Total Pageviews

Monday, February 19, 2018

වලස්පතිගේ අඩවියේ ලිපි කියවන සියලුම දෙනාගේ දැන ගැනීම පිණිසයි.



වලස්පතිගේ අඩවියේ ලිපි කියවන
 සියලුම දෙනාගේ දැන ගැනීම පිණිසයි.

මෙහි පළ කෙරෙන කිසිදු ලිපියක්, පුවත්පත්වල හෝ වෙනත් අන්තර්ජාල අඩවියක පළ කිරීම සඳහා උපුටා නො ගන්නා ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.

වලස්පති අඩවියෙහි පළ කෙරෙන විශේෂාංග ලිපිවලින් සමහරක්, කෙලින්ම වලස්පති අඩවිය පිණිස ම සැකසුණු ඒවා ය. ඇතැම් ලිපි යම් යම් පුවත්පත් සදහා මා විසින් සම්පාදනයකර, ඒවා පළ කෙරුණු පසුව වලස්පති අඩවියෙහි පළ කළ ඒවා ය. 

ඕනෑම පත්තර කර්තෘ කෙනෙකුට කිසිදු හිරිකිතයකින් තොරව, මේවා හොරෙන් ගෙන තම පත්තරවල පළ කරන්නට පුළුවන. බ්ලොගයෙහි පළ කළ පසුව මට එබ්දු හොරකම් නවත්වන්නට ක්‍රමයක් නැත. එහෙත් යම් පත්තර කර්තෘ කෙනෙක් මගෙන් නො විමසා, මේ කිසිදු ලිපියක් තමන්ගේ පත්තරවල පළ කරන්නේ නම්, එය ඔවුන්ගේ නිර්මාණ බංකොලොත්භාවයක් බව මම කල්පනා කරමි. ඔවුන් කළ යුත්තේ තමන්ගේ පත්තරය සඳහා තමන්ගේ ලේඛකයන් ලවා ලිපි ලියවා ගැනීම ය. ඒසේ නැතිව තම පත්තර කෙරුවාව, අනුන්ගේ ‘බ්ලොග් අඩවිවලින් පුරවා ගැනීම නොවේ.

රන්ජිත් සමරකෝන් යනු ලක්බිම දිනපතා පුවත්පතේ මා වැඩ කළ කාලයේ අනුර හොරේෂස් මහතා යටතේ වැඩ කළ

ාධ්‍යෙවේදියෙකි. මෑතක දුරකතනයෙන් මා ඇමතූ ඔහු, වලස්පති අඩවියේ පළ වුණු එක්තරා ලිපියක් තමන් සේවය කරන රැස පුවත්පතට උපුටා ගන්නදැයි විමසුවේ ය. ලක්බිමේ එකට වැඩ කළ සුහදතාවය නිසා මම ඔහුට අනුමැතිය දුනිමි. එය වලස්පති අඩවියෙන් උපුටා ගත් බව සඳහන් කරන්නැයි ද කීවෙමි.



ඔහු කී එම ලිපිය රැස පුවත්පතේ පළ වූවා දැයි නො දනිමි. එහෙත් පෙබරවාරි 19 වැනි දා එඩ්වින් මණ්ඩලවත්ත කවියාගේ නිවසේ දී මට පෙන්වූ රැස පුවත්පතේ, වලස්පති අඩවියෙන් උපුටා ගත් වෙනත් ලිපියක්, එහි පළකර ඇති බව දුටුවෙමි. එය වලස්පති අඩවියෙන් උපුටා ගත් බව ද සඳහන්කර තිබිණි. එහෙත් එය මගේ අනුමැතියෙන් පළ කෙරුණක් නොවේ. මෙම ලිපිය 2017.03.26 වැනි දින, ‘දෙමුවාත පාර ඔස්සේ අන්තර්ජාලයේ මහා මැණික් වීදියට දුවන රත්නපුරේ අලුත් මැණික්කාරයෝ‘ යනුවෙන් ඉරිදා ලක්බිම පුවත්පතෙහි පළකෙරුණකි.

