රසායනික පොහොර
මෙ.ටො. පණස් හතර ලක්ෂයකට
හෙක්ටයාර් එකක ඵලදායිතාවය
ඉහළ ගොස් ඇත්තේ
වසරකට කිලෝ-52කින්
(ක්‍රිෂ්ණ විජේබණ්ඩාර)
කිලෝ පණහක රසායනික පොහොර මල්ලක්, වී ගොවීන්ට රුපියල් 350කට ලබා දෙමින් වර්තමාන පොහොර සහනාධාර ක්‍රමය ඇරඹුණේ 2005 දී පමණ ය. එවකට ජනාධිපති ධුරය හෙබැවූ මහින්ද රාජපක්ෂ, සද්භාවයෙන් ගත් ප්‍රතිපත්තිමය තීන්දුවකි. එහෙත් සිදු වූයේ අනිකකි.
රුපියල් 350කට කිලෝ පණහක පොහොර මිටියක් දෙන නිසා ගොවීහු අස්සක් මුල්ලක් නෑර ම වී වගා කරන්නට පෙළඹුණහ. පසුව තේ, පොල්, රබර් සහ සුළු අපනයන භෝගවලට පවා පොහොර සහනාධාරය දෙන්නට සිදු විණි. ගොවීන් ගෙන් ඇතැමෙක්, නිර්දේශිත ප්‍රමාණ පවා ඉක්මවමින් ඉවක්-බවක් නැතිව අධික ලෙස පොහොර දමන්නට පටන් ගත්තෝ ය.
‘නිකන් වගේ’ ලැබෙන නිසා ගෙවතුවල වැවෙන කොස්, අඹ, කෙසෙල් ආදී භෝගවලට ද සහනාධාර පොහොර දැමූහ. අන්තිමේ දී සරු පොළොවට යහමින් වස (බැර ලෝහ) කලවම් විය. එය ඔරොත්තු නො දෙන තරම් විෂ සහිත විය.
2005 සිට 2020 දක්වා කාලය තුළ රටේ වී ගොවිතැන වෙනුවෙන් රසායනික පොහොර මෙටි්‍රක් ටොන් 54,53,000ක් භාවිතා කරන විට, වී නො වන වගාවන් (තේ, රබර් සහ පොල් ආදී) සඳහා ද, රසායනික පොහොර මෙටි්‍රක් ටොන් 53,63,000ක් පමණ භාවිතාකර තිබේ! මේ බව සඳහන් වන්නේ ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවල ය.
මේ දිනවල ‘රසායනික පොහොර ආනයනය’ සම්බන්ධව කතිකාවක් හට ගෙන තිබේ. රජය නොබෝ දිනකින් ම, රසායනික පොහොර ආනයනය කිරීම නතරකර දමා, කාබනික පොහොර භාවිතයට යන බව පැවසීම, එයට නිමිත්ත වී තිබේ.
කෘත්‍රිම පොහොර ඇතුළු කෘෂි රසායන නිසා වාරි ජලයට, කෘෂිකාර්මික පසට, එක්ව ඇති වස-විස කන්දරාව ගැන සඳහන් කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, එයින් මිනිසුන්ට හට ගන්නා ලෙඩ රෝගවලට පිළියම් යෙදීම සඳහා විශාල මුදලක් වැය වන බව ද කීවේ ය. එය රසායනික පොහොර භාවිතය නිසා ලැබෙන ලාභයට වඩා වැඩි බව ද ඔහු සඳහන් කළේ ය. එබැවින් රටේ සමස්ත කෘෂිකර්මය ම, ‘කාබනික ගොවිතැනකට’ තල්ලුකරගෙන යාම ප්‍රඥා ගෝචර බව ද ජනාධිපතිවරයාගේ අදහස වූයේ ය. දැනුදු ගොවීන්ට රජයෙන් පොහොර සැපයෙන්නේ සහනාධාර ක්‍රමයට ය.
අප්‍රියෙල් 22දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කොළඹ, කොටුවේ ජනාධිපති මන්දිරයේ පැවති රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන්ගේ හමුවක දී් මේ බව පවසා තිබිණි.
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ගෙවී ගොසිනි. රටේ බොහොමයක් වියලි කලාපීය පෙදෙස්වල වී ගොවීහු 2021 ‘යල කන්නය’ ඇරඹීමට සූදානම් වෙමින් සිටිති. 2020 යල කන්නයේ ද ගොවීහු රට පුරා හෙක්ටයාර් 4,56,206ක පමණ වී වගා කළහ. මේ දිනවල ඔවුහු ‘මඩ වැඩවල’ නියැලෙමින් පසුවෙති.
