Total Pageviews

Wednesday, March 7, 2018

මැණික් මතුවන අඩවියේ අපූරු විත්ති-02




බිල් නැත! රිසිට් නැත! කඩදාසි ගිවිසුම් නැත!

රත්නපුර පදික වේදිකාවේ  කෝටිපතියෝ


අඹගහයට



(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)

(ඡායාරූප-රංජිත් ඉලේපෙරුම-රත්නපුර)
මැණික් හිය නිසා බැරි අමාරුවෙන් හෝ මැණික් ආර්ථිකයමත දුවන රත්නපුරයේ මැණික් වෙළෙඳාම්  දිග හැරෙන්නේ කිසියම් රටාවකට අනුව ය. එය ජීවමාන කරන්නේ වීදි මැණික් වෙළෙන්දන්. වීදි මැණික් වෙළෙන්දන් යයි කීවාට ඔවුන් හුදු පේමන්ට්කාරයන්නම් නොවෙති. ඔවුන් ගෙන් බහුතරය පොදුවේ විවිධ තරාතිරම්වල මැණික් වෙළෙන්දන් ය. ඒ අතර රුපියල් කෝටි ගණන්වල මැණිික් ගනුදෙණු පවත්වන මහා පරිමාණ වෙළෙන්දන් ද සිටිති.

රත්නපුරයේ මැණික් වෙළෙ වීදි වූ කලී, පතල් කම්කරුවන්, පතල් හිමිකරුවන්, මැණික් එකතු කරන්නන් සහ වෙළෙන්දන් එකට හමුවන විවෘත මැණික් පොළකි. එය හරියට හාල්, පොල්, එළවළු ආදිය අලෙවි කෙරෙන ගමේ සති පොළකට ටිකක් සමාන ය. රත්නපුරේ වීදි මැණික් පොළේ අලෙවි භාණ්ඩය මැණික්. අනෙක, එය පැවැත්වෙන්නේ දිනපතා ම උදේ වරුවේ ය. එය විශේෂත්වයකි. සෑම උදෑසනකම පාහේ එහි පැමිණ ගනුදෙණු කිරීම, රත්නපුරයේ සහ අවට ප‍්‍රත්‍යන්ත නගරවල මැණික් වෙළෙ කලාවේ සම්ප‍්‍රදායකි. වීදියේ සිටිමින් ගනුදෙණු කළ ද, බේරුවල, බණ්ඩාරගම හෝ මහනුවර ප‍්‍රදේශයේ කෝටිපති මැණික් වෙළෙන්දන් ද රත්නපුරයේ දී දැකිය හැකි ය.

රත්නපුර නගරය පමණක් නොවේ. නිවිතිගල, කහවත්ත, පැල්මඩුල්ල, ගොඩකවෙල, ඇඹිලිපිටිය, කලවාන, කිරිඇල්ලේ හැරනියාවක සහ ඇහැලියගොඩ ආදී රත්නපුර දිස්ත‍්‍රික්කයේ  ප‍්‍රත්‍යන්ත නගරවල පවා වීදි මැණික් වෙළෙ පොළවල් දෛනිකව පැවැත්වේ. කළුතර දිස්ත‍්‍රික්කයේ, බේරුවල නගරයේ ද දිනපතාම වීදි වැණික් පොළක් පැවැත්වේ. රුපියල් තුන් හාරදාහේ පටන්, රුපියල් කෝටි ගණන් දක්වා විවිධාකාර මැණික් ගනුදෙණු ඒවායෙහි සිදු වෙයි. මේ වෙළෙඳා, එහැමපිටින්ම විශ්වාසය මත පදනම් වූවකි. එහි බිල්පත් හෝ රිසිට්පත් නැත්තේ ය. කඩදාසිවල ලියැවුණු වෙළෙ ගිවිසුම් ද නැත්තේ ය. එහෙත් මැණික් ගනුදෙණු ටක්කෙට ම සිදු වෙයි. මැණිික් හි වුව ද, රත්නපුරයට තවමත් පණ තිබෙන බවපෙනී යන්නේ, නගරයට රැස්වන වීදි මැණික් වෙළෙන්දන්ගේ උදෑසන ගුමුගුමුවහේතුවෙනි!

