Total Pageviews

Saturday, November 21, 2015

රට වැසියන්ට වස-විස නැති බත් කටක්!


අතීත උරුමයෙන් වර්තමානයට
වස-විස නැති පාරම්පරික බත් කටක්!


(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
‘පැසෙන විට, කෙත සුවඳයි-ඉදෙන විට බත සුවඳයි’ යන්න, ‘සුවඳැල්’ සහල ගැන අපේ පැරැන්නන් ඇදැහූ මතයයි. ඇල් වී වර්ගයක් වන සුවඳැල්, පැසී ගෙන එන විට කෙත පුරා සුවඳ හමයි. කුස්සියේ ඉදෙන විට බත ද සුවඳ හමන්නේ ය.

වරක් දඹුල්ලේ ‘රන්ගිරි දඹුළු ගොවි සංවිධානයට’ අයත් පැරණි වී වගා බිමක් නිරීක්ෂණය කරන්නට ගිය ලියුම්කරුට, ‘කෙත සුවඳයි’ යන්න සජීවීව අත් දකින්නට ලැබිණි. සුවඳැල් ශාකය, වැඩිය උස නැති, කෙසඟ පෙනුමින් යුත් ගොයම් ගසකි. හැන්දෑ දඹුළු සුළඟ, කරලින් බරව පැසෙමින් පැවති සුවඳැල් කෙතෙහි ඒ මේ අත දුවමින්, ප‍්‍රසන්න සුගන්ධයකින් අපේ නැහැපුඩු පිරිමැද්දේ ය. කතාවෙන් අසා තිබුණ ද, ‘සුවඳැල් කෙත සුවඳය’ යන්න ජීවිතයේ මුල්වරට හැබැහින් පසක්කර ගත්තේ එදා ය.

 
සුවදැල්
ඇලෙක්ස්-වමේ
අතීත ලංකාවේ පාරම්පරික දේශීය වී වර්ග හාර දහසක් පමණ වගා කෙරිණි. සුවඳැල්, මුතු සම්බා, කුරුළු තුඩ සහ දේශීය බාස්මතී බඳු සුවඳ හමන වී වර්ග පවා ඒ අතර විය. බිළිඳුන්ට කිරි දෙන අම්මලාට එකල වැඩිපුර කිරි එරෙන්නට දුන්නේ ‘ගෝනබරු’ හාලේ බත් ය. හීනැටි සහල් වර්ග බේතට-හේතට ගැනුණේ ය. ගොඩ-මඩ දෙකෙහිම නිපැයෙන සහලේ එකිනෙකට වෙනස් ඹෟෂධීය ගුණ ඇති බව ‘චරක සංහිතාව’ නමැති පැරණි වෛද්‍ය ග‍්‍රන්ථය රචනා කළ මහර්ෂිහු ද සඳහන් කළහ. දියවැඩියාව හෙවත් මධුමේහයට සුවඳැල් හාලේ බත ඉතා යහපත් බව, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මාහාචාර්ය සරත් බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් කළ පර්යේෂණයකින් සොයා ගැනුණි.


අතීත භාවිතාව අනුව ලංකාවේ පැවති වී වර්ග, මූලික වශයෙන් කාණ්ඩ හතරකට අයත් විය. ඉන් පළමුවැන්න ‘ගොඩ වී’ ය. එනම්, සම්පූර්ණයෙන්ම අහස් දිය හෙවත් වර්ෂා ජලයෙන් වගා කරන වී වර්ග ය. වගා කරන ප‍්‍රදේශ සහ භූමිය අනුව ඒවා ‘උඩරට වී’, ‘කඳු වී’ සහ ‘ඇල්මණ්ඩි වී’ යනුවෙන් ද හැඳින්විණි. සාමාන්‍යයෙන් මුහුදු මට්ටමෙන් අඩි 4000කට පමණ ඉහළ කඳුකර පෙදෙස්වල මෙන්ම, වාරි ජල සම්පාදනය අඩු වියලි කලාපීය ඇතැම් කුඹුරුවල ද ගොඩ වී වර්ග වගා කෙරිණි.

දෙවැනි කාණ්ඩය ‘ඇල් වී’ ය. අහස් දියෙන් වගා කෙරෙන හේන්වල වැපිරෙන වී වර්ග, ඇල් වී යනුවෙන් හැඳින්විණි. ඇල් වීවලින් නිපැයෙන් ‘ඇල් හාලේ බත්’, බිළිඳුන්ට කිරි දෙන මව්වරුන්ට ඉතා ගුණ යයි පැරණි භාවිතාවේ කියැවේ.

තුන්වැනි වී කාණ්ඩය ‘බාල වී’ ය. එනම් වර්ෂාව අඩු කන්නවල වපුරන මාස තුන-තුනහමාරේ වී වර්ග ය.

සිව්වැනි කාණ්ඩය ‘මා වී’ ය. ඒ වූ කලී, දියළු කුඹුරුවල (අධික ලෙස ජලය සහිත) වගා කෙරෙන වී වර්ගයකි. නිල්වලා ගඟ පහළ නිම්නයට අයත් අත්තුඩාව, මාලිම්බඩ සහ නාදුගල ආදී පෙදෙස්වල දියළු කෙත්බිම් අදත් වැපිරෙන්නේ  ‘මහ මා වී’ වියෙනි. පැසෙන්නට හය මාසයක් ගත වුව ද, එය විශ්මිත ගුණයෙන් යුත් සහලක් උපදින වී වර්ගයකි. මා වී බත, බෙහෙවින් ‘බර’ ය. එබැවින් වෙනත් බතක් තරම් වළඳන්නට නො හැකි ය. බත ලෙහෙසියෙන් පිළුණු නොවෙයි. පෝෂණ ශක්තියෙන් මෙන්ම, වාජීකරණ ගුණයෙන් ද අධික ය. කළු ගඟ නිම්නයේ ඇතැම් පෙදෙස්වල මෙන්ම,  ගම්පහ දිස්ත‍්‍රික්කයේ ඇතැම් පෙදෙස්වල ද තවමත් මා වී වගා කෙරේ.

 
සෙනෙවිරුවන්
ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජුගේ සිරකරුවෙකු වශයෙන් සිටි බි‍්‍රතාන්‍ය ජාතික රොබට් නොක්ස් ද (එදා හෙළදිව ග‍්‍රන්ථය), ලංකාවේ දේශීය පාරම්පරික වී වර්ගවල රුව-ගුණ ගැන කරුණු දක්වා තිබේ. ඔහු කියන හැටියට පැසීමට ගතවන කාලය වෙනස් වුව ද, ලංකාවේ වී වර්ගවලින් නිපැයෙන සහලේ බතෙහි මිහිරි රසය වෙනස් නොවේ. ඉක්මණින් පැසෙන වී වර්ගවල බත, ඉමිහිරි රසයෙන් යුක්ත වුව ද, ඒවායෙහි අස්වැන්න අඩු බව ඔහු කියයි.

දේශීය පාරම්පරික භාවිතාවෙහි වාජීකරණ ගුණ සහිත සහල් වර්ග ගැන ද කියැවෙයි. ඒ අතර සුවඳැල්, රත් ඇල්, කලූ හීනැටි, මා වී සහ කුරුළු තුඩ යන සහලේ බත ප‍්‍රධාන ය. ‘මුතු මාණික්කන්’ සහලේ බත, කතුන්ගේ රුව වඩවන බව ප‍්‍රකට ය.

දේශීය පාරම්පරික වී වර්ගවල බත කොතරම් ගූණවත් ද? යන්න, අද රටවැසි බොහොම දෙනෙක් නො දනිති. 1960 වසරෙන් පසුව එළඹි ‘හරිත විප්ලවයෙන්’ රටට පැටවූ, වස-විස සපිරි නවීන රසායනික ගොවිතැනට හසුව ඒවා අභාවයට යැවීම ඊට හේතුවයි. එහෙත් රටවැසි සමහර ගොවීහු තම පාරම්පරික වී සම්පත වැනසී යා නො දී රැක ගත්හ. ඔවුන්ට අමතරව, ඇලෙක්ස් ප‍්‍රනාන්දු සහ මතුගම සෙනෙවිරුවන් යන දෑ හිතෙෂියන් දෙපල ද බොහොම වෙර වීරියෙන් දේශීය පාරම්පරික වී වර්ග සංරක්ෂණය කිරීමේ වැඩ පිළිවෙලක නියැලූණහ. ඇලෙක්ස් ප‍්‍රනාන්දු මහතා, 1971 කැරැල්ලට සිරගතව නිදහස් වීමෙන් පසුව ද, මතුගම සෙනෙවිරුවන් මහතා 1987 වසරෙන් පසුව ද, පැරණි වී වර්ග එකතු කිරීමටත්, ඒවා යළි ගොවීන්ට බෙදා දීමටත් ක‍්‍රියා කළහ. වගා දැනුම ද නිර්ලෝභීව බෙදා දුන්හ. ඉන් සැලකිය යුතු ව්‍යාප්තියක් ඇති විය. ආණ්ඩුවේ වගා යාන්ත‍්‍රණය වන ‘කෘෂිකර්ම දෙපාර්තමේන්තුව’ ද, නවීන වස-විස ගොවිතැනෙහිම ඇලීගැලී සිටීම නිසා, එකල පැරණි වී වර්ග යළි ව්‍යාප්ත කරන්නට යාම මහත් දුෂ්කර කටයුත්තක් විණි. මිථ්‍යා මත ද විශාල සංඛ්‍යාවක් පතුරුවා හැර තිබිණි. එකල කෘෂිකර්ම බලධාරීන් කළේ, පැරණි දේශීය වී වර්ගවල ලක්ෂණ භාවිත කරමින් නව දෙමුහුන් වී වර්ග නිපද වීම ය. එහෙත් ඇලෙක්ස්ලා සහ සෙනෙවිරුවන්ලා මෙන්ම, ඈත ගම්වල පාරම්පරික වී බීජ රැකගත් නිර්භීත ගොවීන්ට ද පින් සිදු වන්නට, දැන් ලංකාවේ වී ගොවීන් දස දහසකට ආසන්න සීමිත සංඛ්‍යාවක් දේශීය පාරම්පරික වී වර්ග වස-විසෙන් තොරව වගා කරමින් සිටිති. ඒවායෙහි ආහාරමය මෙන්ම ඖෂධීය ගුණය ද ඉතා ඉහළ ය. ඔවුන් අතර අද පැරණි වී වර්ග 600ක් පමණ සංසරණය වෙමින් තිබේ.

 
මා වී සහල් කොටමින්-අත්තුඩාව
කාර්මික තාක්ෂණ ආයතනය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමග එක්ව පසුගිය කාලයේ දේශීය පාරම්පරික සහල් වර්ග 25ක් පිළිබඳ පර්යේෂණයක් පැවැත්වූයේ ය. එහි ප‍්‍රතිඵල ඇතුළත් වාර්තාවක් 2011 වසරේ දී නිකුත් කෙරිණි. එහි මෙසේ ද සඳහන් වේ.

‘කලූ බාලවී, පච්චපෙරුමාල්, දහනල, රතු හීනැටි, කට්ටමන්ජල් සහ රතැල් යන සහල් වර්ගවල, වැඩි යකඩ හා ප්‍රෝටීන් අඩංගු බැවින් මේවා වැඩි පෝෂණ ගුණයෙන් යුක්ත වන අතර, යකඩ ඌණතාව මග හැරීමට සුදුසු ය. එබැවින් ගර්භනී  හා කිරි දෙන මවුවරුන්ට මෙම සහල් නිර්දේශ කළ හැක.’

‘ප‍්‍රතිඔක්සිකාරක වැඩි ප‍්‍රමාණයක් අඩංගු කලූ බාලවී, පච්චපෙරුමාල්, රත් සුවඳැල් සහ කලූ හීනැටි ආදී සහල් වර්ග පිළිකා සහ හෘද රෝග වැනි බෝ නො වන රෝග සඳහා නිර්දේශ කළ හැක.’

‘සුවඳැල්, මසුරන්, දික් වී, හා ගෝණබරු වැනි පිෂ්ඨය ජීර්ණය වීමේ වේගය අඩු (අඩු ග්ලයිසිමික් දර්ශකයක්) සහල් වර්ග දියවැඩියා රෝගීන්ට නිර්දේශ කළ හැක.’

දේශීය පාරම්පරික වී වර්ග කොතෙක් ගුණදායක ද යන්න ගැන, මේ වචන හොඳම සාක්ෂියකි!

වී ශාකයෙන් නිපැයෙන බත, අපේ රටේ ප‍්‍රධාන ආහාරයයි. අද එය නිපැයෙන්නේ ‘හරිත විප්ලවයෙන් ගෙනා’ නවීන ගොවිතැන ඔස්සේ ව්‍යාප්ත කෙරුණු, නව වී ප‍්‍රභේද (දෙමුහුන් වී වර්ග) මගිනි. ඒවා වවන ගොවිබිම් ඔස්සේ දැන් මරණය හඹා එන බව වත්මනෙහි කවුරුත් දනිති. ‘නිදන්ගත වකුගඩු රෝගය’ අද මිනිසුන් බිළි ගන්නා මාරයෙකුවී සිටින්නේ ය. පිළිකා, දියවැඩියා සහ හෘද රෝග ද බහුල ය. නවීන ගොවිතැනෙහි වස-විස ඇති බව දැන් දැන් කොයි කාහටත් තේරුම් යමින් තිබේ. බොහොමයක් ගොවීන් ද දැන් වස-විසෙන් තොරව, කාබනිකව සිය බව බෝග වගා කරන්නට උනන්දු වෙමින් සිටිති. ආණ්ඩුව ද අද වස-විස නැතිව ගොවිතැන් කළ යුතු බව පිළි ගෙන තිබේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ද ඊට එක්ව සිටිනු පෙනෙයි. එය හොඳ ප‍්‍රවණතාවයකි. ඔවුන් දැන් කොළඹ නාරාහේන්පිට ප‍්‍රදේශයේ ස්ථානයක (ආසිරි රෝහල අසල), වස-විස නැති දේශීය පාරම්පරික සහල් වර්ග අලෙවි කරන වෙළෙඳ කුටියක් ද පවත්වා ගෙන යයි.


