Total Pageviews

Wednesday, February 17, 2021

‘සිරස ලක්ෂපති’ ජයගත් ශුක්රා දැරිය අහම්බයක් නොවේ! ඇය ගාල්ල, උණවටුණ වෙරළබඩ උගතුන්ගේ තීරුවේ අලුත් ම නියෝජනයයි

 


සිරස ලක්ෂපතිජයගත් ශුක්රා මුනව්වර් දැරිය අහම්බයක් නොවේ!

ඇය ගාල්ල, උණවටුණ ඔස්සේ දිවෙන,

වෙරළබඩ උගතුන්ගේ තීරුවේ අලුත් ම නියෝජනයයි

 


(ක්‍රිෂ්ණ විජේබණ්ඩාර)

ගාල්ල, වියත් කලාකරුවන් සහ විද්වතුන් රාශියකගේ උපන් බිමයි. ඒ අතරින් තවත් ගාලු වියතුන් තිදෙනෙකු ඉකුත් දිනවල අපෙන් සමුගෙන ගියහ. වර්ෂ 1921 දී ගාල්ලේ කොග්ගල උපන් මහාචාර්ය සිරිමල් රණවැල්ල, 1922 දී උණවටුනේ ජන්ම ලාභය ලැබූ කලාශූරී, ආචාර්ය එඩ්වින් ආරියදාස සහ ගිංතොට දී 1937 වසරේ උපත ලද මහාචාර්ය බන්දුසේන ගුණසේකර, ඒ තුන් දෙනා ය. මින් මහාචාර්ය සිරිමල් රණවැල්ල මහතා 2020 වසරේ දෙසැම්බර් 26 වැනි දාත්, මහාචාර්ය බන්දුසේන ගුණසේකර මහතා 2021 ජනවාරි 06 වැනි දාත්, ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා 2021 ජනවාරි 22 වැනි දාත් මියැදී තිබුණේ ය.

ඔවුන්ගේ අභාවයන් සමගම, ගාලු ජන සමාජයේ කතාබහට ලක් වූ තවත් සිදු වීමක් වූයේ උණවටුණේ, කටුගොඩ පදිංචි දාහත් හැවිරිදි පාසැල් සිසුවියක් සිරසරූපවාහිනී නාලිකාවේ ජනප්‍රිය ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් වූ සිරස ලක්ෂපතිජයග්‍රහනය කිරීමයි. මාගාල්ලේ සුධර්මා විද්‍යාලයේ උසස් පෙළ හදාරමින් සිටින ඇය, 2021 ජනවාරි 25 වැනි දා පැවති ලක්ෂපතිවැඩ සටහනින් ජය ලබා රුපියල් මිලියන දෙක ම දිනා ගත්තා ය. ඇය ශුක්රා මුනව්වර් මෙනවියයි’. ඇය වැඩ සටහනෙහි දී පිළිතුරු දෙමින් හැසිරුණු ආකාරය, මුළු රටේ ම ප්‍රසාදයට හේතු විණි.

ශුක්රාලක්ෂපති වැඩ සටහන අතරතුර දී පැවසූ ආකාරයට, ඇගේ පියා ලෙඩ ඇඳේ ය. තමන්ට සියලු දෑ සරිකර දෙන්නී ඇගේ මෑණියන් ය. ඔවුන්ට අගහිඟකම් එමට ය. කොරෝනා වසංගතයනිසා දැන් අධ්‍යාපන ක්‍රියාවලිය සිදු වන්නේ ඔන් ලයින්ක්‍රමයට ය. එහෙත් ඇයට ඒ සඳහා මුහුණ දීමට වත්කමක් නැත. ශුක්රා දියණිය සිරස ලක්ෂපතියටගොඩ වැදී ඇත්තේ ලැප්ටොප් පරිගණකයක්මිල දී ගැනීමට මුදල් සොයා ගැනීමේ අපේක්ෂාවෙනි. පාසැල් දරුවන් බොහොම දෙනෙක් දරිද්‍රතාවයෙන් පෙළෙන බව ද ඇය සඳහන් කළා ය. ඇගේ ජයග්‍රහනය වාර්තා කෙරුණේ ජනවාරි 25 වැනි දා ය. එදා පටන් ශුක්රා සමාජ මාධ්‍යවල කතාබහට සහ අවධානයට ලක්ව සිටින්නී ය. 

ශුක්රා උපන් උණවටුණ, ගාලු දිසාවෙන් රටට බිහිවූ වියතුන් විශාල පිරිසකගේ නිජබිම ය. ගාලු නගරයේ සිට අහංගම දක්වා වෙරළබඩ තීරුව ගත් විට, ගිහි පැවිදි වියතුන් රැසක් මුණගැසෙති. සමස්ත ගාලු දිස්ත්‍රික්කය ම ගත් විට, වියතුන්, සාහිත්‍යකරුවන්, කලාකරුවන් ආදී උගතුන්ගේ පාරාදීසයක් බඳු ය. ඒ අර්ථයෙන් ගත් කල, මහාචාර්ය සිරිමල් රණවැල්ල, මහාචාර්ය බන්දුසේන ගුණසේකර සහ ආචාර්ය එඩ්වින් ආරියදාස යනු සුවිශේෂ චරිත බව කිවයුතු ය.

සිරිමල් රණවැල්ල සහ එඩ්වින් ආරියදාස දෙපල ද උපන්නේ කොග්ගල සහ ඊට නුදුරින් පිහිටි උණවටුණ ප්‍රදේශයේ ය. මහාචාර්ය සිරිමල් රණවැල්ල මූලික අධ්‍යාපනය ලබන්නේ උණවටුණේ සිංහල බෞද්ධ මිශ්‍ර පාසැලෙනි’. ඔහු වර්ෂ 1953 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ඉතිහාසයවිෂය හදාරයි. රණවැල්ලගේ උනන්දුව ශිලා ලේඛනසම්බන්ධයෙනි. පසුව ඔහු සහකාර කථිකාචාර්යවරයෙකු වශයෙන් එවකට විද්‍‍ේ‍යා්දය විශ්ව විද්‍යාලයට (වර්තමාන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) එක් වෙයි. ඒ අතර බි්‍රතාන්‍යයේ ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධිය හදාරයි. රටට ප්‍රසිද්ධ මහාචාර්ය සිරිමල් රණවැල්ල ඉතිහාසඥයෙකි. රුහුණේ ඉතිහාසය සම්බන්ධ විද්වතෙකි. ඔහු ලියූ පර්යේෂණ ග්‍රන්ථ ද ගණනාවකි.