රත්නපුර නගරයේ වීදි මැණික් වෙළෙන්දන් රැස්වන ප‍්‍රධාන ස්ථාන තුනක් තිබේ. ඔර්ලෝසු කණුව අසල, අඹගහයට හන්දිය සහ දෙමුවාත පාර යනු එම වීදි මැණික් වෙළෙ පොළවල් ය. කලකට ඉහත නම් රත්නපුර පල්ලිය පාරේ ද වීදි මැණික් වෙළෙන්දන් රැඳුණහ. දැන් එහි වීදි මැණික් වෙළෙන්දන් නො ගැවසෙන තරම් ය. රත්නපුර ඔර්ලෝසු කණුව අසල වීදි මැණික් වෙළෙඳාම් ආරම්භ වන්නේ සෑම දිනයක ම උදෑසන 7.30ට පමණ ය. , රත්නපුරයේ ඔර්ලෝසු කණුව අසලිනි.  ඉන් පසුව පෙරවරු 9.00 පමණ වන විට එහි සිටි බොහොමයක් මැණික් වෙළෙන්දන් මීටර් සියයක් පමණ දුරින් පිහිටි අඹගහයට හන්දියටසංක‍්‍රමණය වෙති.

අඹගහයට හන්දිය ද රත්නපුරයේ විශාල වීදි මැණික් පොළකි. ඉතා කුඩා ඉඩ පරිශ‍්‍රයක ටකරන් තහඩුවලින් සෑදූ පෙට්ටි කඩ බඳු වෙළෙසැල්වල ද විවෘත එළිමහනේ ද, පදික වේදිකා, කාණු ගැටි, කඩපිල්වල අගු ආදී ස්ථානවල ද වෙළෙඳාම් සිදු වෙයි.

අඹගහයට හන්දායට ඒ නම ලැබී ඇත්තේ අතීතයේ එහි පැවති අඹ ගසක් නිසා ය. අද එහි ඇත්තේ අඹ ගසක් නොව බෝරුකකි’. මැණික් පොළ පැවැත්වෙන්නේ ඒ අසල ය. එතැනට මැණික් කොටුවයයි ද ව්‍යවහාර කරති. අඹගහ යට හන්දිය වඩාත් ප‍්‍රකටව තිබෙන්නේ, ගෙවුඩ, ඔට්ටු, සිල්කි ගල්, සහ කොලටි ගල් යනුවෙන් හඳුන්වන මැණික් වර්ග අලෙවිය සහා ය. ඊට අමතරව කුඩා ප‍්‍රමාණයේ මැණික් රැස් කරන (මැණික් ලොට්) වෙළෙන්දන් ද එහි ගැවසෙති.

එකිනෙකා හමුවන විට එතැන දී විමසන සුපුරුදු ප‍්‍රශ්නයක් තිබේ.
මොනවත් ගත්තේ නැද්ද?’ යන්න ඒ ප‍්‍රශ්නයයි!


වෙළෙන්දන් එහි එකතු වන්නේ, තමන්ගේ වෙළෙඳාමට සරිලන කුමක් හෝ මැණිකක් මිලයට ගන්නට ය. පතල්කරුවන් හෝ ගමේ මැණික් වෙළෙන්දන් අඹගහයට හන්දියටඑන්නේ, තමන් සතු මැණික් වැඩිම මිලකට විකුණා ගන්නට ය. එබැවින් වෙළෙන්දන් අතර මොනවත් ගත්තේ නැද්ද?’ ප‍්‍රශ්නය මතු වෙයි. ඇතැමුන් මැණික් මිල දී ගන්නේ තවත් සගයෙකු සමග හවුලේ ය.