දේශීය පාරම්පරික සහලෙහි රුව-ගුණ යනු අති විශාල තොරතුරු සම්භාරයකි. මෙහි ලියා දැක්වූයේ එයින් ඇබින්දක් පමණි. ඒ අනෙකක් නිසා නොව, දැන් වස-විස නැති සහලකින් බතක් වැළඳිය හැකි තත්ත්වයක් හට ගෙන ඇති බව කියන්නට ය. බතක් වළඳන්නට වත්කමක් නැතිනම් (වස-විස නැති දේශීය පාරම්පරික සහල් වර්ග, සාමාන්‍ය සහල්වලට වඩා මිලෙන් වැඩි ය.) සහල් වර්ග කිහිපයක් මිල දී ගෙන, සතියකට දෙතුන් දිනක්වත් ‘ධාන්‍ය කැඳක්’ සාදා වළඳන්නට පුළුවන් බව කියන්නට ය.
(ඡායාරූප-ප්‍රෑන්ක් ද සොයිසා)
2015/11/29.



Sunday, November 15, 2015

පුුරාවිද්‍යාඥයන්ට මග හැරුණු කූරගල නෑයා

පුුරාවිද්‍යාඥයන්ට මග හැරුණු කූරගල නෑයා
 කූරගල අරභයා අලුත් කතිකාවතක්

කූරගල කැණීම් පරිශ්‍රය

 (ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
(ඡායාරූප-විමුක්ති)

බලංගොඩට නුදුරු ‘කූරගල’ ලෙන් සංකීර්ණයේ කෙරුණු පුරාවිද්‍යා කැණීම් වැඩ පිළිවෙල ඇරඹුණේ, එවකට ආරක්ෂක ලේකම් ධුරය දැරූ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත් වීමෙනි. කැණීම් ව්‍යාපෘතිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවූ අතර, ඉන් කූරගල අරභයා අලූත් කතිකාවක් හට ගෙන තිබේ. එදා-මෙදා තුර වලවේ ගඟ නිම්නයේ පර්යේෂණ කළ පුරාවිද්‍යාඥයන්ට මගහැරුණු, බලංගොඩ මානවයන්ගේ ‘ලේ නෑයා’ කූරගල ලෙනෙන් හමුවීම කතිකාවතට හේතුවයි.

 


කූරගල


පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන අන්දමට, කූරගල ලෙනෙන් හමුවූ ආදි මානව ජනාවාසයේ වයස අදින් වසර 16,000කි. ඒ අනුව, බලංගොඩ මානවයන්ගේ ‘කූරගල මුතුන් මිත්තන්’ හෙවත් ලේ නෑයන්, අදින් වසර 16,000ක් පැරණි ය.

‘වර්ෂ 1887 සිට 1908 වෙනකල් ‘සැරසින් සහෝදරයෝ’ මේ ප‍්‍රදේශයේ ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණ කළා. ඊට පස්සේ ආචාර්ය පී. ඊ. පී. දැරණියගල සූරීන් උග්ගල් කල්තොට කඳු වැටියේ පර්යේෂණ කළා. පසුකාලීනව ආචාර්ය සිරාන් දැරණියගල මහතාත් මේ ප‍්‍රදේශයේ පර්යේෂණ කළා. ඒත් ඒ කාටවත්ම කූරගල ආදි මානව ජනාවාසය හමු වුණේ නෑ. ඒ නිසා ‘කූරගලින් හමුවූ මානවයා’, පුරාවිද්‍යාඥයන්ට මග හැරුණු කෙනෙක් කියලා කියන්නත් පුළුවන්’, කූරගල කැණීම් භාරව සිටි, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය නිමල් පෙරේරා මහතා කියන්නේ ය.

 
කූරගල කැණීම්-ආචාර්ය නිමල් පෙරේරාගේ නිරීක්ෂණයට

බලංගොඩට කිලෝමීටර් 25ක් පමණ දුරින්, කල්තොට පාරේ පිහිටි කූරගල පර්වතය සහ ලෙන් ගුහා, ඉපැරණි බෞද්ධ නටබුන් ද සහිත ගල් ලෙන් සංකීර්ණයකි. වලවේ ගඟේ ඉහළ නිම්නයට අයත් එම ප‍්‍රදේශය, සුප‍්‍රකට කල්තොට කඳු වැටිය ආශ‍්‍රිතව පිහිටියකි. එය, ඉපැරණි බ‍්‍රාහ්මී අක්ෂර සහිත සෙල් ලිපි, කටාරම් කෙටූ ලෙන්, දාගැබ් අවශේෂ ආදියෙන් සමන්විත ය. ඒවා ඉදිකර තිබුණේ ඓතිහාසික යුගයේ දී ය. එහෙත් පසුකාලීනව එය අන්‍යාගමික මධ්‍යස්ථානයක් බවට පත්ව තිබිණි. ඔවුන් ගල් ලෙන් සංකීර්ණයෙහි අවනසරයෙන් ගොඩනැගිලි ආදිය ඉදි කළ අතර, එයින් ලෙන් සංකීර්ණයෙහි පැවති සෙල් ලිපි සහ නටබුන්වලට බලවත් හානි සිදු විය. කූරගල ශ‍්‍රී පාද දිවා ගුහා රජමහා විහාරාධිපති රාජකීය පණ්ඩිත වටද්දර ඤාණිස්සර හිමියන් ඇතුළු ප‍්‍රදේශයේ බෞද්ධ වැසියන් කොතෙක් ඉල්ලීම් කළ ද, අන්‍යාගමික මධ්‍යස්ථානය ඉවත්කර ගන්නට නොහැකි විය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ද ඒ සඳහා උත්සාහ කළ අතර, එය ද ව්‍යවර්ථ විය. පුරාවිද්‍යා පර්යේෂණ කරන්නට ද නො හැකි විය.

 


කූරගල කැණීම්-ජූඩ් පෙරේරා
 පසුව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප‍්‍රශ්නයට මැදිහත් විය. ඒ අනුව, සිය ආගමික මධ්‍යස්ථානය එතැනින් ඉවත්කර ගන්නට එහි භාරකරුවෝ එකඟ වූහ. ඉන් පසුව අනවසර ගොඩනැගිලි කඩා ඉවත් කෙරිණි. ඒ සඳහා යුද හමුදාව, පොලීසිය, සහ සිවිල් ආරක්ෂක බලකාය යන ආයතනවල සහාය ලැබිණි කූරගල පර්වතය, ගල් ලෙන් සහ එහි නටබුන් අරභයා පර්යේෂණ කැණීමක් පවත්වා, එහි ඉතිහාසය මතු කිරීමේ කටයුත්ත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පැවරිණි. ඒ අනුව, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතාගේ උපදෙස් පරිදි, පුරාවිද්‍යා නියෝජ්‍ය අධ්‍යක්ෂ (කැණීම්), ආචාර්ය නිමල් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් 2013 වසරේ අප‍්‍රියෙල් 25 වැනි දා කූරගල ලෙන් පරිශ‍්‍රයේ කැණීම් ඇරඹිණි. එහිදී ලෙන් සංකීර්ණයෙහි පැවති ප‍්‍රාග් ඓතිහාසික මානව ජනාවාසයක සාධක මතු වන්නට පටන් ගත්තේ ය. එය ලංකාවෙන් මෙතෙක් හමු නොවූ තරම් අති විශාල මානව ජනාවාසයක් බව පුරාවිද්‍යාඥයන්ගේ අදහස විය.

 
කූරගලින් පහළ වලවේ නිම්නය


කූරගලින් හමුවූ ආදි මානව මෙවලම් සහ බෙලි කටු   (පින්තූරය-ජයන්ත විජේරත්න හේරත්)
රටේ මධ්‍යම කඳුකරය පටන් ගන්නා කඳු රේඛාවේ, බෑවුම් සහිත මුදුනක කුරගල පිහිටා තිබේ. බෑවුම කෙළවරින්වූ තැනිතලාව ඔස්සේ වලවේ ගඟ ගලා බසින අතර, තැනිතලා භූමිය සුප‍්‍රකට උඩවලවේ ජාතික වනෝද්‍යානයයි. මේ පිහිටීම සුවිශේෂ ය. අදින් වසර 13,000කට ඉහත බලංගොඩ මානවයන් ජීවත්වූ බෙල්ලන්බැඳිපැලැස්ස ජනාවාසය පැවති භූමිය ද එහි පිහිටා තිබීම, ඊට හේතුවයි. බෙල්ලන්බැඳිපැලැස්ස, කූරගලට පෙනෙන තරම් සමීප ය.

‘කූරගල කියන්නේ ප‍්‍රාග් ඓතිහාසික බලංගොඩ මානවයන්, රටේ තෙත් කලාපය සහ වියලි කලාපය අතර සංක‍්‍රමණය වීමේ දී භාවිත කෙරුණු අතරමැදි කඳවුරක් වගේ තැනක්. පහළ බෙල්ලන්බැඳිපැලැස්ස වියලි කලාපීය භූමියක්. කූරගලින් එහාට තියෙන්නේ තෙත් කලාපය. කූරගල පිහිටලා තියෙන කඳු වැටිය තියෙන්නේ හරියටම මේ දේශගුණ කලාප දෙක අතර මැදයි. මේක අන්තර් දේශගුණ කලාප ජනාවාසයක්. මෙතැනින් ලංකාවේ මානව ඉතිහාසය ගැන, මානව පරිණාමය ගැන බොහෝ තොරතුරු හෙළි වේවි’, යයි කැණීම් ආරම්භ කළ දිනවල පුරාවිද්‍යා නිලදාරීහු පැවසූහ.
 


ඔවුන්ගේ අනුමානය නිවැරදි විය. 2013 මැයි මාසයේ ඔවුහු ලෙන කැණීමෙන් ආදි මානව ඇටසැකිලි දෙකක් මතුකර ගත්හ. ඊට අමතරව, මානව අවශේෂ, ශිලා මෙවලම්, ගොඩ බිම සහ සමුද්‍රික සත්ත්ව අවශේෂ ආදී ප‍්‍රාග් ඓතිහාසික පුරාවස්තු රාශියක්ම ඔවුන්ට හමු විය.

2013 සැප්තැම්බර් 18 වැනි දා, පුරාවිද්‍යා නිලධාරීහු තමන් මතුකර ගත් ඇටසැකිලි ප‍්‍රවේශමින් ගොඩ ගත්හ. ඒ සමගම, ලෝක මානව පරිණාමයේ ලාංකේය වංශකතාවට තවත් අලූත් පරිච්ෙඡ්දයක් එක් වූයේ ය. ‘බලංගොඩ මානව පරපුරේ ‘කූරගල නෑයා’, වසර දහස් ගණනකට පසුව සිය ලෙන් දොරින් නික්ම වර්තමානයට පා තැබීම, ඒ අලූත් කතා පුවතයි. ‘කූරගල නෑයා’ ලෙන් දොරින් නික්මීම සංවිධානයකර තිබුණේ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙනි. වසර දහස් ගණනක් මුළුල්ලේ වැතිර සිටි පෞරාණික, පාෂාණිභූත, පස් කුට්ටිය ද සමගින් ලෑලි පෙට්ටියක සැතපුණු හෙතෙම, සිය අනභිබවනීය පරපුරේ වර්තමානික මිනිසුන්ගේ කර මතින් නික්ම ගිය දසුන ඉමහත් සංවේදී එකක් විය. ඒවායෙහි විශ්ලේෂණ තවම අවසන් නැත.

මේ අතර  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට, ඇමරිකාවේ බීටා ඇනලිටික් පුරාවස්තු රසායනාගාරයෙන් වාර්තාවක් ලැබිණි. ඉන් කියැවුණේ, කූරගලින් හමුවූ බලංගොඩ මානව ජනාවාසය අදින් වසර 16,000ත්, 6000ත් අතර කාලයට අයත්වන බවයි. එයට කාල අවධි පහක් ඇතුළත් වන බව ද වාර්තාවේ සඳහන් විය. පුරාවිද්‍යාඥයන්ට මගහැරී ගිය කූරගල මානවයා, අදින් වසර 16,000ක් පැරණියෙකු බව එහි සරල තේරුමයි.

කූරගල කැණීම භාරව කටයුතු කරන්නේ යු. ඩබ්ලිව්. කරුණාසේන, කමල්නන්ද සිරිසේන, සමන් කුමාර ඇරෑගම, ඞී. ආර්. අබේකෝන්, ජේ. එම්. ජයන්ත සහ ශ‍්‍ර‍්‍රීලාල් කුමාර යන කැණීම් නිලධාරීන් ඇතුළු කණ්ඩායමකි. ඔවුන් කියන්නේ කූරගල කැණීම, ඔස්සේ බලංගොඩ මානවයාගේ මුහුදු සම්බන්ධතා ගැන ද බොහෝ තොරතුරු හෙළිදරව් වන බවයි.

 
කැණීම් කණ්ඩායම

සමනොළ හිමය පාමුල, කුරුවිට පිහිටි ‘බටදොඹ ලෙන’ බලංගොඩ මානව ජනාවාසය අදින් වසර 40,000ක් පැරණි ය. කූරගල අදින් වසර 16,000ක් පැරණි ය. ඊට පහළින් පිහිටි බෙල්ලන්බැඳිපැලැස්ස ආදි මානව ජනාවාසය අදින් වසර 13,000ක් පැරණි ය. ඊට මෙපිටින් රංචමඩමේ මැටි සොහොන් ජනාවාස භූූමිය අදින් වසර 3368ක් පැරණි ය. කූරගලට නුදුරින් පිහිටි හල්දුම්මුල්ලේ මානව ජනාවාසය අදින් වසර 3750ක් පැරණි ය. කූරගල සහ බෙල්ලන්බැඳිපැලැස්සේ සිට බලන විට, බූන්දල, පල්ලේමලල සහ මිණිඇතිලිය ආදී වෙරළබඩ ආදි මානව ජනාවාස, අදින් වසර 4000ක් පමණ පැරණි ය.

‘මේකෙන් පේන්නේ, පසු කාලීනව ආදි මානවයා රටේ එක් පැත්තකින් වලවේ නිම්නය ඔස්සේ වෙරළබඩට සංක‍්‍රමණයවී ඇති බවයි. කූරගල කාලනිර්ණ දත්ත මගින්, ඒ  සංක‍්‍රමණ රටාව අපට හෙළිදරව් කරනවා’, ආචාර්ය නිමල් පෙරේරා මහතා කියන්නේ ය.

