Total Pageviews

Saturday, March 24, 2018

මැණික් මතුවන අඩවියේ අපූරු විත්ති-05





රත්නපුරයෙන් මතුවන

මැණික් කර්මාන්තයේ දේශීය තාක්ෂණ ලකුණ

මැටි මැණික්, විදුම් සහ පිළිස්සුම්!




(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)

(ඡායාරූප-බුද්ධික වීරසිංහ සහ රංජිත් ඉලේපෙරුම)


 

රත්නපුරයේ දී පෙන්වූ මැටි මැණික් සහ අනෙක් මැණික් ගල්

 (ලංකාවේ මාධ්‍යයක මෙම පින්තූරය වර්ණයෙන් පළ වන්නේ මුල් වතාවට ය. (පින්තූරය-බුද්ධික වීරසිංහ)
රත්නපුරයේ දී ‘මුක්කරු මැණික් ලොට් එකක්’ ලියුම්කරුට පෙන්වූ පුද්ගලයා ද වීදි මැණික් වෙළෙන්දෙකි. ඔහු ලියුම්කරු සමග කතා කළේ පත්තරයෙන් ඔහු කවුරුන්දැයි හෙළිදරව් නො කරන පොරොන්දුව පිට ය.

‘මේවා මට හම්බවුණු ඒවා නෙවෙයි. මං මේ වගේ මැණික් එකතු කරනවා. මේවාට යම් වෙළෙඳපොළකුත් තියෙනවා. මුක්කරු මැණික් ෆලෝ කරන අය මට මේවා ගෙනත් දෙනවා’ යයි ඔහු කියා සිටියේ ය.


ඔහු පෙන්වූ මැණික් ගල්  සමූහය, ඇත්තට ම බොහොම දුර්ලභ මාදිලියකි. ඊට හේතුව වන්නේ, ඒවා කපා, ඔප දමා ඇති ආකාරයයි.


’මේවා තමයි ‘මැටි මැණික්!’, එහි වූ යම් කොටසක් පෙන්වමින් ඔහු කීවේ ය.


ඒවා පැහැයෙන් තද රතු පාට සහ කහ පාට ය. හැඩය රවුම් ය. හරියට කුඩා බෙහෙත් පෙත්තක් හෝ ‘වොෂර් එකක්’ වැනි ය. වට ප‍්‍රමාණයෙන් මුං ඇටයක තරම ය. අරුමයකි, ඒවායෙහි මැදින් සියුම් සිදුරක් ද තනා තිබේ! ඇතැම් ‘මැටි මැණිකක්’ මුං ඇටයක් මෙන් වටකුරු ය. වීදි වෙළෙන්දා පවසන්නේ ඒවා ‘මැටි මැණික්’ බව ය. සැබෑවකි. අත්ලට ගෙන බැලූ විට, ඒවායෙහි මතුපිට පෘෂ්ඨය අතිශයින්ම සුමට ය. මැණික් ගලක පෘෂ්ඨය වාගේ ම ය!


ඛනිජමය සහ ‘ක‍්‍රිස්ටල්මය’ ස්ඵටිකවලින් පිරුණු මැණික් ලෝකයේ, රත්න විද්‍යාත්මකව ‘මැටි මැණික්’ කියා දෙයක් නැත. එහෙත් රත්නපුරේ ජන ව්‍යවහාරයේ දී ඒවා ‘මැටි මැණික්’ ය. වීදි වෙළෙන්දා නො දන්නවා හෝ නො කීවාට, මේවා පෞරාණික ‘මැටි පබළු’ ය. ඈත අතීතයේ දී පළඳනා හැටියට භාවිත කළ වස්තූන් ය. එනම් ‘ආභරණ’ ය. මැණික් වැනි ස්ඵටිකමය ඛනිජ භාවිතයට පෙර මනුෂ්‍යයන් පැළඳීම පිණිස පාවිච්චි කළේ මැටියෙන් තැනූ ‘පබළු’ වැනි දේවල් ය.

