Total Pageviews

Saturday, February 14, 2015

කන බත් පතේ මාරයෙක්

ආසනික් එන්න
බත් පතට මාරයා පැමිණ ඇති දැයි බලන්න.....







(ක්‍රිෂ්ණ විජේබණ්ඩාර)

බදුල්ල දිස්ත‍්‍රික්කයට අයත් ගිරාඳුරුකෝට්ටේ, කඩිනම් මහවැලි ව්‍යාපාරය යටතේ සංවර්ධනය කෙරුණු කෘෂිකාර්මික ප‍්‍රදේශයකි. එහි වැසි ගොවීහු දැනට වසර දහයක පමණ කාලයක සිට, මාරාන්තික නිදන්ගත වකුගඩු රෝගයට (CKDu) මුහුණ දෙමින් සිටින්නෝය. ඉකුත් 10 වැනි දා මුළු ප‍්‍රදේශයම මහත් කම්පනයකින් වෙළී ගියේය. ගිරාඳුරුකෝට්ටේ, ගල්පෝරුයාය, දෙමටන්ඇල්ල ගමේ පදිංචි සොරබොර බණ්ඩාරලාගේ පොඩි නෝනා (71) මහත්මිය සහ ඇෙඟ් පුත් ඌරුවරිගයේ සේනාරත්න (26) මහතා වකුගඩු රෝගයෙන් මියයාම ඊට හේතුවයි. මව් - පුතු දෙදෙන රෝගයට ගොදුරුව මහනුවර, මහියංගණය සහ ගිරාඳුරුකෝට්ටේ යන රෝහල්වලින් දිගු කලක් තිස්සේ ප‍්‍රතිකාර ලැබූහ. දිගු කලක් තිස්සේ රෝගයෙන් දුක් වින්දහ. ගිරාඳුරුකෝට්ටේ ප‍්‍රදේශයෙන් ලැබෙන තොරතුරු අනුව, ගෙවුණු දශකයක පමණ කාලය තුළ එහි වැසි ගොවීන් 2000ක් වත් මාරාන්තික වකුගඩු රෝගයෙන් මියගොස් තිබේ. ඊට අමතරව තවත් 2817ක පිරිසක් ගිරාඳුරුකෝට්ටේ රෝහලේ වකුගඩු රෝගීන් ලෙස ලියාපදිංචිව සිටිති.

රජරට සහ රටේ වියළි කලාපීය කෘෂිකාර්මික ප‍්‍රදේශවල පැතිරයමින් තිබෙන මාරාන්තික නිදන්ගත වකුගඩු රෝගය මුළු රටටම ඇති කළේ විශාල කම්පනයකි. එය ආසනික්, කැඞ්මියම් ඇතුළු විෂ බැර ලෝහ අඩංගු කෘෂි රසායන භාවිතය නිසා හටගත් බව, ඒ ගැන කෙරුණු පර්යේෂණ මගින් අනාවරණය විය. රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා ඇතුළු විද්වත් කණ්ඩායමක් මේ පිළිබඳ කළ මුල්ම පර්යේෂණයේ වාර්තාව 2010 වසරේ දී නිකුත් කෙරිණි. ඉන් පසුව ලෝක සෞඛ්‍ය සංවිධානය කළ පර්යේෂණයේ වාර්තා 2011 සහ 2012 යන වසරවල නිකුත් විය. කිවුල් ජලය සමග සංයෝගවන ආසනික් ඇතුළු විෂ බැර ලෝහ මගින් රෝගය හට ගන්නා බව එයින් කියැවිණි. ඒවා විෂ සහිත කෘෂි රසායන ඔස්සේ පොළොවට එකතු වන බවද හෙළිවිණි. කෙසේ වෙතත් පර්යේෂණ මගින් හෙළිදරව්කළ කාරණා සම්බන්ධයෙන්, ප‍්‍රමාණවත් තරම් රාජ්‍ය මට්ටමේ අවධානයක් යොමු වූයේ නැත. පසත්, ජලයත්, ගොවිතැනත් විෂ කරන කෘෂි රසායන රටට ගෙන්වීම, පාලනය හෝ තහනම් කෙරුණේ නැත. එබැවින් වකුගඩු රෝග මාරයා මෙල්ල කළ නොහැකි විය.

වෛද්‍ය චන්න ජයසුමන මහතා


චන්න ජයසුමන ඇතුළු විද්වත් පර්යේෂකයන් දැන් තවත් බිහිසුණු තොරතුරු සමූහයක් හෙළිදරව් කර තිබේ. ඒ ඔවුන් කළ අලූත්ම පර්යේෂණය ඔස්සේය. සොයා ගත් තොරතුරු පිළිබඳ පර්යේෂණ පත‍්‍රිකාව 2015 ජනවාරි මස 30 වැනිදා 'International Journal of Food Contamination' නමැති අන්තර්ජාතික ආහාර විද්‍යා සඟරාවේ පළවී තිබිණි. රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන, කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප‍්‍රියානි පරණගම, සාරංග ෆොන්සේකා, මහාචාර්ය මාලා අමරසිංහ, කැලිෆෝනියා රාජ්‍ය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සරත් ගුණතිලක සහ රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සිසිර සිරිබද්දන යන විද්වත්හු එහි පර්යේෂකයෝය.

පර්යේෂණය මගින් හෙළිකෙරුණු බරපතළම කාරණය වූයේ, ශ‍්‍රී ලංකාවේ වැසියන් වර්තමානයේ ආහාරයට ගන්නා සහල්වල ඉතාමත් අහිතකර ප‍්‍රමාණයන්ගෙන් ‘ආසනික්’ අඩංගු වී ඇති බවයි ෟ කෘෂි රසායන යොදා වගා කරන නව වැඩි දියුණු කළ වී වර්ගවලින් නිපැයෙන සහලේ, ආසනික් අධික ලෙස අඩංගුව ඇති බවත්, වඩාත් පාහින ලද සහල්වල ආසනික් තත්ත්වය උග‍්‍ර බවත්, ඔවුන් සොයා ගෙන තිබේ. මතුවී තිබෙන විශේෂම කාරණය වන්නේ, කෘෂි රසායන නොයොදමින්, කාබනික ක‍්‍රමයට වගා කළ දේශීය පාරම්පරික වී ප‍්‍රභේදවල සහලේ ආසනික් ප‍්‍රතිශතය ඉතාමත් අවම තත්ත්වයක පැවතීමය.

මෙහි තේරුම කිමෙක්ද? සමස්ත ශ‍්‍රී ලාංකිකයන්ම වස වළඳමින්, සෙමෙන් සෙමෙන් මරණය කරා පියමනිමින් සිටින බවය ෟ අකාලයේ මරණය වැළඳ ගන්නට යමින් සිටින බවය.

වෛද්‍ය චන්න ජයසුමන ඇතුළු කණ්ඩායම සිය පර්යේෂණ කටයුත්ත සඳහා, නව වැඩි දියුණු කළ වී ප‍්‍රභේදවල සහල් සාම්පල 120ක්ද, දේශීය පාරම්පරික වී ප‍්‍රභේදවල සහල් සාම්පල 50ක්ද විෂ්ලේෂණය කොට තිබේ. ඒවා පදවිය, සිරිපුර, මහවිලච්චිය ආදී ප‍්‍රදේශ ගණනාවකින් රැුස්කර ගෙන ඇත. සාම්පල සඳහා, කෘෂි රසායන භාවිත කරමින් වගා කළ නව වැඩිදියුණු වී වර්ගවල සහල් මෙන්ම, කාබනිකව වගා කළ දේශීය පාරම්පරික වී වර්ගවල සහල් ද යොදා ගැනුණි. විශ්ලේෂණයට ලක්වුණු සමස්ත සහල් සාම්පල සංඛ්‍යාව 170කි.