වර්තමාන අඹගහ යට හන්දිය ඉස්සරට වඩා දියුණු ය. මැණික් ගල්වල අගය වැඩි කිරිමේ කටයුතු කෙරෙන කුඩා මැණික් වැඩ පොළක්ද එහි පිහිටා තිබීම, ඊට හේතුවයි. මැණික් වැඩ පොළතිබෙන්නේ මැණික් කොටුවේ ඇති කුඩා ගොඩනැගිල්ල තුළ ය. එය මැණික් වැඩ පොළක් බවට පත්කර ඇත්තේ මැණික් ගල් ඉරීම, ගෑම, සහ කැපීම ආදී කටයුතු කරන කිහිප දෙනෙකු විසිනි. එහි ගොඩ වදින කෙනෙකුට යම් මුදලක් ගෙවා තමන්ගේ මැණික් ගල් අලංකාරව සකසා ගන්නට පුළුවන.
සාමාන්‍යයෙන් පෙරවරු 10.00 පමණ වන විට, රත්නපුරයේ වීදි මැණික් වෙළෙඳාදෙමුවාත පාරටසංක‍්‍රමණය වෙයි. දෙමුවාත පාර යයි කියන්නේ, ‘අඹගහයට හන්දියටපෙනෙන දුරින් පිහිටි වීදියකි. ඇත්තට ම එය සැකසී තිබෙන්නේ මැණික් වෙළෙඳාමට නොවේ. කම්බි පාලම ඔස්සේ කළු ගෙන් එතෙරව මුද්දුව ප‍්‍රදේශයට යාමට ය. එය කෙටි මගකි. එසේ වුව ද රත්නපුරයේ මහජනතාව සහ වෙළෙ ප‍්‍රජාව, අද එය මැණික් වෙළෙ වීදියක්බවට පත්කර ගෙන තිබෙනු පෙනෙයි. වීදි වෙළෙන්දන් වැඩි දෙනෙක් දෙමුවාත පාරට එන්නේ, මිල දී ගත් මැණික් විකිණීමට හෝ කපා ඔප දමා ගැනීම සහා ය. නැතිනම් දෝෂ පළුදු ඉවත්කර තම මැණික හැඩකර ගැනීමට ය.

මහ පොළොවෙන් මතුකර ගත් රළු මැණිකක්’, කපා ඔප දමා හැඩ කරනවා යන්නෙහි වෙළෙ අරුත, එහි අගය සහ වටිනාකම වැඩි කිරීමකි. අගය සහ වටිනාකම එකතු කිරීමකි. ඉංග‍්‍රීසි බසින් නම් එය වැලියු ඇඩඞ්’ (Value Added) . වැලියු ඇඩඩ්යනු නූතන වෙළෙ කලාවේ අතිශයින්ම ප‍්‍රචලිත අංගයකි. මැණික් කර්මාන්ත ක්ෂේත‍්‍රය නියාමනය කරන ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියද නිතරම කියන්නේ හැමවිට ම අගය වැඩි කළ  මැණික් ගල් පමණක් පිටරට යැවිය යුතු බව ය. ඔවුන් ඒවා හඳුන්වන්නේ නිමි මැණික්යනුවෙනි. දැන් රළු මැණික්හෝ අමු මැණික්හෙවත් කපා ඔප නො දැමූ මැණික් ගල්, අපනයනය කිරීම ද නීතියෙන් ම තහනම් ය. එබැවින් වැලියු ඇඩඩ්කිරීම අනිවාර්ය කටයුත්තකි. අගය වැඩි කළ මැණික්වලට ජාත්‍යන්තර වෙළෙපොළේ දී ඉහළම මිලක් ලැබේ.