රට, මේ දිනවල විදෙස් විනිමය හිඟයෙන් ද පෙළෙයි. එබැවින්, මෙවර යල කන්නයට අවශ්‍ය රසායනික පොහොර තොග (දළ වශයෙන් පොහොර මෙටි්‍රක් ටොන් 1,50,000ක් පමණ) ගෙන්වා ගැනීම ද ගැටලුවක් බවට පත්ව තිබේ.
ජනාධිපතිවරයා කාබනික ගොවිතැනක් ගැන කියූ වහාම විවේචකයන් පැවසුවේ, ‘යල කන්නයට පොහොර ගෙන්වන්න සල්ලි නැතිකම හින්දා ඔය වගේ තීරණයකට එන්න ඇතියි’ යනුවෙනි. ඒ කතාවෙහි ද සත්‍යයක් ඇතැයි පෙනෙන්නේ, පසුගිය වගා කන්නවල ලබා ගත් සහනාධාර පොහොර සඳහා ‘ආනයන සමාගම්වලට’ තවමත් මුදල් හිඟ තබා ඇති බැවිනි. ආනයනකරුවෝ ‘ජාතික පොහොර ලේකම් කාර්යාලයෙන්’ මුදල් ඉල්ලා සිටිති. එහෙත් හිඟය පියවන්නට තවමත් මුදල් ලැබී නැත්තේ ය. ‘කොටසක් ගෙව්වා. තව රුපියල් කෝටි 25,000ක් විතර ගෙවන්න තියෙනවා’, පොහොර ලේකම් කාර්යාල ආරංචිමාර්ග සඳහන් කළේ ය.
අනෙක, දශක හයක පමණ කාලයක් තිස්සේ කෘෂි රසායන සඳහා පදම් වුණු වී වගා භූමිය, ‘කාබනික’ හෝ ‘පාරිසරික’ ගොවිතැනකට හැරවීම දවසෙන් දෙකෙන් කරන්නට බැරි ය. එයට රසායනික පොහොර නො දමා වසර හතරක් පහක්වත් ගෙවී යා යුතු ය. මුලින් රසායනික පොහොරෙන් රෝගී වූ පොළොව කාබනික ද්‍රව්‍යවලින් (ක්ෂුද්‍ර ජීවී සම්පතින්) සුවපත් කළ යුතු ය. එයට විධිමත් ‘වැඩ පිළිවෙලක්’ තිබිය යුතු ය. රජය රසායනික පොහොර ආනයනය නතර කරන්නට යන්නේ ඒ කිසිත් නැතිව ය.
කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ පියවර පැසසිය යුතු ය. පමා වීමෙන් හෝ මෙවන් පියවරක් ගන්නේ රටේ යහපත් සෞඛ්‍යය වෙනුවෙන් ය.
දැනට රජයේ සමාගම් දෙකක් ද සමග, ප්‍රධාන පෙළේ පොහොර සමාගම් විසි දෙකක් පොහොර ආනයනයෙහි යෙදී සිටිති. ජනප්‍රිය ව්‍යවහාරයේ හැටියට, ඔවුන් ගෙන්වන්නේ ‘ප්‍රමිතිගත’ පොහොර ය. ඔවුන් මෙතෙක් කල් ප්‍රමිතිගත පොහොර ගෙන්වූවා නම්, පිළිකා සහ වකුගඩු රෝග දිනෙන් දින ඉහළ යන්නේ කෙසේ ද? යන්න ගැටලුවකි. හැරත්, වසරෙන් වසර එකම භූමියට රසායනික පොහොර යෙදීම නිසා ද මහ පොළොව විෂ වීමේ අවදානමක් ඇති වේ!
ලෝකයට ‘කෘෂි රසායන’ (පොහොර, වල්නාශක, කෘමිනාශක සහ දිලීර නාශක ආදිය) භාවිතාවට පැමිණියේ 1960 දශකය මුල් භාගයේ සිට ක්‍රියාත්මක වුණු ‘හරිත විප්ලවය’ ඔස්සේ ය. එය ලෝක ව්‍යාප්ත වැඩ සටහනකි. ක්‍රමයෙන් ලොව වැඩි වන ජනගහනයට ප්‍රමාණවත් තරම් ආහාර නිපදවීම, එහි ඉලක්කය විය. ඒ සඳහා පාරම්පරික බව භෝග, නවීකරණය කෙරිණි. ධාන්‍ය භෝගවලින් වැඩි අස්වැන්නක් ගෙන දෙන සේ දෙමුහුම්කර වැඩි දියුණු කෙරිණි.