ආසනික් යනු පිළිකාකාරකයක් ලෙසද ගණන් ගන්නා උග‍්‍ර විෂකාරකයකි. එය කවර තත්ත්වයන් යටතේ වුවද ශරීරගත වීම මරණීය කාරණයකි. කෙසේ වෙතත් ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය සහල්වල තිබිය යුතු ආසනික් ප‍්‍රමාණය සම්බන්ධයෙන් ‘අවම සෞඛ්‍යහානි මට්ටමක්’ පනවා ඇත. ඒ අනුව, සහල් කිලෝග‍්‍රෑම් එකක තිබිය යුතු ආසනික් ප‍්‍රමාණය මයික්‍රෝ ග‍්‍රෑම් 200කි. එය ‘අවම සෞඛ්‍යහානි’ මට්ටමයි. එහෙත් ලංකාවේ ආහාරයට ගන්නා නව වැඩිදියුණු වී වර්ගවල සහලේ කිලෝග‍්‍රෑමයක ඇති ආසනික් ප‍්‍රමාණය මයික්‍රෝග‍්‍රෑම් 20.6-540.4ක් වන බව, වෛද්‍ය චන්න ජයසුමන මහතා ඇතුළු පිරිස විසින් සොයා ගෙන තිබේ. විෂ්ලේෂණයට ලක්වූ නව වැඩිදියුණු කළ වී වර්ගවලට අයත් සහල් සාම්පලවලින් සියයට 70කම ආසනික් සංයුතිය, කිලෝග‍්‍රෑම් එකකට මයික්‍රෝග‍්‍රෑම් 286ක්ව පැවති බවද පර්යේෂණ පත‍්‍රිකාවේ දැක්වෙයි. සමස්ත සහල් සාම්පලවලින් සියයට 11කම ආසනික් සංයුතිය, මිනිස් පරිභෝජනයට කොහෙත්ම නුසුදුසු තත්ත්වයක පැවති බව, ‘ඉරුදින’ කළ විමසුමේදී චන්න ජයසුමන මහතා පැවසීය.

මේවාට සාපේක්‍ෂව, කාබනිකව වගා කළ දේශීය පාරම්පරික වී ප‍්‍රභේදවල සහලේ ආසනික් සංයුතිය කිලෝග‍්‍රෑමයකට මයික්‍රෝග‍්‍රෑම් 11.2-64.2ක් තරම් අවම තත්ත්වයක පැවතිණි.

‘නව වැඩිදියුණු කළ වී වර්ග වගා කරන්නේ, කෘතිම රසායනික පොහොර, කෘතිම කෘෂි රසායන ආදී වස විෂ සහිතවයි. එයින් නිපදවෙන සහලේ ආසනික් විෂ අධික බව හෙළිවුණා. මෙහෙම ගියොත් අපට කන්න දෙයක් ඉතිරි වෙන්නේ නෑ. එක්කෝ විෂ සහිත කෘෂි රසායන රටට ගෙන්වන එක නතර කරලා, දේශීය ගොවිතැන කාබනික ක‍්‍රමයකට හුරු කරන්න  ඕනෑ. නැත්නම් බැර ලෝහ සහ විෂ අධික කෘෂි රසායන භාවිතය පාලනය කරන්න  ඕනෑ. මෙහෙම ගියොත් මුළු රටම ලෙඩවෙන දවස වැඩි ඈතක නෙවෙයි’, චන්න ජයසුමන මහතා කියයි.
අපේ රටේ ප‍්‍රධාන ආහාරය බත්ය. සාමාන්‍යයෙන් වසරකට එක් පුද්ගලයෙක් සහල් කිලෝග‍්‍රෑම් 116ක් පමණ පරිභෝජනය කරති. රටේ නිපැයෙන සහලින් සියයට 99ක්ම, බතලගොඩ හෝ වෙනත් වී පර්යේෂණායතනයක හැදූ නව වැඩි දියුණු කළ වී වර්ගවලින් නිපදවුණු ඒවාය. ඒවා සියයට සියයක්ම වගා කරන්නේ ආනයනික නවීන කෘෂි රසායන භාවිතාවෙනි. මේ තත්ත්වය නිසා මුළු රටටම වස විෂ සපිරි මරණිය සහලේ බත් වළඳන්නට සිදුවී තිබේ.

(ගොවියා වෙබ් අඩවියෙනි)

හරිත විප්ලවය විසින් අපට දුන් වස විෂ සපිරි නවීන ගොවිතැනත්, නව වැඩි දියුණු කළ වී වර්ගත් නිසා දේශීය පාරම්පරික වී ප‍්‍රභේද සහ වී ගොවිතැන වඳවී ගියේය. එය කාබනික ගොවිතැනකි. එහි කිසිදු වස විෂක් නැති බව චන්න ජයසුමන මහතා ඇතුළු පිරිස කළ අලූත් පර්යේෂණයෙන්ද සනාථ වී තිබේ. මේ ගොවිතැනට යළි පණදීම පිණිස දිවිහිමියෙන් කටයුතු කළේ ඇලෙක්ස් තන්ත‍්‍රිආරච්චි, මතුගම සෙනෙවිරුවන් යන ගොවි ක‍්‍රියාකාරකයන් දෙපළය. ඔවුන් හෙළිකළ මග ඔස්සේ, හෙළ සුවය කණ්ඩායම, හේමන්ත අබේවර්ධන, තිලක් කන්දේගම, සුරන්ජන් කොඩිතුවක්කු, තිලක් කාරියවසම්, පී. ගුරුසිංහ, මාතර කෙතක මහිම කණ්ඩායම, කවුඩුල්ලේ ජයතිස්ස ඇතුළු ගොවි හිතෛෂීන්, ගොවි ක‍්‍රියාකාරිකයන් සහ පරිසරවේදීන් විශාල පිරිසක් දැනටමත් ගමන් කරමින් සිටිති. ඔවුහු පැරණි දේශීය වී වර්ග ව්‍යාප්තකර ඒවා කාබනිකව වගා කරන්නට ගොවීන් දිරි ගන්වමින් සිටිති. එහෙත් ඔවුන්ගේ ප‍්‍රයත්නයට රාජ්‍ය අනුග‍්‍රහයක් නොලැබෙන තරම්ය.

වකුගඩු රෝගය ද, ඊට බලපාන හේතු කාරණාද, මුලිනුපුටා දමන බව අලූත පත්වූ මෛත‍්‍රීපාල සිරිසේන රජය ද පවසා තිබේ. මුළු රටම වස වළඳමින් සෙමින් සෙමින් මරණය කරා යමින් සිටින බව ඔවුන්ගේ අවධානයට ලක්වනු ඇති බව ලියුම්කරුගේ විශ්වාසයයි.