2015/11/16.
    










කූරගල ගැන ඇත්ත කුමක් ද?


විශ‍්‍රාමලත් පුරාවිද්‍යා නිලධාරියෙකු 

කූරගල ගැන

ප‍්‍රථම වරට කරන හෙළිදරව්වක්

ලෙනෙහි අරාබි ශිලා ලේඛන කොටවලා

 

 
කූරගල කන්ද



(රත්නපුර - එච්. එම්. ජයන්ත විජේරත්න-විශ‍්‍රාමලත් පුරාවිද්‍යා නිලධාරි)

ජයන්ත විජේරත්න හේරත් මහතා

බලන්ගොඩ, කූරගල පුරාවිද්‍යා රක්‍ෂිතයේ, ගල් ලෙන් ආශ‍්‍රිතව 2013 වසරේ කළ පුරාවිද්‍යා පර්යේෂණ කැණීම් මාලාම ඉතා වැදගත් එකක් විය. ඉන් හමුවූ මානව ක‍්‍රියාකාරකම් සහිත පාංශු ස්තර, අදින් වසර 6000 සිට 16000 දක්වා කාලයකට අයත් වන බවට ඉකුත් දිනක මාධ්‍යට ප‍්‍රකාශ කළේ, පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා ය. ඔහු ඒ බව පැවසුවේ කූරගල පර්යේෂණ ගැන ලැබුණු කාලනිර්ණ වාර්තා ඇසුරිණි. කූරගල දැන් කලක පටන්ම මහත් ආන්දෝලනාත්මක භූමියකි.
 

විනාශ කෙරුණු චෛත්‍යය

පැරණි රජ දවස ‘තණ්ඩුලෙය්‍යක පබ්බත’ සහ ‘දත්ත ශෛල පබ්බත’ යන නම්වලින් ද, පසු කාලීනව ‘කුහරගල’ නමින් ද, වර්තමානයෙහි ‘කූරගල’ නමින් ද හඳුන්වන ඓතිහාසික බෞද්ධ පුදබිම, මේ වන විට බහු ආගමික සිද්ධස්ථානයක් වශයෙන් ද ප‍්‍රසිද්ධ ය. එයඅනුරාධපුර යුගයේ මුල් අවධියේ සිටම බෞද්ධ ආගමික සිද්ධස්ථානයක් වශයෙන් පැවතුණු ස්ථානයකි. එහෙත් විසි වැනි සියවසේ මුල් භාගයේ සිට, එහි ‘මුස්ලිම් ආගමික දේවස්ථානයක්’ ද ඉදිකර, වන්දනාමාන කටයුතු පවත්වා ගෙන යයි.

කූරගල පුදබිම බෞද්ධ මෙන්ම මුස්ලිම් භක්තිකයන්ගේ ද ගෞරව බහුමානයට පාත‍්‍ර වූ සිද්ධස්ථානයකි.  මේ නිසාම පසුගිය කාල වකවානුව තුළ මේ පුණ්‍ය භූමිය, වරින්වර ඉමහත් ආන්දෝලනයට ද, මතභේදයට ද තුඩු දුන් සිද්ධස්ථානයක් වශයෙන් ද ප‍්‍රසිද්ධ වූයේ ය. බුදුරජාණන් වහන්සේ දිවා විහරණය කළ ‘දිවා ගුහාව’ පිහිටියේ ද මෙම ස්ථානයේ බවටත්, තෙ ලොවටම අධිපතිව විසූ මහා රාවණාවන්ගේ ඉන්ද්‍රගිරි රාජධානිය මෙහි පිහිටා තිබුණු බවටත්, පූජ්‍ය රාජකීය පණ්ඩිත, ශාස්ත‍්‍රපති, වටද්දර ඤාණිස්සර නායක ස්වාමීන් වහන්සේ විසින් තර්කානුකූල මතයක් ද ඉදිරිපත්කර ඇත.

කූරගල අයත් වන්නේ, රත්නපුර දිස්ත‍්‍රික්කයට ය. එහි බලංගොඩ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයයේ, කඩවත් මැද කෝරළේ, හෙළ උඩ පත්තුවේ, කූරගල ගමෙහි මෙම වන්දනීය පින්බිම පිහිටා ඇත. බලංගොඩ-කල්තොට මාර්ගයේ 23 වැනි කිලෝමීටර් කණුවට නුදුරින් හෙවත්, තංජන්තැන්න මංගර දේවාලය ඉදිරි පිටින් ඇති අතුරු මාර්ගයක් ඔස්සේ, තවත් කිලෝමීටර් දෙකක් පමණ ගිය පසු කූරගල පුදබිම හමුවේ.


 


කූරගල පුරාවිද්‍යා රක්‍ෂිතය තුළ පිහිටි මුස්ලිම් පල්ලිය හඳුන්වන්නේ ‘දත්තා ජෙයිලානි (Dafther Jeylany) නමිනි. පල්ලිය පාලනය කරන්නේ ‘භාරකාර මණ්ඩලයක්’ මගිනි. මට පෙනී යන්නේ, පල්ලිය භාරකාර මණ්ඩලය හෝ පල්ලියේ ආදායම් ලබාගන්නා පුද්ගලයන් විසින්, කූරගල ඉතිහාසය පිළිබඳ කලක සිටම ලෝක වාසී ජනතාව නො මග හරිමින් සිටින බවයි. ඒ සඳහා ඔවුන් ‘ව්‍යාජ සෙල් ලිපියක්’, නැවත වතාවක් විකෘතිකර (ප‍්‍රති නිර්මාණයකර) ඉදිරිපත්කර තිබේ. ඔවුන් ඉන් කියන්නට උත්සාහ ගෙන ඇත්තේ, ඉපැරණි කූරගලට මුස්ලිම් අයිතියක් ද ඇති බව ය! මෙය ඉතිහාසය විකෘති කිරීමක් වන බැවින් මෙම සටහන ලියන්නෙමි.

කූරගල ඉතිහාසය
එය අනාවරණය කිරීමට පෙර කූරගල ඉතිහාසය ගැන ද යම් තරමකින් හෝ අධ්‍යයනය කිරීම වැදගත් වනු ඇත. කූරගල ගල්ලෙන් පිළිබඳව අධ්‍යයනයේ දී පැහැදිලි වන්නේ, මුල් අනුරාධපුර යුගයටත් වඩා ඈතට දිවෙන ඉතිහාසයක් එහි ඇති බව ය.  ඒ අනුව කූරගල ලෙන් සංකීර්නයේ මානව ජනාවාස ආරම්භ කරන්නේ, මධ්‍ය ශිලා යුගයට අයත් ‘ප‍්‍රාග් මානවයා’
(Homo sapiens sapiens Balangodensis)   හෙවත් ‘බලංගොඩ මානවයා’ ය. ඔවුන් එහි විසූ බවට සාධක, මෑතක  මේ ගල් ලෙන්වල කෙරුණු පුරාවිද්‍යා පර්යේෂණ මගින් අනාවරණය විය. එය වැදගත් කරුණකි. ගල් ලෙන්වලට අමතරව ඔවුන් එළිමහන් ප‍්‍රදේශවල ද ජනාවාස පිහිටුවා ගෙන තිබූ බවට පැහැදිලි සාක්‍ෂි අනාවරණයකර ගැනීමට හැකි වූයේ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙම ප‍්‍රදේශයේ  වසර ගණනාවක් තිස්සේ කළ ගවේෂණ සහ කැණීම්වල ප‍්‍රතිඵලයක් වශයෙනි.  ඒ අනුව ඉකුත් 2013 වසරේ, කූරගල මුස්ලිම් පල්ලියට යාබද ගල් ලෙනෙහි කළ පර්යේෂණ කැණීමන්, එහි මානව ජනාවාසය අදින් වසර 6000 සිට 16,000 දක්වා කාලයක් පැරණි  බව වාර්තා විය.

 
කූරගල ඉදිකිරීම්

ප‍්‍රාග් ඓතිහාසික යුගයෙන් පසු කූරගල ගැන තොරතුරු සඳහන් වන්නේ මුල් අනුරාධපුර යුගයේ සිටම ය. කටාරම් කෙටූ ගල්ලෙන් සහ පූර්ව බ‍්‍රාහ්මීය අක්‍ෂරයෙන් යුත් සෙල් ලිපි මගින් ඒ ඉතිහාසය ගොඩ නැගෙයි. පැරණි සෙල් ලිපි 03ක් මෙහි දී දැකගත හැකි ය. ඒවායින් පැහැදිලි වන්නේ, භාවනායෝගි බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා එකල මෙහි ගල්ලෙන්වල වැඩ සිටි බවයි.

 කූරගල ඇති ලෙන් ලිපි සියල්ලම ඉතා කෙටි ලිපි වේ. එය විශේෂත්වයකි. එමෙන්ම බොහෝ ලෙන් ලිපිවල, ‘අගත අනගත චතු දිශ ශගස දිනේ’ (අතීත අනාගත සතර දිසාවෙන් පැමිණියා වූද, නො පැමිණියා වූද, භික්‍ෂු සංඝයා වහන්සේලාට පූජා කළ වගයි) යනුවෙන් සඳහන්කර තිබේ. කූරගල කඳුවැටිය සහ තදාශ‍්‍රිත කලාපයේ තවත් පැරණි ගල් ලෙන් කිහිපයක්ම වෙයි. ඒවායෙහි ඇති ලෙන් ලිපිවල එබඳු සඳහනක් නැත. ඊට හේතුව විය හැක්කේ, එම ස්ථාන ‘ලෙන් ආරාම’ සකස් කිරීමේ ප‍්‍රාථමික අවධියට අයත් ස්ථානයන් නිසා වන්නට පුළුවන. පූජ්‍ය රාජකීය පණ්ඩිත, ශාස්ත‍්‍රපති, වටද්දර ඤාණිස්සර නායක ස්වාමීන් වහන්සේ මේ ගැන අදහස් දක්වමින් කියා සිටියේ, මිහිදු මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩම කිරීමට ප‍්‍රථම හෙවත්, ප‍්‍රාග් බෞද්ධ සමයේ මෙම ගල් ලෙන්, යම් යම් ප‍්‍රදේශාධිපතීන් විසින් බුදුන් වහන්සේ උදෙසා පූජා කරන්නට ඇති බවයි. එම නිසා ඒවායෙහි ‘අතීත අනාගත සතර දිසාවෙන් පැමිණියා වූද, නො පැමිණියා වූද භික්‍ෂු සංඝයා වහන්සේලාට පූජා කළ වගයි’ යනුවෙන් සඳහන් නො කරන්නට ඇති බව උන් වහන්සේගේ අදහසයි.

සුදු දිසාපතිවරුන්ගේ කූරගල
විවිධ හේතූන් නිසා අභාවයට ගොස් වන වැදුණු කූරගල ගැන, නැවතත් යම් යම් තොරතුරු අසන්නට හා දැක ගන්නට ලැබෙන්නේ 20 වැනි සියවස මුල් භාගයේ සිට ය. ඒ, රත්නපුර දිස්ත‍්‍රික්කයේ එකල රාජකාරි කළ බි‍්‍රතාන්‍ය ජාතික දිසාපතිවරුන් සහ සිවිල් නිලධාරින්ගේ දින පොත්, ස්ථානීය පරික්‍ෂණ වාර්තාවන් මෙන්ම සංචාරක ගමන් විස්තර සටහන් අනුව ය.
 

රත්නපුර දිස්ත‍්‍රික්කයේ හිටපු දිසාපතිවරයකු වන ආර්. බී. හෙලින්ස් මහතා (1906-1910) කූරගල අවට ප‍්‍රදේශයේ කළ සංචාරයකින් පසු, 1910.02.12 දින තබන ලද සටහනක මෙසේ සඳහන් වේ.    
 

‘මට පෙනෙන හැටියට මෙම ස්ථානයේ මූලාරම්භයේ සිටම වසර ගණනාවක් යන තුරු ශුද්ධ වූ පූජණීය ස්ථානයක් වශයෙන් සහ භාවනායෝගිව කටයුතු කිරීමට සුදුසු තැනක් ලෙසටත් ප‍්‍රසිද්ධව ඇත. පුරාණ කාලයේ මෙහි තාපසයන් පදිංචිව සිටි බව පෙණුනත්, දැන් එසේ නැත. එහෙත් එක් අයකු පමණක් දැන් මෙහි තාපස ජීවිතයක් ගත කරයි. මගේ මතකය නිවැරදි නම්, මොහු මුලින්ම වාසය කළේ දිල්ලි නගරයට ආසන්න පාඨලීපුත‍්‍ර නගරයේ ය. මොහුගේ පියා එහි සිටි ශුද්ධවන්ත පුද්ගලයකුගේ බිරිඳ නො මග යවා, පසුව බලහත්කාරකමින් දූෂණයකර, ඇයගේ සැමියා ද මරා දමන ලද්දේ ය. අවාසනාවන්ත සිද්ධියෙන් ගැබ් ගත් ඇය, නිසි කල පිරිමි දරුවකු බිහි කළා ය. වයසින් වැඩුණු දරුවා මවගෙන් සිය පියා ගැන අසා සිටි අවස්ථාවක, මව සිය පුත‍්‍රයාට සිදු වූ සියල්ල ඒ පරිද්දෙන්ම කියා සිටියා ය. මින් කෝපයට පත් පුතා, තම මවට අපරාධයක් කළ මිනීමරු පුද්ගලයා හෙවත්  තමන්ගේ සහජාතක පියා මරා දමන බවට මව හමුවේ ශපථ කළේ ය. මේ අතර තමන් කළ අපරාධය ගැන පසුතැවුණු මිනීමරු පුද්ගලයා, පසුව සිය ජීවිතය බේරා ගැනීම සඳහා ලංකාවට පැමිණ සැඟවී සිටියේ කූරගල ය. පළිගැනීමේ අදහසින් මොහු සොයා පැමිණි පුත‍්‍රයා, එක් රාත‍්‍රියක දරුණු අරගලයකින් පසු මිනීමරුවා මරා දමන ලද්දේ ය. රාත‍්‍රිය පුරා ඇසුනු බිහිසුණු ශබ්ද ගැන විමසිල්ලෙන් සිටි පුද්ගලයකු, පසු දින කන්ද නැග එහි ගිය පසු දැක ගන්නට ලැබුණේ වෛරයෙන් දැවෙමින් සිටින තාපසයකු හා ගින්නෙන් දැවෙමින් පවතින අළු ගොඩකි.’ (1910.02.12 දින ලියා ඇති සටහන)
 

හෙලින්ග්ස් මහතාගේ දින සටහනෙන් පැහැදිලි වන්නේ, ඔහු කූරගලට යන විට එම ස්ථානයේ ගල් ලෙනක සිටි පුද්ගලයා, මෙයට පෙර ඔහු විසින් දැක සිටි කෙනෙකු බව ය. ඒ,  ඉන්දියාවේ පාඨලීපුත‍්‍ර නගරයේ දී ය. එසේ නම්, හෙලින්ග්ස් මහතා ලංකාවේ සිවිල් රාජකාරියට පැමිණීමට පෙර ඉන්දියාවේ පාඨලීපුත‍්‍ර ප‍්‍රදේශයේ ද රාජකාරි කරන්නට ඇතැයි විශ්වාස කළ හැකි ය. එමෙන්ම ඔහුගේ සටහනින් පැහැදිලි වන්නේ, සිය පියා සොයා කූරගලට පැමිණි පුතා, පියා මරා පුළුස්සා, ඉන් පසුව  තාපසයකුගේ වෙස් ගෙන තිබුණු බවකි. හෙලින්ග්ස් තවදුරටත් කියා සිටින්නේ මෙවන් කතාවකි.
 