 

රත්නපුර දෙමුවාත පාරේ දී

ලියුම්කරු 2008 වසරේ දී තංගල්ලට නුදුරු, හුංගම, මිණිඇතිලිය වෙල් යායේ කෙරුණු පුරාවිද්‍යා කැනීම් නැරඹීමට ගියේ ය. කැනීම මෙහෙයවූ ආචාර්ය නිමල් පෙරේරා මහතා පැවසූ අන්දමට, එය අදින් වසර 4,400-3,800ත් අතර වකවානුවකට අයත් බවට කාලනීර්ණය කෙරුණු මානව ජනාවාසයකි. එයින් ද මැදින් සිදුරක් විදින ලද ‘මැටි පබළු’ හමුවී තිබිණි. පුරාවිද්‍යා නිලධාරියෙක් ලියුම්කරුට ඒ ගැන විස්තර කළේ, පබළුව මැදින් නූලක් ද යවා පෙන්වමිනි. මිණිඇතිලියෙන් හමු වුණු පබළු නම් දිස්වූයේ මැටි පාටිනි.


ආදි මානවයන්ගේ ‘ආභරණ’ ගැන, ආචාර්ය සිරාන් දැරණියගල මහතා වර්ෂ 1969 දී අනුරාධපුරයේ ඇතුළුපුර කැනීමෙන් ද, දඹුල්ල ‘ඉබ්බන්කටුව’ මෙගලිතික සුසාන භූමියේ කැනීම්වලින් ද මහාචාර්ය රාජ් සෝමදේව මහතා ඇඹිලිපිටියේ රංචමඩම සහ හල්දුම්මුල්ල යන ප‍්‍රදේශවල කළ කැනීම්වලින් ද තොරතුරු ලැබී තිබේ.පොදුවේ ගත් කල, මනුෂ්‍යයන්  මැටි පබළු වැනි පැරණි ආභරණ භාවිත කළ වකවානුව අදින් වසර 4000ත් 3000ත් අතර කාලයට අයත් වෙයි.


රත්නපුරයේ දී ලියුම්කරුට පෙන්වූ ‘මැටි මැණික්’, ඇත්තට ම පැරණි ‘මැටි පබළු’ ය. ඉතා හොඳින් පුළුස්සා ගත් මැටි පබළු ය. රත් පැහැය එයට සාක්ෂියකි. ඒවා මැදින් සිදුරුකර ඇත්තේ ‘පළඳනාව’ සකස්කර ගැනීම (අමුණා ගැනීම) සඳහා ය. මේවා කොතැනකින් හෝ හමුවූ ‘පුරාවස්තූන්’ බව ලියුම්කරුගේ කල්පනාවයි!


ඇත්තට ම, ඒවා හමු වන්නේ ‘මුක්කරුවරුන් මැණික් ගැරූ ස්ථානවලින්’ ද? නැතිනම් ඔවුන්ගේ සොහොන් හෝ වෙන යම් ‘මැණික් එකතුවලින්’ ද? යන්න ගැටලූවකි. මනුෂ්‍යයන් මැටි පබළු භාවිතකර තිබෙන්නේ, පළඳනා සඳහා ‘මැණික්’ හෝ ‘වීදුරු’ යොදා ගන්නට ඉහත කාලයේ ය. එකල මැණික් තිබී නැත. එහෙත් මුක්කරුවරුන් ලංකාවට පැමිණි සමයේ මැණික් තිබිණි. එබැවින් මුක්කරුවරුන්  ‘මැටි පබළු’ තැනුවා හෝ භාවිත කළා යයි සිතන්නට ද නුපුළුවන!


කෙසේ වෙතත් ලියුම්කරුට පෙන්වූ ‘මුක්කරු මැණික්’ සමූහයෙහි සැබෑ මැණික් ගල් කිහිපයක් ද තිබුණේ ය. ඒවා මනා සේ කපා ඔප දමා තිබිණි. විශේෂත්වය වූයේ, ඒවා ද මැදින් ඉතා සියුම් ලෙස සිදුරුකර තිබීමයි. මෙම මැණික් ගල්, කිසියම් පළඳනාවක් සෑදීම පිණිස සිදුරු කළ බව පැහැදිලි ය. අපූර්ව කාරණය වන්නේ ඒවා මැදින් ඉතා සියුම් විද තිබීමයි. අද පවා මැණික් ගලක් මැදින් සිදුරක් විදීමේ තාක්ෂණය සුලභ එකක් නොවේ. එසේ නම්, මුක්කරුවරුන්ගේ සමයේ හෝ ඊට ඉහත (පැරණි රජුන් දවස) එතරම් සියුම් ලෙස සිදුරු විද්දේ කෙසේ ද? යන්න පුදුම සහගත කාරණයකි. විශේෂත්වය වන්නේ එම මැණික් ගල් ඇතුළේ දිශා කිහිපයකට විහිදෙන සිදුරු සකසා තිබීමයි! එය රත්නපුරයේ ඉපැරණි මැණික් කර්මාන්ත තාක්ෂණයට අයත් ද? යන්න මහත් කුතුහලය දනවන කාරණයකි.