ඒවා වගා කරන්නට කෘෂිකාර්මික යෙදවුම් (රසායනික පොහොර, පළිබෝධනාශක, ඉසින යන්ත්‍ර සහ ට්‍රැක්ටර් ආදී) හඳුන්වා දිනි. නව වී වර්ගවලින් වැඩි අස්වැන්නක් ලැබීමත් සමගම, මහජනයා ද ඒවා වැළඳ ගත් හ. දැන් මුළු රට පුරා වගා කරන්නේ හරිත විප්ලවයේ වී ප්‍රභේද ය. මේ ක්‍රියාවලියට ඔරොත්තු දෙනු නො හැකිව, එතෙක් පැවති පාරම්පරික වී වර්ග ඇතුළුව ධාන්‍ය භෝග අභාවයට ගියේ ය.
හරිත විප්ලවයට දැන් දශක හයකි. මුළු රටම බුදින්නේ එයින් උපන් බත ය. හරිත විප්ලව බත බුදින වර්තමාන ජන සමාජයේ සෞඛ්‍යය අද එකම ඛේදවාචකයකි.
වී වගාවට ඇරුණු රටේ වියලි කලාපීය ‘මාරාන්තික නිදන්ගත වකුගඩු රෝගයට’ බිලීවී ගොසිනි. සෞඛ්‍ය සංඛ්‍යාලේඛනවල දැක්වෙන අන්දමට, 2018 වසරේ අලුතින් වාර්තා වුණු (හඳුනා ගත්) නිදන්ගත වකුගඩු රෝගීන් සංඛ්‍යාව 10,192කි! 2018 වසරේ දී අලුතින් හඳුනා ගත් පිළිකා රෝගීන් සංඛ්‍යාව 34,953කි. දියවැඩියාව සහ හෘද රෝග වැනි බෝ නො වන රෝග ද ඉහළ තලයක ය.
රජයේ රෝහලකින් ‘බයිපාස්’ හෘද සැත්කමක් (හෘද කිරීටක ධමනි හෝ කපාට අවහිරතා ඉවත් කිරීමේ සැත්කම) කරවා ගැනීමට අවුරුද්දක් වත් ‘පෝලිමේ’ (පොරොත්තු ලේඛනයේ) සිටීමට සිදු වේ. මසකට කෙරෙන ‘බයිපාස් හෘද සැත්කම්’ සංඛ්‍යාව මෙන් තුන්-හතර ගුණයක් අලුතින් ‘පෝලිමට’ (පොරොත්තු ලේඛනයට) එකතු වීම, ගාල්ලේ කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද සැත්කම් අංශයේ සාමාන්‍ය අත්දැකීමයි.
කුරුණෑගල මහ රෝහලට ද විශේෂඥ හෘද ශල්‍ය වෛද්‍යවරුන් දෙදෙනෙක් පත්කර ඇත. එහෙත් ඔවුන්ට ‘ශල්‍යාගාරයක්’ හෝ කාර්ය මණ්ඩලයක් වෙන්කර නැත. එබැවින් ‘බයිපාස් සැත්කම්’ කළ නො හැකිව තිබේ.
පිළිකා, හෘද රෝග, හෘද කිරීටක ධමනි සහ කපාට අවහිරවීම් සහ වකුගඩු රෝගවලට හේතුව, රසායනික ගොවිතැන ය. රසායනික පොහොර ද ඇතුළුව ‘කෘෂි රසායන’ ඔස්සේ වාරි ජලයට සහ කෘෂිකාර්මික පසට විෂ බැර ලෝහ (ආසනික්, කැඩිමියම්, රසදිය, ඊයම් සහ නිකල් ආදී) මුසු වෙයි. පසුගිය කාලයේ ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් කෙරුණු පර්යේෂණ මගින් ද මේ කාරණය සනාථ විය. අප ආහාරයට ගන්නා ‘බතට’ පවා වස විස මුසුවී හමාර ය.