‘පැය දෙකක පමණ පා ගමනකින් පසු තන්ජමට යාමට හැකි ය. ඉන් පසු සිදු වන්නේ කූරගලට සහ හිටුවන්ගල කන්ද නැඟීමට ය. ස්ථාන දෙකම මහමදිකයන් වැඳුම් පිදුම් කරන ස්ථානයන් ය. මෙහි ඇති ගල් බිත්තිවල අරාබි, දෙමළ සහ සංස්කෘත අකුරුවලින් වන්දනාකරුවන්ගේ නම් ගම් ලියා ඇත. හිටුවන්ගලට වඩා කූරගල උසින් වැඩි අතර, කඳු දෙක අතර ඇත්තේ කෙටි දුරකි.’
 


පුරාවිද්‍යා කැණීම්

ආර්. එන්. තේන් මහතා (1913-1915) ද රත්නපුර දිසාපති වශයෙන් කටයුතු කරන අතර, කූරගල සංචාරයකර තිබේ. ඔහු 1914.03.26 වැනි දින මෙබඳු දින සටහනක් තබා ඇත.
 

‘මුස්ලිම්වරුන් විසින් මෙම ස්ථානය හඳුන්වන්නේ ‘දස්තර්’  (Dastur) හෝ ‘ඩක්මර් සෙයිලාන්’  (Dukmar seylan) නමින් ය. එහෙත් මගේ දැනුම අනුව ලංකාවේ කිසිම මූලාශ‍්‍රයක මේ ඉතිහාසය ගැන කිසිම සඳහනක් දැක ගන්නට නැත. බෞද්ධ මෙන්ම මහමදාගමිකයන්ද මෙතනට පැමිණෙති.’
 

උමං මග
‘අබ්දුල් කාදර් නමින් හඳුන්වනු ලබන අරාබි ශාන්තුවරයෙක් කලකට පෙර මෙම ස්ථානයේ සිටියේ යයි  දැන ගන්නට ඇත. ස්වර්ගයට යන මාර්ගය ඇත්තේ මෙතන යයි පවසමින් ඔහු මෙහි වාසයකර ඇත. ස්වර්ගයට යන මාර්ගය ඇත්තේ මැද තිබෙන ගුහාවට දකුණු පසිනි. ඉතාමත් පටු සහ පැතලි මාර්ගයක් ඔස්සේ එතනට යා යුතු වන්නේ යාර 20ක් 30ක් පමණ අන්ධකාරයේ බඩගා ගෙන ය. ආලෝකයක් නො තිබුණ බැවින් සහ එතන යාමට කැමැත්තක් නො තිබුණ නිසා මම එතැනට නො ගියෙමි.  මගේ මාර්ගෝපදේශකයා මට කීවේ, මෙතැනට යන වන්දනාකරුවන්ට ඔවුන්ගේ යාඥාකරුවන් දැක ගැනීමට හැකි වන බව ය. ගුහාවේ දැඩි දුර්ගන්‍ධයක් පවතින අතර, මැසි මදුරුවන් මෙන්ම වවුලන් සහ සර්පයන් ගෙන් ද පිරී ගොස් ඇති නිසා, පෙර සඳහන් ප‍්‍රකාශය සත්‍ය යයි සිතිය හැකි ය.’
   

‘ගුහාවට සම්බන්ධ කතා පුවත සිත් ගන්නා සුළු ය. ඔවුන්ගේ විශ්වාසය අනුව මෙතනින් මක්කමට හෝ ස්වර්ගයට යා හැකි ය. අබ්දුල් කාදර් මෙතනින් ස්වර්ගයට යන මාර්ගය සොයා ගත්තේ යයි දැන ගන්නට හැකි විය. එක්තරා දිනයක ඔහු ගලට සිය අත්ල තබා, එතැන තිබූ විවරයකින් ඇතුළට ගොස් ඇති අතර, පසුව විවරය ගලකින් වැසී ගොස් ඇත. ඔහු නැවත කිසිදාක පැමිණ නැත. වන්දනාකරුවන්ගේ විශ්වාසය වනුයේ ඔහු ස්වර්ගයට ගිය බවයි. මුස්ලිම් බැතිමතුන් ගල මත සිය අත්ලේ සටහන තබන්නේ ශුද්ධ වූ ස්ථානයෙන් ස්වර්ගයට යාමට හැකි වනු ඇතැයි යන බලාපොරොත්තුවෙනි.’
 

කෙටි කාලයක් රත්නපුර දිසාපති වශයෙන් කටයුතුකර ඇති ජී. කුක්සන් මහතා ද, 1911.01.12  වැනි දින කූරගලට පැමිණ  සිය දින පොතෙහි තබන්නේ මෙවැනි කෙටි සටහනකි.
‘මහම්මත් ආගමිකයන්ගේ සඳහන් කරන්නේ, ‘අපගේ දෑස් සීලයෙන්  පාරිශුද්ධ නම්, මේ කන්දේ ගුහා, පැතිකඩවල් සහ උමං තුළින් ස්වර්ගය මෙන්ම නරකාදිය දැකිය හැකි බවයි.”   
ඉහත සඳහන් දිසාපතිවරුන්ට අමතරව තවත් සිවිල් නිලධාරීන් කිහිප දෙනෙක්ම කූරගල නැරඹීම සඳහා ගොස් ඇති බව ඔවුන්ගේ චාරිකා සටහන්වල සඳහන් වේ. 

රත්නපුර දිසාපතිවරුන්ගේ
(Ratnapura - An account of the District From Diaries of Government  Agents.  Supplemented  from  other  records  by  L.B.Abeyaratne. ) දින සටහන්වලින් පෙනී යන්නේ, 20 වන සියවසේ මුල් භාගය වන විට කූරගල ගල් ලෙන්වල මුස්ලිම් ජාතිකයන්ගේ ද ආගමික සිද්ධස්ථානයක් පැවති බවයි. එම වාර්තා තවදුරටත් අධ්‍යයනය කිරීමේ දී (හෙලින්ග්ස්ගේ දින සටහනින් පෙනී යන පරිදි) පෙනෙන්නේ, මෙහි සෙල් ලිපිවල සංස්කෘත අක්‍ෂර ද දැක ගන්නට තිබුණු බවයි. ඔහු (හෙලින්ග්ස්) සංස්කෘත අක්‍ෂර යයි සඳහන් කරන්නේ, ලෙන්වල කොටා ඇති පූර්ව බ‍්‍රාහ්මීය අක්‍ෂරවලට ය. ගරා වැටුණු බුදු පිළිම සහිත ගල්ලෙන් වන වැදී තිබෙන්නට ඇති නිසා, ඔවුන් ඒ ගැන සඳහන් නො කරන්නට ඇත. ආර්. එන්. තේන් මහතාගේ දින සටහනෙන් පැහැදිලි වන්නේ, බෞද්ධයන් ද වැඳුම් පිදුම් සඳහා මෙම ස්ථානයට පැමිණි බවයි.
 




මෙම පුණ්‍ය භූමියේ ඇති ගල්ලෙන් ආශ‍්‍රිතව බොහෝ දුරට බුදු පිළිම වැනි දේ නො තිබෙන්නට ඇතැයි ද උපකල්පනය කළ හැකි ය. කූරගල ආසන්නයෙහි කුරුදියවල විහාරාරාම සංකීර්ණය සහ බුදුගල, වැනි ස්ථානවල  තවත් බුදු පිළිම සහිත බෞද්ධ සිද්ධස්ථාන පැවති බැවින්, කූරගල ලෙන්වල බුදු පිළිම ඉදි නොකර, එහි සියලූම ගල්ලෙන් භාවනා කටයුතු සඳහා යොදවා ගන්නට ඇත! එමෙන්ම බෞද්ධ සංකේතයක් වශයෙන්, ‘කුහරගල’ මස්ථකයේ චෛත්‍යයක් පමණක් ඉදි කරන්නට ඇත. භාවනා කටයුතුවල යෙදිය හැකි පැරණි ගල්ලෙන් 20කට ආසන්න සංඛ්‍යාවක්, කූරගල, පබ්බත සහ බුදුගල ආශ‍්‍රිත කලාපයෙන් සොයා ගැනීමට අපට හැකි විණි.

අලි මස්තාන්
ආර්. බී. හෙලින්ස් මහතාගේ දින සටහනෙහි එන, පියා මරා දමා කූරගල ගල්ලෙනෙහි පදිංචිවූ පුද්ගලයා, ප‍්‍රදේශවාසීන් විසින් හඳුන්වනු ලැබුයේ ‘අලි මස්තාන්’ නමිනි. ඔහු ගංජා සහ දඩ මස් වෙළෙඳාම් කළ බව ප‍්‍රකට ය. කූරගල හරහා යන-එන අරාබි ජාතිකයන්ට අමතරව, මස්තාන් හමුවී ගංජා සහ දඩ මස් ගෙන යාමට පසුව බලංගොඩ ප‍්‍රදේශයේ ඇතැම් ව්‍යාපාරිකයන් ද කූරගලට යන්නට එන්නට වූහ. අලි මස්තාන් මේ අතර තවත් ව්‍යාපාරයකට අත ගැසුවේ, අපේ  සිංහල බෞද්ධයන් යයි කියා ගන්නා සමහර අය, බුදුන් සහ දෙවියන් විකුණා ගෙන උදර පෝෂණයකර ගන්නා විධි ක‍්‍රමය ආදර්ශයට ගනිමිනි. ඒ අනුව ගිය ඉන්දීය ජාතික අලි මස්තාන් නැමති මුස්ලිම් ජාතිකයා ද, තමන් නතරව සිටි ගල් ලෙනෙහි අල්ලා දෙවියන් වහන්සේ වෙනුවෙන් පිං කැටයක් තබා ආධාර එකතු කිරීමට පටන් ගත්තේ ය. ඉන් නො නැවතී, ස්වර්ගයට මාර්ගය මෙම ස්ථානයේ දී දැක ගන්නට හැකි යයි ප‍්‍රචාරයක් ද ගෙන ගියේ ය. ඔහුගේ ව්‍යාපාරය කොතරම් ජනප‍්‍රිය වූයේ ද යත්, ස්වර්ගයට යන මාර්ගය දැක බලා ගැනීම පිණිස දේශීය මෙන්ම විදේශීය මුස්ලිම් ජාතිකයන් විහාල ලෙස කූරගලට ඇදී එන්නට වූහ. එහි ප‍්‍රතිඵලය වූයේ ඔහුගේ පිං කැටය පිරී ඉතිරී, කූරගල ලෙන් ඔවුන්ගේ ආගමික ස්ථානයක් බවට පත් වීමයි! එයට ප‍්‍රධාන හේතුවක් වූයේ, හම්බන්තොට සිට රට මැදට යාමට එකල තිබූ ප‍්‍රධාන මාර්ගය, වලවේ නිම්නය ඔස්සේ කූරගල හරහා වැටී තිබීමෙනි.
 

මේ අතර, අලි මස්තාන්ගේ ක‍්‍රියා කලාපය ගැන තවත් පුද්ගලයෙක් විමසිල්ලෙන් සිටියේ ය. ඔහු නම්,  බලංගොඩ පදිංචි ‘මරික්කාර්’ නම් ව්‍යාපාරිකයා ය. කූරගල වන්දනාමාන කිරීමට එන පුද්ගලයන් ගෙන් අලි මස්තාන්ගේ ‘පිං පෙට්ටිය’ පිරී ඉතිරී යන බව දැක, ඔහුට කිසියම් ලෝබ සිතිවිල්ලක් ඇති විය. මේ ස්ථානය තමන්ට අයිතිකර ගත හොත් විශාල ආදායමක් ගත හැකි බව ද ඔහු තේරුම් ගත්තේ ය. ඔහු ඒ සඳහා හීන් සීරුවේම පිඹුරුපත් සැකසී ය.
 

මෙම ස්ථානයේ  අයිතිය ඇත්තේ දකුණු ඉන්දියාවෙන් පැමිණ සැඟවී සිටින අයකුට නොව, බලංගොඩ සිටින තමන්ට බව පවසමින් හෙතෙම අරගල කරන්නට විය. මේ අයිතිවාසිකම් සඳහා මරික්කාර්ගේ සහෝදරයන් කිහිප දෙනෙක් සහ ඥාතීන් කිහිප දෙනෙක් ද සහයෝගය දැක් වූහ. පසුව එය ගැටුම්කාරි තත්ත්වයක් දක්වා වර්ධනය විය. එහි දී මරික්කාර්ට මෙන්ම අලි මස්තාන්ට ද පක්‍ෂව පිරිස් ගොනු වූහ. ගැටුම්කාරි තත්ත්වය කොතෙක්  දුරදිග ගියා ද යත්, අලි මස්තාන් විසින් බලංගොඩ මරික්කාර්ගේ කල්ලියේ සාමාජිකයකු වූ, සෙයියදු බුහාරි මව්ලානා නම් අයකුට පහර දී, ඔහුගේ කකුලක් ද කඩා දැමුවේ ය. මේ හේතුවෙන්, ඉන්දියාවෙන් පැමිණි අලි මස්තාන් හෙවත් එස්. එම්. කේ. මොහොමඩ් අලි මස්තාන් සාහිබු යන අයට විරුද්ධව 1922 වසරේ දී පොලිස් උසාවියේ අංක 22494 යටතේ නඩුවක් ගොණු කෙරිණි.
 