මැණික් පතල් හා කර්මාන්ත කලාවේ දේශීය තාක්ෂණය බොහොම අපූර්ව පුළුල් දෙයකි. එය නිසැකව ම, අනාදිමත් කාලයක් මුළුල්ලේ කළු ගඟ ඉහළ නිම්නයෙහි (රත්නපුරයෙහි) ජන භාවිතාව ඔස්සේ ගොඩ නැගුණු එකකි. එසේම, මැණික් පතල් හා කර්මාන්ත කලාවේ තාක්ෂණය, කිසියම් දුරකට ‘රත්නපුරයට අනන්‍ය බවක්’ ද පෙන්නුම් කරයි. එය, මැණික් ඉල්ලම් ඇති ස්ථාන සෙවීම, මැණික් පතල් කැනීම (රත්නපුරයේ ජන වහරෙන් පතල් කැපීම), මැණික් කපා ඔප දැමීම සහ පුළුස්සා වර්ණ වැඩිකර ගැනීම ආදි ක්ෂේත‍්‍ර ගණනාවකින් කැපී පෙනෙයි.


ආචාර්ය සිරාන් දැරණියගල සූරීන් වර්ෂ 1969 දී අනුරාධපුරයේ ඇතුළු පුරයේ කළ පුරාවිද්‍යා කැනීම, ලංකාවේ කෘෂිකර්මාන්තය සහ කර්මාන්ත සම්බන්ධයෙන් අතිශයින් ම වැදගත් පර්යේෂණයකි. අදින් 3000කට පමණ (ක‍්‍රි. පූ. 1000-750) ඉහත දී, ලංකාවට  ‘පූර්ව ඓතිහාසික යකඩ යුගය’ එළඹුණේය යන්න, එයින් කෙරුණු ලොකු ම හෙළිදරව්වයි. පර්යේෂණයෙන් අනාවරණය වූ අන්දමට, එකල අනුරාධපුයේ විසූවෝ ‘යකඩ නගුල’ ද ඇතුළුව කෘෂිකාර්මික යකඩ මෙවලම් භාවිතකර තිබේ. ‘පූර්ව ඓතිහාසික යකඩ යුගය’ ඉන්දියාවේ සිට මෙ රටට ගලා ආ බව, විද්වතුන්ගේ මතයයි.


කළු ගඟ ඉහළ නිම්නය සම්බන්ධයෙන් ද මේ කාරණය ඉතා වැදගත් ය. ‘වලවල් හෑරීමෙන් කරන’ මැණික් පතල් කැනීම් ද, යකඩ යුගයෙන් පසුව ආරම්භ වන්නට ඇතැයි කල්පනා කළ හැකි ය!


ජන සමාජය යකඩ භාවිතයට හුරු වීමත් සමගම, මැණික් පතල් කැපීමට භාවිත කරන ‘උදැල්ල’ සහ ‘ඉල්ලම් කූර’ (වෙනත් ප‍්‍රදේශවල භාවිත කරන  ‘නාරස්සනය’ වැනි  අඩි තුනක් පමණ දිග යකඩ කූරක් වැනි මෙවලමක්), නිර්මාණයකර ගන්නට ඇත! පාරම්පරික මැණික් පතල් කර්මාන්තය ගත් විට, ලෝහමය මෙවලම් ඇත්තේ ඉතා සුළු සංඛ්‍යාවකි. උදැල්ල, ඉල්ලම් කූර, වතුර ඉසින බාල්දිය සහ ඉල්ලම් ඇති ස්ථාන සෙවීමට භාවිත කරන ‘කම්බිලි කූර’ වැනි මෙවලම් ඒ අතර වේ. මැණික් පතල් කර්මාන්තයට භාවිත කෙරෙන අනෙක් සියලූම මෙවලම් දැවමය හෝ ශාකමය කොටස් ඇසුරෙන් නිපදවා ගැනේ.