නූතන වෙළෙ කලාවට අලූත් දෙයක් සේ පෙනුණ ද, රත්නපුරේ සම්ප‍්‍රදායික මැණික් කර්මාන්ත ක්ෂේත‍්‍රයට නම් වැලියු ඇඩඩ්යන සංකල්පය අලූත් දෙයක් නොවේ. රත්නපුරේ පැරණි මැණික් කර්මාන්තකරුවෝ අනාදිමත් කාලයක් මුළුල්ලේ තම මැණික් ගල්වලට වැලියු ඇඩඩ්කළහ. ඒ සහා ගත් ක‍්‍රියාමාර්ග ද බොහොමයකි. කැපීම සහ ඔප දැමීම, සම්ප‍්‍රදායික පිළිස්සීමේ ක‍්‍රම මගින් මැණික් ගල්වල වර්ණය වැඩිකර ගැනීම, ලූණු පොල්කට්ටක උලා ගැනීමෙන් කොරසම්ආදිය ඉවත් කිරීම, සම්ප‍්‍රදායික හණපෝරු පට්ටලයේ ඇල්ලීමෙන් දෝෂ-පළුදු ගා ඉවත් කිරීම, මැණික් ගල්වල සියුම් සිදුරු විදීම සහ කැපූ මැණික් ස්වර්ණාභරණවලට බැඳීම ආදිය ඒ අතර විය. එයින් මැණික් ගල්වලට අතිරේක වටිනාකමක් එකතු කෙරිණි. පැරැන්නන් තම මැණික් කොතරම් වැලියු ඇඩඩ්කරතිබුණේ ද යන්න රජවරුන්ගේ ඔටුනු, ආභරණ සහ අනෙකුත් පළනා ආදිය ගැන විමසීමේ දී පෙනී යයි. එකල ඔවුන් මැණික් පැළ ඇත්තේ රළු මැණික්වශයෙන් නොව, කපා ඔප දැමූ මැණික් වශයෙනි. ඒ අර්ථයෙන් ගත් කල, අදට ද ඉතිරිව තිබෙන සාම්ප‍්‍රදායික මැණික් කැපීමේ උපකරණය වන හණපෝරු පට්ටලයවැලියු ඇඩඩ්කිරීමේ මෙවලමකි!

එක් අතකට වර්තමාන දෙමුවාත පාර ද එහැමපිටින් ම වැලියු ඇඩඩ්වීදියකි. එහි දිනපතාම පාහේ වැලියු ඇඩඩ්වැඩ බොහොමයක් සිදු වෙයි!

කොටින්ම දෙමුවාත පාර දැන් මැණික් ලෝකයේ පංචිකාවත්තවැනි ය.  ඕනෑම මැණික් ගලක්,  ඕනෑතරම් මස්කරඅලංකාර කිරීමට (වැලියු ඇඩඩ් කිරීමට) එහි සිටින ශිල්පීහු හපන්නු ය. ඒ සහා සම්ප‍්‍රදායික ක‍්‍රම ශිල්ප මෙන්ම නවීන තාක්ෂණය ද භාවිතා කෙරෙයි.
(මතු සම්බන්ධයි)
 (මෙම ලිපිය 2018/03/05 රිවිර පුවත්පතේ පළ විය.)
2018/02/25.

මැණික් මතුවන අඩවියේ අපූරු විත්ති-01





ලක්ෂ හැටක නිල් මැණිකක් දෙකට ඉරා දමති!




(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
(ඡායාරූප-රංජිත් ඉලේපෙරුම-රත්නපුර)
අපි රත්නපුර නගර සභා ගොඩනැගිල්ල ඉදිරිපිටින් ඇවිද ගෙන ගොස් දකුණට හැරී දෙමුවාත පාරට වැටුණෙමු. වේලාව පෙරවරු 9.30 පමණ වන්නට ඇත. දෙමුවාත පාර රත්නපුරයේ බොහොම ප‍්‍රසිද්ධ මැණික් වෙළෙ වීදියකි. අපි එහි හැඩතල නරඹමින් කම්බි පාලම දෙසට ඇවිද ගියෙමු. අපියයි කීවේ මටත් බුද්ධිකටත් ය. බුද්ධික යනු කලින් මා සමග ඉරිදා ලක්බිමේ ද, පසුව කොළඹ රොයිටර් ආයතනයේ ද වැඩ කළ ඡායාරූප මාධ්‍යවේදී බුද්ධික වීරසිංහ ය. දැනට ජපානයේ පදිංචිව සිටින ඔහු පසුගිය දා ලංකාවට පැමිණ තිබුණේ බ්ලූම්බර්ග්නම් ජාත්‍යන්තර වෙළෙ ප‍්‍රවෘත්ති සේවාවට රත්නපුරේ මැණික් කර්මාන්තය ගැන පින්තූර කතාවක් ගොනු කරන්නට ය.