එයට අමතරව, ගල් ලෙනේ  අයිතිය පිණිස සහ එම සිද්ධස්ථානයට පැමිණෙන බැතිමතුන් ගෙන් විදේශිකයෙකු මුදල් අය කරන බව සඳහන් කරමින්, සී. එල්. එම්. අබ්බාස් මරික්කාර් යන අය, එස්. එම්. කේ. මොහොමඞ් අලි මස්තාන් සාහිබු යන අයට එරෙහිව 1922 වසරේ දී තවත් නඩුවක් ද ගොණු කරන ලදී. අලි මස්තාන්ට විරුද්ධව බලංගොඩ පාර්ශවයෙන් සී. එල්. එම්. අබ්බාස් මරික්කාර්,  ඕ. එල්. එම්. අබ්දුල් ලෙබ්බේ, සහ ඒ. එල්. ඒ. මජිඞ්, ඇතුළු තවත් පිරිසකි. ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥ එම්. ඒ. ඩබ්ලිව්. ගුණසේකර මහතා ය. රත්නපුර දිස්ත‍්‍රික් උසාවියේ විභාග කරන ලද  නඩුව අංක zD.C.56/35’ බව සඳහන් වේ.
 

මුස්ලිම් මස්ජිඩය සහිත ගල්ලෙනෙහි  හිමිකම සම්බන්ධයෙන් 1922 පවරන ලද නඩුවේ, තීන්දුව ප‍්‍රකාශයට පත්කර ඇත්තේ 1936 වසරේ සැප්තැම්බර් මාසයේ ය. එම වසර 14ක පමණ කාලය තුළ පැවති අධිකරණ ක‍්‍රියා කලාපය නිසා, කූරගල පරිශ‍්‍රයේ කිසිදු ඉදි කිරීමක් නො කෙරිණි. ඇත්තටම සියලූ ඉදිකිරීම් ආරම්භකර ඇත්තේ 1936 වසරෙන් පසුව ය. එසේ වුව ද, සී. එල්. එම්. ඒ. මරික්කාර් විසින්, 1922 වසරේ සිටම මෙහි ගොඩනැඟිලි ඉදි කළ බවට නාම පුවරු සවිකර ඇත. එය ඔහු තමන්ගේ අයිතිය තවදුරටත් තහවුරුකර ගැනීම සඳහා ගත් ක‍්‍රියාමාර්ගයකි. නඩුවෙන් බලංගොඩ මරික්කාර් ජය ගෙන තිබිණි. එහෙත් සියලූ දේ  ඉදිකර ඇත්තේ, 1936 වසරෙන් පසුව බව පැහැදිලි ය.
 

ඒ සඳහා හොඳම සාධක සපයන්නේ, පූජ්‍ය විකිළියේ නාරද අනුනායක ස්වාමීන් වහන්සේ ය. උන් වහන්සේ සඳහන් කරන ආකාරයට, තමන් වහන්සේ පළමු වරට කූරගලට වැඩම කරවා ඇත්තේ 1925 වසරේ ය. එම අවධියේ එහි  යාම ඉතාමත් දුෂ්කර කාර්යයක්වූ බව උන් වහන්සේ සඳහන් කරති. බලංගොඩ සිට බෝවත්ත දක්වා යාමට කරත්ත පාරක් තිබුණ අතර, එය ද යා යුත්තේ නිතර අලි, කොටි, වලස්සු වැනි නපුරු සතුන් ගැවසුන මාර්ගයක බවත්, උන් වහන්සේ සඳහන් කරති. උන් වහන්සේ තවදුරටත් කියන්නේ බෝවත්තෙන් එහාට දෙනිපිටිය හරහා කුඩා අඩි පාරකින්  තන්ජමට හා එතැනින් කූරගලට යා යුතු බවයි.  1925 වසරේ කූරගලට වැඩම කළ අවස්ථාවේ, එම කඳු මුඳුනේ පේසා වළලූ තුනකින් සමන්විත, බඹ එක් හමාරක් (අඩි 09ක්) පමණ උස දාගැබක් පැවති බව සඳහන් කරති. හිටුවන්ගලටත්, ඒ අසලින් ගලා යන කුඩා දොළ පාරත් අතර කොටසේ, අඩි 35ක් පමණ දිගින් යුතු පෞරාණික ගොඩනැඟිල්ලක අත්තිවාරමක් දැක ගන්නට ලැබුණු අතර, හිටුවන්ගල ගල්ලෙන් විහාරය ඇතුළත පැරණි කුඩා බුද්ධ ප‍්‍රතිමාවක් ද තිබුණ බව වැඩි දුරටත් සඳහන් කරති. උන් වහන්සේ නැවත 1938 වසරේ දී කූරගලට වැඩමකර ඇත.  එවර පළමු වරට දුටු දාගැබ, පැරණි ගොඩනැඟිලි අත්තිවාරම පමණක් නොව, ගල් ලෙන තුළ තිබූ බුද්ධ ප‍්‍රතිමාව ද දැක ගන්නට නො ලැබුණ බව සඳහන් කරති.  1925 දී බඹ එක හමාරක පමණ උසට තිබූ පැරණි දාගැබේ එකදු ගඩොල් කෑල්ලක්වත් දැක ගන්නට නො ලැබුණු අතර, හිටුවන්ගල විහාරය පැවති තැන මුස්ලිම් පල්ලියක් ගොඩ නඟා  තිබුණු බවත් උන් වහන්සේ සඳහන්කර ඇත.
 

පූජ්‍ය විකිලියේ නාරද අනුනායක ස්වාමීන් වහන්සේ සඳහන් කරන ආකාරයට, 1925 වසර වන විට මුස්ලිම් ජාතිකයන් කූරගල ගල්ලෙන් ආශ‍්‍රිතව යම් යම් දේ ඉදිකර ඇත. එම කාල වකවානුවේ ප‍්‍රදේශයේ පාලකයා වශයෙන් කටයුතුකර ඇත්තේ, මුල්ගම කෝරළේ මහත්තයා වන අතර, කූරගල ගම අයිති වූයේ කල්තොට ගම්මුලාදෑනි වසමට ය. එහි  ගම්මුලාදෑනි වශයෙන් කටයුතුකර ඇත්තේ, එම්. ජී. බ‍්‍රාහ්මණහාමි නම් නැමති අයයි. 
 

ඔහු සිය ගම්මුලාදෑනි වසමේ සංචාරයේ යෙදෙන අවස්ථාවක දැක ඇත්තේ, මෙහි පදිංචි මුස්ලිම් ජාතිකයන් ගල් ලෙන්වල  තිබූ බුදු පිළිම කඩා දමමින් සිටින ආකාරයයි. ඔහු මේ පිළිබඳ සිය ඉහළ නිලධාරියා වූ මුල්ගම කෝරළේ මහතාට දැණුම් දී ඇති අතර, කෝරළේ මහතා නියෝගකර ඇත්තේ, අලි මස්තාන් විසින කූරගල අලූතෙන් ඉදි කරන ලද පැල නොහොත් ‘ගේ’ වහාම කඩා, එය කළ බවට නැවත වාර්තා කරන ලෙසයි. අලි මස්තාන් විසින් ඉදි කරනු ලැබූ නිවාසය ඉහත නියෝගය අනුව කඩා ඉවත්කර ඇති අතර, කෙසේ වුව ද 1930 දශකයේ දී නැවතත් මෙහි ගොඩනැගිලි තනා ඇති බව පෙනේ.
 

අනවසර ඉදි කිරීම් ඉවත් කරමින්
කෙසේ වුව ද ගල් ලෙනේ අයිතිය සම්බන්ධයෙන් පවරා තිබූ  නඩුව නිසා ද, කූරගල එකල සිට රට පුරා ප‍්‍රසිද්ධ විය. නඩුවෙන් ජයග‍්‍රහණය කළ බලංගොඩ සී. එල්. එම්. මරික්කාර් හජ්ජියාර් ප‍්‍රධාන දේවස්ථාන භාරකාර මණ්ඩලය, පූර්ව බ‍්‍රාහ්මීය අක්ෂර සහිත ලෙන් ලිපි පිහිටි ගල් ලෙන් ආශ‍්‍රයකර ගෙන, ඒවායේ බිත්ති බැඳ කුටි වශයෙන් සකස්කර ගත්හ. ඒවා හැඳින්වූයේ ‘තපස් වාඩි” නමිනි. ඉන් පසු තවත් විශ‍්‍රාම ශාලා කිහිපයක් ද ඉදි කෙරිණි.
 

රාජකීය පණ්ඩිත පූජ්‍ය කිරිඇල්ලේ ඤාණවිමල ස්වාමීන් වහන්සේ ද කූරගල ගවේෂණය කළ තවත් විද්වතෙකි. උන් වහන්සේ ද කූරගල ගැන සපයා ඇති තොරතුරු ඉතාමත් වැදගත් ය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරි පිරිසක් සමග උන්වහන්සේ ද වරක් මෙහි ඇති පැරණි ලෙන් ලිපිවල ස්පර්ශ මුද්‍රා (පිටපත්කර) ගැනීමට ගිය අවස්ථාවක, එම කටයුතුවලට බාධාකර තිබේ. එකල එහි ප‍්‍රධාන භාරකරු වශයෙන් කටයුතු කළ සී. එල්. එම්. මරික්කාර් ගේ පුත‍්‍රයකු වන එම්. එල්. එම්. අබුසාලි ප‍්‍රමුඛ අනුගාමිකයන් පිරිසක් එම නිලධාරීන්ට සිය රාජකාරිය ඉටු කිරීමට නොදී, කලහකාරි ලෙස හැසිරුණු බව උන් වහන්සේ සඳහන්කර ඇත.
 

මෙම ස්ථානය ඔවුන්ගේ ගැලවුම්කරුවාණන් වෙනුවෙන් කැපකර ඇති නිසා, සෙල් ලිපි පිටපත්කර ගැනීමට ඉඩ ප‍්‍රස්ථාව ලබාදීය නො හැකි බව ඔවුන් පවසා තිබේ. ඔවුන් තවදුරටත් සඳහන්කර ඇත්තේ, ගල් ලෙන්වල කොටා ඇත්තේ පැරණි අරාබි අක්‍ෂර මිස, පූර්ව බ‍්‍රාහ්මීය අක්‍ෂර නො වන බවයි. පසුව අබුසාලි ඇතුළු පාර්ශවය, පුරාවිද්‍යා නිලධාරි පිරිස කඩු, කිනිසි, තුවක්කු ආදිය රැගෙන මුස්ලිම් සංහාරයකට හෝ කැරළි කෝලාහලයකට පැමිණි බවට බලංගොඩ පොලිසියේ පැමිණිල්ලක්කර ඇත. පැමිණිල්ල විභාග කිරීමට බලංගොඩ පොලිසියේ නිලධාරීන් පැමිණ ඇති අතර, ඔවුන්ට කරුණු පැහැදිලි කිරීමෙන් පසු, එය බෞද්ධයන් බිය ගැන්වීම සඳහා අබුසාලි මහතා විසින් කරන ලද බොරු පැමිණිල්ලක් බව තීරණයකර ඇත.
 

අරාබි අක්ෂර සහිත සෙල් ලිපි?
කූරගල සෙල් ලිපි පළමුවරට පිටපත් කිරීමේ ගෞරවය හිමි විය යුත්තේ, රත්නපුර දිසාපති වශයෙන් කටයුතු කළ සී. එච්. කොලින්ස් මහතාට ය. ඒ මහතා 1924.06.25 වැනි දින කූරගල ප‍්‍රදේශයේ පැරණි ස්මාරක සම්බන්‍ධයයෙන් ගවේෂණයක් කර, සෙල් ලිපි පිටපත්කර ඇති අතර, එම ගවේෂණය අළලා 1932 වසරේ රාජකීය ආසියාතික සංගමයේ වාර්ෂික සඟරාවේ 85 වැනි කලාපයෙහි
( J.R.A.S [ Ceylon ] Vol: xxxii/85 ) The Archaeology of the Sabaragamuwa Bintenna :   නමින් ඉතාමත් සාරගර්භ ලිපියක් පළකර ඇත. ලිපියේ කූරගල සෙල් ලිපි ගැන ද සඳහන්කර ඇත. එහෙත් එම ලිපියේ, අරාබි අක්‍ෂර සහිත සෙල් ලිපියක් හෝ ලිපි කිහිපයක් තිබුණු බවක් සඳහන් නොවේ.
 

‘දත්තගේ පර්වතය’  යනුවෙන් හඳුන්වනු ලබන කන්ද පාමුල ඇති ක‍්‍රි: පූ: 02 - 01 සියවස්වලට අයත් පූර්ව බ‍්‍රාහ්මීය අක්‍ෂරයන්ගෙන් යුත් සෙල් ලිපි 03ක් ඇති බව පෙර සඳහන් කළෙමි.  එම ලෙන් ලිපි, අද මුස්ලිම්වරුන් විසින් සිය අනන්‍යතාවය තහවුරුකර ගැනීම සඳහා ව්‍යාජ ලෙස යොදවා ගෙන ඇත. එහි සඳහන් ‘දත්ත’ යන නම ඔවුන් විසින් පරිවර්තනය කර ගෙන ඇත්තේ ‘ඩැෆ්ටර්’ (දෆ්තර්  -Dafther)වශයෙනි. ඔවුන් කියන්නේ ඒවා අරාබි අක්ෂර සහිත සෙල් ලිපි බව ය.
 

පුරාවිද්‍යා නිලධාරීන් කූරගල සෙල් ලිපි පිටපත්කර ඇත්තේ 1961 වසරේ දී ය. එම අවස්ථාවේ, ඉහත අරාබි අක්‍ෂරයෙන් යුත් සෙල් ලිපි තිබුණේ් නම් ඒවා පිටපත් නො කර සිටින්නේ නැත. මෙම අරාබි සෙල් ලිපි පිටපත්කර ඇත්තේ එයින් දශ වර්ෂයකට පමණ පසවු හෙවත්, 1971 සහ 1972 යන වසරවල ය. එයින් පැහැදිලි වන්නේ,  සෙල් ලිපි දෙකම ‘කොටා’ ඇත්තේ එම දස වසරක කාලය ඇතුළත දී බව ය.
 