ක්‍රිෂ්ණ විජේබණ්ඩාර යනු 2015 වසරේ  මහා මැතිවරණයෙන් පසුව හදිසියේ රැකියාව අහිමිවූ එකෙකි.

සේවය කළ පත්තර කන්තෝරුවෙන් ඔබේ සේවය අනවශ්‍ය යයි කියා
  පිටමං කළ එකෙකි. 

මා පත්තර ලෝකයට අවතීර්ණ වූයේ 1986 වසරේ ලේක්හවුස් ආයතනයේ කිරිඇල්ල සමූහ වාර්තාකරු වශයෙනි. කෙටි කලක දී, ප්‍රදේශයේ  පාර්ලිමේන්තු මන්ත්ීරවරයාගේ ගෝල විදුහල්පතිවරයෙකු ගැන විවේචනාත්මක පුවතක් දිනමිණෙහි පළ කළ බව කියමින්, දිනමිණ බලධාරීහු මගේ වාර්තා පළ කිරීම නතර කළෝ ය. දැන් එහෙව් ආයතනයකින් පළ කරන පුවත්පතක් සදහා මගේ දුප්පත් බ්ලොගයෙන් ලිපියක් හොරෙන් ගෙන, ලැජ්ජා නැතිව පළකර තිබේ.


රැස කර්තෘවරයා කවුරුන් දැයි මම නො දනිමි. ඔහු කවුරුන් වුව ද, මැණික් ගැන ලිපියක් ලියවා ගන්නට තරම් කර්තෘ මණ්ඩල ලේඛකයෙක් නැති කර්තෘ කෙනෙක් බව පෙනී යයි.

මා වලස්පති අඩවියට ලිපි දමන්නේ හුදෙක් ආත්ම තෘප්තිය සඳහා ම පමණකි. ඒවා සකස් කරන්නේ අතේ  වියදමෙනි. එබැවින් ඒවා හොරෙන් උපුටා පළ කිරීම නො හොබිනා වැඩකි. එයින් පාඨකයන් සිතනු ඇත්තේ මා ඔවුන්ගේ පත්තරයේ වැඩට ගොස් ඇති බවයි!

මා දැනට ලියන්නේ ඉරිදා ලක්බිම සහ රිවිර යන පුවත්පත්වලට පමණි. එය ද කරන්නේ නිදහස් වාර්තාකරුවෙකු වශයෙනි. වරක් මව්බිම පුවත්පතට එක් ලිපියක් යැව්ව ද එය පළ නො වීය. ඒ හැර මා ලියන්නේ වලස්පති අඩවියට පමණකි.

පත්තර ලෝකයෙන් හදිසියේ එළවා දැමුණු කෙනෙකුගේ ලිපි, ඔහුගේ අවසරයකින් තොරව උපුටා පළ කිරීම, කොතරම් සදාචාරාත්මක ද යන්න රැස කර්තෘවරයා ගෙන් විමසා සිටිමි!

එසේම වලස්පති අඩවියේ පළ වන ලිපි පුවත්පත් සඳහා උපුටා නො ගන්නැයි ද

සැම දෙනාට ම
කාරුණිකව මතක් කරමි. එසේ උපුටා ගන්නට ඉල්ලීම් නො කරන ලෙස ද මතක් කරමි.


-ක්‍රිෂ්ණ විජේ බණ්ඩාර-2018 පෙබරවාරි 20 වැනි දා.