ආචාර්ය එඩ්වින් ආරියදාසයන් ද මුල් අධ්‍යාපනය ලබන්නේ උණවටුණේ සිංහල බෞද්ධ මිශ්‍ර පාසැලෙනි’. ඉන් පසුව උණවටුණේ බොනවිස්ටා විද්‍යාලයෙනි’. එතැනින් ඔහු කොළඹ විශ්ව  විද්‍යාලයට ඇතුළු වෙයි. එහි දී ඔහු මහාචාර්ය ඊ. එපේ. සී. ලුඩොවයික් මහතා යටතේ ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරන්නේ ය. විශ්ව විද්‍යාල ජීවිතයෙන් පසුව එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමට’ (ලේක්හවුස්) බැඳුණු ඔහු පුවත්පත් කලාවේදියෙකු වශයෙන් නැගී ආවේය. මාධ්‍ය ගුරුවරයෙකු, විදෙස් විත්ති විචාරකයෙකු, කලා විචාරකයෙකු සහ ලේඛකයෙකු වශයෙන් විවිධ භූමිකාවන්ට පණ දුන්නේ ය. එඩ්වින් ආරියදාස මහතා ප්‍රකටව සිටියේ ඇවිදින විශ්ව කෝෂයක්යනුවෙන් මහත් ගරු බුහුමනිනි.

මහාචාර්ය බන්දුසේන ගුණසේකර මහතා පදිංචිව සිටියේ ගාල්ල නගරයේ ය. ඔහුගේ උපන් ගම, ගාල්ලට නුදුරු ගිංතොට ය. දඩල්ලේ ගා/දේවානම්පියතිස්ස විද්‍යාලයෙන් දෙටුපෙළ සමත් වන  බන්දුසේන ගුණසේකර, ‘ආධුනික ගුරුවරයෙකුවශයෙන්  වර්ෂ 1951 දී වැල්ලේතොට සුගතානන්ද විද්‍යාලයට එක් විය. ඉන් පසුව ගම්පහ, නිට්ටඹුව ගුරු විදුහලට බැඳී වැඩිදුර ගුරු පුහුණුව ලබා, එතැන් සිට ගුරු වෘත්තියෙහි නියැලුණේ ය.

බන්දුසේන ගුණසේකරයන් ඉක්බිති, වැඩිදුර අධ්‍යාපනය පිණීස වර්ෂ 1959 දී ශ්‍රී ලංකා විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයට’ (වර්තමාන කැළණිය විශ්ව විද්‍යාලය) බැඳුණි. එයින් ඔහු ප්‍රථම උපාධිය ලැබී ය. සිංහල භාෂාව සහ සාහිත්‍ය සම්බන්ධයෙන් ඔහුට තිබුණේ විශාල උනන්දුවකි. හෙතෙම, 1968 දී සහකාර කථිකාචාර්යවරයෙකු වශයෙන් විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයට එක් විණි. පසුව බන්දුසේන ගුණසේකර සූරීහු එහි සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්යවරයා බවට පත් විය. ඔහු 1971 දී එංගලන්තයට ගොස්, ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධිය ලබා ගත්තේ ය. 1985 වසරේ අධි ශිෂ්‍යත්වයක් ලැබ සෝවියට් දේශයට ගිය ගුණසේකර මහතා, එ රට පුෂ්කින් භාෂා අධ්‍යන ආයතනයෙන්ද වැඩිදුර අධ්‍යාපනය ලැබී ය. විශ්‍රාම යෑමෙන් පසුව ද ඔහු රුහුණු විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ උපදේශක මහාචාර්යවරයෙකු වශයෙන් ද සේවය කළේ ය. මහාචාර්ය බන්දුසේන ගුණසේකර මහතා විසින් රචනාකර ඇති ග්‍රන්ථ සංඛ්‍යාව සියයක් පමණ වේ.

සිරස ලක්ෂපතිදිනූ ශුක්රා මුනව්වර්දැරිය උපන් කටුගොඩ ද පිහිටියේ උණවටුණට අයත්ව ය. එය ගාලු දිසාවෙන් බිහිවුණු විද්වතුන්, වියතුන් සහ කලාකරුවන් විශාල පිරිසකගේ ද නිජබිම ය. ගාලු නගරයේ සිට අහංගම දක්වා වෙරළබඩ තීරුව ගත් විට, ගිහි පැවිදි වියතුන් රැසක් මුණ ගැසෙති.

ශ්‍රී ලංකාව් ජල විදුලිබලාගාර නිර්මාණයේ පුරෝගාමියා වූ ඩී. ජේ. විමලසුරේන්ද්‍ර (1874-1953) ඉංජිනේරුවරයා ද, ලොව පතළ විද්‍යාඥයෙකු වූ මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම (1923-1994), මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර (1914-1996), සංගීතඥයෙකු වූ මොරිස් දහනායක (1935-2013), ළමා කතා හා කාටුන් ශිල්පිනී සිබිල් වෙත්තසිංහ (1928-2020), ලංකාවේ වීදි නාට්‍ය කලාවේ පුරෝගාමියා සේ සැලකෙන මහාචාර්ය ගාමිණී හත්තොටුවේගම  (1938-2009) යන විද්වතුන් බිහි වූයේ ද ගාල්ලෙනි. ලංකාවේ ඉංග්‍රීසි නාට්‍ය කලාවේ සහ නූතන නාට්‍ය කලාවේ පුරෝගාමියා සේ සැලකෙන මහාචාර්ය ඊ. එපේ. සී. ලුඩොවයික් මහතා (1906-1985) ද හැදී වැඩුණේ ගාල්ලේ ය.

