Total Pageviews

Thursday, May 14, 2015

මව්කිරි නැති දා මියෙන බිළින්දෝ


                                                                අලුත උපන් බිළිඳුන් ගෙන් 
                         සියයට 25ක් මව්කිරි නැතිව මරුට

 
(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)

සමස්තයක් වශයෙන් ගත් කල, ලංකාවේ මහජන සෞඛ්‍යය හොඳ මට්ටමක පැවතිය ද, ළමා හා මාතෘ සෞඛ්‍යය මෙන්ම පෝෂණ තත්ත්වය ද යහපත් මට්ටමක නැති බව, එක්සත් ජාතීන්ගේ ළමාරක්ෂක අරමුදල (යුනිසෙෆ්) සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඇතුළු ඒ පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශව පෙන්වා දෙයි. විශේෂයෙන්ම වතුකරයේ සහ ග‍්‍රාමීය ප‍්‍රදේශවල එය නරක මට්ටමක පවතින බව, ඔවුන්ගේ අදහසයි. ‘ලංකාවේ යුනිසෙෆ් කාර්යාලය’ සිය වෙබ් අඩවියෙහි ද මේ තොරතුරු පළකර ඇත. එසේම සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වාර්ෂිකව නිකුත් කරන ‘සෞඛ්‍ය දත්ත වාර්තාවේ’ ^Annual Health Bulaten& 2012 අලූත්ම කලාපයෙන් ද කාරණය ඉස්මතුකර තිබේ. රට තුළ එක්වරම නො පෙනෙන ළමා හා මාතෘ මන්දපෝෂණ තත්ත්වයක් ඇති බව ඉන් තහවුරු වේ.

ළමුන්ගේ සහ මව්වරුන්ගේ සෞඛ්‍යය හා පෝෂණ ගැටළුව අද-ඊයේ පැන නැගුණක් නොවේ. එය දශක කිහිපයක් තිස්සේම හට ගත් යම් යම් ප‍්‍රවණතාවල ප‍්‍රතිඵලයකි. රට තුළ මෙබඳු තත්ත්වයක් උද්ගතව ඇත්තේ එදා-මෙදාතුර බලයේ සිටි විවිධ ආණ්ඩු ළමා සහ මාතෘ පෝෂණ තත්ත්වය ඉහළ දමන්නට නොයෙක් වැඩ සටහන් ද ක‍්‍රියාත්මකකර තිබිය දී ය. දැන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුව ද ගැබිණි මව්වරුන්ට රුපියල් විසි දහසක පෝෂණ මල්ලක් පිරිනමමින් සිටින්නේ ය. එය ඉතා හොඳ දෙයකි. මෙහි දී තවත් එක් කාරණයක් සැලකිල්ලට ගත යුත්තේ ය. එනම්, ළමා සහ මාතෘ පෝෂණය පිළිබඳ ජන සමාජයේ පවතින ‘ආකල්ප’ සහ ‘ඇබ්බැහිකම්’ ද නිසි පෝෂණයක් නො ලැබීම කෙරෙහි බලපා ඇති බව ය.!

කෙසේ හෝ වේවා, රටේ බහුතර පිරිසක් මන්දපෝෂණයෙන් ද, තවත් පිරිසක් අධික පෝෂණය නිසා හට ගත් ‘තරබාරුව’, ‘දියවැඩියාව’ සහ ‘අධික රුධිර පීඩනය’ වැනි රෝගී තත්ත්වයන් ගෙන් ද පෙළෙමින් සිටිති. මෙහි තේරුම වන්නේ, රටේ බහුතරයකට සමබර ආහාර වේලක්, ප‍්‍රමාණවත් තරමට නො ලැබෙන බව ය. තවත් බහුතර පිරිසකගේ ආහාර රටාව සහ ජීවන චර්යාවන් අසංවිධිතවී ඇති බව ය.