Saturday, February 17, 2018

ග්ලයිපොසේට්? ලංකාවේ තේ අපනයනය ගැන විපරමක්


රුසියානු තහනම ඉවත් කිරිමෙන් පසුව
ලංකාවේ තේ අපනයනය ගැන විපරමක්
 
 

(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
ලංකාවේ ‘තේ’ ගැන ලෝකය හමුවේ නිතරම ඉහළින්ම කියැවෙන විශේෂ නාමකරණයක් තිබේ. එනම්,  ‘
Pure ceylon tea’ (පිරිසිදු ලංකා තේ) යන්නයි. රසවත්කමින් ද, ගුණාත්මක බවින් ද පිරිපුන් තේ නිපදවෙන්නේ ලංකාවේ බව ‘සුද්දාගේ කාලයේ’ පටන් (බි‍්‍රතාන්‍ය පාලන සමයේ පටන්) අප රට ලබා ඇති යශෝ කීර්තියකි. එබැවින් ලංකාවේ තේවලට කවදත් පැවතුණේ හොඳ ඉල්ලූමකි.  

එසේ වුවත් 2017 වසරේ දෙසැම්බරයේ දී රුසියාවෙන්  පැනවුණු ‘තේ’ අපනයන තහනම, ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි ලංකාවේ තේ සඳහා තිබුණු කීර්තිය ද යම් පමණකට පළුදුකර දැමුවේ ලංකාවේ තේ නිපැයුම්වල ‘පවිත‍්‍රත්වය’ සම්බන්ධයෙන් ගැටලූවක් ද මතු කරමිනි. දැන් ජපානය ද ලංකාවේ තේ නිපැයුම් සම්බන්ධයෙන් ගැටලූ මතු කරන බව පසුගිය දිනවල අසන්නට ලැබිණි. ඒ, ලංකාවේ තේ නිපැයුම්වල ‘එම්.සී.පී.ඒ.’ නම් වල් නාශක රසායනය අනුමත ප‍්‍රමිතියට වඩා වැඩි බව පවසමිනි.
 

ජපානයේ තේ ගැටලූව ගැන කතා කරන උදවිය කියන්නේ, ‘ග්ලයිපොසේට්’ වල් නාශකය තහනම් කිරීම නිසා  එය සිදුවූ බවයි. මාරාන්තික වකුගඩු රෝගය සම්බන්ධයෙන් දැඩිව බලපාන බව හෙළිවීම නිසා, ලංකාවට ‘ග්ලයිපොසේට්’ ගෙන්වීම තහනම් කළේ 2015 වසරේ ජුනි මස 11 වැනි දා ය. එයට මුල් වූයේ වර්තමාන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ය. එයින් පසුව වතු වැවිලි ක්ෂේත‍්‍රයේ ඇතැම් අය පැවසුවේ, ‘ග්ලයිපොසේට්’ නැතිව තේ වගාවන් නිසියාකාරව නඩත්තු කළ නො හැකි බවයි. ඉන් පසුව, ‘ග්ලයිපොසේට්’ තහනම ඉවත්කර ගැනීම පිණිස ඔවුහු දැඩි ‘සටනක්’ ගෙන ගියහ. එහෙත් ආණ්ඩුව තහනම ඉවත් කළේ නැත. දැන් ජපානය ලංකාවේ සම්බන්ධයෙන් මතු කරන කාරණය ද, ඔවුන් සිය වාසියට හරවා ගනිමින් සිටිනු පෙනෙයි.
 

ඔවුන් පවසන අන්දමට, ‘ග්ලයිපොසේට්’ තහනමෙන් පසුව වතු වැවිලි ක්ෂේත‍්‍රයේ භාවිත කෙරුණේ ‘එම්.සී.පී.ඒ.’ නම් වල් නාශක රසායනයයි. දැන් ජපානය පවසනවා යයි කියන්නේ ලංකාවෙන් යවන තේවල ඔවුන්ගේ රට අපේක්ෂා කරන  මට්ටමට වඩා ‘එම්.සී.පී.ඒ.’ වැඩි බවයි!
 