මුලින් සඳහන් කළ මහාචාර්ය සිරිමල් රණවැල්ල සහ ආචාර්ය එඩ්වින් ආරියදාස දෙපළගේ උපන් බිම ද කොග්ගල සහ උණවටුණ ය. ඊට අමතරව, මහාකවි මිහිරිපැන්නේ ධම්මරතන නාහිමියන් (1768-1851), කොග්ගල පඬිතුමා හෙවත් දොන් අන්ද්‍රයස් ද සිල්වා (1827-1867), මහාචාර්ය සෙනරත් පරණවිතාන (1896-1978), මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ (1890-1976), මහාචාර්ය සේනක විලියම් බිබිලේ (1920-1977), සාහිත්‍යසූරී අරීසෙන් අහුබුදු (1920-2011), හෙළ හවුලේ  ද. දු. න. වීරකෝන්, මහාචාර්ය නන්දදාස කෝදාගොඩ (1929-1997), මහාචාර්ය ඩී. වී. ජේ. හරිශ්චන්ද්‍ර (1938-2013), කෝදාගොඩ ඤාණාලෝක නාහිමි, ප්‍රවීණ ලේඛක පී. මලල්ගොඩ (1921-1985), ප්‍රවීණ පුවත්පත් කලාවේදී කිත්සිරි නිමල්ශාන්ත (1956-2002), සර්වෝදයේ නිර්මාතෘ ආචාර්ය ඒ. ටී. ආරියරත්න (1931), ප්‍රවීණ ලේඛක අනදපිය කුඩාතිහි ඇතුළු විද්වතුන් රැසක් ඒ අතර වේ. ඔවුන් එක්කෝ අහංගම ය. නැතිනම් කතළුවේ ය. කොග්ගල හෝ මිහිරිපැන්නේ ය. නැතිනම් උණවටුණේ ය.  මහා පත්‍ර කලාවේදී ඩී. බී. ධනපාලයන් (1905-1971) , ගාලු මහින්දයේ ඉගෙන ගන්නා කාලයේ නැවතී සිටියේ ද උණවටුණේ ය. ලෝක ප්‍රකට අභ්‍යවකාශ විද්‍යාඥයෙකු වන ආචාර්ය ආතර් සී. ක්ලාක් ද කලක් උණවටුණේ නිවසක ලැගුම් ගෙන සිටි බව ප්‍රකට ය.

කොග්ගල වෙල්ලාල ජයමහ කවියා, ලේඛක ඒ.  ටී. සී. ජිනදාස, විශේෂ`ඥ හෘද උරස් ශල්‍ය වෛද්‍ය, නාමල් ගමගේ, චන්ද්‍රකුමාර වික්‍රමරත්න කවියා (1964-1990), කුමාර හෙට්ටිආරච්චි කවියා, ජන ගී ගායක සමන් ලෙනින් කුමාර, නාටය කලාකරුවෙකු වන පී. එච්. ඩේවිඩ්, සහරිසි කුලතන්තිල කවියා, මිහිරිපැන්නේ කිත්සිරි කුමාරසිංහ කවියා ද උපන්නේ උණවටුණේ හෝ ඒ අවට ගම්වල ය.

මේ ඉසව්වෙන් බිහි වූ ව්‍යාපාරිකයන් ද බොහොම දෙනෙකි. උණවටුණ අමරගිරි වලව්වේවාසය කළ  වැවිලිකරුවෙකු වූ මුහන්දිරම් මහේන්ද්‍රපාල තෝමස් ද සිල්වා අමරසූරිය (1847-1907), බඩු භාණ්ඩ අපනයන ව්‍යාපාරයක යෙදුණු පවුලක සාමාජිකයෙකුවූ, ශුක්රා දැරියගේ නිජබිමවූ කටුගොඩ  උපන්  අල්හාජ් ඒ. ආර්. එම්. තාසිම්, ‘ට්‍රයැඩ්’, ‘දෙරණ මාධ්‍ය ජාලය’, ‘සිට්‍රස් සංචාරක හෝටල් ව්‍යාපාරයසහ ජොර්ජ් ස්ටුවට්ඇතුළු වෙළෙඳ ව්‍යාපාර ගණනාවක ම හිමිකරුවා වන දිලිත් ජයවීර ද ඔවුන් අතර කැපී පෙනෙයි.

බඩු භාණ්ඩ අපනයන ව්‍යාපාරයක යෙදුණු පවුලක සාමාජිකයෙකුවූ අල්හාජ් ඒ. ආර්. එම්. තාසිම් මහතා, 1909 වසරේ ගාල්ල කටුගොඩ දි උපත ලැබී ය. ඔහු දානපතියෙක් සහ සමාජ සේවකයෙක් හැටියට ද ප්‍රකට වුවෙකි. ගාල්ලේ ඒ. ආර්. අබ්දුල් හමීඩ් සහ පුත්‍රයෝසමාගම ඔවුන්ගේ පවුලේ ව්‍යාපාරය විය. එයින් ගාලු වරාය ඔස්සේ රබර්, කොප්පරා සහ පොල් තෙල් ආදී භාණ්ඩ අපනයනය කෙරිණි.

පසුව තාසිම් මහතා ගාලු නගරසභාව ඔස්සේ දේශපාලනයට ද පිවිසියේ ය. ඔහු වර්ෂ 1950-1951 සහ 1954-1962 යන වකවානුවල ගාල්ලේ නගරාධිපති ධුරය ද හෙබවී ය. හෙතෙම බි්‍රතාන්‍යයේ OBEගරු නාමධාරියෙකි. ගාල්ල, වක්වැල්ල පාරේ පිහිටි තාසිම් ළය රෝහලඉදිකර ඇත්තේ ඔහුගේ ධන පරිත්‍යාගයෙනි. ඒ. ආර්. එම්. තාසිම් මහතා 1963 වර්ෂයේ අභාවප්‍රාප්ත විය. සිරස ලක්ෂපති දිනූ ශුක්රා සහ තාසිම් එක ගමේ ය.