ඉරුදින-2015/02/15


ඉන්දියන් සාගරයේ මකර සිහිනය සහ ශ‍්‍රී ලංකාව

ඉන්දියන් සාගරයේ මකර සිහිනය සහ ශ‍්‍රී ලංකාව

  

(ක්‍රිෂ්ණ විජේබණ්ඩාර)

චාම්, එහෙත් උත්කර්ෂවත් අන්දමින් බදාදා (2015 පෙබරවාරි 04) පැවති ශ‍්‍රී ලංකාවේ 67 වැනි නිදහස් සමරු උළෙලට, විදෙස් රාජ්‍ය නායකයන් ගෙන් ද සුභ පැතුම් ලැබී තිබිණි. සුභ පැතූවන් අතර, චීනයේ ජනාධිපති ෂි ජිංපිං සහ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි යන රාජ්‍ය නායකයෝ ද වූහ. ඔවුන් තම සුබ පැතුම් එවා තිබුණේ ශ‍්‍රී ලංකාවේ නව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙතය. චීනය සහ ඉන්දියාව යනු ආසියාවේ වෙසෙන මහ බලවතුන් දෙදෙනාය. ජනාධිපතිවරණයෙන් හටගත් බල පෙරළියත් සමගම, ලංකාවේ කෙරෙන චීන ආයෝජන ව්‍යාපෘති සම්බන්ධයෙන් ඉතා බරපතළ චෝදනා එල්ල වෙමින් තිබේ. එසේම අලූත් ආණ්ඩුව බලයට පත් උණු උණුවේම, ඉන්දු - ලංකා රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතා තව තවත් තර වන ලකුණු පහළ වී තිබේ. එබඳු පසුබිමක් පැවතිය දී ශ‍්‍රී ලංකාවේ නිදහස් සමරු උළෙලට ඉන්දු - චීන මහ බලවතුන්ගෙන් සුභ පැතුම් ලැබීම, සුවිශේෂ කාරණයක් බවට පත් වේ.
තෙල් කැණීමක දර්ශනයක්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රජය පැවති සමයෙහි පැවතියේ, චීනය සමග ඉතාමත් දැඩිව බැඳුණු රාජ්‍යතාන්ත‍්‍රික ප‍්‍රතිපත්තියකි. ඒ අනුව චීන රජය ලංකාවේ විවිධ සංවර්ධන කටයුතුවලට මූල්‍ය ආධාර සහ ණය මුදල් සම්පාදනය කළේය. ඇත්තටම, ශ‍්‍රී ලංකාව චීනය සමග ආර්ථික සහයෝගීතාවන්ට මුල පිරුවේ, මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන කාලයටත් පෙර සිටය. එනම් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනියගේ පාලන සමයේදීය. එකල සැලසුම් කෙරුණු සමහර සංවර්ධන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කෙරුණේ, මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාගේ පාලනය තුළදීය. ඒ හැර, ඔහුගේ මැදිහත්වීමෙන් ද චීන ව්‍යාපෘති ගණනාවක්ම ඇරඹිණි.

චීනය, ශ‍්‍රී ලංකාවද ඇතුළුව දකුණු ආසියාතික රටවල් සමග පවත්වන සබඳතාවන් වසර සිය ගණනක් ඈතට දිවෙයි. ඒ, ක‍්‍රිස්තු පූර්ව තුන් වැනි සියවස තරම් ඈත කාලයේ සිට දිග හැරුණු ‘සේද මාවත’ (Silk Route) නම් මහා වෙළෙඳ ක‍්‍රියාවලිය ඔස්සේය. චීනයේ නිපදවෙන සේද රෙදි ප‍්‍රධාන අනෙකුත් වෙළෙඳ භාණ්ඩ, මැද පෙරදිග හරහා යුරෝපයට අලෙවි කිරීම එයින් සිදු විණි.

වෙළෙඳාම මෙහෙයවූවෝ අරාබිවරුය. චීනයේ ඔවුන් පිහිටවා ගත් වෙළෙඳ ජනපදයක් පවා එකල තිබිණි. එය ‘කැන්ටන්’ නම් විය. චීනයේ සිට ඉන්දියාව, මොංගෝලියාව ආදී රටවල් මැදින්, දුර්ග මාර්ග ඔස්සේ චීන වෙළෙඳ ද්‍රව්‍ය ගැල් මගින් ප‍්‍රවාහනය කෙරිණි. එකල චීනයෙන් පිටත් වන බඩු ගැලක්, මැද පෙරදිග බැග්ඩෑඞ් (ඉරාකය), බස්රා යන නගර ඔස්සේ කොන්ස්තාන්තිනෝපල් නුවරට (වර්තමාන ඉස්තාන්බුල්) යාමට වසර දෙකහමාරක් ගත වූවා යැයි ප‍්‍රකටය. චීනයෙන් ගෙන එන සේද ඇතුළු වෙළෙඳ බඩු අරාබි වෙළෙන්දන් අතින් යුරෝපයට විකිණුනේ කොන්ස්තන්තිනෝපල් නගරයේදී ය.

පසුව රටවල් අතර යුද්ධ හට ගත්තේය. එබැවින් ගොඩබිම් සේද මාර්ගය ඇණ හිටියේය. ඒ සමගම ‘සාගර සේද මාර්ගය’ ඇති විය. චීනයෙන් පිටත්වන නෞකා මලක්කා සමුද්‍ර සන්ධිය, ඉන්දියන් සාගරය සහ අරාබි මුහුද ඔස්සේ යුරෝපයට යාත‍්‍රා කෙරුණේය. ඒ සමගම ගමන් මග අතරමැද පිහිටි ලංකාවටද, එහි මහාතිත්ථ, ගෝකර්ණතිත්ථ සහ ගොඩවාය ආදී පැරණි වරායන්ටද විශාල වැදගත්කමක් ලැබිණි. ලංකාවේ චීන වෙළෙඳ නාවික සංක‍්‍රමණයන් සිදුව ඇත්තේ ඒ කාරණය මුල් කර ගෙන බව, විද්වතුන්ගේ පිළිගැනීමයි.

සාගර සේද මාවත ඔස්සේ කෙරෙන වෙළෙඳාම එකල චීනයට මහා ධන උල්පතක් විය. එබැවින් නිරන්තරවම එය ආරක්‍ෂා කර ගැනීමට චීන පාලකයෝ උත්සාහ ගත්හ. ‘යූ ලෝං’ නමැති චීන අධිරාජ්‍යයාගේ සමයේ චීනයේ නාවික හමුදා ප‍්‍රධානියාව සිටියේ, චෙං හේ (Zheng He) නමැති නාවික අද්මිරාල්වරයා ය. වර්ෂ 1405 පටන් 1430 දක්වා ඔහු ඉන්දියන් සාගරයේ ද, අරාබි මුහුද ප‍්‍රදේශයේද, තවත් ප‍්‍රදේශවලද ගමන් වාර හතක්ම සංචාරය කොට තිබේ. ඉන් ගමන් වාර හයකදීම ඔහු ලංකාවටද පැමිණි බව ඉතිහාස  වාර්තා සඳහන් කරයි.

ඉන් එක් ගමනකදී එවකට කෝට්ටේ පාලකයා වූ අලහක්කෝනාර, චෙං ගෝගේ වෙළෙඳ ක‍්‍රියාවලියකට එරෙහි වූ බවත්, ඉන් කුපිත වූ චීන සෙන්පතියා ඔහු අත්අඩංගුවට ගෙන චීනයට රැුගෙන ගිය බවත් ඉතිහාසයෙහි දැක්වේ. අලහක්කෝනාරයන් මුදා හැර ඇත්තේ වසර හයකට පසුවය. මින් පෙන්නුම් කෙරෙන්නේ, එකල ද චීනය තම වෙළෙඳ කටයුතු සඳහා ඇති වන බාධක බලය යොදා හෝ මගහැර ගන්නට පසුබට නොවූ බවය. ඉතිහාසය මූලාශ‍්‍රවල පැවසෙන අන්දමට, ඩෙංහේ සිය ගමන්වලදී නෞකා 300ක බල ඇණියක් යොදා ගෙන තිබේ. චීනයේ සිට ඉන්දියන් සාගරය ඔස්සේ අරාබි මුහුද දක්වාද, ඉන් ඔබ්බටද නාවික බලය පැතිරවීම, යූ ලෝං අධිරාජ්‍යයාගේ අරමුණ වන්නට ඇත.