ඇත්ත කතාව නම්, තේ වගා කිරීමේ දී රසායනික වල් නාශක යෙදීමක් අවශ්‍ය නො වන බවයි. තේ ගස නියම පඳුරක් ලෙස වර්ධනය කළ පසුව එය පුළුල් පැතිරුමක් සහිතව වියනක් පරිද්දෙන් පිහිටයි. එවිට හිරු එළිය පොළොවට නො වැටෙන බැවින් වල් පැලෑටි නො වැවෙන තරම් ය. මෙය තේ වගාවේ තාක්ෂණය පිළිබඳ කාරණයකි. අනෙක, තේ වගාවේ වල් නෙලීම් ආදිය කෙරෙන්නේ කම්කරුවන්ගේ ශ‍්‍රමයෙනි. වතු සමාගම් දැන් කරන්නේ, ශ‍්‍රම පිරිවැය අඩුකර ගැනීම පිණිස වල් නාශක යොදා වගාව නඩත්තු කිරීමයි. මෙම තත්ත්වය නිසා අද වතුකරයේ විශාල පිරිසකට රැකියා නැතිව ගොසිනි. ‘එම්.සී.පී.ඒ.’ යනු වී වගාවේ භාවිත කරන, පළල් පත‍්‍ර සහිත වල් පැලෑටි මර්දනය කරන රසායනික වල් නාශකයකි. ඒවා තේ වගාවට භාවිත කරන්නේ මන්ද? යන්න ගැටලූවකි. ඇත්තට ම තේ වගාවට ඒවා  ඕනෑ නැත. දැන් සිදු වෙමින් පවතින්නේ, ‘එම්.සී.පී.ඒ.’ පිට දමා ‘ග්ලයිපොසේට්’ තහනම ඉවත්කර ගන්නට දරන වෑයමකි.
 

ලංකාවේ තේ නිපැයුම්වල ‘පවිත‍්‍රත්වය’ සම්බන්ධයෙන් මෑත කාලයේ ලෝකය හමුවේ ප‍්‍රශ්න කෙරී නො තිබිණි. එවැන්නක් කරළියට පැමිණියේ රුසියාවෙන් පැන වුණු තේ අපනයන තහනමත් සමගිනි. මතුපිටින් කියැවුණු ආකාරයට නම්, තහනම පැනවුණේ රුසියාවට අපනයනය කෙරුණු ලංකාවේ තේ ඇසුරුමක ‘Ckhapra beetle’ නම් වර්ගයක කෘමියෙක් හමුවීම හේතුවෙනි. (එසේ වුව ද, එයට වෙනත් හේතු කාරණා ද බලපෑ බව පසුව අසන්නට ලැබිණි.) 

ඉකුත් දෙසැම්බරය අග භාගයේ පළ වුණු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා අනුව, රුසියානු බලධාරීන් පසුව තහනම ඉවත්කර ඇත්තේ ලංකාවට ‘කොන්දේසි’ කිහිපයක් පනවමිනි. එනම්, රුසියාවට අපනයනය කරන තේ තොග, ‘දුම් ගසා’ විෂබීජ හරණය, තේ කුඩුවල ප‍්‍රමිතිය සහතික කිරීම සහ අපනයන තේ තොග රඳවා තබන ගබඩා පිරිසිදුව තබා ගැනීම යන කොන්දේසි සහිතව ය. ලංකාවේ බලධාරීන් ඒවාට එකඟවී තිබේ. මේ සම්බන්ධයෙන් ලංකාවේ මාධ්‍ය තුළ එතරම් කතිකාවක් මතු නො විණි.
 

ලංකාවේ සමස්ත අපනයන ආදායමෙන් සියයට 14ක් පමණ ලබා දෙන්නේ තේ නිපැයුම් අපනයනය කිරීමෙනි. එබැවින් තේ අපනයන කටයුතුවල කිනම් හෝ පසුබෑමක් ඇති වුව හොත්, එය මුළු රටේම ආර්ථිකය දැඩි පසුබෑමකට ලක් වන තරමේ කාරණයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. කෙසේ වෙතත් තේ නිෂ්පාදන කර්මාන්තය මෙහෙයවන අපේ රටේ බලධාරීන්, විදෙස් වෙළෙඳපොළ අරභයා එතරම් සැලකිල්ලකින් කටයුතු කරන බවක් නො පෙනේ.
 