දැනට ගාල්ලේ ඇති පැරණිතම පාසැල රිච්මන්ඩ් විද්‍යාලයයි’. එය ආරම්භ කෙරී ඇත්තේ වර්ෂ 1814 දී ය. ඉන් පසුව රිපන් බාලිකා විද්‍යාලය (1817), ගාලු කොටුවේ ඕල්සේන්ට් විද්‍යාලය (1871), ශාන්ත මේරි විද්‍යාලය (1874), මහින්ද විද්‍යාලය (1892), කළුවැල්ලේ ශාන්ත ඇලෝසියස් විද්‍යාලය (1895), ශ්‍රී හෘදය කන්‍යාරාමය (1896) සහ වක්වැල්ල පාරේ සංඝමිත්තා විද්‍යාලය (1919) ද ඇරඹිණි. ගාල්ලෙන් බිහි වුණු උගතුන් අඩු වැඩි වශයෙන් අධ්‍යාපනය ලබා ඇත්තේ මේ පාසැල්වලිනි.

එකල උණවටුනේ ජනප්‍රියතම පාසැල වූයේ බොනවිස්ටා විද්‍යාලයයි’. රූමස්සල කන්දට පිවිසෙන බොනවිස්ටා මාර්ගයේ මද දුරක් ගමන් කළ විට, පැරණි බොනවිස්ටා විද්‍යාලයහමුවේ. මිෂනාරී ඉංග්‍රීසි පාසැලක්වශයෙන් එය ආරම්භකර ඇත්තේ වර්ෂ 1847 දී ය. එනම් බි්‍රතාන්‍ය පාලන සමයේ ය. පාසැල ආරම්භ කරන්නට පුරෝගාමීවී ඇත්තේ මාක්ස්නම් පියතුමෙකි.

ඉංග්‍රීසි බසින් ඉගැන්වීම් කෙරුණු බොනවිස්ටා විද්‍යාලය, එකල ගාලු ප්‍රදේශයේ බොහොම ජනප්‍රිය පාසැලක් විය. එය බොනවිස්ටා ඉංග්‍රීසි පාඨශාලාවලෙස ද හැඳින්විණි. වර්ෂ 1869 දී බොනවිස්ටාව වැඩි දියුණු කළ පාසැලක් බවට පත් විය. පසුකාලීනව එය රජයට පවරා ගනු ගැනුණි. වර්තමානයේ එය රජයේ පාසැලකි.

එකල බොනවිස්ටා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ අය අතර, ප්‍රථම ශ්‍රී ලාංකික ආණ්ඩුකාර ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක, මහාචාර්ය සෙනරත් පරණවිතාන, හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ, සර්වෝදයේ නිර්මාතෘ ඒ. ටී. ආරියරත්න, ජ්‍යෙෂ්ඨ කලාකීර්ති එඩ්වින් ආරියදාස සහ සාහිත්‍ය සූරී අනදපිය කුඩාතිහි ආදී කීර්තිමත් පුද්ගලයන් ද වෙති.

මාල දිවයිනේ හිටපු ජනාධිපති, ‘මව්මූන් අබ්දුල් ගයුම්’ (Mamoon Abdul Gayoom) මහතා ද මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ බොනවිස්ටා විද්‍යාලයෙනි. පසුව ඔහු කොළඹ, රාජකීය විද්‍යාලයෙන් ද අධ්‍යාපනය ලබා තිබේ. 1978 වසරේ සිට 2008 වසර දක්වා මාල දිවයිනේ ජනාධිපති ධුරය දැරුවේ ගයුම් මහතා ය.

ගාල්ලේ සිට අහංගම දක්වා වෙරළබඩ තීරුවෙහි උගතුන් රාශියක් බිහි වන්නට, ‘බොනවිස්ටා විද්‍යාලයත්,’ ඒ ඔස්සේ ගාල්ල පුරා හට ගත් අධ්‍යාපනික ප්‍රබෝධයත්, පසුව මහින්ද විද්‍යාලය ආදී බෞද්ධ විද්‍යාල බිහි වීමේ ප්‍රවණතාවයත් හේතුකාරක වන්නට ඇත. අධ්‍යාපනය සම්බන්ධයෙන් කලක පටන් ම ගාල්ලේ පාසැල් අතර පවතින්නේ උග්‍ර තරඟයකි. ගාල්ලේ ජනප්‍රිය පාසැල්වලට යන්නට නො හැකි වන දරුවන්  සඳහා පසු කලෙක ලබුදූවේ සිරිධම්ම, සුධර්මා සහ අනුලා ආදී විකල්ප උසස් පාසැල් පවා බිහි විය.  මේවාට අමතරව ගම් මට්ටමෙන් ද පාසැල් පද්ධතියක් ක්‍රියාත්මක වේ. ඒ සියල්ල ගාලු ජන සමාජයේ දැනුම් සම්භාරය පෝෂණය කිරීම පිණිස හේතු වී යයි කියන්නට පුළුවන.

උණවටුණේ කටුගොඩ ගමේ උපන්, ගාල්ලේ සුධර්මා විද්‍යාලයේ ඉගෙනුම ලබන ශුක්රා මුනව්වර් දැරිය, ‘සිරස-ලක්ෂපතිඔස්සේ පෙන්නුම් කළ දැනුම් සම්භාරය සහ සමාජශීලීත්වය තක්සේරු කළ යුත්තේ කුමන පසුබිමක ද? එය තක්සේරු කළ යුත්තේ ගාල්ලේ සිට අහංගම දක්වා වූ වෙරළබඩ තීරුවෙන් උගතුන් රාශියක් බිහි වුණු පසුබිමක තබමිනි. තමන්ට  මේ තරම් දැනුමක් ලැබුණේ පාසැල් පුස්තකාලයේ ඇති පොතපත කියවීමෙන් බව ද ඇය ලක්ෂපතිවැඩ සටහනේ දී කීවා ය.