මැණික් පතල් මාදිලි ද ගණනාවකි. පොළොවේ වලක් සේ කනින පතල්, ගංගාවල කෙරෙන ඇදුම් පතල්, විශාල ප‍්‍රමාණයේ වලවල් වශයෙන් කනින ‘පතස්’ ආදිය ඒ අතර වෙයි. පොළොවේ ‘වලවල්’ ආකාරයට කනින පතල්වල ‘ප‍්‍රමාණය’ කියන්නේ ‘රියන්වලිනි’. එනම්, හතර රියන් පතල්, අට රියන් පතල්, දෙළොස් රියන් පතල්, දාසය රියන් පතල් ආදී වශයෙනි. එයින් හැඳින්වෙන්නේ පතලයේ දිග ප‍්‍රමාණයයි. සාමාන්‍යයෙන් මැණික් පතලයක පළල රියන් හතරකි. දේශීය පතල් කැපීමේ කලාවේ ගණන් මිමි සකසා ගෙන ඇත්තේ පතල්කරුවන්ගේ ආරක්ෂාව සහ වැඩ කිරීමේ පහසුව වැනි කරුණු සලකමින් විය හැකි ය.

(මතු සම්බන්ධයි)


 (මෙම ලිපිය 2018/03/25 රිවිර පුවත්පතේ පළවිය.)



Sunday, March 18, 2018

මැණික් මතුවන අඩවියේ අපූරු විත්ති-03




කුණු ට‍්‍රැක්ටරේ-මාළු ලෑල්ලේ 
කුලී වැඩට ගිය
රත්නපුරේ මැණික් වෙළෙන්දෝ



(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
(ඡායාරූප-රංජිත් ඉලේපෙරුම සහ මුෂාන් හාරීම්-රත්නපුර)
‘බුදු හාමුදුරුවෝත් කියලා තියෙනවා නේ තණ්හාව වේදනාවට මුලයි කියලා. රත්නපුරේට අද වෙලා තියෙන්නෙත් ඒකයි. අර ජන කතාවේ හැටියට, කෙනෙක්  කිකිළිගේ බඩ පළලා රත්තරන් බිත්තර ටික එක සැරේ ගන්න ගියාලූ නේ. මේකත් එරියට ඒ වගේ තමයි. තණ්හාධිපති මිනිස්සු මහ පොළොව පළලා මැණික් ටික එක සැරේ ගන්ඩ උත්සාහ කළා නේ. දැන් ඉතින් හැම දෙයක් ම විනාශ වෙලා. දැන් මැණිකුත් නෑ. මැණික් ඉල්ලම් තියෙන ඉඩමුත් නෑ. පතල් කපන්ඩ තැනකුත් නෑ. ඉතින් මැණික් ලැබෙන්නෙත් නෑ. මැණික් නැති හින්දා සල්ලිත් නෑ. වැඬේ කියන්නේ බලයට ආපු හැම ආණ්ඩුවකින් ම කළේ මහ පොළොව පළලා මැණික් ටික එක සැරේ ගන්ඩ ගිය කට්ටියට සපෝට් කරපු එකයි. දැන් ඉතින් හැම දෙනෙක්ම ‘හෝල් සේල්’ විඳවනවා’

රත්නපුරය හෙවත් මැණික්  මතුවන අඩවිය වර්තමානයේ මුහුණ දෙන ගැටලූ ගැන  රත්නපුරයේ බණ්ඩාරනායක මාවතේ දී  හමුවූ තරුණ මැණික්කාරයෙක් අපට කිව්වේ එහෙම ය!