මා විසින් ගත් ඡායාරූපය
කූරගල මුස්ලිම් පල්ලියට ඉහළින් ඇති ගල් ලෙනක් පාමුල, කැඩුණු ගල් කැබැල්ලක අරාබි බසින් කොටන ලදැයි කියන  එක් සෙල් ලිපියක් තිබේ. ‘දර්වේෂ් මුහියාදීන් 715 යන පාඨය එහි සඳහන් බව කියති. දර්වේෂ් මුහියාදීන් යනු, ඉස්ලාමීය අනාගත වක්තෲන් කෙනෙකි. එයට අමතරව එහි අන් දෙයක් පැහැදිලි නො වීය. අනෙක් සෙල් ලිපිය පිහිටා ඇත්තේ කූරගලට යන මාර්ගයේ, ඔවුන් විසින් ‘ජින් මලෙයි” (යක්‍ෂයාගේ කන්ද) යනුවෙන් හඳුන්වන ගල් තලාවේ සවිකර ඇති සෙල් පුවරුවේ ය. එහි ‘යා අල්ලාහ් 300” (මෙහි අර්ථය ක‍්‍රි: ව: 907 යනු යි)  නමින් පාඨයක් කොටා ඇති බව සඳහන් වේ. පුරාවිද්‍යා නිලධාරීන් 1971.07.30 වන දින සහ 1972.03.15 දිනවල මෙම සෙල් ලිපි දෙක ද පිටපත් කළ බවත්, එවා පැරණි නො වන බවත්, පුරාවිද්‍යා කොමසාරිස්ගේ පාලන වාර්තාවේ දක්වා තිබේ.


මෙම අරාබි සෙල් ලිපිය සම්බන්ධයෙන් මට ගැටළුවක් පැන නැගුණේ, ඉකුත් දිනක අබුසාලි මහතාගේ ‘දෆ්තර් ජෙයිලානි’ ග‍්‍රන්ථයේ ඇති (දර්වේෂ් මුහියාදීන්  715 - අරාබි සෙල් ලිපිය-අබුසාලිගේ පොත -53 පිටුව) ඡායාරූපයත්, මා විසින් ගනු ලැබූ ඡායාරූපයත් පරික්‍ෂා කිරීමේ දී ය.
 

ඡායාරූප දෙක විමසිල්ලෙන් පරික්‍ෂා කිරීමේ දී පෙනීී යන්නේ අකුරු පිහිටීම්වල වෙනසක් ඇති බවයි. අරාබි අකුරු වර්ණාලේපකර ඇත්තේ ඔවුන් විසින් ය. මා විසින් ලබාගත් ඡායාරූපයේ සඳහන් අරාබි සෙල් ලිපිය පුරාවිද්‍යා රක්‍ෂිතය තුළ දැකගන්නට තිබෙන අතර,  අබුසාලිගේ පොතේ දැක්වෙන ආකාරයේ සෙල් ලිපියක් පුරාවිද්‍යා රක්‍ෂිතය තූළ හෝ ඒ අවට දැක ගන්නට නැත. ඉහත කරුණුවලින් පැහැදිලි වන්නේ, මේ ගල් පුවරු දෙකම තමන්ගේ අවශ්‍යතාවය සහ වාසියට සරිලන පරිදි අබුසාලි පාර්ශවය විසින්  ‘කොටා’ ඇති බවයි.  පොතට ඡායාරුපයක් අවශ්‍ය නිසා අබුසාලි පාර්ශවය විසින් වෙනත් ස්ථානයක ඇති ගලක අරාබි අකුරු ඛන්ඩය කොටා, පොතට අවශ්‍ය ඡායාරූපය ලබා ගෙන ඇති බවයි. මෙය ඉතා පැහැදිලිවම ඉතිහාසය විකෘති කිරීමකි.
   
කෘතියෙහි පළකර ඇති ඡායාරූපය

කූරගල සැබෑ ඉතිහාසය යළි මතු කිරීම
කූරගල ජෙයිලානි මුස්ලිම් දේවස්ථානයේ  ආගමික වතාවත් කිරීමට පැමිණෙන්නේ කල්මුණේ, මඩකළපුව, අක්කරෙයිපත්තුව වැනි ඈත ප‍්‍රදේශවල මුස්ලිම් ජනතාවයි. ආගමේ නාමයෙන් මෙහි දී කරන සත්ත්ව ඝාතන නවතා දැමීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගත් අතර, බෞද්ධ මෙන්ම තවත් සමාජ සත්කාරක ආයතන ද සත්ත්ව ඝාතනවලට විරුද්ධව හඬ නැගූහ. එසේම බෞද්ධ බලවේග ද කූරගල මුස්ලිම් දේවස්ථානය එතනින් ඉවත් කරන ලෙස ප‍්‍රබල ඉල්ලීම් කරන්නට වූහ. ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අධිකරණ ක‍්‍රියාමාර්ග ගත්තේ ය. එහි දී පුරාවිද්‍යා  රක්‍ෂිතයේ ඉදිකර තිබූ පෞද්ගලික නිවාස 04ක් ඉවත් කරන ලෙසට බලංගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණය තීන්දුව ප‍්‍රකාශයට පත් කළේ ය. පල්ලියේ භාරකරුවන්ගේ උපදෙස් පරිදි, තීන්දුවට එරෙහිව කඩ හිමියන් මහාධිකරණයට නඩු ගොණු කළත්, මහාධිකරණ තීන්දුව වූයේ ද පෙර තීන්දු බලාත්ත්මක කිරීම ය.
 

ඉතිරිවූ සොහොන්
හිටපු ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතා ද කූරගල ප‍්‍රශ්නය විසඳීමට උත්සාහ කළේ ය. ඔහු, මුස්ලිම් දේවස්ථානයේ ඉදිකර ඇති ගොඩනැගිිලි ඉවත්කර, වෙනම ස්ථානයක ස්ථාපිත කිරීම සඳහා පුරාවිද්‍යා රක්‍ෂිතයට යාව  හෙක්ටයාර් 11.309ක  භූමියක් මුස්ලිම් දේවස්ථාන භාරකාර මණ්ඩලයට බදු පදනමක් මත දුන්නේ 1990.03.25 දින ය. එහෙත් අබුසාලි ප‍්‍රමුඛ මුස්ලිම් භාරකාර මණ්ඩලය එම ගොඩනැගිලි ඉවත්  නො කිරීම නිසා, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට යළිත් අධිකරණයට යාමට සිදු විය. ඒ අනුව පුරාවිද්‍යා රක්‍ෂිතය තුළ පිහිටි පෞද්ගලික වෙළඳසැල් 04ක් ඉවත් කිරීමට මහේස්ත‍්‍රාත් අධිකරණ නියෝගයක් ලැබිණි.

මේ අතර, කූරගල මුස්ලිම් ආගමික ස්ථානය වහා ඉවත් කරන්නැයි බෞද්ධ සංවිධාන ද හඬ නැගුවේ ය. එහි එක් ප‍්‍රතිඵලයක් වූයේ  එවකට රාජ්‍යාරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා, 2013.04.08 වන දින කූරගල පරිශ‍්‍රයේ නිරීක්‍ෂණ චාරිකාවකට සහභාගි වීම ය. ගෝඨාභය රාජපක්‍ෂ මහතා උපදෙස් දුන්නේ ද, පුරාවස්තු ආඥා පනත යටතේ පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් වෙත ලැබී ඇති බලතල ක‍්‍රියාත්මකකර, පුරාවිද්‍යා රක්‍ෂිතය තුළ ඇති සියලූම අනවශ්‍ය ගොඩනැගිලි ඉවත් කරන ලෙස ය. මෙම ස්ථානයේ තමන්ගේ ආගමික කටයුතු පවත්වා ගෙන යාමට කිසිදු බාධාවක් නැති බවත්, ඉවත් කරනු ලබන්නේ මුස්ලිම් ආගමට හෝ වෙනත් ආගමකට හෝ අයත් ගොඩනැගිලි නොව, පුරාවිද්‍යා රක්‍ෂිතයක් නිසි අයුරින් පවත්වා ගෙන යාම සඳහා, රක්‍ෂිතයේ තිබෙන සියළුම අනවශ්‍ය ගොඩනැගිලි බව ය.
 

අනුරාධපුරය පූජා නගරයක් බවට පත් කිරීම සඳහා අලූතෙන් ඉදිකර තිබූ විහාරස්ථාන කිහිපයක්, කතෝලික පල්ලියක්, ස්ථිර නිවාස, රාජ්‍යායතනවල ගොඩනැඟිලි පමණක් නොව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් ගොඩනැගිලි ද කඩා ඉවත් කළ බැවින්, මෙය ආගමකට විරුද්ධව ගත් ක‍්‍රියා මාර්ගයක් නො වන බව, ඒ අවස්ථාවට සහභාගි වූ මුස්ලිම් පල්ලියේ භාරකාර මණ්ඩලයට පැහැදිලිකර දුන් අතර, භාරකාර මණ්ඩලය තීරණය පිළිගනිමින් කියා සිටියේ,  ඒ තීරණයට තමන් ද සහයෝගය ලබා දෙන බව ය.
 

මේ වන විට, කූරගල මුස්ලිම් දේවස්ථානය පැවති ස්ථානයේ මුස්ලිම් ජාතිකයන් කිහිප දෙනෙකුගේ සොහොන් කොත් කිහිපයක් හැරෙන්නට අනෙක් සියළුම ගොඩනැගිලි ඉවත්කර ඇත. දැන් ස්ථානය වන්දනාමාන කිරීමට සහ නැරඹීමට පැමිණෙන ජනතාවට දැක ගන්නට ඇත්තේ මුස්ලිම් සොහොන් භූමියකි. එම නිසා පුරාවිද්‍යා රක්‍ෂිතය තුළ ඉතුරුකර ඇති සොහොන් ද ඉවත් කිරීමට පුරාවිද්‍යා බලධාරීන් කටයුතු කළ යුතු ය. ඇත්ත තිත්ත වුණත් කිව යුත්තේ, පුරාවිද්‍යා බලධාරීන් කූරගල අනවශ්‍ය ඉදි කිරීම් ඉවත් කිරීමට යම් මැලි බවක් දක්වන බවය.

(ලේඛකයාගේ, ‘මානව පරිණාමයේ රත්නපුර ලකුණ’  නම් ග‍්‍රන්‍ථය ඇසුරෙනි)

2015/11/15.

සේයාරූ:- රත්නපුර - ජයන්ත විජේරත්න හේරත්.



   
        

Monday, November 9, 2015

වඳුරු-මොණර-මිනිස් ගැටුමට අලූත් සිතිවිල්ලක්

        පරිසර ‍ඛේදවාචකයකින් අංශු මාත්‍රයක්
 




(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
රැකියාව අහිමිව ගෙදර ගිය බව දැන ගත් පසු, බොහෝ හිත මිතුරන් දුරකතනයෙන් මා අමතා තොරතුරු විමසූහ. එහි දී ඔවුන් නැගූ එක් පොදු ප‍්‍රශ්නයක් ද තිබිණි. එනම්, ‘දැන් ඉතින් කුමක් කරමින් සිටින්නේ ද?’ යන්නයි. ඒ සඳහා මට ඇත්තේ ඔවුන් අන්දමන්ද වන තරමේ පිළිතුරකි.
 
‘මම මගේ පවුලේ අය හා එක්ව, දැන් අපේ අතිරේක ආහාර කොටස සඳහා වඳුරන් සහ මොණරුන් සමග සටන් වැද සිටිනවාය’ යන්න, මට ඇති පිළිතුරයි!
 
මෙතෙක් කලක් ලංකාවේ මිනිසුන් තම ආහාර සඳහා සටන් වැදුණේ, වන අලින් සමගිනි. වන අලින් සතු නිජබිම්, මිනිසුන් විසින් තම වාසස්ථාන සහ වගා භූමි බවට පත්කර ගත් අතර, ඉන් වන අලින්ට තම වාස භූමිය සහ ආහාර අහිමි විය. එබැවින් උන් මිනිස් ජනාවාසවලට කඩා වැදී, මිනිසුන් වැවූ ආහාර බෝග බුදින්නට පටන් ගත්හ. මිනිසුන් ඊට එරෙහිව ගියහ. එය ගැටුමකි. ගැටුම ප‍්‍රසිද්ධ වූයේ  ‘අලි-මිනිස් ගැටුම’ නමිනි. අද ලංකාවේ සමස්ත භූමියෙන් සියයට 60ක වත් අලි-මිනිස් ගැටුම පවතිනු පෙනෙයි. දැන් දෙ පිරිසම, තම තමන්ගේ ආහාර සඳහා දිවි පරදුවට තබා සටන් වදිමින් සිටින්නෝ ය.
 

ලංකාවේ වන අලින් බහුලවම සිටිනුයේ වියලි කලාපීය ප‍්‍රදේශවල ය. ඒ අතරින්, වයඹ, උතුරු මැද ආදී පළාත්වල  ඇත්තේ උග‍්‍ර අලි-මිනිස් ගැටුමකි. මා දැන් ජීවත් වන්නේ, ගාලූ දිස්ත‍්‍රික්කයේ බද්දේගම මැතිවරණ කොට්ඨාශයට අයත් ‘කීඹිය’ නමැති ගම්මානයේ ය. එහි වසන වඳුරන් සහ මොණරුන් සමග අපට ඇති ගැටුම ද දැන් උග‍්‍ර තත්ත්වයට පත්ව එනු පෙනෙයි. දැන් අපි දෙගොල්ලන්ම ආහාර සඳහා එකිනෙකා සමග සටන් වදිමින් සිටින්නෙමු. දවසේ කාලයෙන් වැඩි කොටසක් වැය වන්නේ ද ඒ කටයුත්ත පිණිස ය. කොතෙක් උත්සාහ කළ ද, වන අලින් මිනිස් ජනාවාස පරිසරයෙන් ඉවත් කරන්නට නො හැකිවී ඇත්තේ, දැන් උන් මිනිස් ආහාරවලින් යැපීමට ඇබ්බැහි වීම නිසා ය. වී වගාවේ සරුසාර ගොයම හෝ වී කරල් සහිත ගොයම, බඩ ඉරිඟු, කෙසෙල්, අඹ, උක් වගාව සහ අනෙකුත් මිනිස් ආහාර බෝග දැන් උන්ගේ ජනප‍්‍රිය ආහාර බවට පත් වී තිබේ. අපේ ගම් පළාතේ වඳුරන් සහ මොණරුන් ද, අද මිනිස් ආහාරවලට ඇබ්බැහිවී සිටිති. උන් ගිල දමන්නේ අපේ  ‘අතිරේක ආහාර කොටස’ යි.
 