ඇය අහම්බයක්නො වන්නී, ඒ තීරුවේ අලුත්ම නියෝජනයයි!

2021/02/17

Wednesday, December 23, 2020

ගාලු කොටුවේ විසූ පෘතුගීසීන් මිනිසුන් මරා කෑ බව හෙළි වෙයි

 

ගාලු කොටුවේ විසූ පෘතුගීසීන්

මිනිසුන් මරා කෑ බවට පුරාවිද්‍යාත්මක 

සාක්ෂි හෙළි වෙයි

(ක්‍රිෂ්ණ විජේබණ්ඩාර)

එකල පෘතුගීසි නැව්වල ‘ඌරු කොටු’ පැවති බවත්, ගාලු කොටුවේ ඉදි කළ ඔවුන්ගේ ජනාවාසයට ‘ගං ඌරන්’ (චීන ඌරන්) එයින් රැගෙන එන්නට ඇති බවත් අනුමාන කෙරේ. පෘතුගීසීන් මස් පිණිස ‘ගං ඌරන්’ මරාගෙන ඇත්තේ වෙඩි තැබීමෙන් නො වේ. උූෟරු හිසට ‘පොරොවෙන්’ කෙටීමෙනි!අතීතයේ ගාලු යුද බලකොටුවේ විසූ ‘පෘතුගීසීන්ගේ’ ආහාර රටාව බොහොම කුතුහලය දනවන තරම් ය. ඔවුන් සිය ආහාර වේලට එළු, කුකුළු, බැටළු, ගං ඌරු ආදී ගොඩබිම වෙසෙන ගෘහාශ්‍රිත සතුන් ද, මුහුදු මාළු ද එක්කර ගෙන තිබේ. ගාල්ලේ ‘පෘතුගීසි කොටුව’ තුළ ඔවුන් කුකුළු කොටු, බැටළු කොටු සහ ගං ඌරු කොටු ආදිය පවත්වා ගෙන ගිය බව පෙනී යයි!


නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය මගින් මේ දිනවල ගාලු කොටුවේ සංරක්ෂණ ව්‍යාපෘතියක් ආරම්භකර තිබේ. මෙම තොරතුරු හෙළිව ඇත්තේ එයින් කෙරෙන පුරාවිද්‍යා කැණීම් ඔස්සේ ය.
වර්තමානයේ අක්කර අනූහයක පමණ භූමියක පැතිර ඇති ‘ගාලු කොටුව’, ඉදිකර ඇත්තේ ‘ගාල්ල සමුද්‍ර තුඩුව’ මුල්කර ගනිමිනි. එය, දකුණු ආසියාවේ විශාලත ම පුරාවිද්‍යා ස්මාරක අතරට ගැනෙන  ‘යුද බලකොටු නගරයකි’.

 ගාලු ‘සමුද්‍ර බොක්ක’ අතීතයේ දී උඩරට සිංහල රජවරුන්ගේ ජාත්‍යන්තර වෙළෙඳ වරායක් විය. කොහු නිෂ්පාදන, මැණික්, කුළුබඩු, අලි ඇතුන් සහ ඇත් දළ, කැටයම් භාණ්ඩ ආදිය ගාලු වරාය ඔස්සේ නැව් මගින් අපනයනය කෙරිණි. එකල එහි ආනයන-අපනයන වෙළෙඳාම සියතට ගෙන සිටියෝ ආරාබියානු නාවික වෙළෙන්දන් ය. ඔවුහු ආනයනික මිදි යුෂ, චීන සේද රෙදි, පෝසිලේන් භාණ්ඩ ආදී වෙළෙඳ බඩු  ගාල්ලෙන් ගොඩ බා අලෙවි කළහ.
 

පෘතුගීසි නාවික සෙන්පතිවරයෙකු වූ ප්‍රැන්සිස්කෝ ද අල්මේදාගේ පුත්, ‘ලොරෙන්සෝ ද අල්මේදා’ නමැති නාවිකයා වර්ෂ 1505 දී අහම්බෙන් ගාල්ලට ගොඩ බැස්සේ ය. ඉන් පසුව වර්ෂ 1518 දී අරාබි වෙළෙන්දන් පලවා හරිමින් ලොරෙන්සෝ ද අල්මේදා ගාල්ල ආක්‍රමණය කළේ ය. ඒ වන විට ගාල්ල වරායේ පාලනය පැවතියේ සීතාවක පළවැනි රාජසිංහ රජු (ක්‍රි. ව. 1581-1593) යටතේ ය. රජුගේ හමුදා පැරදිණි. පෘතුගීසීහු ගාල්ල අල්ලා ගත්හ.
 

පෘතුගීසීහු වර්ෂ 1589 දී පමණ ගාලු සමුද්‍ර තුඩුව කෙළවරේ යුද බලකොටුවක් ඉදි කරන්නට පටන් ගත්හ. පැරණි තොරතුරුවල දැක්වෙන අන්දමට, එය සිදු වූයේ ‘පෙරදිග රටවල් පිළිබඳ පෘතුගීසි ප්‍රධානි, මතියස් අල්බර්කර්ක්ගේ නියෝගයෙනි. ඔවුන් මුලින් ම ඉදි කළ කොටුව, වර්තමානයේ හැඳින්වෙන්නේ ‘කළු කොටුව’ යනුවෙනි. මැටි, කොරල් ගල් යොදා ගෙන තැනූ එහි ආයුධ තැනීමේ ‘කම්හලක්’ ද පවත්වා ගෙන ගියෝ ය. පසුව ඔවුහු ‘ස්ටාර්’ (තරු), ‘චන්ද්‍ර’ (සඳු) සහ ‘සූර්ය’ (හිරු) යන ‘මුර අට්ටාල’ තුන ද සහිතව, බැම්මක් බඳිමින් යුද බලකොටුව පුළුල් කළහ. මුර අට්ටාල තුන ඇතුළත් කොටස පෘතුගීසි බසින් ‘පෝටලේසා’ විය.  