පිළිකා රෝග ව්‍යාප්තිය සහ කෘෂි රසායන අතර ඇත්තේ මතුපිටට නො පෙනෙන සම්බන්ධයකි. 2018 වසරේ අලුතින් ලියාපදිංචි වුණු පිළිකා රෝගීන්ගේ දත්ත ඇසුරෙන් ඒ පිළිබඳ කතිකාවක් ගොඩනගා ගත හැකි ය. මහරගම අපේක්ෂා රෝහල හැරුණු විට, අලුතින් පිළිකා රෝගීන් වාර්තා වන්නේ කෘෂිකාර්මික ප්‍රදේශවලිනි. 2018 වසරේ දත්ත අනුව, කුරුණෑගල මහ රෝහලෙන් අලුත ලියාපදිංචිකර ගෙන ඇති පිළිකා රෝගීන් සංඛ්‍යාව 2206කි. බදුල්ලෙන් 2151කි. අනුරාධපුරයෙන් 1483කි. පොළොන්නරුවෙන් 699කි. අම්පාරෙන් 111කි. මොණරාගලින් 413කි. යාපනයෙන් (තෙලිප්පලෙයි) 1186කි. මඩකලපුවෙන් 876කි. වවුනියාවෙන් 223කි. නුවරඑළියෙන් 203කි. හම්බන්තොටින් 312කි. මේ අනුව බලන විට, 2018 වසරේ අලුත වාර්තාවුණු පිළිකා රෝගීන්ගෙන් (34953) තුනෙන් එකක් පමණ එන්නේ කෘෂිකාර්මික ප්‍රදේශවලිනි. එය බොහොම බිය උපදවන තොරතුරකි.
‘රසායනික පොහොර’ යනු, කෘෂිකාර්මික ක්ෂේත්‍රයට එක් කෙරුණු කෘතිම ශාක පෝෂක මාදිලියකි. එය ශාක වර්ධනයට, පැවැත්මට සහ ඵල දැරීමට අවශ්‍ය පෝෂක මූල ද්‍රව්‍යවලින් පොහොසත් ය. ඒවා කෘත්‍රිම රසායනික නිෂ්පාදනයන් ය. එබැවින් පොළොවට විෂ ද්‍රව්‍ය එකතු වේ.
රසායනික පොහොර සාමාන්‍යයෙන් යූරියා (නයිට්‍රජන්), ඇමෝනියම් සල්පේට් (ඇමෝනියා ලවණ), රොක් පොස්පේට් (පොස්පරස්), ත්‍රිත්ව සුපර් පොස්පේට් (ටී. එස්. පී.), මියුරියේට් ඔෆ් පොටෑෂ් (පොටෑසියම්), සල්පේට් ඔෆ් පොටෑෂ් ආදී කෘත්‍රිම රසායනික ද්‍රව්‍යවලින් සමන්විත ය. ඒවා ‘අමිශ්‍ර පොහොර’ හෝ ‘මිශ්‍ර පොහොර’ වශයෙන් ආහාර භෝග වගාවන්ට එක් කිරීම ගොවීන්ගේ සිරිතයි. රසායනික පොහොරවලින්, ශාකවල වර්ධනයට අවශ්‍ය පෝෂක මූලද්‍රව්‍ය කෙලින් ම සැපයෙයි. ඉන් ශාක වර්ධනයවී, වැඩි ඵලදාවක් ද ලැබේ. නව වැඩි දියුණු කළ බව භෝග වගා කිරීමේ දී, කෘත්‍රිම රසායනික පොහොර සහ කෘෂි රසායන ඉහළ ප්‍රතිඵල පෙන්වයි.
එහෙත් කෘත්‍රිම රසායනික පොහොර මිනිස් සෞඛ්‍යයට බෙහෙවින් විෂ සහිත ය. ඒවායෙහි ආසනික්, කැඩ්මියම්, රසදිය සහ ඊයම් ආදී විවිධ බැර ලෝහයන් අඩංගු ය. ඒවා ක්‍රමයෙන් පසට එකතු වේ. එයින් පිළිකා ඇතුළු ලෙඩ රෝග සෑදීමට මග පෑදෙන බව පසුගිය කාලයේ කෙරුණු පර්යේෂණවලින් හෙළි විය. දීර්ඝ කාලයක් තිස්සේ කෘත්‍රිම රසායනික පොහොර දැමීම නිසා පස ද විෂ වේ. පාංශු ජීවීන් සහ ක්ෂුද්‍ර ජීවීන් ද විනාශ වේ. නිසරු පසක් ඇති වේ.