යුනිසෙෆ් කාර්යාල වෙබ් අඩවිය, 2012 සෞඛ්‍ය දත්ත වාර්තාව සහ අනෙකුත් සෞඛ්‍ය සමීක්ෂණවල තොරතුරු අනුව, ලංකාවේ මන්දපෝෂණ ගැටළු තුනක් හඳුනා ගත හැකි ය. ‘ගර්භිණී කාන්තාවන් මුහුණ දෙන නීරක්තිය ඇුතුළු මන්දපෝෂණ තත්ත්වය’ ඉන් එකකි. දෙවැන්න, ‘වයස අවුරුදු 05ට අඩු දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වයයි’. තුන් වැන්න, ‘ළදරු මරණ සංඛ්‍යාව පිළිබඳ’ ප‍්‍රශ්නයයි.

නීරක්තිය

ජන ව්‍යවහාරයේ දී ‘නීරක්තිය’ නමින් හැඳින්වෙන මන්දපෝෂණ ප‍්‍රශ්නය, ඉතා බරපතල කාරණයකි. එහි තේරුම ශරීරයට අවශ්‍ය තරම් ‘යකඩ ඛණිජ’ නො ලැබෙන බවයි. සමහරු මෙය ‘ලේ හිඟකම’ ලෙස ද, ‘රක්ත හීනතාවය’ ලෙස ද හඳුන්වති. එයින් පෙළෙන්නෝ, ඉතා දුර්වල ඈලි-මෑලි මානව ක‍්‍රියාකාරකම් පෙන්වන බව, සෞඛ්‍ය හා පෝෂණවේදීන්ගේ මතයයි. ලංකාවේ නීරක්තිය සම්බන්ධයෙන් දත්ත ඉදිරිපත් වුණු ආසන්නතම සමීක්ෂණය පවත්වා ඇත්තේ, ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවයි. ඒ ඔවුන් කළ,  z2006-2007 Demographic Health SurveyZ’ සමීක්ෂණයෙනි. එහි දැක්වෙන ආකාරයට, වයස අවුරුදු 05ට අඩු දරුවන් ගෙන් සියයට 33ක් ද, ගැබිණි කතුන්ගෙන් සියයට 34ක් ද, නීරක්තියෙන් පෙළෙන්නෝ ය. 2000 වසරේ දී විවාහක කතුන් ගෙන් සියයට 22ක් ද නීරක්තියෙන් පෙළුණු බව එහි දක්වා තිබේ. යුනිසෙෆ් වෙබ් අඩවිය 2012 වසරේ නිකුත් කළ දත්ත අනුව, මාස 06-11 අතර වයස ළදරුවන් ගෙන් සියයට 58ක් ද, මාස 12-23 අතර වයස දරුවන් ගෙන් සියයට 38ක් ද නීරක්තියෙන් පෙළෙන්නෝ ය.

මේ දත්ත මගින් කියන කතාවේ යටිපෙළ කුමක් ද?, රටේ බහුතරයක් ගැබිණි කතුන්ට මෙන්ම, කිරි බොන වයසේ දරුවන් සිටින අම්මලාට ද නිසි ආහාර වේලක් නො ලැබෙන බව ය. එසේම වයස අවුරුදු 05ට අඩු දරුවන් ගෙන් තුනෙන් එකකට පමණ මව්කිරි ඇතුළු ළදරු ආහාර ප‍්‍රමාණවත් තරම් නො ලැබෙන බව ය. එක්කෝ ඔවුන්ට ප‍්‍රමාණවත් පෝෂණයෙන් යුත් සමබර ආහාර වේලක් ලබා ගැනීමට තරම් වත්කමක් නැතිවා විය හැකි ය. නැතිනම්, නො දන්නාකම, පෞද්ගලික ඇබ්බැහිකම් හෝ ‘පෝෂණය සම්බන්ධයෙන් සලකා නො බැලෙන ආහාර චර්යාවන්’ නිසා සමබර ආහාර වේලක් නො ලබනවා වන්නට ද පුළුවන. කෙසේ හෝ වේවා, ඔවුන් කුසගින්නේ සිටින බව පැහැදිලි ය. නීරක්තිය පැතිරයාම රටක් හැටියට බරපතල ප‍්‍රශ්නයක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. එය මන්දපෝෂණ තත්ත්වයකි.