‘පෝටලේසාවේ’ බැමි ඉදි කිරීමේ දී ද මැටි සහ කොරල් ගල් ඇතුළත් ‘සක්ක බැම්මක්’ භාවිත කෙරිණි. ‘පෝටලේසාව’ ආශ්‍රිතව එකල පෘතුගීසි පවුල් 275ක් පදිංචිව සිටියහ. එහි ක්‍රිස්තියානි දේවස්ථාන, වෙළෙඳ බඩු ගබඩා, උසස් හමුදා නිලධාරීන්ගේ නිල නිවාස, හමුදා භටයන්ගේ බැරැක්ක සහ රෝහල් පහසුකම් ද සකසා ගෙන තිබිණි.
 


පසුව වර්ෂ 1640 දී පෘතුගීසීන් පලවා හැර  ‘ලන්දේසීන්’ (ඕලන්ද) ගාල්ල අල්ලා ගත්හ. ඔවුහු ගාලු වරායේ වෙළෙඳාම් පාලනය ද සියතට ගත්හ.   පෘතුගීසීන් හැදූ යුද බලකොටුව තවදුරටත් විශාල කළහ. දියුණු කළහ. වර්ෂ 1796 දී ඉංග්‍රීසීන් (බි්‍රතාන්‍යයන්) මුහුදින් පැමිණ ලන්දේසීන් පලවා හැර, ගාලු යුද බලකොටුව සහ වරාය අල්ලා ගත්හ. ඔවුන් ද ගාලු කොටුව තවදුරටත්    පුළුල් කළහ. නවාංග එකතුකර වැඩි දියුණු කළහ. 

වර්තමානයේ අප දකින්නේ මේ ආකාරයට ආක්‍රමණික යුරෝපීය  ජාතීන් තුනක් විසින් වරින්වර නිර්මාණය කළ යුද බලකොටුවකි. දැන් එහි ‘කොටු බැම්ම’ කිලෝ මීටර් දෙකහමාරක් පමණ  දිගින් යුක්ත ය. බැම්මේ පළල අඩි පණහකි. උස, ඇතැම් තැනක අඩි පණහක් පමණ ද, ඇතැම් තැනක අඩි හැත්තෑවක් පමණ ද වන්නේ ය. එහි මුර අට්ටාල ද දාහතරක් දැකිය හැකි ය.
ගාලු කොටු බැම්ම දැන් අවුරුදු 431ක් පමණ පැරණි ය. පිටතින් ඉතා ශක්තිමත් යයි පෙනුණ ද, එහි ඇතැම් කොටස්  කාලයේ ප්‍රහාරයන් හමුවේ ගරා වැටෙමින් තිබේ.    නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය ගාලු කොටුව පිළිසකර කොට, සංරක්ෂණය කරන්නට මුල පුරන්නේ එවන් පසුබිමක ය. සංරක්ෂණ කටයුත්ත  සිදු වන්නේ අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ‘උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය’ ඔස්සේ ය. ඔවුන් එයට ‘ගාලු කොටු පවුර සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය’ යයි හඳුන්වති.
 

එහි ප්‍රධාන උපදේශක, වරලත් වාස්තු විද්‍යාඥ ආචාර්ය නිලාන් කුරේ පවසන අන්දමට, මේ යටතේ ප්‍රධාන කටයුතු දෙකක් සිදු කෙරෙයි. ඉන් එකක් වන්නේ, ගාලු කොටු පවුර පිළිසකර කොට මතු පරපුරට දායාද පිණිස සංරක්ෂණය කිරීමයි. අනෙක, මං පෙත්, භූ දර්ශන, පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි යුගවලට අයත් කාල තුවක්කු සහ අනෙකුත් අවි ආයුධ සහ වෙනත් නිර්මාණ ‘අනුරූ’ මගින් මහජන ප්‍රදර්ශනයට සැකසීමයි. ආචාර්ය කුරේ පවසන අන්දමට, මෙම වැඩ පිළිවෙල සංවිධානයකර ඇත්තේ ‘සංචාරක ආකර්ෂණය’ අරමුණුකර ගනිමිනි.
 

‘අපි මේක පටන් ගත්තේ 2017 වර්ෂයේ දි. මේ වෙනුවෙන් වැය කරන මුදල රුපියල් මිලියන 600ක්. අපේ ව්‍යාපෘතියට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුග්‍රහය ලැබෙනවා. මෙයින් පුරාවිද්‍යා පර්යේෂණත් කෙරෙනවා. ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යාඥයෙකු වන ආචාර්ය නිමල් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් තමයි ඒවා කෙරෙන්නේ. මේ වෙන කොට අපේ සංරක්ෂණ වැඩවලින් සියයට හැටක් විතර හමාරයි’, ඔහු කියන්නේ ය. පුරාවිද්‍යා කැණීම් භාරව සිටින ආචාර්ය නිමල් පෙරේරා, ඕස්ටේ්‍රලියාවේ සිඞ්නි විශ්වවිද්‍යාලයේ ප්‍රාග් ඉතිහාසය පිළිබඳ ආචාර්යවරයෙකි.
 

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවයකර විශ්‍රාම ගිය ‘ජූඞ් පෙරේරා’ අපේ රටේ සුප්‍රකට ‘අස්ථි අවශේෂ’ විශ්ලේෂකවරයෙකි. පුරාවිද්‍යා කැණීම්වල දී හමුවන ඕනෑම ‘ඇටකටුවක්’, කුමන සතෙකුගේ ද, එය උගේ කවර අස්ථියක කොටසක් ද, නැතිනම් එය මානව අස්ථියක් ද යන්න විග්‍රහකොට හඳුනා ගැනීම ඔහුගේ කාරියයි. ඒ විෂය සම්බන්ධයෙන් ඔහුගේ අත්දැකීම් වසර තිහ ද ඉක්මවයි. මේ දිනවල ඔහු අස්ථි විශ්ලේෂණය කරමින් ගාලු කොටුවේ පුරාවිද්‍යා කැණීම්වලට එක්ව සිටින්නේ ය.
 