අන්න රුපියල් ලක්ෂ හැටක් විතර වටිනා නිල් මැණිකක් දෙකට ඉරනවා. ඔයාලාට පින්තූර ගත්තෑකි!

වීදිය අයිනේ සිටි මැණික් මිත‍්‍රයෙක් අපට ආරංචියක් දුන්නේ ය. ඔහු අපි කලින් හඳුනන කෙනෙකි. එසේ නැති නම් මේ මැණික් වෙළෙ වීදියේ තොරතුරු නන්නාඳුනන අයට කියන්නේ නැත.

රුපියල් ලක්ෂ හැටක් පමණ වටිනා නිල් මැණික් ගලක් කැබලිවලට ඉරන්නේ මොන මරු විකාරෙන් දැයි මෙය කියවන පාඨකයන් කල්පනා කරන්නට පුළුවන. අපට එසේ සිතුණ ද රත්නපුරේ මැණික් කර්මාන්ත ලෝකයට නම් ඒවා අතිශයින් ම සාමාන්‍ය දේවල් ය!  ඕනෑම මැණික් ගලක්, එහි දෝෂ-පළුදු ඉවත්කර, දීප්තිය සහ වර්ණය ඉස්මතු වන තෙක් කපා කොටා, ඔප මට්ටම්කර අනර්ඝ මැණික් කැටයක් බවට පත් කිරීම  නූතන වෙළෙඳාමේ ස්වභාවයයි. මැණිකක රුව (වර්ණය සහ හැඩය ආදී) ඉස්මතු වන තරමට, එයට ලැබෙන මිල ද ඉහළ යන බව මැණික් කර්මාන්තකරුවෝ දනිති. කොතෙක් වංශවත් මැණික් කැටයක්වුව ද ඒවායෙහි දීප්තියට බාධා කරන කොරසම්හෙවත් පිටතින් බැඳුණු ඛනිජමය කොටස් තිබීමට ඉඩ තිබේ. ඇතැම් මැණික් ගලක, පළුදු (ගල ඇතුළත පිහිටන ඉතා සියුම් බිඳුම් රේඛා) හෝ ඉතා සියුම් වායු බුබුළු තිබෙන්නට පුළුවන. ඒ සියල්ලම මැණිකෙහි වටිනාකම දුබල කරවන සාධක වේ. ගෙදර කුස්සියේ දී අර්තාපල් අලයක නරක්වූ කොටස් ඉවත්කර දමන්නා සේ, මැණික් කර්මාන්තකරුවන් ද මැණිික් ගල්වල ඇති පළුදු සහ කොරසම් ආදිය ඉවත් කරති. ඔවුන් ඒවා කරන්නේ නවීන විද්‍යුත් යන්ත‍්‍ර මගින් ගෑමහෝ ඉරීමමගිනි. රත්නපුරේ මැණික් ජනවහරෙන් ගෑම  යයි කියන්නේ ගමේ ව්‍යවහාරයේ දී යම් දෙයක් ගල ගෑමවැනි සංසිද්ධියකි. රුපියල් හැට ලක්ෂයක් පමණ වටිනා නිල් මැණික් කැටයෙන් කොටසක් ඉරා දැමුවේ ද, එහි තිබුණු පළුදු සහිත ස්ථරයක් ඉවත් කිරීම පිණිස ය.