ළදරු මන්දපෝෂණය

ළදරු මන්දපෝෂණය හෙවත් වයස අවුරුදු පහට වඩා අඩු දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වය, රට මුහුණ දෙන අනෙක් බරපතල පෝෂණ ගැටළුවයි. ඒ වයසේ ළදරුවන්ට මව්කිරි ඇතුළු ළදරු ආහාර ප‍්‍රමාණවත් තරම් නො ලැබීමත්, ඔවුන් මව්කුස සිටි සමයේ මව්වරුන්ට ප‍්‍රමාණවත් තරම් පෝෂණයක් නො ලැබීයාමත් නිසා ප‍්‍රශ්නය හට ගෙන තිබේ.

එහි පැතිකඩ කිහිපයකි. එනම්, ‘වයසට සරිලන තරම් බර නැතිකම’, ‘ශරීර උසට සරිලන තරම් බර නැතිකම’, හා වයසට සරිලන තරම් උස නැතිකම’ යනුවෙනි. යුනිසෙෆ් ආයතනය සහ සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් ‘පවුල් සෞඛ්‍ය කාර්්‍යාංශය’ 2012 වසරේ දී මේවා සම්බන්ධයෙන් වෙන වෙනම සමීක්ෂණ පවත්වා තිබේ. ඒවායෙහි දත්ත යුනිසෙෆ් වෙබ් අඩවියෙහි ද, 2012 වාර්ෂික සෞඛ්‍ය දත්ත වාර්තාවේ ද පළකර ඇත.

ඉන් පෙන්වා දෙන බරපතලම ගැටළුව වන්නේ, ‘බර අඩුකම’ හෙවත් වයස අවුරුදු පහට අඩු ළමුන්ගේ, වයසට සරිලන තරම් බර නැතිකමේ ^Under Weight& ගැටළුවයි. යුනිසෙෆ් සමීක්ෂණයට අනුව, 2001 වසරේ ලංකාවේ වයස අවුරුදු 05ට අඩු දරුවන් ගෙන් සියයට 29.7ක් බර අඩුකමින් පෙළුණහ. 2012 වසරේ දී එය සියයට 23.5ක් දක්වා පහත වැටී තිබිණි. එහෙත් රජයේ පවුල් සෞඛ්‍ය කාර්්‍යාංශය පෙන්වා දෙන්නේ, 2012 දී එය සියයට 17.3ක් වන බවයි!

ශරීර උසට තරම් බර නැතිකම ^Wasting&" ලංකාවේ වයස අවුරුදු 05ට අඩු දරුවන් මුහුණ දෙන අනෙක් බරපතල පෝෂණ ප‍්‍රශ්නයයි. යුනිසෙෆ් ආයතනයේ සමීක්ෂණයට අනුව 2001 දී එය සියයට 13.9කි. 2012 දී එය සියයට 19.6කි. රජයේ පවුල් සෞඛ්‍ය කාර්්‍යාංශයේ 2012 වාර්තාවට අනුව, මේ සංඛ්‍යාව සියයට 14කි.

2012 වාර්ෂික සෞඛ්‍ය දත්ත වාර්තාවේ දැක්වෙන ආකාරයට, වත්මන් ලංකාවේ අඩු බර දරු උපත් අනුපාතය සියයට 16.3කි. අඩු බර දරු උපත් ඇති වන්නේ, මාතෘ මන්දපෝෂණය හේතුවෙනි.