ආචාර්ය නිමල් පෙරේරා ඇතුළු කණ්ඩායම පෘතුගීසීන් විසින් මුලින් ම ඉදි කළ ‘ස්ටාර්’, ‘චන්ද්‍ර’ සහ ‘සූර්ය’ යන මුර අට්ටාල තුන ආශ්‍රිත භූමියෙහි ද, ආරුක්කු පිවිසුම් භූමියෙහි ද කැණීම්කර තිබේ. මෙයින් ‘ස්ටාර්’ සහ ‘චන්ද්‍ර’ පිහිටියේ පැරණි ඔර්ලෝසු කණුව අවට එනම්, වර්තමාන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සහ සමනල පාලමට මුහුණලා ගෙන ය. බාලදක්ෂ මාවත ඔස්සේ ගාලු කොටු දොරකඩ දෙසට එන විට, හමුවන මහාචාර්ය සෙනරත් පරණවිතාන පිළිරුවට සමීපයෙන් ‘සූර්ය මුර අට්ටාලය’ දැකගත හැකි ය. එය ඉදිකර ඇත්තේ කොටු දොරකඩ සහ ගාලු වරායේ (පැරණි වරායේ) ආරක්ෂාව ඉලක්කකර ගනිමිනි. සූර්ය මුර අට්ටාලය, ගාලු කොටුවට ගොඩබිම දෙසින් පැවති ප්‍රධාන මුර කඳවුරයි. එහි කාලතුවක්කු පහළොවක් සවිකර තිබුණු බව පැරණි ලේඛනවල එයි.
 

පෘතුගීසීන් මුර අට්ටාල ඉදිකර ඇත්තේ ‘කාලතුවක්කු’ සවි කිරීම අරමුණුකර ගනිමිනි. අට්ටාලවල වහලය ආරුක්කුවක හැඩයට, ගඩොලින් නිමකර ඇත. ආචාර්ය නිමල් පෙරේරා පවසන අන්දමට, එයින් සමහර ගඩොල් කැට ලංකාවේ නිෂ්පාදනය කෙරුණු ඒවා නො වේ. එම ගඩොල් කැට ගෙන්වා ගෙන ඇත්තේ ඕලන්දයෙනි. කැණීම්වලින්  ගාලු කොටුව සම්බන්ධයෙන් මෙබඳු අලුත් තොරතුරු රැසක්  හෙළිකර ගෙන තිබේ.
 

පෘතුගීසි සමයේ ‘ආහාර අපද්‍රව්‍ය අවශේෂ’ සහිත පස් ස්තරය එයින් සුවිශේෂ ය. පොරෝ පහරින් ඝාතනය කෙරුණු ‘ගං ඌරන්ගේ’ හිස් කබල්වල කොටස් එහි දී ජූඞ් පෙරේරාට හමුවී තිබේ. ඒවායෙහි ඇති පොරෝතල වැදුණු සලකුණු ද ඔහු විසින් නිරීක්ෂණයකර ඇත. ඒ සමගම, එළු, කුකුළු, බැටළු ආදී ගෘහාශ්‍රිත සතුන්ගේ ඇටකටු ද, මුහුදු මාළු කටු ද ‘ආහාර අපද්‍රව්‍ය‘ සහිත පස් ස්තරවලින් නිරීක්ෂණය විය.
 

‘සාමාන්‍යයෙන් ගාලු කොටු බැම්ම දිහා පිටතින් බලන කොට අපට පේන්නේ ඒක තනි කළු ගලෙන් බැන්දා වගේ. ඒත් ඒක ඇත්තක් ම නෙවෙයි. ඔය තනි බැම්ම ඇතුළේ තව පැති බැමි තුනක් තියෙනවා. ඒවා හදලා තියෙන්නේ මැටි සහ කොරල් ගල්වලින් ‘සක්ක බැම්මක්’ බැඳීමෙන්. ඒකට භාවිතා කෙරුණු තාක්ෂණයට දේශීය සහ විදේශීය කාරණා මිශ්‍ර වෙලා තියෙනවා. බැමි මැදට ‘පස්’ පුරවලා තියෙනවා. පස් ගෙනත් තියෙන්නේ පිටස්තරයෙන් පිහිටි ජනාවාස ප්‍රදේශයකින්. ගාලු කොටුව බඳින්න පස් කියුබ් මිලියන ගාණක් ගේන්න ඇති. ශ්‍රමිකයන් දහස් ගණනක් වැඩ කරන්න ඇති. ඒ අයගේ ලේ, කඳුළු-දහඩිය තමයි කොටු බැම්මෙන් පේන්නේ’, ආචාර්ය නිමල් පෙරේරා කියන්නේ ය.
 

එකල පෘතුගීසීහු ‘වහල් වෙළෙඳාමෙහි’ ද නියැලුණහ. ඔවුන් දකුණු අප්‍රිකානුවන් අල්ලා ගෙන ‘වහලුන්’ සේ ගාල්ලට ගෙන වුත්  කොටු බැම්ම බැඳීම සඳහා යොදවා ගෙන තිබේ.
 

පෘතුගීසි සමයේ දී, කෝට්ටේ දොන් ජුවන් ධර්මපාල රජු (ක්‍රි. ව. 1551-1597) වෙනුවෙන් ගාලු වරාය භාරව සිටියේ රණ ශූරයෙකු සේ සැලකෙන ‘මාතර සමරකෝන් මුදලි’ ය. ධර්මපාල රජු විසුවේ පෘතුගීසීන්ගේ තුරුලේ ය. ‘සමරකෝන් මුදලි’ ද කටයුතු කළේ පෘතුගීසීන්ට පක්ෂපාතව ය. සීතාවක පළවැනි රාජසිංහ රජුගේ හමුදාවන්ට සහ සිංහල ජනයාට එරෙහිව ය. පැරණි තොරතුරුවල එන හැටියට, කොටු බැම්ම බැඳීම පිණිස පෘතුගීසීන්ට ‘සමරකෝන් මුදලිගේ’ උදව් ලැබී තිබේ!
 