චීනය සහ ලංකාව අතර පැරණි සබඳකම්වලට බෞද්ධාගමද හේතු වූ බව ප‍්‍රකට මතයකි. එහෙත් වඩා විමසිල්ලෙන් බලන විට පෙනී යන්නේ, ලංකාවේ ඉපැරණි චීන සම්බන්ධතා පිටුපස දැවැන්ත වෙළෙඳ - නාවික ප‍්‍රවාහයක්ද පැවති බවයි. කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ පඬුවස්නුවර, යාපහුව සහ අනුරාධපුරය ද ඇතුළුව රට අභ්‍යන්තරයෙහි මෑත භාගයේ කෙරුණු පුරාවිද්‍යා කැණීම්වලින් චීන කාසි සහ චීන බඩු භාණ්ඩ බහුලව හමුවීම, මීට හොඳ සාක්‍ෂියකි. චීනය තම සාගරීය වෙළෙඳාම් රැක ගැනීම පිණිස නාවික බලය උපරිමයෙන් පවත්වාගෙන ගියාට සැක නැත. ඒ සඳහා ඔවුන් ඉන්දියන් සාගරය ආශ‍්‍රිත ලංකාව වැනි රටවල් සමග සහයෝගීව සිටින්නට ඇත.

බොහෝ පසු කාලීනවද චීනය ලංකාව සමග මිතුරුකම් ඇති කර ගෙන සිටියේය. විශේෂයෙන්ම සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ ප‍්‍රධානත්වයෙන් සමගි පෙරමුණු රජය පැවති සමයේ චීනය ලංකාවට බොහෝ උදව් කළේය. රටේ කෘෂිකාර්මික ප‍්‍රදේශ රැුසක වී මෝල් පිහිටුවීම සහ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාව ඉදි කර දීම (1973 දී), ඒ අතර විශේෂ කාරණා විය. පසුකාලීනව, අධිවේගී මාර්ග, හම්බන්තොට ජාත්‍යන්තර වරාය සහ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, කොළඹ නෙළුම් පොකුණ රඟහල, කොළඹ වරායේ 'CTCT' කන්ටේනර් පර්යන්තය සහ තවමත් ඉදිවෙමින් පවතින ‘නෙළුම් කුළුණ’ සහ ‘පෝර්ට් සිටි' දූපත් ව්‍යාපෘතිය’ ආදියට ණය හෝ ආධාර දුන්නේ චීනයයි. ඉන් බොහොමයක් කෙරුණේ මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාගේ පාලන සමයේය. 2007 වසරේදී දෙරට අතර ආයෝජන ප‍්‍රවර්ධන එකඟතා ගිවිසුමක් අත්සන් කෙරිණි.

උතුරේ යුද්ධය පැවති සමයෙදී අපට චීනයේ උදව් ලැබිණි. එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ ශ‍්‍රී ලංකාව අභියෝගයට ලක් වූ තීරණාත්මක අවස්ථාවලදී ද චීනයේ සහාය නොඅඩුව ලැබිණි. චීන ජනාධිපති ෂී ජිංපිං මහතා 2014 සැප්තැම්බර් ශ‍්‍රී ලංකාවෙහි දෙදින නිල සංචාරයකද නිරත විය.මෙකල මෙන්ම, මහින්ද රාජපක්‍ෂ මහතා බලයේ සිටි කාලයේ ද චීන උදව්වෙන් කෙරෙන සංවර්ධන ව්‍යාපෘති සඳහා චෝදනා නැගුණු බව රහසක් නොවේ. ලංකාව චීන කොලණියක් කරන්නට යතියි විවේචකයෝ කීහ.

මෙහිදී පැන නගින ගැටලූවක් තිබේ. එනම් චීනයේ මිත‍්‍ර හස්තය කොතෙක් දුරට අවංක ද යන්නයි. එය පිටතට පෙන්වන තරම් අවංක එකක් නොවන බව ලියුම්කරුගේ අදහසයි. ලංකා භූමිය පිහිටා තිබෙන්නේ ලොව කාර්යබහුලතම වෙළෙඳ නැව් මාර්ගය වන බටහිර - නැගෙනහිර ප‍්‍රධාන වැව් මාර්ගයට අතේ දුරිනි. එසේම ලෝකයටම ඛනිජ තෙල් නිපදවා දෙන මැද පෙරදිග පර්සියන් බොක්ක  පිහිටා ඇත්තේ ද ලංකාවට ඔබ්බෙන් අරාබි මුහුදට සම්බන්ධවය. පර්සියන් බොක්ක ඔස්සේ පිට කෙරෙන ඉන්ධන නෞකාවලින් බහුතරයක්ම ඇදී යන්නේ ලංකාව අයිනෙන්, චීනය ඇතුළු පෙරදිග රටවලය. ඒ රටවල් අතර සිටින ලොකුම තෙල් ගැණුම්කරුවා වන්නේ ද චීනයයි. එබැවින් චීනයට ඉන්දියන් සාගරයේ ආධිපත්‍යය මෙන්ම එය පවත්වා ගෙන යාම සඳහා ලංකාවේ සුහදතාව ද අත්‍යවශ්‍ය කාරණයකි. ඒ සඳහා ඔවුහු මෑත කාලීනව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජයේ පටන්, මහින්ද රාජපක්‍ෂ රජයේ සමාප්තිය දක්වාම දැඩි මිත‍්‍රශීලි පිළිවෙතක් අනුගමනය කළහ.
චීනය ඉන්දියන් සාගර කලාපයේ තම බලය පැතිරවීම සඳහා 2000 දශකය මුල් භාගයේ දී පකිස්ථානයේ එනම්, පර්සියන් බොක්කට පිවිසෙන ස්ථානයේ ගුබාඩාර් වරාය සංවර්ධනය කරන්නට අත දුන්හ. අනතුරුව එහි පාලනය චීන සමාගමකට පවරා ගත්හ. ඊළඟට ඔවුහු ලංකාවේ හම්බන්තොට වරාය, ඉන්ධන පර්යන්තය සහ මත්තල ගුවන් තොටුපොළ ඉදි කරන්නට උදව් කළහ. කොළඹ ‘පෝර්ට් සිටි’ ව්‍යාපෘතියට අත ගැසූහ. සන්නිවේදන කේන්ද්‍රයක් බිහි කිරීම පිණිස නෙළුම් කුළුණක් හදන්නට උදව් කළහ. ලංකාව කෙරෙහි මේ තරම් ඇඟෑලි වීම සඳහා හේතුව කුමක්ද ? ඔවුන්ට අවශ්‍ය වන්නට ඇත්තේ ඉන්දියන් සාගර කලාපයේ තම නාවික බලය සුරක්‍ෂිත කර ගැනීම සඳහා ලංකාවේ පය ගසා ගෙන හිඳීම වන්නට ඇත.