රුසියාව සහ ජපානය හැරුණු විට, ලංකාවේ තේ අපනයන වෙළෙඳපොළ එහැමපිටින්ම පාහේ මැද පෙරදිග රටවල් මත සංකේන්ද්‍රණයවී තිබෙනු පෙනෙයි. එය වසර ගණනාවක් මුළුල්ලේම දැකිය හැකි තත්ත්වයකි. එහි තේරුම වන්නේ, ලංකාව මෑත භාගයේ තම තේ අපනයන වෙළෙඳාම් පිණිස අලූත් රටවල් (අලූත් වෙළෙඳපොළවල්) ප‍්‍රමාණවත් තරම් සොයා ගෙන නැති බවයි! එසේම දැනට ලංකාවේ තේ අපනයනය කෙරෙන රටවලට වුව, ‘තවත් ටිකක් වැඩිපුර විකිණීමට’ ඉඩක් පාදා ගන්නට ද උත්සුකවී නැති බවයි!
 

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) මගින් World tea production and trade current and future  devolopment-2015’ නමින් නිකුත්කර ඇති වර්තාව, ලෝකයේ තේ නිෂ්පාදන ගැන බොහෝ දත්ත ඇතුළත් ලියැවිල්ලකි. එහි දැක්වෙන අන්දමට ලොව ලොකුම තේ නිෂ්පාදකයා චීනයයි. එ රට වාර්ෂික තේ නිපැයුම මෙටි‍්‍රක් ටොන් මිලියන 1.9කි. එය ලෝක තේ නිපැයුමෙන් සියයට 38කි. ඊළඟට ලොකුම තේ නිෂ්පාදකයා ඉන්දියාවයි. එ රට නිෂ්පාදනය, වසරකට තේ ටොන් මිලියන 1.2කි. ලෝක තේ නිපැයුමෙහි තුන්වැනි කෙරුම්කාරයා අප‍්‍රිකානු රටක් වන කෙන්යාවයි. ඔවුන්ගේ තේ නිපැයුම වසරකට ටොන් 4,36,300කි. ලෝක තේ නිෂ්පාදන පෙරහැරෙහි හතර වැනියා ශ‍්‍රී ලංකාව යි. ඒ රටවල් තරම් නො වුව ද, වාර්තාවේ දැක්වෙන අන්දමට ලංකාවේ වාර්ෂික තේ නිපැයුම ටොන් 3,43,100කි. (ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාවට අනුව, 2016 වසරේ ලංකාවේ තේ නිෂ්පාදනය මෙටි‍්‍රක් ටොන් 2,92,000කි. එනම් කිලෝග‍්‍රෑම් මිලියන 292.6කි.) එම රටවලට අමතරව වියට්නාමය, ඉන්දුනීසියාව, බංග්ලාදේශය, උගන්ඩාව, මල්ලාවි, ටැන්සානියාව සහ රුවන්ඩාව යන රටවල් ද ලෝක තේ සැපයුමේ කණිටු කොටස්කාරයන් බවට පත්ව  සිටිති. තේ නිපැයුම සම්බන්ධයෙන් ලංකාවේ ආසන්නතම වෙළෙඳ තරඟකරුවා කෙන්යාව ය!
 