කැණීම්වල දී හමුවූ පස් ස්තරවලින් විවිධ මාදිලියේ මැටි බඳුන් කැබලි සහ පෝසිලේන් බඳුන් කැබලි ආදිය  සොයා ගැනුණි. බැමි පිරවීම පිණිස රැගෙන ආ පස්, ජනාවාස ප්‍රදේශයකින් ලබා ගත් බවට එයින් සාක්ෂි සැපයිණි. අනෙක, ගාල්ල අවට එකල ‘වත් පොහොසත්කම් සහිත’ ප්‍රජාවක් වාසය කළ බවට ඉඟියක් ද එයින් ලැබේ. හමු වුණු පුරාවස්තු අතර, ආනයනික පෝසිලේන් බඳුන් කොටස් ද තිබීමෙන් ඒ බව ගම්‍ය වේ. එයින් ඇතැම් බඳුන් කොටස් ආනයනික සුඛෝපභෝගී ‘චීන පෝසිලේන්‘ ය!
 


කැණීම්වලින් මතු කෙරෙන පස් ස්තර විශ්ලේෂණය කරන ජූඞ් පෙරේරාට, පැරණි  ‘මිනිස් අස්ථි කොටස්’ ද හමුවී තිබේ. මිනිසුන් හතර පස් දෙනෙකුගේ අස්ථි ඒ අතර වේ. ඒවා සුවිශේෂ ය. ඊට හේතුව වන්නේ මේ ඇටකටු පෘතුගීසීන්ගේ ‘ආහාර අපද්‍රව්‍ය‘ සහිත පස් ස්තරවලින් හමුවී තිබීමයි!
 

යටත් විජිත පාලන සමයෙහි ගාලු කොටුව ඇතුළේ සුසාන භූමි කිහිපයක් ද පැවතුණි. ඒවායෙහි භූමිදානය කළ මළ සිරුරුවල ඇටකටු, මීට ඉහත ද පුරාවිද්‍යා කැණීම් සහ යම්යම් ඉදි කිරීම් පිණිස පොළොව කැණීමේ දී හමුවී තිබේ. ඒවා යම් ආගමික පිළිවෙත් අනුව භූමිදානය කළ අවස්ථාවන් ය. එහෙත් ජූඞ් පෙරේරාට නිරීක්ෂණයවී ඇති මිනිස් ඇටකටු භූමිදානය කරන ලද ඒවා නොවේ. ඒවා තිබී ඇත්තේ ‘ආහාර අපද්‍රව්‍ය‘ සහිත පස් ස්තරවල ය. එය මහත් කුතුහලයක් දනවයි!
 

‘මේ මිනිස් ඇටකටු අතර ‘කලවා අස්ථි’ සහ අනෙකුත් අස්ථිත් තියෙනවා. ඒවායේ ‘කැපුම් සලකුණුත්’ තියෙනවා. විශේෂයෙන් කලවා අස්ථිවල කැපුම් සලකුණු පේන්න තියනවා. හරියට කඩුවක් වගේ තියුණුවට කැපෙන ආයුධයකින් කළා වගේ. ඒවා දකිද්දී හිතෙන්නේ, ‘මස් කෑම පිණිස’ මනුස්සයෙක් කැපුවා වත් ද කියලයි’, ජූඞ් පෙරේරා කියන්නේ ය.
 

පෘතුගීසීන් එන විට ගාල්ල පැවතියේ සීතාවක සහ කෝට්ටේ රාජධානි යටතේ ය. ඔවුන්ගේ හමුදා පෘතුගීසීන්ට එරෙහිව දිගින් දිගට ම සටන් කළහ. සටන් කොතරම් දැඩි ද යන්න, ගාලු කොටුවේ ‘සූර්ය’ මුර අට්ටාලයේ සවිකළ පෘතුගීසි කාලතුවක්කු පහළොවක් ඔවුන් ගොඩ බිම දෙසට මානා තිබීමෙන් ම පැහැදිලි වේ!
 

‘මේක සටන් භූමියක්. ඒ කාලේ බොහොම දරුණු සටන් පැවතිලා තියෙනවා. සටන්වල දී මිනිස්සු සිය ගණන් මැරෙන්න ඇති. සමහර දෙනෙක් සිරකරුවන් හැටියට අල්ලා ගන්නත් ඇති. ඒ අය අතිශයින් ම ක්‍රෑර වධ බන්ධනවලට ලක් වෙන්නත් ඇති. කැපුම් සලකුණු සහිත මිනිස් ඇටකටු ඒ වගේ අවස්ථාවක් පෙන්නුම් කරනවා ද කියා සොයා බැලිය යුතුයි’, ආචාර්ය නිමල් පෙරේරා කියන්නේ ය.
 

ජනප්‍රවාද කතාවල එන හැටියට, සීතාවක පළවැනි රාජසිංහ රජ්ජුරුවන්ගේ සේනා කොළඹ පෘතුගීසි යුද බලකොටුව වටලා දුන් පීඩනය නිසා එහි මහත් ආහාර අහේනියක් ඇති විය. දිවි රැක ගැනීම සඳහා එහි ඉතිරිව සිටි පෘතුගීසි සොල්දාදුවන්ට ‘බළල් මස්’ පවා කන්නට සිදු වුණු බව කියැවේ. ගාලු කොටුවේ ද එවැනි ආහාර අහේනියක් හට ගෙන, දිවි රැක ගැනීම පිණිස පෘතුගීසි සෙබළුන් යුද සිරකරුවන් හෝ තමන් එකිනෙකා මරා ගෙන ආහාරයට ගත්තා ද? යන්න, පැහැදිලි නැත!
 

(ගාලු කොටුවේ ඉතිහාසය සහ මුර අට්ටාල සම්බන්ධයෙන් මෙහි එන ඇතැම් තොරතුරු ලබා ගත්තේ  ‘ගාලු උරුමය පදනමෙනි’.)
 

(මෙම ලිපිය 2020/12/20 සතිඅග අරුණ පුවත්පතේ පළ විය.)