අපේ ගම සහ තොපේ ගම
මැති සබා ගොඩනැගිල්ලට හූවක දුරින් දියවන්නාව අසබඩ ඉදි වී ඇති ‘අපේ ගම’ බොහොම අපූරුය. එහි එක් තැනක කුඹුරක් මඩවන මී ගොන් බානකි. තවත් තැනක උස් ගසක ඉදිකළ කට්ට පැලකි. (හේන් පැලකි) ගම ඇතුළේ වරිච්චි බිත්ති බැඳ පිදුරු හෝ මනා හෙවිළි කර තැනූ පැරණි තාලේ ගෙවල් ය. 1930 දශකය හෝ ඊටත් වඩා පැරණි ගැමියන්ගේ විලාශයන් පෙන්නුම් කරන රූප ද එහි සකසා ඇත. කටුමැටි හෝ වරිච්චි බිත්ති බැඳ, මනා හෝ පිදුරු සෙවිලි කළ ගෙවල් ද ගණනාවකි. ‘අපේ ගම’ යයි සඳහන් නාම පුවරුව ද වට ලී දැවයෙන් නිර්මිත ය. ගමට යාබදව දියවන්නාව අයිනෙන් ඇති සුපිරි මාර්ගය ඔස්සේ යන කෙනෙකුට පිදී කරලින් බරවූ කුඹුරු ලියැදි ද, අලංකාර ලබු වැලක් ද දැකිය හැකි ය.
‘අපේ ගම’ යයි කී සැණින්ම කාගේත්
සිහියට නැගෙන්නේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ සූරීන් අතින්
ලියැවුණු සුප්‍රකට ‘අපේ ගම’ කෘතියයි. එහි විසූ ‘කිරිබබා’, ‘ඔපිසර රාළහාමි’ ආදීහු බොහොමයක් රට
වැසියන්ගේ සිත් සතන් තුළ තවමත් යෙහෙන් ජීවත් වෙමින් සිටිති. එහෙත් දියවන්නාවේ
ඉදිවුණු ‘අපේ ගම’ නම් බොහොම වෙනස් ය. ඊට හේතුව වන්නේ, දියවන්නාවේ තැනූ ‘අපේ ගම’ වැනි ගමක් අද ලංකාවේ
කොතැනකවත් දකින්නට නො තිබීමයි.
රටේ ඉතිහාසය
අනුව ගත් කල, මුලින්ම කියැවෙන්නේ ක්‍රි.පු. 543 දී ලංකාවට ගොඩවන විජය
කුමාරයාගේ සමයේ මල්වතු ඔය අසබඩ ඉදි වු ‘අනුරාධ ග්‍රාමය’ හා ‘උපතිස්ස ග්‍රාම’ යයි. ඉක්බිතිව
දේවානම්පියතිස්ස මහ රජුගේ මලණු මහානාග කුමාරයාට හදිසියේම රුහුණට පලා යන්නට සිදු වී, ‘මහා ග්‍රාමය’ හෙවත් ‘මාගම රාජධානිය’ බිහිකර ගනියි. එය රෝහණයේ ආරම්භයයි. ඉපැරණි ‘මහා ග්‍රාමය, පිහිටා තිබුණැයි
කියන්නේ වත්මන් තිස්සමහාරාමයේ ය. පුරාවිද්‍යා පර්යේෂණ මගින් ද එය
හෙළි වී තිබේ. සරලව කිවහොත් ‘ගමක්’ යනු අගනුවරකින් බොහෝ ප්‍රත්‍යන්තයෙහි පිහිටි, කුඩා ජනාවාසයකි. එබඳු කුඩා ජනාවාසවලට ද
වැදගත් ඉතිහාසයක් ඇත.