2016 වසරේ දත්ත (ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාව) අනුව, ලංකාවේ තේ තොග වැඩියෙන්ම මිල දී ගන්නා රටවල් අතරින් ඉහළින්ම සිටින්නේ රුසියාවයි. ලංකාවේ ලොකුම තේ ගැනුම්කරුවා වන ඔවුන්, 2016 වසරේ අපේ රටෙන් මිල දී ගත් තේ තොගය මෙටි‍්‍රක් ටොන් 34,433කි. (එසේම 2017 වසරේ මුල් මාස දහය තුළ ඔවුන් ලංකාවෙන් මිලයට ගෙන තිබුණු තේ තොගය මෙටි‍්‍රක් ටොන් 29,000ක් පමණ වූහයි, ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවල දැක්විණි.) ඊළඟට ලොකුම  ගැනුම්කරුවා ඉරානයයි. 2016 වසරේ ඔවුන් අපේ රටෙන් මිල දී ගත් තේ තොගය මෙටි‍්‍රක් ටොන් 33,929කි. එසේම, තුර්කිය මෙටි‍්‍රක් ටොන් 27,069ක් ද, එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙටි‍්‍රක් ටොන් 18,381ක් ද, ලිබියාව මෙටි‍්‍රක් ටොන් 12,645ක් ද ජපානය මෙටි‍්‍රක් ටොන් 7,764ක් ද වශයෙන් ලංකාවෙන් තේ මිල දී ගෙන තිබේ. තවත් රටවල් කිහිපයක්ම ලංකාවේ තේ මිල දී ගත්ත ද, ඔවුහු ‘සුළු ගැනුම්කරුවන්’ වෙති!
 

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය නිකුත් කළ ඉහත සඳහන් ලියැවිල්ලට අනුව, ප‍්‍රංශය ටොන් 15,200ක් ද, ජර්මනිය ටොන් 28,900ක් ද, පෝලන්තය ටොන් 15,000ක් ද, ජපානය ටොන් 1,19,100ක් ද, බි‍්‍රතාන්‍යය ටොන් 1,16,200ක් ද, ඇමරිකාව ටොන් 1,27,000ක් ද වශයෙන්, විවිධ රටවලින් වාර්ෂිකව තේ තොග ආනයනයකර ගනියි. ලංකාවේ අපට, ඒ රටවලට වැඩි වැඩියෙන් තේ විකිණීම පිණිස ලොකු උනන්දුවක් නැති තරම් ය.
 

2016 වසරේ දත්ත අනුව ප‍්‍රංශය අපෙන් මිලයට ගත්තේ තේ ටොන් එක් දහසකට අඩු ප‍්‍රමාණයකි. ජර්මනිය අපෙන් ගන්නේ මෙටි‍්‍රක් ටොන් 6854ක් පමණි. පෝලන්තය මෙටි‍්‍රක් ටොන් 2455ක් පමණි. ජපානය මෙටි‍්‍රක් ටොන් 7764ක් පමණි. බි‍්‍රතාන්‍යය මෙටි‍්‍රක් ටොන් 1241ක් පමණි. කොටින්ම ලංකාවේ ඇතැමුන් හිස් මුදුනින් අදහන ඇමරිකාව වසරකට ලංකාවෙන් මිලයට ගන්නේ තේ ටොන් 5000කට වඩා අඩු ගණනකි!
 

අප මට්ටු කරන්නට දෝ ඉකුත් දෙසැම්බරයේ ‘තේ තහනමක් පනවා’ පසුව එය ඉවත් කළ රුසියාව ද, ලංකාව සහ ලොව විවිධ රටවලින් විශාල වශයෙන් තේ ආනයනය කරන  රටකි. ඔවුන් වාර්ෂිකව ආනයනය කරන තේ තොග ප‍්‍රමාණය ටොන් 1,59,000කට අධික ය. 2006 වසරේ දී ඔවුන් ලංකාවෙන් මිල දී ගත් තේ තොගය මෙටි‍්‍රක් ටොන් 66,207කි. 2016 වසර වන විට එය ටොන් 34,433ක් දක්වා පහත වැටී තිබේ. 2006 වසර සමග සසඳන විට එය ටොන් 32,000ක පමණ අඩු වීමකි. ලංකාවේ බලධාරීන් එයට හේතු සොයා බැලූ බවක් හෝ එයට පිළියම් කළ බවක් හෝ අසන්නට නැත!
 