මහින්ද රාජපක්‍ෂ රජය සමයේ, ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් සිටියේ ලංකාවට එරෙහි මතයකය. ඊට හේතු ලෙස පිටතට පෙනුණේ යුද්ධය හා බැඳුණු මානව හිමිකම් පිළිබඳ කාරණාය. එහෙත් පිටතට නොපෙනුණු කාරණය වූයේ, චීන - ලංකා මිත‍්‍රත්වයයි. චීනය ලංකාවේ පය ගසා ගෙන ඉන්දීය සාගර කලාපයේ නාවික බලය පැතිරවීම පිළිබඳ අකමැත්තයි. ඉන්දියාව ද ලංකාවේ චීන මැදිහත්වීම්වලට කැමති නැත. හම්බන්තොට වරාය විවෘත කළ විගස එහි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ශාඛාවක් විවෘත කළේ ඒ නිසාය.

නව ජනාධිපතිවරයා ලෙස මෛත‍්‍රීපාල සිරිසේන මහතා පත්වීමෙන් පසුව, දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. ශ‍්‍රීධරන් මහතා කළ අපූරු කතාවක් ජනවාරි 26 වැනිදා අන්තර්ජාල පුවත් සේවාවල පළ වී තිබිණි. එහිදී ඔහු පවසා තිබුණේ දකුණු සුඩානයේ සිට ලංකාවට සමීප මුහුද යටින් තම රට දක්වා තෙල් නළයක් ඉදි කිරීමේ චීන සැලසුමක් ඇති බවයි. චීනය ඉදිරි වසර 50 තුළදී එය ඉටු කර ගනු ඇති බවත්, ඒ හේතුව නිසා ඔවුන් ලංකාව සමග මේ තරම් සහයෝගීව සිටින බවත් ශ‍්‍රී ධරන් මහතා පවසා තිබිණි. ඉන් ඇතිවන තත්ත්වයන්ට ඉන්දියාව මෙන්ම අමෙරිකාවද අකමැති නිසා තම පිරිසට මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව කටයුතු කරන්නට සිදු වූ බව ද ඔහු පවසයි. අන්තර්ජාල පුවත්වල දැක්විණි.ශ‍්‍රී ධරන් මහතා කියන කතාව ඇත්තක් නම්, ඉන්දියන් සාගර කලාපයේ බලය පිළිබඳ ප‍්‍රශ්නය, ලංකාවේ ආණ්ඩු මාරු කරවන තරම් ව්‍යාධියක් වී තිබේ. අලූත් ආණ්ඩුව පත් වූ උණු උණුවේම නව විදේශ ඇමති මංගල සමරවීර මහතා ඉන්දීයාවේ සංචාරයක යෙදීම ඉන්දීය සංචාරයක් සඳහා නව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට එරටින් ඇරයුම් ලැබීම, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා මාර්තුවේ ලංකාවේ සංචාරයකට එන්නට තීරණය කිරීම ආදිය හුදු රාජ්‍ය තාන්ත‍්‍රික කරණම නොවේ. ඒවා, චීන ග‍්‍රහණය බිඳ දමා, අපේ රට ඉන්දියාව දෙසට නම්මවා ගැනීමේ උපක‍්‍රම බව රහසක් නොවේ.

ඉන්දීය  විදේශ ඇමති සුෂ්මා ස්වරාජ් මහත්මිය ඉකුත් සතියේ චීනයේ සංචාරය කිරීමද, ලංකාවේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ලබන මාර්තුවේ චීන සංචාරයක යෙදෙන්නට සැලසුම් කිරීම, මාර්තු 22 වැනිදා චීන ජනාධිපතිවරයා පකිස්තානයේ නිල සංචාරයක යෙදෙන්නට සැලසුම් කිරීම, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ලබන මැයි මාසයේ චීන සංචාරයක යෙදෙන්නට නියමිතව සිටීම, ඇමරිකා ජනාධිපති බරක් ඔබාමා ඉන්දියාවට පැමිණීම, මීට එකතු කළ යුතු තවත් කාරණා කිහිපයකි. මේවා සිදුවන්නේ නිකම්ම නොවේ. ලංකා - චීන ඇගෑලිකම බිඳ දැමුව හොත්, ඉන්දියන් සාගර කලාපයේ නාවික බලවතා වීමේ චීන සිහිනය ද බොඳ වී යනු ඇතැයි, ඉන්දියාව සහ ඔවුන්ගේ මිත‍්‍ර පාර්ශව විශ්වාස කරනවාද විය හැකිය.

කෙසේ හෝ වේවා දකුණු සුඩානයේ සිට චීනය දක්වා සාගර පත්ලෙහි පිහිටුවන සන්නිවේදන තන්තු ජාලයක් සහ තෙල් නළ මාර්ගයක් ඉදි කිරීමේ කටයුත්තකට චීනය දැනටමත් අතගසා ඇති බව පෙනේ. එය නම් කර ඇත්තේ, 'String of Pearls" (මුතු දාමය) යනුවෙනි. එහිදී  ලංකාවේ හම්බන්තොට වරාය ඉන්ධන පහසුකම් සඳහාත්, පකිස්ථානයේ ගුවාඩාර් වරාය නාවික හමුදා පහසුකම් සඳහාත් භාවිත කිරීමට සැලසුම්කර ඇත.

ජනවාරි 02 වැනි සතියේ නව රජය බිහිවීමෙන් පසුව, චීනයේ උදව් (ආධාර හෝ ණය) ඇතිව කෙරුණු සංවර්ධන ව්‍යාපෘති දැඩි විවේචනයට ලක් විය. එසේම චීන රජයේ විශේෂ නියෝජිතයෙකු ළඟදීම ලංකාවේ සංචාරයට එන බවද ඉකුත් සතියේ මාධ්‍ය මගින් වාර්තා කර තිබිණි. චීනය අතීතයේදීත් කළේ සිය සාගර සේද මාර්ගය හොඳින් හෝ නරකින් බලා කියා ගැනීමයි. වත්මනෙහි චීනයට ඇත්තේ වෙළෙඳ බඩු නොව ඛනිජ තෙල් පිළිබඳ ප‍්‍රශ්නයයි. ඒ සමගම නැගෙනහිර - බටහිර වෙළෙඳ නැව් මාර්ගයේ නාවික බලවතා වීමේ මකර සිහිනයයි. ඒ කාරණයේදී ඔවුන්ට ශ‍්‍රී ලංකාව අත්හරින්නට ද නොහැකිය. එබැවින් මෛත‍්‍රීපාල සිරිසේන නව ජනාධිපතිවරයාට සුහදත්වයේ දෑත දිගු කරන්නට තිබෙන ඉඩකඩ වැඩිය. 
පසු සටහනලිපිය ලියා හමාර කළ බ‍්‍රහස්පතින්දා (2015/02/05)සවස ආරංචි වූයේ, කොළඹ ‘පෝට් සිටි දූපත් ව්‍යාපෘතියට’ අලූත් ආණ්ඩුවේ කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි, කැබිනට් ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා පැවසූ බවයි. එහෙත් ඊළඟ සඳුදාව (09) වන විට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබුණේ, පෝර්ට් සිටි ව්‍යපෘතිය සම්බන්ධයෙන් තවම සලකා බලමින් යන බවත්, ඒ ගැන තවම තීරණයක් ගෙන නැති බවත් ය.
 ඉරුදින-2015/02/08.