මෙහි දී  ‘අතිරේක ආහාර’ යයි කීවේ විශේෂ කාරණයක් නිසා ය.  එනම්, අපේ ගම් පළාතේ ‘ප‍්‍රධාන ආහාරය’ වූ ‘බත’ සඳහා වඳුරන් ගෙන් ගැටළුවක් මතුව නැති  බැවිනි. එහෙත් කරල් පැසී ගෙන එන ගොයමට නම්, මොණරුන් ගෙන් සැලකිය යුතු හානියක් ඇති වෙයි. උන් ඇත්තටම හානි කරන්නේ අපේ අතිරේක ආහාර ටිකට ය.
 
මොණරුන් වූ කලී, ගමනින් ද, අලංකාරයෙන් ද පිරිපුන් මහේශාක්‍ය සත්ත්ව කොට්ඨාශයකි. බොහෝ කලකට ඉහත නම් මොණරුන් නරඹන්නට, කතරගම හෝ වෙන යම් වියලි කලාපීය වන පෙදෙසකට සංචාරයේ යා යුතු ය. දැනට වසර හත-අටක පමණ සිට ගාල්ලේ අපට නම් එවන් සංචාර අවශ්‍ය නැත. අප දැන් සෑම අළුයමකම නින්දෙන් පිබිදෙන්නේ ද, මොණරුන් නගන කර්ණ කඨෝර නාද සංධ්වනිය ඇසීමෙනි! මහ දවාලේ වුව, උන් හිටි ගමන් ප‍්‍රාදූර්භූත වන මොණර රංචු, ගෙවතු හෝ මිදුල් ඔස්සේ ‘ආහාර තවලම්’ යන අයුරු අපට සුලභ ය. උන් තවලම් යන්නේ කුඩා පැටවුන් ද පිරිවරා ගෙන ය. රංචුවක සතුන් හත් අට දෙනෙක් සිටින අවස්ථා ද වේ. උන් ගෙවතුවලට වැදී, පැපොල් කරටි හෝ ළපටි කොළ, මිරිස් කරල් සහ දළු, මෑ කරල් ආදී රනිල බෝග ආදිය කා දමති. පැසුණු හෝ කිරි වැදුණු ගොයම් සහිත කුඹුරකට මොණරුන් කඩා වැදුණ හොත්, එක හුස්මට ලියැදි ගණන් කා දමන බව ගොවීහු කියති. ඇතැම් මොණරුන් උන් හිටි ගමන්, ගාම්භීර ලීලාවෙන් නිවෙස්වල වහලවල් මත ලැග සිටින්නටත් කැමති ය. උන්ගේ ඒ චර්යාව උළු වහල ඇති නිවෙස්වලට බරපතල ගැටළුවකි. මොණරුන්ගේ ලැගුම් නිසා, උළු කැට බිඳී යාම ඊට හේතුවයි. ඉතින් උළු වහල ඇති බොහොමයක් නිවෙස් දැන් වැස්සට ද තෙමෙයි! තවම නම් අපේ ගමේ මොණරු, ඝෝෂා කළ විට පලා යති. එහෙත් ඊළඟ වාරයේ, ‘පොල් අතු මිටියක් පරිද්දෙන්’ සිය දිගු පියාපත් ද හකුළා ගෙන උන් බොහොම හොර රහසේ ගෙවතුවලින් මතු වෙති. ගමේ බල්ලන් සමග සහජීවනයෙන් විසීම ද මොණරුන්ගේ සිරිතකි.
 
වඳුරන්ගේ අනුවර්තනය 
වඳුරන්ගේ කරදරය ද සුළුපටු එකක් නොවේ. ගෙවතුවලට වදින වඳුරන්, කුඩා පොල් ඇට්ටි සහ ගොබළු ගෙඩි කා දමති. නො පීදුණු පොල් මල් කොපු පළා,  ඇතුළත ඇති මල් ඇට ටික හූරා ගෙන කති. එබැවින් දැන් පොල් ඵලදාව හීනවී යමින් තිබේ. උන් කෙසෙල් කැන්වලට බැල්ම හෙලන්නේ, ඒවා යාන්තම් මලෙන් එළියට එද්දීම ය. උන් කෙසෙල් කැන බදා වැළඳ ගෙන, එහි ගෙඩි කා දමති. උන් කන්නේ ද, කෙසෙල් ගෙඩියෙන් බාගයකි. ඉතිරි බාගය විසිකර දමා තවත් ගෙඩියක් කඩා ගනිති. වරක් අපේ ඉඩමට පැමිණි වඳුරෙක් විනාඩි 20ක පමණ කාලයක් තුළ කෙසෙල් ගෙඩි 10ක් පමණ කෑ හැටි මගේ නිරීක්ෂණයට හසු විය. මේ ආකාරයට, එක් කෙසෙල් කැනක් දින තුන හතරක දී, නිකම්ම වහල්ලක් බවට පත් වෙයි. ළපටි කැන් ‘පෝර කවරවලින්’ වසා දැමුව ද (ගෝසු දැමීම), ඒවා ඉරා කෙසෙල් ගෙඩි කෑමට උන් පසුබට නො වෙති. ළපටි පැපොල් ගෙඩි සහ ඒවායෙහි කොළ-දළු ද උන්ගේ ජනප‍්‍රිය ආහාරයන් ය. ගෙවතුවල ඇති කොස්, දෙල්, අඹ, දෙහි, දෙළුම්, පේර, ජම්බු ආදිය පමණක් නොව, මංඤ්ඤාක්කා අල සහ කොළ-දළු පවා අද වඳුරු ආහාර බවට පත් වී ගොසිනි. මෑතක අපේ සොහොයුරියක්, දහවලට පිසීම පිණිස මංඤ්ඤාක්කා අලයක් ගලවා කුස්සියේ දොරකඩ අසල තබා වෙනත් කටයුත්තකට ගියා ය. ආපසු එන විට මංඤ්ඤාක්කා අලය එතැන නො වුණු බැවින්, ඇය ඒ ගැන විපරම් කළා ය. පුදුමයකි. වඳුරෙකු එය ඩැහැ ගෙන ගොසිනි. නිවස අසල පිහිටි ගසක අත්තක වාඩි වුණු වඳුරා, මහත් ප‍්‍රීතියෙන් එය බුදිමින් සිටියේ ය. ඇතැම් වඳුරන් බිමට බැස, පොළොව මතුපිටට පෑදී ඇති මංඤ්ඤාක්කා ආදී අල වර්ග හොරෙන්ම හාරා ගන්නා බව, අපේ ගමේ උදවිය කියති.
 
වඳුරන් මෙසේ හැසිරෙන්නේ මන්ද? ඊට හේතුව උන් උග‍්‍ර ආහාර හිඟයකින් පෙළෙන නිසාය යන්න, ලියුම්කරුගේ අදහසයි. එසේම උන් දැන් දැන් සාම්ප‍්‍රදායික ‘වඳුරු ආහාර’ ආදියෙන් දුරස්ව යන බවක් ද පෙන්නුම් කරයි. ගස්වල කොළ-දළු කොතෙක් තිබුණ ද, උන් නිතරම උත්සාහ කරන්නේ කෙසෙල් ගෙඩි, පොල් ඇට්ටි සහ පොල් මල්, ළපටි පුවක් ගෙඩි, පැපොල් ගැට වැනි මිනිස් ආහාර කෙසේ හෝ කඩා වඩා ගන්නට ය. එය ඇබ්බැහියක් යයි සිතිය හැකි ය.
 
වඳුරන්ගේ සහ මොණරුන්ගේ කඩා වැදීම් කෙසේ ආරම්භ වී ද? යන්න, විශේෂයෙන්ම විමසා බැලිය යුතු කාරණයකි. අපේ ගෙවල් මණ්ඩිය, එක් පැත්තකින් අක්කර 15ක පමණ පෞද්ගලික තේ වත්තකින් ද, අනෙක් පැත්තෙන්, ඊට ටිකක් කුඩා තවත් පෞද්ගලික තේ ඉඩමකින් ද වට වූවකි. ඉතිරි අන්තයේ, ගම කෙළවරින් පිහිටියේ සුප‍්‍රකට ‘සිට‍්‍රස් වතු යායයි’. එහි අපට සමීප ඉසව්වේ රබර් සහ ‘කටු පොල්’ වගාකර තිබිණි. ගමේ ඇත්තන්ගේ ප‍්‍රධාන ආර්ථික ක‍්‍රියාවලිය ද තේ වගා කිරීමයි. ඊට අමතරව සෑම ගෙවත්තකම පාහේ කොස්, පොල්, අඹ, දෙල් ආදී ගස්කොලන් ද වවා ගෙන තිබේ. ගෙවතු ඉඩම්වලට යාබදව හෝ ඉඩම් මායිම්වල කුඩා මූකලාන් බඳු කැලෑ  කුට්ටි ද විය. ඒවා ඩොංගා, ඇටඹ, රඹුටන්, ගොරකා, පුවක්, වැනි වෘක්ෂයන් ගෙන් සජ්ජිත වූයේ ය. ලොකු-කුඩා තේ ඉඩම්වල ‘ඇල්බීසියා’ නමැති සෙවණ වෘක්ෂ වවා තිබිණි.
 
කලකට පෙර ද අපේ ගම ආශ‍්‍රිතව වඳුරන් සහ මොණරුන් සිටියහ. වඳුරන් නිරන්තරව තේ ඉඩම්වල වැවුණු ‘ඇල්බීසියා’ ගස් ඇසුරේ කොළ-දළු කමින් කල් ගෙවූහ. ඇතැම් විට, ගම ආශ‍්‍රිත කුඩා කැලෑ කුට්ටිවල සැරිසැරූහ. මොණරුන් එක්ව ‘ඇල්බීසියා’ ගස් සිය රාත‍්‍රී ලැගුම් පොළවල් බවට පත්කර ගත් අතර, දහවල් ආහාර චාරිකා තේ ඉඩම් සහ කැලෑබදව සිදුකර ගත්හ. උන්ට ආහාර හිඟයක් තිබුණු බවක් නො පෙනුණි. එබැවින් එකල ඒ කිසිවෙකු ගෙන් ගමට හෝ ගෙවතුවලට කරදරයක් නො වීය. එසේ වුවත්, පොල් පැළ, කිරි අල ගස් සහ මංඤ්ඤාක්කා වගාවන් පරීක්ෂා කරන්නට රාත‍්‍රී කාලයේ එන 
‘වල් ඌරු ගණයා’ ගෙන් නම් අඩුවක් නො තිබුණේ ය.
 
සියල්ල වෙනස් වන්නට මුල පිරුවේ, මීට වසර තුන හතරකට ඉහත එක්තරා මැයි මාසයක හදිසියේ කඩා වැදුණු මහා සුළඟක් නිසා ය. ඉන් තේ ඉඩම්වල පැවති ඇල්බීසියා, කොස් ගස් සහ හවරි නුග (ගිනිකූරු) ගස් රාශියක් ඉදිරී වැටිණි. ඉඩම් අයිතිකරුවෝ ඒවා ගස් මුදලාලිලාට විකිණූහ. එයින් ද නො නැවතී, සුළඟින් දිවි ගැලවුණු ගස් පවා විකුණා මුදල්කර ගත්හ. මේ ආසන්න කාලයේම ‘සිට‍්‍රස් වත්තට’ අයත් පැරණි රබර් වගාවක් ද, ‘නැවත වගාව’ පිණිස ගලවා ඉවත් කෙරිණි. මේ අතර හොරණ ප‍්‍රදේශයේ ඇති මහා පරිමාණ ‘දැව බෝඩ්’ කම්හලක, ගම් මට්ටමේ ඒජන්තවරුන්ගේ බලපෑම ද වැඩි වූයේ ය. එයින් කුඩා මූකලාන්, කැලෑ කුට්ටි සහ වැට මායිම්වල තිබුණු විවිධ ගස් කොලන් හොරණ පැක්ටරිය බලා ලොරි නැංගාහ. මෙයින් වූයේ කුමක් ද?, වඳුරන්ට, මොණරුන්ට සහ දඬු ලේනුන්ට සිය ආහාර, ලැගුම් පොළවල් සහ සැරිසරුම් ඉසව් අහිමි වීමයි. ඉන් පසුව උන් අලූත් තත්ත්වයට අනුවර්තනය වෙමින්, ගෙවතු ආක‍්‍රමණය කරන්නට පටන් ගත්හ! කාගේ හෝ ගෙවත්තකට පැන, කුමක් හෝ කා දමමින් කුස් පුරවා ගැනීමට පුරුදු වූහ. එතැන් පටන් වඳුරු, මොණර සහ මිනිස් ගැටුම ඇරඹිණි!
 
