව ඔස්සේ පැතිර ඇති බව පරිසරවේදීහු කියති. බැහැරලන කුණුවලින් වැසි කාලයට වහනය වන අප ජලය,  ඒවාට හෝ ප‍්‍රදේශයේ ජල උල්පත්වලට මුසු වුව හොත් මුළු වයඹ පළාතට ම මහත් ව්‍යසනයක් හට ගනිතැයි ඔවුහු බිය පළ කරති. එය සේරක්කුලිය කලපුවට  සහ එහි මත්ස්‍ය සම්පතට බලපාන බව ප‍්‍රදේශවාසීන්ගේ අදහසයි.

 ‘මේකේ හැමදාමත් හුණුගල් පුපුරුවනවා. හුණුගල් කඩනවා. ඉතින් පොළොව ඉරිතලනවා. මේ කාරණය නිසා කුණුවලින් එන අප ජලය භූගත ජල උල්පත්වලට කවලම් වීමේ අවදානමක් තියෙනවා‘ වනාතවිල්ලූව, ශාන්ත ජූඞ් දේවස්ථානයේ ක‍්‍රිස්ටි පෙරේරා පියතුමා කියන්නේ ය.

සේරක්කුලිය, අරුවක්කාලූ ප‍්‍රදේශයේ ඇති විශාලතම කලපුවයි. පවුල් 500ක් පමණ ඊට යාබද කරතිව් සහ සේරක්කුලිය යන ගම්මානවල ජීවත් වන්නෝ ය. ඔවුහු ධීවරයෝ ය. සේරක්කුලියට ගිය අපට, වනාතවිල්ලූව ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රී බුද්ධික ගිහාන්, එම්. ජෝර්ජ් සහ ඩබ්ලිව්. යූ. ඞී. ප‍්‍රනාන්දු යන මහත්වරු ද හමු විය. ඔවුහු, තමන් ඇතුළු ප‍්‍රදේශවාසීන් ‘අරුවක්කාලූ කසල රවනයට‘ එරෙහි වන්නේ මන්දැයි අපට පැහැදිලි කළේ කලපුව අයිනේ ඇති මාළු වාඩියකට කැවා ගෙන යමිනි.

‘අර බලන්න, ඔවුහු  කලපුවට එපිටින් පිහිටි අරුවක්කාලූ භූමියේ කසල රවනය ඉදිකර ඇති ස්ථානය අපට පෙන්වූහ.

ඔවුන්ගේ නිවාසවල සිට එතැනට ඇති දුර ප‍්‍රමාණය මීටර් 250ක් 300ක් පමණ වන බව අපට ද පෙනුණි. අනෙක, කසල  වනය ඉදිකර ඇති ස්ථානය, සේරක්කුලිය කලපුව සහ ජනාවාසය පිහිටි භූමියට වඩා උසින් වැඩි ය.

‘ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ හොට ම වැස්සා. මේ කලපුව එක පාරට ම රතුපාට වුණා. හුණුගල් හාරන තැනින් සේදිලා කලපුවට ආපු පස් නිසා තමයි එහෙම වුණේ. ඉතින් වැහි කාලෙට කුණුත් හේදිලා කලපුවට එන එක වළක්වන්න බැරි වේවි‘, ඩබ්ලිව්. යූ. ඞී. ප‍්‍රනාන්දු මහතා පැවසී ය.

බස්නාහිර සහ මහා නගර සංවර්ධන අමාත්‍යංශය පවසන පරිදි, ඔවුන් කොළඹ කසල බැහැර කිරීම සහා ‘විද්‍යාත්මක කසල රවනයක්‘ ඉදිකර ඇත්තේ  ‘අරුවක්කාලූ‘ නම් භූමියේ ය. එය ජන ශූන්‍ය භූමියකි. එබැවින් ජන ජීවිතයට බලපෑම් ඇති කරන්නේ නැත. එය ව්‍යාපෘතිය පිළිබව සැකසූ, ‘2017 අගෝස්තු  පාරිසරික බලපෑම් ඇගයීමේ වාර්තාවේ‘ 27 වැනි පිටුවේ ද සහන්කර තිබේ.

‘ඔය කතාව පට්ටපල් කෙප්පයක්. මහජනතාව නො මග යැවීමක්‘ යයි, සේරක්කුලිය ගමේ දී අපට හමු වුණු අය චෝදනා කළහ.