   

Sunday, February 8, 2015

මිරිදිය මත්ස්‍ය සම්පත අනතුරේ

දේශීය මිරිදිය මත්ස්‍ය සම්පත
අනතුරේ

Rasbora nigromarginta


බුලත් හපයා

පතිරණ සාලයා














(ක්‍රිෂ්ණ විජේබණ්ඩාර)

පැටවුන් බෝ කිරීම සඳහා බිත්තර දමන කාලයට, තම නිත්‍ය වාසස්ථානවලින් ඉවත්ව වෙනත් ස්ථානවලට සංක‍්‍රමණය වීම, බොහොමයක් මිරිදිය මසුන්ගේ සිරිතයි. ලංකාවේ වෙසෙන එබඳු මිරිදිය මසුන් අතර ‘ආඳාට’ හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. වාර්තා වී ඇති ආකාරයට ලංකාවේ ආඳුන් විශේෂ දෙකකි. එක් විශේෂයක් ‘ලංකා ආඳා’ ^AUGUILLIDAE) ය. අනෙකා ‘පොට්ට ආඳා’ (SYNBRANCHIDAE) ය. පොට්ට ආඳා,  ලංකාවට ආවේණික, එනම් ලංකාවේ පමණක් දැකිය හැකි මිරිදිය මත්ස්‍යයෙකි.

ආඳන්ගේ ජීවන චර්යාවන් අතිශයින්ම කුතුහලය දනවන සුළුය. රට ඇතුළේ ගංගා, ඇළ - දොළ, වැව් හෝ වගුරු ජලාශවල විසුවද, උන් බිත්තර දැමීම සඳහා සංක‍්‍රමණය වන්නේ සමුද්‍රයටය. ගංගා මෝය ඔස්සේ කෙරෙන සංක‍්‍රමණ කටයුත්තට වැඩිහිටි වියෙහි පසුවන පිරිමි සහ ගැහැණු ආඳෝ එක් වෙති. එහිදී උන් මහ සයුරට පිවිස, එහි බොහෝ ඈතට පිහිනා යති. ආඳුන් මිරිදිය මසුන් වුවද, උන් සංක‍්‍රමණයේදී කරදියට ඔරොත්තු දෙයි. ලංකාවේ ආඳුන් මේ කටයුත්ත සඳහා බටහිරින් අරාබි මුහුදටත්, ගිනිකොණ දෙසින් මලක්කා සමුද්‍ර සන්ධිය ආසන්න මුහුදටත් සංක‍්‍රමණය වන බව වර්තමාන පර්යේෂණකයන් විසින් සොයා ගෙන තිබේ. එය මහත් කුතුහලය දනවන අලූත්ම කාරණයකි.

පර්යේෂණයේ අවස්ථාවක්




ගල් පාඩියා


‘මෙහෙම යන ආඳුන් මුහුදේදී මිය යනවා. ඒත් උන්ගේ පැටවුන් අනිවාර්්‍යයෙන්ම තමන්ගේ මව්පියන් හිටපු රට ඇතුළේ සුපුරුදු වාසස්ථානවලට පැමිණෙනවා. අපේ රටේ සිටින වැලිගොව්වන් විශේෂ (Gobiidae) ගණනාවකටත් මේ වගේ දීර්ඝ සංක‍්‍රමණ රටාවන් තියෙනවා.’, එසේ කියන්නේ ගාල්ල වනජීවි සංරක්‍ෂණ සංගමයේ සභාපති මධුර ද සිල්වා මහතාය.

ලංකාවේ නිවසන දේශීය මිරිදිය මසුන් පිළිබඳව ඔහු අපට හෙළි කළ තොරතුරු අතිශයින්ම කුතුහලය දනවයි.

දැන් ගෙවී යන්නේ, ලංකාවේ මිරිදිය මසුන්  පිළිබඳව සුවිශේෂ කතිකාවතක් ගොඩනැගී ඇති සමයකි. ගාල්ල වනජීවි සංරක්‍ෂණ සංගමය අපේ රටේ මිරිදිය මසුන් අරභයා හත් වසරක් තිස්සේ කළ පර්යේෂණ ඇසුරෙන් ඉංග‍්‍රීසි බසින් ලියූ 'Sri Lankan Freshwater Fishes' (‘ශ‍්‍රී ලංකාවේ මිරිදිය මසුන්’) නමැති ග‍්‍රන්ථය දොරට වැඞීම, ඊට හේතුවයි. කෘතිය මුද්‍රණය කර ඇත්තේ නේෂන් ට‍්‍රස්ට් බැංකුවේ අනුග‍්‍රහයෙනි. ඒ නිමිත්තෙන් කොළඹ ලයනල් වෙන්ඞ්ට් කලාගාරයේදී 2015 ජනවාරි 30 සිකුරාදා  ඡායාරූප ප‍්‍රදර්ශනයක් ද ඇරඹිණි. ලංකාවේ වෙසෙන දේශීය මිරිදිය මත්ස්‍ය විශේෂ රාශියක ස්වභාවික ඡායාරූප ඊට ඉදිරිපත් කර ඇත. 

‘ලංකාවේ මිරිදිය මත්ස්‍ය විශේෂ 93ක් ඉන්නවා. අපේ පර්යේෂණයේදී ඒ අතරින් විශේෂ 92ක්ම යළි සොයා ගත්තා. උන් නිවසන ස්වභාවික පරිසරයේදීම ඡායාරූපගත කළා. ලංකාවේ මිරිදිය මත්ස්‍ය විශේෂ 93න් 92ක්ම ස්වභාවික පරිසරයේදී ඡුායාරූපගත කෙරුණු මුල්ම අවස්ථාව ද මෙයයි’. සංගමයේ සභාපති මධුර ද සිල්වා සහ ලේකම්, මාධ්‍යවේදී සජීව විජේවීර යන මහත්වරු අපට කීහ. ස්වභාවික පරිසරයෙන් ඔවුන්ට සොයාගත නො හැකි වී ඇත්තේ ‘මාටින්ස්ටයිනිගේ වැලිගොව්වා’^Striphodon Martenstyni)  නමැති දුලබ මත්ස්‍යයා පමණකි. පර්යේෂණය ඇසුරෙන් ඔවුන් සම්පාදනය කළ කෘතියට ලංකාවේ වෙසෙන දේශීය මිරිදිය මත්ස්‍ය විශේෂ 93 ගැනම සවිස්තර තොරතුරු ඇතුළත් කර තිබේ.