ගැටුමට මුහුණ දෙන උදවිය ද වඳුරන් පලවා හැරීම පිණිස විවිධ උපක‍්‍රම යොදන්නට වූහ. වඳුරන් ද යම් බුද්ධිමත් සත්ත්ව කොට්ඨාශයකි. ඉතින් උන් ක‍්‍රම ක‍්‍රමයෙන් මිනිස් උපක‍්‍රමවලට අනුවර්තනය වෙන්නට පටන් ගත්හ. මුල් දවස්වල නම් ගෙවතුවලට වදින වඳුරන් මිනිසුන්ගේ කෑකොස්සමට බියව පලා ගියහ. ටික දිනක් යන විට උන් ඊට හුරුපුරුදු වූහ. මිනිස්සු ඉන් පසුව, උන් පලවා හරිනු රිසියෙන් රතිඤ්ඤා දල්වන්නට ඉගෙන ගත්හ. මුල දී එහි ශබ්දයට උන් බියපත් වූ බව, ගස් කොලන් දෙකකර ගෙන දිවීමෙන්ම පෙනුණි. ටික දිනක් යන විට වඳුරන් ද රතිඤ්ඤා ගැන යමක් ඉගෙන ගත්හ. ගස් මත සැරිසරන තමන්ට, ඉන් හානියක් නො වන බව තේරුම් ගත්තා සේ උන් රතිඤ්ඤා පුපුරන ශබ්දය ගණන් නො ගෙන සිටින්නට හුරු වූහ. ඉන් පසුව අපේ ගමේ උදවිය වඳුරන් පලවා හැරීම පිණිස ‘පී. වී. සී.’ පයිප්ප බටවලින් ‘තුවක්කු’ සාදා ගත්හ. ‘ආකාස’ හෙවත් ‘අහස් කූරු’ නමින් හඳුන්වන ඉරටුව සහිත වෙඩි කරලක්, පයිප්ප බටයේ රුවා, වඳුරන් සිටින දෙසට එල්ලකර දැල්වීම, එහි ක‍්‍රියාවලියයි. අහස් කූර එයින් අපට අවශ්‍ය දිශාවට යොමු  කළ හැකි ය. වඳුරන් මේවාට බිය පත් වූහ. මුල දී නිකම්ම පයිප්ප බටයක් පෙන්වුව ද, තුරු මතින් පැන පලා යන්නට පුරුදු වූහ. එහෙත් නිකම්ම පයිප්ප බටයකින් කිසිදු අනතුරක් නො වන බව, ටික කලක දී උන් තේරුම් ගත්හ. දැන් උන් පලා යන්නේ, අහස් කූර සහ ගිනි පෙට්ටියක් අතට ගෙන, ඇත්තටම අහස්කූර දල්වන්නට යන්නේ නම් පමණි! ඇතැම් වඳුරෙක් අහස් කූරු වෙඩිල්ලට බියව, උස් තුරු මුදුනක සැඟවෙන අයුරු ද අපූරු ය. ටික වේලාවක් යන විට මිනිසුන්ගේ හැලහොල්මනක් නැතැයි දැන ගන්නා උන්, හොරෙන්ම ගෙවතුවලට වදිති. මේවායෙහි තේරුම, උන් ක‍්‍රමයෙන් මිනිස් පලවා හැරීම්වලට අනුවර්තනය වෙමින් යන බවයි.
 

රහසිගත වඳුරෝ 
උන් මුල දී ගෙවතුවලට වැදුණේ ගස් මතින් පැන එමිනි. එයින් නැගෙන ශබ්දය, වඳුරන් තම ගෙවත්තට පැමිණෙන බව මිනිසුන්ට හැඟවූ සංඥාවක් විය. ඉන් කලබලවන මිනිස්සු, වහාම උන් පලවා හැරීම පිණිස ඉදිරිපත් වූහ. වර්තමාන වඳුරන් ගෙවතුවලට පනින්නේ මේ කාරණය ද සිත් තබා ගනිමිනි. දැන් උන් ශබ්ද නැගෙන සේ අත්තෙන් අත්තට පනින්නේ නැත. ඒ වෙනුවට උන් අත්තෙන් අත්තට, සිවු පයින් ඇවිද ඒමේ ක‍්‍රමයක් අනුගමනය කරති. එහි දී ශබ්ද නො නැගේ. ඇතැම් සතුන් නිවෙස්වලට ඇද ඇති විදුලි වයර් (මේන් වයර්) දිගේ බොහොම අපූරුවට ගමන්කර, හොරෙන්ම වහලවලට ගොඩ වෙති. එය විශේෂ ය. ඇතැම් මතයකට අනුව, වඳුරන් නිතර පැන ගෙන එන මාර්ග දුරස් කළ විට, උන්ගේ ගමන් අවහිර වේ. ඉතින් සමහර අය සිය නිවෙස් සමීපයේ ඇති ගස් කොලන් කපා දැමූහ. ඇතැම් ගස්වල අතු කපා දැමූහ. දැන් එවන් නිවසකට හෝ වහලකට උන්ට තුරු මතින් එන්නට නුපුළුවන. එහෙත් ටික දිනකට පසුව උන් යම් කාරණයක් අවබෝධකර ගත්හ. එනම් නිවෙස්වලට ඇද ඇති විදුලි වයර් (මේන් වයර්) දිගේ නිරුපද්‍රිතව ගමන් කළ හැකි බවයි! දැන් උන් නිවෙස් පිටුපස ඇති කෙසෙල් පඳුරු ආදියට වදින්නේ, විදුලි වයර් දිගේ වහලවලට පැමිණීමෙනි. ඇතැම් අවස්ථාවල ‘හැට පැන්නත් බිම නො යන’ කතාව බොරු කරමින් බිමින් ඇවිදිති. බල්ලන් හෝ වෙන යම් කලබලයක් දැනුණ හොත්, සැණෙකින් ගසකට ගොඩ වෙති. ගෙවතුවලට වදිද්දී උන් දැන් ‘වඳුරු නාද’ පවත්වන්නේ ද නැත! උන් මිනිසුන්ට හොර රහසින් ගෙවතුවලට වැදීමේ ක‍්‍රමවේද, පුරුදු පුහුණුකර ගෙන ඇති බව ඉන් පෙනී යයි.
 

සාමාන්‍යයෙන් ගාල්ල ද ඇතුළුව ලංකාවේ තෙත් කලාපයේ දී හමුවන්නේ, ‘කළු වඳුරා’ ^Purple Faced Monkey& ය. ඌ ලංකාවට ආවේණික සත්ත්වයෙකි. ඒ අනුව අපේ ගමේ සැරිසරන්නේ ද කළු වඳුරන් වෙති. වඳුරන්  ඕනෑම පරිසරයකට අංලකාරයකි. එසේම උන් පරිසර ජෛව විවිධත්වයේම කොටසකි. එසේ වුවත් උන් මහත් නාස්තිකාර සත්ත්ව කොට්ඨාශයකි. ආහාර ගැනීමේ දී උන් යමක් කෑමට ගන්නවාට වඩා කරන්නේ, සියල්ල කඩා විනාශකර දැමීම ය. කොළ-දළුවලින් හෝ වේවා, වන ඵලවලින් හෝ වේවා, උන් ආහාරයට ගන්නේ ඉතා සුළු ප‍්‍රමාණයක් පමණි. ඉතිරි කොටස වීසිකර දමන උන්, යළිත් අලූත් එකක් කඩා ගනිති. වඳුරු ග‍්‍රහණයට හසුවූ පෙදෙස්වල පොල් ගස් යට, යාන්තම් ලෑටි ගෑ පොල් ඇට්ටි ද, කෙසෙල් පඳුරු යට, බාගෙට කා දැමූ ළපටි කෙසෙල් ගෙඩි ද, කොස් ගස් යට විසිරුණු පොළොස් ගැට ද, අඹ ගස් යට විසිරුණු ළපටි අඹ ගෙඩි ද දක්නට ලැබෙන්නේ මේ හේතුවෙනි. මෙසේ වැනසී යන්නේ මිනිසුන්ට හෝ අනෙක් සතුන්ට ආහාරයට ගත හැකිව තිබුණු දේවල් ය. වඳුරන්ට ආහාර අරපිරිමැස්ම උගන්වන්නට ක‍්‍රමයක් නැති බැවින්, අපට ඒ ගැන කරන්නට දෙයක් ද නැත.
 
සාමාන්‍යයෙන්  අපේ රටේ  ඕනෑම ප‍්‍රදේශයක රතිඤ්ඤා හෝ අහස් කූරු සඳහා වැඩි ඉල්ලූමක් ඇති වන්නේ, අප‍්‍රියෙල් මාසයේ එන අලූත් අවුරුදු සමය, දෙසැම්බරයේ එන නත්තල ආදී උත්සව කාලවලට ය. එසේ වුවත් අපේ ගම් පළාත්වල නම් වසරේ සෑම කාලයකම ඒවා බහුලව විකිණෙයි. ඒ වඳුරන් පලවා හැරීම පිණිස ය. මේ දිනවල අපේ ප‍්‍රදේශයේ කඩවල රතිඤ්ඤා හෝ අහස් කූරු නැත. එබැවින් ගාල්ලේ, පොදු වෙළෙඳ පොළ අසල ‘හේමන්තාස්’ නමැති තොග කඩයෙන් ඒවා මිල දී ගන්නෙමු. සෑම මසකම අපට රතිඤ්ඤා හෝ අහස් කූරු සඳහා රුපියල් 800ක්-1000ක් වැය කරන්නට වීම, සාමාන්‍ය දෙයක් වී හමාර ය. එසේ නො කළ හොත් අපට පොල්, පැපොල් ආදී අතිරේක ආහාර ටික අහිමි වන්නට මග පෑදෙයි!
 
අපේ ගමට දැන් තවත් නරක ආරංචියක් ලැබී තිබේ. අපට කිලෝමීටර් දෙකක් පමණ දුරින් පිහිටි සිට‍්‍රස් වත්තට අයත් ‘උමංදොළ’ කොටසේ, අක්කර 70ක පමණ පැරණි රබර් වගාව ද ගලවා ඉවත් කරන්නට යාම, ඒ නරක ආරංචියයි. එහි තුරු මුදුන් අතරේ වඳුරන් මෙන්ම දඬු ලේනුන්ගේ ද අති විශාල ජනාවාස ඇති බව කවුරුත් දනිති. හෙට අනිද්දාම උන්ට ද යන එන මං අහිමි වනු ඇත්තේ ය. එවිට අපේ ගම් පළාත් මුහුණ දෙන වඳුරන් ඇතුළු වන සත්ත්ව කලි කලහයන් තව තවත් උත්සන්න වනු නිසැක ය! තේ සහ රබර් ආදී වැවිලි බෝග ගැන අපේ සිත්වල පැන නැගෙන්නේ, ඒවා ජාතික ආර්ථිකය සවිමත් කරන වගාවන් හැටියට ය. එහෙත් ඉන් පරිසරයේ තුලිතතාවයට වන මෙහෙවර, කොතෙක් දැයි සිතෙන්නේ මෙවන් අවස්ථාවල දී ය.
 
වඳුරු-මොණර හිරිහැරය සම්බන්ධයෙන් ඇතැමුන් ආණ්ඩුවට බණිති. මිනිස් ජනාවාස සහ වගා භූමි පුළුල් වීම මෙන්ම, වන ගහණය ද අඩු වීම, වන සතුන් සහ මිනිසුන් අතර ගැටුම් ඇති වීමට හේතුවයි. 1970 දශකයේ අග භාගයේ පටන් රට තුළ කෙරුණු සංවර්ධන ක‍්‍රියාදාම නිසා ගැටුම් උග‍්‍ර අතට හැරිණි. එකල පටන් අද දක්වාම බලයේ පැවති කිසිදු ආණ්ඩුවකට, එබඳු ගැටුමක් සම්බන්ධයෙන් ජාතික මට්ටමෙන් පුළුල් දැක්මක් තිබුණු බවක් ද දක්නට නො ලැබේ. එසේම ගැටුම නිවැරදිව කළමණාකරණයකර ගැනීමට හැකියාවක් ද නො තිබුණු බව පෙනේ. රටේ පාලකයන් වරින්වර යම් යම් ක‍්‍රියාමාර්ග ගත් බව ඇත්ත ය. එහෙත් සත්ත්ව-මිනිස් ගැටුමට තවමත් විසඳුමක් ලැබී නැත්තේ ය. අලි-මිනිස් ගැටුමම එයට හොඳ උදාහරණයකි! ප‍්‍රචණ්ඩ වන අලින් කුදලා වෙනත් වනාන්තරවලට ගෙන යාම, විදුලි වැට ඉදි කිරීම ආදී ක‍්‍රියාමාර්ග හැම විටම සාර්ථක නො වන බව, දැන් පසක්වී තිබේ. වඳුරු සහ රිලා හිරිහැර සම්බන්ධයෙන් ද ඉතා සීමිතව හෝ කෙරෙන්නේ, වනජීවීය මගින් උන් වෙනත් වන ප‍්‍රදේශවලට රැගෙන යාමයි. වඳුරන් සහ රිලවුන් අල්ලා ගැනීම ප‍්‍රායෝගිකව ඉතා දුෂ්කර කටයුත්තක් බැවින්, එය එතරම් ප‍්‍රචලිත නොවූ ක‍්‍රියාමාර්ගයකි. ඇතැම් ප‍්‍රදේශවල ගොවීන්ට ආණ්ඩුව මගින් ‘වායු රයිපල්’ සපයා ඇති බව ද කියැවෙයි. අපේ ගම් පළාතේ නම් එවැන්නක් දැන ගන්නට නැත. කෙසේ වෙතත් වන අලින්, වඳුරන් සහ රිලවුන් ආදී සතුන් මිනිස් ආහාරවලට ඇබ්බැහිවූ තත්ත්වයක් තුළ, උන් ගැටුමෙන් වළකා ගැනීම මහත් අසීරු කටයුත්තකි.
 

1970 දශකයේ අග භාගයෙන් ඇරඹුණු සංවර්ධන ප‍්‍රවාහය සහ ජන සමාජ ක‍්‍රියාවලිය තුළ, රටේ වනාන්තර වපසරිය සීමා විය. ජනගහණය ද වැඩි විය. එයින් සත්ත්ව-මිනිස් ගැටුමක් නිර්මාණය විණි. දැන් කළ යුත්තේ, මුලින්ම රට එබඳු ගැටුමකට මුහුණ පා ඇති බැව්, ජාතික ගැටළුවක් වශයෙන් පිළි ගැනීම ය. ඊළඟට වන සත්ත්ව ජීවිතය සම්බන්ධයෙන් ප‍්‍රාමාණික විද්වතුන් ද, ගැටුම් පවතින ප‍්‍රදේශවල වෙසෙන ජනයාගේ අත්දැකීම් ද එක්කර ගෙන, ගැටුම නිවැරදිව කළමණාකරණය කිරීමේ ක‍්‍රමවේදයක් නො පමාව සැකසීම ය. එවිට වන සතුන්ට සහ අපට, අපේ ආහාර පංගු රැක ගැනීමට හැකි වනු ඇත.
 
(පින්තූර-අන්තර්ජාලයෙනි)
 
2015/11/10.