වයසට සරිලන තරම් උස නැතිකම ^Stunting&, හෙවත් ‘කුරුවීම’, වයස අවුරුදු 05ට අඩු දරුවන් මුහුණ දෙන ඊළඟ මන්දපෝෂණ ගැටළුවයි. යුනිසෙෆ් තොරතුරු අනුව එම සංඛ්‍යාව, 2001 දී සියයට 14.2ක් ද, 2009 දී සියයට 19.8ක් ද, 2012 දී සියයට 13.1ක් ද විය. රජයේ පවුල් සෞඛ්‍ය කාර්්‍යාංශය කියන ආකාරයට 2012 දී එම සංඛ්‍යාව සියයට 11.4කි.

වෙන් වෙන් ආයතන විසින් කළ සමීක්ෂණ දෙකකින් උපුටා ගත් බැවින්, ඉහත කියවූ දත්තවල වෙනස්කම් තිබිය හැකි ය. එහෙත් සමස්තයක් ලෙස ඉන් පිළිබිඹු වන කාරණය ඉතා බරපතල ය. එනම් ළදරුවන්, මව්වරුන් ද ඇතුළු රටෙන් හතරෙන් එකක් වත් දරුණු මන්දපෝෂණයට බිළිවී ඇති බව ය. කවර හෝ හේතූන් නිසා ඔවුන්ට ප‍්‍රමාණවත් තරම් පෝෂණයෙන් යුත් ආහාර වේලක් නො ලැබෙන බවය. මෙය එක් පැත්තකින් පෝෂණය පිළිබඳ ගැටළුවක් පමණක්ම නොවේ. දරිද්‍රතාවය පිළිබඳ ප‍්‍රශ්නයක් ද වෙයි. මන්දපෝෂණය සහ දරිද්‍රතාවය යනු එකට ගමන් ගන්නා ප‍්‍රපංචයන් බව ප‍්‍රකට කාරණයකි.

 

ළදරු මරණ 

(Pic-Theguardian)

‘ළදරු මරණ’ යනු  ඕනෑම කෙනෙකුගේ හිත් කීරි ගැසෙන තරම් කාරණයකි. ඉන් අදහස් කෙරෙන්නේ වයස අවුරුදු 05ට අඩු දරුවන්ගේ ‘මර්ත්‍යතාවයි. මරණ සංඛ්‍යාවයි. 2012 සෞඛ්‍ය දත්ත වාර්තාවට අනුව, 1999 වසරේ දී අලූත උපන් දරුවන්ගේ මරණ අනුපාතය, සජීවී උපත් 1000කට 10.6කි. එය 2009 වසර වනවිට 6.4ක් දක්වා පහත වැටී තිබිණි. 2009 වසරේ ළදරු මරණ සංඛ්‍යාව, සජීවී උපත් 1000කට 9.7ක් විය. වයස අවුරුදු 05ට අඩු දරුවන්ගේ මරණ සංඛ්‍යාව, 2009 දී සජීවී උපත් 1000කට 12.1ක් විය.

යුනිසෙෆ් වෙබ් අඩවිය ලංකාවේ ළදරු මරණ සම්බන්ධයෙන් තවත් හිත් කීරි ගැසෙන දත්තයක් පළකර තිබිණි. එනම්, ලංකාවේ සිදුවන ළදරු මරණවලින් සියයට 25කටම හේතුව, ඒ බිළිඳුන්ට ප‍්‍රථම මාසයේ දී ප‍්‍රමණවත් තරම් මව්කිරි නො ලැබීම බවයි!
 දේශපාලන හෝ මැතිවරණ ‘නාඩියට’ හරිහැටි හසු නො වන, ලංකාවේ මන්දපෝෂණ ප‍්‍රශ්නය අතිශයින් බියකරු බව මේ තොරතුරුවලින් පෙනී යන්නේ ය.
 

ඉරුදින/2015.04.19.

No comments:

Post a Comment