සමකයට ආසන්නව නිවර්තන කලාපයේ පිහිටි ශ‍්‍රී ලංකාව, ජෛව විවිධත්වය අතින් පිරිපුන් රටකි. එහි තිබෙන මල් පිපෙන ශාක (සපුෂ්ප ශාක) විශේෂ ගණන 3368කි. ඉන් විශේෂ 879ක්ම ලංකාවට ආවේණික ය. ලංකාවේ වෙසෙන උභය ජීවි විශේෂ සංඛ්‍යාව 103කි. ඉන් විශේෂ 87ක්ම ආවේණිකය. අපේ රටේ වෙසෙන පක්‍ෂි විශේෂ සංඛ්‍යාව 464කි. ඉන් විශේෂ 220ක්ම ආවේණික ය. එබැවින් ලංකාව ඉහළ ජෛව විවිධත්වයක් සහිත රටක් ලෙස පිළිගැනේ. එහිදී දේශීය මිරිදිය මත්ස්‍ය සම්පතට හිමිවන්නේ ද විශේෂ තැනකි. රටේ සිටින දේශීය මිරිදිය මත්ස්‍ය විශේෂ 93න් විශේෂ 54ක්ම ලංකාවට ආවේණික විශේෂ වීම, ඊට හේතුවයි. උන්ගේ ශරීර ස්වභාවය, චර්යා රටාව, වර්ණ සංකලනය මෙන්ම රට පුරා පැතිර ඇති ආකාරය ද අපූරු ය. ලංකාවේ දේශීය මිරිදිය මසුන්, සොබාදහමේ විචිත‍්‍රවත් සැරසිලිකරුවෝ වෙති. 1937 වසරේ ස්ථාපිත කළ වනසත්ව සහ වෘක්‍ෂලතා ආඥා පනතට, 2009 වසරේ එක් කළ අංක 22 දරණ සංශෝධනය මගින් දේශීය මිරිදිය මත්ස්‍ය විශේෂ 17ක් ආරක්‍ෂිත සතුන් ලෙස නම් කර ඇත. ඉන් විශේෂ 14ක් ලංකාවට ආවේණික යයි පිළිගැනේ. ලෝක සංරක්‍ෂණ සංගමයේ (IUCN ) 2012 වසරේ රතු දත්ත ලේඛණයට අනුව ඉන් විශේෂ 13ක්ම වඳ වී යාමේ තර්ජනයට මුහුණ පා සිටිති.

ලංකාවේ මිරිදිය මසුන් ගැන පර්යේෂණ ආරම්භ වී ඇත්තේ වර්ෂ 1810 තරම් ඈත කාලයේ සිටය. එහි මුල්ම පර්යේෂකයා පීටර් නමැති සත්ත්ව විද්‍යාඥයෙකි. ඉන් 1827 දී ප‍්‍රංශ විද්‍යාඥයෙකු වන ඒ රයන්ඞ් නමැත්තා ද ත‍්‍රිකුණාමලයේ කින්නියා ප‍්‍රදේශයේ මසුන් පිළිබඳව පර්යේෂණ කර තිබේ. ඉන් පසුව ආචාර්ය පී. ඊ. පී. දැරණියගල මහතා ඇතුළු විද්වතුන් විශාල පිරිසක් ක්‍ෂේත‍්‍රයට එක් වී තිබේ.

මධුර සිල්වා සහ සජීව විජේවීර යන මහත්වරුන් පවසන අන්දමට, ගාල්ල වනජීවි සංරක්‍ෂණ සංගමය දේශීය මිරිඳිය මසුන් පිළිබඳව පර්යේෂණ කරන්නට මුල පුරා ඇත්තේ, 2007 වසරේදීය. ඒ මධ්‍යම පරිසර අධිකාරියට අයත් ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය මගින් පැවරූ ව්‍යාපෘතියක් ඔස්සේය. ගාල්ල සහ මාතර යන දිස්ත‍්‍රික්කවල ජෛව විවිධත්වය පිළිබඳව සමීක්‍ෂණය කිරීම ඒ යටතේ ඔවුන්ට පැවරිණි. එහිදී ඔවුන්ට අවබෝධ වූයේ දේශීය මිරිදිය මසුන් ඉතා දැඩි ලෙස වඳ වී යාමේ තර්ජනයට මුහුණ දී සිටින බවයි. එබැවින් ඔවුහු දේශීය මිරිදිය මසුන් පිළිබඳව ද අධ්‍යනය කළහ. සමීක්‍ෂණය කෙරෙන භූමි ප‍්‍රදේශය කොළඹ, රත්නපුර, මාතර, ගාල්ල සහ කළුතර යන තෙත් කලාපීය දිස්ත‍්‍රික්ක දක්වා පුළුල් විය. සමීක්‍ෂණයේ උපදේශකවරුන් වශයෙන් ආචාර්ය රොහාන් පෙතියාගොඩ, පාරිසරික නීතිඥ ජගත් ගුණවර්ධන, ධර්ම ශ‍්‍රී කණ්ඩම්බි, ආචාර්ය කාලිංග පද්මලාල් යන මහත්වරු කටයුතු කළහ. එය 2014 වසරේ අවසානය දක්වා පුරා හත් වසරක් මුළුල්ලේ ක‍්‍රියාත්මක කෙරිණි.

අධික ජනගහණයක් සහ ජනාවාස අධික වීම, තේ සහ රබර් වගාවන් බහුලවීම, මැණික් ගැරීම්, සහ වැලි ගොඩදැමීම අධිකවීම යන කාරණා, සමීක්‍ෂණයට ලක් වූ දිස්ත‍්‍රික්කවල පොදු ලක්‍ෂණයන්ය.

‘දේශීය මිරිදිය මසුන්ගේ පැවැත්මට කාරණා කීපයක්ම බලපානවා. ජල මාර්ගවල පිරිසුදු ජලය තිබීම, ජලය ගලා ගෙන යාම, ජලයේ පැහැදිලිතාවය ඒ අතර ප‍්‍රධානයි. ඒත් දැන් තේ වගාවේ කෘෂි රසායන භාවිතය සහ කැලි කසල දැමීම නිසා ජලයේ පිරිසුදුතාව නැති වී ගිහින්. අවිධිමත් කෘෂිකාර්මික කටයුතු, මැණික් ගැරීම්, කුඩා ජල විදුලිබලාගාර තැනීම සඳහා කරන ඉදිකිරීම් වගේම වන ගහණය අඩු වී යාම් වගේ ප‍්‍රශ්න නිසා සෝදා පාළුව ඇති වෙනවා. ජලය බොර වෙනවා. මේවා මිරිදිය මසුන්ගේ පැවැත්මට හානියක්. විශේෂයෙන්ම අක‍්‍රමවත් විදිහට තේ වගා කිරීම ලොකු ගැටලූවක්. මිරිදිය මසුන්ගේ ජනාවාසවලට සෙවණ අවශ්‍යයි. තේ වගාවේ ඒක නෑ. නමුත් රබර් වගාව උන්ට හිත කරයි.

සාමාන්‍යයෙන් මිරිදිය මසුන් බිත්තර දමන්නේ ලොකු වැසි කාලවලටයි. ඒ කාලෙට ජල මාර්ග යාන්තම් බොර පැහැයකට හැරෙනවා. එතකොට උන් බිත්තර දාන්න පටන් ගන්නවා. තේ වගාව ආශ‍්‍රිතව සෝදා පාළුව ඇතිවීම වෙනස්. තේ වගා භූමිවලට පොඩි වැස්සක් ආවත් ජල මාර්ග බොර වෙනවා. මාළු මේක තේරුම් ගන්නේ බිත්තර දාන්න කාලේ ආවා කියලයි. එතකොට උන් වැරදි කාලෙට බිත්තර දාන්න පටන් ගන්නවා. මෙහෙම වුණාම උන්ගේ චර්යා රටා විකෘති වෙලා පැවැත්මට හානි වෙනවා.’ මධුර ද සිල්වා මහතා කියන්නේය.

මිරිදිය මසුන්ගේ ව්‍යාපෘතිය ගත් විට, ප‍්‍රධාන දේශගුණික කලාප තුනක් හඳුනාගත හැකි බව පරිසරවේදීහු කියති. අත්තනගලූ ඔය ද්‍රෝණියේ සිට නිල්වලා ගඟ ද්‍රෝණිය දක්වා පැතිර ඇති තෙත් කලාපීය ප‍්‍රදේශ හෙවත් ‘නිරිත දිග කලාපය ඉන් පළමුවැන්නයි. දෙවැන්න, මහවැලි ගඟ ද්‍රෝණිය ඇතුළත් ‘මහවැලි කලාපයයි.’ රටේ ඉතිරි සියලූම ප‍්‍රදේශ ඇතුළත් ‘වියළි කලාපය’, තුන් වැන්නයි. මෙයින් මිරිදිය මත්ස්‍ය ගහණය වැඩි තෙත් කලාපීය ප‍්‍රදේශවලය.