අවි ආයුධ ගෙන සටන් නො කළාට දැන් රත්නපුරයේ ඇත්තේ අති විශාල ආර්ථික පීඩනයකි. පතල් කපන්නට තැන් නැත. ගංගා ඇළ දොළවල මැණික් ගරන්නට තහනම් ය. පතල් කැපීමේ වියදම් ද අධික ය. ඉතින් මැණික් ලැබීම ද අඩු ය. එයින් අතේ මිටේ සල්ලිත් හිඟ ය. තරුණ මැණික් වෙළෙන්දන් දැන් ක්ෂේත‍්‍රය හැර යමින් සිටිති!

රත්නපුරයේ මැණික් වෙළෙන්දන්ට මෙන්ම, ගම් මට්ටමේ පතල්කරුවන්ට ද සරුසාර කාලයක් එළඹ තිබුණේ 1980 සහ 1990 යන දශකවල ය. තායිලන්ත ජාතික මැණික් වෙළෙන්දන් (තායි බයර්ලා) පැමිණීම නිසා, රත්නපුරයේ බටුගෙදර ප‍්‍රදේශය මහා ‘මැණික් පොළක්’ බවට පත් වීම ඊට හේතුව විය. එකල එය ‘බයර් රවුම’ නමින් ප‍්‍රසිද්ධව තිබිණි. බයර් රවුමේ දී ගෙවුඩ, ඔට්ටු, දුම් ගල් සහ කොලටි යනුවෙන් හ`දුන්වන මැණික් වර්ග සඳහා ඉහළ මිලක් ලැබිණි. නිල්, රතු, ආර්නූල්, වෛරෝඩි සහ පසිංගල් ආදී වංශක්කාර මැණික් වර්ගවලට ද ඉහළ මිලක් ලැබිණි. පතල් කැපීම් ද වැඩිපුර කෙරුණු බැවින් බයර් රවුම පැවති කාලයේ අද තරම් මැණික් හිඟයක් ද නො තිබිණි.

‘ඒ කාලේ ඉතින් ගමෙන් මිල දී ගත්තු ගල් ටික (මැණික් , බයර් රවුමෙදි විකුණා ගන්නවා. සමහරු උදේට රත්නපුරෙන් ගන්නා ගල් (‘ජාති ගල්’ යයි ද හඳුන්වන වංශක්කාර මැණික් වර්ග), කාර් එළවාගෙන එවේලේ ම කොළඹ අරන් යනවා. කොළඹ තරු හෝටල්වල දී පිටරට බයර්ලාට හරි, ලොකු වෙළෙන්දන්ට හරි විකුණනවා. සමහරු හිල්ටන්, හොලිඬේ ඉන් සහ වැල්ලවත්තේ සෆායර් වගේ ලොකු තැනකින් දවල්ට කාලා හවසට ආපහු රත්නපුරේ එනවා. ඒ කාලේ සමහර අය කිව්වේ, රත්නපුරේ මැණික්කාරයෝ දවල්ට කන්නත් කොළඹ යනවා කියලයි’, අතීත මැණික් සමෘද්ධිය ගැන ඇතැමෙක් සිහිපත් ආවර්ජනා කරන්නේ මහත් විස්සෝපයෙනි.

‘ඒකට ඉතින් අද! දවසෙම ටවුමේ හිටියත් එක රුපියල් දෙදාහක් හොයන්න බෑ’ යයි අනෙක් අතට මැසිවිලි නගති.


ගෙවී ගිය දශකයක පමණ කාලය තුළ රත්නපුරේ මැණික් කර්මාන්තයෙහි දක්නට ලැබුණේ මහත් ‘හදිසියකි’. නීති විරෝධී ‘සකර් යන්ත‍්‍ර’ දමා, ගංගා ඇළ දොළ ආදියෙහි පත්ල සාහසික ලෙස සූරා මැණික් ගැරීමත්, ‘බැකෝ යන්ත‍්‍ර’ දමා මැණික් ඉඩම්වල උදර-අතුණුබහන්  පලා ‘සීසර් සැත්කම්’ මගින් මැණික් ගල් එළියට ගැනීමත් හදිසිකාරයන්ගේ පොදු ලක්ෂණය විය. රටේ පාලකකාරකාදීන් ඒ සම්බන්ධයෙන් ඇස් කන් පියා ගෙන උන්හ. මැති ඇමතිවරුන් නිර්ලෝභීව ‘අත යට’ අනුග‍්‍රහ දැක්වූහ. අවසන, මැණික් ඉල්ලම් සහිත ගොඩ ඉඩම් වනසනු ලැබිණි. ගංගා ඇළ දොළ වැහැරී, අප‍්‍රියජනක දර්ශන සහිත මඩ දිය පදාස බවට පත් විය. සිරිපා හිමයෙන් ගලන කළු ගංගාවේ  සුනිල දිය දහර පවා, මඩ දියෙහි සඟවා අතුරුදන් කෙරිණි. ඉක්බිති හදිසිකාරයන්ගේ මැණික් ගැරුම් කෙරුවාව, පොලිස් හස්තය යොදවා උපරිමයෙන් පාලනය කරන්නට රට කරවන්නන්ට සිදු විය!