රත්නපුර නගර සභා ගොඩනැගිල්ලට පෙනෙන මානයෙන් පටන් ගන්නා දෙමුවාත පාර, රත්නපුර නගරයේ ඇති ප‍්‍රධිනතම මැණික් කර්මාන්ත වීදියකි. මැණික් ගල් විකිණීමේ පටන්, ඒවා කපා කොටා, ඉරා, ඔප මට්ටම් කිරීම දක්වා කටයුතු එහි දී සිදු වෙයි. දෙමුවාත පාර අවසන් වන්නේ කළු ග ඉවුරේ පිහිටි මුද්දුව කම්බි පාලමට පිවිසෙන ස්ථානයෙනි. බලංගොඩ පැත්තෙන් එන වේ ගකළු ගට එක් වන්නේ ද එතැනිනි. දෙමුවාත පාර මැණික් ලෝකයට වැදගත් වන්නේ එක්තරා කාරණයක් නිසා ය. එනම්, රත්නපුරයට උරුම වුණු සම්ප‍්‍රදායික පාරම්පරික මැණික් කර්මාන්ත ශිල්ප ක‍්‍රම ස්වල්පයක් තවමත් එහි ඉතිරිව තිබීමයි!

කවුරුත් දන්නා පරිදි රත්නපුරය යනු මැණික් උපන් පුරවරයයි. එය මුළු ලෝකයේ ම ප‍්‍රසිද්ධවූ කාරණයකි. රත්නපුරයේ මහ පොළොවෙන් මැණික් මතුවීම එක් කාරණයකි. ලංකාවේ කොතැනකින් මැණික් ගලක් හමු වුව ද, එය රත්නපුරයේ දී අලෙවි වන්නට වැඩි ඉඩක් තිබීම අනෙක් කාරණයයි. එසේ වුව ද වර්තමාන රත්නපුරය ඉස්සර තරම් යස ඉසුරින් පිරුණු පුරවරයක් නොවේ.


රත්නපුරයට දැන් මැණික් හි. අලූත් මැණික් නිධි (ඉඩම්) සොයා නො ගැනීම, මැණික් පතල් කැපීම සහා පනවා ඇති නීති රීති දැඩිකර තිබීම, පතල් කපන්නට අධික වියදමක් දරන්නට සිදු වීම සහ මැණික් කර්මාන්ත ක්ෂේත‍්‍රය වැඩි දියුණු කිරීම සහා දිගු කලක් මුළුල්ලේ ම නිසි රාජ්‍ය අනුග‍්‍රහයක් නො ලැබීම ආදී කාරණා රාශියක් හේතුවෙන් අපේ කාලයේ රත්නපුරයේ මැණික් දිස්නය වියැකී ගොසිනි. කොටින්ම අද රත්නපුරයේ මැණික් වෙළෙපොළ සහ කර්මාන්තය දුවන්නේ මැඩගස්කරය හෝ ටැන්සානියාව ආදී රටවලින් ගෙන එන රළු මැණික්වලිනි. ඇතැම් අය තම ඇනවුම් සපුරා ගැනීම පිණිස තාපිලන්තයේ බැංකොක් නුවරින් ද මැණික් ගෙන්වා ගන්නා බව ද රහසක් නොවේ!