ලංකාවේ කුඩා
ජනාවාසයක් පිළිබඳ පැරණිම සාධක හමුවන්නේ මධ්‍ය ශීලා යුගයට අයත්, අදින් වසර 40,000ක් පැරණි රත්නපුරේ
කුරුවිට, ‘බටදොඹ ලෙන’ සහ ඊටත් වඩා පැරණි බලංගොඩ මානව ජනාවාසයක් වූ බුලත්සිංහල ‘පාහියන් ලෙනෙනි’. අදින් වසර 38,000 කට ඉහත බලංගොඩ
මානවයන් ගින්දර භාවිත කිරීම පිළිබඳ මුල්ම සාධක වාර්තා වූයේ ද පාහියන් ලෙනෙනි. පාහියන්
ලෙනෙහි ආදි මානව ජනාවාසය, අදින් වසර 48,000ක් පැරණි බව මෑතක දී සොයා ගැනුණි. එකල ප්‍රාග් ඓතිහාසික ජනාවාසයක
පුද්ගලයන් 04 - 05ක් වත් වසන්නට ඇති බව
පුරාවිද්‍යාඥයන්ගේ මතයයි. කෑගල්ලේ කිතුල්ගල, ‘බෙලිලෙන’, කුඩා පවුල් කිහිපයක්
එකම පරිශ්‍රයක ජීවත්වූ බවට සාධක හමුවූ තැනකි. අදින් වසර 16,000 කට පමණ ඉහත එහි
විසුවෝ, පවුල් කිහිපයක් වශයෙන් ජීවත් වෙමින්, වෙන වෙනම උයා-පිහා කෑ බවත්, ආරක්ෂාව සහ උණුසුම ලබා
ගැනීම සඳහා රාත්‍රී කාලයට ලිප් දල්වා ඇති
බවත්, පුරාවිද්‍යා පර්යේෂණවලින්
හෙළිදරව් විය. එම කාලයට අයත් ‘සක්ක ගල් බැම්මක’ නටබුන් ද බෙලි ලෙනෙන්
හමු විය. ආචාර්ය නිමල් පෙරේරා මහතා පෙන්වා දෙන්නේ, අදින් වසර 16,000 කට පමණ ඉහත එළඹි ඒ
අවස්ථාව, මානව සමාජයක් බිහිවීම අරභයා, ‘මූලික සමාජ ඒකකයක් නිර්මාණයවූ අවස්ථාවක්’ වශයෙනි.
මෙබඳු ප්‍රාග් ඓතිහාසික ජනාවාස, ලංකාවේ ‘ගම්’ බිහිවීම පිළිබඳ ප්‍රාථමික ස්වරූපයන්
නිරූපණය කරන බව පැහැදිලි ය. ආචාර්ය සිරාන්
දැරණියගල මහතා අනුරාධපුරයේ ඇතුළු පුරයෙහි කළ පර්යේෂණ අනුව තහවුරු වූයේ, ක්‍රි. පු. 900දී අනුරාධපුරය පාලන
කේන්ද්‍රස්ථානයක් ද සහිත, නගරයක්ව පැවති බවයි. එහි යටි අරුත වන්නේ, සංවිධානාත්මක ස්වරූපයේ
‘ගම’ ඊටත් වඩා පැරණි විය හැකි බවයි. එනම්, උපතිස්ස හෝ අනුරාධ ග්‍රාම බිහිවන්නට පෙර ද
ලංකාවේ ගම් තිබූ බවයි.
මහාචාර්ය
රත්නසිරි ප්‍රේමතිලක මහතා හොර්ටන්තැන්නේ කළ
පර්යේෂණවලින් හෙළි වූයේ, එහි විසූ ආදි මිනිසුන් අදින් වසර 17,000 කට පමණ ඉහත ඕට්ස් සහ බාර්ලි වගාව, හීලෑ සතුන් ඇති කිරීම
ආදියෙහි නියැලෙමින්, කෘෂිකාර්මික දිවියක් ගත කළ බවයි. එය කෘෂිකර්මාන්තය
අරභයා ලංකාවේ මෙතෙක් හමුවූ පැරණිම පුරාවිද්‍යාත්මක සාධකයයි. ඊට අමතරව,
අදින් වසර 6044-6245කට පමණ ඉහත පාහියන් ලෙනෙහි ගොවීන් කෙසෙල් වගාකර ඇති බව ද (ගෘහස්ථීකරණයවූ
කෙසෙල්) රත්නසිරි ප්‍රේමතිලක මහතාගේ පර්යේසණ මගින් අනාවරණය විය. ඒවා ද ගමක් ඇරඹීම පිළිබඳ පැරණිම සාධක වේ. ආරම්භයේ පටන්ම ගම, කෘෂිකර්මාන්තය සමග
බද්ධව පැවතුණේ ය.