පර්යේෂකයන් පවසන අන්දමට, දේශීය මිරිදි මත්ස්‍ය විශේෂ බොහොමයක් උන්ගේ නිජබිම වූ ගංගා - ඇළ දොළවලට පමණක් ආවේණිකය. ඇතැම් මසුන්, උන් වසන නිජබිමට පමණක් (Point Endamic)  ආවේණිකය. තමන් නිවසන ජල මාර්ගය තුළ මිස උන්ට වෙනත් ජල මාර්ගවලට සංක‍්‍රමණය වීම ද අසීරුය.

ගඩයා (Labeo Fisheri) නම් ලංකාවට අවේණික මිරිදිය මත්ස්‍යයා වඳ වී යාමේ දැඩි තර්ජනයට ලක් වූවෙකි. උන්ගේ නිජබිම, මහවැලි ගගේ, පොල්ගොල්ල, ගැටඹේ සහ වරාතැන්න ප‍්‍රදේශයයි. ජල දහරාව ගල් පර මතින් වේගයෙන් ගලා බසින ස්ථානවල ගං පතුල උන්ගේ වාසස්ථානයයි. පොල්ගොල්ල ප‍්‍රදේශයේ ඉදි වෙමින් යන කුඩා ජල විදුලිබලාගාරයක් නිසා දැන් උන්ගේ වාසස්ථානය විනාශ වී යාමේ අනතුරක් නිර්මාණය වී තිබේ.

ධර්මශ්‍රී කණ්ඩම්බි මහතා

ගඩයා, තඹලයා (Labeo Lankae) සහ ලෙහෙල්ලා (Tor Khudree) වැනි වඳ වී යාමේ තර්ජනයට ලක් වූ දුර්ලභ මිරිදිය මසුන් (වැඩිහිටි සතුන්) වැඩිපුරම වාසය කරන්නේ ජල දහරාව වේගයෙන් ගලා බසිනා, ඉහළ මට්ටමේ භූමි ප‍්‍රදේශවලය. බිත්තර දමන කාලයට උන් තම ජල මාර්ගවල පහළ ප‍්‍රදේශ කරා සංක‍්‍රමණය වෙති. පසුකාලීනව ගංගා ආදිය හරස්  කරමින් තරමක් විශාල ජල විදුලිබලාගාර ඉදිකිරීම නිසා උන්ගේ සංක‍්‍රමණ රටා බිඳ වැටී තිබේ. ‘මේ කාරණය මහවැලි ගඟේ මිරිදිය මත්ස්‍ය දිවිපෙවෙතට තදින්ම බලපාලා තිබෙනවා, ’ ගාල්ල වන ජීවි සංරක්‍ෂණ සංගමයේ පර්යේෂකවරු පවසති.

මධුර

සමීක්‍ෂණයේදී ඔවුහු ලංකාවේ දුලබ දේශීය මිරිදිය මත්ස්‍ය විශේෂ මුලින්ම සොයා ගෙන තිබුණු ස්ථාන ද යළි පරීක්‍ෂා කළහ. අකුරැුස්ස විල්පිට ප‍්‍රදේශයෙන් සොයා ගත් විල්පිට දණ්ඩියා (Rasbora Wilpita) දැන් එම ප‍්‍රදේශයේ දක්නට නැත. ගම්පහ අඹන්ගමුවෙන් සොයා ගත් ලේ තිත්තයා (Puntius Titteya) දැන් ඒ ප‍්‍රදේශයෙන් සොයා ගත නොහැකිය. ආචාර්ය පී. ඊ. පී. දැරණියගල සූරීන් පුත්තලමේ තබ්බෝව වනයෙන් සොයා ගත් ‘ගඩයා’, අද එම ප‍්‍රදේශයේ ජල මාර්ගවල නැත. ‘පරිසරයේ වෙනස්වීම් නිසා උන් වඳ වී ගිහින්’, මධුර ද සිල්වා මහතා කියා සිටියේය.

සජීව

ලංකාවට ආවේණික ‘කහ ඉරි රන්වන් හල්මල් දණ්ඩියා’ (Rasbora nigromarginta)  නම් දේශීය මිරිදිය මත්ස්‍යයා මුල්වරට සොයා ගැනුණේ, 1930 වසරේදී ආචාර්ය පී. ඊ. පී. දැරණියගල සූරීන් විසිනි. ඒ රත්නපුර දිස්ත‍්‍රික්කයේ ගිලීමලේ රක්‍ෂිතයෙනි. ඊට  පසුව උන් වාර්තා වූයේ 1957 දී ජර්මන් ජාතික විද්‍යාඥයෙකු වූ මින්කින් (Meinken) මහතාගේ පර්යේෂණ කටයුත්තකදීය. ජර්මනියට ගෙන ගිය හල්මල් දණ්ඩින් සාම්පලයක සිටි එක් මත්ස්‍යයෙක්, වෙනස් විශේෂයක් බව ඔහුගේ හඳුනා ගැනීම විය. ඌ, කහ ඉරි රන්වන් හල්මල් දණ්ඩියෙකි. ඉන් පසුව උන් ලංකාවෙන් වාර්තා නොවීය. පසුව  රතු දත්ත පොතේ ද උගේ නම සටහන්ව තිබිණි. අවසාන උන් මිහිතලයෙන් සදහටම වඳ වී ගියා යයි සළකා, ලංකාවේ මිරිදිය මත්ස්‍ය නාමාවලියෙන් ද ඉවත් කෙරිණි. ගාල්ල වනජීවි සංරක්‍ෂණ සංගමයේ පිරිස  කළ සමීක්‍ෂණයේදී මේ දුබල මත්ස්‍යයා මතුගම, අත්වැල්තොට ප‍්‍රදේශයෙන් යළි සොයා ගැනුණි.

‘මේ මාළුවා යළි සොයා ගත්තේ වසර 57කට පස්සේය. ඊට අමතරව ලංකාවේ ලොකුම දේශීය මිරිදිය මත්ස්‍යයා වූ ‘වලයා’ 

^Wallago attu)  සහ ‘වල පොත්තා’ කියන මාළුන් අපට හමුවුණා. දුර්ලභ දේශීය මසුන් විසිතුරු මසුන් ලෙස හොරෙන් පිටරට යැවීමත්, විදේශීය මසුන් දේශීය ජල මාර්ගවලට කලවම්වීමත් ලොකු ගැටලූවක්. ‘වීදුරු පිසින්නා’ සහ ‘මන්නයා’ නමැති විදේශීය මසුන් දැන් ලංකාවේ සෑම ගංගාවකින්ම හමුවෙනවා. උන් පොළොන්නරුවේ  පරාක‍්‍රම සමුද්‍රයෙනුත් හමුවෙනවා. උන් ව්‍යාප්ත වීම දේශීය මිරිදිය මසුන්ගේ පැවැත්මට හානි කරයි’, මධුර සිල්වා මහතාත්, සංගමයේ ක‍්‍රියාකාරික සුපුන් දේශපේ‍්‍රම මහතාත්, අවධාරණය කළහ.

ඉරුදින-2015/02/01.