‘කසල රවනය හදාපු ඉසව්ව පොදුවේ අරුවක්කාලූව තමයි. ඒක හුණුගල් හාරන භූමිය බවත් ඇත්තයි. ඒත් මේක අයිති වෙන්නේ, ‘සේරක්කුලිය‘ ග‍්‍රාම නිලධාරී වසමටයි. අපි ඉන්න ‘සේරක්කුලිය‘ ග‍්‍රාම නිලධාරී වසමට අයත් භූමියේ. සේරක්කුලියේ විතරක් පවුල් 500කට වැඩිය ඉන්නවා. කුණු දාන තැන තියෙන්නේ, අපේ ගමේ කෙළවරේ ගෙදර ඉලා මීටර් 250ක් විතර දුරින්. ඒ කියන්නේ, කසල රවනයේ ඉලා මීටර් 250ක් දුරින් ගෙවල් තියෙනවා, මිනිස්සු පදිංචිවෙලා ඉන්නවා කියන එකයි. ඉතින් කොහොම ද ජන ශූන්‍ය වෙන්නේ, සේරක්කුලියේ ඩබ්ලිව්. යූ. ඞී. ප‍්‍රනාන්දු මහතා විමසයි!

කසල රවනය ඉදිකර ඇත්තේ ‘සේරක්කුලියේ බව‘ පාරිසරික බලපෑම් ඇගයීමේ වාර්තාවේ තවත් තැනක  සහන්කර තිබේ. එහෙත් ආණ්ඩුව රටට කියන්නේ එය ජන ශුන්‍ය අරුවක්කාලූවේ ඉදිකර ඇති බවයි. එය සත්‍යයක් නොවේ!

ප‍්‍රදේශවාසීන් පවසන අන්දමට, කොළඹින් ගෙන එන කසල ‘කලවම් කසල‘ ය. ඒවා දුර්ගන්ධයෙන් අනූනය. දියර ද වෑහෙයි. ගෙන එන කසල කෙලින් ම හුණුගල් හෑරූ වලවල් සහිත භූමියට බැහැර කෙරේ! කසල රවනය පිහිටි භූමියට පිටස්තර කිසිවෙකුට ඇතුළු වීමට අවසර නැත. ට‍්‍රක් රථ පවා එහි ඇතුළුකර ගන්නේ රිය සහායකයා පවා එළියේ රවමිනි. ඒ ඉසව්වේ දැඩි පොලිස් ආරක්ෂක මුරකාවල් යොදා තිබේ.

‘මේ ගොල්ලෝ මුලින් කියපු කතාවල හැටියට, කුණු ටික ගෙවල් පිටුපස්සට දමා ගත්තත් හොයි වගේ කියලයි අපට හිතුණේ. ඒත් දැන් ගේන්නේ ග ගහන කුණු. දැන් බලන්න අර පේන නොරච්චෝලේ බලාගාරේ හදන කොටත් ඔය වගේ සුරංගනා කතා කිව්වා. දැන් අළු කඳු ගණන්. අපේ අය කියන කොට එහෙමයි, කරන කොට මෙහෙමයි‘ කරතිව් ගමේ වැසියෙක් කීවේ ය.

ප‍්‍රදේශයේ පැතිර ඇති ආරංචි අනුව, ව්‍යාපෘතිය සහා ප‍්‍රදේශයේ මහජනයාගේ කැමැත්ත ලබා ගෙන ඇත්තේ, ඔවුන් නො මග යවමිනි. වැරදි තොරතුරු ඉදිරිපත් කරමිනි. එසේම, පාරිසරික ඇගයීම් වාර්තාව සකස්කර ඇත්තේ ද, වැරදි තොරතුරු ඉදිරිපත් කරමිනි.

මේ පිළිබ කළ විමසුමකට පිළිතුරු දෙමින්, වනාතවිල්ලූව ප‍්‍රාදේශීය සභාවේ සභාපති සමන්ත මුණසිංහ මහතා පැවසුවේ, ‘මේක කියපු විදිහට කරනවා නම් ප‍්‍රශ්නයක් නෑ. ඒත් මේ අය කරන්නේ ඒ කියාපු විදිහට නෙවෙයි. දැන් ඔන්න කලවම් කුණු ගේනවා. ඒක හානිදායකයි‘ යනුවෙනි.

අරුවක්කාලූවේ කුණු ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ඉකුත් ජූලි 31 වැනි දා කොළඹ දී විශේෂ සාකච්ඡාවක් පැවැත් විණි. එහි මුලසුන හෙබවූයේ රටේ ඉහළම තලයේ දේශපාලනඥයෙකි. වනාතවිල්ලූවෙන් ගිය සිවිල් නායකයෝ එහි දී ව්‍යාපෘතියෙන් සිදුවන හානි ගැන දීර්ඝ ලෙස පැහැදිලි කළහ. සියල්ල අසා ගෙන සිටි ඉහළම තලයේ දේශපාලනඥයා කියා සිටියේ, මට  ඕවා පිළි ගන්න බෑ. අපට මේ වැඬේ කරන්න ඉඩ දෙන්න‘ යනුවෙනි!

(පින්තූර - ජූඩ් සමන්ත)


(මෙම ලිපිය 2019/08/25 වැනි දා සතිඅග අරුණ පුවත්පතේ පළවිය.)

No comments:

Post a Comment