අප, ලොව ඇතැම් තේ බොන රටවලට ‘ලංකා තේ’ යවන්නේ ද නැත! පකිස්තානය, ප‍්‍රංශය, ග‍්‍රීසිය සහ සිංගප්පූරුවට තේ අපනයනය කළ බවක් ද 2016 ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ සඳහන් නොවේ. දැනටමත් තහවුරුව තිබෙන විදේශ වෙළෙ`දපොළවල් පසුගිය කාලයේ තවදුරටත් පුළුල් වුණු බවක් ද දැක ගන්නට නැත.
 

රුසියාව අපට පැනවූ තේ තහනම ඉවත් කිරීමේ දී ඔවුන් අපට දැමූ කොන්දේසි ඔස්සේ, ලංකාවෙන් අපනයනය කරන  ‘තේ’ කොතෙක් දුරට පිරිසිදු ද? යන කාරණය ඉස්මත්තේ කතාබහට ආවේ ය. ලංකාවෙන් රුසියාවට යැවුණු තේ ඇසුරුමක කෘමියෙකු සිටි බව බොරුවක් හෝ මවාපෑමක් නොවේ. එයින් ම අපේ තේ තොගවල, ඇසුරුම්වල හෝ බහලූම්වල ‘පවිත‍්‍රතාවය’ සම්බන්ධයෙන් යම් ගැටලූවක් ඇති බවක් ඉස්මතු වෙයි!
 

රුසියාවේ තහනම පැනවුණු විගස, ‘රොයිටර්’, ‘ද හින්දු’, ‘බී. බී. සී.’ ඇතුළු ජාත්‍යන්තර ප‍්‍රවෘත්ති සේවා ගණනාවක ම ඒ ගැන අනාවරණය කෙරිණි. ‘ලංකාවේ අනර්ඝ තේ’ සම්බන්ධයෙන් ලෝකය පුරා පවතින අවධානය කොතෙක් දැයි එයින් පැහැදිලි විණි. එබැවින් අපට පිටරට යැවිය හැක්කේ, ‘ආහාරමය පානයකට සුදුසු තරමට’ පවිත‍්‍රභාවයෙන් යුතු තේ තොග පමණකි. කෙසේ වෙතත් අප ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් ද? යන්න ගැටලූවකි. ඒ අර්ථයෙන් ගත් කල, ජපානයෙන් මතු කෙරෙන කාරණය ද බැහැර කළ නො හැකි ය.
 

ලංකාවේ තේ, පිටරටින් ගෙනා තේ සමග කලවම්කර ‘සිලෝන් ටී’ යන කීර්තිමත් සන්නාමය යටතේ අපනයනය කිරීමේ කටයුත්තක් ද කලක පටන් ම සිදු වෙමින් පවතියි. බලධාරීන් පවසන්නේ එය, ‘අගය වැඩිකර ප‍්‍රති අපනයනය කිරීමේ’ වැඩ පිළිවෙලක් බවයි. එසේම නීති විරෝධීව ‘කසල තේ’ පිටරට යැවීමේ අවස්ථා ද වරින් වර අසන්නට ලැබේ. රබර් හෝ වෙන යම් කාර්මික නිෂ්පාදනයක් මෙන් නොවේ. තේ යනු ආහාරමය පානයකි. එබැවින් දැන් ඉතින්, තේ වගාව, දළු නෙලීම, ප‍්‍රවාහනය මෙන්ම නිමි තේ වශයෙන් ඇසුරුම් කිරීම දක්වා වන සමස්ත ක‍්‍රියාවලියෙහි ‘පිරිසිදුකම’ සහ ‘සෞඛ්‍යාරක්ෂිතකම’ ගැන අලූතින් කල්පනා කිරීම ද යහපත් ය!

(පින්තූරය-අන්තර්ජාලයෙනි)


(මෙම ලිපිය 2018/02/18 ඉරිදා රිවිර පුවත්පතේ පළ විය.)