පැරණි
තොරතුරු අනුව, ලංකාවේ ‘ගම්’ 14000ක් තිබුණු බව කියැවේ. අතීතයේ දී රටේ වියළි
කලාපීය ප්‍රදේශවල ගම්මාන තිබුණේ කුඩා වැව් ආශ්‍රිතව ය. ඒවා ‘වැව් ගම්මාන’ විය. රජවරුන්ගේ යුගයේ දී ‘බත් ගම්’, ‘ගබඩා ගම්’, ‘නින්දගම්’, ‘ඔලගම්’, ‘කෙවුල්ගම්’, ආදී වශයෙන් යම්
නිශ්චිත කාර්යයන් පැවරුණ ගම්මාන ද තිබිණි. ගම සැමවිටම ප්‍රධානියෙක් (ගම් දෙටුවෙක් හෝ
මහයෙක්) යටතේ පාලනය වූ අතර, කෘෂිකර්මාන්තය හෝ එම
පළාතට ආවේණික කිසියම් කර්මාන්තයක් එහි ජීවනෝපාය විය. වැඩවසම් යුගයේ ගම, ‘කුල ක්‍රමය’ මත පදනම්ව පැවති බවත්, ඒ අනුව විවිධ වෘත්තීවල
(සේවා) නියැලූණු අය ගමෙහි නිශ්චිත
රටාවකට අනුව පදිංචිව සිටි බවත්, මහාචාර්ය රැල්ෆ් පීරිස් සූරීහු සිය ‘උඩරට සිංහල සමාජ
සංවිධානය’ නමැති ග්න්ථයෙහි ද
දක්වති. කෙත් බිම්, කාර්මික නිවෙස්,
ප්‍රභූ නිවෙස් සහ බෞද්ධ ආගමික ස්ථාන යන අංගවලින්
සජ්ජිත වූ පැරණි ගමට ඉතා හොඳ ස්වයං පෝෂණයක් ද පැවතියේය. ප්‍රභූ හෝ පාලක නිවෙස්වල
උළු සෙවිළිකර තිබිණි. හුදී ජනයන්ගේ නිවෙස් වරිච්චි හෝ කුටුමැටි
බිත්ති බැඳ පොල් අතු, ඉලූක් මනා හෝ පිදුරු සෙවිලිකර තිබණි. ගමේ නිවසන ප්‍රජාවට අවශ්‍ය වන සකල විධ භාණ්ඩ හා
සේවාවන්, ගම හෝ ගම ආශ්‍රිතයෙන්ම සම්පාදනයකර
ගැනුණේ ය. කුඹුරුවල වී වගා කිරීම, හේන් හෝ ගොඩ වී වගාව, කටුසර බෝග සහිත හේන්
ගොවිතැන, ගවයන් ඇතුළු සතුන් ඇති
කිරීම ආදිය සෑම ගමකම පාහේ දක්නට ලැබිණි. ගමේ ජන ජීවිතය, පාලන නීතිවලින් ද, බෞද්ධාගමික හා ජන
සංස්කෘතික බැඳීම්වලින් ද සවිමත්ව පැවතුණි.
කෙසේ වෙතත්, වර්තමානයෙහි ‘ගම’ යයි කී විට බොහෝ
දෙනෙකු සිතෙහි මවා ගන්නේ පොල් අතු සෙවිකළ ගෙවල්, ඇළ - දොළ වන රොද, චීත්ත- රෙදි, හැට්ට ඇඳි ගැහැණුන්, හේන් කුඹුරු ආදී දර්ශන
පෙළකි. එහෙත් ලංකාව විදේශ ආක්‍රමණවලට ලක් වන්නට පෙර
පැවති ගම, ඒ මනෝ දර්ශනවලින් නිරූපණය නො වෙතියි යන්න, ලියුම්කරුගේ කල්පනාවයි. එසේම, අඩු තරමින් 1960 දශකයේ මෙරටට පතිත කළ, හරිත විප්ලවයට පෙර
පැවති ගම හෝ ඉන් නිරූපණය නොවේ.