කිලෝ පණහක කුඹුරු පොහොර මිටියකට රුපියල් 350ක සහනාධාරයක් පිරි නැමීමේ ක්‍රමය ඇරඹුණේ 2005 වසරෙන් පසුව ය. එය එවකට බලයේ සිටි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ යෝජනාවකි. පොහොර සහනාධාරයෙන් පසුව රටේ වී වගා බිම් ප්‍රමාණය වේගයෙන් ඉහළ ගියේ ය. 2004/2005 මාස් කන්නයේ රටේ වැපිරුණු වී වගා බිම් ප්‍රමාණය හෙක්ටයාර් 5,80,562කි. එය 2009/2010 මාස් කන්නයට එන විට හෙක්ටයාර් 6,46,037ක් විය. 2019/2020 මහ කන්නයේ දී එය හෙක්ටයාර් 7,52,248ක් දක්වා ඉහළ ගියේ ය. ඒ අනුව, පොහොර මිටිය රුපියල් 350ට දීම ඇරඹුණු 2005 සිට ගෙවුණු වසර පහළොවක කාලය තුළ ඉහළ ගිය වී වගා බිම් ප්‍රමාණය හෙක්ටයාර් 1,71,686ක් (අක්කර 4,29,215ක් පමණ) විය. තිස් වසරක් තිස්සේ උතුරු නැගෙනහිර පැවති සිවිල් යුද්ධය හමාර වීමත් සමග, එම පෙදෙස්වල සම්පූර්ණ කුඹුරු ප්‍රමාණය ම වගා කරන්නට හැකි වීම ද මේ වැඩි වීමට හේතු වූයේ ය.
ශ්‍රී ලංකා මහබැංකු වාර්තා අනුව, 2005 සිට 2020 දක්වා රටට ආනයනය කෙරුණු සමස්ත පොහොර ප්‍රමාණය මෙටි්‍රක්ටොන් 10,774,090කි. ඉන් වී වගාව පිණිස 2005 වසරේ සිට 2020 දක්වා රසායනික පොහොර මෙටි්‍රක් ටොන් 54,53,000ක් භාවිතකර තිබේ. මේ කාලය තුළ වී වගා හෙක්ටයාරයක අස්වනු ඵලදායිතාවය ඉහළ ගොස් ඇත්තේ කිලෝග්‍රෑම් 839කිනි. එහි තේරුම, ඵලදායිතාව ඉහළ ගොස් ඇත්තේ වසරකට කිලෝග්‍රෑම් 52ක් බැගිනි. කරුණු එසේ හෙයින්, රසායනික පොහොර යෙදීම ඔය කියන තරම් ප්‍රතිපලදායක ද? යන ප්‍රශ්නය මතු වේ.
ජනාධිපතිවරයා සිය කතාවේ සඳහන් කළ ආකාරයට, දැනටත් පිටරටින් පොහොර ආනයනය කිරීම සඳහා වාර්ෂිකව රජය වැය කරන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 400කි. එය කොතෙක් ඵලදායක ද? යන්න, මේ දත්ත සමග ප්‍රශ්න කෙරෙයි!
කෙසේ වෙතත් වසර හැට එකක් තිස්සේ රසායනික ගොවිතැනට පුරුදුකර තිබූ පොළොවක්, එක්වරම කාබනික ගොවිතැනකට හුරු කිරීම පහසු නැත. රටේ ගොවිතැන මෙහෙයවන ‘කෘෂිකර්ම දෙපාර්තමේන්තුව’ පය ගසා ගෙන සිටින්නේ ‘රසායනික ගොවිතැන වඩා යහපත් ය’ කියන මතයේ ය. රසායනික පොහොර සමාගම් ද ඔවුන්ට හිතවත් ය. ඒ මදිවාට ගමක්-රටක් ගානේ කාබනික පොහොර නිෂ්පාදන ආයතන ඇත්තේ ද නැත. කාබනික ගොවිතැනේ දී ඉන්දියාවේ ‘සුභාෂ් පලේකාර් ක්‍රමය’ තවදුරටත් අත්හදා බැලිය යුතු ය.
1960 කෙරුණු හරිත විප්ලවයේ දී බව භෝගවල සංයුතිය සහ ව්‍යුහය නවීකරණය කරමින් ඔවුන්ගේ අරමුණට, කෘෂි රසායනවලට ගැලපෙන සේ වෙනස් කළහ. එයින් උපන් දෙමුහුන් වී ප්‍රභේද කාබනික පොහොරවලට එතරම් ඵලදායකත්වයක් පෙන්වන්නේ නැත. එබැවින් කාබනික පොහොරවලට ගැලපෙන සේ ගොයම් ගස යළිත් නවීකරණය කරගත යුතු ය. කාබනික පොහොර සුලභ කළ යුතු ය. හැබැයි, කාබනික ගොවිතැනකට යා යුත්තේ අදියරෙන් අදියර ය. ඒ සඳහා වසර පහක හයක වත් කාලයක් ගත වනු ඇත්තේ ය.
2021-05-05
0000000000000000000