කෙසේ වෙතත් සමහර දේශපාලනඥයන්ගේ ‘අත යට’ සහාය ලැබුණු ‘හදිසි මැණික් ගරන්නන්’ සුළු පිරිසකට නම් ඉන් කිසිදු බාධාවක් නොවී ය. එසේ ම, ‘මොණර කොලවල’ දිස්නයට වහ වැටුණු ආණ්ඩුවේ ඇතැම් නිලධාරීන්ගේ ‘මැණික් හිතවතුන්ට’ ද  තමන් හිතූ හිතූ ලෙස මැණික් ගැරීමේ නිදහස හිමි විය. ඔවුහු රිසි සේ වැඩ ටික ඇදගෙන ගියහ. කළු ගඟ ඉහළ නිම්නය වර්තමානයේ අත් විඳිමින් සිටින්නේ ‘හදිසි මැණික්කාරයන්’ දායාදකර දුන් නස්පැත්තියයි!

‘රත්නපුර ටවුමේ හොඳට මැණික් බිස්නස්කර ගෙන හිටපු වෙළෙන්දෙක් දැන් නගර සභාවේ කුණු ට‍්‍රැක්ටරේ කුලියට වැඩ කරනවා. තවත් මැණික් වෙළෙන්දෙක්, මාළු ලෑල්ලක කුලියට මාළු කපනවා. ‘සිකුරිටි’ ජොබ්වලටයි කොළඹ බිල්ඩින්වල සිමෙන්ති අනන්නයි ගිය පිරිසත් විශාලයි’ තවත් මැණික් මිත‍්‍රයෙක් අප හා කීවේ ය.

‘ඒ කතාව ඇත්ත ද?’ කියා අපි රත්නපුර ඔර්ලෝසු කණුව අසල මැණික් ව්‍යාපාරික සංගමයේ සභාපති ජගත් විජේවීර මහතා ගෙන් ඇසුවෙමු.
‘අපොයි ඒ වගේ සිද්ධි කොච්චර නම් තියෙනව ද. දැන් මැණික් පතල් කපන්නත් අමාරුයි.  රබර් මිලත් බැහැලා. මිනිසුන්ට ආර්ථිකේ අමාරුයි’ කියා ඔහු අපට උත්තර දුන්නේ ය.

රත්නපුරයේ මැණික් කර්මාන්ත ක‍්‍රියාවලිය මේ තරම් අර්බුදයට පත් වූයේ, තණ්හාධිපති සුළු පිරිසක් විසින් අතිශයින්ම සාහසික ලෙස මැණික් කර්මාන්තය නවීකරණය කරන්නට යාම නිසා ය යන්න, රත්නපුරයේ ඇතැමෙකුගේ අදහසයි. එබඳු අය, පොළෝ කුස තුළ තිබෙන සියලූම මැණික් සම්පත් තමන්ගේ මඩියට රැස්කර ගැනීමේ අරමුණෙන්, යන්ත‍්‍ර සූත‍්‍ර දමා වේගයෙන් මහ පොළාව හෑරූහ. මැණික් ගරන්නට පවා යාන්ත‍්‍රික ක‍්‍රම භාවිත කළහ. ගංගා, ඇළ, දොළ පත්ල කිමිදුම් උපකරණ සහ ‘සකර් යන්ත‍්‍ර’ දමා සූරා ගත්හ. ටික කලක් යන විට, එතෙක් පැවති සම්ප‍්‍රදායික මැණික් පතල් කැපීමේ ක‍්‍රමය අතුරුදන් විය!