වර්තමාන නාගරික සමාජයට ඇත්තේ ගම පිළිබඳ සටෝප ආකල්පයකි. එහිදී ඔවුහු ගමේ සියල්ල හොඳ යයි ද, පවිත්‍ර යයි ද කල්පනා කරති. වෙළෙඳ ප්‍රජාව කරන්නේ ඒ සාටෝප ආකල්පය මුදල් බවට පෙරළා ගැනීම ය. ‘පොල් අතු බත් කඩ’, ‘ඇඹුල’, ‘ලූණු මිරිස’, ‘වාඩිය’ සහ ‘මිදුල’, ආදී ගමේ නම්වලින් හඳුන්වන ආහාර වෙළෙඳසැල් ව්‍යාප්ත වීම ඔස්සේ එය පිළිබිඹු වේ. වෙළෙඳ ප්‍රජාව පොල් අතු හෝ මනා-ඉලූක් පියැස්සක්, කටුමැටි බිත්ති කුටියක් මගින් නාගරික ව්‍යාපාරික කටයුතුවලට ගම ආලේපකර ගෙන සිටිති.
පැරණි ගමෙහි
සශ්‍රීක හා සෞඛ්‍ය සම්පන්න ව්‍යුහය මුලින්ම කඩා-බිඳ දැමුවෝ පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රිසි ආදී විදේශ ආක්‍රමණිකයෝ ය. ප්‍රත්‍යන්ත ජන සමාජයෙහි පැවති
කෘෂිකාර්මික ජීවන රටාව ද, බෞද්ධාගමික බැඳීම් ද විනාශ කළ ඔවුහු රට
වෙනස් සිතිවිලි රටාවකට ගෙන ගියහ. බ්‍රිතාන්‍ය පාලන සමයේ උඩරට ගම
මෙන්ම ඌව වෙල්ලස්සේ ගම ද විනාශකර දැමිණි. 1960න් පසුව
ක්‍රියාත්මක වූ
හරිත විප්ලවයට අයත් වැඩ පිළිවෙල ඔස්සේ ලංකාවේ පාරම්පරික දේශීය
කෘෂිකර්මාන්තය උගුළුවා දැමිණි. එකල දේශීය පාරම්පරික
වී වර්ග 4000ක් පමණ රටට තිබිණි. හරිත විප්ලවයේ කසකරුවෝ
ඒවා ද ඩැහැ ගෙන ගියහ. වැඩි අස්වැන්න මිස මෙලෝ ගුණයක් නැති නව
දෙමුහුන් වී වර්ග අපට දුන්හ. ඒ සමගම දේශීය පරම්පරික
බව රෝග රටාව ද, ආහාර රටාව ද, චර්යා රටාව ද විනාශ
කෙරිණි. පාරම්පරික කෘෂිකර්මාන්තය විනාශ වීමෙන් පසුව, අන්තිමේ දී යන්තම් හෝ
ඉතිරිව තිබුණු ගම ද විනාශ විය. එදා මෙදා තුර රට කරවූ
පාලක කාරකාදීන් ද ගම විනාශ කළ පිරිසගේ අඩි පාරේ ගියා මිස, ගම රැක ගන්නට උත්සාහ
නො කළහ. අදත් රටේ ජනගහණයෙන් සියයට 75ක්ම ජීවත් වන්නේ
නගරවලින් පිටස්තරව ය.