අතීතයේ දී ග‍්‍රීක වෙළෙන්දෝ ද නිල් මැණික් සොයා රත්නපුරයට පැමිණියහ. කළු ග නිම්නයේ ඉහළ කොටසට සපරගමුවයයි නම්වර ලැබී ඇත්තේ ද, ඔවුන් නිල් මැණික් හැඳින්වූ සැපිරෝස්යන වචනය මුල්කර ගෙන බව, රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල නා හිමියෝ සිය පර්යේෂණ ග‍්‍රන්ථවල සහන්කර ඇත. නිල් මැණික්වලට ඉංග‍්‍රීසියෙන් කියන්නේ, ‘Blue sapphire’ (බ්ලූ සැෆයාර්) යනුවෙනි. එය ද ග‍්‍රීක වචනය තුළින් සැකසුණු එකකි. මැණික් මැණික්යයි කීවාට ලංකාව ද, විශේෂයෙන් ම රත්නපුරය ද ලොව පුරා ප‍්‍රසිද්ධියට පත්ව ඇත්තේ නිල් මැණික්නිසා ය. දැන් රත්නපුරයට නිල් මැණික් පවා හි!
මැණික් හි වීම නිසා ඒවායෙහි වෙළෙඳාම්වලට ද මැණික් කැපීමේ සහ ඔප දැමීමේ කර්මාන්තයට මෙන්ම ස්වර්ණාභරණ නිපදවීමේ කර්මාන්තයට ද වැදී ඇත්තේ මරු පහරකි. බැරි අමාරුවෙන් හෝ වෙළෙපොළට ගෙන එන මැණික් ටික සාධාරණ මිලකට විකුණා ගැනීම ද අසීරු ය. ලොකුම ප‍්‍රශ්නය ඇත්තේ, කපා ඔප දමා සකස් කළ මැණික් විදේශ වෙළෙපොළට යැවීම ය! අඩු තරමින් ලංකාවට එන විදෙස් සංචාරකයන් රත්නපුරයට ද ගෙන්වා ගැනීමේ වැඩ පිළිවෙලක් ද නැත. දුරාවාරයේ හෝ රත්නපුරයට එන්නේ විදෙස් සංචාරකයන් ටික දෙනෙක් පමණි.  ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය යනු ලංකාවේ මැණික් කර්මාන්ත ක්ෂේත‍්‍රයේ උන්නතිය සහ නියාමනය සහා වර්ෂ 1971 දී ඇති කළ  (එකල රාජ්‍ය මැණික් සංස්ථාව) රාජ්‍ය ආයතනයයි. රත්නපුරයේ ජනතාව අද ඔවුන් කෙරෙහි දක්වන්නේ අතිශයින්ම උත්ප‍්‍රාසවත් ආකල්පයකි.

ඒ ගොල්ලෝ ඉන්නේ පතල් ලයිසන් දීලා සල්ලි ගන්නය,ි හොරෙන් පතල් කපන ඒවා අල්ලලා දඩ ගහන්නයි විතරයියයි ඔවුහු කියති!
මැණික් කර්මාන්තය සම්බන්ධයෙන් මහජනයාගේ කලකිරීම, පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ද පිළිිබිඹු විය. යහපාලන ආණ්ඩුව රත්නපුරයෙන් පරාජයට පත් විය.

වරක් ලියුම්කරුට රත්නපුරයේ දී හමුවූ එක්තරා මැණික් ව්‍යාපාරිකයෙක් මෙහේ මැණික් නැතැයි කියන්නේ කවුද?’ කියා සැරෙන් විමසී ය. ඉක්බිති සිය මෝටර් රථයෙන් දෙහි ගෙඩියක් තරම් විශාල වෛරෝඩි’ (Cat’s eye) වර්ගයේ කපා ඔප දැමූ මැණික් ගලක් අපට පෙන්වූයේ ය! එය බොහොම අලංකාරයට නූල වැඩ කරනමැණික් ගලකි. බැලූ බැල්මට ම එය රුපියල් කෝටි ගණනක් වටිනා වෛරෝඩියක් බව පෙනේ. ව්‍යාපාරිකයා මැණික අපට පෙන්වූයේ සමච්චල් සිනාවක් ද මුවග දවටා ගනිමිනි!

කදි ද ගත්තේ ?’ ඇසුවේ ය.

නෑ මේක මැණිකක් නෙවෙයි, ‘සින්තටික්ගලක්. ඒ කියන්නේ ව්‍යාජ මැණිකක්. දැන් ඉතින් අපි කාටහරි මැණික් පෙන්වන්න  ඕන වුණාම මේ වගේ කෘතිම වීදුරු ගල් බලන්න දෙනවා. හැබැයි විකුණන්නේ නෑඔහු උත්තර බැන්දේ ය!
(මතු සම්බන්ධයි)
 (මෙම ලිපිය 2018/02/25 රිවිර පුවත්පතේ පළ විය.)
2018/02/20.