කළු ගඟ ඉහළ නිම්නයේ මිනිසුන් අනාදිමත් කාලයක් මුළුල්ලේ මැණික් ගැරුවේ සම්ප‍්‍රදායික ක‍්‍රම-ශිල්ප භාවිත කරමිනි. පතල් කැපීම කෙරුනේ මිනිස් ශ‍්‍රමයෙනි. ගංගා, ඇළ, දොළවල මැණික් ගැරීම් කෙරුණේ සම්ප‍්‍රදායික ‘ඇදුම් උදැල්ල’ මගින් ඇදීමේ ක‍්‍රමයට ය. ඔවුන් බලංගොඩ, වලවේ ගඟ ප‍්‍රදේශයේ දී සම්ප‍්‍රදායික ‘ජපන් ගැහිමේ ක‍්‍රමය’ යොදා ගත්හ. ගොඩබිම් පතල්වලින් එළියට ගන්නා මැණික් ඉල්ලම් සේදීමට සම්ප‍්‍රදායික ‘ගැරුම් වට්ටිය’ (බට පොතු වට්ටිය) භාවිත විය. ගරා ගත් මැණික් කැට කපා ඔප දමා ගැනීම සඳහා, අතින් ක‍්‍රියා කරන සම්ප‍්‍රදායික ‘හණපෝරු පට්ටලය’ යොදා ගැනුණි. පසුකාලීනව පතල්වල ජලය ඉවත් කිරීම සඳහා, නවීන යාන්ත‍්‍රික, ඉන්ධනමය වතුර මෝටරය ද, ‘දෝනා පතල්වලට’  පිරිසිදු වාතය සැපයීම සඳහා යාන්ද්‍රික ‘හුළං මැෂින්’ ද භාවිත කෙරිණි.

පැරණි මැණික් පතල් කර්මාන්තකරුවන් බොහොම දෙනෙක්, කැපූ පතල් වසා දමන්නට පුරුදුව සිටියහ. ‘ඇදුම් පතල්’ දැමීමේ දී ගංගා ඉවුරුවලට හානි නො කළහ. පොළොවේ හාරන පතල් වලවල් ශක්තිමත් කිරීම පිණිස, රබර් ලී කඳන් යොදා ‘තට්ටු’ ගැසූහ. වලේ බිත්ති, ‘කැකිල්ල’ නමැති ශාක සහ පුවක් ලී පටිවලින් ආස්තරණය කරන ලදී. පැරැන්නන් මැණික් පතල් කැපුවේ, මැණික් මතුවන අඩවියට අධිපති සුමන සමන් දෙවියන්ට බාර-හාරවී, බෞද්ධාගමික පුද පූජා ද පවත්වමිනි. රත්නපුරයේ මැණික් කර්මාන්ත ලෝකයේ පැරණි තාක්ෂණය හැමවිට ම පාරිසරික හානි අවම බොහොම විශිෂ්ඨ එකක් වූයේ ය.

කල් යාමේ දී, තණ්හාධික පුද්ගලයන් විසින් නවීන යන්ත‍්‍ර සූත‍්‍ර යොදා ගෙන, එතෙක් පැවතුණු සම්ප‍්‍රදායික මැණික් පතල් කැනීමේ මාදිලිය රත්නපුරයෙන් පලවා හරින ලදී! කළු ගඟ ඉහළ නිම්නය වර්තමානයේ මුහුණ දෙන දැවැන්ත ආරවුල පිළිසිඳෙන්නේ එයිනි. එය එක් අතකට, ශත වර්ෂ ගණනාවක් ගණනාවක් මුළුල්ලේ පැවතුණු පතල් කැපීමේ ‘සම්ප‍්‍රදායික මාදිලිය’ මැණික් භූමියෙන් පලවා හැරීමේ විපාකයක් යයි ද කිව හැකි ය!

(මතු සම්බන්ධයි)
(මෙම ලිපිය 2018/03/11 රිවිර පුවත්පතේ පළ විය.)


0000000000000000000000000000000000