ගම
විනාශවීමෙන් ඉක්බිති, ‘ගම’ යයි කියන භූමියෙහි
වත්මන් තත්ත්වය කුමක්ද? රටේ වියළි කලාපයට අයත්
ප්‍රධාන කෘෂිකාර්මික දිස්ත්‍රික්කවල සිටින ලියාපදිංචි
නිදන්ගත වකුගඩු රෝගීන් සංඛ්‍යාව 32,800 කි. වකුගඩු රෝගය පිළිබඳ
පර්යේෂණ කරන අය පවසන අන්දමට, රට තුළ සිටිතැයි ඇස්තමේන්තු කෙරෙන රෝගීන් සංඛ්්යාව 1, 80,000 ද ඉක්මවයි. රෝගය වැළඳී සිටින
පිරිසෙන් බහුතරය ගොවීන් ය. රටේ සමස්ත භූමියෙන්
සියයට 60 කට අධික පෙදෙසක් අලි - මිනිස් ගැටුමට නතුව
ගොසිනි. ඉන් අලිත් මැරෙති. මිනිස්සුත් මැරෙති. ගොවිතැන් ආදිය ද
පාළුවී ගොවීන් හිඟමනට වැටෙති. වියළි කලාපීය ගොවීන්ට
නිදන්ගත වකුගඩු රෝගය වැළඳීමට, කෘෂි රසායන සහ රසායනික පොහොර ඔස්සේ එන
ආසනික් සහ කැඞ්මියම් යන බැර ලෝහවල විෂ බලපෑ බව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ
පර්යේණ මගින් ද හෙළිදරව් විය. 1960 න් පසුව රට වැඩි අස්වනු ගෙන දෙන දෙමුහුන්
බීජ, කෘසි රසායනික, ට්‍රැක්ටර් ආදී උපකරණ
සපිරි නවීන ගොවිතැනකට තල්ලූ කෙරිණි. එහෙත් රටේ ගැබිණි
කතුන්ගෙන් සියයට 34ක් නීරක්තියෙන්
පෙළෙති. වයස අවුරුදු 05ට අඩු දරුවන් ගෙන් සියයට 14ක් කුරුවීමේ රෝග
තත්ත්වයෙන් පෙළෙති. අඩුබර දරු උපත් සියයට 17කි. මේ සියල්ලම මන්දපෝෂණය
මුල්කර ගත් රෝගී තත්ත්වයන් ය.
රටේ පාලක
කාරකාදීන් ද මේ සියල්ල දැන දැනම, තවමත් රටපුරා නව දෙමුහුන් වී වර්ග වගා කරති. අතෝරක් නැතිව කෘෂි රසායන, කෘතිම පොහොර තොග
පිටින් ආනයනය කරති. කෘෂි උපකරණ භාවිතය ‘සුනාමි’, ‘මහා සෝනා’ සහ ‘භූතයා’ දක්වා ව්‍යාප්ත වන්නට ඉඩ හරිති. ගම දැන් නගරයට
විකිණෙන්නට සළස්වා හමාර ය. එබැවින් ගමේ මහ
ගෙවල්වල ඉතිරිව සිටින්නෝ හුදෙකලාවට වැටුණු වියපත් මව් - පියවරුන් පමණකි. දරු පරපුර නගරවලට
නික්ම ගොසිනි.
‘ගම’ බිඳවැටීම යනු, මුළු රටේම කෘෂිකර්මාන්තයේ ඇද වැටීම බවත්, එය මුළු රටේම වැසියන්ගේ
සෞඛ්‍ය හා පෝෂණයේ ද පරිහානිය බවත් දැන් ඉතා පැහැදිලිව පෙනෙන්නට
තිබේ. ගම තුළ තිබූ කෘෂිකාර්මික හා ආහාර සම්පාදන
චර්යාවන් බිඳ වැටීම, රටවැසියන්ට ලෙඩ දුක් කන්දරාවක් ගෙනත් දී හමාර ය.
මේ සියල්ල
පිරිසිඳ දැන දැනම, සියල්ල අත් විඳිමින්ම, සියලූ බිඳ වැටීම් දෙස
හිස් බැල්මෙන් බලා සිටිමින්ම, දියවන්නාව අසබඩට පැමිණ ‘අපේ ගම’ නරඹා ප්‍රීති වන්නට තරම් අප
වාසනාවන්තයන් වී සිටින්නෙමු.
ක්‍රිෂ්ණ විජේබන්ඩාර.
2013/11/29